Sunday, August 2, 2020

කළු ඇඳගෙන රතු ඇවිදින්


අපේ ගමේ ජීවත් වෙන්ඩ ඔබ තමුන්නැහෙලාට නොලැබෙනවා කියන්නේ ජීවිතෙන් බාගයක් අපතේ ගියා වගේ දෙයක්. තරමට අපේ ගම විකෘතියි. අපේ මිනිස්සු දුකටත් අඬනවා. සතුටටත් අඬනවා. දුකටත් බොනවා. සතුටටත් බොනවා. දුකටත් හිනා වෙනවා. සතුටටත් හිනා වෙනවා. අඬ අඬත් බොනවා. හිනා වෙවීත් බොනවා. බිබී නටනවා...නට නටත් බොනවා. ඔය බොන අතරේ ජීවත් වීමත් කරනවා. ජීවත් වෙන අතරේ  මැරෙන එකත් කරනවා.


මැරෙන එක කරන්ඩ - කියන්නේ හිතලා කරන්ඩ -පුළුවන් වෙන්නේ සිය දිවි නසා ගන්න අයට විතරයි කියල අපිට හිතෙන්ඩ පුළුවන්.  අනිත් අයට වෙන්නේ මැරෙන්ඩ- කියන්නේ නොහිතාම, නොපතාම මැරිලා යන්ඩ. මටත් ඉස්සර හිතුනේ එහෙම තමයි. හැබැයි මම දැන් දන්නවා මැරෙන එකත් අපිම තමයි කරන්නේ කියල. අපි හිතලමයි මැරෙන්නේ. අපේ ගමේ නං එහෙමයි. අපේ ගමට වඩා ඔයාලගේ ගමේ රටේ තත්වේ වෙනස්ද කියල බලන්ඩ අද කට්ටකාඩුවට ගොඩ වෙන්ට.

පහුගිය සති දෙක ගෙවුනේ මරණ එක්කමයි. අඩුම ගණනේ මම දන්නා අඳුනන පස් දෙනෙක් මැරුණා පහුගිය සති දෙකේ. අපි පොඩි කාලේ නං අඳුනන කෙනෙක් මැරුණේ කළාතුරකින්. ඒකට හේතු දෙකක් තිබ්බා. එක කාලේ අපි දන්නා අඳුනන කට්ටිය අතරේ අකරහනි මරණ එහෙම නැත්තං අස්වාභාවික මරණ දැනට වඩා අඩු ගතියක් තිබ්බා. දෙක අපි දන්නා අඳුනන මිනිස්සු අඩු වීම. අපේ ගමයි, අල්ලපු ගමයි, ඉස්කෝලෙයි තමයි කාලේ අපේ ලෝකය. ඉතින් කාලේ මුළුලෝක ජනගහණය’ මිනිස්සු 500-600 වඩා නෑ. ඕකෙන් අපි අඳුනන්නේ තිහ හතළිහක්. එතකොට අවුරුද්දක් ඇතුලත මරණයක් වෙන සම්භාවිතාව කොච්චරද කියල හිතන්ඩකො. අයියලා අක්කලාට කියන්ඩ තිහ හතලිහ අතරින් සමහරු තාම ජීවත් වෙනවා. උං මැරෙන්ඩ හිතලා නෑ!

උං මැරෙන්ඩ හිතලා නෑ කිව්වම කෙනෙකුට හිතෙයි මූ මහ මිනී කාක්කෙක් නේද මිනිස්සු මැරෙන කල් බලාගෙන ඉන්නවා එදා කියල. අපේ ගමේ නං එහෙම තමයි. එළිපිට පිළිගන්ඩ අකමැති උනාට අපේ ගමේ නං මිනිස්සු මැරෙනවාට ජීවත් වෙලා ඉන්න මිනිස්සු කැමතියි. එකට හේතුව මුළු ගමම එක්කහු වෙලා පොඩි අවමංගල් උත්සවයක් පවත්වන්ඩ අර මරණයත් එක්ක පුළුවන් වීම. මම අපේ ගමේ මළ ගෙදරක වැඩ කටයුතු එන විදිහ මීට කලින් ලියලා තියෙන හින්ද ආය ලියන්ඩ හදන්නේ නෑ. මෙන්න මේ සබැඳියට ගියොත් ඔබතුමන්ලා තුමියන්ලාටම පුළුවන් ගැන බලා ගන්ඩ.

