චාල්ස් ඩිකන්ස් කියන එංගලන්ත ලේඛකයා- අපේ අප්පච්චිට අනුව නං ඒ.ජේ.ක්‍රොනින්
තමයි හොඳම ඉංග්‍රීසි නවකථා කාරයා ඊට පස්සෙ ඉන්නෙ මේ කියන ඩිකන්ස් උන්දැ- ලියල
තියෙනවා පොතක්. නම A Tale of Two Cities. ඕක සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා
දෙනුවර අන්දරය කියලත්. ඒ කොහොම උනත් මං මේ කියන්ඩ හදන්නෙ ඒ පොතේ මුල්ම පරිච්ඡේදය
ගැන.
It was the
best of times, it was the worst of times, it was the age of wisdom, it was the
age of foolishness, it was the epoch of belief, it was the epoch of
incredulity, it was the season of Light, it was the season of Darkness, it was
the spring of hope, it was the winter of despair, we had everything before us,
we had nothing before us, we were all going direct to Heaven, we were all going
direct the other way—in short, the period was so far like the present period,
that some of its noisiest authorities insisted on its being received, for good
or for evil, in the superlative degree of comparison only.
ඒකෙ සිංහල පරිවර්තනයක් ගත්තොත් මට තේරෙන විදිහට මෙන්න මෙහෙමයි.
"එය වනාහී හොඳම කාළය විය. එමෙන්ම එය ඉතාම නරක කාළයද විය. එය බුද්ධි මහිමයේ
යුගය විය. එමෙන්ම එය මුග්ධබවේ යුගයද විය. ඒ යුගය විශ්වාසයේ පරප්‍රාප්තිය මෙන්ම
සැකයේ, අවිශ්වාසයේ සහ අතීරණයේ යුගයද විය. සියල්ල අප ඉදිරියේ තිබුණි. එහෙත් අප
ඉදිරියේ කිසිවක් තිබුනේ නැත. අප සියල්ලන්ම කෙළින්ම දිව්‍ය ලෝකයට යන මාවතකට වැටී
සිටියෙමු. එහෙත් එහි ප්‍රතිවිරුද්ධ දෙසට අප යන බවක්ද දිස්විය.කෙටියන්ම කිවහොත් ඒ
යුගය වත්මන් යුගය මෙන්ම විය. සමහර ඉතා ඝෝෂාකාරීව සිය මත ඉදිරිපත් කරන අධිකාරයන්
සපථ කල පරිදිම එය අන්තයන්ගේ යුගය විය. එක්කෝ ඉතා හොඳය. එක්කෝ ඉතා නරකය. සුදු හෝ
කළු මිස අලු කිසිවක් නොවීය".
කට්ටකාඩුවට අන්තිමට පැලයක් හිටෙව්වෙ අවුරුදු එක හමාරකට විතර ඉස්සර. ජීවිතේ වගේම
විවිධ හැල හැප්පිලි තිබ්බත් හීං සීරුවේ වැවේ සොරොව්වෙන් වතුර ගලාගෙන ගිහිල්ලා
කුඹුරු සරුවට පැහෙන කල් කාටවත් වැවේ ආරක්ෂාවට තියෙන කට්ටකාඩුව මතක් වෙන්නෙ නෑ. මහ
වැස්ස ඇවිල්ලා, සොරොව්වට දරා ගන්ඩ බැරි වතුරක් වැවට එක්කහු වෙනකොට තමයි කාට කාටත්
වැව් බැම්මේ, කට්ටකාඩුවේ අගය තේරෙන්නේ. ඉතිං අපි ජීවත් වෙන්නෙත් අන්න එහෙම නා කපන
වැහි වැටිච්ච අබුද්දස්ස කාලෙක වෙච්චි, මටත් ආයෙත් කට්ටකාඩුවට පැලයක් දෙකක් එක්කහු
කරන්ඩ හිතුනා.
ඇත්තටම ලොකු මලයා අත්දැකපු ලොකුම විනාසේ තමයි මේ පහුගියදා ඇති වෙච්ච ගංවතුරයි
නායයෑමයි. සුනාමියෙන් වෙච්ච අනතුර- ජීවිත හාණි විදිහට විශාල උනාට ආර්ථික, සමාජයීය
විදිහට මේතරම් විශාල නෑ කියලයි මට හිතෙන්නෙ. මේ ගංවතුරයි නායයෑමුයි, ජාතියක්
විදිහට ශ්‍රී ලාංකිකයන්ගෙ මතකයේ රැඳිලා පවතියි පරම්පරා ගණනක් යනතුරුම. ඉතිං ඒ තමයි
මේ යුගයේ කලු බව- මුග්ධ බවේ, සැකයේ, අවිශ්වාසයේ, අතීරණයේ, අපායගාමීබවේ, හිස් බවේ
සංකේතය! . කෝ එතකොට සුදු?
