Sunday, April 5, 2026

ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ!

දෙවියන්ගෙ වැඩ ගැන කතා කරන්ඩ අපි පටන් ගත්තෙ ආදරයට අධිපති දෙවියන් ගැන කතා කරලා. ඉන්දියාවෙන් පටන් ගෙන, ග්‍රීසිය, රෝමය හරහා නෝර්ඩික් පළාත් වලටත් ගියේ ආදරයේ අයිතිකාරයන් හොයාගෙන . ආදරය, මිනිස්සුන්ගෙ හද බැඳගත් අපූරු සංසිද්ධියක් කියල අමුතුවෙන් කියන්ඩ ඕන නෑනෙ. ආදරයෙන් තරුණ හදවත් විතරක් නෙවෙයි බාල, මහළු ඕනෑම හදවතක් මුසපත් වෙනවා. ඒ කියන්නෙ පිස්සු හැදෙනවා. ඕනෑම දෙයක්- ආදරය වෙන්ඩ පුලුවන්, නිදහස වෙන්ඩ පුලුවන්, බලය වෙන්ඩ පුලුවන්, ඊට වඩා හරිම රළු පරළු අදහසක් වෙච්ච සල්ලි හරි වෙන ඕනෑම අටමගලයක් වෙන්ඩ පුලුවන් අසීමාන්තිකව ලැබුනම මිනිස්සු පිස්සන් බවට පත් වෙනවා. ආදරය එක්ක පිස්සු නටපු වෙලාවල් ඕන තරම් අපි අහලා තියෙනවනේ. දැන් අපි කතා කරන්නේ ආදරය විතරක් නෙවෙයි ආදරයේ දෙවියන් එක්ක පවා මිනිස්සු පිස්සු නටපු විදිහ ගැන. හැබැයි ටිකක් පරිස්සමින් හොයලා බලපුවම තේරෙනවා සමහර වෙලාවට අපිට පිස්සු වැඩ කියල හිතෙන දේවල් ඇත්තටම පිස්සු වැඩ නෙවෙයි, මහා කුමන්ත්‍රණ කියලා.

ෆ්‍රෙයා දෙවඟනගේ පූස් කරත්තය

එහෙනං අපි පටන් ගම්මු...ඊට කලින් ආදරයේ දෙවියන් ගැන ලියපු ලියපු ලිපි පෙලේ පරණ ලිපි වලට යන්ඩ ඕන කෙනෙක් ඉන්නවනං මෙන්න ඒකට ලින්ක්ස් ටික.

ඇන්ඩෘ, සබ්ජෙක්ට් එක සහ මල්සරා

මින්දදයෝ ඇවිදින්-කියුපිඩ්ට මල් හී සර විද්ද සයිකි

මින්දද හී සර- සයිකි, ෆ්‍රිග් සහ කුවේණි

අනංගයා මං අනංගයා

ගිය සතියේ මම ඔබට ආරාධනය කලේ මල් හී ගෙන එයි මල්සරා කියන අපේ ජෝතිපාල මහත්තයා ගායනා කරන සිංදුව අහන්ඩ කියල. මෙන්න ඒකෙ පදවැලෙන් කොටසක්.

මල් හී ගෙන එයි මල්සරා

සුදු අසු පිට උඩ නැගලා

රන් දුන්නෙන් ඔබ හද විදලා

යනු ඇත අප තනි කරලා....

කතාවක් තියෙනවා කලා කෘතියක නිවැරදිභාවය ගැන හොයන්ඩ යන මනුස්සයා හරියට තමුන්ගේ මධුසමය දවසේ රාත්‍රියේ සිය පෙම්බරියගේ දුහුල් සළු එකිනෙක බිමට වැටෙද්දි, ඒ සලු වල වටිනාකම කොච්චරක්ද කියල හිත හිතා ඉන්න පිලිස්තීනුවෙක් (පලස්තීනුවෙක් එහෙම නෙවෙයි ඈ...පිලිස්තීනුවෙක් කියන්නෙ කලාව, සංස්කෘතිය, බුද්ධිමය සංවාද වගේ ජීවිතේ සුමට දේවල් ගැන කිසි වග විභාගයක් නැති, උන්නත් දාහයි මලත් දාහයි වගේ මිනිස්සුන්ට) වගේය කියලා. මං මේ උත්සාහ කරන්නෙ ඒ වගේ වැඩකට කියලත් කෙනෙකුට තර්ක කරන්ඩ පුලුවන්. ඒත් මේකයි කතාව.

Sunday, March 29, 2026

අනංගයා මං අනංගයා

 

මේ දවස්වල හරි පෑවිල්ල. ඉන්ඩ හිටින්ඩ බෑ දාඩිය ගලනවා. 


හිරු ගිනිගෙන දැවේ සඳු පියකරු              වන්නේ

විල් දිය සිඳේ දන නිරතුරු                            නෑමෙන්නේ

සුව දේ සැඳෑ කල මලවිද                              මැලවෙන්නේ

සොඳුරියෙ ගිම්හානයයි සපැමිණ              ඉන්නේ

සංස්කෘත, සිංහල වගේම ඉංග්‍රීස් භාෂාවෙත් නිපුණ කවියෙක්වන අපේ කරුණාරත්න අමරසිංහ මහත්තයා, හරි ලස්සන පරිවර්තනයක් කරා කාළිදාසගේ ඍතු සංහාරය කියන මහා කාව්‍යයට. ඒකෙ ග්‍රීෂ්ම ඍතුව ගැන තියෙන  පළවෙනි කවිය තමයි මං උපුටා ගත්තේ. මේ වගේ ග්‍රීෂ්ම කාලවලදි මලවි එහෙම නැත්තං මල් අවිය දරන්නා එහෙමත් නැත්තං ආදරයට අධිපති කාමදේව දෙවියන් පවා මැලවී ඉන්න බවයි කාළිදාස කියලා තියෙන්නේ. ඒත් එහෙම කියලා අපි පටන් ගත්තු වැඩේ අතරමග නතර කරන්ඩ බෑනෙ!

