ඉන්දියාවෙයි, නේපාලෙයි ගංවතුර හිංදා 250 කට වඩා මැරිලා. ගිය සතියේ හැම පත්තරේකම වගේ තිබුණු ප්රවෘත්තියකින් මගේ මතකය අවුරුදු දොළහක් දහතුනක් අතීතයට ගියා. ඒ කාලෙ කට්ටකාඩුවේ ලොකු මල්ලි දකුණු ආසියානු ආපදා කළමනාකරණ වැඩසටහනක වැඩ කළා. නේපාල්, පකිස්ථාන්, ඉන්දියා, ශ්රී ලංකා වගේම බංග්ලාදේශෙත් මේ වැඩ සටහන ක්රියාත්මක උනා. මේකෙදි තේරිච්ච දෙයක් තමයි ලංකාව ඇරුනහම අනිත් හැම රටකම තියන ගංවතුර ආපදා හුගකට වග කියන්ඩ ඕන අපේ කලාපේ ලොකු අයියා වන ඉන්දියාව කියන එක. අද මං කියන්ඩ යන්නේ එක උදාහරණයක්, අපේ ලොකු අයියාගෙ පසික්කාඩු වැඩ ගැන.
මං වැඩ කලේ නෙපාලේ 'තරායි කලාපය' කියලා හඳුන්වන තැනිතලා බිම් ප්රදේශයේ. ලුම්බිණිය අයිති වෙන්නෙත් මේ කොටසට. මේ හරියේ තියෙන ඉතා වැදගත් වනාන්තරයක් තමයි චිත්වාන් ජාතික වනෝද්යානය. මේ වනාන්තරේ ඉන්න රයිනෝසිරස් සත්තු හින්දා ලෝකයේම අවධානය දිනාගත්තු, ‘ලෝක උරුමයක්’ විදිහට නම් කෙරිච්ච කැලෑවක්. ඔය කැලෑවේ එක පැත්තකින් ගලාගෙන යනවා රප්ති කියලා ගඟක්. වැඩි ප්රසිද්ධියක් නැති මේ ගඟ, චිත්වාන් වලදී එක්කහු වෙනවා ගන්ධකි එහෙම නැත්නම් නාරායනි කියන ලොකු ගඟකට. මෙන්න මේ ගන්ධකි තමයි කිලෝමීටර් කීපයක් එහා තියන නේපාල-ඉන්දියානු දේශ සීමාව පැන්න ගමන් ගන්ධක් ගඟ කියලා හඳුන්වන්නේ. මේ ගන්ධක් ගඟ, සුප්රසිද්ධ ගංගා නම් ගඟේ වම් අතු ගංගාවක්. ගංගා නම් ගඟ ඉන්දියාවේ සංස්කෘතියේ මුදුන් මල් කඩක්. හින්දු ආගමිකයන්ට මේ තරම් වටිනා ගඟක් මුළු ලෝකෙම තියනවද කියලා මට සැකයි. කොච්චර වැදගත් උනත් බිහාර්, ජාර්ඛන්ද්, බෙංගාලය වගේ ඉන්දියාවෙ නැගෙනහිර ප්රදේශ වල ඇතිවෙන ගංවතුර පාලනය කරන්ඩ නම් මේ ගංගා නම් ගඟ පාලනය කරන්ඩ ඕන බව ඉන්දියාව 1950 ගණන් වලදීම තේරුම් ගන්නවා.