Sunday, September 23, 2018

එළදෙන සහ සමාගම - අවසාන කොටස


කාකාස ඉස්ටෝරු කාමරේට දුවල ගිහිල්ල ටෝච් එකක් අරං ආවා. මැනේජර් මහත්තයා එළදෙනගේ කට ඇතුලට ටෝච් එක ගැහුවා. එතකල් එළදෙනගේ කට ඇරලා අත් දෙකෙම්ම අල්ලගෙන ඉන්ඩ උනෙත් කාකාස ටම තමයි.

නියමයි! පොටෝකාරයා කිව්වා.

මට ඕනේ ඌ කට බලියාගෙන වගේ ඇරගෙන ඉන්න විදිහට ගන්ඩ මැනේජර් මහත්තයා කිව්වා. ඊ ගාවට එම්.ඩී. පැත්තට හැරිලා මෙහෙම කිව්වා. සර් එළදෙන දවස පුරාම මොනවා හරි හප හප තමයි ඉන්නේ. හැම හින්දුවෙක්ම එළදෙනට ආදරෙයි. ඒ හිංදා අපි එළදෙනක්ව පොස්ටරේට දැම්මොත් උන් කැමති වෙයි අපේ චුවින්ගම් වලට!

ඔහු ආයෙත් ටෝච් එක ගැහුවා. එළදෙන කලබල ගතියෙන් ඔලුව වැනුවා. ඊ ගාවට ඌ දුවගෙන ගියේ පොටෝ කාරයයි මනුස්සයාගේ අනික් පොටෝ ගහන බඩු ටිකයි තිබ්බ තැනට!

ඉක්මනටම අරූව මෙතනිං අරං යනවලා! එම්.ඩී. මහත්තයා කෑ ගැහුවා. මට හුස්ම ගන්නවත් බෑ. මේ ගන්දස්සාර ජරාව අහක් කරනවා මෙතනින්! මෙතන කුණු බිංදුවක් නැති වෙන්ඩ හොඳට සුද්ද කරනවා අද දවස ඉවර වෙන්ඩ ඉස්සර!! එහෙම කියල එම්.ඩී. මහත්තය ගෙදර යන්ඩ ගියා.

දැන් තුන් දෙනාම එක්කහු වෙලා එළදෙනව අදිනවා පල්ලෙහාට යන්ඩ. එළදෙන ඔලුව ගස්සපු ගමං තුන්දෙනාම වැටුනා බිමටම. මෙහෙම තුන් දෙනාම බිමට වට්ටපු එළදෙන ඊගාවට හැරුනේ ෆයිල් කාමරේ දිහාවට.

ඔය අතරේ තමයි කාකාසට මතක් උනේ එදා හවස ලියුම් දැම්මේ නෑ නේද කියලා. මිනිහ සුටුස් ගාලා ගියා ලියුම් කාමරේට. ගත්ත ලියුම් ටික. ඊ ගාවට කුස්සියට දුවගෙන ගියේ මනුස්සයාගේ සෙරෙප්පු දෙක දා ගන්ඩ. ආ...මුද්දර ගහන්ඩ සල්ලි එපැයි...කාකාස දුවගෙන ගියා එකවුන්ටන් මහත්තයා ගාවට. මුද්දර සල්ලිත් ඉල්ලගෙන පන එපා කියල හැතැම්ම බාගයක් දුර තියන තැපැල් කන්තෝරුවට දුවලා යනකොට ඒක වහන්ඩ තව ඉතුරු වෙලා තිබ්බේ විනාඩි දෙකයි! ලියුම් ටික දාලා ආපහු කාකාස ඔෆිස් එකට එනකොට හවස පහ පහුවෙලා. ඔෆිස් එක හිස්. කාකාස දැක්කේ ෆයිල් කාමරේ දොරට හේත්තු වෙලා බිම ඉඳගෙන හති අරින මැනේජර් මහත්තයා. පොටෝ කාරයත් එක්ක වෙච්ච සංගදියෙන්  පස්සේ එළදෙන පස්සේ දුවපු මැනේජර් මහත්තයාට පුළුවන් උනා ෆයිල් කාමරේ ඇතුළට එලදෙනවා දක්කලා පිටිං ලොක් එක දාන්ඩ. ආය එළදෙන එළියට එනව බොරු!

Wednesday, September 19, 2018

එළදෙන සහ සමාගම


කෝ එළදෙන?” එහෙම ඇහුවේ කන්තෝරුවේ මැනේජර් මහත්තයා.

එළදෙන?” කනිෂ්ට නිලධාරියා ඇහුවා.

ඔව්වෙන මොකෙක්ද?”

ඕ...ආ....එළ...දෙ..න…!”

මම උඹට කිව්වේ දවස් දෙකකකට කලින්!”

ඔව්... ඔව්... මට අමතක් උනේ නෑ….අද හවස් වෙනකොට... එයාට උත්තරේ ඉවර කරන්ඩ හම්බ උනේ නෑ.

