Monday, March 29, 2021

ඇස් වහ කට වහ

 

මේ ලගදි ෆේස් බුක් එකේ හරි අපූරු සංවාදයක් ගියා. ඒකෙ මාතෘකාව ඇස්වහ කටවහ කියන එව්ව ඇත්තද කියන එක. ඔය කතා කියවන කොට මං හිත හිතා හිටියෙ කාළි මෑණියෝ ගැන. කාළි මෑණියන් කියන්නෙ අසරණයන්ට පිහිට වෙන බව කියන හිංදු දේවතාවියක්. බෞද්ධ සාහිත්‍යයෙත් කාළි යකින්න කියල කෙනෙක් ගැන කතා වෙනව තමයි. හැබැයි මෙතෙන්ට අදාල වෙන්නෙ අර හිංදු දේවතාවිය. මේ දවස් වල ලංකාවෙ කෙනෙක් නං කාළි ගැන අහල තියෙන්ඩම ඕන. ඒ අපේ ධම්මික වෙද මහත්තයගෙ කොවිඩ් පැණියත් එක්ක.


ඇත්තටම ධම්මික මහත්තයා කලේ බොරුවක්ද? නැත්තං දැනුම ජනනය කරන්ඩ අපි හිතන විදි වලට වඩා වෙනස් විදි තියෙනවද? අපි හිතන්නේ පරීක්ෂණයක් කරල, නිරීක්ෂණ දිහා බලල, නිගමන වලට එන්ඩ ඕන කියලනේ. ඒ අපිට උගන්නපු විදිහ. ඊට වඩා විකල්ප විධි තියෙන්ඩ බැරිද? උදාහරණයක් විදිහට යමෙකුට හිතල හිතල අලුත් දැනුමක් උත්පාදනය කරන්ඩ බැරිද? එහෙම බැහැයි කියනවානම් බුදු හාමුදුරුවෝ බුද්ධත්වය ලැබුවේ කොහොමද? ඊලගට මෙහෙම උනොත් මෙහෙම වෙනවා, අරහෙම උනොත් එහෙම වෙනවා කියල තර් කයෙන් දැනුම ගොඩ නගන්ඩ බැරිද? ඊටත් වඩා එහාට ගිහිං අධි මානුශික බලවේග වලින් දැනුම ලබා ගැනීම කල හැකි දෙයක්ද නැත්ද? එහෙම බැරිනම් ක්‍රිස්තියානි, ඉස්ලාම් වගේ ආගම්වල ආරම්භය ගැන තියෙන ප්‍රවාද අපි ප්‍රතික්ශේප කල යුතුද? ඔන්න ඔය වගේ බරසාර ප්‍රශ්න ගැන තමයි ලොකු මල්ලි කල්පනා කර කර ඉන්නෙ. ඇත්තටම මේ කාලෙ තියෙන
  සීතලත් එක්ක මගේ යාලුවෙක් මොණරාගලින් එනකොට ගෙනත් දීපු අර කොල ටික දුමක් විදිහට උරපුවම ඔය වගේ දේවල් හිතෙන එක පුදුමයකුත් නෙවෙයි එක අතකට.

සාමාන්‍ය විද්‍යාවට අහුවෙන්නෙ නැති එහෙම නැත්තං මිනිස්සු අතරෙ බොහොම ප්‍රසිද්ධ උනාට නලින් ද සිල්වා මහත්තයා කියන විදිහට බටහිර විද්‍යාවෙන් ඔප්පු කරලා පෙන්නන්ඩ බැරි දෙයක් තව දෙයක් තමයි ඇස් වහ කට වහ කියන්නෙ. කෙනෙක්ගෙ බැල්ම නැත්තං කියමනක් තව කෙනෙකුට හොදක් හෝ නරකක් ඇති වෙන්ඩ හේතු වෙනවද? අපේ ගමේ කට්ටියනං මේ වගේ වෙලවට කියන්නෙ...ආයෙ මොනවද අහලා...බඩේ බඩ්ඩිංග වගේ තමයි ඕං කියල. අපේ ගමේ උනා කියන- සමහර දේවල් මාත් මගේ ඇස් දෙකින්ම දැකලා තියෙන- සිද්දි අනුව එහෙම විශ්වාස නොකරත් බෑ. අද මම කට්ටකාඩුවට ල්‍යන්ඩ හිතුවේ අපේ ගමේ ඇස්වහ කටවහ කාරයෝ ගැන.

සාමාන්‍යයෙන් අපේ ගමේ තියෙන පිළිගැනීම පැගිරි කුලයේ ගස් වලට ගෙඩි වලට ඇස් වහ කැපෙනවා කියල. ඒකනෙව දෙහිගෙඩි දෙකතුනක් වෙදමහත්ත්‍යට කියල මතුරවල කප්පවන්නෙ ඇස් වහ, කට වහ යන්ඩ කියල. පුහුල්ගෙඩියක් ගෙදරක් ඉස්සරහ එල්ලන්නෙත් ඒ ගෙදර සාර සුභාව දකින මිනිස්සුන්ගෙන් එල්ල වෙන්ඩ පුලුවන් ඇස්වහ වලින් ගෙදර ආරස්සා කරන්ඩ පුලුවං හැකියාවක් පුහුල් ගෙඩ්ඩට තියෙනවා කියල හිතන හිංදා.

අපේ ගමේ ඉන්න තුම්පනේ ගෙදර බිසෝමැනිකේ නැන්දා කටවහ ගැන ප්‍රසිද්ධ කෙනෙක්. උන්දැගෙන් යමක් හොදයි කියල කිය උනොත් ඒකට කූරියා වදිනවා කියල නොදන්න කෙනෙක් නෑ. ගොල්ලෙ හෙනෙ ගෙදර එක කාලෙක සාර සුභාවට පුහුල් වැලක් හැදිලා තිබ්බා.මේ වැලේ කොච්චර පුහුල් ගෙඩි සාර සුභාවට හැදිල තිබ්බද කියනවා නං ගොල්ලෙ හේන් ගෙදර අත්තා පුහුල් වැල යන්ඩ හොද හයිය හත්තිය තියෙන මැස්සකුත් හදල තිබ්බා. එක දවසක් අත්තට කල්පනාවක් ආවා මේ වැලේ ගෙඩි එන්ඩ එන්ඩම බර වෙනවා ඒ හිංදා මැස්සේ හයිය වැඩි වෙන්ඩ තව ලී කෝටු ටිකක් හිටවන්ඩ ඕන කියල. ඔන්න අත්තා කෝටු ටික හිටව හිටව ඉන්න කොට තුම්පනේ ගෙදර නැන්දා එතනින් නාන්ඩ යනවලු ලිදට...

