සුල්තාන් ෆෙරෝස් ෂා ට මහාභාරතයේ කියවෙන භීම් කියන යෝධ සෙන්පතියාගේ සැරයටි හම්බ වෙච්ච හැටි මම පහුගිය ලිපියෙන් කිව්වනේ. අමතක නම් මෙන්න මේ සබැඳියෙන් ඒ ලිපිය කියවන්ඩ පුළුවන්. ඒ ලිපිය මතක නම් තමයි මේ ලියමන තේරුම් ගන්ඩ ලේසි වෙන්නේ. හරියට සිංහල නාට්‍ය කලාව පත් වෙලා තිබ්බ අකරහනි තත්වය තේරුම් ගත්තොත් විතරක් ජයලත් මනෝරත්න කියන මහා යුග පුරුෂයා ගැන තේරුම් ගන්ඩ පුළුවන් වෙනවා වගේ.
ඒ කොහොම වෙතත් මෙන්න අද කතාව...
සුල්තාන් ෆෙරෝස් ට ඕන උනා භීම් ගේ සැරයටි තමන් අලුතෙන් ඉදි කරණ දිල්ලි නුවරට අරං යන්ඩ. ඒත් කොහොමද ඒක කරන්නේ. දිල්ලිය තියෙන්නේ හැතැම්ම සිය ගානක් දුරින්. අනික මේ සැරයටි තනි කළු ගලින් කරවපු අඩි හතලිස් දෙකක් විතර උස ඒ වගේම ටොන් විසි පහක් විතර බර වෙයි කියල හිතපු ස්මාරක. මතුපිට හොඳට මැදලා, ඔප වැටිලා තියෙන්නේ. කොටිම්ම එක කුළුණක් කොච්චර දිලිසුනාද කියනවා නං ඒ කුලුන මතුපිට රත්තරන් ගාලා තියෙනවා කියලයි හිතුවේ. ඒ හින්දම ඒ කුලුනට රත්තරං කුලුන කියලත් නමක් දැම්මා සුල්තාන් වරයාම. ඉතින් වදෙන් පොරෙන් ගලවාගෙන ගෙනිච්චත් වැඩක් නෑ ඒ අනර්ඝ නිමැවුමට හානියක් උනොත්. ඉතිං මේ ෆෙරෝස් දහ අතේ කල්පනා කරලා හොඳ විසඳුමක් හොයා ගත්තා.
ෆෙරෝස් ෂා තුග්ලක් සුල්තාන් වරයා
ඔහු ඉන්දියාවේ හැම පැත්තෙන්ම කපු පුළුන් ගෙන්නවා ගත්තා. ඒ කපු පුළුන්, ගොඩවල් විදිහට සැරයටියේ එක පැත්තකින්
ගොඩ ගැහුවා. ඊට පස්සේ හෙමිහිට හෙමිහිට ස්ථම්භයේ මුල හෑරුවා. දැන් ඔන්න බබා වගේ භීම් ගේ සැරයටිය කපු පුළුන් ගොඩ උඩට ඇලවුනා.
ඊට පස්සේ බොහොම පරිස්සමින් සුල්තාන් ගේ සේවකයෝ අර කපු පුළුන් ටික ටිකෙන් ටික අහක් කරන්ඩ පටන් ගත්තා. දසමෙන් දසමේ. අඟලෙන් අඟල....ඔහොම අහක් කරන කොට ඒ ස්ථම්භය ටිකෙන් ටික බිමට පාත් උනා.සෑහෙන මට්ටමකට පාත් උනාට පස්සේ මුළු ස්තම්භයම පං ඇතිරිලි වලිනුයි අමු හම් වලිනුයි වැහුවා. ඊට පස්සේ රෝද හතලිස් දෙකක් තිබ්බ කරත්තෙකට මේ කුලුන පටවා ගත්තා. රෝද කොච්චරක්ද? හතලිස් දෙකක්...හතලිස් දෙකක්...අම්මපා රෝද හතලිස් දෙකක ට්රක් එකක් මම අද කාලේ වත් හැබැහින් දැකලා නෑ. මේ වැඩේට දවස් ගානක් ගත උනා. ඒත් භීම් ගේ සැරයටි තමන්ගේ කරගන්ඩ අප්රමාණ උවමනාවක් තිබ්බ සුල්තාන් වරයා ඒ දවස් ටිකේම කලේ මේ වැඩේ අධීක්ෂණය කරන එක.කොහොම කොහොම හරි අමාරුවෙන් අර රෝද හතලිස් දෙකේ කරත්තෙන් ඇදගෙන ඇදගෙන මේ කුළුණු ගෙනාවා යමුනා ගඟ ගාවට.
