Showing posts with label පරිසරය. Show all posts
Showing posts with label පරිසරය. Show all posts

Saturday, September 14, 2019

වීරයා ගෙදර ඒම වලක්වමු



අපේ නිමල් දිසානායක උන්නැහේ ලියන නිදි ගේ පංචතන්තරේ බ්ලොග් අඩවියේ මේ ලඟදි හැබෑම වීරයෙක් ගැන ලියල තිබුනා. යුද්දය හින්ද ඇස් දෙකම නැති වෙච්ච අපේ කාලයේ වීරයෙක් ඇස් නොපෙනෙන තවත් මිනිස්සු පනස් දාහක් දෙනාගේ ඇස් පාදා දීමේ කියන්නේ කාච බද්ධ කරදීමේ පිංකමක නිරත වෙලා ඉන්න හැටි ගැන තමයි කතාව. ගැන නොකියවපු කෙනෙක් ඉන්නවා නං මෙන්න ලින්ක්එක ඒ ලිපියට. ඔය ලිපිය කියෙව්වට පස්සේ වීරයා ගෙදර ඇවිත් කියල මාර ටෙලි නාට්යයක් ගියාය ඒක බැලුවේ නැත්තං කිසි වැඩක් නැතිය කියල කීප දෙනෙක්ම කියපු හින්ද පහුගිය දවස් ටිකේ යූ ටියුබ් එකෙන් නාට්යය බාගත කරගෙන බැලුවා. කොටස් හතලිස් හතක් කියන්නේ දල වශයෙන් පැය පහළොවක් විතර! ගෙදර ඉන්න වෙලාවේ ඕක බලන්ඩ ගිහින් තව ඩිංගෙන් මාව ගෙදරිනුත් එළවලා දානවා.

ඇත්තටම රට ජාතිය වෙනුවෙන් ජීවිතේ කැප කරලා, එක්කෝ ජීවිතෙන් වන්දි ගෙවපු, එහෙම නැත්තං ජීවිතාන්තය දක්වා ආබාධිත තත්වයට පත් වෙච්ච කී දාහක් මේ රටේ ඉන්නවද? අයව මල් මාලා දාලා, බෙර ගහලා, රතිඤ්ඤා පත්තු කරලා පිලි ගත්තේ යුද්දේ දිනලා එන කොට. යුද්දේ දිනලා අවුරුදු දහයක් යනකොට අපිට අයගේ සේවයත් අමතක වෙලා. දැන් අය නිකම්ම නිකං ආමි එකට ගිහිං 'ඇස් පොට්ට වෙච්ච' එහෙම නැත්තං 'අබ්බගාත වෙච්ච' එකෙක් විතරයි. එදා වීරයා දැන් නිකමෙක් වෙලා. වෙලා නෙවෙයි කරලා.

Saturday, August 10, 2019

පුත්තලම් කෝච්චියේ කථා දෙකක්

මං මේ පෝස්ට් එක ලිව්වෙ අවුරුදු දෙකකට විතර කලින්. කට්ටකාඩුව ලියන්ඩ පටන්ගත්තු අලුත. එදාට වඩා පොඩි පොඩි වෙනස්කම් අද තිබුනත් තවම කථාවේ මුල් බීජය අදාල හින්දා නැවත පල කරන්නට හිතුවා.

අනාගතයේ දවසක ඉදිරි පරම්පරාව අද ජීවත්වෙන අපි කරන මේ වැඩ ගැන මොනව කියයිද?
අපි කථාව කියවමු.

Saturday, February 2, 2019

රෙද්ද චීනගේ - ඒත් සිංහයා අපේ

පෙබරවාරි මාසෙත් ඇවිල්ල. මේ පාරත් අපේ ගමේ කට්ටිය අලගල්ලෙ කන්ද නගින්ඩ ලක ලෑස්ති වෙනවා. අපේ ගමේ විතරක් නෙවෙයි හතර කෝරලේ හුග දෙනෙක් පෙබරවාරි හතර වෙනිද ඒ කියන්නෙ අපේ නිදහස් දවසේ (සුද්දා අපෙන් නිදහස් වූ දවසේ!!!) කදු නගින කතාවත් හේතුවත් මං කිව්වනේ ගිය අවුරුද්දේ. කාට හරි ඒක බලාගන්ඩ ඕන නං මේ සම්බන්ධතාවය තියෙන්නෙ එතෙන්ට ඕං.

