Sunday, March 29, 2026

අනංගයා මං අනංගයා

 

මේ දවස්වල හරි පෑවිල්ල. ඉන්ඩ හිටින්ඩ බෑ දාඩිය ගලනවා. 


හිරු ගිනිගෙන දැවේ සඳු පියකරු              වන්නේ

විල් දිය සිඳේ දන නිරතුරු                            නෑමෙන්නේ

සුව දේ සැඳෑ කල මලවිද                              මැලවෙන්නේ

සොඳුරියෙ ගිම්හානයයි සපැමිණ              ඉන්නේ

සංස්කෘත, සිංහල වගේම ඉංග්‍රීස් භාෂාවෙත් නිපුණ කවියෙක්වන අපේ කරුණාරත්න අමරසිංහ මහත්තයා, හරි ලස්සන පරිවර්තනයක් කරා කාළිදාසගේ ඍතු සංහාරය කියන මහා කාව්‍යයට. ඒකෙ ග්‍රීෂ්ම ඍතුව ගැන තියෙන  පළවෙනි කවිය තමයි මං උපුටා ගත්තේ. මේ වගේ ග්‍රීෂ්ම කාලවලදි මලවි එහෙම නැත්තං මල් අවිය දරන්නා එහෙමත් නැත්තං ආදරයට අධිපති කාමදේව දෙවියන් පවා මැලවී ඉන්න බවයි කාළිදාස කියලා තියෙන්නේ. ඒත් එහෙම කියලා අපි පටන් ගත්තු වැඩේ අතරමග නතර කරන්ඩ බෑනෙ!

මිනිස්සු අතරෙ තියෙන ලස්සන හැඟීම් අතරින් ප්‍රභලම එකක් තමයි ආදරය කියන්නේ. එහෙව් ආදරයට අධිපති දෙවියන් ගැන සහ එහෙම දෙවියෙක් ඕන කියල මිනිස්සුන්ට හිතෙන්ඩ ඇත්තෙ ඇයි කියලා ලියන්ඩ පටන් ගත්තු ලිපි පෙළේ අද ලියන්නේ හතරවැන්න. පළමු කොටස් තුනට යන්න පහත දැක්වෙන ලින්ක් වලින් පුළුවන්.

පළමු කොටස

දෙවෙනි කොටස

තුන්වෙනි කොටස

පහුගිය ලිපිය අවසානෙදි මම ඔබට ආරාධනය කලා අපේ ජෝතිපාල මහත්ත්‍යාගේ අනංගයා මං ගීතය අහන්ඩ කියලා. මෙන්න ගීතයෙන් උපුටා ගත්තු පද කීපයක්.

අනංගයා මං අනංගයා

ආදරේ ප්‍රේමයේ සුර ලොව තනතුරු දැරූ.....

මා නිසයි ලෝකයේ හැම යුවලම එක්වුණේ

අර සුර ලොවේ මනු ලොවේ

කොතැනත් මගෙ බල පෙනේ......

තරුණ හදක් හොයනවා

මල් පහ සැර යොදනවා

මේ උක්දඬු දුන්න නමා මල් හීයෙන් විදිනවා....!

මට හිතෙන්නේ ඔය ගීතය පබඳින කාලේ තිබ්බ හින්දි තනු වලට සිංහල වචන යොදා ගායනා කිරීම හිංදා'තාලෙට හරියන්ඩ වචන එක්කහු කරා මිසක් වචනවල සාහිත්‍යමය නිවැරදිබව ගැන වැඩි සැලකිල්ලක් දක්වන්ඩ නැතුව ඇති. ඇත්තටටම ඉන්දියානු, ග්‍රීක, රෝම වගේම නෝඩික් දෙවිවරු අතරෙත් ආලයේ දෙවියන්ට, දෙවියන්ගේ ආලය ගැන බලයක් තිබ්බා කියලා පැහැදිලිව සඳහන් වෙන්නෙ නෑ.  අනික ඔතන ඔය හැම යුවලම කියපුවම විශම ලිංගික වගේම  සමලිංගික යුවලුත් ඇතුලත්ද? ඊටත් වඩා මගේ හිත පැහැරගත්තේ මෙතන කියන උක්දඬු දුන්නේ කතාවට. ඇත්තටම ආලයට, කැමත්තට, ආශාවට අධිපති ඉන්දියානු දෙවියා වෙච්ච කාමදේව (කාමදේව අනංගයා වෙච්ච විදිහ මුල් ලිපියේ ලියලා ඇති) අතේ තියෙන ඊතල ගැන කතා කරා මිසක් අපි ඔහුගේ දුන්න ගැන කතා කලේ නෑනේ. ඉන්දියානු විශ්වාසයන්ට අනුව කාමදේවගේ දුන්න හදලා තියෙන්නේ උක් දණ්ඩකින් තමයි. දුන්නේ දුනු දිය එහෙම නැත්තං ඊතලය රඳවන නූල හැදිලා තියෙන්නේ මී මැස්සන්ගෙන්ලු.



කට්ටකාඩුව වෙනුවෙන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි ආලයේ දෙවිවරු! (වමේ සිට දකුණට - ඉන්දියානු කාමදේව, ග්‍රීක ඊරෝස්, රෝමානු කියුපිඩ්, නෝර්ඩික් ෆ්‍රිග් සමග ෆ්‍රෙයා).

මිනිස්සු, මී මැස්සෝ ගැන නම් දඩයම් යුගයේ ඉඳලම දැන ගෙන ඉන්ඩ ඇති. ඒත් උක් දණ්ඩ ගැන මිනිස්සු දැන ගත්තේ ක්‍රිස්තු පූර්ව 8000 දි විතර.  ඉන්දියාවට උක් දඬු හඳුන්වලා දෙන්නේ ක්‍රි.පූ 3000 දි විතර. කියන්නෙ කාමදේවගේ කතාව ගොඩ නැගෙන්නේ  එහෙම නැත්තං අඩුම තරමේ කාමදේව ගැන දැනට තියෙන කතාව ගොඩ නැගෙන්නේ ක්‍රි. . 3000න් පස්සේ. මේකත් එක සාක්කියක් අපි දන්න දෙවිවරු පහළ වෙන්නේ එහෙම නැත්තං මිනිසුන් විසින් දෙවිවරුන්ට පණ දෙන්නේ මිනිස්සු ගොවි යුගයටත් ඇතුල් උනාට පස්සේ කියන එක. තවත් වචන වලින් කියනවා නම් දෙවිවරුන්ට වඩා නගුල පරණයි. නගුලෙන් ඉපදිච්ච එක භෝගයක් තමයි දෙවිවරු!!