Sunday, December 30, 2018

මයිකල්

ලඟදි දවසක බස් එකේ ටවුමට ගියා තනියම. එහෙම ගියාම වැඩිපුර වෙලාවක් ටවුමේ ගත කරන්ඩ පුළුවන්. වෙනදා වගේ කාර් එක පාක් කරන්නේ කොහෙද කියල හිත හිතා ටවුමට යනවට වඩා හිත හරිම නිදහස් මෙහෙම ගියාම.

කාලෙකට පස්සේ ටවුමට ගියාම අපි කොච්චර වයසට ගිහිල්ලද කියල හිතෙනවා. ඉස්සර තිබ්බ දන්නා අඳුනන මූණු වෙනුවට හරියට අපි අගහරු ලෝකෙන් ආවා වගේ නුහුරු නුපුරුදු මූණු වලින් පිරිච්ච පාරවල්, බස් හෝල්ට්, කඩ, ස්වීප් විකුණන මිනිස්සු, පොළ, පොලේ තියන එළවලු....මේ හැම දෙයක්ම වෙනස් වෙලා තියන බව තේරෙනවා. ඒ විතරක් නං බැරියැ ටවුමේ තියන ගොඩනැගිලි වල පාට පවා සම්පූර්ණයෙම්ම වෙනස්. කාණු වලින් එන ගඳ පවා වෙනස්! ඉස්සර ආපු මඩ කුණු වෙච්ච ගඳ දැන් නෑ. ඒ වෙනුවට තියෙන්නේ ඩීසල් දුම වතුරෙන් දිය කරලා ගත්තා වගේ දැනෙන ගඳක්. ඒක එහෙම වෙන්ඩ එපෑ. ඉස්සර තිබ්බේ ලංගම බස් තුන හතරකුයි, සීට් විසි හයේ රෝස බස් පහ හයකුයි මුළු බස් ස්ටෑන්ඩ් එකටම. අනික්වා ඔක්කොම හුණ්ඩු වෑන්. දන්නවනේ අර සීට් දොළහේ වෑන්. දැන් එහෙමද තට්ටු දෙක තුනකට බස් ස්ටෑන්ඩ් එක හැදුවත් පාක් කර ගන්ඩ මදි වෙන තරමට බස් පිරිලා. මෙච්චර සෙනග කන්දරාවක් කොහෙන් පාත් උනාද කියල හිතෙනවා. ඉස්සර තිබ්බ ඔතෑනි, කොළ පාට ටවුම දැන් හරි කාර්ය බහුලයි. දුඹුරු පාටයි. හැමෝම හරි හදිස්සියකින් එහෙ මෙහෙ යනවා. හරියට මුළු ලෝකෙම පවතින්නේ ඒ අය ඉක්මනට ගමන් කරන හින්ද කියල හිතාගෙන වගේ.



