Saturday, June 22, 2024

පුටු සැටිය

 

අපේ ගෙදර සාලයේ අපි පොඩි කාලයේ තිබුනේ වේවැල් පුටු කීපයකි. ඒවා අප්පච්චීට සල්ලි යහමින් තිබුනු ඈත කාළයකදී රදාවඩුන්නෙන් (මෙහි මුල් කතාවේ වේවැල් බඩු ගෙනාවේ වේවැල්දෙනියෙන් බව සඳහන් වීම වැරදි සහගත් බව පෙන්වා දුන් ප්‍රියන්තතුමාට නොවක් තුති!!) ගෙනා මිල අධික පුටුය. එහෙත් අපේ ගෙදර කවමදාකවත් කිසිම දෙයක් පෙනුමට පමණක් තිබුනේ නැත. ගෙදර අබ ඇටයක් තරම් හෝ දෙයක් තිබුනේ නම් ඒ පාවිච්චියටය. අප්පච්චීගේ නීතිය එයයි. හරියටම කිව්වොත් ඒ නීතිය අප්පච්චීගේ නොවීය. ඒ අම්මාගේ නීතියකි. ම්හ්...මතකය කියන විදිහට ඒ දෙන්නාටම එකිනෙකාට සුන්දර නෝක්කාඩුවක් නොකියා එකඟවිය හැකි යමක් තිබුනේ නම් ඒ මේ නීතියය. හොඳම දේ නොව හැමදේම දරුවන්ටය!

ඉතින් ගෙදරට එන ඕන කෙනෙකුට ගෙදර මැද සාලයේ තිබුණු වේවැල් පුටු සැටියේ ඉඳගැනීමට හැකිවිය. ඇත්තම කිව්වොත් වේවැල් පුටුවල් ඉඳ නොගත්තේ නම් ඉඳගන්නට තිබුනේ බිමය. අපි පොඩි කාළයේ පුටුවලද බිමද යන්නෙහි ලොකු වෙනසක් නොතිබුණෙන් ගෙදරට කවුරුන් හෝ පැමිණි විට අපි බිම ඉඳ ගැනීම මහ අරුමයක් නොවීය.



ඉතින් ඔහොම ටික කාළයක් යනවිට වේවැල් පුටු වලට මකුණන් බෝවිය. මකුණන් යනු මහා කරදරකාරී සතෙකුබව නොදන්නේ මකුණු කරදරය ඉතා අවම අද ඊයේ ඉපදුනෙකු විය යුතුය. අපි පොඩි කාළයේ පුටුවලද, මෙට්ට වලද, ඇඳන් වල දාරවලද බංකු වලද, පිචැර් හෝල්වල පුටුවලද කොටින්ම මිනිස්සු ඉඳගන්නා, නිදා ගන්නා, හේත්තු වී ඉන්නා ඕනෑම අටමගලයක මකුණන් වරදින්නේ නැත. ඉතින් අපේ ගෙදර් පුටුවල විතරක් මකුණන් නොඉන්නට හේතුවක් නැත.

ඇඳන් හෝ මෙට්ටවලට වලට මකුණන් බෝ වූ විට අවුවට දමා වේලා ගැනීමත්, දාරයන් දිගේ දබර ඇඟිල්ල තද කර අදිමින් උන් පරලොව යැවීමත්, ගමේ විදිහටම කිව්වොත් නප්පියට තද වූ විටෙක මකුණන් සිටින තැන් වලට උණුවතුර වක් කිරීමත් අපේ සිරිත විය. පුටු...!පුටු වලින් මකුණන් ඉවත් කිරීම වෙනම කලාවකි. ඒ කළාවේ අමරදේවලා, චිත්‍රසේනලා, පීටර් සූරසේනලා විතරක් නොව දේවේන්ද්‍ර මූලාචාරියා පවා සිටියේ අපේ ගමේය. උන් ඉඳගත් පුටුවක සිටි මකුණෙක් කෑ විගස “උගෙ අම්මට...” ලෙස මකුණු මාතාවන් සිහි කොට සිය කළා හරඹ දැක්වූහ. පුටු විවිධ හඬ රටා මවමින් ඉස්සී බිමට පාත් විය. ඇත්තෙන්ම මකුණන්ට වඩා බැටකෑවේ පුටු කකුල් ය. ඒවා වේවැල් පොලු මිසක් දියමන්ති නොවෙන බව අපට මතක් වෙනකොට අපේ ගෙදර තිබුණු පුටු සියල්ලගේම කකුල් කැඩී අහවරව තිබුණේය.

ඒ කාලය වනවිට අපේ ගෙදරට සෙනසුරු ලබලාය. අසූ ගණන්වල අග භීෂණයෙන් රටම වෙලී යද්දී අප්පච්චීට රැකියාව අහිමි වූයේ රෝගී තත්වයක් නිසා මාස කීපයක් නිවාඩු පිට සිටීම නිසාය. ඉන් පසුව ඔහුගේ විනෝදාංශය වූයේ විවිධ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති විවේචනය කිරීම මිස රැකියාවක් කිරීම නොවේ. එනිසා ගුරුවරියක වූ අම්මාගේ වැටුපෙන් මුලු පවුලම රැකෙන තත්වයට වැටී තිබිණ. අපේ අධ්‍යාපන කටයුතු සඳහාද කෑම බීම හා අනෙකුත් උවමනා එපාකම් සඳහාද වෙන්වෙන මුදල් සතයකින් හෝ අඩු කිරීමට අම්මාද අප්පච්චීද අකැමැති වූහ. හොඳම දේ නොව හැම දේම දරුවන් උදෙසාය!!

