Sunday, January 22, 2023

ආලයෙන් පාරාජිකාවීම හෙවත් මට නැත්තං තොටත් නෑ

 

අපේ සමාජෙට කාලෙන් කාලෙට අලුත් මාතෘකා එනවා. මේ මාතෘකා නිකම්ම එනවද, කවුරු හරි එවනවද, අපි ඒ මාතෘකා ගැන කතා කරන්ඩ ඕනද නැද්ද වගේ අපේ ගමේ බාසාවෙන් කියනවා නං මහප්පරාණත් ඒත් එක්කම එනවා. ඔය මාතෘකා ඇතුලේ කතා කරන අය වගේම එහෙම කතා කරන්ඩ විරුද්ධව මහප්පරාණ කියවන අයත් කරන්නෙ අර මාතෘකාව වටේම යන එක තමයි.

මේ දවස්වල ලංකාවෙ මාතෘකාව කොළඹ විශ්ව විද්‍යාලෙ සිසුවියක් ඇගේ පරණ පෙම්වතා අතින් ඝාතනය වීම. ඒ ගැන පරණ කවි සිංදු වල ඉඳන් ෆේස්බුක් පෝස්ට් දක්වා අටෝ රාසියක් ලියවිලි මම දැක්කා. ඒ කිසිම එකක මම නොදැක්ක කාරණයක් තියෙනවා. ඒ තමයි ඒ ළමයි දෙන්නා තමුන් කරන්නෙ මොකද්ද කියන එක ගැන දැනගෙන හිටියාද එහෙම නැත්තං කරන්ඩ යන දේ ගැන පැහැදිලිව අනෙකාට සන්නිවේදනය කරාද කියන එක. වෙන්ඩ ඇත්තෙ මෙහෙමයි කියල දැන් අඬලා වැලපිලා පලක් නෑ. දෙන්නම තමන්ගේ ජීවිත වලින් වන්දි ගෙවලා ඉවරයි. හෝව් හෝව් අනීවාරතේ ටිපර් වෙන්ඩ එපා. එක්කෙනයි මැරුනේ අනිකා හොඳින් ඉන්නවා කියල හිතන්ඩ, කියන්ඩ එපා. ඒ කොල්ලා (මේ සිද්ධියේදි කෙල්ල මැරිලා කොල්ලා හිරගෙට ගියාට හෙට අනිද්දා කොල්ලා මැරිලා කෙල්ල හිරගෙට යන්ඩ පුලුවන්. එහෙම සිද්ධි ලංකාවෙ එච්චර නොවුනට වෙන රටවල්වල ඕන තරං වෙලා තියෙනවා). හැබැයි අපේ අත්දැකීම් බෙදා ගම්මුද අනාගත තරුණ පරපුරත් එක්ක. කොහොමද හරියට ලව් කරන්ඩ පටන් ගන්නේ කියලා? අපි ඒ ගැන කතා කරලා තියෙනවද? සමාජයක් විදිහට අපි ආදරය කතා නොකලයුතු තහනම් මාතෘකාවක් විදිහට පවත්වා ගන්නා තාක් නොලැබුනු ආදරයක් වෙනුවෙන් වන තරුණ මරණ අපිට අහන්ඩ ලැබේවි.



කාලෙකට පස්සෙ මට ලැබිච්ච පොඩි නිවාඩුවක්, මේ මාතෘකාව ගැන මගේ සත දෙක ඉදිරිපත් කරන්ඩයි මේ උත්සාහෙ. මොකද කියන්නෙ? කියවලා බලමුද?

අපේ බැච් එකේ හිටියා සිරා කොල්ලෙක්. අපි ඌට කියමුකො චිම්පන්සියා කියලා.දැං ඔන්න අපේ ජූනියර් බැච් එකත් ඇවිල්ලා කියමුකෝ ඈ. සතියට දෙන්නා ගානේ කපල් බිහිවෙනවා. කැම්පස් එක මගුල් සක්වලක් වෙන්නෙ අලුතෙන් බැච් එකක් ආපු කාලෙට. ගස් නැති රටේ මෝල් ගසුත් ගස් වෙනවා කියනවානේ. ඒ වගේ කිරි ටොයියෝ එකෙක් නොහිටපු වෙසමුණි රාජධානිය වගේ යක්කුම අරක් ගත්තු අපේ බැච් එකට, ජූනියර් බැච් එක දැක්කම දැහැන් බිඳෙනවා. රූපාවචර අරූපාවචර සමාධිවලින් මිදෙන්ඩ හිතෙනවා ඕ යෑස්.

ඉතින් ඔහොම කාලෙක අපේ චිම්පාත් කෙල්ලෙක් පස්සෙ යනවා නොහොත් ට්‍රයි කරනවා කියලා ආරංචියක් ආවා. යකෝ මූට හරියනවානං අපිටත් හරියන්ඩ ඕන නේද කියල චිත්ත ප්‍රීතියෙන් අපිත් යනවා සැප දුක් බලන්ඩ!!

මචං චිම් කොහොමද දැන් වැඩේ?

සෑහෙන්ඩ සාර් ථකයි මචං!! ස්ටෙප්ස් දෙක තුනක්ම තියලා තියෙන්නේ!!