ඊට පස්සේ ලොකු බෝට්ටු ගානක් එකට එක්කහු කරලා මහා ලොකු පහුරක් හැදුවා. ඔන්න අර කණු මේ පහුරට දාගෙන දිල්ලිය ලඟට ගෙනැල්ලා, එතන ඉඳන් ආයෙත් කරත්තයකින් ගෙනාවා ෆෙරෝස් ෂා ගේ බලකොටුවට. ඊට පස්සේ ආයෙම ටිකෙන් ටික කපු පුළුන් එක්කහු කරලා මේ ස්ථම්භය කෙලින් කෙරෙව්වා. කොහෙද? හරියටම බලකොටුවේ මැද!!! මගේ හිතේ මේ වැඩේට වහල් සේවකයන් දාස් ගණනක් යොදා ගන්ඩ ඇති.
අර මං කිව්වා නේ මීරුත් වලින් තව සැරයටියක් හම්බ උනා කියල. ඒකත් මේ විදිහටම සුල්තාන් ගෙන්නවා ගත්තා තමුන් අලුතෙන් හදන නුවරට. ගෙනැල්ලා ඒක තිබ්බා තමුන්ගේ දඩයම් භූමියේ තිබ්බ මණ්ඩපය ළඟ.
මේ වැඩේ ගැන ෆෙරෝස් ෂා ම කියද්දී ලිව්වා කියල හිතන ඔහුගේ චරිතාපදානයේ තියෙන්නේ මෙන්න මෙහෙම පොර ටෝක් එකක්!
"බහුදේව වාදීන්ගේ හා අනෙකුත් මිත්යා දෘෂ්ටිකයන්ගේ පූජා වස්තුවක්ව අවුරුදු දහස් ගණනක් පැවතුනු මේ සිහිවටන, සුල්තාන් ෆෙරෝස් ෂා ගේ උත්සාහයෙන් සහ දෙවියන්ගේ මහිමයෙන් විශ්වාසවන්තයින්ගේ වන්දනා ස්ථානයක කුළුණක් බවට පත් කරන ලදී!!!"
ඒ කියන්නේ කට්ටියම එකතු වෙලා මේ කුලුනට වැඳ වැඳ ඉඳලා තියෙනවා!! අම්මපා මට හිනා යනවා ආයිබෝං මේ වැඩ වලට. ආ මට කියන්ඩ බැරි උනා. මේ කුළුණු වල මොනවදෝ අකුරු වගයක් කොටලා තිබුනා. ඒ උනාට එව්වා කියවන්ඩ පුළුවන් ජගතෙක් ඒ වෙනකොට ඉන්දියාවේ හිටියේ නෑ!! ඒ මොකද ඔය ෆෙරෝස් ෂා ගේ මුතුන් මිත්තෝ 1180 ගණන් වල ඉඳලා මුළු ඉන්දියාවේම තිබ්බ ඔක්කොම අන්‍ය ආගමික සිද්ධස්ථාන, වෙහෙර විහාර ගිනි තියලා විනාශ කළා. කුතුබ් දීන් අයිබැක් නාලන්දා විශ්ව විද්යාලේ ගිනි තියලා විනාශ කලේ 1194 දී. මාස ගණනක් මේ විශ්ව විද්යාලය සතුව තිබ්බ පුස්තකාලේ ඇවිලුනා. පොත් පත් ලක්ෂ කෝටි ගණනක්. ඒ එක්කම ඉන්දියාවට නැති උනේ බුද්ධාගම විතරක් නෙවෙයි. පරම්පරා සිය ගානක් පුරා ගොඩ නගා ගත්තු මහා දැනුම් සම්භාරයක්. මධ්යතන යුගයේ යුරෝපය අවුරුදු සිය ගානක් ක්රිස්තියානි පල්ලියේ දඬු අඬුවට හිරවෙලා හිටියා වගේ ඉන්දියාව ඉස්ලාම් දිග් විජය වෙනුවෙන් ගෙවා නිම කල නොහැකි දඬුවමකට යටත් උනේ ඒ වෙලාවේ!!!
