Showing posts with label දේශපාලන. Show all posts
Showing posts with label දේශපාලන. Show all posts

Sunday, July 17, 2022

දෙසීයේ චක්කරේ

 

ලියන්ඩත් හිතක් පහළ වෙන්ඩ ඕන. ලියන්ඩ ජාති කොච්චරක් තිබ්බත් එව්ව ලියන්ඩ හිත එකළාසයක් කරගන්න එක ලේසි වැඩක් නෙවෙයි. එක්දාස් නවසිය හැත්තෑ ගණන් වල මැද බාගේ උපන්න අපි වගේ වාහෙලාට ගෙවන්ඩ වෙච්ච ජීවිත කාලෙ හරි පුදුම සිදුවීම් තොගේකින් පිරිලා තිබ්බා කියලයි මට හිතෙන්නේ. අපි ඉපදෙන කොට මහා පොලු යුගයක්! දේශීය කරුමාන්ත නග්ගවන්ඩ කියලා පිටරටින් ගෙන්නන භාණ්ඩ පොදු ජනතාවට තහනම් කරලා තිබ්බ යුගේක ඉපදිච්ච අපි, අපේ ළදරු අවදිය ගෙව්වෙ හුගක් අග හිගකම් මැද්දෙ. මට මගේ පුංචි කාලෙ මතක නොතිබ්බට අම්මලා අප්පච්චිලා කියපු කතාවලින් අහගත්තු දේවල් මං මීට ඉස්සරත් ලියලා තියෙනවා. ඊට පස්සෙ අපිට අවුරුදු 7-8 වෙනකොට පටන් ගත්ත යුද්දෙ නැවතුනේ අපේ පලවලේ සහෝදර සහෝදරියො දාස් ගාණක් බිල්ලට අරං. ඒ යුද්දෙ නැවතුනේ අපිට අවුරුදු 33-34 වෙනකොට. ඇයි ඊට කලින් අපේ හිරිමල් යව්වනයෙදි ඒ කියන්නෙ වයස 13-14 කාලෙදි දකුණෙ මහා භීෂණේ! ටයර් සෑයවල්, අතුරුදහන් වීම්, ගිනි තැබීම්, එකී නොකී මෙකී මහා විජ්ජුම්බර රාසියක්. ඊගාවට ආවෙ සුනාමිය. ඒ අපිට 28-29 වෙද්දි. කොහොමින් කොහොමින් හරි එව්ව මෙව්ව ඔක්කොගෙන්ම බේරිලා හිටියත් අපිට 43-44 වෙද්දි ආපු කොරෝනා වසංගතෙයි අපිට 46-47 වෙනකොට ආපු රට බංකොලොත්වීමයි මේ මහා විපරියාස දැක්ක පරම්පරාවට අත්දැකීම් එකතු කරා. තව අපි දැක්කෙ නැත්තෙ අපේ රටේ පරමාණු බෝම්බයක් පුපුරන එකයි නිළ වශයෙන්ම රට කාට හරි විදේශිකයෙකුට යටත් වෙන එකයි විතරයි හා බොරුද? ආය මොකටද නිළ වශයෙන් යටත් වෙන්නෙ දැං යටත්වෙලා තියෙන හරිය මදෑ කියලත් හිතෙනවා.


           මේ ඉන්නෙ ෂෙන්-හෙ. ලංකාවෙ රජ්ජුරුවෝ චීනෙට ගෙනිච්ච නපුංසක සෙනෙවියා

ඔන මොන සංගදි දැක්කත්, දැං අපි මූණ දීලා තියෙන තත්වෙ තරං අමාරු, භයානක තත්වයක්නං මීට කළින් අහලවත් නෑ තමයි. ඒ අපේ 45-46 වෙන ජීවිත කාලෙදි. රටක් විදිහට ගත්තොත් මීට වඩා අමාරු කාල තියෙන්ඩ ඇති. අද කට්ටකාඩුවට ලියන්ඩ හිතුවෙ අපේ රටට මූණ දෙන්ඩ වෙලා තිබ්බ එක එක අකරතැබ්බ ගැන. නිකම්ම ඔය අකරතැබ්බ ගැන ලිව්වට කිසි ගතියක් නෑනෙ. ඉතිං එක එක සිද්දි වෙච්ච කාළ වකවානු අරගෙන එහෙට්ට මෙහෙට්ට පෙරළ පෙරළා ඉන්නකොට මට තේරුනා පොඩි රටාවක් මතුවෙන බව. ඒ තමයි අවුරුදු දෙසීයකට විතර පාරක් හරියට භූතයෙක් මතු උනාවගේ හරි නස්පැත්ති රාසියක් ලංකාවට කඩා පාත් වෙනවා කියන එක. තවත් පැහැදිලි කරොත් අවුරුදු දෙසීයෙන් දෙසීයට දෑලෙ තියෙන අවුරුදු දහය එක්ක ගත්තොත් ඒ කියන්නෙ ඔය ගණිත ශාස්ත්‍රඥයෝ ලියලා පෙන්නන විදිහට 200± 10 විදිහට ගත්තොත් අපි මහා විපත්තියකට මුහුණ දීලා තියෙනවා හුගක් වෙලාවට.