ඉතින් ගෙදර පුටු සෙට් එකක් නැතිවිය. කවුරුන් හෝ ගෙදරට පැමිණිවිට කෑම මේසයේ තිබුනු පුටු දෙක තුනක් සාලයට පැමිණෙයි. ඊට වැඩි දෙනෙක් පැමිණි විට කාමරවල ඇඳන් අපේ ආසන විය. එය වඩා ලෙංගතුබවක් ඔවුන් සිතන්නට ඇත. ඒත් ඇත්තම කතාව වූයේ ගෙදර පුටු නොමති වීමය. එකළ ගමේ නිවෙසක උත්සව පැවැත්වෙන විට අද මෙන් උත්සව ශාලාවල එම උත්සව පැවැත්වීමේ හුරුවක් නොවූයෙන් ගමේ සෑම ගෙදරකින් ම පාහේ පුටු, පිඟන්, කෝප්ප ආදිය එකතු කොට එම උත්සවය පැවැත්වෙන නිවෙසේ කටයුත්ත සිදු විය. එහෙයින් වැදගත් අමුත්තන් කීප දෙනෙක් අපේ නිවෙසට ආ දිනවල අම්මා ඔවුන්ට කියන්නේ ළඟ ගෙදරක උත්සවයකට ගෙදර පුටු සැටිය ඉල්ලාගෙන ගිය බවත් එය තවම ගෙනැත් නුදුන් බවත් ය. අප්පච්චීද හූ මිටි තබමින් එය අනුමත කලා විනා මකුණන් සංහාරයට ගොස් ගෙදර පුටු සැටිය විනාශ වූ බවත් අළුත් පුටු ගැනීමට මුදල් නොමැති බවත් අපි කිසිවිටෙක අමුත්තන්ට නොකීවෙමු. එය එළියට පැන්නේ අප්පච්චීගේ හෝ අම්මාගේ ළඟම මිතුරෙක් පැමිණිවිට පමණි. අම්මාගෙ නෝක්කාඩු නවත්වන්නට අප්පච්චී පාවිච්චි කරන අවසාන ආයුධය “ඇයි තමුසෙ දෑවැද්දට ගෙනාපු එව්වගෙන්නෙ අපි ජීවත් වෙන්නෙ!” අපේ ගෙදර වැඩියෙන්ම භාවිතා උනේ පුටු සැටියක් නොමැති වීම අරබයාය! ප්‍රේම සම්බන්ධයකින් අපේ අප්පච්චී සමග සිය නෑදෑයින්ගේ විරෝධයද නොතකා විවාහ වූ අම්මාට ඔය කියන කාළය වනතුරුත් ඇගේ බොහෝ ළඟම ඥාතීන්ගේ නිවෙස් තහනම් කළාප වී තිබුණි. එනිසා ඈට කිසි දිනෙක දෑවැද්දක් නොලැබුනු අතර එවැන්නක් ලැබුනද අපේ අප්පච්චී එවැන්නක් බාර ගනිතැයි සිතිය නොහැක්කේ ඔහු ප්‍රේමය, දෑවැද්දකින් මැනීමට තරයේ විරුද්ධ වූ නිසාය. ඒ බව අප දැනගත්තේ මා මේ කියන කාළයට බොහෝ කලකට පසුව මගේ සහෝදරයාගේ විවාහය සමයේදීය. “කෙල්ලෙක් බඳිනවා නම් කෙල්ලෙක් බැදපන්. දෑවැද්දක් ඕන නම් හිඟා කාපන්. ඒක වඩා හොඳයි”. හොඳම දේ පමණක් නොව හැම දේම දරුවන් උදෙසා විය යුතුයැයි සිතූ අප්පච්චීගේ මතය විය.

දකුණේ භීෂණ සමය නිමවීමට මද කලෙකට පෙර සමග අප්පච්චීද නැවත රැකියාවකට ගියේය. ඒ දැව නිෂ්පාදන පිළිබඳ ලංකාවේ ප්‍රසිද්ධ සමාගමකය. අද ඔවුන් විවිධ ව්‍යාපාර ජාලයකට හිමිකම් කීවද ඒ ජාලයේ මුල දැව සහ දැව නිශ්පාදන විය. අප්පච්චීගේ පරම්පරාව අඩුම තරමේ පරම්පරා දෙකක් පුරා ඒ වනවිටත් දැව හා දැව නිෂ්පාදන සිය ප්‍රධාන ජීවනෝපාය කරගෙන සිටියහ. අප්පච්චීද අඩුම ගණනේ වසර විස්සක් පමණ කාලයක් සිය ‘පවුලේ රැකියාව’ ප්‍රගුණ කොට සිටියේය. එහෙයින් ඔහුට ‘ලී සහ ලී බඩු’ ගැන අමුතුවෙන් කියා දෙන්නට දෙයක් තිබුණේ නැත. මේ අලුත් රැකියාවත් සමග ගෙදරට ලබා සිටි සෙනසුරාද අතුරුදහන් විය. නැවත අපි සතියකට දෙකකට පාරක් කුකුල් මස් කෑ හැකි තත්වයට පත්වීමු.

ඉතින් නැවත පුටු සැටියක් ලබා ගැනීම ගෙදර ප්‍රධාන මාතෘකාවක් බවට පත් විය.

මෙච්චර කල් හිටපු එකේ අපි ලස්සන පුටු සෙට් එකක් හදා ගම්මු. ඒ අප්පච්චීගේ මතය විය.