ඔන්න මට තව ඩිංගෙන් අමතක වෙන්ඩයි ගියේ. ටවුමේ තිබ්බ බිල්ඩින්. ඉස්සර තිබ්බ දිස්නා ස්ටුඩියෝ එක දැන් නෑ. මට අමතක උනා ඒ බිල්ඩිමට ගිනි තිබ්බේ 22001 දී ජාති ආලේ උත්සන්න වෙච්ච වෙලාවෙදි නේ. සහලෝලා ජාති ආල උණ ගැනිච්ච ඒ කාලේ වෙච්ච දේවල් මතක තියෙන්නෙත් අපි වගේ එලොවටත් නැති මෙලොවටත් නැති අබග්ගයන්ටම විතරක් වෙන්ඩ ඇති. දිස්නා ස්ටුඩියෝ එක සිංහලයෙක්ගේ උනාට බිල්ඩිම මුස්ලිම් මිනිහෙක්ගේ. එතන යට හිටියා ටේලර් කෙනෙක්. මනුස්සයත් සිංහල. එහෙම කියල කොහොමද ඩෝ ජාති ආලේ වැඩි උනාම බිල්ඩිම අත අරින්නේ? අපේ උන්දැලා එක්කහු වෙලා ගිනි තිබ්බා ඒ බිල්ඩිමට. අර මුස්ලිම් මනුස්සයට වන්දි හම්බ උනා. කවුද කිව්වා අරාබියෙන් වෙනම ගානක් ගෙව්වා කියල. හැබැයි කුලියට තම තමුන්ගේ කඩ සාප්පු අර බිල්ඩිමේ පවත්තගෙන ගිය කාටවත් සතයක් වත් නෑ. දිස්නා ස්ටුඩියෝ එකේ අයිතිකාර මහත්තයා රැකියා විරහිතයෙක් වෙලා ඒ ගැන හිතලම වැඩිපුර බීලා ඉක්මනට එලොව ගියා. අපේ අප්පච්චිගේ යාලුවෙක්. අර ටේලර් මහත්තයා ගේ රස්සාවටත් සොරි ඩොට් කොම්. එයත් අපේ අප්පච්චිගේ හොඳ යාලුවෙක්. ඉතින් දෙන්නගෙම කතාව මම හොඳට දන්නවා. මට තාම හිතා ගන්ඩ බැරි එදා බිල්ඩිම ගිනි තියපු උන් අද මොනවා හිතනවා ඇද්ද කියල. ගිනි තිබ්බේ මුස්ලිම් මිනිහෙක්ගේ බිල්ඩිමට. පිච්චුනේ සිංහල ජීවිත. හොදයි අපි සිංහල මිනිස්සු ගැන අමතක කරමු. දැන් ඒ බිල්ඩිම ගිනි තිබ්බා කියල මොනවද අර උණ ලෙඩ්ඩුන්ට ලැබුනේ?

ඔන්න ඔය ගැන හිත හිතා ඉන්න කොට මතක් උනා එතෙන්ට මෙහායින් බස් ස්ටෑන්ඩ් එකේ හිටපු බුලත් විකුණන දෙමල මුදලාලි. මට නම මතක් නෑ නේ. ආ...මයිකල්...නෑ... නෑ ...ඒ මුදලාලිගේ නම නෙවෙයි. එතනම හිටගෙන හිටපු හිගන මනුස්සයා. එයා තමයි මයිකල්. බස් එක හිමින් හිමින්  ගාටන්ඩ පටන් ගත්තා. ගෙදට යන්ඩ තව පැයක් වත් යයි.  ඒ අතරේ කියන්ඩද මයිකල් ගේ කතාව?
මයිකල්ට පිස්සු කියල තමයි හැමෝම කිව්වේ. හැබැයි මට නං එහෙම පිස්සුවක් තේරුනේ නෑ. සමහර විට ඒ මටත් පිස්සු හින්ද වෙන්ඩ ඇති. මයිකල්ට පිස්සු උනත් නැතත් මනුස්සයා හිගන්නෙක්. අනුන්ගෙන් ඉල්ලගෙන ජීවත් වෙන කවුරුත් හිගන්නෝ. හැබැයි අපි දන්නේ හුගක් හිගන්නන්ට වඩා මයිකල් වෙනස්. ඒ මයිකල් 'මේ ලෝකේ ඉන්න හොදම ළමයා' හිංදා.

ඔන්න මයිකල් නගිනවා බස් එකකට. වම් අත නවා ගන්නවා. දැන් හරියට මයික් එකක් අල්ලාගෙන ඉන්නවා වගේ.

අ......අ........මම තමයි........ මේ ලෝකේ ඉන්න හොඳම ළමයා....මෙතන කවුරුවත් ඉන්නවද එහෙම නෑ කියන්ඩ පුළුවන්.....න්.....නෑ....ඒ මොකද මම තමයි ලෝකේ හොඳම ළමයා....හැබැයි මට අද උදේට කන්ඩවත් දවල්ට කන්ඩවත් සල්ලි නෑ....කැමති නං කීයක් හරි දෙන්ඩ....මම තමයි....මේ ලෝ......කෙම්ම ඉන්න හොඳම ළමයා!