අනේ හොඳයි කියල හිතාගෙන තව දවස් දෙක තුනක් ගියාම ආයෙත් අහනවා...

මචං දැං කොහොමද වැඩේ?

තව ස්ටෙප්ස් තුන හතරක් තිබ්බා මචං. වැඩේ නැගලා යනවා!!

එළ කොල්ලා!! උඹට හරි ගියා කියන්නෙ අපිට හරිගියා වගේ තමයි!!

තව දවස් දෙක තුනකින් ආයෙත් අහනවා....කොහොමද මචං වැඩේ?

තව ස්ටෙප්ස් දහයක් විතර තිබ්බා මචං!!

දහයක්!!

ඔව්. ඇයි?

ඒ කියන්නෙ දැන් ඔන්න මෙන්න වැඩේ හරි යන්ඩ?

නෑ!! පිස්සුද??

ඇයි දැං උඹ කිව්වේ ස්ටෙප්ස් දහය පහලොවක් තිබ්බා කියලා!!

... ඔව් එහෙම කිව්ව තමයි?

එතකොට තව ස්ටෙප්ස් කීයක් තියෙනවද වැඩේ හරි යන්ඩ?

තව දාහක් දෙදාහක් විතර!!

එදායින් පස්සේ මං ආය උගෙන් අහන්ඩ ගියේ නෑ වැඩේ සාර් ථක අසාර් ථක බාවය. ලංකාව දියුණු රාජයක් වෙන්ඩ පියවර තියනවා වගේ ඌ කැම්පස් එකෙන් අවුට් වෙනකල්ම ආදරය දිහාට ස්ටෙප්ස් තිය තියා හිටියා. පස්සෙ ඒ කෙල්ල වෙන කෙනෙක් ව බැන්දා. අපේ චිපා ගිහිං කෙල්ලගෙ බෙල්ල කැපුවද? ගිනි තිබ්බද? ඇසිඩ් ගැහුවද? මරලා සූට් කේස් එකක දාලා බස් එකක යැව්වද?

නෑ හිතවතුනි නෑ. ඌ වෙන වඩා හොඳ කෙල්ලෙක්ව බැදලා දැන් බොහොම හොඳින් කල් ගෙවනවා. ඒ ආදරය ප්‍රතික්ෂේප වීම වගේම තමන් ආදරය කරපු කෙනා අත අරින්ඩ වීමත්, එයා වෙන කෙනෙක්ව බැඳීමත්, බැන්දට පස්සෙත් හොඳ යාලු මිත්‍රයෝ වගේ ආශ්‍රය කිරීමත් ආදරයේම කොටස්!! අපේ බැච් එකේ ප්‍රේම සම්බන්ධතා විසි පහකට වඩා තිබ්බා. විවාහයකින් කෙළවර උනේ බොහොම ටිකයි. හැබැයි බැන්දට වඩා හොඳින් ආදරය පවත්තාගෙන යන කට්ටිය ඊට වඩා ඉන්නවා ප්‍රෙන්ස්!!

මොකද්ද මිනී නොමරා ගැනීමට හේතුව. වෙන වෙන හේතුත් ඇති. ඒත් මං හිතන්නෙ නං තමන්ට තියෙන උවමනා එපාකම්, ප්‍රශ්න හරියට අනෙකාට සන්නිවේදනය කිරීමට අපේ බොහෝ කපල් වලට තිබිච්ච හැකියාව.

ඔය සන්නිවේදනය ගැන කෙස් පැලෙන වාද විවාද තියන්ඩ පුලුවන්. හැබැයි මට හම්බ වෙච්ච හොඳම පැහැදිලි කිරීම තියෙන්නේ විනය පිටකයේ පාරාජිකා පාළියේ. ඔය පාරාජිකා වෙනවා කියන්නෙ හාමුදුරු කෙනෙකුට වෙන්ඩ පුලුවන් භයානකම දේ. ඒ කියන්නෙ භික්ෂු භාවයෙන් පිරිහීම, තවදුරටත් භික්ෂුවක් විදිහට ජීවත් වෙන්ඩ බැරිවීම. කොටිම්ම කියනවා නං සංඝ සමාජෙන් දොට්ට දමීම!. ඉතින් එහෙම වැඩක් ගැන තීරණයක් දෙන එක බොහොම පරිස්සමින් හිතලා මතලා කරන්ඩ ඕන දෙයක්. හරියට කෙනෙක්ගේ රැකියාව අහිමි කරන්ඩ තියෙන විනය පරීක්ෂණයක් වගේ.

මට හිතෙනවා දෙන්නෙක් අතරේ තියෙන විවාහයකින් කෙළවර විය යුතුයි කියලා හිතෙන ප්‍රේමයක් අවසාන කිරීමත් එක්තරා විදිහක පාරාජිකා වීමක් කියලා. හොඳට තේරුම් ගන්ඩ...මම කියන්නෙ නෑ දෙන්නෙක් අතරේ තියෙන ප්‍රේමයක් විවාහයකින් ම කෙළවර වෙන්ඩ ඕන කියලා. විවාහය කියන්නෙ එක්තරා අවස්ථාවක්, අවදියක් විතරයි. භික්ෂු ශාසනයේදී නං නිකං උපසම්පදාව වගේ. හැබැයි උපසම්පදා නොවිච්ච හාමුදුරුවරු ඉන්නවා වගේ විවාහයෙන් තොර ප්‍රේමයන්ද අනන්තවත් පැවතිය හැකියි.

