Friday, October 2, 2020

පට පට පට -3

 

ඔන්න ගිය වතාවේ මම කිව්වනේ ගරු බව්වා තුමා තමන්ගේ මාමා කෙනෙක්ගේ ගෙදරට අපේ කට්ටිය උයන්ඩ එක්කගෙන ගිය විස්තරේ.අපි තංගල්ල වෙරළේ තෙත රෙදි පිටින් සිංදු කියමින්, නටමින්, උයන්ඩ ගිය උන්ගේ දෙමාපියන් මතක් කරමින් ගතකල සොඳුරු පැය හතරට පස්සේ අපිව රෑ කෑමට එක්කගෙන ගියා කියලත් කිව්වනේ. මේ අති විශේෂ බැච් ට්රිප් එකේ මතකය අලුත් කරගන්ඩ ඕන කෙනෙක් මේ ලින්ක් දෙක මාර්ගයෙන් දේ කරගෙන එන්ඩ අවසාන කොටස කියවන්ඩ.

මැණික් ගඟේ ජී.කේ.

තංගල්ලේ කෝස්ටල් ඩාන්ස්



අපි දැන් නාලා සීතලේ වෙව්ල වෙව්ල ඉඳලා බඩගින්නත් උපරිමේට ඇවිල්ලා තිබුනෙ. වෙලාවේ යකෙක් කන්ඩ බඩගින්නත් අපිව වෙරළේ දාලා ගිය තරහත් එක්ක හැමෝම වගේ බත් පිඟන් තුන හතරක් ලේසියන්ම ගිලලා දැම්මා. අපි ගෙනාපු කෑම වගේම අර බව්වාගේ මාමාගේ ගෙදර සන්තකේට තිබ්බ කන්ඩ බොන්ඩ පුලුවන් හැම දෙයක්මත් කාලා දැම්මේ හරියට මේ ලෝකෙන් කෑම හෙට අනිද්දාම තහනං කරන්ඩ හදනවා වගේ හිතලා.අපි දික්වැල්ලෙන් පිටත් වෙනකොට රෑ දහය හමාරට විතර ඇති.   කාලේ මොන හයි වේ ? මාතර, ගාල්ල, කළුතර,හරහා පේරාදෙණියට යන්ඩ තමයි අපේ ප්ලෑන් එක.හෙට උදේට බස් එක පාරේ දුවන්ඩත් ඕන කියල බස් එකේ ඩ්රයිවර් මහත්තයා අපිට කියලයි තිබ්බේ.

හැබැයි රෑ පුරා බස් එලවන එක ලේසි වැඩක් නෙවෙයි.  දවස පුරාමත් වැඩිය පුරුදු නැති පාරවල් වල එළවලා, අපේ නා නා ප්රකාර ඉල්ලීම් අනුව තැන් තැන් වල නවත්තලා, මදිවට අපේ කර්ණ රසායන, මධුර මනෝහර සංගීතයට හොඳ සිහියෙන් සවන් දීලා මිනිහෙක් රෑ තිස්සේ බස් එලවන එක විතරක් නෙවෙයි ජීවත් වෙලා ඉන්න එකත් පුදුමයක්.

මචං ඩ්රයිවර් නින්ද යන්ඩ ඉඩ තියෙනවා. අපි හින්ද ඌත් එක්ක දිගටම කතා කර කර යමු... ඒ යෝජනාව වඩ්ඩාගෙන්. වඩ්ඩා කොහොමත් මොළ කාරයා. දුරදිග හිතන් ෆෙලෝ. අනික ඉතින් අපි එහෙමට හිතන්ඩ මතන්ඩ පුළුවන් තත්වෙක නෙවෙයි හිටියේ. කාලා වැඩි කමට නිදි මතයි.

අපි කෙල්ලෝ ටිකට නිදා ගන්ඩ කියමු. කොල්ලෝ ටික මාරුවෙන් මාරුවට ඩ්‍රයිවර්ට තනි රකිමු. කොන්දටත් ටිකක් නිදා ගන්ඩ  දෙන්ඩ පුළුවන් අපි ඉන්නවානං...එහෙම කිව්වේ නානා. මං ඉස්සෙල්ලත් කිව්වනේ මනුස්සයා නිතරම ගෑණු දරුවෝ ගැන හිතන කෙනා. දරුවෝ කෙසේ වෙතත් ගෑණු ගැන.