ආ අයියෙ..පුහුල් වැලට මැස්සක් ගහනවද?

ඔව් නංගියා මං මේ පුහුල් වැලට ගහපු මැස්ස හයිය මදි වෙයි කියල තව කෝටු ටිකක් ගහනවා...

අනේ අයියගෙ අත් ගුණේ හිංද වෙන්ඩ ඕන මේ පුහුල් වැල අපූරුවට පල දරල තියෙන්නෙ!

බිසෝ නැන්දගෙ කටේ තියෙන හයිය ගැන අත්තට ඩිග් ගාල මතක් උනා. මේ වගේ වෙලාවක කරන්ඩ ඕන පුලුවං තරං ඉක්මනට තුම්පාරක් කෙල ගහන එක තු: තු: තු: කියල. ඒත් ඉතිං නැන්ද ඉන්න තැනම කෙල ගහන්ඩ පුලුවනෑ මූණ බලාගෙන. ඉතිං කටවහේ සැර අඩුවෙන්ඩ කියල හිතාගෙන අත්තා මෙහෙම කිව්වා.

අනේ බිසෝ මගේ වැල දිහා බලා ගෙන ඉන්නෙ උඹත් පුහුල් වැලක් හදා ගනිංකො. මාත් මේ ගෙඩි පැහුනම උඹට ගෙඩියක් දෙන්නංකො ඈ කියල.

අනේ හොදයි අයියෙ. මාත් කාලෙකින් පුහුල් මාලුවක් (අපේ පැත්තෙ කොයි වියන්ජනෙත් මාලුවක්. ගගේ මූදෙ පීනන මාලු අල්ලලා උයන්නෙ අළුත් මාළු. ඔය සිංහල අකුරු දෙකේ වෙනසේ රහස නොදන්න එක එකා අපිට විහිලු කරනවා උඹලැ පැත්තෙ බෝංචිත් මාලුවක් කියල)කෑවෙ නැති එකේ අයියගෙ වැලෙන්වත් පුහුලක් දෙන්ඩකෝ.

එහෙම කියල බිසෝ නැන්ද නාන්ඩ ලිඳ ලගට ගියා. නැන්ද ටිකක් දුරට යනකල් ඉදල ගොල්ලෙ හේනෙ අත්තා තුන් පාටක් කෙල ගැහුවා අර මං ඉස්සෙල්ල කියපු විදිහට. පුහුල් මැස්සේ හයිය තව ටික වැඩි වෙන්ඩ තව අඩිපුර කෝටු කීපයක් හිටවපු මාමා ගෙදර ගියා විතරයි දඩාස් ගාල සද්දයක් ඇහුනා.

අත්තට තේරුනා මොකද්ද වෙන්ඩ ඇත්තෙ කියල. උන්දැගෙ රතු කට්ට පන්නා. ගත්තා කැත්ත අතට. අරගෙන අඩියට දෙකට දිව්වා පුහුල් වැල ගාවට. අත්තා හිතුව හරි. පුහුල් මැස්ස බිම! ගෙඩි ටික සී සී කඩ!! දබෝරියං ගාලා මැස්ස කඩා වැටෙන සද්දේ තමයි අත්තා ගෙට ගොඩ වෙනකොටම ඇහිලා තිබුනේ!!! අත්තා අතේ තිබ්බ කැත්තෙන් පුහුල් ගෙඩි ටික කෑලි කෑලි වලට කපලා දැම්මා.

මාමා දුවගෙන ගියා ළිඳ ගාවට. බිසෝ නැන්දා තාම නානවා.

දහ පදුරා වේ%^යේ මේං මේකටත් පුලුවන් නං මොකක් හරි කියලා බිමදමාපිය! කියල අත්තා සරම උස්සලා පෙන්නුවලු!!

මේ සිද්දිය වෙලා දැං මගෙ හිතේ අවුරුදු හතලිහකට වැඩියි. ගොල්ලෙ හේනෙ අත්තා නැතිවෙලත් දැං අවුරුදු තිහක් තිස් පහක් විතර ඇති. ඒත් තාම අපේ ගමේ ප්‍රස්ථාව පිරුළක් විදිහට “පුලුවන් නං මේං මේකටත් මොකක් හරි කරලා බිම දමාපිය” කියල කියන සිරිතක් තියෙනවා කවුරු හරි කෙනෙක් තව කෙනෙකුට අලාභයක් කරපුවම. නමුත් ගොල්ලෙහේනෙ අත්තා අන්තරා වෙනකල්ම උන්දැගෙ මොනවත් බිම වැටුනා කියලනං අපි අහලා නෑ!

තුම්පනේ ගෙදර පරම්පරාවේ මොකෙක් හරි නොසන්ඩාල වැඩක් කරපුවම තාම මිනිස්සු මතක් කරන්නෙ ‘ඔවුන්නෙ ඉතිං පුහුල් වැලටත් කටවහ වද්දවපු මිනිස්සු!!’ කියලයි!!

දෙවෙනි කතාවට සම්බන්ධ වෙන්නෙ මයිනා. මයිනා කිව්වට ඇත්ත නම ඒක නෙවෙයි. දැං ලොකු තානාන්තරක් දරන උගෙ ඇත්ත නම කිව්වොත් ඕක මං ඉස්සරහට ඇවිල්ලා ‘ඇනේ... ලොකු මල්ලි අපූරුවට ලියල තියෙනව නේද....?... ? කියල ඇදල පැදල කියන්ඩ ඉඩ තියෙනවා. එහෙම කිව්වොත් හෙම ආයෙ දෙකක් නෑ මගෙ අත් දෙක කොරවෙයි එහෙම නැත්තං ඉතිං වල කජ්ජං ගහන්ඩ උනත් ඉඩ තියෙනවා. ඇස්වහ කටවහ වලට එච්චර බලයක් තියෙනවා කියල අපේ ගමේ මිනිස්සු ඇස් දෙක පල්ලා කියල දිවුරලා කියයි!

අපි පොඩි කාලෙ ක්‍රිකට් ගහපු තැන ළග ගෙදරක ජම්බෝල ගහක් තිබ්බා. ගහ නං තාම තියෙනවා මං මේ ලගදිත් දැක්කා. ඉතිං ඔය කියන කාලෙ එක අවුරුද්දක මේ ගහේ සාර සුභාවට ජම්බෝල ගෙඩි හැදිලා තිබ්බා. එක දවසක් අපි ක්‍රිකට් ගගහා ඉන්න කොට බෝලෙ ගියා ඔය ජම්බෝල ගහ තියෙන හරියට. මයිනා තමයි බෝලෙ ඇහිදින්ඩ ගියේ...ඌ දැක්කා ජම්බෝල ගහ!

