පහුගිය දවසක මැලේසියාවට යන්ඩ උනේ රාජකාරි වැඩකට. අපි හිටියේ සරවක් දූපතේ කුචින්
නගරයේ. වැඩ කටයුතු අතරේ දවසක් නිවාඩු ලැබුනාම අපේ මැලේසියානු මිත්රයෝ ඇහුවා නිවාඩු දවස හෝටල් කාමරේට වෙලා ඉන්නවට වැඩිය මොනව හරි බලන්ඩ යමුද කියලා. මාත් එක පයින් කැමති උනේ කුචින් කියන්නේ බොහොම විවිධත්වයකින් රටක් කියලා අහලා තිබ්බ හිංදා.
ඊ ගාව ප්රශ්නේ කොහෙද යන්නේ? ඔරන් ඔටන්ලා බලන්ඩ ද? බාකෝ ජාතික වනෝද්යානය බලන්ඩද? නැත්නම් සංස්කෘතික ගම්මානයක් බලන්ඩද?
මං මැලේ මිතුරාගෙන් ඇහුවා අපි හෝටලෙන් එලියට යනවා කිව්වා නේද කියලා. ඔහු කියනවා ඔව්.. ඔව්.. මේ තැන් තුනම තියෙන්නේ හෝටලෙන් පිට කියලා.
හෙහ්... හෙහ්... ඔරන් ඔටන් ලා බලන්ඩ නම් කාමරේ තියන කන්නාඩියක් ලඟට ගියාම හරිනේ!
එදා ටිකක් වැහි බර දවසක්. බාකෝ වනෝද්යානය බලන්ඩ යනවා නම් පැය තුන හතරක් ඇවිදින්ඩ ඕන. වැස්සක් ආවොත් ඒ වැඩේ අංජ බජල් වෙනවා
මිත්රයා කිව්වා. ඉතින් වැස්ස වලාහක දෙයියන්ට බැන බැන ඉතුරු වෙච්ච එකම විකල්පෙට යන්ඩ මං කැමති උනා.
සරවක් වල ප්රධාන ජන කොටස් හතක් ජීවත් වෙනවා. බිදායු, ඔරන්ග් උලු, මෙලනෝ, චීන, මැලේ, ඉබන්, පෙනාන් කියන්නේ ඒ වර්ග හත. හැබැයි මේ ප්රධාන වර්ග හත ඇතුලේ උප කණ්ඩායම් ගණනාවක් ඉන්නවාලු. උදාහරණයක් විදිහට ඔරන්ග් උලු ගෝත්රය ඇතුලේ පොඩි පොඩි කණ්ඩායම් හතළිහක් විතර ඉන්නවලු. මේ හැමෝටම එකිනෙකින් වෙනස් සංස්කෘති තියනවලු...මේ විදිහට අර කිව්ව සංස්කෘතික ගම්මානෙට යනකල් අපේ මිත්රයා මට විස්තර කිව්වා. මානව විද්යාව කියන්නේ මං කාලයක් බොහොම ආදරය කරපු විෂයක් හැබැයි කාලයත් එක්ක ඒ උනන්දුව නැතිවෙලා ගිහින් තිබුනා. හෝටලේට වෙලා ඉන්ඩ තිබ්බ කම්මැලි කමට යං කියල කිව්වට මගේ හිත වැඩ කලේ නිකං බාගෙට බාගෙට වගේ. ඔන්න ඔහොම තව ටික දුරක් යනකොට මගේ යාලුවා මෙන්න මෙහෙම කතාවක් කිව්වා.