Saturday, September 12, 2020

සළුපට- 2

සළුපට අහසට නාට්යයේ ප්රධාන නළුවෝ තාම පෝස්ට් එක දැකලා නෑ. එහෙම නැත්තං උං මාව මරන්ඩ කොන්ත්රාත් දීපු උන්ට තාම සල්ලි දීලා නෑ. ඔය කාරණා දෙකෙන් මොකක් උනත් සළුපට අහසේ දෙවෙනි කොටසත් ලියන්ඩ තාම පණ කෙන්ද රැකිලා තියෙනවා. තාම මේ ගේම ඉල්ලන්නේ ඔෆිස් එකෙන් මං මළොත් හම්බ වෙන ලක්ෂ විස්ස තිහ ලංසුවට තියලා. අපේ ගමේ කියන විදිහට සුටුස් ගාල හුස්ම ටික ගියොත් අපේ බැච් එකේ සාඩම්බර ඉතිහාසයට මේ ට්රිප් එකේ ඉතිහාසය හරියට නොලියවීමෙන් වෙන අඩු පාඩුව හින්දමයි මේ ලියන්නේ.

අපි අලුත් සහශ්රකයේ බැච් ට්රිප් එකක් ගිය විදිහත් මැණික් ගඟේ නාන්ඩ ගිහිං සෝමෙයා ජී.කේ. කියල ගරු නම්බු නාමයක් ලබා ගත්තු හැටිත් මම ගිය පාර කිව්වා මතක ඇති. අමතක කෙනෙකුට මෙන්න සබැඳිය ගිහිල්ලා හිතේ හැටියට බලා කියාගෙන එන්ඩ පුළුවන්.



දැන් ඔන්න පහුවදාට එලි වෙලා.

කෝ මචං සෝමේ? ඊයේ රෑ වෙච්ච අකටයුත්ත මතක් උනාම මම ඇහුවා.

ඌට ඒක මතකත් නෑ අර ඉන්නේ කෙල්ලෝ එක්ක පැණි හල හලා…ගොට්ටා කිව්වේ දත් මිටි කන ගමන්. ඌට කෙල්ලෙක් එක්ක කොල්ලෙක් කතා කර කර ඉන්නවා පේන්ඩ බෑ. ඌට කිසිම පණ තියෙන ගෑණු ළමයෙක් කැමති වෙච්ච නැති හිංදා.

අපි කෑ ගහමුද ජී කේ කියල? මම ඇහුවේ ඔලුවේ තිබ්බ දෙහි රේණු අතින් එක්කහු කරන ගමන්...

චී..ඒක හරි නෑ... හලපු පැණි ටිකත් අපරාදේ අපි කෑ ගැහුවොත්...