මේ වෙච්ච විනාශයන් හිංදා මහා දැනුම් පද්ධතියක් නැති උනත් මිනිස්සුන්ගේ තිබ්බ සහජ ආසාවක් වෙච්ච 'නොතේරෙන දෙය සොයා යෑම' ෆෙරෝස් ෂා ටත් තිබ්බා. බ්රාහ්මණ පණ්ඩිතයන් භීම් ගේ සැරයටි කියලා රවට්ටන්ඩ හැදුවත්, ෆෙරෝස් ගේ හිතේ මේ 'කණු' මොනවාදැයි දිගටම සැකයක් පැවතුනා. මේ කුළුණු දෙකේම කවුරුවත් කියවන්ඩ නොදන්නා අකුරු වලින් මොනවදෝ ලියල තිබුනා.
ෆෙරෝස් ෂා තමන්ගේ චරිතාපදානයේ මෙහෙම ඔජ වඩනවා...."ඒ කුළුණු කෙතෙක් උසද යත් කිසුදු කුරුල්ලෙකුට - රාජාලියෙකුට හෝ කොකෙකුට වත් එහි මුදුනට ලඟා විය නොහැක"
හැබැයි ඔහුගේ හිතේ මේ කුළුණු මොනවා දැයි සැකය තිබුණු බවට මෙන්න සාක්කි..."මේ කණු කුමට සෑදුවේද?කෙසේ සවි කරන්නට ඇත්ද? මුළු කුලුණම රනින් සෑදුවේ යැයි කෙනෙකුට සිතෙන පරිදි කෙසේ රන් ආලේපිත කරන්නට ඇද්ද?මේ දෙවියන් විසින් පොළොවෙහි පැල කරන ලද හත්වෙනි ස්වර්ගයේ ඉම සලකුණු කරන මසන් ගසේ පැලයක්ද? නැත්නම් මිනිසුන් විසින් කන්දක් යයි වටහා ගෙන තිබෙන ස්වර්ගයේ වූ මාදං ගසක් ද?" [මම මෙතන දී මසන් හා මාදන් කියල පරිවර්තනය කලේ Lotte tree හා
Plum tree යන ඉංග්රීසි පද දෙක. වැරද්දක් ඇත්නම් සමාවෙලා පෙන්නලා දෙන්ඩ ඕන අදාළ විශේෂඥයෝ. මේ ඔක්කොගෙන්ම පේන්නේ මේ නිමවුම් දෙවියන් විසින් කරන ලද්දක් මිස මිනිසුන් විසින් කරන ලද්දක් නොවිය හැකි බව ෆෙරෝස් ෂා හිතපු බව.
කොහොම උනත් මේ 'දිව්යමය රහස' නොදැනම ෆෙරෝස් මිය යනවා 1388 දී. ඒ ඔහු රජ වෙලා අව්රුදු 37 කට පස්සේ. ඊට ටික කාලෙකට පස්සේ ලෝකේ හිටපු මහා රණකාමී ආක්රමණිකයෙකු වෙච්ච ඛෝරසාන් හි ටිමුර් ඉන්දියාව කොල්ල කනවා. ඔහු අන්‍ය ලබ්ධිකයන් ලක්ෂයක් මරා දැම්මා කියල තමයි කියවෙන්නේ. තව වහල් සේවයට අල්ලාගෙන ගිය ප්රමාණය ටිමුර් ගේ හමුදාවේ එක සෙබළෙකුට වහලුන් පනහක් බැගින් වූ බවත් කියවෙනවා. හැබැයි ඔහුත් මේ ෆෙරෝස් ෂා ගේ කණු දෙක දැකලා හරිම පුදුම වෙලා, එතනදීම මහිමාන්විත එකම දෙවියන් වහන්සේට ස්තූති කරලා යාඥා කරා කියලත් කියවෙනවා.
