Sunday, December 30, 2018

මයිකල්

ලඟදි දවසක බස් එකේ ටවුමට ගියා තනියම. එහෙම ගියාම වැඩිපුර වෙලාවක් ටවුමේ ගත කරන්ඩ පුළුවන්. වෙනදා වගේ කාර් එක පාක් කරන්නේ කොහෙද කියල හිත හිතා ටවුමට යනවට වඩා හිත හරිම නිදහස් මෙහෙම ගියාම.

කාලෙකට පස්සේ ටවුමට ගියාම අපි කොච්චර වයසට ගිහිල්ලද කියල හිතෙනවා. ඉස්සර තිබ්බ දන්නා අඳුනන මූණු වෙනුවට හරියට අපි අගහරු ලෝකෙන් ආවා වගේ නුහුරු නුපුරුදු මූණු වලින් පිරිච්ච පාරවල්, බස් හෝල්ට්, කඩ, ස්වීප් විකුණන මිනිස්සු, පොළ, පොලේ තියන එළවලු....මේ හැම දෙයක්ම වෙනස් වෙලා තියන බව තේරෙනවා. ඒ විතරක් නං බැරියැ ටවුමේ තියන ගොඩනැගිලි වල පාට පවා සම්පූර්ණයෙම්ම වෙනස්. කාණු වලින් එන ගඳ පවා වෙනස්! ඉස්සර ආපු මඩ කුණු වෙච්ච ගඳ දැන් නෑ. ඒ වෙනුවට තියෙන්නේ ඩීසල් දුම වතුරෙන් දිය කරලා ගත්තා වගේ දැනෙන ගඳක්. ඒක එහෙම වෙන්ඩ එපෑ. ඉස්සර තිබ්බේ ලංගම බස් තුන හතරකුයි, සීට් විසි හයේ රෝස බස් පහ හයකුයි මුළු බස් ස්ටෑන්ඩ් එකටම. අනික්වා ඔක්කොම හුණ්ඩු වෑන්. දන්නවනේ අර සීට් දොළහේ වෑන්. දැන් එහෙමද තට්ටු දෙක තුනකට බස් ස්ටෑන්ඩ් එක හැදුවත් පාක් කර ගන්ඩ මදි වෙන තරමට බස් පිරිලා. මෙච්චර සෙනග කන්දරාවක් කොහෙන් පාත් උනාද කියල හිතෙනවා. ඉස්සර තිබ්බ ඔතෑනි, කොළ පාට ටවුම දැන් හරි කාර්ය බහුලයි. දුඹුරු පාටයි. හැමෝම හරි හදිස්සියකින් එහෙ මෙහෙ යනවා. හරියට මුළු ලෝකෙම පවතින්නේ ඒ අය ඉක්මනට ගමන් කරන හින්ද කියල හිතාගෙන වගේ.

Monday, December 24, 2018

සවණ රේඩියෝවත් එක්ක කට්ටකාඩුව




කැනඩාවෙන් ගුවන් ගතවෙන සවණ අන්තර්ජාල රේඩියෝවට කට්ටකාඩුවේ කතා කීපයක් ගත්තට කමක් නැද්ද කියල අහල මේල් එකක් ආවේ මාස දෙක තුනකට කලියෙන්. මගෙ මොකෝ කියල උත්තර යැව්වම තවත් මේල් තුන හතරකින් අපි අදහස් හුවමාරු කරගත්තා. මෙන්න අද අහම්බෙන් වගේ මේල් එක දිහා බලද්දී වැඩ සටහන් දෙකක් යූ ටියුබ් එකට මුදා හැරියා කියල මහත්තැන්ලා කියල තියනවා. හරි පුදුම වැඩේ කියන්නේ මාසෙකට වඩා දීර්ඝ නිහැඩියාවකට පස්සේ කට්ටකාඩුවට ඊලග ලිපිය ලියමින් ඉන්නකොටමයි මේක දැක්කෙත්.

අර ලියන ලිපිය දින කීපයක් පස්සට දාලා ඔබ තමුන්නැහෙලාත් එක්ක සවණ නිෂ්පාදනය අහන්ඩයි මේ සූජානම.

සුභ නත්තලක් වේවා!!

පළමු වැඩසටහන

දෙවැනි වැඩසටහන


අපේ ඉයන් තුමාගේ අදහසකට අනුව මේ රේඩියෝ කෙටිකතා වලට පාදක වෙච්ච කට්ටකාඩුවේ ලිපි වලට සම්බන්ධතා පහත දක්වනවා. බලන්ඩ එකම කතාව ශ්‍රවනය කරන කොටයි කියවන කොටයි වෙනස් හැගීම් ඉපදෙනවද කියල?

පළමු වැඩසටහන
තුන්දෙනෙක් ගැන දිග කතාවක් 
අතීතයෙන් වර්තමානයට ආ අන්දරේ 

දෙවැනි වැඩසටහන
සරුංගල් ජීවිතේ 
තිත්තවැල්ගොල්ලේ වධකයා