ඊට පස්සේ මයිකල් බස් එකේ කොනට ඇවිදගෙන යනවා. ආපහු ඉස්සරහා දොර ගාවට එනවා. කවුරු දුන්නත් නොදුන්නත් මයිකල්ගේ හිතේ තරහක් නෑ. දුන්න කියල සතුටකුත්, නොදුන්නා කියල දුකකුත් නෑ. ඒ කාලේ හිගන්නෙකුට වැඩියෙම්ම දෙන්නේ රුපියල් පහක් විතර. ඉතිං මයිකල් ගැන දන්නා මිනිස්සු මයිකල්ට සල්ලි දෙනවා. අනිත් මිනිස්සු දෙන්නේ නෑ. ඇයි මයිකල් ගාව දුක හිතෙන කතා, හොටු පෙරා ගත්තු ළමයි, ජොරු බහින තුවාල, වෙන විකාර රූපී හැසිරීම් මොනවත් නැති හිංදා. මනුස්සයා පිස්සෙක් විදිහටවත් හිගන්නෙක් විදිහටවත් හරියට සුදුසුකම් ලබන්නේ නැති හිංදා.

ඔන්න මයිකල් ඊළඟ බස් එකට යනවා....

වම් අත නවා ගන්නවා. දැන් හරියට මයික් එකක් අල්ලාගෙන ඉන්නවා වගේ.

අ......අ........මම තමයි........ මේ ලෝකේ ඉන්න හොඳම ළමයා....

මයිකල් මෙහෙම බස් වලට ඇවිල්ලා සල්ලි ඉල්ලන්නේ පැයක් දෙකක් විතරයි. එදා දවසට ජීවත් වෙන්ඩ - ඒ කියන්නේ උදේට, දවල්ට, රෑට කන්ඩ- සල්ලි හම්බ උනාම මයිකල් සල්ලි ඉල්ලන වැඩේ නවත්තනවා. එතනින් පස්සේ මා ඔයට ගිහින් නාලා ඇවිත් ටවුමේ හිටගෙන ඉන්නවා. දන්නා කෙනෙක් හම්බ උනොත් කතා කරනවා.

ඔහොම ටික දවසක් යනකොට ටවුම දිනපතා පරිභෝජනයට ගත්තු අපි කීප දෙනෙක් එක්ක මයිකල් පොඩි යාලු කමක් ඇති කරගත්තා. අතේ තිබ්බ විදිහට කීයක් හරි දුන්නොත් මයිකල් ඒක ගන්නවා. හැබැයි කවදාවත් ඉල්ලන්නේ නෑ. ඒ වෙලාවෙත් කියන්නේ මම තමයි ලෝකෙ ඉන්න හොදම ළමයා කියල විතරයි.

ඔය කියන කාලේ ටවුම මැද්දේ බස් ස්ටෑන්ඩ් එකක් තිබ්බා. මිනිස්සු වැස්සට අව්වට බේරිලා හිටියේ ඔය බස් ස්ටෑන්ඩ් එක ඇතුලට ගිහිං. ඒක ටිකක් නෙවෙයි හොඳටම වගේ අබලන් වෙලයි තිබුනේ. රෑට හිගන මිනිස්සුන්ගේ නවාතැන උනෙත් මේ බස් ස්ටෑන්ඩ් එක. ඒ එක්කම පාන්දරට බස් ස්ටෑන්ඩ් එක පාවිච්චි කරන්ඩ අමාරු වෙන විදිහට ඒ හිගන මිනිස්සු නිදාගෙන ඉන්න එකත් හැමදාම වෙච්ච දෙයක්. වැඩියක්ම උදේම බස් ස්ටෑන්ඩ් එකට එන ඉස්කෝල ළමයින්, ගුරුවරු, වැඩට යන  හුග දෙනෙක් මේ හිගන කරදරෙන් පීඩා වින්දා.
ලෝකේ හොදම ළමයා වෙච්ච මයිකල්ට මේ වැඩේ ඇල්ලුවේ නෑ. ඒ හින්දම මනුස්සයාගේ කතාවට අලුත් වාක්‍යයක් එක්කහු උනා.