ඉන් පස්සේ මෝඝල් අධිරාජ්යය බිහිවෙනවා. 1605 දී රජ වෙච්ච මෝඝල් අධිරාජ්‍ය ජෙහාන්ඝීර් ගේ රාජ සභාවට ඉංග්රීසි වෙළෙන්දෙක් එනවා විලියම් ෆින්ච් කියල. අධිරාජ්යයා අලුතින් හදපු අලහබාද් නගරයට යනකොට ෆින්ච් ඒ එක්කම එහේ යනවා. ඔහු දකිනවා භීම් ගේ සැරයටිය වගේ තවත් ගල් ස්ථම්භයක්. මේ වෙනකොට විශ්වාස කරන්නේ මහා ඇලෙක්සැන්ඩර් වගේ ඉන්දියාව යටත් කර ගත්තු ආක්රමණිකයෙක් මේ කණු පිහිටුවන්ඩ ඇති කියලා. ඒත් තවම ස්ථිර තොරතුරක් නෑ.
1670 දී තවත් ඉංග්රීසි ජාතිකයෙක් කොටියෙක් ගේ පිළිරුවක් කණුව උඩ හයි කරපු තවත් කණුවක් දකිනවා සින්ඝියා වලදී. එතැන හිටපු මිනිස්සුත් කියන්නේ මේ භීම් කියන පාණ්ඩව වීරයා ගේ සැරයටියක් කියල.
මේ කාලේ වෙනකොට අවුරාන්ග් සෙබ් මෝඝල් අධිරාජ්යයා වෙලා. ඔහු තමයි මේ පරපුරේ හිටපු අනිත් ආගමිකයන් පෙන්නන්ඩම බැරි වෙච්ච හාදයා. ඔහු බරණැස ඉතුරු වෙලා තිබ්බ හින්දු කෝවිල් සහ දේව රූප විනාශ කරන්ඩ පටන් ගත්තා. එතෙන්දි ඔහුගේ ඇහැ ගැහුනේ මහා විශාල ශිව ලිංගයක් මැදි කරගෙන හදලා තිබ්බ භෛරව කෝවිල දිහාට. මෙතෙන්දි මේ ශිව ලිංගයටම සමහරු ශිව ගේ ස්ථම්භය කියලත් කිව්වා. අවුරන්ග්සෙබ් කලේ කෝවිල විනාශ කරලා එතන පල්ලියක් හදපු එක. හැබැයි ඔහු අර කුලුනට ඇත තිබ්බේ නෑ. පල්ලිය හැදුවේ කුලුණ මදි කරමින්. ඒ හින්දා මේ පල්ලිය හැඳින්වුනෙත් ස්ථම්භයේ පල්ලිය කියල. ටික කාලෙකට පස්සේ නගරය නැවත හින්දුන් අතට පත් උනා. ඔවුන් මේ ස්ථම්භය මුල් කරගෙන ආගමික උත්සව පටන් ගත්තා. දෙගොල්ලක් එකම තැනක උත්සව පැවැත්වීම පුළුන් එක අතකිනුයි ගින්දර තව අතකිනුයි තියාගෙන කස්තිරම් අල්ලනවා වගේ වැඩක්. ගින්න පත්තු උනේ 1805. අර පල්ලියේ හිටපු මුස්ලිම් දේශකයෙක් කිව්වා හින්දු පිළිරූ විනාශ කරන්ඩ ඕන කියල. ඔහුගේ දේශනයෙන් අවිස්සෙච්ච මිනිස්සු ශිව ගේ ස්ථම්භය ගලවලා බිම දැම්මා. අර ෆෙරෝස් කළා වගේ පරිස්සමකින් නොකරපු හින්දත් අරමුණ උනෙම ස්ථම්භය විනාශ කිරීම හින්දත් කනුව කෑලි කීපයකට කැඩිලා ගියා. තමුන්ගේ දෙවියන්ගේ කණුව විනාශ කරලා කියල දැක්ක හින්දු මිනිස්සු අර මුස්ලිම් පල්ලියට ගිනි තියලා අළු දූවිලි බවට පත් කළා. එක කණුවක් වෙනුවෙන්
ආගමික උණ වැඩි වෙච්ච කණ්ඩායම් දෙකක් කර ගත්තු විනාශයක්!!!. මේ දෙගොල්ලම දැනගෙන හිටියේ නෑ මේ කනුව හරියටම මොකද්ද කියල. හැමෝම ගාව තිබ්බේ අසම්පූර්ණ තොරතුරු.