ඉතිං ඔය කදු නගින්ඩ යන කාන්ඩෙ අපේ දිහාට ආවෙ ලොකු ජාතික කොඩියක් තියනවද කියල අහන්ඩ. තිබ්බ කොඩිය පෙන්නුවම උන් අහනවා ඊට වඩා ලොකු එකක් නැද්ද කියල. මං ඇහුව යකෝ කොයි ජාතික කොඩියෙත් ඉන්නෙ එකම සිංහයා වෙච්චි ආය ඕකෙ ලොකු පොඩි බේදෙ මොකද්ද කියල. උං කියනව එහෙම බෑලු. අහල ගං හතකට පේන්ඩ ලොකු සිංහ කොඩියක් ඕනලු. මං කිව්වා එහෙනං ඉතිං ඇදගන්ඩ තමයි වෙන්නෙ ලොකු රෙද්දක කියල. ඒකටත් අපේ උං පස්ස ගහනවා. මං දන්නව ඒ මොකද කියල. සිංහය ලොකු කොඩියක නියම හැඩතල ඇතුව අදින්ඩ මෙලෝ ජගතෙකුට බෑ ආයිබොවන් හොද සිත්තර ගුරුන්නාන්සෙ කෙනෙක් නෙවෙයි නං. ඔන්න සිංහයා එතන ඉන්න එකේ වාසි. අද මං කියන්ඩ යන්නෙත් සිංහයා කොඩියෙ ඉන්න එක ගැන.

Sunday, August 12, 2018

තුන් දෙනෙක් ගැන දිග කතාවක්



 තරුරසී ප්‍රනාන්දු සොයුරිය ඇගේ තරුරසී බ්ලොග් අඩවියේ ලඟදි ලස්සන සටහනක් තියල තිබුන තුන් දෙනෙක් ගැන කතාවක් පමණක්මද? කියන මාතෘකාවෙන්. ඔය ලිපිය කියවගෙන යනකොට මටත් මතක් උනා කතන්දර තුනක්. ඒ කතන්දර තුන ගැන තමයි අද ලියන්ඩ හිතුවෙ. ලියන්ඩ හිතුවට මොකද කොහෙන් කතාව පටං ගන්නද කියල නිච්චියක් නෑ. අතීතෙන් පටන් අරං වර්තමානෙට එනවද, පිටරටකින් පටන් අරං ලංකාවට එනවද, උතුරේ ඉඳන් දකුණට එනවද නැත්තං නැගෙනහිර ඉඳන් බටහිරට යනවද? ඒ කොහොම උනත් මේ කතා තුනම මගේ හිත ඇතුලේ ඉඳගෙන මතක් වෙන මතක් වෙන පාරට තිගැස්මක් ගෙන දෙන කතා.