ඉතින් ඔය ඕන තරම් කඩවල්වල පුටු විකුණන්ඩ තියෙන්නේ. අපි එහෙම එකක් ගම්මු. වැඩි වියදමක් යන්නෙත් නෑනෙ. අම්මා දැරූ මතය අප්පච්චීගේ මතයට වඩා වෙනස් විය.

අප්පෝ...ඔය කඩවල් වල විකුණන්ඩ තියෙන්නේ මහ බාල පුටු නේ. ඔව්ව අරන් අවුරුද්දක් විතර යනකොට ගුල්ලෝ ගහන්ඩ පටන් ගනීවි. මතකනේ වේවැල් පුටු ටිකට වෙච්ච වැඩේ!

වේවැල් පුටුවලට ගුල්ලො ගැහුවෙ නෑනෙ. මකුණො මරන්ඩ පොලොවේ ගහලනෙ එව්ව කැඩුනේ.

හරි..හරි අපි දැන් ගන්නේ වේවැල් පුටු නෙවෙයි නේ. හොඳ පුටු සෙට් එකක් අපි හදව ගම්මු. හොඳම ලී දාලා. මට පුලුවන් පුටු වලට ඕන සිංහ කකුල් ටික ලියවගන්ඩත් අපේ ඔෆිස් එකෙන්!

කවද්ද ඉතින් ඕක වෙන්නෙ?

තව සතියකින් දෙකකින් මං කකුල් ටික ලියවගෙන එන්නම්. ඊට පස්සෙ මල්ලිගෙ ලී මඩුවෙන් තේක්ක ලී අරං පුටු සෙට් එක හදවා ගම්මු!

ඔතන ඔය මල්ලි කිව්වේ අපේ පොඩි බාප්පාය. පවුලෙන් අප්පච්චීගේ වැඩිම ආදරයක් දිනාගත් පුදගලයා අපේ පොඩි බාප්පාය. පොඩි බාප්පාටද අපේ අප්පච්චී තරම් කිට්ටුවන්තයෙක් හිටියේ නැත. ඔහු ඒ වනවිට පවුලේ ව්‍යාපාරය කරට ගෙන සිටි අතර පුටු සැටියක් නොව දහයක් වුවද සාදා දීම ඔහුට සුටුස් ගානකොට කල හැකිව තිබුණු දෙයකි.

අප්පච්චී කියූ සතිය දෙක මාසය දෙක බවට පත්වී ගත වුවද සිංහ කකුල් හෝ පුටු සැටියක් සෑදීමට බාප්පාට කීමක් හෝ නොවීය.

අර පුටු සැටිය....! අම්මා මතක් කලාය.

ආ...මෙච්චර කල් හිටපු එකේ අපි හොඳ සිංහ කකුල් ටිකක් දාලා හොඳ පුටු සෙට් එකක් හදවා ගම්මු!

දැන් කවද්ද ඕක හදවන්නේ?

තව සතියකින් දෙකකින් විතර මං කකුල් ටික ලියවාගෙන එන්නම්!

දැන් ඔය සති කීයක් නං ගියාද? අපි පුටු සෙට් එකක් ගෙවන්ඩ හරි ගේමුද?

නෑ...නෑ..මං කරන්නංකො වැඩේ. මේ මාසෙ පඩි හම්බ උනාම ගේන්නංකො...

මං ඊයෙ ටවුමෙදි දැක්කා ලස්සන පුටු සෙට් එකක්! කුෂන් දාලා.හරි ලස්සනයි!

හරි හරි ඉතිං අපි හදන එකටත් කුෂන් කෑලි දානවා තමයි. ඉන්ඩකො ටිකක් ඉවසලා.

මං ගාව ඉතුරු කරගත්තු සල්ලි ටිකක් තියෙනවා.මං සල්ලි දෙන්ඩද?

ඇයි තමුසෙ ගෙනාපු දෑවැද්දෙන්නෙ අපි ජීවත් වෙන්නෙ! ...එනපොට හොඳ නැති බව දන්නා අම්මා ඉන්පසුව නිශ්ශබ්ද වන්නීය.

ඇය තව මාසයකට පමණ පසු නැවත පුටු ගැන මාතෘකාව පටන් ගන්නේ ඒ මාසයේ පඩියෙන්ද අප්පච්චී සිංහ් කකුල් නොගෙනා නිසාය! කතාව අවසාන වන්නේ අම්මා නොගෙනා දෑවැද්දෙනි!

තව ටික කලෙකින් මල්ලීද මාද අම්මාගේ සහයට ඉදිරිපත් වීමු! ඒත් අප්පච්චීට වුවමනා වූයේ කොළඹින් ලියවා ගෙනෙන සිංහ කකුල් සහිත තේක්ක පුටු සැටියක් සෑදීමටය. මෙය කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තවත් ටිකක් ඕනෑ කරන වෙදකමක් බව අපට තේරී බොහෝ කල් ගොස් තිබිණ.  එහෙත් අපට තේරුම් ගත නොහැකි වූයේ අප වෙනුවෙන් ජීවිතය වුව පුදදෙන අප්පච්චී, ගෙදරට අත්‍යාවශ්‍යම අංගයක් වූ පුටු සැටියක් තනවා ගැනීමට හෝ මිල දී ගැනීමට මෙතරම් අදිමදි කරන්නේ ඇයිද යන්නයි.

තවත් වසරකට පමණ පසු අප පවුලේ සිදුවූ අතිශය ඛේදජනක සිදුවීමක් නිසා බාප්පාගේ තනි නොතනියට ඔහුගේ නිවසේ නැවතී සිටීමට අපට සිදුවිය. එහෙයින් මාස කීපයකට පුටු සැටිය හෝ සිංහ කකුල් පිළිබඳව අහන්නට නොලැබිනි. මම එකල සාමාන්‍ය පෙළ විභාගයට සැරසෙමින් සිටියෙමි. මාස කීපයක් නිවසෙන් පිටව සිටීමෙන් පසු අපි නැවත ගෙදරට පැමිණීමත් පුටු සැටියක් ලබා ගැනීමේ සිහිනයට නැවත පණ ඒමත් එකවිටම පාහේ සිදුවිය.