යකෝ මේ ගහේ කොළ වලට වඩා තියෙන්නෙ ගෙඩිනේ! ගහට පිස්සු හැදිලද මංදා!!

අපෝ උඹේ කට!! මේ ගහතව දවසක් දෙකක්වත් තියෙයිද මංදා? අපි එහෙම කිව්වෙ මයිනාට කටවහ තියෙන බව අපි විහිලුවට කියපු හිංදා.

අපේ අනාවැකිය ඇත්ත වෙයි කියල අපි ජීවිතේටවත් හිතුවෙ නෑ. පහුවදාට පහුවදා ජර බරාස් ගාලා අර ජම්බෝල ගහේ වැඩියෙම්ම ගෙඩි තිබ්බ අත්ත කඩාගෙන වැටුනා!! එදත් එදා හරි පිංවතුනි අද වෙනකල් ඒ ගහේ අර කඩා වැටිච්ච අත්ත තිබ්බ පැත්තේ කිසිම අත්තක් ලොකුවට හැදුනේ නෑ. පොඩි රිකිලි හැදෙනවා හැබැයි එව්ව මසෙයක් දෙකක් යනකොට මැලැවිලා, මැරිලා යනවා!! මොන බේත ගහලද එහෙම වික්කරමයක් පාන්ට පුලුවං?!!!

තුංවැනි කතාවත් මම මේ ඇස් දෙකින් දැක්ක කතාවක්. මගෙ පොඩි එකී පොඩි දවස් වල බෝලෙ වගේ ලස්සනට හිටියා. අප්පච්චිගෙ පිං පාට, ලිච්චවී රජවරුන්ගේ වගේ වෙච්ච අප්පච්චිගේ චවි කල්‍යාණය, අප්පච්චිගේ වගේ කාළ වර් ණ අක් බඹරු හිස කෙස් මේයාදී හැම හොද ගුණයක්ම අප්පච්චිගෙනුත් දඩබ්බරකම, වාචාල කම, කිව්ව නාහන ගතිය වගේ හැම නරක ගති ගුණයක්ම අම්මාගෙනුත් උරුම කරගත්තු ඒකි දැකුම්කළුයි ඒ කාලේ!!

අපේ ගමේ කටවහ ගැන තව ප්‍රසිද්ධ නැන්දම්මෙක් තමයි හීංගුණේ නැන්දම්මා. උන්දැගෙ කට හින්දම වෙන්ඩ ඇති අපේ ගැඑ එවුං කියපු කයි කතන්දර වලට මූණ දීලා ජීවත් උනේ. අසූ ගණං අග භීෂණ කාලෙ තමුන්නෙ ස්වාමි පුරුෂයා කැළෑ ආණ්ඩුව අතින් මැරුම් කාපුවම එකම දුවත් එක්ක අපේ ගමට සේන්දු වෙලා පැල් කොටයක් අටවගෙන පදිංචි වෙච්ච උන්දැ යමක් කෙනෙකුට ඇදල පැදල කිව්වොත් ආයෙ කිරි ගහට මෝල් ගහෙන් ඇන්න වගේ ටක්කෙටම ඒ කෙනාට ඇබැද්දියක් වෙනවයි කියල අපේ ගමේ හොද විශ්වාසයක් තිබ්බා.

ඉතින් ඔන්න ඔය කියන දවසෙත් අපේ පොඩි එකා ගෙදර මිදුලෙ සෙල්ලං කර කර ඉන්න කොට නැන්දම්මා ආවා අපේ ගෙදරට.

අනේ දුව කොහොමද ඉතිං!

මේ සද්දෙට අපේ ගෙදර එක්කෙනා එතෙන්ට ගියා. මාත් එළියෙ වෙන කතා බහ ගැන හොද අවදානෙන් හිටියේ.

මං මේ...කිව්වෙ දුව දැං නං මේ පොඩි දුව හොද සනීපෙට ඉන්නවා කියල. අනේ හොදයි...පාටත් වැටිලා!!

අපේ ගෙදර එක්කෙනා කතාව වෙන පැත්තකට හරවන්ඩ උත්සාහ කරමින් ආ..නැන්දම්මා කඩේ යනවද කියල ඇහුවා...

ඔව් දුව...මම එනකොට පොඩි දූට ටොපියක් ගේන්නංකො ඈ...කියල හීංගුණේ නැන්දම්මා යන්ඩ ආපු ගමන ගියා!! උන්දැ ආපහු එනකොට ටොපියක් ගෙනාවද නැද්ද කියන්ඩ මට මතකයක් නෑ. හැබැයි මට හොදටම මතකයි එදා රෑ හත අට වෙනකොට පොඩි එකීට හොදටම උණ ගත්තා කියන එක. රෑ දෙගොඩහරි ජාමේ වෙනකොට පැයෙන් පැයට වගේ වමනේ යන්ඩත් පටං ගත්තා. අන්තිමට රෑ දෙකට තුනට විතර අපි ටවුමට ගිහිං පොඩි එකීට බේත් අරං දුන්නා. දවස් හතර පහක් යනකල්ම පොඩි එකීට කන්ඩ පිරියක් නෑ. ඒ හිංද වැහැරිලා ගියා බලා ඉන්දැද්දිම වගේ.

අපි ඊට පස්සෙ හරි පරිස්සං උනා හීංගුණේ නැන්දම්මගෙන් ළමයව බේර ගන්ඩ. එච්චර පරිස්සමක් ආයෙ උනේ ගිය අවුරුද්දෙ කොරෝනා වලින් බේරගන්ඩ විතරයි ඕං!!!

මේ සිද්දි අහම්බයෙන් වෙච්ච එව්වද? නැත්තං ඇත්තටම ඇස්වහ කටවහ වගේ සංසිද්ධි මේ ලෝකෙ තියෙනවද? අඩුම ගානෙ ලංකාව, ඉන්දියාව වගේ රටවල් වල මේ ගැන යම් විශ්වාසයක් තියෙනවා කියල මං අත් දැකල තියෙනවා. එතකොට අනික් රටවල් වල ඇස්වහ කටවහ තියෙන මිනිස්සු නැද්ද?ෙකම පිරිසක් වටා මේ ඇස්වහ කටවහ සම්බන්ධ කතන්දර ගොඩ නැගෙන්නේ කොහොමද? කට ඇරියොත් එහෙම නැත්තං නරක හිතිං හිතාගෙන බැලුවොත් අනිත් කෙනෙකුට අකරහනියක් කරන්ඩ පුලුවං විදිහේ බලවේග මේ කට්ටියට තියෙනවනං අපිට ඒ අයව එක්කහු කරල රටට සමාජයට වැඩක් ඇති දෙයක් කරව ගන්ඩ බැරිද?