පළවෙනි කතාව 

මම අනුරාධපුරෙන් පටං ගන්නං. ඒ හැත්තෑව දශකේ මැද කාලේ. අපේ අප්පච්චි රඹෑවේ කල්ලංචිය කියන ගමේ ඉස්කෝලෙ විද්‍යා ගුරුවරයෙක් විදිහට වැඩ කරපු කාලේ. ගමේ ඩිස්පෙන්සරියට එනවා දෙමල දොස්තර මහත්තයෙක්. නම වේලායුදම්. මනුස්සයා සේවයට ඇප කැප වෙච්ච චරිතයක්. හවස් වරුවට ඉස්කෝලේ උගන්නන පිට ගම් කාරයෝ ටික එක්කහු වෙලා කොහොඹ ගස් හෙවනේ කයියක් ගහගෙන ඉන්න කොට මේ දෙමළ දොස්තරත් එනවා කාන්සිය මකා ගන්ඩ. හැබැයි මනුස්සයාට හොඳට සිංහල කතා බහ කරන්ඩ බෑ. බේත් දෙන්නෙත් පරිවර්තකයෙක්ගේ උදව්වෙන්. අප්පච්චිලාගේ සැන්දෑ සාදයන්ට එක්කහු වෙන මේ දොස්තර සිංහල සිංදුවල තාලෙට අප්පුඩි ගහනවා. හිටපු ගමං දෙමළ සින්දුවක් ගායනා කරනවා අනික් අයගේ ඉල්ලීමට. මහා රෑ දොළහට එකට ලෙඩෙක් ආවත් බේත් දෙනවා. වෙලාවක් කලාවක් නෑ ලෙඩෙක් හිටියොත් ගෙදරට හරි ගිහිල්ල බේත් දුන්න කියලයි අප්පච්චි කිව්වේ.

Tuesday, June 26, 2018

අගස්ති ඉර්සින් වහන්සේ



සුළං හමයි. ඈතින් හඳ පලුවක් පායමින් අහස ආලෝකවත් කරයි. සුළඟට ලෙළෙන කොඩි වැල් දෙක තුනක් තිබුණු පුංචි දේවාලය පේන තෙක් මානයක ඇති එකම මනුස්ස වාසයක් ගැන තියන හෝඩුවාවයි. හිතට පොඩි බයක් දැනෙන්නේ තව කොච්චර වෙලාවක් මෙතැන රඳන්ට වේ දැයි නොදන්නා නිසාය. අප සිටියේ ඉන්දියාවේ ඔරන්ගාබාද් නුවරින් කිලෝ මීටර් තුන්සීයක් විතර රට මැද්දට වෙන්න තියන කඳු ගැටයක් උඩ. මාත් එක්ක හිටියේ ක්‍රිස්පිනෝ සහ සුරූපී ටිකිෂා විතරයි. ක්‍රිස්පිනෝ ගෝවේ ඉපදුනු ඉන්දියානු ජාතිකයෙක්. ඔහු වැඩ කල WOTR කියන ආයතනය තමයි අපිට ජලාධාර ප්‍රදේශ සංරක්ෂණය ගැන ඉගෙන ගන්න මේ අධ්‍යයන චාරිකාව සංවිධානය කලේ. ටිකිෂා කෙන්යානු තරුණියක්. අවුරුදු විසි පහක් විතර ඇති. ඔය කියන කාලේ මටත් අවුරුදු විසි හතකට අටකට වඩා නෑ. අපි මේ කඳු මුදුනේ අතරමං වෙච්ච හැටි වෙනම කතාවක්. ඒක තව දවසක කියන්නං. එතකල්  කොයි වෙලාවේ අපිව හොයාගෙන අනිත් කට්ටිය ඒවිද කියන බලාපොරොත්තුවෙන්, එතකල් සත්තු සරුපයන්ගෙන් ගැහැටක් නොවී ජීවිතේ පවත්තගන්ඩ පුළුවන් වෙයිද කියන දෙගිඩියාවෙන් අපි එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා.
මේ අගස්ති මුණි ගේ යැයි සැලකෙන රූපයක් 

ක්‍රිස්පිනෝ, WOTR ආයතනයේ ඉහළ නිලයක් දැරූවෙක්. ඒ හිංදා අපි අතුරුදහන් කියලා දැනගත්තු වහාම ඒ සංවිධානයේ කට්ටිය අපිව හොයන්ඩ එන බව අපි දැනං හිටියා. හැබැයි මේ කන්ද රෑ පානේ නගින එක ලේසි වැඩක් නෙවෙයි. ඒ හිංදා අඩුම ගානේ තව පැය තුන හතරක් මෙතනම ඉන්ඩ වෙන බව ස්ථිරයි. ආසියානු පිරිමි වෙච්ච ක්‍රිස්පිනෝටත් මටත් මේක දරා ගන්ඩ පුළුවන් උනාට සුන්දර ඇෆ්රිකානු තරුණිය ටිකිෂා නං හොඳටම බය වෙලයි හිටියේ.