ඔය වගේ අවස්ථාවක් ගිය සතියෙත් උදා උනා. මුළු ගමම නින්දෙන් ඇහැරුනා වගේ මළ ගෙදර අයිතිකාරයන්ගේ මූණට අනේ අපොයි අපරාදේ නේද කියල අඩි විස්සකට තිහකට එපිටින් තිබ්බ බූරු පොලට නැත්තං කැරම් බෝඩ් එක ගාවට සෙට් උනා. කට්ටියක් දේශපාලන තත්ත්ව විග්රහයක. කට්ටියක් අවසාන දවසේ අවමංගල් සභාවේ කතා පවත්තන හැටි ගැන ප්ලෑන් කරනවා. කට්ටියක් මේ අපි වගේ එලොවටත් නැතුව මෙලොවටත් නැතුව එකේල මෙකෙල වෙවී ඉන්නවා. තව කට්ටියක් ත්රයි ලෝක විජය පත්, මදන මෝදක, කසිප්පු, අරක්කු, බියර් මිශ්රණයක ආනුභාවයෙන් එලොවටත් එලොවට එහා ලොවත් එක්ක අන්තර් ලෝක සංවාදයක් සම්බන්ධීකරණය කරමින් ඉන්නවා. අය තනියම හිනා වෙනවා. දත් මිටි කනවා. හොටු පිහිනවා. නැගිටිනවා. ආපහු ඉඳ ගන්නවා. සීතලෙන් වගේ ගුලි වෙනවා. සසර දුක මේ තමයි කියල සජීවී නිදර්ශන සපයනවා.

ඔය අතරේ තමයි මට මතක් උනේ මහගම සේකර මහත්තයා. එතුමාගේ නොමියෙමි කවි පන්තියේ මෙන්න මෙහෙම කියනවා.

සුසානය නොවේ අවසන

තිඹිරි ගෙය නොවේ ඇරඹුම

මරණය

දිගු ගමනක

නවාතැන් පළක් පමණය

මම විශ්වාස කරන ධර්මයේ හැටියටත් ඒක එහෙම තමයි. අපි ජීවිතයට ආස කරන තාක්, තදින් අල්ලා ගන්නා තාක් ඒක අත හරින්නේ කොහොමද? හේතුව තියෙන තාක් කල් ඵලයකුත් තියෙනවාම තමයි. අඹ ගහකින් අඹ ගෙඩි මිසක් පොල් ගෙඩි ලැබෙන්නේ නෑ. වගේම අල්ලා ගත්තොත් අල්ලා ගැනීමම හැර වෙන යමක් ලැබෙන්නේ නෑ

මගේ ජීවිතේ ගත්තොත් මට වැඩිම කම්පනයක් ඇති කරේ අප්පච්චිගේ මරණය. මම වැඩියෙන්ම ආදරය කළේ සහ කරන්නේ අම්මාට උනත් අම්මාගේ මරණය මට එච්චර කම්පනයක් ඇති කරේ නෑ. අම්ම අසනීප වෙලා අවුරුදු දෙකක් විතර හිටියා. අම්මා දවසින් දවස අපෙන් ඈත් වෙන බව අපි දැක්කා. අන්තිමට අම්මාට අම්මාවම වාරු නැතුව ගියා. සිත මිස කය නැති තත්ත්වයට ආසන්න උනා. ඉතිං මරණය කියන්නේ අම්මාට සැපයක් බව අපි තේරුම් ගත්තා.

