Sunday, July 28, 2019

ශිෂුපාල


භරත මුණි කියන පඬිවරයා මීට අවුරුදු දෙදාහකට ඉස්සර තමුන්ගේ නාට්‍යශාස්ත්‍ර කියන පොතේ රස වර්ග අටක් ගැන උගන්නනවා. ඒ ශ්රුංගාර, හාස්‍ය, රෞද්‍ර, කරුණා, භීබත්ස්‍ය, භයානක, වීර, අද්භූත කියන  වර්ග. පස්සෙන් පහු කාලෙක ඔය අටට ශාන්ත රසයත්  එකතු වෙලා තමයි අද අපි කියන ඔය නව නළු රසය හැදිලා තියෙන්නේ.  ඒ කොහොම උනත් භීබත්ස්‍ය එහෙම නැත්තං අප්පිරියාව, කළකිරීම, ජුගුප්සාව කියන දේ රසයක් වෙන්නේ කොහොමද කියල මට නං හිතා ගන්ඩ බෑ. ඒක හින්දම හුගක් සිංහල ටෙලිනාට්‍ය, චිත්‍රපට බැලිල්ල වගේම වගේම නවකතා කියවිල්ලත් මං කරන්නේ හරිම අඩුවෙන්. පරිවර්තන ගැන තත්වේ වෙනස්. වැඩියක්ම ත්රාසජනක හෝ අබිරහස් කතන්දර- ඒ කියන්නේ භයානක, වීර, අද්භූත රස දනවන කතා- කියවන්ඩ මං හුගක් කැමතියි. දුක හිතෙන එහෙම නැත්තං ශෝකාන්ත ඝනයට අයිති වෙන දේවල් නං කියවන්ඩ කොහෙත්ම කැමැත්තක් නෑ


දවසක් සූරිය ප්රකාශකයන්ගේ පොත් සාප්පුවට ගොඩ වෙලා ඉන්න වෙලාවක අහම්බෙන් දැක්ක තීන්ත නදිය කියන පරිවර්තන නවකතාව ගත්තේ ඒක ලංකාව පසුබිම් කරගෙන ලියවෙච්ච ඓතිහාසික නවකතාවක් කියල කවුදෝ කියපු හින්ද. ටිකක් කියවලා බලන කොට තමයි තේරුනේ කතාවට පසුබිම් වෙන්නේ පොළොන්නරු යුගයේ  වෙච්ච කාලිංඝ මාඝ ගේ ආක්රමණය වෙච්ච කාලේ කියන එක. ඒක කොහොමද ශෝකාන්තයක් නොවෙන්නේ?