Saturday, May 26, 2018

නිගණ්ඨ ජීවිතේ මතකය


ගිය පාර මම කියපු මහ ඉලුප්පල්ලම ගැන කතාවෙදි මම කිව්වනේ පේරාදෙණියේ ඉන්න කාලේ තිබ්බ සමහර අත්‍යවශ්‍යතා MI වලට එතරම් තදින් දැනුනේ නැති බව. මම දුන්න එක උදාහරණයක් තමයි සරම! අපේ ප්‍රසන්න මහත්තයා (කමෙන්ට් කරුවන්ගේ සංගමයේ ගරු සභාපති තුමා) අහලා තිබ්බ එහෙම වෙන්නේ කොහොමද කියලා. ඔන්න එතකොට තමයි මට තේරුනේ මේ ගැන පැහැදිලි කිරීමක් නොකලොත් MI ජීවිතේ ගැන වැරදි වැටහීමක් කාට කාටත් ඇති වෙන්ඩ පුළුවන් බව. ඉතිං ඒ  ගැන තමයි අද කියන්ඩ හිතුවේ.

ලංකාවේ හතර දිග් බාගෙන් ආවත් පේරාදෙණියේ සැපදායක පරිසරය අපි හැමෝටම ගෙනාවේ හරිම සුන්දර හැගීමක් ඔය සැපදායක පරිසරයේ පුරා අවුරුදු දෙකක් ගත කරාම MI වල තිබුන වියළි දේශගුණයට හුරු වෙන්ඩ ටිකක් අමාරු උනා. මේ අමාරුවත් එක්කම ආවේ දවල් දවස පුරාම එළිමහනේ මහන්සි වෙලා පොළව කොටන, වතුර අදින, වල් පැල ගලවන කාලයක්. අපි හුගක් දෙනෙකුට මේ වැඩේ අලුත් අත්දැකීමක් උනා. පොඩි පොඩි මට්ටමෙන් ගොවිතැන් වැඩ කරලා තිබුනට මාස ගාණක් එක දිගට මුළු උදේ වරුවම හවස් වරුවම ගොවිතැන් වැඩ වල යෙදිලා අපි හුග දෙනෙකුට පුරුද්දක් තිබුනේ නෑ. ඒ මදිවට රෑ එලි වෙනකල් නින්දක් නැතිව මදුරු විමානෙක ගතකරපු දුෂ්කර ජීවිතය. මේ ඔක්කොමත් එක්ක තමයි අපි හුග දෙනෙක් ශ්වේතාම්බර පට සළු අදින්ඩ පටන් ගත්තේ. අනික හොස්ටල් එකේ ඔක්කොම සම වයසේ තරුණයෝ. ඉතිං එහෙමටෙයි කියල ලොකු අවුලක් නෑ සරමක් නැතුව හිටියට.


හැබැයි අනිවාර්යයෙන් කියන්ඩ ඕන තව දෙයක් තියනවා. ඒ තමයි අපි අපිම පවත්වා ගත්තු ස්වයං විනය. ගෑණු ළමයි ගැවසෙන මානෙකට පිරිමි ළමයෙක් යනවානං අනිවාර්යයෙන් දිග කලිසමක් ඇඳගෙන යන්ඩ ඕන බවට අපි අතර පිළිගත් සම්ප්‍රදායක් තිබුනා. කවුරුහරි කෙනෙක් ඇහුවොත් ඒ ළමයි ගෙවල් වලදී තාත්තලා, අයියලා සරම් ඇඳගෙන ඉන්නවා දැකලා ඇති නේද ඉතිං මොකටද MI වලදී විතරක් අමුතු ආචාරශීලී බවක් කියල මට දෙන්ඩ තියන උත්තරේ අපි MI වල ගෙවල් වලින් හැතැම්ම ගානක් ඈත් වෙලා හිටපු එකම තමයි ඒකට හේතුව කියල. MI වලදී අපිව රකින්ඩ කෙනෙක් නෑ ඉතිං අපේ සහෝදරියන්ගේ ගෞරවය රකින එක අපේ යුතුකම වගේම වගකීමත් වෙලා තිබුනා. ඉතිං මම මේ කියන්ඩ යන කතා එකකටවත් ගෑණු ළමයින්ගේ සම්බන්ධයක් නෑ.

Saturday, May 19, 2018

මැයි 19 - සොඳුරු හුදෙකලාවක් වෙනුවෙන්



ඉන්දියාවේ තියෙනවලු තපෝදා කියල ගඟක්. දවසක් පාන්දරින්ම නැගිටපු සමිද්ධි කියල හාමුදුරුනමක් මේ ගංගාව ලඟට වැඩියලු මූණ හෝද ගන්න. මේ සුන්දර නදියෙන් ඇඟ පත හෙම හෝදගෙන තුවායකින් ඇඟ පිහ දදා ඉන්නකොට හරි ලස්සණ පාටකින් මුළු පැත්ත පළාතම එළිය කරගෙන දෙව් දුවක් පහල උනාලු හාමුදුරුවෝ ඉස්සරහට.


පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ දන්නවද සොඳුරු හුදෙකලාව ගැන?”

නෑ දෙව් දුව…. මම එහෙම දෙයක් ගැන දන්නේ නෑ?”

ඔබ වහන්සේ සොඳුරු හුදෙකලාව ගැන කියවෙන ගාථා ටික දන්නවද?”

නෑ දෙව් දුව…. මම ඒ ගාථා දන්නෙත් නෑ

එහෙනං හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ සොඳුරු හුදෙකලාව ගැන කියවෙන විස්තරය හොඳට අහලා දැනගන්න. ඒක නිවනට හේතු වෙනවාමයි කියල අර දෙව් දුව අතුරුදහන් උනා.

Wednesday, May 16, 2018

මේ ළඟ.... මේ ළඟ....!!


මහ ඉලුප්පල්ලමේ ජීවිතේ ගැන කියන්ඩ කතන්දර සිය ගානක් ඉතුරු වෙලා තියනවා. ඒ කතා ලියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ අවුරුදු විස්සකට විතර ඉස්සර වෙච්ච දේවල් මතක් කර ගන්න එක. මේ ලඟදි අනුරාධපුරේ යන වෙලාවකදී තලාව කෝච්චි ස්ටේෂන් එක දැක්කා කියමුකෝ. එතකොට මතක් උනා MI වල අපේ පළවෙනි දිනය. 

මට මතක විදිහට පේරාදෙණියෙන් අපි එදා MI වලට එන්ඩ පිටත් උනේ උදේ දහයට විතර. කොහොම උනත් අපි MI වලට එනකොට දවල් දෙකට දෙක හමාරට විතර ඇති. ආපු ගමං දවල්ට කාලා ටිකක් එහ්ට්ට මෙහෙට්ට වෙනකොට MI ජීවිතේට හුරු වෙන්ඩ ඕන මූලික අවශ්‍යතා ගැන තේරෙන්ඩ පටං ගත්තා.  ඒ තමයි මදුරු දැලක්, වතුර ටිකක් කාමරෙන් ගෙනත් තියා ගන්ඩ ප්ලාස්ටික් කෝප්පයක්, සබන් කෑල්ල තියා ගන්ඩ සබන් පෙට්ටියක් වගේ දේවල්. පේරාදෙණියේදී මෙව්වා මොනවත් ඕන උනේ නෑ. ඒ වගේම පේරාදෙණියේදී ඕන වෙච්ච රැවුල කපන රේසර්, ඇඟ පිහ දාන තුවා, ඇඳ ගන්ඩ සරමක් වගේ දේවල් MI වල ජීවිතේට අත්‍යාවශ්‍ය සාධක නෙවෙයි!



මේ වෙනස්කම් ගැන අපේ සීනියර්ස් ලා කොච්චර කියල තිබ්බත් MI වලට ඇවිල්ලම තේරුම් ගන්ඩ ඕන ඒ වෙනස. ඉතින් අපි MI ආපු දවසේ මේ අවශ්‍යතා තේරුම් යනකොට හවස තුනට විතර ඇති. ඊට හපන් තව ප්‍රශ්න තිබ්බා. ඒ තමයි කාලෙකින් අතු පතු ගාලාවත් නැති දූවිලි පිරිච්ච කාමර. හැම කාමරේම ඇඳන් හතරක් තිබුනා. ඒ කියන්නේ කොන්ක්‍රීට් ඇඳන්. කාමරේට ඇතුල් වෙන දොර දෙපැත්තේ බිත්ති වල එක පැත්තක දෙක ගානේ ඇඳන් හතරක්! මාස හය හතක් තිස්සේ වහල තියන කොට කාමරෙයි ඩෝම් එකේ අනිත් කෑලි වලයි කොච්චර දූවිලි පිරිලා තියෙන්ඩ ඇද්ද කියල නිකං හිතා ගන්ඩකෝ. මේ කාමර හෝදලා අර මුලින් කියපු අවශ්‍යතා ටික සම්පූර්ණ කර ගෙන මිසක් MI වල පළවෙනි රැය ගතකරන එක හීනයක් බව අපිට තේරුනා.

Saturday, May 12, 2018

රජ්ජුරුවන්නේ පැටිකිරිය III


මතකනේ අපි ලංකාවේ රජවරු රජ වෙච්ච ආකාරය හොයන්ඩ පටං ගත්තා. මේ ඒ ගමනේ අවසාන ලිපිය. මුල් ලිපි කියෙව්වේ නැත්නං පළවෙනි ලිපිය මෙතනිනුත් දෙවැන්න මෙතැනිනුත් කියවන්ඩ පුළුවන්.

