සුළං හමයි. ඈතින් හඳ පලුවක් පායමින් අහස ආලෝකවත්
කරයි. සුළඟට ලෙළෙන කොඩි වැල් දෙක තුනක් තිබුණු පුංචි දේවාලය පේන තෙක් මානයක ඇති
එකම මනුස්ස වාසයක් ගැන තියන හෝඩුවාවයි. හිතට පොඩි බයක්
දැනෙන්නේ තව කොච්චර වෙලාවක් මෙතැන රඳන්ට වේ දැයි නොදන්නා නිසාය. අප සිටියේ ඉන්දියාවේ
ඔරන්ගාබාද් නුවරින් කිලෝ මීටර් තුන්සීයක් විතර රට මැද්දට වෙන්න තියන කඳු ගැටයක්
උඩ. මාත් එක්ක හිටියේ ක්‍රිස්පිනෝ සහ සුරූපී ටිකිෂා විතරයි. ක්‍රිස්පිනෝ ගෝවේ
ඉපදුනු ඉන්දියානු ජාතිකයෙක්. ඔහු වැඩ කල WOTR කියන ආයතනය තමයි
අපිට ජලාධාර ප්‍රදේශ සංරක්ෂණය ගැන ඉගෙන ගන්න මේ අධ්‍යයන චාරිකාව සංවිධානය කලේ.
ටිකිෂා කෙන්යානු තරුණියක්. අවුරුදු විසි පහක් විතර ඇති. ඔය කියන කාලේ මටත් අවුරුදු
විසි හතකට අටකට වඩා නෑ. අපි මේ කඳු මුදුනේ අතරමං වෙච්ච හැටි වෙනම කතාවක්. ඒක තව
දවසක කියන්නං. එතකල් කොයි වෙලාවේ අපිව
හොයාගෙන අනිත් කට්ටිය ඒවිද කියන බලාපොරොත්තුවෙන්, එතකල් සත්තු
සරුපයන්ගෙන් ගැහැටක් නොවී ජීවිතේ පවත්තගන්ඩ පුළුවන් වෙයිද කියන දෙගිඩියාවෙන් අපි
එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා.
මේ අගස්ති මුණි ගේ යැයි සැලකෙන රූපයක්
ක්‍රිස්පිනෝ, WOTR ආයතනයේ ඉහළ
නිලයක් දැරූවෙක්. ඒ හිංදා අපි අතුරුදහන් කියලා දැනගත්තු වහාම ඒ සංවිධානයේ කට්ටිය
අපිව හොයන්ඩ එන බව අපි දැනං හිටියා. හැබැයි මේ කන්ද රෑ පානේ නගින එක ලේසි වැඩක්
නෙවෙයි. ඒ හිංදා අඩුම ගානේ තව පැය තුන හතරක් මෙතනම ඉන්ඩ වෙන බව ස්ථිරයි. ආසියානු
පිරිමි වෙච්ච ක්‍රිස්පිනෝටත් මටත් මේක දරා ගන්ඩ පුළුවන් උනාට සුන්දර ඇෆ්රිකානු
තරුණිය ටිකිෂා නං හොඳටම බය වෙලයි හිටියේ.