මං මේ උපුටා ගන්න කොටස තියෙන්නේ විනය පිටකයේ, පාරාජිකා පාළියේ, ප්‍රථම පාරාජිකය එහෙම නැත්තං ලිංගික සම්බන්ධතා පැවැත්වීම කියන වැරැද්ද තියෙන කොටසේ සන්තථ බනවරයේ. මම කියෙව්වේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ පාරාජිකාපාළි ග්‍රන්ථයේ 2005 වසරේ මුද්‍රණය. ඒකෙ නොතේරෙනෙ දේවල් පැහැදිලි කරගන්ඩ සමන්ත පාසාදිකා විනය අට්ඨ කථාවේ සිංහල පරිවර් තනයත් (2009 මුද්‍රණය), ඒකෙත් තිබ්බ ගටළු විසඳාගන්ඩ සාරත්ථ දීපනී කියන සමන්ත පාසාදිකා විනයට්ඨකතාවේ ටීකාවත් (2015 මුද්‍රණය) පාවිච්චි කරා. ඔය පොත් ඔක්කොම ප්‍රකාශ කරලා තියෙන්නේ බෞද්ධ සංස්තික මධ්‍යස්ථානෙන්.

දැන් කතාව බොහොම සරළව ගත්තොත් මෙහෙමයි.

විශාලා මහනුවර කියන්නෙ වජ්ජින්ගේ රාජ්‍යයේ අගනුවර. ඉතින් ඔය අගනුවර හිටියා හාමුදුරුවරු සෙට් එකක්. කැමති කැමති විදිහට කාලා, නිදා ගෙන, නාලා, අහවල් කාරියත් කර කර හිටපු මේ අය වයසට ගිහාමකාත් කවුරුවත් නැති වෙලා, ලෙඩ රෝගත් හැදිලා හතේ හත වැදුනහම ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ගෙන් තමන්ව උපසම්පදා කරන්ඩ කියලා ඉල්ලනවා.

අපි කාටවත් කිසිම වැරද්දක් කිව්වෙ නෑදොස් කිව්ව ගැරහුවේ නෑ. හැබැයි හරියට ශාසන ප්‍රතිපදාව රකින්ඩ බැරි උනා. එක එක දහපදුරා වැඩ කර කර හිටියා. කාළකන්නි උනා. ඉතින් අපිව ආපහු මහණ කරලා උපසම්පදා කරන්ඩ. අපිට පුළුවන් හොඳටම කරන්ඩ. බුදු හාමුදුරුවන්ට කියලා බලන්ඩකෝ.

ඉතිං ආනන්ද හාමුදුරුවෝ, බුදු හාමුදුරුවන්ට මේ කතාව කිව්වා.

බුදු හාමුදුරුවෝ කියනවා යම් භික්ෂුවක් ශික්ෂාව ප්‍රතික්ෂේප නොකොට, තමන්ගේ දුබල බව ප්‍රකාශ නොකර මෙවුන්දම සේවනය කරනවා නං එහෙම කට්ටිය ආපහු ආවත් උපසම්පදා නොකළ යුතුයි කියලා. හැබැයි යම් භික්ෂුවක් ශික්ෂාව ප්‍රතික්ෂේප කරලා, තමන්ගේ දුබල බවත් ප්‍රකාශ කරලා මෙවුන්දම සේවනය කරනවා නං එහෙම කට්ටිය ආපහු ආවොත් උපසම්පදා කරන්ඩ කියලා.

සහසුද්දෙන්ම කියනවා නං දැන් ප්‍රශ්නේ තියෙන්නෙ මෙවුන්දම් සේවනයේ නෙවෙයි. එහෙම කරද්දී එහෙම කරන කෙනා හිටපු තත්වේ මොකද්ද කියන එකේ. කොටිම්ම භික්ෂුවක් පාරාජිකා වෙන්නේ මෙවුන්දම් සේවනයෙන් නෙවෙයි, එහෙම කරද්දී පිළි ගන්නා නොගන්නා අදහස් අනුවයි. එතකොට මෙවුන්දම් සේවනය කරා කියලා ඔප්පු කරන එකේ නෙවෙයි වැදගත්කම, ඒ වෙනකොට එයාගේ විශ්වාසයන් මොනවාද කියලා තීරණය කිරීමයි වැදගත්.

මේ ගැන තියෙන පැහැදිලි කිරීම් වලදී පෙන්නනවා ශික්ෂාව ප්‍රතික්ෂේප කිරීමත්, දුබල බව ප්‍රකාශ කිරීමත් දෙකම සිද්ද වෙලා තියෙන්ඩ ඕන කියලා වැරැද්දට සමාව දෙන්ඩ. එකක් විතරක් වෙලා තිබ්බොත් හරියන්නෙ නෑ.