උදාහරනයක් විදිහට ලංකාවෙ මහා භාණ්ඩාගාරෙ දිහා බලල කෝ ඉතිං මේකෙ මොනවත් නෑනෙ..මෙහෙම තිබ්බම හරි ලස්සනයි වගේ දෙයක් කියෙව්වොත් එදා ඉදං භාණ්ඩාගාරෙට සල්ලි ඇවිල්ලා භාණ්ඩාගාරෙ පිරිලා ඉතිරිල අර කට්ටිය කියපු ලස්සන නැතිවෙලා යාවිද?

එහෙම නැත්තං අපේ හතුරු රටකට ගිහිං කිව්වොත් අනේ කොච්චර ලස්සනට මේ රටේ මිනිස්සු ජීවත් වෙනවද? කියල ඒ මිනිස්සුන්ට නිරන්තර ලෙඩ දුක්, අමනුස්ස, මරණ යනාදී එකී නොකී මෙකී හැම අතුරු ආන්තරාවක්ම ඇවිල්ලා ඒ රට නස්කූනිම වෙලා යයිද?

එහෙම නැත්තං ඇස්වහ කටවහ පාවිච්චි කරන්ඩ පුලුවං හොදට තියෙන දෙයක් නරක් කරන්ඩ විතරමද? ‘නුවර කළාවියේ ජනවහර’ පොත ලියපු කේ.බී.මානෑව මහත්තයා ඒ ප්‍රදේශයේ ඇවිදිලි පැවිදිලි ගැන ලියන කොට මෙන්න මෙහෙම ලියනවා...”ගමේ ඇත්තියකට රූපී කීමත් විරූපී කීමත් නාකලු. හේතුව රූපී කියන විට ඇස්වහ වැදෙන අතර විරූපී කීවොත් කුකුළ් කේන්තිය ඇතිවන නිසයි”. ඒ කියන්නෙ කැත කෙනෙකුට ඇස්වහ කටවහ තියෙන කෙනෙක් ලවා ලස්සනයි කියෙව්වට වැඩක් නෑ කියන එකද?

එහෙම නැත්තං ඇස්වහ කටවහ කියන්නෙ පාලනයකින් තොර යම් බලවේගයක්ද? ධම්මික වෙද මහත්තයා පත්තරේකට සාකච්චාවක් දීලා නාහෙන් අඬල තිබ්බ ගිය සතියේ ධම්මික පැණියට වෙච්ච දේ ගැන කම්පාවෙන්. ඒ කියන්නෙ කාළි මෑණියන්ටත් ටක්කෙටම කියල යමක් කරන්ඩ කියන්ඩ බැරිද?  එතුමිය කියන කරන උදව් පදව් කරන එතුමිය ආරූඩ වෙලා ඉන්නවයි කියන ධම්මික මහත්තයාවගේ කට්ටියටත් එතුමිය ලණු දෙනවද?

ඇස්වහ කටවහ කියන්නෙ බොරු හැබැයි මනුස්සයන්ට දෝස කරන වගේම දෝස සමනය කරන්ඩ පුලුවන් දෙවි දේවතාවෝ නං අනිවා ඉන්නවා කියල කෙනෙක් කිව්වොත් මං හිතන්නෙ ඒ කියන කෙනාගෙ දෙපිටකාට්ටුකම කියල.

ඔබතුමන්ලා මොකද හිතන්නෙ ඇස්වහ කටවහ ගැන?

27 comments:

  1. මම නම් ඉන්නේ විශ්වාස කරන්න ද අවිශ්වාස කරන්නද කියල ෂුවර් නැතුව.. වෙච්ච සමහර දේවල් ගැන හිතල බැලුවහම ඕවා බොරු කියන්නත් බැහැ... අනිත් අතට හැමදේම අහඹු දේවල් වෙන්නත් පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ඔව්.
      ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සු ඕවා විස්වාසකරන්න තියන ඉක්මන.

      ලංකාවෙ කොහොමත් දේශපාලකයෙක්, පත්තරයක්, ටීවී චැනල් එකක්, කට්ටඩියෙක්, පූජකයෙක්, සාත්තරකාරයෙක් හෝ ඕනෑම කෙනක් අද්බූත දෙයක් කිව්වාම ඒවා බොරුයි කියලා ඔප්පු කරනකම්ම විස්වාස කරනවා (සමහරු ඊට පස්සෙත් ) ඇත්තෙයි කියලා ඔප්පු වුනාම විස්වාස කරමු කියලා ඉන්න අය අඩුයි. ලංකාව විස්වාසකරන්නන්ගේ රටක්, විශ්ලේෂකයින්ගේ රටක් නෙමෙයි.

      මං කියන්නේ ඕවා හැමදේම බොරුයි කියලා නෙමෙයි. ඇත්තෙයි කියලා හරියටම කියන්න බෑ කියලයි.

      මං හිතන්නේ මනුෂ්‍ය ස්වාභාවය යමක් අහඹුව වුනා කියන නීරස දේට වඩා ඒකට අද්බූත හේතුවක් ඇතැයි කියන සෙන්සේශනල් දේ රසවිඳීමට කැමති වීම.

      පුද්ගලිකව මං නම් යමක් වීමේ සම්භාවිතාව අඩු ගණනේ 50%වත් තියනවනම් තමයි ඒක ගැන සීරියස්ලි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්නම් ලොතරැය්යක් ගන්නවා වගේ කණා ගහනවා (කිසිම විස්වාසයක් නැතිව)

      Delete
    2. මටත් තියෙන ප්‍රශ්නේ ඕකමයි. උදාහරණයක් විදිහට මම ලියපු කතා තුන ගන්ඩකෝ. ඔය මිනිස්සු ජීවිතේ ඕන තරම් කතා කරල ඇති. එහෙම කතා කරපුවගෙන් කාටවත් කිසිම කරදරයක් නොවිච්ච අවස්ථා ඕන තරම් ඇති. හැබැයි අපි අවුරුදු තිහ හතලිහක් තිස්සේ මතක තියාගෙන ඉදලා කියන්නේ වෙච්ච අද්භූත සිද්ධියක්.
      ප්‍රා ජේ කියන විශ්වාසවන්තයින්ගේ රටක් කියන එකට මං පොඩි ඌණ පූරණයක් එක්කහු කරන්ඩ කැමතියි. අපි විශ්ලේෂණය කරන්ඩ දන්නෙ නෑ. එක්කො කම්මැලියි. ඉතිං වඩා ලේසි පහසු දේ තමයි අන්ධව විශ්වාස කරන එක. ඒකයි අපි එළියෙන් අඳුරට යන ජාතියක් වෙලා තියෙන්නේ!!
      දැං යන ඇෆ්ලටොක්සින් කතාව, පණු කරද ගහේ කතාව වගේ හුගක් දේවල් අන්ධ විශ්වාසය මත පදනම් වෙච්ච කතා!!