සුදු එහෙම පෙනෙන්නෙ නෑ. මැණික් වගේ අපි අමාරුවෙන් මතු කර ගන්ඩ ඕන. හැබැයි
ඒක එච්චර අමාරුත් නෑ. මං කියන්නංකො කතා දෙකක්. ඕං අහගන්ඩ.
පළවෙනි සිද්ධිය උනේ ජපානෙදි. 2005 ජනවාරි මාසෙ ඒ කියන්නෙ අපේ රටට සුනාමි
ඇවිල්ලා සති කීපෙකින් ජපානෙ හියෝගෝ පළාතේ තිබ්බා ආපදා කළමණාකරණය ගැන ලෝක සමුලුවක්.
ඔය සමුළුවට මේ ලොකු මලයත් සහභාගි උනා. සහභාගි උනා විතරක් නෙවෙයි ජපන් රජයත් එක්ක
වැඩසටහන් කීපෙකටත් සහභාගි උනා. තව දෙයක් කියන්ඩ අමතක උනා. ඒ තමයි ඔය සමුළුව හරියටම
2005 දි ජපානෙදි පවත්වන්ඩ හේතු උනේ ජපානෙ කරපු ඉල්ලීමක්. ඒ තමයි 1995 දී ජපානයට
මහා විනාශයක් ගෙනාපු කෝබේ භූමි කම්පාවෙන් අවුරුදු දහයක් ගතවෙන තැන, තමන් ඒ
භූමිකම්පාවෙ අලු මතින් ආපහු නැගිට්ටා කියන එක ලෝකෙට පෙන්නන්ඩ, ආපදා කලමණාකරණයේ
වැදගත්කම ලෝකෙට ආයෙත් මතක් කරලා දෙන්ඩ, ඉස්සරහ අවුරුදු දහයට ඒ කියන්නෙ 2005-2015
කාලෙට ලෝකෙ ආපදා කලමණාකරණය ගැන මාර්ගෝපදේශ සපයන්ඩ පුලුවන් විදිහේ සමුළුවක් ජපානෙ
විනාශ වෙච්ච නගරෙදිම පවත්වන්ඩ තමයි ඒ ඉල්ලීම උනේ. ඒක හරියට ගමේ චන්ඩියෙක් තමන්ට
අභියෝග කරපු බලවතෙක්ගෙ ගෙදර මිදුලටම ගිහිං චැලෙන්ජ් කරනවා වගේ වැඩක්. පුලුවන් නං
වරෙන් ෆේස් ටු ෆේස්!! හැංගිලා ගහන්ඩ ඔට්ටු නෑ!!
ඉතිං ඔය ජපානෙ තිබ්බ ආපදා සමුළුවට ඇවිල්ලා හිටියා කෝබෙ භූමිකම්පාව වෙලාවෙ
වැඩකරපු සහන කණ්ඩායම්වල ස්වේච්ඡා සේවකයෝ. ඒ අය අතරෙ හිටපු එක වයසක මහත්තයෙක් මම
ලංකාවෙන් කියල කියපුවම බොහොම උවමනාවෙන් මාත් එක්ක කතාවට වැටුනා. ඒ මහත්තයාට ඉංග්‍රීසි
බෑ. මට ජපන් බෑ. ඉතින් අපි කොහොම අදහස් හුවමාරු කරගත්තාද කියල මට හිතා ගන්ඩ බෑ.
කොහොම උනත් කතාව මෙහෙමයි.
ඔය කෝබෙ භූමිකම්පාවෙදි ජීවිත නැතිවෙච්ච දහස් ගණනක් මිනිස්සු අතරෙ එක පොඩි
ගෑණු ළමයෙකුත් හිටියා. ඒ දරුවාගෙ මළසිරුරත් සුන්බුන් අතරෙ වැළලිලා ගිහිං තිබුනෙ.
ටික දවසකින් අර දරුවා හිටපු ගෙදර ළඟ හරි අපූරුවට සූරියකාන්ත මල් පඳුරක් පැලවෙලා.