මම ඉස්සරෝම රස්සාවකට කන්තෝරුවකට ගිය දවසේ දවල් කෑම ගන්ඩ ඒ කන්තෝරුවේ තිබිච්ච කෑම කාමරේට ගියා. ඒ වෙලාවේ එතන හිටියා මට වඩා අවුරුදු විස්සක් විතර වැඩිමල් සමාජ විද්‍යාඥයෙක්. ඔහු ඒ කන්තෝරුවේ වැඩට ඇවිත් ගත වෙලා තිබුනෙත් සති  විතරයි.

"මල්ලි කොහොමද රස්සාව?"

"හොඳයි වගේ...අදනේ පටං ගත්තේ...තාම  අමාරුයි"

"දැනට තියන වැඩ කොහොමද?"

"පොඩි පොඩි වැඩ දෙක තුනක් නං තිබුනා එව්වා නං ඉවර කළා"

"ඇත්තට? ඒක හොඳයි. මට නං තාම පටන් ගත්තු වැඩක් ඉවර කරන්ඩ පුළුවන් වෙලා නෑ...!"

"මොනවගේ වැඩක්ද?"

"හැම වැඩක්ම!"

Wednesday, May 9, 2018

රජ්ජුරුවන්නේ පැටිකිරිය II


කාලෙකට ඉස්සර ඉංග්‍රීසි ෆිල්ම් එකක් ආවා ද කියුරියස් කේස් ඔෆ් බෙන්ජමින් බටන් කියලා. ඒ කතාවේ ප්‍රධාන චරිතය ඉපදෙන්නේ මහලු මිනිසෙක් විදිහට. කල් ගත වීමත් එක්ක ඔහු වඩ වඩා තරුණ බවට පත් වෙනවා. කොටිම්ම අනික් හැමෝම වයසට යද්දී බෙන්ජමින් විතරක් තරුණ වෙනවා. ඉතිං කොච්චර එකක්ද අපිට හිතෙන්ඩ පුළුවන්. හැබැයි ඒක මහා ප්‍රශ්නයක් බව පැහැදිලි වෙන්නේ දිගටම ෆිල්ම් එක බලාගෙන යනකොට. වයසක බෙන්ජමින් තරුණ බවට පත් වෙලා නවතින්නේ නෑ. ඔහු එතනිනුත් එහාට ඒ කියන්නේ බාල වියට පත් වෙනවා. මට මතක විදිහට අන්තිම දර්ශනේ තියෙන්නේ අත දරුවෙක්ගේ තත්වයට පත්වෙන බෙන්ජමින් මියයන ආකාරය.

මේ කතාව අද්භූත කතාවක් උනත් නිකමට හිතල බැලුවොත් එහෙම වීම හරි අවාසනාවන්ත තත්වයක්. නිකමට හිතලා බලන්ඩකෝ තමුන්ගේ දරුවන් වයසට යද්දී බාල වියට එළඹෙන තාත්තෙක්, අම්මෙක් ගැන. අන්තිමට අත දරුවෙක් වගේ වෙලා මැරිලා යන්ඩ වීම...! මම හිතන විදිහට නං මේකේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ජීවිතේ ඒ ඒ කාල වල කල යුතු එහෙම නැත්තං සිදු විය යුතු දේවල් කරන්නට ඕන කරන හයිය හත්තිය නැති අසරණ චරිතයක් විදියට ජීවත් වීම මහා කරුමයක් කියලා. මෙන්න මේක තමයි බෙන්ජමින්ටත් උනේ කතාවේ හැටියට.

හදිස්සියේම මට ඔය ෆිල්ම් එක මතක් උනේ ගිය සතියේ ඉඳලා විවේක තියන තියන විදිහට ලනාවේ ඉතිහාසේ කියවන්ඩ පටන් ගත්තු හිංදා  ආයෙත් වරක්. මතකනේ මේ වැඩේ පටන් ගත්තු විදිහ. අමතක නං මෙන්න ඒ ලිපියට සම්බන්ධතාව.