මම තමයි ලෝකේ ඉන්න හොදම ළමයා...මේ ටවුමේ ඉන්න අනිත් අය වගේ නෙවෙයි. මම බස් ස්ටෑන්ඩ් එකේ නිදා ගන්නේ නෑ. එතන කැත කරන්නෙත් නෑ. හැබැයි මට උදේට කන්ඩවත් දවල්ට කන්ඩවත් සල්ලි නෑ......

ඔහොම දවස් කීපයක් ගතවෙලා ගියා.

දවසක් මම උදේ කොළඹ යන දුර ගමන් සේවා බස් නවත්තන බස් හෝල්ට් එකේ උදේ පාන්දරම ඉන්නවා. වෙලාව උදේ හතර හමාරට විතර ඇති. මෙන්න කඩමාලු පොදියකුත් උස්සගත්තු හිගන්නෙක් හුරේ රන් එකක් දෙනවා. බස් ස්ටෑන්ඩ් එක පැත්තේ ඉඳන්. ඊට පිටිපස්සෙන් හිගන ගෑණු කෙනෙක් රෙද්ද කරට අරං දුවගෙන එනවා අර වගේම වැරහැලි බඩු පොදියකුත් උස්සගෙන.  මට විතරක් නෙවෙයි බස් හෝල්ට් එකේ හිටපු කාටවත් හිතා ගන්ඩ බැරි උනා මේ මොකද්ද වෙන්නේ කියල. විනාඩියක් ගියේ නෑ ලොකු දර පොල්ලකුත් උස්සගෙන මයිකල් එනවා කාල් ලුවිස් වගේ. බැලින්නං මනුස්සයා බස් ස්ටෑන්ඩ් එකෙන් හිගන්නෝ එලවන ඔපරේෂන් එකක් පටන් අරගෙන !!!.

මට පස්සේ ආරංචි වෙච්ච විදිහට මයිකල් සතියක් විතර යනකල් බස් ස්ටෑන්ඩ් එකේ හිටපු හිගන්නන්ට උදේම ගහලා පන්නලා.  හිගන්නෝ විරුද්ධ උනත් මයිකල් අතේ තිබ්බ දර පොල්ල ඒ විරුද්ධවාදීකම් වලට වඩා හයිය හිංදා හිගන්නන්ට උනේ පහුබැහැලා  යන්ඩ.

ටික දවසකින් මයිකල් බස් ස්ටෑන්ඩ් එකේ වැඩි ආරක්ෂාවට ඒකෙම පදිංචි උනා. දැන් හිගන්නෝ බස් ස්ටෑන්ඩ් එකේ රෑට නිදා ගන්නේ නෑ. මිනිස්සුන්ට කරදරේකුත් නෑ. මයිකල් උදේම බස් ස්ටෑන්ඩ් එක අතු පතු ගාලා පිරිසිදුවට තියා ගන්න හිංදා බස් ස්ටෑන්ඩ් එක ප්‍රසන්න තැනක් බවට පත් උනා. මිනිස්සු ද වැඩිපුර සල්ලි දෙනවා මයිකල්ට. ඒ හින්දම මයිකල් හිගාකන වෙලාව හරිම අඩු උනා. සමහර දවස්වල මයිකල් හිගා කෑවෙම නෑ. මොකද මයිකල් ගේ යාළුවො දෙන සල්ලි ඇති තුන් වේල කන්ඩ. ඉතින් මොකටද අය හිගා කන්නේ?

මිනිස්සු හරි සතුටෙන් මයිකල් ගැන කතා කළා.

අපේ ප්‍රාදේශීය සභාවට වඩා වැඩක් මේ මයිකල් කරනවා. ඇත්තටම මිනිහ මේ ලෝකෙ ඉන්න හොදම ළමයෙක් තමයි!!