ඒකෙන් මල් පීදුනා. මහා විනාශයකට පස්සේ මානසිකව වැටිලා, හතේ හත වැදිලා හිටපු
ජනතාවකට මේ සූරිය කාන්ත මල් හරි අපූරු ආත්ම ශක්තියක් ගෙනාවා. සූරිය කාන්ත මල්
සුන්බුන් අතරින් හරි අපූරුවට එලියට ඇවිත් හුළගේ ලෙළ දුන්නා. ඒ අසල්වැසියන්ට මේ මල්
අලුත් බලාපොරොත්තුවක් ගෙනාවා. මෙච්චර විනාසෙකට පස්සෙත් හරි ඉක්මනට සූරිය කාන්ත මල්
පිපිලා ලෝකෙ ලස්සන කරන්ඩ පුලුවන් නම් ඇයි මිනිස්සු වෙච්ච අපිට බැරි එකට එකතු වෙලා
වැඩ කරලා ආපහු වඩා හොඳ ලෝකයක් ගොඩ නගන්ඩ? හැමෝම සූරියකාන්ත මල් වලින් අමුතු පණක්
ලබපු මිනිස්සු වගේ ශක්තිමත්ව වැඩ කරන්ඩ පටන් ගත්තා.
ඒ එක්කම හරි අමුතු දෙයක් උනා. කොහොමද මේ එක තැනක විතරක් සූරියකාන්ත මල්
පඳුරක් පැළ උනේ? ඒ ගැන හොයාගෙන යනකොට තමයි තේරුනේ අර භූමිකම්පාව වෙලාවෙ අතුරුදහන්
වෙච්ච ගෑණු ළමයාගෙ සාක්කුවේ තිබුණු සූරියකාන්ත ඇටවගේකින් තමයි මේ මල් පඳුර හැදිලා
තියෙන්නේ කියල! ඒ දරුවාගෙ ජීවිතේ භූමිකම්පාවෙන් උදුරා ගත්තත් ඒ දරුවාගාව තිබුණු
ජීව ගුණය උදුරා ගන්ඩ තරම් සොබා දහම අකාරුණික උනේ නෑ.
ඉතිං මේ වැඩේ දැක්ක අර මට කතා කරපු ජපන් මහත්තයා ඇතුලු පිරිසක් එක්කහු වෙලා
ඒ වෙනකොටත් ඉවත් කරල නොතිබ්බ භූමිකම්පාවෙන් විනාශ වෙච්ච ගොඩනැගිලි වගේ දේවල්වල
සුන්බුන් අතරට සූරියකාන්ත ඇට ඉහින්ඩ පටන් ගත්තා. එහෙම ඉහපු හැම ඇටයක්ම පැල උනේ නෑ.
ඒත් හුගක් තැන්වල හුගක් ඇට පැල උනා. ඒ තැන් වලත් කහ පාටට ලස්සනට සූරිය කාන්ත මල්
පිපිලා මිනිස්සුන්ට ජීවය දුන්නා. ඉතින් ඒ ජපන් මහත්තයා මගෙන් ඉල්ලුවේ සුනාමියෙන්
බැට කාලා හිටපු ලංකාවටත් නැවත ගොඩ නැගෙන්ඩ ධෛර්යය ගන්ඩ මේ වගේ සොබා දහමේ පොඩි පොඩි
ඉඟි බිගි පාවිච්චි කරන්ඩ කියල. හරියට හොඳටම මහන්සි වෙලා ඉන්න වෙලාවක දාඩිය නිවන්ඩ
හමා එන පොඩි හුළං රැල්ලකින් අපි සැනසෙනවා වගේ.
ඔය කිව්වෙ සොබාදහමෙන් අපිට නිකං ලැබෙන උත්තේජන ගැන. ඊගාවට මං කියන්නං අපිට
කනා චාන්ස් හම්බ වෙන අවස්ථා ගැන කතාවක්.
අපේ අම්මගේ පොඩි මාමා හිටපු දිස්ත්‍රික් ආදයම් පාළක නිළධාරියෙක්. දැන් කාලෙ
විදිහට නං ප්‍රාදේශීය ලේකම් කෙනෙක්. අපේ අම්මා එයාට චූටි මාමා කියල කතා කරන හිංදා
අපේ අප්පච්චිත් ඒ හින්දම හරි නෑදෑකම අනුව නම් චූටි අත්තා වෙන්ඩ ඕන උනාට අපිත් එයාට
කතා කලේ චූටි මාමා කියල. ඔය චූටි මාමා පස්සෙන් පහු කාලෙක ගංජා පාවිච්චියට හුරු උනා.
මම පස්සෙ දවසක ලියන්නම් චූටි මාමා ගැන තියෙන රස කතා කීපයක්.