මෙන්න මෙහෙම තියෙන කොට 1819 සැප්තැම්බර් වලදී කල්කටාවට එනවා අපේ කතාවේ කතා නායකයා. ඔහුගේ නම ජේම්ස් ප්රින්සෙප්. ඔහුගේ රස්සාව මුදල් අච්චු ගහන තැන දෙවෙනි නිලධාරියා වීම. ඒ වෙනකොට ඔහුට වයස අවුරුදු විස්සයි. ඊට මාස ගණනකට වැඩිමල් ජෝර්ජ් ටර්නර් කියල සුද්දෙක් ලංකාවට එනවා. ඒ 1820 දී. මුලින් කොළඹ ආශ්රිතව වැඩ කරන ඔහු 1826 දී සබරගමුවේ දිසාපති විදිහට උසස්වීමක් ලබලා යනවා රත්නපුරේට. ප්රින්සෙප්ට වැඩිමහලු ඒත් ටර්නර්ට බාල බ්රයන් හවුටන් හොජ්සන් ඉන්දියාවේ සිවිල් සේවයට සම්බන්ධ වෙන්ඩ කල්කටාවට එන්නේ 1818 දී. ඒ උනාට කල්කටාවේ දේශගුණය ඔහුට දරා ගන්ඩ බැරි වෙන හිංදා ඉංග්රීසි ආණ්ඩුව මාරු වීමක් ලබා දෙනවා නේපාලයේ කත්මණ්ඩු නගරයට. ඒ කත්මණ්ඩු වල බ්‍රිතාන්‍ය නේවාසික නියෝජිතයාගේ ලේකම් සහ දේශපාලන සහකරු විදිහට. මේ ඔක්කොම විසි වයස් තරුණයෝ. ඔන්න ඔහොමයි සුද්දෝ අපිව පාලනය කරේ.
ජේම්ස් ප්‍රින්සෙප්
ඔය ප්රින්සෙප් ගේ ලොක්කා සංස්කෘත භාෂාව ගැන නිපුනයෙක්. ටිකක් විතර 'ඇණයක්' උනත් ඔහු තමන් දන්නා ඔක්කොම ප්රින්සෙප් ට කියල දුන්නා. ඔහු මාරු වෙලා යනකොට එතෙක් ලොක්ක දරපු තනතුරුත් බාර දුන්නේ ප්රින්සෙප්ට. එහෙම ලැබිච්ච තනතුරක් තමයි බෙංගාලයේ රාජකීය ආසියාතික සමිතියේ ලේකම් ධූරය. ඔහු එතෙක් ආසියාතික සමිතිය වෙත ලැබිලා තිබුණු විවිධ පොත් පත්, ලියුම් කියුම් කියවන්ඩ පටන් ගන්නවා. මේ ලිපි අතරේ තියෙනවා හොජ්සන් නෙපාලේ ඉඳන් 1820-1823 කාලේදී එවපු සංස්කෘත බසෙන් ලියවෙච්ච පොත් 218. කීයක්ද...එකක් දෙකක් නෙවෙයි 218!!! ඔන්න කට්ටියගේ වැඩ!!!