හැබැයි අනිත් හිගන්නන්ට නං මයිකල්ව පෙන්නන්ඩ බෑ. එක හිගන්නෙක් මයිකල්ට කළුතෙල් පාරක් ගැහුවා. තව පාරක් මයිකල් නිදා ගෙන ඉන්න තැනට චූ කළා. හැබැයි එව්වයින් සැලුනේ මයිකල් නෙවෙයි. වෙනද හිගන්නුන් බය කරන්ඩ පොල්ලක් අරන් පන්නන මයිකල් දැන් ටිකක් ලොකු ගල් කෑලි වලින් ගහන්ඩත් පටන් ගත්තා. ඉස්සර රෑට විතරක් සීමා උන මයිකල් ගේ ඔපරේෂන් ටිකෙන් ටික දවල්ටත් පටන් ගත්තා. මිනිස්සු වැඩිපුර මයිකල්ට සල්ලි දුන්නා. ලෝකේ හොඳම ළමයා ටවුමේ වීරයෙක් උනා.

ඔහොම දවස් කීපයක් යනකොට මයිකල් ගේ පොලු පාරවල් වැදිච්ච හිගන්නෝ පෝලිමේ ඉස්පිරිතාලෙට එන්ඩ පටන් ගත්තා. ඉස්පිරිතාලේ දොස්තරට පුළුවන් බේත් දාන්ඩ විතරයි. පොලිසිස්යට කියන්ඩ ඕන හිගන්නෝ. පොලිසිය හිගන්නන්ව එලව ගන්නවා. ඒ හින්ද හිගන්නෝ බයයි පොලිසියට යන්ඩ. ඉතින් ටිකෙන් ටික ටවුමේ 'හිගන කරදරේ' අඩු උනා.

වෙනද මයිකල් ට සතයක් දුන්නේ නැති මිනිස්සු රුපියල් දහය විස්ස දෙන්ඩ පටන් ගත්තා. ඒ කාලේ රුපියල් විස්සක් කියන්නේ අද කාලේ රුපියල් සීයක් විතර වටිනාකමක් තියෙනවා.

ටවුමේ ජනප්‍රියම චරිතේ වෙච්ච මයිකල් ගැන මගේ යාලුවෙක් දවසක් හරි පුදුම හිතෙන කතාවක් කිව්වා. ඌ දන්නවා මමත් මයිකල් අනුගාමිකයෙක් කියල.

මේ උඹේ මයිකල් මාර චරිතයක් නේ!

හ්ම්....මනුස්සය මාර චරිතයක් නේන්නං. නැත්තං පොලිසියට නවත්තන්ඩ බැරිවෙච්ච හිගන කරදරේ එක මිනිහෙක් හින්ද නැවතුනේ කොහොමද?

එක නෙවෙයි මචං මම කිව්වේ. මේ ලඟදි මම උදේ බස් ස්ටෑන්ඩ් එකට ගියා ඇඹිලිපිටිය බස් එකට යන්ඩ.

ඉතිං?

මෙන්න මයිකලය බස් ස්ටෑන්ඩ් එකේ රෙනවා!

මොකා?

මයිකල් බං මයිකල්..අර හොදම ලමයා...උඹලගේ වීරයා!!!

නෑ වෙන්ඩ බෑ...මයිකල් තමයි ස්ටෑන්ඩ් එක අතු ගාන්නේ...එහෙව් එකා ඒකෙ රෙයිද?

මගේ ඇස දෙකෙම්ම දැක්ක දේ උඹ බොරු කියන්නේ කොහොමද?