Saturday, May 12, 2018

රජ්ජුරුවන්නේ පැටිකිරිය III


මතකනේ අපි ලංකාවේ රජවරු රජ වෙච්ච ආකාරය හොයන්ඩ පටං ගත්තා. මේ ඒ ගමනේ අවසාන ලිපිය. මුල් ලිපි කියෙව්වේ නැත්නං පළවෙනි ලිපිය මෙතනිනුත් දෙවැන්න මෙතැනිනුත් කියවන්ඩ පුළුවන්.

මම ඉස්සරෝම රස්සාවකට කන්තෝරුවකට ගිය දවසේ දවල් කෑම ගන්ඩ ඒ කන්තෝරුවේ තිබිච්ච කෑම කාමරේට ගියා. ඒ වෙලාවේ එතන හිටියා මට වඩා අවුරුදු විස්සක් විතර වැඩිමල් සමාජ විද්‍යාඥයෙක්. ඔහු ඒ කන්තෝරුවේ වැඩට ඇවිත් ගත වෙලා තිබුනෙත් සති  විතරයි.

"මල්ලි කොහොමද රස්සාව?"

"හොඳයි වගේ...අදනේ පටං ගත්තේ...තාම  අමාරුයි"

"දැනට තියන වැඩ කොහොමද?"

"පොඩි පොඩි වැඩ දෙක තුනක් නං තිබුනා එව්වා නං ඉවර කළා"

"ඇත්තට? ඒක හොඳයි. මට නං තාම පටන් ගත්තු වැඩක් ඉවර කරන්ඩ පුළුවන් වෙලා නෑ...!"

"මොනවගේ වැඩක්ද?"

"හැම වැඩක්ම!"

Wednesday, May 9, 2018

රජ්ජුරුවන්නේ පැටිකිරිය II


කාලෙකට ඉස්සර ඉංග්‍රීසි ෆිල්ම් එකක් ආවා ද කියුරියස් කේස් ඔෆ් බෙන්ජමින් බටන් කියලා. ඒ කතාවේ ප්‍රධාන චරිතය ඉපදෙන්නේ මහලු මිනිසෙක් විදිහට. කල් ගත වීමත් එක්ක ඔහු වඩ වඩා තරුණ බවට පත් වෙනවා. කොටිම්ම අනික් හැමෝම වයසට යද්දී බෙන්ජමින් විතරක් තරුණ වෙනවා. ඉතිං කොච්චර එකක්ද අපිට හිතෙන්ඩ පුළුවන්. හැබැයි ඒක මහා ප්‍රශ්නයක් බව පැහැදිලි වෙන්නේ දිගටම ෆිල්ම් එක බලාගෙන යනකොට. වයසක බෙන්ජමින් තරුණ බවට පත් වෙලා නවතින්නේ නෑ. ඔහු එතනිනුත් එහාට ඒ කියන්නේ බාල වියට පත් වෙනවා. මට මතක විදිහට අන්තිම දර්ශනේ තියෙන්නේ අත දරුවෙක්ගේ තත්වයට පත්වෙන බෙන්ජමින් මියයන ආකාරය.

මේ කතාව අද්භූත කතාවක් උනත් නිකමට හිතල බැලුවොත් එහෙම වීම හරි අවාසනාවන්ත තත්වයක්. නිකමට හිතලා බලන්ඩකෝ තමුන්ගේ දරුවන් වයසට යද්දී බාල වියට එළඹෙන තාත්තෙක්, අම්මෙක් ගැන. අන්තිමට අත දරුවෙක් වගේ වෙලා මැරිලා යන්ඩ වීම...! මම හිතන විදිහට නං මේකේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ජීවිතේ ඒ ඒ කාල වල කල යුතු එහෙම නැත්තං සිදු විය යුතු දේවල් කරන්නට ඕන කරන හයිය හත්තිය නැති අසරණ චරිතයක් විදියට ජීවත් වීම මහා කරුමයක් කියලා. මෙන්න මේක තමයි බෙන්ජමින්ටත් උනේ කතාවේ හැටියට.