දුබල බව ප්‍රකාශ කිරීම කියන්නේ පැවිද්දේ කළකිරීම, පැවිද්දේ නොඇලීම, පැවිද්දෙන් පහ වීමට කැමති වීම, පැවිද්දෙන් තමා කරදරයට, පෙළීමට පත්ව සිටින බව සිතීම, පැවිද්දෙන් ලැජ්ජාවට පත්වීම, පැවිද්ද පිළිකුල් කිරීම ගිහි බව හෝ වෙනත් ආකාර පැවිද්දකට පත් වීමට ඇති කැමැත්ත ඇති කර ගැනීම වගේ දේවල්.

දැන් මේක අපේ කාරණේට ගලප්පාගම්මු කෝ. ආදර සම්බන්ධතාවයක් පටන් ගෙන ඉන්න දෙන්නගෙන් එක්කෙනෙක් ඒ ආදර සම්බන්ධතාවයට තිතක් හෝ තිත් කොමාවක් තියන්ඩ හිතනවා. ඒ කියන්නෙ එයා ඒ සම්බන්ධතාව ගැන කළකිරීමට, නො ඇලීමට, පහ වීමට කැමැත්ත ඇති වීමකට, සම්බන්ධතාව හින්දා කරදරයට, පෙළීමට පත් වී ඇති බව හිතීමට, ලැජ්ජාවට පත්වීමට, පිළිකුල් කිරීමට පටන් ගෙන තියෙනවා කියලයි.

දැන් එක අවශ්‍යතාවයක් සම්පූර් ණයි. එහෙමනං අපි දෙවෙනි අවශ්‍යතාවයට යමු. ඒ තමයි ශික්ෂාව ප්‍රතික්ෂේප කිරීම. ඒ කියන්නෙ දැන් ඉන්න විදිහ නරකයි කියලා අනිත් අයට දැන්වීම. සම්බන්ධතාවයකදී නම් තමන්ට සම්බන්ධතාවෙන් ඉවත් වෙන්ඩ ඕන කියලා අනිත් කෙනාට සන්නිවේදනය කිරීම. මේ ගැන හොඳ ආදර්ශයක් ශික්ෂාව ප්‍රතික්ෂේප කිරීම වලංගු වෙන්නේ කොහොමද කියන අවස්ථාවෙදි දැක්වෙනවා. මෙතෙන්දි මම කතාව දිග වැඩි වෙන හින්දා අපිට අවශ්‍ය කාරණයට ගලපලාම ලියන්නම්. විනය පිටකයේ තියෙන්නේ ආදර සම්බන්ධතා ගැන නෙවෙයි කියන එක මුලින්ම අවධාරණයෙන්ම මතක් කරන්ඩ ඕන.

සම්බන්ධතාවය නවත්වන බවට නිසි සන්නිවේදනයක් සිදු නොවී යැයි සැලකෙන අවස්ථා

  1. අනාගතයේදී සම්බන්ධතාවය නවත්වන්නේ නම් හොඳ යැයි (අස්ථිරව / අනියමාර්ථයෙන්) කීම
  2. අනාගතයේදී සම්බන්ධතාවය නවත්වන්නේ නම් හොඳ යැයි (අස්ථිරව / අනියමාර්ථයෙන්) හැඟවීම
  3. අනාගතයේදී ඒකාන්තයෙන් සම්බන්ධතාවය නවත්වන්නේ යැයි කීම හෝ හැඟවීම- (අනාගතයේ සිදුකරන්නට බලාපොරොත්තුවන ලෙසින්)
  4. අනාගතයේදී ඒකාන්තයෙන් සම්බන්ධතාවය නවත්වන්නේ නම් මෙසේ මෙසේ වනු ඇතැයි කීම හෝ හැඟවීම
  5. අනාගතයේදී සම්බන්ධතාවය නැවැත්වීමට මට අදහසක් ඇතැයි කීම හෝ හැඟවීම (අනාගතයේ සිදුකරන්නට බලාපොරොත්තුවන ලෙසින්)
  6. මට මව, පියා, සහෝදර සහෝදරියන්, නෑයන් පිළිබඳව කල්පනා වේ කියා කීම හෝ හැඟවීම (ඔවුන් සිහිවීම නිසා සම්බන්ධතාවය නවත්වන්නට සිදුවේ යැයි හැඟවීම)
  7. මගේ මව, පියා යනාදීන් පෝෂණය කිරීම මගේ වගකීමකි කීම හෝ හැඟවීම (ඔවුන් පිළිබඳ වගකීම් නිසා සම්බන්ධතාවය නවත්වන්නට සිදුවේ යැයි කීම හෝ හැඟවීම)
  8. මගේ මව, පියා යනාදීන් ගෙන් මම තවම පෝෂණය වෙමි (එනිසා මෙම සම්බන්ධතාවය අනාගතයේ නවත්වන්නට සිදුවනු ඇතැයි) කීම හෝ හැඟවීම
  9. සම්බන්ධතාවයේ මේ මේ අංග මා හට අපහසුතාවයක් දනවයි, අනිසා මේ සම්බන්ධතාවය දිගටම පවත්වා ගැනීමට අපහසු වනු ඇතැයි කීම හෝ හැඟවීම
  10. උමතු වූවෙකු හට, දුකට පත්වූ වෙකු හට, වේදනාවෙන් පෙලෙන පුද්ගලයෙකු හට, දේවතාවෙකු හෝ තිරිසනෙකු හට පවසා, කුමක් ගැන පවසන්නේ දැයි නොදන්නා පුද්ගලයෙකු සමීපයෙහි හෝ නුවණ නැති පුද්ගලයෙකු හමුවේ පවසා, මේ ගැන ඇසීමට අකමැති පුද්ගලයෙකු හමුවේ බලෙන්   පැවසීමෙන් කෙරෙන සන්නිවේදනය
  11. දුකට පත් වූ අවස්ථාවක හෝ වේගයෙන් කථා කරමින් හෝ පැකිළුණු බසින්  කරන සන්නිවේදනය
  12. අසවලාට සන්නිවේදනය කරමියි සිතා සන්නිවේදනය කරන නමුත් ඔහු හෝ ඇයට එය නොතේරෙන අවස්ථා (වහෙන් ඔරෝ බාසාවෙන් කීම)