ඔන්න මගේ මතය ඇති වෙච්ච හැටි ගැනයි දැන් කියන්ඩ යන්නෙ.

Monday, November 8, 2021

මුරුත්තෙට්ටුවේ උන්නාන්සේ වෙත

 

මුරුත්තෙට්ටුවේ උන්නාන්සේ වෙත ගෞරව පුරස්වරව ලියා දක්වන වගනම්...

ඔය එක එකා කට කැඩිච්ච කථා කිව්වට මම නං ඔබවහන්සේ කොළඹ විස්ස විජ්ජාලේ කුලපති වෙච්ච එක ගැන හරිම සංතෝසය. ඔය විස්ස විජ්ජාලවල ඉන්න උං හිතාගෙන ඉන්නේ උං මහ උගත්තුය කියලාය. ඔය මොන උගතත් රෑට රෑට එක එකාගේ ගොම්පස් අල්ලන්ඩ යනබව ප්‍රසිද්ධ රහසක් උනාට උන්ට කතා නැතිවෙන්ඩ නෙලුවේ මේ පාරය. ඕකුන්ට හොඳ වැඩේය. මට රෑ හීනෙනුත් පෙනෙන්නේ උං ඔබ වහන්සේට පෝලිමේ ඇවිත් දණ්ඩ නමස්කාර කරන විදිහය!


අනික අපේ නායකතුමා ඔබවහන්සේ ඔය තනතුරට පත් කෙරුවේ කිසි අධ්‍යාපන සුදුසුකමක් හිංදා නොවෙයිය රෙදි නැතුව කඩේ ගිය හිංදාය කියලා උන්නාන්සේගේ ශ්‍රී මුඛයෙන් දෙවා වදාරා තියෙන හිංදා ආය ඒකේ හේතුවක් හොයන්ඩ උවමනාවක් නැතිය.

Wednesday, September 29, 2021

ඩෙන්මාර්ක් ඔපෙරාව

 

හරියටම හය මාසෙකට, ඒ කියන්නෙ අවුරුදු බාගෙකට පස්සෙ බ්ලොග් එකට මොනව හරි ලියන්ඩ හිතුන. ආපහු බ්ලොග් කියවන කට්ටිය වැඩිවෙලාය, සට සට ගාලා කට්ටිය බ්ලොග් බලනවාය කියල කීප දෙනෙක්ම කියලා තිබ්බ හිංදා හිරි යන්ඩත් එක්ක කියල යමක් ලියන්ඩ හිතුවේ. මොකෙක්වත් බැලුවේ නැත්තං ආයෙත් ශිශිරතාරක නින්දට යන්ඩ තමයි කල්පනාව.

අද කියන්ඩ යන්නෙ ඔය එක එක්කෙනා කියන ගණං හිලවු තාර බර ඇරලා ඒ ඒ දේසේ හැටියට තේරුං ගන්ඩ ඕන බවට පොඩි උදාහරණයක්. කැමති නං අහන්ඩලා.