ටර්නර් රත්නපුරේදී පාලි බස ඉගෙන ගන්නවා. ඒ අතරේදී ඔහුට අහන්ඩ හම්බ වෙනවා වැඩිය කවුරුවත් කියවන්නේ බලන්නේ නැති පාලි පොතක් තියෙනවා කියලා. ඒකෙ නම මහාවංසය. ඒ කාලේ හිටපු හුගක් බෞද්ධ හිමිවරු පවා ටර්නර් ට කිව්වේ මහාවංසය තේරුම් ගන්ඩ ටිකක් අමාරු කරුණු කාරනා තියෙන පොතක් කියල. ඒත් එක හාමුදුරු නමක් ඔහුට හොඳ ඔත්තුවක් දුන්නා. ඒ තමයි මේ මහාවංසයට ලියපු ටීකාවක් ඒ කියන්නේ මහාවංසේ එන අමාරු තැන් පැහැදිලි කරන්ඩ ලියාපු තවත් පොතක් තියෙනවා කියල. ටර්නර් එහෙම පොතක් හොයන්ඩ පන්සල් වල පොත් ගුල් අවුස්ස අවුස්සා පටන් ගන්නවා විතරක් නෙවෙයි මුල්කිරිගල පන්සලේ තිබිලා මහාවංස ටීකාව හෙවත්
වංසත්තප්පකාසිනි කියන
පොතේ පිටපතකුත් හොයා ගන්නවා. මේ වංසත්තප්පකාසිනිය කියන්නේ මහාවංසයේ ටීකාවක් නෙවෙයිය ඒ මහාවංසයේ අටුවාවය කියල දැන් මතයක් තියෙනවා. ඒ කොහම උනත් ඒක මහාවංසය තේරුම් ගන්ඩ ලියපු පොතක්ය කියල මතක තියා ගත්තහම අපේ වැඩේට සෑහෙනවා.
ඊට අමතරව මහානාම හාමුදුරුවන්ට මහාවංසය ලියන්ඩ උදව් වෙච්ච මූලාශ්රයක් විදිහට සැලකෙන දීපවංසයේ පිටපතකුත් ඔහු හොයා ගන්නවා. පාලි තේරෙන ගුරුවරුන් ඉතා දුලභ වූ කාලයක එක එක්කෙනාගෙන් අහගෙන පාලි ඉගෙන ගනිමින් ටර්නර් මහාවංසය ඉංග්රීසියට පරිවර්තනය කරනවා.
මේ කතාව කොටස් දෙකකින් ඉවර කරන්ඩ හිතං හිටියට ලිපියේ දිග වැඩිවෙන හින්දම තුන්වැනි කොටසකටත් යන්ඩ වෙනවා. ඒ කොටස මම පුලුවන් තරං ඉක්මනට ලියන්නං.
ඒ අතරේදී මතක තියා ගන්ඩ අර භීම් ගේ කුළුන වෙනුවෙන් හිංදු හා මුස්ලිම් වරු දෙපැත්තට බෙදිලා මරා ගත්තු විදිහ. එහෙම මරා ගත්තේ මොකක් වෙනුවෙන්ද කියල ලබන කොට කියෙව්වම ඔබ තමුන්නාසේලා ඔක්කොටම තේරෙයි. එතෙක් කියන්ඩ තියෙන්නේ ආගමික උන්මාදය කරට අරං ජල්ලි ජහුරු වැඩ කරන්ඩ යන්ඩ එපා. ඇත්ත එලි වෙච්ච දවසක ලැජ්ජාවේ පන යනවා කියන එක විතරයි. දේශපාලන උන්මාදය, ජාතිකත්ව උන්මාදය ඊට එහා කරුණු. අපේ ජාතියට, ආගමට, දේශපාලන දර්ශනයට එකඟව අපි වැඩ කරන ගමන් අනික් අයගේ කැමැත්තත් අපේ කැමැත්තම වෙන්ඩ ඕන කියල තප්පු ලෑම අයිති වෙන්නේ ගල් යුගයටත් එහා ගිය මරි මෝඩකමකට මිසක් බුද්ධිමත් බවකට නං නෙවෙයි.
ඉක්මනටම ආයෙත් එන්නං.
එතකල් හැමෝටම ආවඩා ආයුබෝ වේවා!!!
Palamuweni kotasa wagema deweni kotasath harima apooruyi, ea wagema harima rasawath.Ea saratama wada lipiya awasana dila thiyana paniwidaya harima wadagath.Ea wagema kalochithayi.Ikmanata thunweni kotasath pala wewi kiyala balaporoththu wenawa.