නෑ. හවස් වෙනකොට නෙවෙයි දවල් දොළහ වෙනකොට...ඉස්සරහ ලොබියට!!”

මම හිතුවේ එයා කිව්වේ විහිලුවට කියලා…” කනිෂ්ට නිලධාරියා එහෙම කිව්වේ එයාගේ මේසෙ ගාවට යන ගමං.

එළදෙනක්?” එකවුන්ටන් මහත්තයා ඇහුවා

ඔව්!!”

ඇත්ත එකෙක්?”

ඔව්...ඔව්..එළදෙනක්!...ඇත්ත එකෙක්!!..ජීවත් වෙන එකෙක්!!!...දැන් යං මාත් එක්ක.

Friday, September 14, 2018

භූත සෙල්ලම

ඝරසරප ෆිල්ම් එකේ කළු කුමාරයා කියන අද්භූත බලවේගය එක්ක කතා කරනවා කියල කියනවා.කළු කුමාරයා ආදරයත් එක්ක බැදිච්ච අද්භූත සංකල්පයක්. ආදරය කියන දෙයම මහා අද්භූත දෙයක් වෙච්චි කොට ආය වෙන අද්භූත දේවල් එක්කහු නොකරත් හැම ආදර කතාවක්ම අද්භූත කතාවක්. නිකමට හිතල බලන්ඩකො කොහොමද දෙන්නෙක් ආදරෙන් බැදෙන්නේ? කොහොමද ආදරේ කරන කෙනා වෙනුවෙන් අප්රමාන කැපකිරීම් කරන්නේ? එහෙව් කැප කිරීම් කරපු කෙනා සමහරවිට නොහිතූ, නොපැතූ විදිහට ඇත ඇරලා දාලා යන්නේ? එහෙම නැත්තං ආදරයත් එක්ක ජීවිතේ ඉවර වෙනකල් කටු කාගෙන ජීවත් වෙන්නේ?

ඔයවගේ දාර්ශනික දේවල් ගැන හිත හිතා ඉන්නකොට මට මතක් උනා අපි පොඩි කාලේ වෙච්ච සිද්දියක්. මේ සිද්ධිය වැඩි හල හොල්මනක් නැතුව ගලාගෙන ගිය අපේ ගමේ ජීවිතේ කොච්චර වෙනස් කරාද කියනවනං තාමත් මිනිස්සු මේ ගැන කතා වෙන වෙලාවල් තියනවා. ඉතිං අද කතාව ගැන.

කතාවේ මූලිකයා කවුරු උනත් මේක උනේ අපේ පල්ලෙහාගෙදර මාමලාගේ ගෙදර. ගෙදර කට්ටිය ගැන මම දැන් කතා දෙක තුනක ලියල තියනවා සමහරුන්ට මතක ඇති. අමතක අය බාචි ගේ පොල් හොරකම ගැන මෙතනිනුත්, පල්ලෙහාගෙදර මාමාගේ සමාජ සේවය ගැන මෙතනිනුත් බලා ගන්ඩ පුළුවන්.

Sunday, September 2, 2018

සිරි රහල් නම් උතුමෙකි- අවසාන කොටස


අතීතයෙන්  පටන් ගත්තු දියවන්නාව අදත් ගලාගෙන යනවා. එදා කෝට්ටේ රජ වාසලේ ඉඳලා ටික දුරකින් පිහිටලා තිබුණු දියවන්නාව කොච්චර නං රහස් සඟවා ගෙන ඇද්ද? අතීතේ අන්ධකාරය අනාගතයට ගෙනියන්නේ දියවන්නාවේ දියරැළි ද? මම මෙහෙම හිත හිතා ඉන්නකොට මෙන්න කුවේණි නාට්‍යයේ ගායක පිරිස එනවා කොන්තගන්තොට පාලම උඩට. ඔවුන් ඔබට ආරාධනයක් කරනවා.

සියක් දහසක් අතීතය දෙස
සියක් දහසක් අඳුරු සෙවණැලි
ඉන්ද්‍ර ජාලා මන්ත්‍ර අංජන
තුලින් සියුමැලි නෙත් යොමන්නේ 



මතකනේ අපි තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ගැන කතා කරමින් හිටියා. එතුමා කියපු විස්තර ගැන තව ටිකක් හොයන්ඩ අපි අතීතෙට ගිහින් වීදාගම හාමුදුරුවොත් හම්බ උනා. කවුරු හරි කෙනෙකුට ඒ ගැන කියවන්ඩ බැරි උනානං මෙන්න මෙතනින්පළමුවැනි ලිපියටත් මෙන්න මෙතැනින් දෙවෙනි ලිපියටත් යන්ඩ පුළුවන්. අද අපි කෝට්ටේ යුගයේ අන්තිම කාලෙ හිටපු යුද වීරයා හම්බ වෙන්ඩ යනවා. වීදිය බණ්ඩාර කුමාරයා.