මගේ කන් දෙක අදහා ගන්ඩ බැරි උනා මේ කියපු කතාවට. මට මතක් උනේ හිට්ලර්ව. මනුස්සය පළමුවෙනි ලෝක යුද්ධෙන් නැති වෙලා හිටපු ජර්මන් කාරයෝ නැගිට්ටෙව්වා. යුරෝපයේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම පිළිගන්න ජාතියක් බවට පත් කළා. හැබැයි මනුස්සයා යුදෙව් ජාතිකයන් අමු අමුවේ මරල දැම්මා. අන්තිමට ජර්මන් කාරයන්ව දෙවෙනි ලෝක යුද්දෙට ඇදලා දාලා මුළු ලෝකෙම විනාශයේ කට ලඟට ගෙනාවා. එහෙම චරිත මහා පරිමානෙන් නැති උනත් මයිකල් වගේ සුළු පරිමාණ විදිහට හරි බිහි වෙන්ඩ පුළුවන් නේද කියල මට හිතෙන්ඩ පටන් ගත්තා. ටික දවසක් යනකොට මගේ යාලුවා කියපු ආරංචිය ඇත්ත බවට තහවුරු වෙන තවත් ආරංචි ලැබෙන්ඩ පටන් ගත්තා.

ඒත් එක්කම දවසක මයිකල් ව ජීප් එකක දාගෙන අරන් ගිහින් කියන ආරංචිය ආවා. එදාට පස්සේ අද වෙනකල් ටවුමේදී මයිකල් ව දැකපු කෙනෙක් නෑ. මයිකල් අතුරුදහන්!!!

මිනිහෙකුට එක පාරට අතුරුදහන් වෙනද පුලුවන්ද? කවුරු හරි මයිකල් ව මැරුවද? නැත්තං මයිකල් කියන්නේ පිස්සෙක් නෙවෙයිද? මයිකල් වෙන විදිහකට වෙන තැනක තාමත් ඉන්නවද? මේවට හරි උත්තර මම දන්නේ නෑ.

මයිකල් අදත් ජීවතුන් අතර නං ඒ කවුරු වගේ වෙන්න පුලුවන්ද?
මේ ලෝකේ ඉන්න හොඳම ළමයා තමුන් යැයි හිතා ගෙන ඉන්න වැඩිහිටියෙක්... තමුන්ගෙ මානසික රෝගී බව තියෙද්දිම ලෝකෙ ඉන්න වැඩදායක කෙනෙක් විදිහට අනිත් මිනිස්සුන්ට ඒත්තු ගන්නන්ඩ පුලුවන් වෙච්ච මනුස්සයෙක්….එක වෙලාවකදි චන්දෙ ඉල්ලුවනං පලාතේ නායකත්වයට පත් වෙන්ඩ තරං ජනප්‍රිය චරිතයක් ගොඩ නගා ගත්තු නන්නාදුනන චරිතයක්... තමනුත් අයිති වෙන පන්තියට පන්න පන්නා පහර දෙමින් වීරයෙක් වෙන්ඩ හදන පුද්ගලයෙක්.....අනිත් ඔක්කොම පන්නලා පිරිසිදුවට තියා ගන්ඩ ඕන තැනක මලපහ කරන කෙනෙක්....තමන් කරන ජරා වැඩේ මිනිස්සුන්ට මාට්ටු වෙච්ච ගමන් අතුරුදහන් වෙන කෙනෙක්............

ෂර්ලොක් හොල්ම්ස් කියන්නේ තර්කයට අනුකූලයි නම් කොච්චර වෙන්ඩ බෑ කියල හිතුනත් ඇත්ත ඒක තමයි කියල. ඉතින් කාට හරි හිතනවා නං මයිකල් අපේ රටේ ලොකු පුටුවක් ඉන්න කෙනෙක් කියල මම නෑ කියන්නේ නෑ.

ගිහින් එන්නං..
2019 සුභ අලුත් අවුරුද්දක් වේවා!!

20 comments:

  1. අපේ මේ අමුතු ඇටේ හරිද, මේකෙ මුස්ලිම් උන්ට ඉඩ නෑ හරිද, බිල්ඩින් නෙවෙයි මාළිගා හැදුවත් ගිනි තියනවා අපි එහෙමයි. මුස්ලිම් උන්ට දෙන්ඩ ආවොත් ඔන්න ඉතින් ලොකු මල්ලිටත් අබ සරණයි.