ගෑණු ළමයි ටික බස් එකේ එක පැත්තකට වීමත් කොල්ලෝ ටික ඉස්සරහට ඒමත් එක්ක තව පොඩි වාසියක් පහල උනා. ඒ තමයි දවස පුරා ඇඳගෙන හිටපු කලිසම වෙනුවට සරං කොටයක් ඇඳ ගන්ඩ පුළුවන් වීම. අපේ පිළිගත්තු සම්ප්‍රදායක් තිබ්බා ගෑණු ළමයි ඉන්න තැනකට සරං ඇඳගෙන යන්නේ නෑ කියල. ඒ අපේ සහෝදරියන් වෙනුවෙන් තිබ්බ ගෞරවය හිංදා. ඉතින් අපි සුව පහසු සරමට බැස්සා.

ඔන්න ඉතින් අපි ආපහු ගමන පටන් ගත්තා. මුල් තනි රැකීමේ මුරය වඩ්ඩා, නානා, කොබෝ  ඇතුළු පිරිසක් බාරගත්තා. බව්වා මාමාගේ ගෙදර නතර උනේ අපිත් එක්ක ආවා නං අහගන්ඩ වෙන අසමජ්ජාති කතා ටික හින්දම වෙන්ඩ ඇති.

පරයා කරපු වැඩේට ඌව අල්ලගෙන කෑවත් මදි. දැන් අපිට මතක් වෙන්නේ තංගල්ල වෙරළේ අපිට පැය ගානක පරිප්පුවක් කන්ඩ හේතු වෙච්ච බව්වාගේ නොසැලකිලිමත්කම ගැන.

ඕකගේ ගම ගාල්ල නේද? ඒ වඩ්ඩා.

ඔව්. ඔව්. අපි ඉතින් ගාලු කොල්ලො හරිය....අවස්ථාව කුජීත එකක් උනත් නානා ගාල්ලේ අභිමානය තියන්ඩ ඉදිරපත් උනේ බව්වා විතරක් නෙවෙයි ඌත් ගාල්ලේ හිංද වෙන්ඩ ඕන.

අපි යන්නෙත් ගාල්ල හරහා නේද? මොකද කියන්නේ බව්ව කරපු වැඩේට පාඩමක් උගන්නමුද?

එල...එල...ගාල්ල ෆ්ලැට් කරනවද නැත්තං ගාලු කොටුව කඩලා දානවද? කැටාගේ කටින් එහෙම වචන පිට උනාට ඇත්තටම කතා කරන්නේ ගංජා සුරුට්ටුවක් බව අපි දැනගෙන හිටියා. ඒ හිංදා කවුරුවත් ගාලු කොටුව කඩා දැමීමේ ව්‍යාපෘතිය ගැන වැඩිය හිතුවේ නෑ.

මට අන්තිමට මතක සීට් එකක පොඩ්ඩක් ඇලවෙනවා විතරයි.

ඊළඟ කොටසට යන්ඩ කලින් පොඩි පැහැදිලි කිරීමක් කරන්ඩම ඕන. අපේ ෆැකල්ටි එකට ඇතුල් වෙන්ඩ ක්‍රම දෙකක් තියෙනවා. එකක් සාමාන්‍ය විදිහට ඒ ලෙවල් විභාගෙට ලියලා. දෙවෙනි එක කෘෂිකර්මය සම්බන්ධ රාජ්‍ය ආයතනයක දීර්ඝ කාලයක් සේවය කරලා ඊට පස්සේ ඒ අයටම සුවිශේෂ තරඟ විභාගෙකට මූණ දීලා.  විදිහෙන් ආපු හුගක් අය ඒ වෙනකොටත් වයස හතලිහ විතර පාස් කරපු කට්ටිය. අපි වගේ පොඩි උන් නෙවෙයි.  

චට චටාස්...කියපිය කවුද කියල!

ඒ කවුද කවුද ?

චට චටාස්...කියපිය අපිට රෙද්ද උස්සලා පෙන්නපු එකා කවුද කියල? චට චටාස්...

කවුද ඩෝ ගහන්නේ? චට චටාස්...

හදිස්සියේම ඇහැරිලා බලනකොට මට ඇහුනේ ඔන්න ඔය වගේ සද්ද ටිකක්.

එතකොටත් බස් එක නැවතිලයි තිබුනේ.

