අපේ ගෙදර සාලයේ අපි පොඩි කාලයේ තිබුනේ වේවැල්
පුටු කීපයකි. ඒවා අප්පච්චීට සල්ලි යහමින් තිබුනු ඈත කාළයකදී රදාවඩුන්නෙන් (මෙහි මුල් කතාවේ වේවැල් බඩු ගෙනාවේ වේවැල්දෙනියෙන් බව සඳහන් වීම වැරදි සහගත් බව පෙන්වා දුන් ප්‍රියන්තතුමාට නොවක් තුති!!) ගෙනා
මිල අධික පුටුය. එහෙත් අපේ ගෙදර කවමදාකවත් කිසිම දෙයක් පෙනුමට පමණක් තිබුනේ නැත.
ගෙදර අබ ඇටයක් තරම් හෝ දෙයක් තිබුනේ නම් ඒ පාවිච්චියටය. අප්පච්චීගේ නීතිය එයයි.
හරියටම කිව්වොත් ඒ නීතිය අප්පච්චීගේ නොවීය. ඒ අම්මාගේ නීතියකි. ම්හ්...මතකය කියන
විදිහට ඒ දෙන්නාටම එකිනෙකාට සුන්දර නෝක්කාඩුවක් නොකියා එකඟවිය හැකි යමක් තිබුනේ
නම් ඒ මේ නීතියය. හොඳම දේ නොව හැමදේම දරුවන්ටය!
ඉතින් ගෙදරට එන ඕන කෙනෙකුට ගෙදර මැද සාලයේ තිබුණු
වේවැල් පුටු සැටියේ ඉඳගැනීමට හැකිවිය. ඇත්තම කිව්වොත් වේවැල් පුටුවල් ඉඳ නොගත්තේ
නම් ඉඳගන්නට තිබුනේ බිමය. අපි පොඩි කාළයේ පුටුවලද බිමද යන්නෙහි ලොකු වෙනසක්
නොතිබුණෙන් ගෙදරට කවුරුන් හෝ පැමිණි විට අපි බිම ඉඳ ගැනීම මහ අරුමයක් නොවීය.
ඉතින් ඔහොම ටික කාළයක් යනවිට වේවැල් පුටු වලට
මකුණන් බෝවිය. මකුණන් යනු මහා කරදරකාරී සතෙකුබව නොදන්නේ මකුණු කරදරය ඉතා අවම අද
ඊයේ ඉපදුනෙකු විය යුතුය. අපි පොඩි කාළයේ පුටුවලද, මෙට්ට වලද, ඇඳන් වල දාරවලද බංකු
වලද, පිචැර් හෝල්වල පුටුවලද කොටින්ම මිනිස්සු ඉඳගන්නා, නිදා ගන්නා, හේත්තු වී
ඉන්නා ඕනෑම අටමගලයක මකුණන් වරදින්නේ නැත. ඉතින් අපේ ගෙදර් පුටුවල විතරක් මකුණන්
නොඉන්නට හේතුවක් නැත.