හදිස්සියේම මට ඔය ෆිල්ම් එක මතක් උනේ ගිය සතියේ ඉඳලා විවේක තියන තියන විදිහට ලනාවේ ඉතිහාසේ කියවන්ඩ පටන් ගත්තු හිංදා  ආයෙත් වරක්. මතකනේ මේ වැඩේ පටන් ගත්තු විදිහ. අමතක නං මෙන්න ඒ ලිපියට සම්බන්ධතාව.

Sunday, May 6, 2018

සිංහලේ රජ්ජුරුවන්නේ පැටිකිරිය



ඇමරිකාවේ ජනාධිපතිවරණය ලංවෙනකොට සී.එන්.එන්. නාළිකාව හරි අපූරු වැඩසටහනක් කරනවා. ඒ තමයි ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඒ ඒ සතියෙදි කියන කතා වල ඇත්ත නැත්ත හොයල බලන එක. මම පහුගිය ජනාධිපතිවරණ දෙක තුනකදිම මේ අපූරු වැඩ සටහන දැක්කා. අනේ ඉතිං ලංකාවේ අපිට කොහෙද එහෙම මධ්‍යස්ථව ඉඳන් දෙපැත්තෙම හරි වැරදි පෙන්නන වැඩසටහන්?!!!. අනික් පැත්තට ගත්තොත් ලංකාවේ එහෙම වැඩක් කරන්ඩ හුගක් ලේසි වෙන්ඩත් ඉඩ තියෙනවා. ඇයි අපේ උන්දැලා කට ඇරියොත් කියන්නේ මුසාවක් නේ. ඉතිං කියන කියන හැම දේම ගජ බින්න ගොඩට දාන එකයි තියෙන්නෙ!!

මට ඔය වගේ ෆැක්ට් චෙකිං වැඩක් කරන්ඩ හිතුනේ කට්ටකාඩුව බ්ලොග් එකට අප්‍රමාණ ගුරුහරුකං ලබා දෙන එක්තරා ගුරු උත්තමයෙක් මේ ලඟදි මට එවපු වට්ස් ඇප් පණිවිඩයක් හිංදා. මෙන්න මේකයි ඒ පණිවිඩේ සහසුද්දෙම්ම.

ලංකාවේ රජවරු =194
දෙමල රජවරු =19
සිංහල රජවරු =175
175 න්
60 ක්ම යුව රජු රජා මරා රජ වී ඇත
53 සහෝදරයා සහෝදරයා මරා රජවී ඇත
30 ප්‍රධාන සෙනෙවියෙක් රජා මරා රජවී ඇත
05 පුතා පියා මරා රජවී ඇත
01 රැජිණ රජා මරා රජ වී ඇත
01 දොරටු පාලක රජා මරා රජවී ඇත
මේ ලංකාවේ ඉතිහාසෙම 25 ප්‍රජාතාන්ත්‍රිකව රජ වී ඇත.

මට හිතුනා ගණන් හදලා බලන්ඩ මේ කතාව ඇත්තද කියල.කැමතිද කියවලා බලන්ඩ.

Thursday, May 3, 2018

සිසිකොස්ටස් නම් කුළී හේවායා



ඉතිහාසය කියන්නේ මම හැමදාමත් කැමති විෂයයක්. පුරා විද්‍යාවත් ඉතිහාසයත් කියන්නේ විෂයයන් දෙකක්. පුරා විද්‍යාව, ඒ සම්බන්ධ විශේෂඥ දැනුමක් තියන අයට සීමා වෙලා තියෙද්දී ඉතිහාසය කියන්නේ අතීතයේදී මේ මේ දේවල්, මේ මේ ආකාරයෙන් වෙන්ඩ ඇති කියලා උපකල්පන හා පුරා විද්‍යා සාක්ෂි මත කරන යම් ආකාරයක කතන්දර ගොඩක්. දැන් ඉතිහාස විශේෂඥයෝ කියයි මගේ මේ කතාව වැරදියි කියල. හොඳයි මම කැමතියි වැරැද්ද බාර ගන්ඩ. හැබැයි ලංකාවේ අවුරුදු දෙදාස් පන්සීයකට වැඩි ඉතිහාසයේ එක දිගට අවුරුදු පනහක් පෙන්නන්ඩ කිසිම උපකල්පනයකින් තොරව ඉතිහාස කතාව ගොඩ නගපු!!!
සිසිකොස්ටස්

