පොත් අල්මාරිය පෙරල පෙරල ඉන්නකොට කාලෙකට ඉහතදී කියවපු ඒත්
අමතක වෙලා ගිහින් තිබ්බ පොතක් හම්බ උනා. ඛාලිඩ් හොසෙයිනිගේ ද කයිට් රනර් (සරුංගල් යවන්නා).
මම ආසම පොතක්. ඛාලිඩ් හොසේයිනි තරම් අපූරුවට චිත්ත රූප මවන ලේඛකයෙක් ගේ පොතක් මම කියවලා
නෑ. ඒ පොතේ තියෙනවා ලස්සන දෙබසක්. කතා නායක අමීර් සහ එයාගේ තාත්තා අතර.
මුල්ලා මොනවා ඉගැන්නුවත් මේ ලෝකේ තියෙන්නේ එකම පවයි. එකම එකයි. ඒ තමයි හොරකම. අනිත් ඕනෑම පවක් හොරකමේ වෙනස් විදියක් විතරයි. පුතේ උඹට ඒක තේරුනාද?
නෑ තාත්තා.......
ඔයා මිනිහෙක් මැරුවොත් ඔයා ඒ මනුස්සයාගේ ජීවිතය හොරකං කරනවා.
ඔයා එයාගේ බිරිඳට ස්වාමියෙක්ගේ රැකවරණය ලබාගන්ඩ තියන අයිතිය හොරකං කරනවා. එයාගේ දරුවන්ට
තාත්තෙක් එක්ක හුරතල් වෙන්ඩ තියන අයිතිය හොරකං කරනවා. ඔයා බොරුවක් කියනකොට ඒක අහන කෙනාට
ඇත්ත දැනගන්ඩ තියන අයිතිය ඔයා හොරකං කරනවා. ඔයා වංචාවක් කරනකොට ඒ වංචාවට අහුවෙන කෙනාට
සාධාරණත්වය වෙනුවෙන් තියන අයිතිය හොරකං කරනවා. තේරුනාද?
තේරුනා තාත්තා!!
මේ දෙබස දකින කොට මට අපූරු කතාවක් මතක් උනා පහුගිය දවසක අහපු.
ඒ කතාව කට්ටකාඩුවට ලියන්ඩ ඕන කියල මට හිතුනේ ඒ කතාවේ තිබ්බ අපූරු සිදුවීම් රැසක් හිංදා.