ඒ කාලේ චූටි මාමා අපේ ගෙදර ආපුවම නිදාගන්ඩ දෙන්නේ මගේ කාමරේ තිබ්බ ඇඳ. ඒකට
හේතු උනේ මම වැඩි කාළයක් ගෙදරින් පිට වාසය කිරීම වෙන්ඩ ඇති. කොහොම උනත් මං ගෙදර
හිටපු කාළෙත් චූටි මාමා අපේ ගෙදර ආවොත් මං සාලෙට විසිවෙනවා. චූටි මාමාට මගේ කාමරේ තාවකාලිකව අයිති
වෙනවා.
ඉතිං දවසක් චූටි මාමා අපේ ගෙදර ඇවිල්ලා ඉඳලා ආපහු එයාගේ ගෙදර යන්ඩ ගියා. ඔය
චූටි මාමා වැඩිය නාන්නෙ එහෙම නැති චරිතයක්. ඉතිං මගේ කාමරේ නැවත මුදාගැනීමේ
මෙහෙයුමේ පළවෙනි වැඩේ තමයි ඇඳේ රෙද්ද එහෙම අහක් කරලා, පුලුවන් නං මෙට්ටෙත් අවුවට
දාලා ගන්න එක. මගේ පරණ වාසනාවකටද කොහෙද එදා හොඳට ඉර පායලා තිබ්බ දවසක්. ඒ හිංදා මං
මෙට්ටෙත් අවුවට දැම්මා. ඇඳෙන් මෙට්ටෙ අහක් කරනවත් එක්කම පත්තර කොළ කෑල්ලක ඔතපු
ගුලියක් වගේ දෙයක් බිමට වැටිච්ච හිංදා මං අහුල ගෙන බැලුවා. බැලින්නං තණමල්විල මල්!
තරුණ කාලේ හිංදා ඔය ගුලිය මං ගාවම රහසෙන් තියාගන්ඩත් හිතලා අප්පච්චිගෙන් ළකුණු
ටිකක් දාගන්ඩත් එක්ක මං ගිහිං මල් පොට්ටනිය දුන්නා අප්පච්චිට.
වෙනදා චූටි මාමා ගෙදර ගියාම ආය අපේ ගෙදර එන්නේ මාස කීපෙකට පස්සේ. අඩුම ගානෙ
සති කීපෙකට පස්සේ. ඒත් එදා චූටි මාමා පැය දෙක තුනකින් ආපහු ආවා. ආපු ගමන් ගියා මගේ
කාමරේට. බැලින්නං මෙට්ටෙ අව්වට දාලා. මල් මිටිය තිබ්බ තැනත් නෑ. බිම වැටිලත් නෑ.
කාමරේ වෙන තැනකත් හොයා ගන්ඩ නෑ. ඔන්න එතන ඉඳං තමයි චූටි මාමාට ගණදෙවි නුවණ පහළ
වෙන්නේ.
චූටි මාමා අපේ අප්පච්චි ගාවට ගිහින් කියනවා මෙන්න මෙහෙම.
විජේට (චූටි මාමා අපේ අප්පච්චිට කතා කරේ එහෙම) පොඩි කාරණයක් කියන්ඩයි මං මේ
හදිස්සියෙම ආවෙ!
මොකක්ද චූටි මාමෙ?
දැන් මේ ලොක්කා (චූටි මාමා මට කියන්නේ ලොක්කා කියල) ඉන්නෙ හොඳ නොහොඳ
අඳුනන්නෙ නැති තරුණ වයසේ. අපි ටිකක් එයා ගැන මීට වඩා උනන්දුවෙන් හොයා බැලුවොත්
හොඳයි.
චූටි මාමා මොකක් ගැනද කියන්නේ?
නෑ. මට එයාගෙ කාමරේ තිබිලා හම්බ උනා ගංජා මිටියක්. ඊයෙ තමයි හම්බ උනේ. අද
මං ඒක විජේට දෙන්ඩ බලන කොට නැති වෙලා!!
අපේ එකා ගංජා ගහනව කියල්ද චූටි මාමා කියන්නේ?
එහෙම වෙන්ඩත් පුලුවන් ඉතිං. අද කාලෙ ඉන්න කොල්ලො අපි වගේ නෙවෙයිනේ විජේ.
වැඩිහිටියෝ විදිහට අපි ළමයි ගැන හොයල බලන්ඩ ඕන මීට වඩා.