හැබැයි වඩා වැදගත් දේ ඉතිහාසය කියන්නේ කතන්දරයක් විතරයි කියල අහක දාන එක නෙවෙයි. ඒ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න එක. මේ වෙසක් පෝය අල්ල පනල්ලේ අපේ සමහරු කතා බහ කරන්නේ බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවෙද, ඉන්දියාවෙද? එහෙම නැත්තං බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියද නැද්ද?, වැඩිය නං ඒ කොහාටද? කවද්ද? වගේ දේවල්. ඊට වඩා වැදගත් නැද්ද බුදු හාමුදුරුවෝ ඇත්තටම දේශනා කලේ මොනවද? අපි ඒ දේවල් වලින් කීයෙන් පංගුවක් ඇත්තටම පිලි පදිනවද? කියල හිතල බැලුව නං. මම බුදු හාමුදුරුවෝ ගැන කතා කලාට මේ අදහස යේසුස් වහන්සේ, නබි නායක තුමා වගේ අනෙකුත් ආගමික නායකයන්ටත් අදාලයි.

මම ඉතිං කතන්දර අහන්ඩ කැමති මනුස්සය හිංද ඔය වගේ ඉතිහාස කතන්දර තිහ හතලිහකුත් අහල තියනවා. මේ එයින් එකක්. 

Sunday, March 4, 2018

ආර්ය කතාව III - වර්ණ හා ජාති



මතකද අපි කතා කර කර හිටියා ආර්යයෝ ගැන. පොඩි වෙනසකට පහුගිය ලිපි දෙක තුන ලියවුනේ වෙනත් මාතෘකා යටතේ. එහෙම කියලා පටන් ගත්තු වැඩේ නවත්තන්ඩ හොඳයැ? ඉතින් ඔන්න මම ආර්ය කතාවේ දෙවෙනි කොටස (දෙවැනි ලිපියෙදි මම කිව්වා එක කොටසක් පන්නලා කතාව කියනව කියල. ඒ පන්නපු කොටස තමා අද ලිපියේ මුල් කොටස) හා හතරවෙනි කොටස අඩංගු තුන්වැනි ලිපිය ලියන්ඩයි යන්නේ. පහුගිය ලිපි කියෙව්වේ නැත්තං මෙතනින් පලවෙනි ලිපියත් මෙන්න මෙතැනින් දෙවෙනි ලිපියත් බලා ගන්ඩ පුළුවන්.

දෙවෙනි ලිපියේ තියෙන්නෙ තුන්වැනි කොටසලු තුන්වැනි ලිපියේ දෙකයි හතරයි දෙකම තියනවලු...මේ මොන හරුපයක්ද කියල ඔබ තුමාලට හිතෙන්ඩ ඉඩ තියෙනවා. ඇත්තටම ආර්යයන්ගේ ඉතිහාසයත් එහෙමම තමයි. මොකක්ද ඉස්සරලා උනේ මොකක්ද පස්සේ උනේ කියල හරියටම කියන්ඩ තාම කාටවත් බෑ. ඉතිං ඒ වගේ අවුලක් තියන කොට එක එක මත ඇතිවෙන එක පුදුමයක් නෙවෙයි. මම මේ කියන්ඩ යන්නේ එක මතයක් ගැන විතරයි. ඒ මතය ඇත්ත වෙන්නේ කොහොමද කියල කෙනෙක් ඇහුවොත් දෙන්ඩ තියන උත්තරේ දැනට හොයා ගෙන තියන කරුණු අනුව පුරා විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක, සංස්කෘතිකමය, වාග් විද්‍යාත්මක හා ජාන විද්‍යාත්මක කරුණු එකකට එකක් ගලප්පන්ඩ පුළුවන් මේ මතයෙන් විතරක් හිංදා මේ මතය දැනට ඇත්තක් විදිහට ගනං ගන්නවා කියලයි. හෙට අලුත් යමක් හොයා ගන්ඩ පුළුවන්. එහෙම උනොත් මේ කතාව වෙනස් වේවි. එහෙනං කියවමුද ආර්ය කතාව දෙවෙනි කොටස?