විභාගය අවසන්ව ගෙදර ආ මට ගණදෙවි නුවණක් පහල විය.

අප්පච්චී මගේ යාලුවෝ දෙතුන් දෙනෙක් එනවා කිව්වා අපේ ගෙදර දවස් කීපයක් නවතින්ඩ. කමක් නෑ නේද?

ආ..කමක් නෑ.... කමක් නෑ... අම්මට කිව්වද? කවදද එනව කිව්වෙ?

තවම දවසක් නං කිව්වෙ නෑ. තව සතියකින් දෙකකින් විතර එයි!

ඇත්තටම එවන් කතා බහක් ඇතිවී තිබුනේ නැත. මට වුවමනා වූයේ මගේ මිතුරන්ගේ පැමිණීම පිළිබඳ ආරංචියට අප්පච්චී ප්‍රතිචාර දක්වන ආකාරය බැලීමටය. ඒ බව මම අම්මාටද කියා තිබුණි.

එදා හෝ ඊට පහුවෙනිදා අප්පච්චී බාප්පාගේ නිවෙසට ගියේය. සාමාන්‍යයෙන් සිදුවන්නේ සතියකට දෙකකට වරක් බාප්පා, අප්පච්චී හමුවීමට පැමිණීමය. එහෙත් හදිසියේ බාප්පා හමුවීමට අප්පච්චී ගියේ කුමන හේතුවකටදැයි අපි දැන ගත්තේ තවත් දින කීපයකට පසුව බාප්පා විසින් පුටු සැටියක් ලොරියකින් ගෙනැවිත් දුන් විටය. ඒ වනවිට අප්පච්චී ගෙදර නොසිටි බව මට මතකය.

මේ මොකද්ද චූටි මල්ලි? අපේ අම්මා ඇසුවාය.

අයියා ගිය සතියේ ඇවිත් පුටු සෙට් එකක් හදාගන්ඩ ඕන කිව්වා!

ආ..ඇත්තද?

ඔව්. ලොකු පුතාගේ යාලුවෝ වගයක් එනවා කියල ඉක්මනටම ඕන කිව්වා.

අවුරුදු ගනනාවකට පසු අපේ ගෙදරට පුටු සැටියක් හම්බ උනේ එහෙමය. පසුව දැනගත් පරිදි අප්පච්චීගේ සැලසුම වී තිබුනේ පඩි ගත්විටක මිලදී ගත හැකිවන ලෙස බාප්පාට කියා පුටු සැටියක් සාදවා ගැනීමය. එහෙත් බාප්පා සල්ලි නොගෙනම සිය වැඩිමහල් සොහොයුරා වෙනුවෙන් පුටු සැටියක් ගෙනැවිත් දී තිබිණ. අප්පච්චී වදෙන් පොරෙන් බාප්පාට පුටු සැටියේ මිල ගෙව්වේ තවත් මාස කීපයකට පසුවය.

ඉන් පසුව අම්මා සහ අප්පච්චී අතර යුද්ධයක් ඇතිවූ විට දෛවය අප්පච්චීට සතුරු විය.

........ඇයි තමුසෙ ගෙනාපු දෑවැද්දෙන් නෙ අපි ජීවත් වෙන්නෙ!

මං ගෙනාව නං ගේනවා කලුවර කවිච්චියක් සිංහ කකුල් දාලා! අම්මා සිංහ කකුල් කතාව ඇදගත් වහාම අප්පච්චී හෙමින් එතැනින් මාරු වෙයි.

ඊට වසර පහලොවකට පසු අප්පච්චී මෙලොව හැර ගියේය. අම්මාට සිය ජීවන සහකරු නොමැති ජීවිතය නැවත කිසි දිනෙක පෙර මෙන් සතුටුදායක් වූයේ නැත. අප්පච්චීගේ මරණයෙන් වසර පහක් යාමටත් මත්තෙන් අම්මාද අප්පච්චී සොයා ගියාය! ඒ මීට වසර එකොලහකට කලිනි. ඒ කියන්නේ පුටු සැටිය අපේ ගෙදරට විත් දැන් අවුරුදු තිස් දෙකක් තිස් තුනක් පමණ වෙයි!!

පුටු සැටිය තවම තිබේ. කීපවරක් කුෂන් කොට්ට මාරු කරනු ලැබුවද, පුටු සැටිය තවමත් කිසිදු ආන්තරාවක් නැතුව තිබෙන්නේ සමහර විට මකුණන්ද වඳවී ගිය නිසා විය හැක.

මේ ළගඳී පුටුව අසල ගුලු කුඩු කීපයක් වැටී තිබෙනු දුටු අපේ ගෙදර සොඳුරු ආඥාදායිකාව...දැන් නං මේ පුටු ටික වෙනස් කරන්ඩ කාලෙ හරි වගේ...ගුල්ලො ගහන්ඩත් පටන් අරං...අනික දැන් ඉතින් මෙව්ව පරණයි නෙ! කීවාය.

ඒ ගැන කුමක් කියම්දැයි සිතමින් ඉන්නා විට මට කිසිදා නොවිසඳුනු පරණ ප්‍රශ්නයක් නැවත සිහියට ආවේය. අප්පච්චී ගෙදරට පුටු සැටියක් ගෙන ඒමට අදිමදි කලේ ඇයි? ඒ මුදල් අගහිගකමක් නිසාද? පුටු සැටියකට වඩා වැදගත් ප්‍රමුඛතා ඇතැයි ඔහු සිතූ නිසාද?