      Delete
    3. දැන් ඔය නිතර ඇහෙන laws of attraction, manifestation වගේ සංකල්ප ඇත්ත නම් එකේම ප්‍රතිවිරුද්ධ දෙයක් වගේ වෙච්ච මේවත් ඇත්ත වෙන්න පුළුවන්.

      Delete
  2. https://en.wikipedia.org/wiki/Evil_eye

    ReplyDelete
  3. අපි මොනවා හෝ දෙයක්/පුද්ගලයෙක් ගැන හොඳක් හෝ සාර්ථකත්වයක්, ජයග්‍රහණයක් ගැන කියන කොට "ඇස්වහක් වදින්න එපා" කියලා කියනවානේ. ඊට සමාන කියමන් ලෝකයේ බොහෝ රටවල තියනවා.
    Touch Wood, (touch a plank of wood කියලාත් කියනවා) I feel great කියලා කියන එකෙන් අදහස් වෙන්නේ, ඇස්වහක් කටවහක් වදින්න එපා, මට දැන් සනීපයි කියන එක.
    මේකම Knocking on wood ලෙසත් භාවිතා වෙනවා. Knocking on wood කියන එක ගූගල් කරපුවාම මේ ගැන ලොකු විස්තරයක් තියනවා.

    මීට අවුරුදු 35 කට විතර ඉස්සර, මගේ පරණ ජීප්පුවටත් ඇස්වහක් වැදුනා. ඒක හැපිලා, විනාස වෙලා පතෝල මැස්සක් වගේ වෙලා තියෙද්දී, මගේ යාලුවෙකුගේ ගෙදරට ගෙනාවා. (මේක දවල් කාලයේ අපේ ගේ ඉදිරිපිටින් ගෙනියන්න බැරි නිසා කළුවර වැටෙන කම් ඒ ගෙදරට වෙලා හිටියා)
    ඒ යාළුවාගේ බොහොම වියපත් තාත්තාත් මේ අනතුර, විනාසය ගැන දුක් උනා. මාස කිහිපයකට පසු මේක සම්පුර්ණයෙන්ම රෙපෙයාර් කරලා, අලුත් පේන්ට් එකකුත් ගහලා, හදිසි උවමනාවකට අර යාලුවාගේ ගෙදරට ගියා.
    යාලුවාගේ තාත්තා, "හා, මේ අර හැපුන වාහනේ නේද? මට අඳුනාගන්නත් බැරි උනා නේ! ෂෝක් එකට හදලා තියෙන්නේ!" කියලා කිව්වා.
    පණිවිඩේ කියලා ඒ ගෙදරින් පාරට ගන්න කොටම එක්ස්හෝස්ට් මැනුෆෝල්ට් එකේ ඇණ ටික ගැලවිලා, සයිලන්සරේ පාර මැදට වැටුනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෑම් පෙරේරා මහත්තයට. මේ වගේ දේවල් අතීතයේ ඉදන් හැම සමාජයකම වගේ පැවතිලා තියෙනවා. සමාජය අද්භූත බලවේග වලින් පිරිලා පැවතෙනවා කියල හිතාගෙන ඉන්න තරමට එහෙම අත්දැකීම් වැඩියි කියලයි මට හිතෙන්නේ!!

      Delete
  4. මමත් ඕවා විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඒත් ඉස්සර ...පොඩිකාලේ සංගීත තරග වලට ගිහින් ආවම අනිවාර්යයෙන් ඇඟේ කොහේ හරි ලොකු සැරව ගෙඩියක් එනවා....අම්මා කියන්නේ ඇස්වහ කියලා....ඉතින් දුම් කබලට මිරිස්, ගම්මිරිස්, අබ, තව පයට පෑගිච්ච වැලි අරන් දුම් අල්ලනවා.....වැඩේ කියන්නේ හැම පාරම ඕක වෙන එකනේ....

    ReplyDelete
    Replies
    1. අපි විශ්වාස නොකරන දේවල් හුගක් මේ ලෝකෙ තියෙනවා. හැබැයි අපි විශ්වාස නොකරන හින්දම ඒ දේවල් බොරුද? ඒකෙ අනික් පැත්ත ඒ කියන්නෙ අපි විශ්වාස කරන හැම දෙයක්ම ඇත්තද? උදාහරණයක් විදිහට බෞද්ධයෙක් විදිහට මම පුනර් භවය විශ්වාස කරනවා. නමුත් හිංදු භක්තිකයෙක් පුනරුත්පත්තිය විශ්වාස කරනවා වෙන්ඩ පුලුවන්. ඉස්ලාම් හරි ක්‍රිස්තු භක්තිකයෙක් හරි පුනර් භවයවත් පුනරුත්පත්තියවත් විශ්වාස නොකරට පුනරුජ්ජීවනය විශ්වාස කරනවා. තව කෙනෙක් මරණින් මතු පැවැත්මක් නැත කියල විශ්වාස කරනවා වෙන්ඩ පුලුවන්. මේ දේවල් වලින් කොයිකද හරි? නැත්නම් ඔක්කොම හරි හෝ වැරදිද?
      ඇස්වහ කටවහ වගේ දේවලුත් විශ්වාස කරන්නන් අතර ඇත්තක් වෙන විශ්වාස නොකරන්නන් අතර බොරුවක් වෙන දෙයක්ද?

      Delete
  5. යමක් වැරදුනාම බාහිර කෙනෙකුට හෝ දෙයකට වැරද්ද පැටවීම සාමාන්‍ය මිනිස් ස්වභාවය. නමුත් හරිගියොත් අපිම ක්‍රෙඩිට් එක ගන්නවා. අවුරුදු කීපයකට කලින් මම යම් ශල්‍යයකර්මයක් සඳහා දවක් දෙක තුනක් ඉස්පිරිතාලෙ හිටියා. දවල් කෑම අරගෙන එන කාන්තාව මම ඉන්න කාමරේට ඇතුල් වෙන්නෙ මගේ කොන්ඩය දිහා බලාගෙන'beautiful hair, beautiful hair' කියාගෙන. ගෙදර ඇවිල්ල සතියක් විතර යනකම් මගේ කොන්ඩෙ ටිකක් වැඩිපුර ගැලවුනා. නමුත් මම කිසිසේත්ම ඒක අර කාන්තාවගෙ 'වහක්' කියලා හිතුවෙ නැහැ. පලවෙනි හේතුව ඇය එහෙම කිව්වෙ අගය කිරීමකට මිසක් කිසිසේත්ම අනේ මට ඔහොම කොන්ඩයක් නැහැ කියන පසුතැවිල්ලෙන්වත් ඉරිසියාවෙන්වත් නෙවෙයි. ඒක සාමාන්‍ය post-surgery hair loss එකක්. දැන් ඔය පුහුල් වැල සීන් එකෙදී අර කාන්තාව ඇවිල්ල කතාකිරිමෙන් සහ එයා කියපු දේට ඒ වෙලාවෙම කෙල ගහන්න බැරි වෙච්ච ආවේගය නිසා අර පිරිමි කෙනා distract වෙලා මැස්ස වැරදියට හයි කලා වෙන්න බැරිද. එතකොට ඔය කාන්තාව අනවසර ගොඩනැගිල්ලක් එහෙම තියෙන තැනකට එක්ක ගිහිල්ලා නිකන්ම ඉතුරු කරගතහැකිනෙ ඒව ඩෝසර් කරන්න යන වියදම.