ReplyDeleteස්තූතියි සරත් තුමනි දිරි ගැන්වීමට. සිංහල බ්ලොග් වලට සෙනසුරු දසාවක් ලබලා තියෙන මේ වෙලාවේ ඔබ වැන්නවුන් ගේ දිරි ගැන්වීම් ඉතා වටිනවා. බ්ලොග් පෝස්ට් එකක් ලියන්ඩ වැය කරන මහන්සිය නිවෙන්නේ මෙවැනි දිරි ගැන්වීම් හරහා.
Deleteතුන් වෙනි කොටස එනකන් බලාගන ඉන්නේ.
ReplyDeleteඅවුරුදු විස්සෙ ගැටවරයන් ලවුව පාලනය කරගත්ත ජාතියක් අපි 😜
ඉක්මනට තුන්වන සහ අවසාන කොටස අරං එනවා සත්තකින්!! ඔය අවුරුදු විස්සේ තිහේ කොල්ලෝ කරපුවා අද මේ අපි වගේ වයසක උන්දැලා කොරයිද කියලත් වෙලාවකට හිතෙනවා විශ්වතුමනි!!
Deletehodama thanakin nawaththala. ikmanatama liyamu
ReplyDeleteසුටුස් ගාල ලියනවා රුචිරතුමා! සුටුස් ගාල....අපේ ගමේ ඕන දෙයක් වෙන්නේ එක්කෝ සුටුස් ගාල නැත්තං සිං ගාල!! ඩෝං ගාලා වෙන වැඩත් ඔය අස්සේ තියෙනවා.
Deleteහරි, හරි. තුන්වෙනි කොටසත් අරන් ඉක්මනට එන්ඩ ලොකු අයියෙ.
ReplyDeleteමේ එනෝ...මේ එනෝ...සුටුස් ගාලා එනෝ....
Deleteකොටියෙක් උන්න කුළුණක් කිව්වෙ අශෝක ස්තම්භයක් වෙන්න පුළුවන්?
ReplyDeleteඑතකොට ඔය කණු ඔක්කොම අශෝක කුළුණු ද? ලියල තිබ්බෙ ඉන්දීය බ්‍රාහ්මී අක්ෂර ද? එතකොට හැම එකක්ම බෞද්ධ ස්මාරක ද?
OH YES
Deleteදැති හුළහ තුමා තණමල්විල සුරුට්ටුවක්වත් බිව්වද කොටි ඉන්න අශෝක ස්ථම්භ දකින්ඩ? හි...හි....මේ දැන් කියපු එව්වා නම් අශෝක ස්ථම්භ තමයි....හැබැයි ඉස්සරහට එනවා ලංකාවේ රජ කෙනෙක් ඉන්දියාවේ හතර දිග්බාගේ පිහිටවපු සෙල් ලිපි ගැන. ඒ අකුරු මොනවද කියන එක අපි ඊළඟ ලිපියෙන් කතා කරමු. නෑ...මේ බෞද්ධ ස්මාරක විතරක් නෙවෙයි. මීට වැඩිය උත්තර දෙන්ඩ ගියොත් ඊගාව කොටසේ රසය නැති වෙන්ඩ ඉඩ තියෙන හිංදා පොඩ්ඩක් ඉවසමුකෝ!!!!
Deleteඋඩ කියපු අවුරුදු 18 - 20 ගැටවු කියන්නෙ... මුල්ම කාලෙ බ්‍රිතාන්‍ය සිවිල් සේවයට බඳවා ගත්තෙ උසස් පවුල්වලින් එන, හඳුනාගත් දක්ෂ තරුණයන්. ඒ වගේ උදවිය තමයි සිලෝන් සිවිල් සර්විස් එකේ පුරෝගාමියො. කඩුගන්නාව හරියෙ පාර හදපු මේජර් ස්කිනර් එහෙමත් ඒ වගේ දක්ෂ තරුණයෙක්...