මට නම් හිතෙන්නේ ඒ ඔහුගේ ආත්ම අභිමානය නිසා බවයි. ගෙදරට අනෙකුත් අවශ්‍යතා මෙන්ම පුටුද සැපයීම තමන්ගේ  වගකීම බව ඔහුට සිතන්නට ඇත. ඒ සඳහා අම්මා ඉපැයූ මුදල් භාවිතා කිරීම ඔහුට මදි කමක් ලෙස දැනෙන්නට ඇත. සමාජයෙන් විය හැකි අවමානයන්ට වඩා ඔහුගේ හිත රිදවන්නට ඇත්තේ පවුල තුල ඔහුගේ අභිමානය පලුදු වීම විය හැක. සමාජය පුටුවක් තිබීම හෝ නොතිබීම මත ඔහුට නොගරහන බව ඔහු දැනසිටින්නට ඇත. සමාජයත් සමග ගනුදෙනු කිරීමට ඔහු සතුව නොයෙකුත් දක්ෂතා තිබීම එයට හේතුවයි. එහෙත් පුටු සැටියක් වැනි එදිනෙදා භාවිතා වන භාණ්ඩයක් පවුලට සැපයීම ඔහුගේම භුක්තියට වගකීමට සීමා වූවක් ලෙස ඔහු සිතන්නට ඇත. තමාගේ බාල සහෝදරයාගෙන් පවා එවැන්නක් ඉල්ලා සිටීම ඔහුට මදිකමක් වන්නට ඇත. එයට අභියෝගයක් වූයේ මගේ මිතුරන් ඉදිරියේ මා අපහසුතාවයට පත් වීමට ඇති ඉඩ පමණි. හොඳම දෙය නොව හැකි සෑම දෙයක්ම දරුවන්ට බව ඔහු ඇදහූ නිසා ඒ අවමානය ඉදිරියේ සිය ආත්ම අභිමානය දෙවෙනි වන්නට ඇත!

මගේ පුටු සැටියේ කතාව ඔබේ නිවසේ කාරයක්, ගෑස් කුකරයක්, පුටු සැටියක්, රූපවාහිනියක් හෝ සමහර විට කමිසයක් හෝ කලිසමක් විය හැකිය. එහෙත් ඒ තුලින් මට නම් පෙනෙන්නේ අපේ අප්පච්චීමය.

සරච්චන්ද්‍ර මහත්තයා කියපු විදිහට....

පුතු සෙනේ මස් නහර හැම සිඳ
ඇට සොයා ගොස් ඇට තුලට වැද
ඇට මිඳුළු මත
රඳා සිට දුක් දෙයි නිබන්දා

පුතු සෙනේ පිතු හද තුලම මිස
නැත පුතුන් හද තුල රඳන්නේ
ඇට සොයා ගොස් ඇට තුලට වැද
සදා කල් නැත දුක් දෙවන්නේ.....

 

එහෙවු පියවරුන්ගේ පාමුල අපේ ගෙදර පුටු සැටියේ කතාව වන පස මලක් වේවා!!!

සුභ පියවරුන්ගේ දිනයක් වේවා අප්පච්චී!! ඔබට නිවන් සුවයම ලැබේවා!!

රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී....


43 comments:

  1. අහා! කලකට පස්සෙ වෙලකට බැස්සේ.😋😁
    හෙමීට කියවල කමෙන්ට් කරන්න ආයෙ එන්නං.👌💐🙏

    ReplyDelete
    Replies
    1. ඇයි හාන්න වතුර මදිතේ... 🙈🙈

      Delete
    2. අඹතලේ පොම්පෙන් වතුර ඇදල හරි හාමු.

      Delete
    3. //ඇයි හාන්න වතුර මදිතේ... 🙈🙈//
      වතුර නෙමෙයි යකෝ, අම්බරුවෙක් හොයා ගන්නෙ කොහෙන්ද කියලයි හිත, හිතා හිටියෙ . අනේ උඹ ආපු එක කොච්චර දෙයක්ද? 😋🤣

      පෂා බොෂා, අඹතලේ දැන් අඳුරගන්නත් බැරි තරමට වෙනස් වෙලා. ඒ වෙලේ දැන් උන් වතුර පුරවලා විලක් හදලා, ආං බෝට්ටු පදිනවා.😯

      Delete
    4. පැයකට දාහයි. කැමති නං කියපං. පුන්නක්කු එක්ක හොඳ වතුර එකක් ඇති 😁

      Delete
    5. අම්මට හුඩු, එච්චර ගණන්ද? දැන් බොලාගෙ යූනියන් එකක්වත් තියනවද?

      Delete
    6. @ D.G.M බස්සාතුමා- මම මුලින්ම කට්ටකාඩුව ලියන්ඩ පටන්ගත්තම දාවස් කීපයක් බලං හිටියා කවුරුහරි බලලා කමෙන්ට් එකක් දායි කියල. මුලින්ම කමෙන්ට් එක දැම්මෙ හැලපතුමා! මාස දහ අටකට පස්සේ ඩ්‍රැකීගේ ඉල්ලීම පිට ලියන්ඩ ගත්තම මං හිතුවා ආයෙත් බලං ඉන්ඩ වෙයි කියල කමෙන්ට් එකක් වැටෙන කල්. පුනරාගමනයේ පලවෙනි කමෙන්ට් එක දැම්මට බස්සාතුමාට පින්!
      @මහේස් රත්නායකතුමා- පැයකට දාහයි???!! මං හිතුව ඊට වඩා ගනං ඇති කියල...අනික පුන්නක්කු මොකටද? :):)

      Delete
    7. දැං හරක්ගෙන් හාන්නෙම නැති තරං. නැත්තෙ නෑ. ඔය උඩ පළාතෙ වෙනම තවම දන්න විදිහට. පැයකට දාහක් නං නැතිව ඇති. ඒම වුණොත් එක වෙලක්හාන්න බරක් යනව. නෙව.