අප්පච්චිගේ මරණය උනේ එහෙම නෙවෙයි. හිටි අඩියේ. එක දවසක උදේ පපුවේ අමාරුවක් හැදුනා. සතියක් ඉස්පිරිතාලේ ඉඳල ඇවිල්ලා ඊළඟ සතියේ හොඳම විශේෂඥ වෛද් වරයෙකු ලවා පරීක්ෂා කරව ගත්තා. මම තුන් හතර පාරක් ඇහුවා ඩොක්ටර් ගෙන් බයිපාස් හරි වෙනිං ඔපරේෂන් එකක් හරි කරන්ඩ ඕනද ඕන නම් අපි කැමතියි ඉක්මනට කරන්ඩ කියල. ඔහුගේ උත්තරය උනේ එහෙම හදිස්සි වෙන්ඩ කිසි අවශ්යතාවයක් නෑ මාසෙකින් නැවත ටෙස්ට් ටිකක් කරලා තීරණය කරමු කියල. හැබැයි සතියක් ඇතුලත අප්පච්චිගේ හදවත නතර උනා. මම, අම්මා අපි ඔක්කොම ඉන්න තැන. විනාඩි පහක් වත් ගියේ නෑ පපුවේ කැක්කුම හැදිලා ජීවිතේ නැති වෙන්ඩ. කොටිම්ම අපිට තේරුනෙත් නෑ අප්පච්චි නැති උනා කියල. අපි එයාව ඉස්පිරිතාලේ එක්කගෙන ගියා. හැබැයි එතකොට පරක්කු වැඩියි.

අම්මා නැති උනේ ඊට අවුරුදු කීපෙකට පස්සේ. හැබැයි අදටත් හිතට වැඩි පුරාම දැනෙන්නේ අප්පච්චි නැතුව ගත කරපු සීතල,අමිහිරි, හුදෙකලා දවස් වල තිබ්බ වේදනාව. සමහර දවස් වල මම සාලේ පුටුවට වෙලා දවසම නිදා ගත්තා. නැගිටලා ඇඳට යන්ඩ වත් ඕන කමක් නෑ. අම්මා බත් උයලා කන්ඩ කතා කරාට කන්ඩ පිරියක් නෑ. අම්මා කුස්සියට වෙලා අඬනවා. මට අම්මාව සනසවන්ඩවත් නැගිටලා යන්ඩ හිතෙන්නේ නෑ. තරං සීතලයි. පාලුයි. හමන් හුළඟ පවා මතක් කරලා දෙන්නේ අප්පච්චිව. එයා කතා කරන විදිහ, ඇවිදින විදිහ, හිනා වෙන විදිහ, ඉඳ ගන්න විදිහ....මැරෙන්ඩ ඉස්සරලා දවසේ රෑ පවා ක්රිකට් මැච් බලමින් මාත් එක්ක හිනා වෙච්ච විදිහ....හැමදේම මැවි මැවී පේන්ඩ පටන් ගත්තා. මම අප්පච්චිගේ සොහොන ගාවට යන්ඩ පටන් ගත්තා. මගේ යාලුවන්ට වත් මගේ හිතේ තියෙන තනිකම තේරුම් ගන්ඩ, වේදනාවෙන් මිදෙන්ඩ උදව් වෙන්ඩ පුළුවන් කමක් තිබ්බේ නෑ. මං හිතුවා මගේ දුක අප්පච්චිටම කිව්වොත් අඩු වෙයි කියල. මම අප්පච්චිගේ සොහොන ගාව පැය ගානක් ගත කරන්ඩ පටන් ගත්තා. මට කියන්ඩ තිබ්බ කොච්චර දේවල් කියා ගන්ඩ එයාට වෙලාව නැති වෙන්ඩ ඇද්ද? මම එයාගේ බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට කරාද? නැත්තං ලොකු පුතා විදිහට එයා මං ගැන ආඩම්බර වෙනවද? ලැජ්ජා වෙනවද? එයාට ඉෂ්ට කර ගන්ඩ බැරිවෙච්ච බලාපොරොත්තු මොනවද?  ඔන්න ඔය වගේ අටෝ රාශියක් දේවල් මම හිතන්ඩ පටන් ගත්තා.

මහගම සේකර ගේ නොමියෙමි පොත මම කියෙව්වේ ඔය කාලේ.

 

....පුංචි සොහොන් කොතට

පුංචි සිනාවක් ඇති විය.