ReplyDeleteඕකට හේතු උනේ එංගලන්තේ තිබ්බ දේපොළ බෙදී යාමේ ක්‍රමය කියලයි මම හිතන්නේ...ටර්නර් ගේ තාත්තත් ලකාවට ඇවිල්ලා හිටියා. ඇත්තටම් ටර්නර් ඉපදුනේ ලංකාවේ. ඔහු ඉස්කෝලේ යන්ඩ තමයි එංගලන්තෙට ගියේ. ලොකු වංසක්කාර පවුලම නෙවෙයි එංගලන්තේ තියන ධූරාවලියේ හැටියට....ඒ කොහොම උනත් ඔවුන්ගේ නොපසුබස්නා උත්සාහය අපි අගය කල යුතුයි.
Deleteඅය්යා අශෝක රජතුමා දන්නේ නැතිව ඇති නේද මේ කුළුණු වලට දීපු වදේ
ReplyDeleteරන්සකු මලයා ඊට වඩා දුක නැද්ද අනුන්ගේ ධර්මයක් ලියල තියෙන තැනකට හතර අතේ වඳින එක තමුන්ගේ පූජ්‍ය වස්තුවක් කියලා හිතාගෙන පරම්පරා ගානක්!!
Deleteහුස්මක් නොගෙන කියවා ඔබෙ පෝස්ටුව
ReplyDeleteපුරුදු විලස ලිව්වත් මේ කමෙන්ටුව
නොසෑහේ, රසයි අතීතෙ කැරැට්ටුව
ලියහං ලොකූ හනිකට ඊළඟ පිටුව
ලියනෙමි ලොකා මම ඊලග පෝස්ටුව
Deleteකියනෙමි වෙච්ච දේ, එකලේ කැරැට්ටුව
දිරි ගමි දකින විට ඔබගේ කමෙන්ටුව
අරිනෙමි ඉදිරි පරපුර වෙත ගේට්ටුව
මොහොමදියන්ස්ලා බුදු දහම නිදහසේ අදහන්න ඉඩ දුන්නා නේද ?
ReplyDeleteඕකට කියන්නේ සාමයේ දහම..
අරයා සාමයේ දුතයා....
සාමය යනු සාපේක්‍ෂ දෙයක්.
Deleteඋදාහරණයක් හැටියට සිංහල බෞද්ධයාට අනුව සාමය යනු දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය කිරීමයි.
සිංහල ක්‍රිස්තියානි කාරයාට සහ සිංහල මාක්ස්වාදියාට අනුව සාමය යනු දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදීන්ට යටත් වීමයි.
මෙතනත් එහෙමයි. මුස්ලිම් වරුන්ට අනුව සාමය යනු 100%ක් ඉස්ලාමීය ලෝකයක් සෑදීමයි.
බුදු දහම හැර ලෝකයේ අද පවතින අනෙක් සියලු ප්‍රධාන ආගම් සිය අවිහිංසා සත්‍ය ධර්මය අනුගාමිකයන් උඩ පැටෙව්වේ කඩුවෙන් හා කාසියෙන් රන්සකු මලයා...මං දන්න තරමින් රබීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ කියමනක් මතක් කරන්ඩ කැමතියි...කවුලු හැර තබමු සුලගට පැමිනෙන්ට- දොරවල් වසා ලමු නිදහන් රැක ගන්ට....අද බෞද්ධයන්ට තියෙන අභියෝගය කවුලු මොනවද දොරවල් මොනවද කියල පැහැදිලිව අදුන ගන්න එක...මේ මං හිතන විදිහ....
ReplyDeleteඉහත පිලිතුරේ අවිහිංසා සත්‍ය ධර්මය යන්න 'අවිහිංසා සත්‍ය ධර්මය' ලෙස සංශෝධනය විය යුතුය.
Deletehttps://www.jstor.org/stable/44139004?seq=1
ReplyDeleteThank you very much Pra Jay. Timur had lot of impact on the Silk Road too. I sometimes wonder how individuals made such a significant impact on the world history!!!
Deleteකට්ටය්යේ
ReplyDeleteමම මිතුරන් තිදෙනා ගැන කියවලා තියෙනවා.
කොහෙදිද කවදාද කියල මතක නෑ
අශෝක රජු
ෆෙරෝස් ෂා
අනිකා ඔය ලිපි කියවපු කෙනා
තුන්වෙනි කොටස එනකම් බලාගෙන....
ReplyDelete