    මම නම් හිතන දෙයක් තමයි (කියවලා තියෙන දේ) අනුව අපි හැමෝම, අපි කරන කියන හැම දෙයම යම් ශක්තියක් (energy) කියලා. අපිට එක කරුනාවන්ත බැල්මකින්, වචනයකින්, හිනාවකින් තව කෙනෙක්ගෙ හැසිරීමේ වෙනසක්, එහෙම නැත්නම් කීප දෙනෙක් ඉන්න තැන vibe එක සම්පූර්නයෙන්ම වෙනස් කරන්න පුලුවන් නම් ඒකෙ අනිත් පැත්තත් ඒ විදිහටම වෙන්න පුලුවන්නෙ.

    ReplyDelete
    Replies
    1. යමක් වැරදුනාම අනුන්ට වරද්ද පටවන එක මමත් කරන වෙලාවල් තියෙනවා. හුගක් වෙලාවට ඒ මගේ බිරිදට නැත්නම් දරුවන්ට. මොහොතකින් මට හිතෙනවා මම මොනතරම් දුර්වලයෙක්ද කියල ඒ අහිංසකයන්ට වැරැද්ද පටවන්ඩ. මම ඔවුන් මත වැරැද්ද පටවන්නෙ ඔවුන් මට විරුද්ධව සටන් නොකරනු ඇතැයි මගේ හිතේ විශ්වාසයක් තියෙන හිංදා. බැරිවෙලාවත් ඔවුන් මට වඩා බලවත් අය උනා නම් මම නගුට අකුලගෙන පහු බැහැලා යාවි. මේක තමයි දුර්වලයන්ගේ ස්වභාවය!!
      බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා චිත්ත වීදි වල තියෙන බලය ගැන. ඔබ කියන්නේ හොද හෝ නරක සිතුවිලි වලින් ශක්තිය සම්ප්‍රේශනය වෙන්න පුලුවන් කියලද?

      Delete
    2. KLM: ඔව් මට කියන්න ඕනෙ වුනේ යමක් වැරදුනාම තව කෙනෙක්ගෙ ඇස් වහ කට වහ ඉරිසියාව නිසා කියන්නෙ නැතුව, යමක් හරි ගියාම එහෙම වෙන්න තව කෙනෙක්ගෙ යහපත් සිතුවිලිත් මට ආශිර්වාදයක්, ශක්තියක් වුනා කියලා කියන්න/හිතන්න බැරිද. අපි මෙහෙ නම් නිතරම කියනවනෙ I am so grateful, we are so blessed වගේ (ආගමික අදහසකින් නෙවෙයි). අන්න එහෙම- තරහ සහ වෙනත් රිනාත්මක ආකල්ප වෙනුවට කෘතවේදීත්වය පුරුදු වීම.

      Delete
  6. ඉස්සෙල්ලාම කියන්න ඕනෙ ස්තූතියි කියලා. නියමෙට රසවින්ඳා. අර කොල ටික දුමක් විදිහට උරන කොට පට,පට ගාලා ඇට පිපිරුවද? අර කියාපු බුකියෙ සාකච්චාව ගැන ලින්ක් එකක් දාන්න පුළුවන්ද?

    අපේ සාවියෙ අර දුං උරන කොල, නීතිගත කරල තියෙන්නෙ. ලොකු මලයගෙ ලිවීමේ හැකියාවෙ දියුණුව දැක්කාම මටත් හිතෙනවා, අත්හදා බලන්න, හැබැයි පොඩි අවුලක් නැත්තෙමත් නෑ.

    අපේ එපාට්මන් එකේ කළු මල්ලිලා ඔව්වා ගහලා බඹරු වගේ යනවා දැකලා තියනවා, ඒත් උරුලෑවා ගිය පාර වගේ තමයි ගඳ. අනික ගස්වල හැපි, හැපී පියාඹලා ගහක් මුල දෙරි ගැහුවොත් එහෙම, ඒ නිසා බයයි.

    agnostic බස්සෙක් විදිහට මම නං කියන්නෙ දන්නෙ නෑ කියලයි. මම නිරීක්ෂණය කරපු එක දෙයක් තමා, අනුන්ගේ දේවල් ගැන හොයන්න කාලයත්, කැමැත්තත් තියෙන තැන්වල ඔය ඇස්-වහ, කට-වහ කස්ටිය යහමින් වැජඹෙනවා කියන එක. මේ අපේ ගමේ හිටිය එහෙම චරිතයක්:

    කිට්‍ටුව ගෙදරක සාරෙට වැඩුන ඒත් ඵල නොදරන දෙහි ගහක් තිබුනා. සාමාන්‍යයෙන් රාළහාමිව මඟහරින ගෙදර මූලිකයා එදා රාළහාමිව ගෙදරටම කැඳවාගෙන ඇවිත් , තේ පැන් වලින් සංග්‍රහ කොට , මිදුලට කැ‍ටුව ගිහින් දෙහි ගහ පෙන්නලා මෙහෙම කිව්වා:

    " බලන්නකො රාළහාමි. මේ ගහේ හැටි, එක දෙහි ගෙඩියක්වත් නෑ නෙව?"
    ඔහු බලාපොරොත්තු වුනේ, රාලහාමිත් ගහ ගැන නුගුණ කියාවි කියලයි. ඒත් රාළහාමි කිව්වෙ මෙහෙමයි:
    " හා, ගෙඩි නැති වුනාට මොකද, ඒකටත් එක්ක ඔය කොල තියෙන්නෙ"