Saturday, February 17, 2018

ආර්යයෝ සොයා යෑම


පහුගිය ලිපියෙන් අපි කතා කරානෙ භාෂා ගස් කියල හඳුනා ගන්ඩ පුළුවන් එක මව් බසකින් නිර්මාණය වෙච්ච එහෙම නැත්තං එක බසක් මූලික කරගෙන සම්භවය වෙච්ච භාෂා ගණනාවක් අදත් ලෝකයේ පවතින බව. ඇත්තටම අපේ කතාව පටන් ගත්තේ බටහිර ආසියාවේ හා මධ්යම යුරෝපයේ ජීවත් වෙච්ච එඬේර ගෝත්රිකයන් පිරිසක් අලුත් වාසස්ථාන හොයාගෙන නැගෙනහිර දෙසට හා බටහිර දෙසට සංක්රමණය වීම ගැන කතා කරලා. එහෙම බටහිර පැත්තට ගියපු අය යුරෝපයේ බොහෝ ප්රදේශ වලට සංක්රමණය උනා. අද අපි හොයල බලන්නේ නැගෙනහිර පැත්තට ගිය කට්ටිය එහෙම නැත්තං අපේ ආදී මුතුන් මිත්තෝ පිරිසක් ගැන. මේ සිතියමේ දැක්වෙන්නේ අය පැතිරිලා ගිය විදිහ.



කොහොමද පැතිරිලා ගියේ? දඬුමොනරෙන් රූං ගාලා ඉගිලිලා නේද? නෑ බොලව් බොහොම මහන්සියෙන්, අඩියෙන් අඩිය, භාධක මැද්දෙන්, සීතලට, රස්නෙට, ගං වතුරට, කාන්තාරේ රස්නෙට, පිපාසාවට, බඩගින්නට එකා මත්තේ එකා නැහෙද්දී තමයි මේ ගමන ගියේ.

ඒ උනාට ඔය අවුරුදු සිය ගානක් සමහරවිට දාස් ගානක් ගත වෙච්ච ගමන බලාගෙන හිටපු කවුරුවත් දැන් ඉන්නවය? ඊට හපන් ඒ මුලිං ආපු කට්ටිය දැන් වෙන වෙන නං ගං හදා ගෙන. තමුංගේ ආරම්භය බොහොම අහිංසක විදිහට පටන් ගත්තු ගමනක් කියල පිලි ගන්ඩත් කැමති නෑ. ඉතින් මේ ගැන තියන වාද විවාද බොහොමයි. ඉතිං මම හිතුවා අපේ කතාවේ එක පියවරක් පන්නලා තුන්වැනි කොටසට යන්ඩ. මොකද දෙවැනි කොටස නිකං සුරංගනා කතාවක එහෙම නැත්තං විද්‍යා ප්‍රබන්ධෙක හැඩ රුව ගන්න හිංදා. ඒක පස්සේ කියන්නං.
තුන්වැනි කොටස පටන් ගන්නේ ඉන්දියාවෙන්. ඔය මුලින් පටන් ගත්තු ගමන ඉන්දියාවට ඇවිත් නතර උනාය. ඒ මිනිස්සුන්ගෙන් තමයි අද ඉන්න බොහෝ උතුරු ඉන්දියානුවන් පැවත එන්නේ සහ හුගක් උතුරු ඉන්දීය භාෂා වල ඇරඹුම වෙච්ච සංස්කෘත භාෂාව ගෙනාවෙත් මේ සංචාරක ගොපලු පිරිසය (ගමන පටන් ගන්නකොට ගොපල්ලෝ උනාට ගමන අතර මගදී මේ අය හොඳ ගොවියන් බවට පත්වෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඉන්දියාවට එන්නේ හොඳ ගොවීන් පිරිසක්) කියන කතාව දිරවගන්ඩ ඉන්දියානුවන්ට බැරි උනා. ඒ හිංදා ඒ අය, මේ මතයට නොයෙක් ප්‍රති විරුද්ධ මත ගෙනාවා. හරියට පහුගිය පළාත් පාලන චන්දෙ පැරදිච්ච අපේ බුලත් කොළ පාක්ෂිකයෝ වගේ. මේ පටලැවිල්ල ලෙහා ගන්ඩ කිසි මගක් නැතුව ඉන්දැද්දී අන්තිමට නවීන විද්‍යාව තමයි උදවු උනේ. අද කතාව ඒ ගැන.