චට චටාස්...චටාස්....සද්දේ හැටියටනං කවුරු හරි බස් එකේ පහළ ඉඳ ගෙන බස් එකෙන් බහින බහින එකාට ගහනවා.

හැබැයි මේ වෙලාවේ ගුටි කන්ඩ හරි එලියට බහින්ඩ ඕන වෙන්නේ මොකක්ද කියල දැන ගන්ඩ.

අපේ කට්ටියම බය බිරාන්ත වෙලා බලාගෙන ඉන්නවා මිසක් කිසිම කෙනෙකුට අයිඩියා එකක් නෑ මොකද්ද උනේ මොකද්ද වෙන්නේ කියල.

තොපි කොහෙද යන්නේ?

කැම්පස් එකට...චට චටාස්

කොහෙ කැම්පස් එකටද?

පේරාදෙණියේ? චටාස්....චටාස්...

තොපි සිංහලද?

....ඔව්...... චටාස්...චට චටාස්....

එළියේ උං කස ගහන්ඩ පුරුදු වෙනවද මංදා. ඒකත් එල වැඩේ...නුවර පෙරහැරේ කස ගහන කොට මිනිස්සු සල්ලි විසි කරනවා පාරට... එහෙම හරි වැඩිපුර කීයක් හරි හම්බ උනොත් මාසයක් දෙකක් අම්බානට බිව්වහැකි...

මට ඉස්සරහින් හිටියෙ අර ඩිපාර්ට්මන්ට් එකකින් අපිට සම්බන්ධ වෙච්ච තිලකේ අයියා. තිලකේ අයිය බස් එකෙන් බහින කොටම පල්ලෙහා හිටපු එකෙක් දුවගෙන ආවා තිලකේ අයියා ගාවට.

....ගහන්ඩ එපා මේ සර් කෙනෙක්! බස් එකේ දොර ගාව හිටපු ඉහල නිලධාරියෙක් කියල හිතන්ඩ පුළුවන් කෙනෙක් කිව්වා. 

අපිට ගහන කට්ටිය යුනිෆෝර්ම් එකක් ඇඳගෙන ඉන්න බව පෙනුනට මොන යුනිෆෝර්ම් එකක්ද කියල කළුවර හින්දා පැහැදිලිව පේන්නේ නෑ.

ඇයි..ඇයි...මොකද්ද වෙලා තියෙන්නේ? තිලකේ අයියා ඇහුවා.

සර් බලන්ඩ මේ නැහැදිච්ච බැල්ලිගෙ පුතාල අපිට සරම උස්සලා පෙන්නනවා. මුං සිංහල වෙලත් අපිට මෙහෙම කරනවා නං උතුරේ ටෙරාලා අපිට පු...අරියි!! අර ඉහල නිලධාරියා තිලකේ අයියට තමන්ගේ කතාව කියනවා.

අඩු ගානේ දැන් පැහැදිලියි අපිට ගහන උං තිලකේ අයියා අපේ ලෙක්චරර් කෙනෙක් කියල රැවටිලා ඉන්න බව....

බැහැපියව් තොපි ඔක්කොම බිමට...අපිට සරම උස්සලා පෙන්නපු එකා කියනකල් එකෙකුට වත් යන්ඩ දෙන්නේ නෑ.

කවුද මචං සරම උස්සල පෙන්නුවේ මුන්ට? මම රහසෙන් ඇහුවේ ළඟ හිටපු නානාගෙන්.

දන්නේ නෑ මචං. මුං නේවි එක නේද?

වගේ...හරියටම පේන්නේ නෑනේ...

මං හිතන්නේ මේ ගාල්ලේ නේවි බේස් එකේ උං. ගාල්ල ගම වෙච්ච නානා කිව්වා.

යකෝ මේ කෙල්ලොත් ඉන්න බස් එකේ හෙළුවෙන් නටපු පාහරයා කවුද කියපියව්! අර ලොක්කා ගෝරනාඩු දෙනවා.

අපි දන්නේ නෑ සර්...අපි නිදාගෙන හිටියේ...නානා කතාව පටන් ගත්තා

එතකොට ඩ්රයිවර් ෆුට් බෝඩ් එකේ ඉඳන් අපිට සරම උස්සලා පෙන්නුවේ?