දැනට අවුරුදු පහලොවකට විතර ඉස්සර ලොකු මලයා සති දෙක තුනක් හිටියෙ ඩෙන්මාර් කෙ ආණ්ඩුවේ වැඩකට පොඩ්ඩක් සම්බන්ධ වෙලා. ඔය වැඩේ අතරතුරේ කෝපන් හේගන් වල බලන්ඩ තියෙන ලස්සන තැන් වලට- වැඩියක්ම අඩු ගානක් වියදම් කරල වැඩි දෙයක් බලන්ඩ පුලුවන් තැන් වලට යන්ඩ තමයි කල්පනාව තිබ්බේ. වැඩේ ඉවර වෙන්ඩ කිට්ටු දවසක අපි කාණ්ඩෙටම ආරාධනාවක් හම්බ උනා ඒ කාලෙ ඩෙන්මාක් රටෙ විදේශ අමාත්‍යාංශයෙන්. අප්පද බොල කෝපන් හේගන් ඔපෙරා හවුස් එහෙම නැත්තං ඔපෙරා පෙන්නන නෘත්‍ය ශාලාවේ රෑ කෑමකට ආරාධනයක් එහෙ විදේශ අමාත්‍යාංශයේ උප ලේකම්  එක්ක. රෑ කෑමට වඩා මට ඕන වෙලා තිබ්බේ අමුතු හැඩයකට හදලා තිබ්බ මේ ඔපෙරා හවුස් එක බලන්ඩ යන්ඩ. ඒක රෑට ලයිට් දාපුවම තැඹිලි පාටින් දිලිසෙනවා දැකලා තිබ්බට මං ඒක ළඟටවත් ගිහිං තිබ්බෙ නෑ.

ඔන්න ඔය තියෙන්නෙ කෝපන් හේගන් ඔපෙරා ශාලාව

Saturday, November 16, 2019

අපිට මොකද අපි අටසිල් උපාසක - ඉබ්බන්ගේ පුච්චන්නේ අනික් පිට



අද 2019 නොවැම්බර් 16. ජනාධිපතිවරණෙ මම චන්දෙ දෙන්නේ කාටද කියල තාම තීරණයක් නෑ. තව පැය කීපයක් තියෙනවනේ චන්දෙ දාන්ඩ. චන්දෙ දාන්ඩ යනවද නොයනවද කියලා එකෙල මෙකෙල වෙමින් ඉන්දැද්දී අනුරාධපුරේ ගිය වතාවල් කීපෙක ගත්තු චායාරූප ගොන්නක් දිග ඇරගෙන බල බලා හිටියා. කොයිකක උනත් දැක්කේ මහා වැව්...මහා වෙහෙර විහාර...මහා කුඹුරු යායවල්. මට හිතුනා මේ අපි දකින දේවල් එදා හිටපු මිනිස්සුත් දැක්කද කියල.


මට හිතිච්ච දේවල් එක්ක මහාවංශ සිංහල පරිවර්තනයකුත් පෙරලලා බලපුවම ඇත්තටම අපි - කියන්නේ අනුරාධපුර යුගයට සාපේක්ෂව අනාගත වැසියන් වෙන අපි දකින දේ එදා යුගයේ අය දැක්කේ නෑ නේද කියල හිතුනා. මට හිතිච්ච දේවල් කට්ටකාඩුවේ 'අගත අනගත' පාඨක ඔබ එක්ක බෙදා ගන්ඩයි මේ හදන්නේ. කැමති නම් කියවන්ඩ මගෙ මොකෝ!

Saturday, June 22, 2019

ලාපු ලාපු


රාජකාරි වැඩකට පිලිපීනෙට යන්ඩ උනා ආයිබෝවන්. හරියටම කියනවනං පිලිපීනෙ සේබු නගරෙට. ඔය නගරේ හරි ප්රසිද්ධයි ලාපු ලාපු කියන වීරයා හිටපු ප්රදේශය හිංදා.මට හිතුන ඔය ලාපු ලාපු ගේ කතාව තමුන්නැහෙලත් එක්ක බෙදා හදා ගන්ඩ.  වෙන ඕනෑම කතාවක් වගේ මේ කතාවෙත් වීරයෝ වගේම ද්රෝහීන් බිහිවෙන්නෙත් ඕපපාතිකව නෙවෙයි සමාජයේ තිබ්බ උවමනා එපාකම් එක්ක. හින්ද කතාවත් කියලම ඉන්නං අර හුදී ජනයාගේ මෙව්වා එක වෙනුවෙන්.

මේ  කතාව පටන් ගන්නේ පහළොස් වෙනි ශත වර්ශේ කියන්නේ 1400 ගණන් වල යුරෝපයේ දී. කාලේදී යුරෝපයේ අයිබීරියානු අර්ධද්වීපයේ ලොකු රාජධානි දෙකක් තිබ්බා. එකක් පෘතුගාලය. කියන්නේ පෘතුගීසි කාරයන්ගේ මවුබිම. අනික අනික කැස්ටිලා රාජධානිය. අද ඔය ස්පාඤ්ඤය කියන්නේ දල වශයෙන් රාජධානියට. ඔය රටවල් දෙක හැදුන හැටිත් හරි ලස්සන කතාවක්. ඒත් අපේ කතාවට ඒක එච්චර සම්බන්ධයක් නැති හින්ද වෙන දවසක කතා කරමු.