සම්බන්ධතාවය නවත්වන බවට නිසි සන්නිවේදනයක් සිදු වී යැයි සැලකෙන අවස්ථා

  1. සම්බන්ධතාවය අද සිටම නවත්වමි කියා පැවසීම හා හැඟවීම
  2. මට මේ සම්බන්ධතාවයෙන් අද සිටම පලක් නැතැයි කීම හා හැඟවීම
  3. මට මේ සම්බන්ධතාවයේ ඇති වර් තමාන ඵලය කුමක්දැයි කීම හා හැඟවීම
  4. මේ සම්බන්ධතාවයෙන් අදම මම මිදුනෙමි කීම හා හැඟවීම

මේ දේවල් වලින් පේන්නේ මොකක්ද? කිසිම සැකයකින් තොරව තමන් මෙම සම්බන්ධතාවය නවත්වන බව බොහොම නිවි සැනසිල්ලේ සිතා මතා, අනෙකාට පැහැදිලිව සන්නිවේදනය කල යුතු බව. ඒ තීරණය ගත්තේ තමන් විසින්ම සිතා මතා මිස අනුන්ගේ බලපෑමකින් නොවන බව අනෙකාට තේරුම් කර දීම සුදුසු බවයි.

මේ වගේ පැහැදිලි සන්නිවේදනයක් කෙරුනොත් තීරණාත්මක සිද්ධියකින් පස්සේ නැවත නැවතත් පස්සෙන් යෑම හෝ ගත් තීරණය වෙනස් කිරීමට බලපෑම් කිරීම හෝ සිද්ධ වෙන්ඩ ඉඩක් නැත්තේ අනෙකාට සිද්ධිය හොඳින් තේරෙන හින්දා.

ඟක් වෙලාවට අපි මේ වගේ වෙලාවක හැඟීම් බර වෙලා, අනෙකුන් පිට වැරැද්ද පටවමින්, කෙලින් නොකියා කටයුතු කිරීමෙන් වෙන්ඩ පුලුවන්නේ මහා ව්‍යාකූලතාවක් අනෙකා තුල ඇති වීම විතරයි නේද? එහෙම ව්‍යාකූල වෙලා ඉන්න වෙලාවක ගන්න පුලුවන් තීරණත් අන්දොස් තීරණ කියලා ආයෙත් කියන්ඩත් දෙයක්ද?

ප්‍රේම සම්බන්ධතා නෙවෙයි අපේ අනිත් වැඩ වලටත් මේ පාඩම් පාවිච්චි කරන්ඩ පුලුවන් වෙයි කියලා මට හිතෙනවා. ට්‍රයි එකක් දීලා බලමුද හරියට සන්නිවේදනය කරන්ඩ අපි හිතන දේ?

ඔන්න ලඟදිම කතිර යුද්ධයක් එනවා. බලන්ඩ හරියට හිතේ තියෙන හැඟීම සන්නිවේදනය කරන්ඩ පුළුවන්ද කියලා!!

43 comments:

  1. සාදු සාදු සාදු. ආහ් නෑ වැරදුනා එල එල එල. සොරි ඈ.

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි ස්තූතියි ඈ.....ආයෙත් එන්ඩ ඕනැ ඕං මේ පැත්තෙ...

      Delete
  2. මන් හිතන්නේ ආදරේ කරන්න වැරදි විදිහක් තියෙන්න බෑ. වැරැද්ද ආදරය කරන්නේ නැති එක. නැත්තං ආදරේ කියලා හිතාගෙන වෙන මොනවත් කරන එක.

    ReplyDelete
    Replies
    1. ආදරේ කියන්නෙ මහ අමුතු හැඟීමක්. දෙමව්පියෝ දරුවො වෙනුවෙන් අවුරුදු ගානක් නෙවෙයි ජීවිත කාලෙම කැප කරන්නෙ ආදරේ හිංදනේ. ඉතිං ඔය තරං සංකීර්ණ අදහසක් හැමෝටම එක විදිහට තේරෙන්නෙ නෑ කියන එක පුදුමයක් නෙවෙයි.