මිනිස්සු අතරෙ තියෙන ලස්සන හැඟීම් අතරින් ප්‍රභලම එකක් තමයි ආදරය කියන්නේ. එහෙව් ආදරයට අධිපති දෙවියන් ගැන සහ එහෙම දෙවියෙක් ඕන කියල මිනිස්සුන්ට හිතෙන්ඩ ඇත්තෙ ඇයි කියලා ලියන්ඩ පටන් ගත්තු ලිපි පෙළේ අද ලියන්නේ හතරවැන්න. පළමු කොටස් තුනට යන්න පහත දැක්වෙන ලින්ක් වලින් පුළුවන්.

පළමු කොටස

දෙවෙනි කොටස

තුන්වෙනි කොටස

පහුගිය ලිපිය අවසානෙදි මම ඔබට ආරාධනය කලා අපේ ජෝතිපාල මහත්ත්‍යාගේ අනංගයා මං ගීතය අහන්ඩ කියලා. මෙන්න ගීතයෙන් උපුටා ගත්තු පද කීපයක්.

අනංගයා මං අනංගයා

ආදරේ ප්‍රේමයේ සුර ලොව තනතුරු දැරූ.....

මා නිසයි ලෝකයේ හැම යුවලම එක්වුණේ

අර සුර ලොවේ මනු ලොවේ

කොතැනත් මගෙ බල පෙනේ......

තරුණ හදක් හොයනවා

මල් පහ සැර යොදනවා

මේ උක්දඬු දුන්න නමා මල් හීයෙන් විදිනවා....!

මට හිතෙන්නේ ඔය ගීතය පබඳින කාලේ තිබ්බ හින්දි තනු වලට සිංහල වචන යොදා ගායනා කිරීම හිංදා'තාලෙට හරියන්ඩ වචන එක්කහු කරා මිසක් වචනවල සාහිත්‍යමය නිවැරදිබව ගැන වැඩි සැලකිල්ලක් දක්වන්ඩ නැතුව ඇති. ඇත්තටටම ඉන්දියානු, ග්‍රීක, රෝම වගේම නෝඩික් දෙවිවරු අතරෙත් ආලයේ දෙවියන්ට, දෙවියන්ගේ ආලය ගැන බලයක් තිබ්බා කියලා පැහැදිලිව සඳහන් වෙන්නෙ නෑ.  අනික ඔතන ඔය හැම යුවලම කියපුවම විශම ලිංගික වගේම  සමලිංගික යුවලුත් ඇතුලත්ද? ඊටත් වඩා මගේ හිත පැහැරගත්තේ මෙතන කියන උක්දඬු දුන්නේ කතාවට. ඇත්තටම ආලයට, කැමත්තට, ආශාවට අධිපති ඉන්දියානු දෙවියා වෙච්ච කාමදේව (කාමදේව අනංගයා වෙච්ච විදිහ මුල් ලිපියේ ලියලා ඇති) අතේ තියෙන ඊතල ගැන කතා කරා මිසක් අපි ඔහුගේ දුන්න ගැන කතා කලේ නෑනේ. ඉන්දියානු විශ්වාසයන්ට අනුව කාමදේවගේ දුන්න හදලා තියෙන්නේ උක් දණ්ඩකින් තමයි. දුන්නේ දුනු දිය එහෙම නැත්තං ඊතලය රඳවන නූල හැදිලා තියෙන්නේ මී මැස්සන්ගෙන්ලු.



කට්ටකාඩුව වෙනුවෙන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි ආලයේ දෙවිවරු! (වමේ සිට දකුණට - ඉන්දියානු කාමදේව, ග්‍රීක ඊරෝස්, රෝමානු කියුපිඩ්, නෝර්ඩික් ෆ්‍රිග් සමග ෆ්‍රෙයා).

මිනිස්සු, මී මැස්සෝ ගැන නම් දඩයම් යුගයේ ඉඳලම දැන ගෙන ඉන්ඩ ඇති. ඒත් උක් දණ්ඩ ගැන මිනිස්සු දැන ගත්තේ ක්‍රිස්තු පූර්ව 8000 දි විතර.  ඉන්දියාවට උක් දඬු හඳුන්වලා දෙන්නේ ක්‍රි.පූ 3000 දි විතර. කියන්නෙ කාමදේවගේ කතාව ගොඩ නැගෙන්නේ  එහෙම නැත්තං අඩුම තරමේ කාමදේව ගැන දැනට තියෙන කතාව ගොඩ නැගෙන්නේ ක්‍රි. . 3000න් පස්සේ. මේකත් එක සාක්කියක් අපි දන්න දෙවිවරු පහළ වෙන්නේ එහෙම නැත්තං මිනිසුන් විසින් දෙවිවරුන්ට පණ දෙන්නේ මිනිස්සු ගොවි යුගයටත් ඇතුල් උනාට පස්සේ කියන එක. තවත් වචන වලින් කියනවා නම් දෙවිවරුන්ට වඩා නගුල පරණයි. නගුලෙන් ඉපදිච්ච එක භෝගයක් තමයි දෙවිවරු!!