Sunday, December 30, 2018

මයිකල්

ලඟදි දවසක බස් එකේ ටවුමට ගියා තනියම. එහෙම ගියාම වැඩිපුර වෙලාවක් ටවුමේ ගත කරන්ඩ පුළුවන්. වෙනදා වගේ කාර් එක පාක් කරන්නේ කොහෙද කියල හිත හිතා ටවුමට යනවට වඩා හිත හරිම නිදහස් මෙහෙම ගියාම.

කාලෙකට පස්සේ ටවුමට ගියාම අපි කොච්චර වයසට ගිහිල්ලද කියල හිතෙනවා. ඉස්සර තිබ්බ දන්නා අඳුනන මූණු වෙනුවට හරියට අපි අගහරු ලෝකෙන් ආවා වගේ නුහුරු නුපුරුදු මූණු වලින් පිරිච්ච පාරවල්, බස් හෝල්ට්, කඩ, ස්වීප් විකුණන මිනිස්සු, පොළ, පොලේ තියන එළවලු....මේ හැම දෙයක්ම වෙනස් වෙලා තියන බව තේරෙනවා. ඒ විතරක් නං බැරියැ ටවුමේ තියන ගොඩනැගිලි වල පාට පවා සම්පූර්ණයෙම්ම වෙනස්. කාණු වලින් එන ගඳ පවා වෙනස්! ඉස්සර ආපු මඩ කුණු වෙච්ච ගඳ දැන් නෑ. ඒ වෙනුවට තියෙන්නේ ඩීසල් දුම වතුරෙන් දිය කරලා ගත්තා වගේ දැනෙන ගඳක්. ඒක එහෙම වෙන්ඩ එපෑ. ඉස්සර තිබ්බේ ලංගම බස් තුන හතරකුයි, සීට් විසි හයේ රෝස බස් පහ හයකුයි මුළු බස් ස්ටෑන්ඩ් එකටම. අනික්වා ඔක්කොම හුණ්ඩු වෑන්. දන්නවනේ අර සීට් දොළහේ වෑන්. දැන් එහෙමද තට්ටු දෙක තුනකට බස් ස්ටෑන්ඩ් එක හැදුවත් පාක් කර ගන්ඩ මදි වෙන තරමට බස් පිරිලා. මෙච්චර සෙනග කන්දරාවක් කොහෙන් පාත් උනාද කියල හිතෙනවා. ඉස්සර තිබ්බ ඔතෑනි, කොළ පාට ටවුම දැන් හරි කාර්ය බහුලයි. දුඹුරු පාටයි. හැමෝම හරි හදිස්සියකින් එහෙ මෙහෙ යනවා. හරියට මුළු ලෝකෙම පවතින්නේ ඒ අය ඉක්මනට ගමන් කරන හින්ද කියල හිතාගෙන වගේ.

Saturday, July 21, 2018

අග මුල නැති ඩයරිය


එක රස්සාවකින් විතරක් අද කාලේ ජීවත් වෙන්ඩ අමාරු හිංදා ලොකු මල්ලි දැන් හවසට හවසට කුළියට බෝතල් පත්තර එක්කහු කරනවා. ඒ උනාට ඉතිං පරණ පුරුදු අමතක කරන්ඩ බෑ. පොතක්, කොලයක් දැක්කොත් ටිකක් කියවලා බලන්ඩමයි හිත. මේ පහුගිය සතියේ හම්බ වෙච්ච පොත් වගේක අස්සේ ඩයරියක කොළ ටිකක් හම්බ උනා. අනුන්ගේ දේවල් කියවන එක නරක පුරුද්දක් උනත් සාමාන්‍යයෙන් මිනිස්සු ඩයරි විකුණලා දාන්නේ නැති හින්ද මට ඒක කියවලා බලන්ඩ හිතුනා.   ඒක කියවගෙන යනකොට මට හිතුනා කට්ටකාඩුව කියවන ඔබ තමුන්නැහෙලත් මේක කියවන්ඩ මනාප වෙයි කියල. ඔන්න එහෙනං...