    බලා ඉන්දැද්දි වගේ කොල හැලෙන්න ගත්ත දෙහි ගහ කනා‍ටු වෙලා මැරිල ගිය බවයි කියවෙන්නෙ. තව දවසක් දුර තිබෙන ගස් අතර පිමි පැන, පැන හිටිය වඳුරු මොටෙක් දිහා බලා " හම්මේ, බලහල්ලකො මුගෙ පිම්ම" යැයි කිවූ බවත්, ඊළඟ පිම්මේදී වඳුරු මොටා පිම්ම වැරදී බිමට පත බෑවුන වගත් තවත් ප්‍රසිද්ධ කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඔය විජය පත්‍ර පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්ඩ ඕන මාත්‍රාව දැනගෙන. මාත්‍රාව ඉක්මවා ගියොත් මහ ජංජාලයක් වෙනවා. විජය පත්‍ර වලින් හෝ වෙනත් මත්ද්‍රව්‍යයකින් කාටවත් හොදක් වෙලා නෑ. ඒ හිංදා පරිස්සමින්!! විශේෂයෙන් නාස්තිකවාදී බස්සෙකුට! අපොයි දෙයියනේ දවල් වරුවක තමන් රාජාලියක් කියන හැගීමක් ආවොත් රෑ කාලේ කලුවර සෙවනැලි අතර ඉද ගුප්ත හඩකින් කොදුරන බස්සෙකුට!!!?? මොකකින් මොකක් වේවිද?
      "අනුන්ගේ දේවල් ගැන හොයන්න කාලයත්, කැමැත්තත් තියෙන තැන්වල ඔය ඇස්-වහ, කට-වහ කස්ටිය යහමින් වැජඹෙනවා"- මල් මසුරං කියමනක්. අපේ ගම ගත්තොත් මගේ පරම්පරාව වෙනකල්ම කුලී වැඩක් හොයාගෙන එදා වේල හරිහම්බ කරගෙන නිවාඩු පාඩුවේ අනුන්ගේ ඕපදූපයක් හොයාගෙන රස විද විද ජීවත් වෙච්ච ගමක්. ඒ හින්දද ඇස්වහ කටවහ ගැන මතකයන් ඉතුරුවෙලා තියෙන්නේ??

      Delete
  7. මගේ බකුසු නිරීක්ෂණයට හසුවූ දෙයක් තමා, හේන් ගෙදර අත්තා විද්‍යාත්මක ක්‍රමයට ඇස්-වහ කටවහ පරීක්ෂාව කරල තියන බව (පහසුව සඳහා පියවර හතර භාවිතා කෙරේ).
    1.Observation and description of a phenomenon (a concept),
    2.Formulation of a hypothesis to explain the phenomenon,
    3.Test the hypothesis. If experiments do not confirm the hypothesis, the hypothesis must be rejected or modified (Go back to Step 2),
    4.Establish a theory based on repeated verification of the results.

    1.නිරීක්ෂණය - පුහල් වැලම බිමට දෙරි ගැහීම
    2. උපකල්පනය - බිසෝ නැන්දගෙ කටේ හයියට, එල්ලෙන දේවල් බිම දැමිය හැක
    3. උපකල්පන පරීක්ෂාව - බිසෝ නැන්දාට, හේන් ගෙදර අත්තාගේ "පරම්පරා කුට්ටම" පෙන්නීම
    4. නිගමනය - එල්ලෙන සියල්ල රඹුටන් නොවන බව

    ReplyDelete
    Replies
    1. පොඩි නිවැරදි කිරීමක්...
      4. නිගමනය - එල්ලෙන සියල්ල 'පුහුල්' නොවන බව වෙන්න ඕන නේද?

      Delete
    2. හරියටම හරි. බොහොම ස්තූතියි වැරදි නිවැරදි කලාට.

      Delete
  8. ඔය ඇස්වහ කට වහ කියන එකෙන් කටවහ ගැන මම දකින්නේ දෙ ආකාරයකට. එකක් ඔබ පවසා ඇති පරිදි යමක් පිළිබඳව අගය කිරීම සමගම ඊට කෙළ වීම. (උදා: "පුදුම අස්වන්නක්නෙ තියෙන්නේ" කියූ සැනින් ගහ කඩන් වැටීම.)
    දෙවෙනි එක යමක් පිළිබඳව පෙරයීමකින් අනාගතයේ විය හැකි දෙයක් පැවසීම. (උදා: "මම් නොකිව්වා කියන්න එපා උඹනං ලඟදිම ඔඅය බයිසිකලෙන් හොඬ්හ් කෙළවිල්ලක් කෙළෝගන්නවා" කියා ඉතා කෙටි කලක් තුල ඇදගෙන වැටීම!"

    දිනක් මා සේවය කල ආයතනයට පැමිණි මිට්සුබිෂි L400 රථයක් දෙස මා ඈත සිට බලා සිටින විට එහි එක් රෝදයක් බොහෝ සෙයින් සිරස් ලෙස ඇලව තිබෙනු දක්නා ලදී. ඒ අසල සිටි සේවකයෙකු අමතා; වාහනය රැගෙන ආ අය සොයා ඔහුට මා පැවසූවේ "මෙම රථයේ නකල් එකේ ලොකු ඇලයක් තියෙනවා! ඉක්මනට මේක චෙක් කර ගන්න පාර මැද්දෙ කඩා වැටේවි!" කියාය. මා එසේ පවසා දෙමටගොඩින් නික්මී බොරැල්ලට ආවා පමණි. මා හට ඇමතුමක් ලැබුනේය.
    ඒ වාහනය නවතා සිටි තැනින් අඩි 25 ක පමණ දුරක් ධාවනය කරද්දීම බිමට කඩා වැටුනු බවය! (මෙය වැටෙන්නෙත් ඇස් වහ කැටගරියටමද?)

    මගේ ජීවිතයේ මෙවැනි අත්දැකීම් රාශියකි. මේ නිසාම; මා විෂයෙහි හෝ අන් අය විෂයෙහි එවන් සෘණාත්මක සිතුවිල්ලක් සිතට පැමිණියහොත් මා එය පෞද්ගලිකව මැදිහත්වී හෝ විසඳා දෙමි. (වාහනයක ටයර් එකක් අබලංව ගමනක යෙදෙන්නට කිසිවෙකු යනවා නම් මා හැකි උපරිමයෙන් ඔහුගේ ගමන් නවතා ලීමට/ අළුත් ටයරයක් මිළදී ගැනීමට පෙළඹවීමට/ අමතර ටයරය හෝ මාරු කර ගැනීමට උදව්කීරීමට/ අවම වශයෙන් වාහනයේ එවන් තත්වයකට මුහුණදීමට ඇවැසි ජැක් වීල් බ්‍රේස්ඩ් නැතිනම් කුඩා කොම්ප්‍රෙසරයක් හෝ ආපසු ගෙනත් දීමේ පදනම මත ලබා දීමට හෝ කටයුතු කරයි!) බොහෝ විට දිනය අවසන් වෙන්නේ "අම්මට හුඩු උඹ කිව්වා වගේ ස්පෙයා වීල් එක දාගෙන ගියේ නැත්නම් සොරිම තමයි. අන්න අර ටයර් එකේ හුලං බැහැලා!" වැනි කථා සමගය!

