Tuesday, April 30, 2019

නාලිනී, වණය, ඉසිසිංග සහ අපි



අද උදේ පාන්දරම මට ඇහැරුනේ අමුතු සද්දෙකුත් එක්ක. ගෙදරට පල්ලෙහා පුවක් අරඹ පැත්තෙන් උළමෙක් කෑ ගහන සද්දයක්. කෑ ගහන හැටි මීට ඉස්සරත් මං අහල තියනවා. හැබැයි මේ දවස් වල තියන මූසල තැතිගැම්මත් එක්ක  උළමගේ සද්දේ මට අමුත්තක් ගෙනාවා. උළමා කෑ ගහන්නේ කාට හරි කරදරයක් වෙන්ඩ ලං උනාම කියල විශ්වාසයක් තියෙනවා. හින්දම ඇඳෙන් නැගිටලා ඇවිත් ඉස්සරහ ජනේලෙ ඇරියෙ හරියටම සද්දේ එන්නේ කොහෙන්ද කියල දැනගන්ඩ.  මේ දවස් වල තියන අඩු පීඩන තත්වේ - සමාජේ විතරක් නෙවෙයි බෙංගාල බොක්කෙත් අඩු පීඩන තත්වයක් - හින්දද කොහෙද හීං සිරි පොදයක් වැටෙනවා. මට ඕන උනා සිරි පොදට තෙමෙන්ඩ....තෙමි තෙමී උළමාගේ සද්දේ අහන්ඩ. හින්දම දොරත් ඇරගෙන එලියට ඇවිත් පිල උඩින් වාඩි උනා.


සිරි පොද වැස්සේ තෙමි තෙමී උළමාගේ සද්දේ අහනකොට මතක් උනේ ගුණදාස කපුගේ මහත්තය..... එතුමා ගයනා කරන මගේ ආසම සිංදුවක්...

පාළුව දෙවනත් කරලා
නාඩන් උළ ලේනෝ

කාටත් නපුරු දා - තනිකම ඇති වෙනවා
හීත හුළං හිරි කඩයි - කැළේ අපිට උරුමේ
උඹට පිහාටුයි - මට පැල්පතයි තියෙන්නේ

උළ ලේනෝ....

උළ ලේනා නොහොත් උළමා ගැන මම ඉස්සරෝම කියෙව්වේ ආර්. එල්. ස්පිට්ල් මහත්තයාගේ Wild White Boy පොතේ පරිවර්තනයක් උන සුදු වැද්දා පොතෙන්. පොතේ විදිහට රජ්ජුරුවන්ගේ ඥාති දියණිය නාලිනීට තමයි උළමෙක් කෑ ගහන සද්දේ ඇහෙන්නේ.

ඔන්න එතකොට තමයි මට මතක් වෙන්නේ නලිනී කියල ජාතක කතාවක් තියනවා නේද ජාතක කතා පොත් වහන්සේ ගේ කියල. සමහරු මේ ජාතක කතාවට නිලිනිකා ජාතකය කියලත් කියනවා.

Sunday, April 21, 2019

එලොයි, එලොයි, ලාමා සබහ්තානි


එලොයි, එලොයි, ලාමා සබහ්තානි?

(මාගේ දෙවියනි, මාගේ දෙවියනි,
ඔබ මා අත් හැරියේ කුමක් නිසාද?)



“පිලාත් ඔවුන්ට නැවත පිළිතුරු දෙමින් , එසේ නම් ජුදෙව්වරුන්ගේ රජය' යි ඔබ කියන මොහු ගැන කුමක් කරන්නදැයි ඇසීය. කුරුසියෙහි ඇණ ගසන්නැයි ඔවුහු යලිත් මොර ගැසූහ. එකල පිලාත්: කිමෙක්ද? මොහු කුමන අපරාධයක් කෙළේ දැ යි ඔවුන්ගෙන් ඇසීය. එහෙත් ඔවුහු කුරුසියෙහි ඇණ ගසන්නැයි වැඩි වැඩියෙන් මොර ගැසූහ”.

ශුද්ධවර මාක් (15:12-14)