Saturday, June 9, 2018

යවෙස් ලූ මිනිසා


මේං ආයෙත් තියනවලු! අපේ නෝන මහත්තයා කිව්වා.

මොකක්ද?

අර පොත් ප්‍රදර්ශනේ!

මොන? මගේ මතකයට එන පොත් ප්‍රදර්ශනේ තියෙන්නේ සැප්තැම්බර් වලය. මේ කියන්නේ ඒ ගැන වෙන්නට බැරිය.

බිග් බෑඩ් වුල්ෆ්!

නෑ..! කවද්ද තියෙන්නේ?

මේ දැම්මම කියන්නේ ගියාට කමක් නෑ කියවනවනං විතරක් පොත් ගේන්ඩ. නැතුව ගොඩ ගහගෙන තියන්ඩ නං මේ පැත්ත පළාතේ ගේන්ඩ එපා හොඳද...

මොනවද මම ගෙනැල්ලා නොකියවපු පොත්?

අර තියෙන්නේ තොගයක්ම...

ඒ කියන්නේ මේ පාර බිග් බෑඩ් වුල්ෆ් එකට යන්ඩ කලියෙන් ඒ පොත් ටික කියවලා ඉවර කරන්ඩ ඕන බවය. නැත්තං මේ කන්කෙඳිරිය තව හය හත් වතාවක් වත් අහන්ඩ වෙනු ඇත. මේ දිනවල අපේ පැත්තට ඇද හැලෙන අනෝරා එක්ක කරන්ඩ හොඳම වැඩක් තමයි පොතක් කියවන එක. ඉතිං මාත් බැලුවා මොනවද මම ගෙදරට ගෙනැල්ලා නොකියවපු පොත් කියලා. මෙන්න තියනවා ඇලෙක්සැන්ඩර් ඩූමා ගේ සුප්‍රසිද්ධ තුන් ඈඳුතු නවකතාව. ඩාහ් ටැන්යොන් ගේ කතාව! එහෙම කියන එක ටිකක් වැරදියි. මොකද මාටින් වික්‍රමසිංහ මහත්තයා ලිව්වේ තිස්සගේ කතාව නෙවෙයිනේ...ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය . ඒ හිංදා ඩූමා ලියපු නවකතා ටිකේ නම් වලින්ම කියනවා නං   ත්‍රී මස්කටියර්ස්, ට්වෙන්ටි ඉයර්ස් ආෆ්ටර් සහ ද විකොම් ඔෆ් බ්‍රජ්ලන් - ටෙන් ඉයර්ස් ලේටර් (මම මේ ප්‍රංශ වචන කියවන විදිහ වැරදි නං හරි විදිහ කියල දෙන්ඩ ඕන මේක කියවන නෝනලා මහත්තුරු). සුප්‍රසිද්ධ මෑන් ඉන් ද අයන් මාස්ක් එහෙම නැත්තං යවෙස් ලූ මිනිසා හම්බ වෙන්නේ මේ තුන්වැනි නවකතාවේ දී.

තදින් වැස්ස වැටෙන වෙලාවක පුටුවේ හාන්සි වෙලා පොතක් කියවන එක මොන තරං ජොලි වැඩක්ද!!!

Sunday, February 25, 2018

හාල් සේරුවේ දේශපාලනේ


එක කාලෙක මම ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් වල අධ්‍යයන චාරිකාවකට සහභාගී උනා. ඔය කාලේ චන්ද්‍ර බාබු නායිදු කියන මහ ඇමති වරයා තමයි ඒ ප්‍රාන්තයේ හිටියේ. එතුමා මහ ඇමති කියල කියනවට අකමැති වෙච්ච අපූරු චරිතයක්. ඒ වෙනුවට එතුමා තමන්ව හඳුන්වා ගත්තේ ප්‍රාන්තයේ ප්‍රධාන විධායක නිලධාරි වරයා නොහොත් CEO විදිහට. ඒ එතුමාගේ තිබ්බ පෞද්ගලික අංශයට බර සංවර්ධන ප්‍රතිපත්ති හිංදා. ඉතින් මම ගිය වැඩේ එතරම් රසවත් නොවිච්ච හිංදා විවේක කාලය සම්පූර්ණයෙම්ම වගේ යෙදෙව්වේ මේ අමුතු මනුස්සයා කරන කියන වැඩ ගැන හොයල බලන්ඩ. වැඩියක්ම ඒ වැඩේ හිතට ඇල්ලුවේ ප්‍රාන්ත මැතිවරණේකුත් ඔය අල්ල පනල්ලේ පවත්තන්ඩ නියමිත වෙලා තිබ්බ හිංදා.