Tuesday, February 13, 2018

බස් ගස දිගේ නගිමු



තැනිතලා බිම් වල ගෙවූ එඬේර ජීවිතය එපා වෙමින් තිබිණි. උපතේ සිට මරණය දක්වා ගොපල්ලන් ලෙස ගෙවන ජීවිතය කර්කශ විටෙක විනෝදජනකද වුවත් සැමවිටම අනතුරෙන් පිරී පැවතියේ විය. බඩගින්නද, පිපාසාවද, ලෙඩ දුක කිසිදා ජීවිතය හැර නොගිය තරම්ය. දැන් පැරණි තර්ජන මතට තවත් අභියෝගයක් එල්ල වී ඇත. මේ තැනිතලා ප්රදේශයට දැරිය නොහැකි තරමට ජනගහනය වර්ධනය වී ඇත. අපේ සියලු සතුන්ට කෑම සැපයීමට තවදුරටත් මේ තැනිතලාවට නොහැක. අප ඉදිරියේ ඇත්තේ විකල්ප දෙකකි. එකක් බඩගින්නත් සමග එන සමූහ මරණය පිලි ගැනීමය. දෙවැන්න නොදන්නා කඳුකරයට ගොස් පදිංචි වීමය. මේ කොයි තීරණය ගත්තත් අපි එක් කරුණක් හොඳාකාරවම දනිමු. අපේ අම්මා ගෙන් සදහටම සමුගන්නා බවය. අපි කඳුකරයටද ඉන් ඔබ්බටද යන්නෙමු නම් අපිට ගෙනයාමට ඇත්තේ අම්මා පිලිබඳ මතකය පමණකි.  අපි මතකය අපේ දරුවන්ටද, ඔවුන්ගේ දරුවන්ටද දෙන්නෙමු. දිනෙක මතකය ඔවුන් ඈත එපිට බිමක වෙසෙන ඔවුන්ගේ මුල් බිම් වල දිවි ගෙවන මිතුරන් හඳුනා ගැනීමටද, සහෝදරත්වයෙන් වෙලා ගැනීමටද උපකාරී වනු ඇත.

කාළය ගතවුනි. වසරක් දෙකක් නොව වසර දහස් ගණනක් ගතවුනි. කාළය ඒ පුරෝගාමීන් පැමිණි පිය සටහන් මකා දැමීය. එදා තැනිතලා වාසී එඬේරුන් කොටසක් මධ්‍යම ආසියාවේ සිට මැද පෙරදිගටද එතැනින් දකුණු ආසියාවටද පැමිණි අතර තවත් කොටසක් යුරෝපානු මහාද්වීපය කරා ගමන් කළහ. අද ඔවුන් කොහේ ඇද්ද? ඔවුන්ට මවු භූමිය අමතකද? ඔවුන් කෙසේ සිය වෙන්ව ගිය සොයුරන් සොයුරියන් හඳුනා ගන්නද?