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ ඉතා පැහැදිලියි. අපි පාඩම් කරන්නෙ නැතුව විභාගයකට ලියනවා නං ඒක ෆේල් වෙන්නෙ කාගෙවත් ඇස්වහක් කටවහක් හිංද නෙවෙයි අපේම වැරැද්ද හිංදා....පාඩම් නොකර විභාගෙට ලියන්ඩ යනකොට විභාගෙ ෆේල් වෙනවා කියන්නෙ ඔබ කියන විදිහට පෙරයීමක්. මගේ ප්‍රශ්නෙ ඔබ කියන පළම්‍ය් වර්ගයේ සිද්ධි තේරුම් ගන්නෙ කොහොමද කියන එක....

      Delete
  9. සෙත් කවියකින් යහපතක් වේ - වස් කවියකින් දොසක් සිදුවේ
    සුබ-අසුබ ගණ කියල දේකුත් - තියෙනවා අපි නැතත් හිතුවේ
    හිරු කිරණෙ ගිනි පුළිඟු - ඇතිවද කියල තවමත් සිතේ මතුවේ
    කාචෙකින් focus කළාමයි - කඩදහිය දුම් කැරලි නැඟුවේ

    කටවහත් ඒ වාගෙ කියලයි - මට හිතෙන්නේ, පෙනෙන විදිහට
    චිත්ත ශක්තිය, වාග් ගැළපුම - වගෙම මොහොතත් අවැසි මේකට
    කියන පළියට හරි නොයන්නේ - කරුණු සේරම නොගැලපුණු විට
    මාත් අත්දැක තිබේ, දිවියෙදි - කටවහේ වහ නිතර නොවුණට

    ReplyDelete
    Replies
    1. ඇස්වහක් නැත හෝ වහක් නැත ලොකාගේ දිවි සයුර ගත්තම
      ඇතත් ඇස්වහ පහ වෙලා යයි දිරිය මිනිසුන් මුහුණ දැක්කම

      (තරහක් තියෙනවානං කෙලිං මූණට කියන්ඩ රිප්ලයි කරන්ඩ අමාරු වෙන විදිහට කවි ලියන්නෙ නැතුව!! එහෙම නැත්තං කියවන්ඩද තුම්පනේ නැන්දම්මා ලව්වා ආ...නේ...මේ...නිමල් පුතාගෙ කවි නෙවෑ කවි කියලවත්!!)

      Delete
    2. අනේ මහත්තයෝ, තරහවකට නෙවෙයි කවියෙන් කමෙන්ට් කරන්නේ. කවි ලියන්න පුරුදු වෙන්නයි.

      මේ, තුම්පනේ නැන්දම්මාට කියලා අරව-මේවා කියවන්න යන්නේ බලාගෙන. "කට්ටකාඩුවේ පුතා ගලේ ගැහුවත් මැරෙන එකක් නෑ....." කියල කතාව පටන් ගනියි.

      Delete
    3. මහත්තයා කීමෙන් සම්මුතීන් බිදදමමින් මට අගෞරව කොට ඇති ෂටියක් පෙනේ. අලාභ ඉල්ලලා එන්තරවාසියක් එවන්ටද?

      Delete
  10. ලොකු මල්ලි සර් අයුබෝවන්ඩ!

    ඔය ඇස්වහ කටවහ කේස් එකේ මක්කහරි දෙයක් ඇති කියල මටත් හිතෙනවා.
    ඩාන්ස් බීට් උනාට ඔය මන්තර, ජප කිරිලි සබ්ද කරන විදියක් තියෙනව. නැත්තං ඒවයේ නියම බලපෑම ලැබෙන්නෙ නෑ කියලයි කියන්නේ. ඒ වගේම ඕනෙම සිස්ටම් එහෙක අනුනාද සංඛ්‍යාතයට (resonance frequency) ගෙනාවම විස්තාරය (amplitude) අධිකව ඉහලයනවා.එතකොට සිස්ටම් එක එක්කෝ කැඩෙනවා නැත්තං බොහොම දුර්වල වෙනවා. ඔතන ඔයවගේ කේස් එකක්ද කියලත් මට හිතෙනවා.

    එව්ව එහෙම්ම තියෙද්දාවෙ. ඇත්තම කියන්ඩ ඔය ගොල්ලෙ හේන් ගෙදර අත්තා උන්නැහේගෙ වැඩ කෑල්ල නං මට එච්චර ඇල්ලුවේ නෑ.
    මට හිතෙන හැටියට ගොල්ලෙ හේන් උන්නැහේයි තුම්පනේ ගෙදර බිසෝමැනිකේ නැන්දයි අතරේ සම්බන්ධයක් තිබිල තියෙනවා. වයි උන්දැ අත්ත මැස්ස ගහන වෙලාවටම ඔතනින් ගියේ. අත්තගේත් මෙයා දැකල ඒ වෙලාවෙ වයර් මාරුවෙලා තියෙන්ඩ ඇත්තෙ ඒ කල්පනාවෙන් තමා අත්ත මැස්ස බඳින්ඩ ඇත්තෙත්. ඔය රතුපාටින් තිබ්බ වාක්‍යයේ 'කියලා' වෙනුවට නිවැරදි වචනේ 'කොරලා' වෙන්ඩ ඕනේ මයෙහිතේ.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. හැට්ටර් තුමා වෙත සාදරයෙනි,
      බොහෝ කළෙකින් ඔබ තුමා නොදුටුවෙමි. B&W අඩවියට ඔබතුමා යමක් නොලියා සිවු මසක් ඉක්ම ගොස් ඇත්තේය. කාගේවත් ඇස්වහ කටවහ බන්ධනයකට ඔබතුමා අසුවී නැතැයි සිතමි. මේ අපි වාගේ 'අතේටිකක්' කොල්ලන්ට නාඹර ගැටිස්සියෝ බැල්ම දමා ඇස්වහ වද්දවති. ඔබතුමා පරිස්සමින් ඉන්ට ඕනෑය.
      ඒ වගත් මෙසේම,
      කට්ටකාඩුවේ ලොකු මල්ලී වම්හ.

      Delete
  11. මල්ලි, ඔය ඇස්වහ කටවහ වලත් යම් අත්තක් තියෙනවා බං. මගෙ අත්දකීම් කීපයකුත් තියෙනවා.

    ReplyDelete