අද කාලේ අපේ රටේ චන්ද ලංවෙනකොට එක එක බඩු බෙදනවා කිව්වට එහෙ ඒ කාලේ තිබ්බ බඩු බෙදිලිත් එක්ක හැරෙන්ඩවත් අපේ උන්දලාට බෑ. ටකරං වගේ දේවල් කෙසේ වෙතත් වැඩි පුරම බෙදුවේ සල්ලි, බයිසිකල්, සාරි, කමිස, ඔරලෝසු, හරක් පැටව්, එළු පැටව්, ප්ලාස්ටික් කළ, වතුර බූලි, බෝනික්කෝ, සෙරෙප්පු, හඳුන් කූරු, කෝච්චි ටිකට්, ත්‍රී වීල් ටයර් වගේ දේවල්. අම්මප මේක මාර රටක් නේ කියල හිත හිත ඉන්නකොට ටීපු රාවෝ මහත්තයා හම්බ උනේ. ඒ මහත්තය අපි නැවතිලා හිටපු හයිද්‍රාබාද් නුවරම කෙනෙක්. ඔහු හරි උනන්දුවක් දැක්වුයේ රාම-රාවණ කතාවට. ඉතින් ලංකාවෙන් ආපු මාත් එක්ක බොහොම ටික වෙලාවකින් මිත්‍රත්වයක් ගොඩ නගා ගත්තු ඒ මහත්තයා දවසක් මාව එතුමාගේ ගෙදරත් රෑ කෑමකට එක්ක ගියා. ඒ දවසේ මම දැන ගත්තු කතා ටික කොලේක ලියල තිබිල පහුගිය දවසක හම්බ උනා. මට හිතුනා ඒ කතාව ඔබත් සමග බෙදා ගන්න.

Tuesday, February 20, 2018

නැවත උපන් මූසිල


අපේ සිංහල සාහිත්‍යයේ හරි අපූරු චරිත ඉන්නවා. ඒ චරිත බිහි උනේ අවුරුදු සිය ගාණකට කලින් උනාට අදත් අපි ඒ චරිත ගැන කතා කරනවා. මොනවහරි කවට කමක් කලොත් අපිට මතක් වෙන්නේ අන්දරේ. අති පණ්ඩිත වැඩක් කරලා අනාගත්තොත් මහදැනමුත්තා තමයි මතක් වෙන්නේ. කෙලෙහි ගුණ නොදන්නා කමට නම් දරාපු චරිතේ මූසිල. මේ චරිත බිහිකරපු කවියෝ එහෙම නැත්තං කතන්දර කාරයෝ ඒ චරිත වලට ආභාෂය ලබා ගත්තේ අපේ සමාජෙන්ම තමයි. ඒ කාලේ ඒ ඒ චරිත වලට පන පොවපු හැබෑ චරිත හිටිය වගේම අද කාලෙත් එහෙම චරිත ජීවත් වෙනවා.  උදාහරණෙකට මූසිල ගම්මුකො. කොහොමින් කොහොම හරි මිනිස්සු රවට්ටලා ඉහලටම ගියත්, කෙලෙහිගුණ නොදන්නාකම හිංදා පජාති වෙන චරිත නැද්ද හා අද රටේ ලෝකේ?


නෑ? එතකොට නෑ කියලමද හිතන්නේ? හා...ඉතිං ඔබ තමුන්නහෙලා එහෙම හිතනවනං මට මොකෝ? හැබැයි නිකමට වගේ මතක් කර ගම්මුද මූසිල ගේ කතාව?

මූසිල... මූසිල.... කියනකොට නිකං මහා මූසල ගතියක් දැනෙනවනේ. සමහර විට නමද දන්නේ නෑ මිනිහට හෙනහුරාට හිටියේ. එහෙම නැතුව සිරිදාස වගේ ලස්සන, සිරියාවක් තියන නමක් තිබ්බ නං සමහරවිට ගුත්තිල පඬිතුමාට වඩා මූසිලට නෑ... නෑ ...පොඩ්ඩක් වැරදුනා සිරිදාස කැමති මිනිස්සු ප්රමානේ වැඩි වෙන්ඩත් තිබුනා. ඔන්න හිංදා අද කාලේ මූසිලට මම කියන්නේ සිරිදාස කියලා හොඳේ. ඔබ තමුන්නැහෙලා කැමති කැමති නමක් දා ගන්ඩලා.

