සාජම්මහත්තයා ගැන ලියන්ඩ පටන් ගත්තම තමයි මතක් වෙන්නේ කොයි තරම් අකරහනි වලට මේ මනුස්සයා මූණ දුන්නද කියන එක. මනුස්සයෙක් විදිහට මේ හැම දේම විද දරාගෙන ජීවත් වෙන එකත් එක විදිහකට හරි පුදුම දෙයක්. පහුගිය සතියක කියන්ඩ හිටපු ඒත් ලිපිය දිග වැඩි වෙච්ච හිංදා ඉතුරු කරපු කතාවක් තමයි අද ලියන්ඩ හිතාගෙන හිටියේ. එහෙම ඉන්නකොට තමයි තවත්
සිද්ධියක් මතක් උනේ. මේ සිද්ධි දෙකම සාජම්මහත්තයගේ වීර වික්රම ක්රියා ගැන හොඳ සාක්ෂි. ඉතින් කවුරු හරි කෙනෙක් සාජම්මහත්තයාගේ වැඩ ගැන එච්චර දන්නේ නැත්තං පහුගිය ලිපියට මෙන්න මෙතැනින් ගිහින් ඒකත් කියවලාම ආවොත් වඩා හොඳයි.
ඔන්න අද කතාව. මේ කතාව සිද්ධ වෙන්නේ යුද්ධය දරුණු විදිහට ඇවිලෙමින් තිබ්බ කාලෙක. අනූව දශකේ මැද හරියේ විතර. සාජම්මහත්තයා මන්නාරම පොලීසියට අනුයුක්ත වෙන්නේ ඔය කාලේ. හැබැයි පොඩි පරහක් තියෙන්නේ මේ පොලීසිය මන්නාරම පොලීසියද නැත්තං මන්නාරම දිස්ත්රික්කේ තිබ්බ පොලීසියක්ද කියන එක මට හරියට මතක නැති කමයි . මොක උනත් මන්නාරම පැත්තේ පොලිසියක් කියල හිතා ගන්ඩකෝ.
සාජම්මහත්තය මේ පොලීසියට අනුයුක්ත වෙලා දවස් දෙක තුනයි ගියේ. ඔය පොලීසියට කොටි ගහන සැලසුමක් තියෙනවා කියලත් ප්රහාරය අද හෙටම රෑ කාලෙක එල්ල වෙන්ඩ පුළුවන් බවත් ඉන්ට් එකෙන් (සාජම්මහත්තයා ගේ වචනයක්..මගේ හිතේ මේ කියන්නේ පොලීසියට සම්බන්ධ බුද්ධි අංශයක් වෙන්ඩ
ඕන) මැසේජ් එකක් ආවේ පොලිසියේ ලොකු මහත්තයාට.