Tuesday, August 25, 2020

සළුපට අහසට

 

මේ සිරි ලංකාද්වීපේ ඕනෑම කැම්පස් එකක ඕනෑම බැච් එකක ඕනෑ තරම් බැච් ට්රිප් නොහොත් කණ්ඩායම් විනෝද චාරිකා යෑම අරුමයක් නෙවෙයි. ඒත් ආගමික භක්තිය, වීර ක්රියා, පීචං වීම, දේශ ගවේෂණ, ශ්රුන්ගාරය කියල යමක් හඳුන්වනවද අන්න ඒක, දේශපාලනය, වගේම යුධ මෙහෙයුම් ඇතුලත් එක බැච් ට්රිප් එකක් හොයා ගන්ඩ ලේසි නෑ. ලේසි උනත් එහෙම දෙයක් ගැන කියන්ඩ ලියන්ඩ කෙනෙක් ඉතුරු වෙන්නේ නැති තරං. මොකද වගේ භයානක වගේම විනෝදාත්මක සිද්ධි දාමයකට කෙනෙක් මූණ දුන්නම එක්කෝ සිද්ධි හිංදා දත කට පූට්ටු වෙලා ඔය ලබ්බල පැත්තේ කියන විදිහට විරුවපට්ටං ගහනවා. සමහර විට කම්පනය හින්දම කෝමා එකකට උනත් යන්ඩ පුළුවන්! අද කතාව අසමසම බැච් ට්රිප් එක ගැන.

(මගේ බැචාලට මේ කියන්නේ...අපේ ඔෆිස් එකේ ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් තියෙනවා වැඩ කරන කාලේදී මැරුනොත් ලක්ෂ විස්සක් තිහක් හම්බ වෙනවලු. මේ කතාව කියෙව්වම උඹලා මාව මරණ බව දන්නවා. හැබැයි මගේ මරණෙන් පස්සේ ගෙදරට හම්බ වෙන ඉන්ෂුවරන්ස් එක ගැන හිතලා මම හිත හදා ගන්නවා. අවුරුදු දහ නවයකට පස්සේ හරි අර බැච් ට්රිප් එක ලඟට හරි යන අත්දැකීමක් ලබන්ඩයි මම මේ ජීවිත අවදානම අරගෙන කතාව ලියන්නේ)  

Sunday, August 2, 2020

කළු ඇඳගෙන රතු ඇවිදින්


අපේ ගමේ ජීවත් වෙන්ඩ ඔබ තමුන්නැහෙලාට නොලැබෙනවා කියන්නේ ජීවිතෙන් බාගයක් අපතේ ගියා වගේ දෙයක්. තරමට අපේ ගම විකෘතියි. අපේ මිනිස්සු දුකටත් අඬනවා. සතුටටත් අඬනවා. දුකටත් බොනවා. සතුටටත් බොනවා. දුකටත් හිනා වෙනවා. සතුටටත් හිනා වෙනවා. අඬ අඬත් බොනවා. හිනා වෙවීත් බොනවා. බිබී නටනවා...නට නටත් බොනවා. ඔය බොන අතරේ ජීවත් වීමත් කරනවා. ජීවත් වෙන අතරේ  මැරෙන එකත් කරනවා.


මැරෙන එක කරන්ඩ - කියන්නේ හිතලා කරන්ඩ -පුළුවන් වෙන්නේ සිය දිවි නසා ගන්න අයට විතරයි කියල අපිට හිතෙන්ඩ පුළුවන්.  අනිත් අයට වෙන්නේ මැරෙන්ඩ- කියන්නේ නොහිතාම, නොපතාම මැරිලා යන්ඩ. මටත් ඉස්සර හිතුනේ එහෙම තමයි. හැබැයි මම දැන් දන්නවා මැරෙන එකත් අපිම තමයි කරන්නේ කියල. අපි හිතලමයි මැරෙන්නේ. අපේ ගමේ නං එහෙමයි. අපේ ගමට වඩා ඔයාලගේ ගමේ රටේ තත්වේ වෙනස්ද කියල බලන්ඩ අද කට්ටකාඩුවට ගොඩ වෙන්ට.