Sunday, May 6, 2018

සිංහලේ රජ්ජුරුවන්නේ පැටිකිරිය



ඇමරිකාවේ ජනාධිපතිවරණය ලංවෙනකොට සී.එන්.එන්. නාළිකාව හරි අපූරු වැඩසටහනක් කරනවා. ඒ තමයි ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඒ ඒ සතියෙදි කියන කතා වල ඇත්ත නැත්ත හොයල බලන එක. මම පහුගිය ජනාධිපතිවරණ දෙක තුනකදිම මේ අපූරු වැඩ සටහන දැක්කා. අනේ ඉතිං ලංකාවේ අපිට කොහෙද එහෙම මධ්‍යස්ථව ඉඳන් දෙපැත්තෙම හරි වැරදි පෙන්නන වැඩසටහන්?!!!. අනික් පැත්තට ගත්තොත් ලංකාවේ එහෙම වැඩක් කරන්ඩ හුගක් ලේසි වෙන්ඩත් ඉඩ තියෙනවා. ඇයි අපේ උන්දැලා කට ඇරියොත් කියන්නේ මුසාවක් නේ. ඉතිං කියන කියන හැම දේම ගජ බින්න ගොඩට දාන එකයි තියෙන්නෙ!!

මට ඔය වගේ ෆැක්ට් චෙකිං වැඩක් කරන්ඩ හිතුනේ කට්ටකාඩුව බ්ලොග් එකට අප්‍රමාණ ගුරුහරුකං ලබා දෙන එක්තරා ගුරු උත්තමයෙක් මේ ලඟදි මට එවපු වට්ස් ඇප් පණිවිඩයක් හිංදා. මෙන්න මේකයි ඒ පණිවිඩේ සහසුද්දෙම්ම.

ලංකාවේ රජවරු =194
දෙමල රජවරු =19
සිංහල රජවරු =175
175 න්
60 ක්ම යුව රජු රජා මරා රජ වී ඇත
53 සහෝදරයා සහෝදරයා මරා රජවී ඇත
30 ප්‍රධාන සෙනෙවියෙක් රජා මරා රජවී ඇත
05 පුතා පියා මරා රජවී ඇත
01 රැජිණ රජා මරා රජ වී ඇත
01 දොරටු පාලක රජා මරා රජවී ඇත
මේ ලංකාවේ ඉතිහාසෙම 25 ප්‍රජාතාන්ත්‍රිකව රජ වී ඇත.

මට හිතුනා ගණන් හදලා බලන්ඩ මේ කතාව ඇත්තද කියල.කැමතිද කියවලා බලන්ඩ.

Thursday, May 3, 2018

සිසිකොස්ටස් නම් කුළී හේවායා



ඉතිහාසය කියන්නේ මම හැමදාමත් කැමති විෂයයක්. පුරා විද්‍යාවත් ඉතිහාසයත් කියන්නේ විෂයයන් දෙකක්. පුරා විද්‍යාව, ඒ සම්බන්ධ විශේෂඥ දැනුමක් තියන අයට සීමා වෙලා තියෙද්දී ඉතිහාසය කියන්නේ අතීතයේදී මේ මේ දේවල්, මේ මේ ආකාරයෙන් වෙන්ඩ ඇති කියලා උපකල්පන හා පුරා විද්‍යා සාක්ෂි මත කරන යම් ආකාරයක කතන්දර ගොඩක්. දැන් ඉතිහාස විශේෂඥයෝ කියයි මගේ මේ කතාව වැරදියි කියල. හොඳයි මම කැමතියි වැරැද්ද බාර ගන්ඩ. හැබැයි ලංකාවේ අවුරුදු දෙදාස් පන්සීයකට වැඩි ඉතිහාසයේ එක දිගට අවුරුදු පනහක් පෙන්නන්ඩ කිසිම උපකල්පනයකින් තොරව ඉතිහාස කතාව ගොඩ නගපු!!!
සිසිකොස්ටස්

හැබැයි වඩා වැදගත් දේ ඉතිහාසය කියන්නේ කතන්දරයක් විතරයි කියල අහක දාන එක නෙවෙයි. ඒ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න එක. මේ වෙසක් පෝය අල්ල පනල්ලේ අපේ සමහරු කතා බහ කරන්නේ බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවෙද, ඉන්දියාවෙද? එහෙම නැත්තං බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියද නැද්ද?, වැඩිය නං ඒ කොහාටද? කවද්ද? වගේ දේවල්. ඊට වඩා වැදගත් නැද්ද බුදු හාමුදුරුවෝ ඇත්තටම දේශනා කලේ මොනවද? අපි ඒ දේවල් වලින් කීයෙන් පංගුවක් ඇත්තටම පිලි පදිනවද? කියල හිතල බැලුව නං. මම බුදු හාමුදුරුවෝ ගැන කතා කලාට මේ අදහස යේසුස් වහන්සේ, නබි නායක තුමා වගේ අනෙකුත් ආගමික නායකයන්ටත් අදාලයි.

මම ඉතිං කතන්දර අහන්ඩ කැමති මනුස්සය හිංද ඔය වගේ ඉතිහාස කතන්දර තිහ හතලිහකුත් අහල තියනවා. මේ එයින් එකක්.