      Delete
  3. මේ සිද්ධියේ තරුණයා මානසික රෝගයකට ප්‍රතිකාර ගන්නාබව කියවෙනවා. ඒ ගැනත් හිතන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. මානසික රෝගයක් තියෙනවා නම්, ඒ කාන්තාව ඒ ගැන දැනගෙන හිටියද? හැබැයි අනිත් පැත්තට සම්බන්ධතාවෙන් ඉවත් වෙන්ඩ එයාට අයිතියක් නැද්ද?

      Delete
    2. සම්පූර්ණ අයිතියක් තියෙනවා. ඒත් මානසික රෝගියෙකුට ඒක තේරුම් ගන්න බැරිවීමේ සම්භාවිතාව වැඩියි.

      Delete
    3. ඇත්තටම විනය පිටකයෙ විදිහට කිසිම විනය නීතියක් උම්මත්තක පුද්ගලයෙකුට අදාල වෙන්නෙ නෑ.

      Delete
    4. මගේ දැනුමට අලුත් දෙයක්. ස්තූතියි.

      Delete
  4. බොහොම කාලෙකට පස්සේ ඔබෙන් ලිපියක් දැකීම සතුටක් .

    ReplyDelete
    Replies
    1. ඔබ වැන්නවුන්ගේ දිරි ගැන්වීම් ලියන්ඩ මහෝපකාරී වෙනවා!! ස්තූතියි ඔබේ කමෙන්ටුවට!!

      Delete
  5. සත්තයි සතුටුයි හුඟක්ම සතුටුයි
    ලියලා තියෙනව දැක්කම සතුටුයි
    කාලෝචිත දේ නොලිය මක්කටෙයි
    මම නං කියන්නෙ තවත් ලියන්නයි!

    ReplyDelete
    Replies
    1. නිදි දැක්කාම මගෙ නිදිමත පහවෙනවා
      ළඟදිම දිනෙක නැවතත් මං මෙහි එනවා

      Delete
  6. Bohoma asawen kiyawapu post ekak!
    E ekkama bana tikakuth ahaganna puluwan una.

    ReplyDelete
  7. “There comes a time in your life when you have to choose to turn the page, write another book or simply close it.”
    ― Shannon L. Alder

    ReplyDelete
    Replies
    1. Books serve to show a man that those original thoughts of his aren't very new after all.

      Delete
  8. ඔබගේ නිහඩ වෘතය නිසා කියවීමට යමක් නොමැත

    ReplyDelete
    Replies
    1. නිහඬ බවට සවන් දෙන්න. බොහෝ දේ ඔබට ඇසේවි...

      Delete
  9. /මේ වගේ පැහැදිලි සන්නිවේදනයක් කෙරුනොත් තීරණාත්මක සිද්ධියකින් පස්සේ නැවත නැවතත් පස්සෙන් යෑම හෝ ගත් තීරණය වෙනස් කිරීමට බලපෑම් කිරීම හෝ සිද්ධ වෙන්ඩ ඉඩක් නැත්තේ අනෙකාට සිද්ධිය හොඳින් තේරෙන හින්දා.// මම කියවපු විධිහට නම් ගැහැණු ළමයා ඉතා පැහැදිලිව කියල තියනවා තව දුරටත් මේ සම්බන්ධය ගෙනියන්න බැහැ. අපි නවත්වල යාලුවෝ වගේ ඉමු කියපු . ගැහැණු ළමයා පරිනතයි මෙතන. පිරිමියා මමා බෝයි කෙනෙක්. නික ඔය කියන හැම දේම කරනන්ත් බැහැ පොතේ හැටියට. පිරිමින් තමන්ට හැම දේම අයිතියි, ගැහැනුන්ට නැහැ , බැහැ කියන්න අයිතියක් නැහැ කියන ටේට් න්‍යායය තියනකන් ඒක අදහන උන් ඉන්නකන් ඔය වගේ මිනී මැරුම් ඉදිරියටත් වෙයි.

    ReplyDelete
    Replies
    1. එකඟයි. මං කියන්ඩ උත්සාහ කලේ මේ සියල්ලම කරන්ඩ කියන එක නෙවෙයි. අඩුම ගානෙ එකක්වත් කරන්ඩ - ඉතා පැහැදිලිව තමන්ගේ අදහස අනෙකාට සන්නිවේදනය කරන්ඩ- කියන එකයි. ස්ත්‍රීන්ට තමන් කැමති තීරණයක් ගන්ඩ පුලුවන් වගේම අයිතියකුත් තියෙනවා. ඒ මොකක් උනත් කිසිම මිනිසෙකුට තවත් මිනිසෙකුගේ ජීවිතය උදුරා ගැනීමේ අයිතියක් නෑ. මෙතෙන්දි කාන්තා-පිරිමි සම්බන්ධතාවයක් ගැන කියවුනත් සමරිසි සම්බන්ධකම් බිඳීයෑම මතත් මිනීමැරුම් වෙනවා. එයින් පෙනෙන්නේ මේ ගැටුමේ විශ්වීය ස්වභාවය නේද? අහිමි වීමේ දුක දරාගන්නට පරිණත බවක් නැතිවීමේ අවාසනාවන්ත බව නේද?