අපි නිකම් හිස් හුඹස්

ඇතුලත කිසි හරයක් නැති

මෙතන ඇත්තෙත්

උනුන් පරයා ඉහළ නගිනා

ජීවිතයේ තරඟයමය

ජීවත් වන අයගේ

ආසාවල ඇට කටු මිස

මියගිය අය කිසිවෙක් අප ඇතුළත නොවෙසෙති.

 

ඔන්න මට, මගේ හදවතට  තේරෙන භාෂාවක්... ඇත්තටම අප්පච්චි කොහෙද මේ මිනී වලේ. ඔහු දැන් වෙන භවයක. මම මෙතෙන්ට එන එකේ තේරුම මොකද්ද? මම සොහොනට යන එක නැවැත්තුවා.

අද හවසට බැසයන හිරු

හෙට උදයට යළි නැග එයි.

කැදලි කරා යන විහගෝ

රෑ සැතපී

හෙට උදයට යළි පිබිදෙති……

මිනිසා ධාන් මෙන් පැසී

ධාන් මෙන් යළි උපදී…..

දුක ටික ටික තුනී වෙනකොට මට තේරුනා මම දුක් උනේ අප්පච්චි ගැන හරි අප්පච්චිගේ බලාපොරොත්තු හරි වෙනුවෙන් නෙවෙයි මට රැකවරණයක් වෙච්ච කෙනෙක් නැති වෙච්ච හිංදා කියල....අප්පච්චි ගැන මගේ තිබ්බ බලාපොරොත්තු වෙනුවෙන් කියල.

මං කිව්වනේ ඊට අවුරුදු තුනකට පස්සේ අම්මා අසනීප උනා. වෙනකොට මම කසාද බැඳලා. අප්පච්චි නැති ජීවිතයක් ගැන අම්මට කවදාවත් හිතා ගන්ඩ බැරි උනා. අප්පච්චිගේ මරණයේ දුක මම මගේ අනාගතය වෙනුවෙන් තුනී කර ගනිද්දී, එහෙම තුනී කර ගන්ඩ මගේ බිරිඳ උදව් වෙද්දී, අම්මා අප්පච්චි නැති දුක හදවතටම තුරුල් කර ගත්තා. ජීවත් වෙන ආසාව, ජීවත් වීමේ උණුසුම් බලාපොරොත්තුව අත් ඇරියා. ඒකෙන් අම්මගේ මරණය ඉක්මන් උනා. හැබැයි මම වැඩියෙන්ම ආදරය කරපු අම්මා ගේ මරණය අප්පච්චිගේ මරණය තරම්ම මට කම්පනයක් ඇති කරේ නෑ.... මම අම්මාගෙන් තව දුරටත් රැකවරණය බලාපොරොත්තු නොවිච්ච හිංදා කියන එක මට තේරුනා. අම්මා ලෙඩ වීමත් එක්ක, මගේ විවාහයත් එක්ක අම්මාගේ රැකවරණය මට වැදගත් නොවන මට්ටමට පත් වෙලා... හින්දම මගේ හිත අම්මාගේ  මරණය ගැන තරම් කලබල වෙන්නේ නෑ...

මරණයේ දුක කියන්නේ මැරුණ කෙනාගෙන්මට ලැබෙන්ඩ තියෙන කොටස නැති වීම’ ගැන තියෙන බය මිසක් වෙන මොකවත් නෙවෙයි කියන එක මට තේරෙන්ඩ පටන් ගත්තා..... කොටස දේපොලක් වගේ අතට පයට අහුවෙන දෙයක් වෙන්ඩ පුළුවන්, ආදරය, රැකවරණය වගේ හිතට දැනෙන සිතුවිල්ලක් වෙන්ඩ පුළුවන් මොකක් උනත් එයාගෙන් මට හම්බ වෙන්ඩ තිබ්බ දේ වැඩි වෙන්ඩ වැඩි වෙන්ඩ දුක වැඩියි.

උපන්දා සිට

කවා පොවා ඇති දැඩි කොට

අත හැර ගිය

කැලි කසලක්....

මරණය කියන්නේ ඊට වඩා වෙන මොකක්ද? 