Saturday, February 10, 2018

කාටද චන්දෙ දුන්නේ?


අද ලියන්ඩ හිටියේ වෙනිං කාරණයක් ගැන. ඒත් හදිස්සියේම මතක් උනා අද නේද බොලව් චන්දෙ කියලා. අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට අපේ සිරිත් විරිත් වලට ගරු කරන්ඩ ඕන. සංස්කෘතිය රැක ගන්ඩ ඕන. එහෙම නැති උනොත් මඩු වල්ග පාරක් කන්ඩ ලැස්ති වෙන්ඩ ඕන. ඉතිං පුරාණේ ඉඳන් පැවතගෙන ආපු චන්ද දවසට අදාළ අපේ සිරිත් විරිත් කීපයක්  උනේ කොහොමද කියල කියන්ඩ තමයි අද ලැහැත්තිය. කොහෙද මේ ටෙලිවිසොන් බඩුකඩුත්තුවේ වත් පෙන්නන්නේ නෑනේ පරණ කාලේ චන්ද වලට අදාළ සිරිත් විරිත්. මේ අපිම ලියල කියල අනාගත පරම්පරාවට මේ කරුණු කාරනා පැහැදිලි කලොත් මිසක්ක.  ඉතින් මං හිතුවා අපේ අම්මලා අප්පච්චිලාගේ කාලේ අපේ ගෙදර චන්ද කෙරුවාව ගැන කතා දෙක තුනක් තමුන්නැහෙලා එක්ක බෙදා හදා ගන්ඩ.


ඔය ඔක්කොටොම කලින් කියන්ඩ ඕන අපේ ගෙදර තිබ්බ දේශපාලන මෙව්වා එක ගැන. අපි ඉපදෙන කොට රටේ තිබ්බ සෞභාග්‍යමත් වටපිටාව හිංදා අපේ අප්පච්චිට අපිට දෙන්ඩ කිරි පිටි ගේන්ඩ අනුරාධපුරේ යන්ඩ වෙලා. අප්පච්චිගෙ දෙමළ යාලුවෙක් ඉඳලා තියනවා යාපනේ. ඔය යාලුවා කිරිපිටි ටින් දෙකක් හොරෙන් ගෙනැල්ලා දෙනවලු අනුරාජපුරේ ඉස්ටේසමට. එතැන ඉඳන් අපේ අප්පච්චි ඇඳුම් බෑග් එකක හංගගෙන කිරි පිටි ටින් දෙක ගෙදර ගේනවලු. ඉතිං අපේ අප්පච්චි ජම්මාන්තර වෛරයක් ඇති කර ගත්තා ඔය නිල් පාට පක්සෙත් එක්ක. ඉතිං දන්න කියන කාලේ ඉඳලා අපේ ලේ කොළ පාටයි. ඊට පස්සේ අසූ ගණන් වල අගදී අප්පච්චිගේ ලේ ආපහු රතු පාටට හැරුනා. අම්මනං කිව්වේ ඒ කාලේ අම්මගේ නං ලේ වතුර වෙලයි තිබ්බේ කියලා. මොකද ඒ කාලේ රටේ හිටපු ප්‍රධාන පුරවැසියාගේ නුගුණ අපේ අප්පච්චි ප්‍රසිද්ධියේම කියා පාපු හිංදා. 

Sunday, February 4, 2018

අතීතයෙන් වර්තමානයට ආ අන්දරේ

ගිය පෝයට පායපු හඳ බැලුවද? වැහි මංදාරන් ගතිය හිංදා හරියටෝම බලන්ඩ බැරි උනත් මට නං හිතුනේ ජනවාරි මුල පායපු හඳ මීට වඩා ලොකුවට තිබ්බා කියලයි. පෝය දාට හරි, ඊට පස්සේ දවසේ හරි හඳ පායන දිහා බලන හුඟක් දවස් වලට මට මතක් වෙන සුන්දර සිදුවීමක් තියනවා. ඒ තමයි මම දැකල තියන ලස්සනම හඳ.

