ඊයේ කරඩුපොන හංදියේ භයානක රිය අනතුරක් එහෙම නැත්තං අපේ ගමේ කියන විදිහට ඇස්සිඩන්ට් එකක් උනා. ඇස්සිඩන්ට් කියපු ගමන් මතක් වෙන්නේ පොලීසිය. මට නං ඉතිං පොලීසිය කියපු ගමන් මතක් වෙන කෙනෙක් තමයි සාජම්මහත්තයා. දැන් කොළඹ පොලීසියක භාර ධූර නිලතලයක් දරුවට මනුස්සයා අපේ ගමට නං සාජම්මහත්තයා ම තමයි. ඔය සාජම්මහත්තයා කියල නම වැටිච්ච විදිහත් හරි අපූරුයි.
ඒකෙත් හැටි. එතුමා අපේ ගමට එතුමා සාජම්මහත්තයා උනේ පොලීසියට බැදෙන්ඩ ඉන්ටවීව් ගිය දවසේමයි. ඒ ඉන්ටවීව් ගිය දවසේ හවස උන්දැ හැමදාම කන බුලත් විටට එදා මත් වෙන පුවක් ගෙඩියක් හපලා කානුවක වැටිලා ඉන්දැද්දී අපේ එකෙක් එතුමාගේ සරම ගලවලා ඔලුව වටේ ඔතලා එක අතක් සැලියුට් ගහන විදිහට හදලා හැමෝටම පෙන්නුවට පස්සේ. වාසනාවකටද අවාසනවකටද මංදා ඒ කාලේ ඔය හැම කොල්ලයි බල්ලයි අතේම කැමරා තියන ෆෝන් තිබ්බේ නැතිකොට ඒ අමර දසුනේ මතකය තියෙන්නේ අපේ - ඒ කාලේ කොල්ලෝ- කීප දෙනෙක් ගේ හිත් වල විතරයි. හැබැයි සාජම්මහත්තයා මුළු ගමටම ඇහෙන්ඩ කියපු කුණු හරුප ටිකත්, කවද හරි දවසක එතුමා පොලීසියේ සාජම්මහත්තයෙක් වෙච්ච දවසට අර නසරානි වැඩේ කරපු එකාගේ අම්මාට දඩාවතේ යන බල්ලෝ ලව්වා කරවනවා කියපු දේවල් ටිකත් අපේ ගමේ අදටත් පුරාවෘත්තයක් විදිහට පවතිනවා!
එදා ඉදන් තමයි සාජම්මහත්තයා කියන නම වැටුනේ.
අද කට්ටකාඩුවට අපේ සාජම්මහත්තයගේ වැඩ දෙක තුනක් ලියන්ඩ කියල හිතුවා. කැමතිනං කියවන්ඩ මගේ මොකෝ!!?