      Delete
    2. //ඉතා පැහැදිලිව තමන්ගේ අදහස අනෙකාට සන්නිවේදනය කරන්ඩ// ඒ වගේම ඒ අදහස සන්නිවේදනය කරන විදිහත් වැදගත්.
      මේ නැතිවෙන හැම එකක්ම ජීවිත. මනුස්ස සම්බඳතා හරිම සංකීර්ණයි.

      Delete
    3. දැන් මේ කතාවෙත් කෙල්ල කියන්න තියෙන රෙද්ද සන්නිවේදනය කරලනේ තියෙන්නේ බං. මූටත් අනුකම්පා කරන්න ඕනෙද
      https://www.gossiplankanews.com/2023/01/kegalle-paragammana-incident.html

      Delete
    4. ලංකාවේ විෂාදයට දෙන සමහර බෙහෙත් එංගලන්තයේ තහනම් කරපුව (සියදිවි නසා ගැනීමේ සම්භාවිතාව වැඩි ඒවා) ලංකාවේ ඒවා තවම දෙනවා. මම හිතන්නේ ගුණදාස කපුගේ ගේ ගීත හෙම තහනම් කරන්න ඕනේ. //තරු මල් යායම පොඩි කර අහස් විලේ
      ඉර හඳ මිරිකා දියකර සාගරයේ
      අඳ්රේ උන්නෙමි ලොවම එපාවී
      මා හැරදා ඈ ගිය දවසේ
      දුක පැවසුවෙමි අසනා කෙනෙකු නැති
      පාළු නාඑසුවෙමි තනියට කෙනෙක් නැති
      තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි
      එකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි
      නුවර උයන් මැද හමුවු ළඳුන් නැතී
      යටැසින් බැලු නෙත් පෙරදා බැලුම් නැතී
      තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි
      එකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි

      Delete
    5. කෙටියෙන් කියනවනම් ලංකාවේ පිරිමින්ගේ ඔළුවට දෙන්න ඕනේ එක කෙල්ලෙක් මත්තේ නැහෙන්න ඕනේ නැහැ කියල. මම දැකපු දෙයක් තමයි ගැහැණු කැමැතියි අනික් කෙල්ලන්ගේ/ගැහැනුන් ගේ ආකර්ෂණය තියෙන පිරිමින්ට. හැබැයි ගැහැණුන්ට ඒ පිරිමියාව තමන්ට විතරක් කර ගන්නත් ඕනේ. (සමහර වෙලාවට) ගැනීටම clinging වෙලා ඉන්න පිරිමින්ට හුඟක් ගැහැණු කැමති නැහැ කියන එකයි මගේ අදහස. ඒකගල්ගුහා වල ඉන්න කාලේ ඉඳලම ආපු දෙයක්. හැබැයි දැකපු තවත් දෙයක් තමා යුරෝපීය ගැහැණු පිරිමියා ඉඳල හිටලා හරි එලියට ගිහින් යාලුවෝ එක්ක ට්‍රිපක් යන එක , පබ් ගිහින් ඩ්‍රින්ක් එකක දාන එකට හෙම කැමතියි. වෙන ගෑණු තමන්ගේ පිරිමියාට ආකර්ශනයක් නැත්නම් උන්ට ඒක අවුල්. ලංකාවේ ඕක ටිකක් වෙනස්. ගෑනි කැමති නැහැ බැන්දට පස්සේ මිනිහ යාලුවෝ එක්ක එලියට යනවට . (හැබැයි ලංකාවේ ගානට බොන්න පිරිමි දන්නේ නැහැ, ඒකත් ප්‍රශ්නයක්) යාළුවෙලා ඉන්න කෙල්ලොත් තමන්ගේ කොල්ල වෙන කෙල්ලෙක් එක්ක කතා කරනවට හිනා වෙනවට කැමති නැහැ. හැබැයි ලිබරලයිස් වෙන එකත් පිළිතුරක් නෙමේ. මොකද අර මෛත්‍රිපාල සිරිසේන නිදහස් කරපු කොල්ල. (ස්වීඩන් කෙල්ල මරපු) ඌ හිටියේ එහෙම ලිබරයිස් රිච් ක්‍රවුඩ් එකක් එක්ක. ළමයි හදන පිළිවෙලේ අවුලක් කියල හිතෙන්නේ නැත්ද? (අධ්‍යාපනයේ වරදත් එක්කම)

      Delete
    6. කවුද කිව්වෙ මිනීමරුවන්ට සමාව දෙන්ඩ කියල. මං කියන්නෙ ජීවිතයක් නැති වෙන්ඩ තියන ඉඩ අඩු කරන්ඩ කරන්ඩ පුලුවන් හැම දෙයක්ම කරන්ඩ කියලා.