      මෙහෙ හාන්නෙ මහ ටැට්ටරෙන් ලාහකට එද්දාස් දෙසීයයි.

      Delete
  2. සංවේදීය හෘදයංගම ලෙස ලියුව
    ලිපිය ගෙනෙයි සුසුමක්, කඳුළක් මුසුව
    අනේ, එදා පවුලක තිබු එකමුතුව
    ඇයි දැන් දකිනු බැරි- ගිහින්ද අවතැන්ව?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදිතුමා හෙවත් ලොකා!! එදා තිබ්බ පවුලත් නැතිවෙලා තියෙන කොට ඒ පවුල්වල තිබ්බ මහා පුරුෂාර් ථ කොහෙද කියල හොයන එක හෙණ ගහල කම්මලේ යකඩ දාච්චි කොට පුලුන් ඉතුරු උනාද කියල අහනවා වගේ නේද?

      Delete
  3. ඔය පුටු සැටි තියෙනව නේද. හුඟක් ගෙවල් වල ඔව්ව වහල දාල නෙව තියෙන්නෙ. ඉඳගන්න තහනං සීන් එකක් වගේ.
    මේ ළඟකදිත් ඒම එකක් වුණා.
    ගෙදරකට ගියා වැඩකට. එයාලගෙම වැඩකට. ඉඳගන්න වහපු පුටු සැටියයි. පරණ ප්ලාස්ටික් පුටු දෙක තුනකුයි තිබ්බෙ. අර ප්්ලාස්ටික් පුටුවල ඉඳගන්න පූලුවනෑෑකියල හිතල අර සැටිය දිහ බලනකොටම,

    ආ.. ඒක වහල දාල තියෙන්නෙ දූවිලි වදිනවට. අපිත් ඉඳගන්නෙ මේවැයි කියල අර දහිරවාට්ටු පුටු කබල් ටික පෙන්නුව කියපංකො.

    මටදෝ... වහ කන්න හිතුණ. සේප් එකේ හිනා වෙලා අර පුටුවක ටිකක් ඉඳං ඉඳල ආපහු එළියට ඇවිත් ඇවිද ඇවිද ඉඳල ආව එන්න.

    සමහර ගෙවල් වල පුටු සැටි දෙක තුනතියේ එකක් පරණ එකක් අලුත්. ඉඳගන්න දෙන්නෙ පරණ එක. අරක වහල 🙈🙈 ඒ අලුත් එක සෝෆා සෙට් එකක් ාබ
    ාහෝ වෙලාවට.
    ඒ අතිං බලද්දි ලොකු මල්ලෙගෙ ගෙදර හොඳයි. අඩු ගාණෙ ඉඳ ගන්න හරි පුලුවන් නෙව.

    ඒ වේවැල් පුටුනං මාර ගති. මට ලාවට මතකයි කොහෙදිහරි දැකල තියේ.

    ReplyDelete
    Replies
    1. අපේ දිහා කිසිම දෙයක් පෙනුමට විතරක් තිබ්බේ නෑ.. අදත් නෑ...ඔය පුටු සැට් එකේ විතරයි කුෂන් කෑලි තිබ්බෙ. ගෙදර තිබ්බ මෙට්ට කොහු දාලා මහපුවා. ඉතින් ඔය පුටු ටික ගෙනාවට පස්සේ අපි ඕකෙ නිදා ගන්ඩත් පටන් ගත්තා... ආය මොටද බොරු කියන්නෙ?

      Delete
  4. බොහෝ දුබලකම් මැද වුවද පියවරුන්ගේ දයාව අපූරුවත්වයක් දනවනවා.

    ReplyDelete
    Replies
    1. දුබලකම් නැත්තේ කා ළඟද? අප්පච්චි නැතිවෙලා ගතවෙච්ච අවුරුදු ගණනාව තුල කී සැරයක් නම් හිතෙන්ඩ ඇද්ද අනේ අප්පච්චිට කියන්ඩ තිබ්බනං හොඳද කියල! සමහරවිට ලිට්සීකර් තුමා කියන අප්පුරුවත්වය හින්දම වෙන්ඩ ඇති 'පිය සෙනෙහසට කව් ගී නොලියවෙන්නේත්'!!

      Delete
  5. වේවැල් පුටු ගැන කතාව කියවන්න පටං ගද්දිම මගේ ඔළුවට ආවෙ ඔය මකුණු සීන් එක තමයි.

    දැං ඉතිං බලමුකො ලොකු මල්ලි අලුත් පුටු සැටියක් ගේන්න කොච්චර කාලයක් ගන්නවද කියල. හැක්..

    ReplyDelete
    Replies
    1. පුටු සැටියක්නං ගෙනාවා ඒ උනාට ඒ පිටිපස්සෙ 'සොඳුරු අරගලයක්' තිබ්බෙ නෑ. ඉතිං ලොකු රසයකුත් නෑ!!