වෙන්ඩ බෑ...මේ බස් එකේ නයිට් රයිඩර් කාර් එක වගේ එකක් නෙවෙයි නේ! කැටා.

මොකද්ද තෝ කිව්වේ?

න්...නෑ...සර්...අපි ඔක්කොම නිදාගෙන හිටියේ මොකක් උනාද කියල අපි දන්නේ නෑ...නානා තැනට හරියන විදිහට ටෝක් එක දෙනවා.

පාහර බල්ලෝ...තොපි කියන්නේ නෑ නේ කවුද මේ වැඩේ කලේ කියල. ගනිව් තොපේ බෑග් ඔක්කොම එලියට.....

විනාඩි දහයක් විතර හොයලත් සරම උස්සපු එකා හොයාගන්ඩ බැරි තැන අර නේවි ලොක්කා කිව්වා. තවත් විනාඩි දහයක් විතර යනකොට අපේ ඔක්කොම බෑග් ටික බස් එකෙන් එලියට ගත්තා.

තොපි ඔහොම්මම වරෙව් පාර දිගේ ඉස්සරහට පයින්. අපි බලාගන්නං ඉතුරු ටික...එහෙම කියපු නේවි සෙට් එක අපි ළඟ  නවත්තලා බස් එකට නැගලා ඩ්රයිවර්ටයි කොන්දොස්තරටයි බස් එකේම ඉස්සරහට යන්ඩ කිව්වා.

අපි ඔක්කොම ගාලු ටවුන් එකේ මහ පාරේ පයින් ගමනේ යා!!!

වෙනකොට වෙලාව හරියටම රෑ දොළහයි!! කවුරුවත් රා දොළහට ගාල්ලේ ටවුන් එක පුරා සරමකත් ඇඳගෙන රෙදි බෑග් එකක් කරේ එල්ලගෙන සමූහ සංචාරයක ගිහිං තියෙනවද? නෑ...නේ... සැප මොකද්ද කියල ලියන්ඩ වචන නෑ බොස්.

අයි බං නේවි එකෙන් අපිට ගැහුවේ? අහපු එකා කවුද කියල මතක නෑ...

ඇයි තොපි මූදේ නාලා එතැන තිබ්බ බෝට්ටුවෙන් මූද මැද්දට ගියේ? කැටා අරූට උත්තර දෙනවා.

අපි? කොහෙද යකෝ බෝට්ටු පැද්දේ?

යකෝ නැත්තං නේවි එකට අහු උනේ කොහොමද?නේවි එක ඉන්නේ මූදේ. අපි හිටියේ ගොඩ. තොපි තමයි මම එපා කියද්දී මූදට ගියේ...පේනවනේ වෙච්ච දේ!!!

හපොයි දෙයියනේ කැටාගේ ගංජා සුරුට්ටුව.. හිතාගෙන ඉන්නේ අපි මූදට ගිහින් හින්ද තමයි නෙවි එකෙන් අල්ලලා තියෙන්නේ කියල.  

අපි පයින් යන ගමන් නානා වෙච්ච සිද්දිය කිව්වා.

ගාල්ල ටවුන් එකට කිට්ටු වෙනකොට වඩ්ඩට චූ බරක් හැදිලා. බව්වා එක්ක තරහට ගාල්ලට මොනවහරි මතක හිටින පාඩමක් උගන්නන්ඩ ප්ලෑන් කර කර හිටපු ඌට මතක් වෙලා මේ රෑ දෙගොඩ හරි ජාමේ සෙනග කවුරුවත් නැති එකේ ගාල්ල ටවුන් එකටම චූ කරගෙන යන්ඩ පුළුවන් නේද කියල. ගෑල්ලමයි ටික බස් එකේ පිටි පස්සේ හිංදා කිසි අවුලක් නෑ. බස් එකේ ෆුට් බෝඩ් එකේ පල්ලෙහාම පඩියට බැහැපු වඩ්ඩා සරම උස්සලා චූ කරන්ඩ පටන් අරං. බස් එක යනවා. මූ චූ කරනවා. ගාල්ලේ පාර දිගට චූ..!!!