      Delete
    7. කට්ටේ මේක ඔයාට කීව එකක් නෙමේ. ලිපිය කියවල මම කල්පනා කරන විධිහ තමා ඔය ලියල තියෙන්නේ. හැබැයි අර ඇසිඩ් කතාවට නම් මළ පැනල හිටියේ. මෙහෙ ඉන්න බංගලා දේශ එවුනුත් ඕක කරනවා. හැබැයි ඔය කියපු දේවල පරයෝගිකව කරන්නේ කොහොම්ඩ් අකියල නම් මම දන්නේ නැහැ,. මොඅක්ඩ් ආවස්ථ දෙකේදීම කෙල්ලෝ දෙන්න කියල තියනවනේ පැහැදිලිව . ඕක ළමයි හදන විධිහේ ප්‍රශ්නයක්. ඕක තමයි මට ආපු උත්තරේ.

      Delete
    8. කියල කට ගත්ත විතරයි කන කාල - https://www.gossiplankanews.com/2023/01/wedding-fight-ear.html

      Delete
    9. අජිත් මහත්තයා කියන දේ එක්ක මං එකඟයි. අපිට ආන්තික මනෝභාවයන් හසුරුවා ගැනීමේ දක්ෂතාව හරි අඩුයි. අධික දුකකදි අපි සිහි නැති වෙනකල් අඬනවා. බොනවා. පපුවට ගහ ගන්නවා. අධික සතුට සමහරවිට කෙලවර වෙන්නෙ තරහ කාරයෙක්ගෙ ගෙට ගිනි තියලා. සතුටට බීලා බෙල්ලෙ වැලදා ගත්තු කෙනෙක් මං දන්නවා.

      Delete
    10. . සතුටට බීලා බෙල්ලෙ වැලදා ගත්තු කෙනෙක් මං දන්නවා.
      -සිරියස්ලි

      Delete
    11. සීරියස්ලි සීරියස්ලි. හොඳ වෙලාවට ගෙදර මිනිස්සු දැක්කා. ඒ හිංදා බේරගන්ඩ පුලුවන් උනා. තව කෙනෙක් බෙල්ලෙ වැල දාගත්තා එයා බීලා සිංදු කියද්දි ගෙදර නෝනා නටන්ඩ ආවෙ නෑ කියල. හොඳ වෙලාවට එයත් බේරුනා.

      Delete
  10. //හැබැයි යම් භික්ෂුවක් ශික්ෂාව ප්‍රතික්ෂේප කරලා, තමන්ගේ දුබල බවත් ප්‍රකාශ කරලා මෙවුන්දම සේවනය කරනවා නං එහෙම කට්ටිය ආපහු ආවොත් උපසම්පදා කරන්ඩ කියලා.//

    වැරදි කරලා ආපහු ආවොත් භාර ගන්න වෙනව නෙහ් එහෙනම්

    ReplyDelete
    Replies
    1. විනය පිටකයේ නීති රීතිවල තියෙන දියුණු ලක්ෂණයක් තමයි වරද හදාගන්ඩ ඉඩ දෙන එක. සම්පූර්ණයෙන් නෙරපා හරින්නේ ඉතාම සුළු අවස්ථා ගනනකදී විතරයි. හැකිනම් විනය පිටකය හොයාගෙන කියවන්ඩ. නියම බුදු සසුන තේරුම් ගන්ඩ ඒක උපකාරී වෙයි.

      Delete
  11. කට්ටේ මේක ඔයාට කීව එකක් නෙමේ. ලිපිය කියවල මම කල්පනා කරන විධිහ තමා ඔය ලියල තියෙන්නේ. හැබැයි අර ඇසිඩ් කතාවට නම් මළ පැනල හිටියේ. මෙහෙ ඉන්න බංගලා දේශ එවුනුත් ඕක කරනවා. ඇසිඩ් ගහන එක. හැබැයි ඔය කියපු දේවල ප්‍රයෝගිකව කරන්නේ කොහොමද කියල නම් මම දන්නේ නැහැ,. මොකද අවස්ථා දෙකේදීම කෙල්ලෝ දෙන්න කියල තියනවනේ පැහැදිලිව . ඕක ළමයි හදන විධිහේ ප්‍රශ්නයක්. ඕක තමයි මට ආපු උත්තරේ.
    අරක හරියට ලියවිල නැති නිසා ආයි හලකුරු වලින් ටයිප් කළා. එංගලන්තේ ඉන්න ශ්‍රී ලන්කන් දෙමල, සිංහල, බංග්ලාදේශ, පකිස්තාන් රටවල් කොල්ලොත් ඔය විධිහටම හැසිරෙන නිසා තමා මට හිතෙන්නේ ළමයි හදන විධිහේ ප්‍රශ්නයක් තියනවා කියල.

    ReplyDelete
    Replies
    1. එකඟයි කතාවට...ළමයින්ට නිදහස්ව හිතන්ඩ ඉඩ දෙන ප්‍රමාණය අඩු වෙන්ඩ අඩු වෙන්ඩ කුඩා ශරීරවල ජීවත්වෙන පරම්පරා ගානක තරහ මරහ, කුඩු කේඩු කම් දරුවන් දරුණු කරනවා කියලයි මට හිතන්නෙ.

      Delete
  12. ලොකු හයියක්, ආපහු ලියන එක...!

    ReplyDelete
    Replies
    1. දෑත ශක්තිමත් කරන්ඩ එන්ඩ ඕනැ ඕං එහෙනං ඈ!!

      Delete