      Delete
  6. ජීවිතයේ නිරන්තරයෙන් පැන නගින දුක් කම්කටොලු සියල්ල තමන් විසින්ම නිහඩ්ව දරාගන තම දරුව්න්ගේ ජීවිත සුඛිත මුදිත කිරීමට වෙර දැරූ උතුම්,අභිමානවත් පියෙකුත්
    ඒ හා සමානව දරුවන් වෙනුවෙන් ඇප කැපවෙන මවකගේත් අපූරු අනුවේදනීය කතාවක්.ඔබත් ඔබේ දිවියේදි එවන් දෙමව්පියන් පෙන්වා දුන් මඟම ඔබේ දරුවන් කෙරෙහිත් අනුගමනය කිරීම තමයි ඔබට ඒ අය වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම උපහාරය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සරත් තුමා!! මගේ අම්මාත් අප්පච්චීත් තම දරු දෙදෙනා වෙනුවෙන් නොකළ කැපවීමක් නැතුව ඇති. අම්මා සිය විශ්‍ර්‍රාමය දක්වාත් අප්පච්චී හැත්තෑව දශකයේ අග සහ අසූව දශකයේ මුල ගුරුවරු විදිහට බොහෝ දරුවන් වෙනුවෙන් කැපවූ බව අහන්නට ලැබෙනවිටත් අපට සතුටක්. ඒ පාරේ යෑම ලේසි නෑ. ඒත් එහෙම යන්ඩ පුලුවන්නම් ඒක තමයි මගේ සතුට!!

      Delete
  7. යස අපූරු පුටු සැටිය...හැබෑටම දැන් මකුණන්ට මොකද වුනේ??

    දෑවැද්දට විරුද්ධ මිනිහා ඇයි දෑවැද්ද ගැන කියව කියව අම්මව මඩවන්නෙ...🤔🤔

    ReplyDelete
    Replies
    1. දැන් මකුණන්ට මොකද වුනේ??

      Delete
    2. මකුණන්ට උනේ උකුණන්ට වෙච්ච දේමයි. අපේ පොඩි කාලයට වඩා මිනිස්සු දැන් පිරිසිදුකම වෙනුවෙන් මහන්සි වෙනවා.
      අප්පච්චී, අම්මාට දෑවැද්ද අල්ලාගෙන මැඩෙව්වා නෙවෙයි.මඩවන්නට ඕන උනාම දෑවැද්දත් අල්ලාගත්තා...ඒකෙ රිටන් එකත් එයාට හම්බ උනා....එව්ව සොඳුරු වලි...දත් කඩන, නිල් වෙන්ඩ ඇඟ තලන අමානුෂික වලි නෙවෙයි!!

      Delete
  8. Replies
    1. ඇවිත් බැලුවා සඳවතීතුමිය...දැන් පසලොස්වකද අමාවකද?

      Delete
  9. මාස 18 ට පස්සේ ආවත් තව මාස 18ට රසවිදින්න පුලුවන් ලිපියක් තම්යි පලකරලා තියෙන්නේ. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතිය් චමින්ද දිසානායකතුමා. ඔබලාගේ දිරි ගැන්වීම් මහමෙරක් තරම් වටිනවා!!

      Delete
  10. අනේ ඉතිං මෙච්චර ලස්සනට ලියන්න කතා තිබෙද්දි නෙව නොලියා ඉන්නෙ. කමක් නෑ, අඩුම ගානේ මෙහෙමවත් ආ එකම මඳෑ?🙏💐👌

    මකුනො, වේවැල්/ අඞු කැඩුණ පුටු, උපතේ සිට මලගම දක්වාම පැකින් නොකඩපු සෙටි මේ කතාව මාවත් අතීතයට අරන් ගියා.

    තව තිබ්බා, " සයිබෝට්" වගේ නමක් තියන වීදුරු දාපු කබඩ් එකක් සාලෙ. ඒකේ තමා ඔක්කොම VOC පිඟන්, වැඩ දාපු වීදුරු කෝප්ප තිවුනෙ. කොටින්ම සීතකණය තිබ්බෙ කුස්සියෙ නෙමෙයි මැද සාලෙ.

    //සතියකට දෙකකට පාරක් කුකුල් මස් කෑ හැකි තත්වයට පත්වීමු//
    අද කුකුල්මස් "ජාතික මාංසය" වුනත්. ඉස්සර ගම්වල අපි කෑවෙ කරවල, ඉඳලා හිටලා මාලු. එදා තම්බිගෙ කඩෙන් හරක්මස්, කුකුල්මස් වලට වඩා ලාබෙට තිව්නා. කොටින්ම ඉස්සර මගුල් ගෙවල්වල මේසෙ මැද රෝස් කරපු කුකුලෙක් හිටියා , කන්න නෙමෙයි "සැරසිල්ලක්" විදිහට.

    හ්ම්...කාලය මැව් වෙනසක අරුමේ? පිච්චිය අතේ නැතත්, ඒ ජීවිතෙත් වෙනමම ආතල් එකක් තිබ්බා.

    ReplyDelete
    Replies
    1. https://furniture.lk/sri%20lanka/dining%20room/sideboards

      Delete
    2. https://www.pinterest.com/ideas/sideboard-buffet-with-glass-doors/910883482916/

      Delete
    3. ටිකාක් දෙවනි එක ගාවින් යනවා. ඒත් අපේ " සයිබෝට්" කඩවල තියෙන ෂෝ-කේස් වගේ මූණත තනිකරම වීදුරු.😁

      Delete
    4. එහෙනං!! ඒ කාලෙ කුකුල් මස් අදවගේ පරිප්පුයි බතුයි ගානට වැටුනෙ නෑනෙ.