අපේ අවාසනාවට ඔය වෙලාවේ කඩේක තේ බිබී හිටපු නේවි සෙට් එකක් මේ මහ රෑ කඩාගෙන යන බස් එක මොකද්ද බලන්ඩ ටෝච් එළියක් අල්ලලා. කොච්චර සුන්දර දසුනක්ද අය දැකලා තියෙන්නේ!! දැකපු අවයවවල දිග පළලේ හැටියට ගිනි කන වැටිලද කොහෙද අර සෙට් එක හිතාගෙන ඉන්නේ කවුරු හරි එකෙක් නේවි එක ඉන්නවා දැකලා සරම උස්සලා පස්ස පැත්ත පෙන්නුවා කියල.

කොහොමින් කොහොම හරි අපි ගාල්ලේ පරණ ක්රිකට් ග්රවුන්ඩ් එක ගාවට ආවා. බස් එක එතැන් තිබ්බත් ඩ්රයිවර්ටයි කොන්දොස්තරටයි බඹරු ඇනලා වෙනකොට. කම්මුල් දෙකම රතු වෙලා. ඉදිමිලා. කොහොම උනත් උත්තමයෝ දෙන්න ෆුට් බෝඩ් එකේ හිටපු අපේ බැචා දැකපු නැති බව දිවුරලා කියපු හිංදා අපි එකෙක්වත් අඩු නැතුව ආපහු බස් එකට නැග්ගා.

මචං අපි මේ කතාව කාටවත් කියන්නේ නැතුව ඉම්මු ...නානා ඉල්ලීමක් කරේ මුළු බැච් එකේම නම්බුව ගැන හිතලා.

හරි හරි මචං...මෙව්වා අපි කාටවත් කියන්නේ නෑ...අපි ඔක්කොම පොරොන්දු උනා.

කාලේ සුමනා ගෝමස් රඟපාපු ෆිල්ම් එකක් තිබ්බා සළුපට අහසට කියල. අපි පොරොන්දු උනේ වඩ්ඩ චූ කරපු කතාව කියන්නේ නෑ කියලනේ. නැතුව රෙද්ද උස්සපු කතාව නෙවෙයි නේ. ඉතින් මේ සම්පූර්ණ සිද්ධියම දවස් දෙක තුනක් යනකොට මුළු කැම්පස් එකම වගේ දැන ගත්තා. රෙද්ද ඉස්සුවා රෙද්ද ඉස්සුවා කියන එක අසභ් හිංදා අපි අර ෆිල්ම් එකේ නම කොපි කරා. එදා ඉඳන් අද වෙනකල්ම සළුපට අහසට කිව්වා නං අපේ බැච් එකේ ඕන එකෙක් වෙච්ච වැඩේ දන්නවා ආයිබොවන්.

 

තවද එසමයෙහි නානා නම් අද දකුණු ලක ප්රත්යන්ත දේශයක ප්රධාන පරිපාලන නිලධාරියෙකි. දකුණු ලක අගනගරයටම සුළු දිය බාන්නෙමියි වහසිබස් දොඩා මුළු කණ්ඩායමම නාවික හමුදා අඩස්සියට පත්කළ වඩ්ඩා අද සුපසිඳු සරසවි මහැදුරෙකි. හෝමර් ගේ ඔඩිසි පරදවන අපේ බැච් ට්රිප් නම් මේ මහා වීර කාව්යය අනාගත හුදී ජන පහන් සංවේගය සඳහා මෙසේ ග්රන්ථාරූඩ කළ මම කට්ටකාඩුවේ ලොකු මල්ලී වම්හ.

 

පසු වදන

සියලු දෙනා තාලයට ගයයි...

 

දකුනු ලකේ අග නගරේ...

ගාලු පුරේ සිරි...

කෙසේ කියම්දෝ ගාලු සිරි වනම්දෝ...//

 

සරමට අස්සෙන් ඇදගත් ගැජට් පෙනෙන්නේ

මූණ පුරා ගුටි කෑ සලකුණුයි දකින්නේ

මූදු සුළං විඳිමින් මහ ගනදුරු යාමේ

ගාලු ටවුම මැද අපි ගිය පාර පෙනෙන්නේ 

 

දකුනු ලකේ අග නගරේ...

 

ගීතයේ ඉතිරි කොටස් ප්රසිද්ධ ප්රදර්ශනය සඳහා නුසුදුසු බව නිසි බලධරයා විසින් තීරණය කරණ ලදී.

21 comments:

  1. මේක නං මරු කතාව බං. කරපු එකා නේවි එකට අහුවුණා නං අර ගැජට් එක කපල දායි නේද?