වැඩේ කියන්නෙ චූටි මාමේ අපිට සාක්කි මොකුත් නෑනෙ! මට නං මොනවත් හම්බ උනේ
නෑ. චූටි මාමට හම්බ උනා කිව්වට ලොක්ක ඇහුවොත් ඒක එයා ගෙනාපු එකක්ම කියල කියන්නෙ
කොහොමද කියල මං මොකද්ද කියන්නෙ?
අපේ අප්පච්චි කියපු දේ තේරුම් ගත්තු චූටි මාමා පහු බැහැලා ගියා. ඊට පස්සේ
කවදාවත් එයාගෙ ගංජා මිටි මගේ කාමරේ තිබිලා හම්බ උනේ නෑ. අර ගංජා මිටිය අපේ
අප්පච්චි නැති වෙලා අපි එයාගෙ අඩුම කුඩුම අස් පස් කරන කොටත් එයාගෙ මේස ලාච්චුවේ
තිබ්බා. තමන්ගේ ලොකු පුතාගෙ අවංකකම ගැන ඒක සළකුණක් විදිහට ඒක තියාගෙන ඉන්ඩ ඇති!
බැරිවෙලාවත් මං එදා මෙට්ටෙ අව්වට දැම්මෙ නැත්තං, බිම වැටුන ගංජා මිටිය මං
දැක්කෙ නැත්තං, එහෙමත් නැත්තං ඒක මං අප්පච්චිට දුන්නෙ නැත්තං මේ කතාව කොයි විදිහට
වෙනස් වෙන්ඩ තිබ්බද? එහෙම උනානං අප්පච්චි මං ගැන වැරදි සැකයක් ඇති කර ගනියිද
නැද්ද? මෙව්ව එකකටවත් මං ගාව උත්තර නෑ. හැබැයි ඒ උත්තර නැති උනාට හිතේ දුකක් නෑ. ඒ
එදා සිද්ධිය මගේ වාසියට හැරිච්ච හිංදා.
මේ දිත්වා කුණාටුවත් එහෙමයි. මේකෙන් ගොඩ එන්ඩ පුලුවන් පාරවල් කීපයක් ඇති.
ඒත් වැදගත් වෙන්නේ එයින් එක පාරක් තෝරාගෙන ඒ පාරෙ දිගටම යන එක. ඒකට සොබාදහමත් අපිට
උදව් කරාවි. හරියට අර කෝබෙ භූමිකම්පාවෙන් පස්සේ ජපන් ජාතිකයන්ට ධෛර්යය ගෙනාපු
සූරියකාන්ත මල් වගේ. හැබැයි වඩා වැදගත් වෙන්නෙ චූටි මාමාගෙ ගංජා කේස් එකේදි වගේ
අපි අපිටම අවංක වීම.
ඊයෙ මම දැක්කා අලව්වේ කැඩිච්ච කෝච්චි පාලම ආපහු හදලා ඒක උඩින් පළවෙනි
කෝච්චිය යනකොට අප්පුඩි ගහන මිනිස්සු. ඒත් එක්කම මං දැක්කා පොඩි වීඩියෝ එකක් ආපහු
තමන්ගේ ගෙදරට ගිහිං පොඩි කුස්සියක් හදාගෙන රොටියක් පුච්ච ගන්න හුගක් වෙලාවට
තාත්තයි පුතයි කියලා හිතන්ඩ පුලුවන් දෙන්නෙක්. තම්න්ට උදව් කරපු ඔක්කොටම ස්තූති
කරන ගමන් හිනා වෙලා ඒ දෙන්නා කියනවා. අපිට කෑම හමබ වෙනවා. ඒත් අපේ රහට මොනව හරි
හදා ගන්ඩ ඕන. අපි මීට වඩා දුක් විඳලා තියෙනවා. ඉතිං මේ පාරත් අපි ගොඩට එනවා කියල!
අන්න මිනිස්සු! සුදෝ සුදු මිනිස්සු! ආභස්සර ලෝකෙ දෙවිවරු වගේ මිනිස්සු!!
ඔන්න ඔහොම අපේ ඇතුලෙම තියෙන සුදු ගති උඩට ගත්තොත් දිත්වා අපිට ආශීර්වාදයක්
කරගන්ඩ පුලුවන්. අර ධනිය ගෝපාල කිව්ව වගේ.
දොවා ගත් කිරි ඇත.
ගෙපැලද නොතෙමේ.
වේලුණු දරද ඇත.
මේඝය කැමති නම් වසින්න!!
(අපිට පාං ද?)

No comments:
Post a Comment