    ReplyDelete
    Replies
    1. අනේ හැලප තුමා අපිව බේරලා අල්ලපු ගෙදර ගිනිතියන්ඩ. අපි හරි හොදයි ඒ මිනිස්සු තමයි කසඩ...

      Delete
  2. තාම අතුරුදහන් වෙලා නැති නිසා මෛත්‍රීට ගැලපෙන්නේ නැහැ. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ආ...මට කියන්ඩ බැරි උනා මයිකල් වැඩිහිටියෙක්...තොත්ත බබෙක් නෙවෙයි....

      Delete
    2. ඒක කථාවටත් වඩා මරු

      Delete
  3. මෛකල්.. මරු පොර😂

    ReplyDelete
    Replies
    1. ලෝකෙම්ම හොදම ලමය වෙච්ච එකේ මරු පොරක්ම වෙන්ඩ එපෑ නේද අමිල තුමා?

      Delete
  4. ගොඩක් උන් දන්නෙ ඉන්න තැනම රෙන්න තමයි
    2019 ලොකු මලයාට නිරෝගීමත් නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ඉන්න තැන ගද නොගස්සන මිනිසුන් හම්බ වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් ඔබතුමාට....

      Delete
  5. ලංකාවෙ ටවුන් සවර්ධනයේ අප්සෙට්ම අංග තමයි එකිනෙකට විසාල වශයෙන් වෙනස් නොගැලපෙන පෙනුමක් ඇති බිල්ඩින්, කිසිම පිලිවෙලක් නැති නම් බෝර්ඩ් හා වෙලඳ දැන්වීම් සහ දූවිලි

    ReplyDelete
    Replies
    1. අපේ වෘත්තීය ගෘහ නිර්මාණ ශිල්පිටන්ගේ මොකද්ද ලොකු අඩුවක් තියනවා ඒ අතින් නම්...හුගක් තැන් වල හෙඩ් බාස් තමයි ඩිසයින් ඉන්ජිනියර්!!!

      Delete
  6. ලොකු මල්ලිතුමාට ජීවිත කාලයටම ලංකාවේදී මුනගැහුන නරකම මුස්ලිම් මිනිහා කවුද?

    ReplyDelete
    Replies
    1. අපේ ටවුමට කුඩු තොග පිටින් ගෙන්නන එකා, හොර හරක් මුදලාලිලා එක්ක සිංහල කෙල්ලො දූශනය කරපු දෙන්නෙක්....මුන්ගෙන් නරකම කවුද කියන්ඩ නං දන්නෙ නෑ....

      Delete
  7. හිටි හැටියෙ ඔහොම මෛකල්ල මතුවෙනව.

    ලොකු මල්ලිටත් සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. සභාපතිතුමාටත් සුභම සුභ අවුරුද්දක් වේවා! ලෝකෙ හොදම ලමයි ආශ්‍රය කරන්ඩ ලැබේවා!!

      Delete
  8. මට නම් මොකුත්ම හිතෙන්නේ නැතිව ගියා. අන්තිම හරිය නැත්තං කියලා විතරයි හිතුණේ!

    ReplyDelete
    Replies
    1. මගේ මරිකමට සමාව භජනය කරන්ඩ ඕන නිදිතුමා. ලබන අවුරුද්ද නිරෝගිමත් සුභ නඑඅ වසරක්ම වේවා!!

      Delete
  9. ඇත්තටම දෙබිඩි චරිතයක්ද එහෙම නැත්නම් අම්බානක වැඩකාරයෙක් හින්ද පොලිසියෙන් හැංගිලා ඉදලද.

    ReplyDelete
  10. අඩේ.. ඔය මයිකල් ලා වගේ ඩයල් කොහෙන් මතු වෙනවද දන්නේ නෑ නේ..

    ReplyDelete