    ReplyDelete
  2. ඇයි යකඩෝ...! මේකට තමයි ස්වයං චාටර් කිරීම කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්වයං මොකක් කිව්වා....ආ...චාටර් කිරීම....මං හිතුවා වෙන මොකක් හරි කියල.... එදා නං චාටර් කිරීමට වඩා පොඩි බයක් ඇති උනේ මේ අහිංසක පුංචි හදවත් වලට....ඕ යේස්...

      Delete
  3. ුඈ බං ලොකු මලයෝ උඹලා මාතර ඉදන් ගාල්ලට ගියාද නැත්නම් හික්කඩුවේ ඉදන් මාතර ගියාද?
    මොකද මාතර ඉදන් එනකොට ගාල්ල ටවුම පාස්කොරාම නොවැ සමනල පාලම අහුවෙන්නේ. ඊට පස්සේ ධර්මපාල පාක් එක. ඒ හරියේ කොහේද තේ කඩ? එක්කෝ බස් එක ගාලු කොටුව වටේ හරි බස් ස්ටැන්ඩ් එකේ වටයක් හරි කැරකුනා වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. පොඩි පටලැවිල්ලක්...මම හදන්නං...අපි පහු කරේ සමනළ පාලම නෙවෙයි වෙන පාලමක් වෙන්ඩ ඇති...එය මගේ නොව මගේ සිතේ වැරැද්දකි...පස්වාන් දහසකට සමාව භජනය කරන සේක්වා!!

      Delete
  4. නේවි එකේ මහත්තුරු හොයන්න ඇත්තේ ටෝච් එක ගැහුවම දැකපු මී වදේ!

    ReplyDelete
    Replies
    1. අහු උනා නං මී වදේ පිලව් වත් ඉතුරු කරන්නේ නැතිවෙයි...අප්පේ එහෙම උනා නං උගේ පරම්පරාවත් ඉවරවෙනවා ...සංදුක්කාරේ!!!

      Delete
  5. ඔව්වා ආතල් සිද්දි අපිත් කම්පස් ඉන්න කාලේ ඔය වගේ දේවල් උනා

    ReplyDelete
    Replies
    1. කැම්පස් එකේ ඉද්දි ඔහොම දේවල් නොවුනා නං තමා පුදුම නේද 'අපි තොපි' තුමා??!!

      Delete
  6. කමිය ඔතන හිටියද?

    ReplyDelete
    Replies
    1. @ඉයන්, එතකොට කමියද වඩ්ඩගෙ ගැජට් එකට ටෝච් එක ඇල්ලුවෙ.

      Delete
  7. බිල බස් එකේ foot board එකේ ඉදන් බිමට වැටෙන්නෙ නැතුව ඔය වැඩේ කලාට ඌට සම්මානයක් දුන්නෙ නැ‍ද‍් ද?

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවේ බීලා හිටියේ නෑ අපි කවුරුවත්...එහෙමට කොහෙද සල්ලි දවස් තුනක් එක දිගට සිහි නැති වෙනකල් බොන්ඩ? අනික බැරි වෙලාවත් බීලා හිටියනං නේවි එකේ අර රත්තරං මහත්තුරු ටික අපිව පොලිස් බාප්පලාට බාර දෙනවා ෂුවර්....

      Delete
  8. හැක් ඔයින් ගියා මදැයි. නැත්තං අරූට පරම්පරා කුට්ටම ගාල්ලෙ තියල තමයි කැම්පස් එකට එන්න වෙන්නෙ.

    ReplyDelete
  9. බලාගෙන ගියාම මම ඉස්සෙල්ල කොටස් දෙක කියෝල නෑනෙ හිටං. ඔන්න ඒ දෙකත් කියෝලම ආව. මම හිතන්නෙ උඹල ඉස්කාගාර සංස්ථාවයි, තනමල්විලින් ඉඩං කෑල්ලකුයිත් බස් එකේ දාගෙන ගිහිල්ලද කොහෙද?

    ReplyDelete
  10. වඩුගේ අයියය කියල කිහිප දෙනක් ගැනම දන්නවා. ඔතනින් මොන එකාද කියල තමයි හොයා ගන්න ඕනේ. මොකද බං මේ කැම්පස් කතාවල හුජ්ජ කරන ඒවාම වැඩිපුර තියෙන්නේ, ඇහුවොත් ඔහොම එකක්.

    ReplyDelete