      Delete
  11. ලොකු මල්ලී
    වේවැල් බඩු තියෙන්නේ වේවැල්දෙනියේ නොවේ. රදාවඩුන්න කියන ගමේ. කජු තියෙන්නේ බටලීය කියන ගමේ. වේවැල් බඩු හදන අයට ලොකු අසාධාරාණය ක් වෙනවා හැමදාම වේවැල් බඩු තියෙන්නේ වේවැල්දෙනියේ කීමෙන්.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්ඩ ඕන ප්‍රියන්තතුමා. මගේ වැරැද්ද! මේ කමෙන්ට් ටික දාලා ඉවර කරපු ගමන් හදනවා.

      Delete
  12. ඒ කාලේ ලංකාවේ උකුනොයි මකුනොයි හරිම සාමාන්‍ය දේවල් නේ. මේක කියවද්දී මකුණෝ පොඩි වුණාම එන මහා අප්‍රසන්න ගඳ ත් මතක් වුණා! හැබෑටම දැන් උන් දෙගොල්ලන්ටම මොකද වුණේ? එහෙම වඳ වෙලාම යන්න පුලුවන්ද?

    පුටු ගැන කියද්දී මතක් වුණා ඉස්සර තිබ්බ පුටු සෙට් ජාතියක් රෙක්සින් වගේ රෙද්දකින් කවර් කරලා තිබුණු. විශේෂත්වය තමයි මේවා මාර ම පහතයි. හරියට බිම ඉඳගන්නවා වගේ දැනෙන්නේ ඉඳ ගත්තාම. මේවායේ කුෂන් ගලවන්න බැහැ. මෙට්ට කුෂන් සහිත පුටු එන්න කලින් තමයි මේවා තිබ්බේ. මකුණෝ එක්ක ඒවාත් වඳ වෙලාම ගියා ද කොහෙද! :D

    ReplyDelete
    Replies
    1. මලීතුමියට කියන්ඩ ඔය ඔබතුමිය කියනවා වගේ රෙක්සින් පුටු සෙට් එකක් අපේ බාප්පලාගේ ගෙදර තිබ්බා. රතු පාට රෙක්සින් එකක්. කලු පාට වෙවට් රෙද්දකින් කොට්ට කීපයක් මහලා. ඒක නැති කලේ බාප්පාගේ පුතා...එයා ඒක උඩ අත් වැඩ කරන්ඩ පටන් ගත්තා....ඔය බ්ලේඩ් වලින් කඩදාසි කපනවා වගේ අත් හුරුවෙන්ඩ කරන වැඩ...ඒක තමයි ඒ පුටු සෙට් එකය් නියුමෝනියාව හැදෙන්ඩ හේතු උනේ!!

      Delete
    2. කිවුවට විස්වාස කොරන්න ඒ ජාතියෙ රෙක්සින් දාපු පුටු සෙට් එකක් තාම තියෙනව අපේ ගෙදර.

      Delete
    3. එහෙනම් පුටු සම්පූර්ණයෙන්ම වඳ වෙලා නැහැ, මකුණෝ විතරයි වඳ වුණේ! :D

      Delete
  13. සංවේදී කතාවක්.අපේ ගෙදර කළුවර ලීයෙන් හදපු ඇඳක් තිබුන. ඒක මම නිදා ගත්ත ඇඳ. ඔලුව තියන හරිය උස්සන්න පුළුවන්. හේත්තුවෙලා පොතක් කියවන්න මරු. මම රට ගියාට පස්සේ ඒක අන්තිමට මල්ලිගේ ගෙදර දර කුස්සියට දාල තිබිල එතනින් කාටද දීලා . ඇඳක් නැති කෙනෙක් ඉන්න පවුලකට. ලංකාවට ගිය වෙලේ හෙන අඩව්වක් අල්ලලා ගිහිල්ල අලුත්ම ඇඳක් සිංගර් එකඟ අර පවුලට අරන් දීල පරණ එක අරන් ආව . ඒක අවුරුදු 150 විතර පරණ ඇඳක්. පිස්සු තමයි අපටත් වෙලාවකට.

    ReplyDelete
    Replies
    1. ඇයි වෙලාවකට කියන්නේ අජිත් ධර් මතුමා? අපි කරන වැඩ බොහොමයක් එක්තරා පිස්සු තමයි.

      Delete
    2. ඒක ඇත්ත, අපේ අම්ම ඉටි රෙදි දාල තිබ්බ පුටු සෙට් පූසන් ගෙන් බෙර ගන්න. දැන් බිරිඳත් ඒකම කරනවා. පුටු බෙර ගන්න කවර දානවා. කිකී හුරනවා ඕන දෙයක්.

      Delete
  14. සුභ පියවරුන්ගේ දිනයක් වේවා අප්පච්චී!! ඔබට නිවන් සුවයම ලැබේවා!!//

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලලිත්තුමා! අප්පච්චි දන්නවා නං මං බ්ලොග් එකකට මේ කතාව ලිව්ව කියල, අම්මට කතා කරල කියාවි ආං..ලොක්කා ඕන නැති කතා ඔක්කොම බ්ලොග් එකකද මොකේකද ලියලා කියල!! සියළු පියවරුන්ට සුභ අනාගතයක් වේවා!!

      Delete
  15. මටත් මතකයි අපේ ගෙදරට පුටු සැටියක් ගෙනාපු හැටි .. මම හිතන්නේ ඒ දවස් වල ජිවිතේ ලොකු ජයග්‍රහණයක් ගෙදර හොඳ පුටු සැටියක් තියෙනවා කියන එක ..

    අපේ තාත්තවත් මතක් උණා .. හැම තාත්තම එකයි .. නිවන් සුව ලැබේවා

    ReplyDelete