එදා බොහොම පැහදිලි අහසක් තිබ්බ මාර්තු මාසේ දවසක් කියලයි මතක. හන්තානට ඉහලින් ලස්සනට හඳ පායලා. සීතල සුළං රැල්ලක් ගතේ දැවටෙද්දී මම හිටියේ එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීටයේ එහෙම නැත්තං කවුරුත් කියන විදිහට වලේ. මං විතරක් නෙවෙයි එදා පේරාදෙණියේ දාස් ගානක් එතන හිටියා. හැබැයි මීක් සද්දයක් නෑ. පේරාදෙණියෙන් බිහිවෙච්ච මහා කළා කරුවෙක් තමුන්ගේ නාට්‍යයක් පෙන්නන්ඩ වලට ඇවිත්! ජයලත් මනෝරත්න මහත්තයා ගේ 'අන්දරේලා' නාට්‍යය එදා තමයි මම මුලිම්ම බැලුවේ. හඳ පානේ බලාපු මේ අම රස වෑහෙන නාට්‍යය ඊට පස්සෙත් මම හතර පාරක්ම බැලුවා. කැමතිද මම 'අන්දරේලා' දැක්ක විදිහ ගැන කියවන්ඩ?

රජ්ජුරුවෝ හිනස්සන්න විහිළුකාරයෝ
බිසව් තොමෝ සනස්සන්න විහිළුකාරයෝ
පඩි නඩි නෑ කාල බීල හිටියත් මදිද
රජ්ජුරුවෝ හිනස්සලා මැරුණත් මොකද

රජවරු කිව්වම කොච්චර රාජකාරි ද
විහිලු තහලුවක් හිතන්ඩ වෙලාව කොහෙ ද
රජා හිනාගස්සන එක ලේසි වැඩක් ද   
අන්දරේව ඕන උනේ ඒ නිසාව ද

Sunday, January 28, 2018

අපිට ගහන්ඩ මඩු වලිග ගෙනෙව්!!


මගේ එක විනෝදාංශයක් තමයි ඉතිහාසය ගැන තියන පොත් පත් කියවීම. මගේ යාළුවො හුග දෙනෙකුත් මේ ගැන දන්නවා. ඉතිං උන්ට මොකක් හරි ඉතිහාස ප්‍රශ්නයක් ආපුවම මට කෝල් එකක් දෙන එක අමුතු කාරණයක් නෙවෙයි. ඊයේ පෙරේද දවසක යාලුවෙක් මට කතා කළා.

මචං පොළොන්නරුවෙ ඉපදිච්ච, දුටුගැමුණු රජ්ජුරුවන්ගේ සේනාවේ හිටපු යෝධයා කව්ද?”

ඒක අහපං ඔය කතාව කියපු යෝධයාගෙම්ම! මම කිව්වේ මේ ලඟදි එක්තරා දේශපාලක උත්තමයෙක් තමන් දුටුගැමුණු රජ්ජුරුවන්ගේ යෝධයෙක් වගේ හිටිය බව කියපු ප්‍රවෘත්තියක් මම අහලා තිබ්බ හිංදා...

නෑ...නෑ...මම සීරියස් කතාවක් අහන්නේ! යාලුවා කිව්වා.

ඇත්තටමද?”

ඔව්... ඔව්...මට උඹෙන් ප්‍රශ්න තුනක් අහන්ඩ තියනවා. මේ පලවෙනි එක

අනික්වා මොනවද?”

එහෙම කියන්ඩ බෑ. ඒ ප්‍රශ්න හැදෙන්නේ මේ ප්‍රශ්නෙට උඹ දෙන උත්තරේ මත

මට මතක නෑ මචං පොළොන්නරුවේ ඉපදිච්ච යෝධයා කවුද කියලා. ඕන නං පොතක් බලල කියන්නං. මං ගාව තියනවා එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ ලියපු පොතක්. ඔය යෝධයෝ දහ දෙනා ගැන ලියපු

අනේ හොයල කියපන්කො!...ආ මේ ඒ ගමම්ම පොතේ තියනවද බලපං ඔය යෝධයෝ යුද්දෙන් පස්සේ මොකද කලේ කියලත්…

ඉතින් මමත් අර කියපු පොත හොයාගෙන කියවන්ඩ පටං ගත්තා. අද කතාව මේ යෝධයෝ සහ තමන් යෝධයන් කියල හිතං ඉන්න අඟුටු මිට්ටෝ ගැන.