ඉතින් එහෙව් මරණයක් ගැන දුක් නොවී පුළු පුළුවන් හැටියෙන් සතුටු වෙන අපේ ගමේ මිනිස්සු වැරදිද? ඔවුන් විකෘතියි කියල මම මුලින්ම කිව්වේ රටේ ලෝකේ තියෙන සමාජ සම්මතය එක්ක ගලපපුවම. හැබැයි ඇත්ත එක්ක ගලපලා බලන කොට ඔවුන් හරි කියලයි මට හිතෙන්නෙ. එහෙම මට හිතෙන්නේ මමත් අපේ ගමේ මිනිහෙක් හිංදා වෙන්ඩ ඇති…. ඒ කියන්නේ මේ විකෘති මට ඇතිවෙන විකෘති කල්පනාවක්. එහෙම නං හරි විදිහ මොකද්ද? ඔන්න ඔබ තමුන්නැහෙලා එක්කහු වෙලා මට කියල දෙන්ඩ වටිනා දෙයක්. 

මරණී (රමණී)!

මම අද ඔබට කියමි.

මම නොමියෙමි.

යළි උපනිමි.

මට බෑ ඔබත් එක්ක

ජීවිතයෙන් පැනල යන්ඩ.

මම දැන් වඩා කැමති ජීවිතයට.

ඔබට වඩා එය සොඳුරුය.

බැලුව මැනවි.

මුළු විශ්වය ගීතයක් .

මම එහි එක් කොටසක් වෙමි.

කෑ ගහලා මේ බව

කියන්ඩ ඕනෑ මම මුළු ලෝකෙට......

 

ඔව් අපේ ගමේ මිනිස්සුත් එක්ක මමත් යනවා ජීවිතය බෙදා ගන්ඩ...දෙතිස් කුණපයෙන් සැදී ජීවිතය සුන්දරයි මරණයට වඩා...


7 comments:

  1. පුන් පෝදා හැන්දෑවේ
    හත පසුවී ගොඩ වූවේ
    බණට වෙලාවකුත් නොවේ
    පුදුමෙකි; මේ බණක් නොවේ!

    බණ නොවුණට මක් වෙනවද
    සංසාරේ මෙහෙම නේද
    හිත අහන්නෙ පුදුමෙකින්ද
    නෑ නෑ දෙමි සාදු නාද!

    ReplyDelete
    Replies
    1. කන්ද කපා හද පායන වෙලාවේ
      දුටිමි ඔබේ කවි පද සිත් මුලාවේ
      බණක් නෙවෙයි ජීවිතයයි ඉලව්වේ
      අකුරු කලේ මතකෙට ආ ඉසව්වේ

      Delete
  2. බෝ හොඳා බණ කියන්න
    //මට ලැබෙන්ඩ තියෙන කොටස නැති වීම
    වෙලාම බලන්න ඕනි බල්ලා මාර්ක් වැටෙන හැටි තේරුම් යන්න

    ReplyDelete
    Replies
    1. හොදම එකෙන් බල්ලා මාක් එක පාරක් නෙවෙයි තුන් පාරක් වැටුනා...ඒකෙන් තමයි තේරුනේ ජීවිතේ කියන්නෙ මහ බොරුවක් කියල...කොච්චර අස්ථිර දෙයක් ද මේ අල්ලගෙන විදවන්නෙ කියල....බණ කීමත් හොද ජීවනෝපායක් අද කාලෙ නේද...ස්තුතියි අදහසට...

      Delete
    2. //බණ කීමත් හොද ජීවනෝපායක්
      පිලි නොපැද කියන ඒ ජාතියේ බණ නං කාට කියන්න බැරිද බෝ.
      // ජීවිතේ කියන්නෙ මහ බොරුවක්
      එකඟ වෙන්න බැහැ රජෝ මේකට නං
      ඕකට පරණ සලෝකයක් තියේ ඒකේ තේරුම නං,
      සසර කියන විෂ ගහේ අමා ඵල දෙකක් තියනවා එකක් කලා රස වින්දනය අනෙක සත්පුරුෂ ආශ්‍රය කියල.

      Delete