ලියන්ඩත් හිතක් පහළ වෙන්ඩ ඕන. ලියන්ඩ ජාති කොච්චරක් තිබ්බත් එව්ව ලියන්ඩ හිත එකළාසයක් කරගන්න එක ලේසි වැඩක් නෙවෙයි. එක්දාස් නවසිය හැත්තෑ ගණන් වල මැද බාගේ උපන්න අපි වගේ වාහෙලාට ගෙවන්ඩ වෙච්ච ජීවිත කාලෙ හරි පුදුම සිදුවීම් තොගේකින් පිරිලා තිබ්බා කියලයි මට හිතෙන්නේ. අපි ඉපදෙන කොට මහා පොලු යුගයක්! දේශීය කරුමාන්ත නග්ගවන්ඩ කියලා පිටරටින් ගෙන්නන භාණ්ඩ පොදු ජනතාවට තහනම් කරලා තිබ්බ යුගේක ඉපදිච්ච අපි, අපේ ළදරු අවදිය ගෙව්වෙ හුගක් අග හිගකම් මැද්දෙ. මට මගේ පුංචි කාලෙ මතක නොතිබ්බට අම්මලා අප්පච්චිලා කියපු කතාවලින් අහගත්තු දේවල් මං මීට ඉස්සරත් ලියලා තියෙනවා. ඊට පස්සෙ අපිට අවුරුදු 7-8 වෙනකොට පටන් ගත්ත යුද්දෙ නැවතුනේ අපේ පලවලේ සහෝදර සහෝදරියො දාස් ගාණක් බිල්ලට අරං. ඒ යුද්දෙ නැවතුනේ අපිට අවුරුදු 33-34 වෙනකොට. ඇයි ඊට කලින් අපේ හිරිමල් යව්වනයෙදි ඒ කියන්නෙ වයස 13-14 කාලෙදි දකුණෙ මහා භීෂණේ! ටයර් සෑයවල්, අතුරුදහන් වීම්, ගිනි තැබීම්, එකී නොකී මෙකී මහා විජ්ජුම්බර රාසියක්. ඊගාවට ආවෙ සුනාමිය. ඒ අපිට 28-29 වෙද්දි. කොහොමින් කොහොමින් හරි එව්ව මෙව්ව ඔක්කොගෙන්ම බේරිලා හිටියත් අපිට 43-44 වෙද්දි ආපු කොරෝනා වසංගතෙයි අපිට 46-47 වෙනකොට ආපු රට බංකොලොත්වීමයි මේ මහා විපරියාස දැක්ක පරම්පරාවට අත්දැකීම් එකතු කරා. තව අපි දැක්කෙ නැත්තෙ අපේ රටේ පරමාණු බෝම්බයක් පුපුරන එකයි නිළ වශයෙන්ම රට කාට හරි විදේශිකයෙකුට යටත් වෙන එකයි විතරයි හා බොරුද? ආය මොකටද නිළ වශයෙන් යටත් වෙන්නෙ දැං යටත්වෙලා තියෙන හරිය මදෑ කියලත් හිතෙනවා.
මේ ඉන්නෙ ෂෙන්-හෙ. ලංකාවෙ රජ්ජුරුවෝ චීනෙට ගෙනිච්ච නපුංසක සෙනෙවියා
ඔන මොන සංගදි දැක්කත්, දැං අපි මූණ දීලා තියෙන තත්වෙ
තරං අමාරු, භයානක තත්වයක්නං මීට කළින් අහලවත් නෑ තමයි. ඒ අපේ 45-46 වෙන ජීවිත කාලෙදි.
රටක් විදිහට ගත්තොත් මීට වඩා අමාරු කාල තියෙන්ඩ ඇති. අද කට්ටකාඩුවට ලියන්ඩ හිතුවෙ
අපේ රටට මූණ දෙන්ඩ වෙලා තිබ්බ එක එක අකරතැබ්බ ගැන. නිකම්ම ඔය අකරතැබ්බ ගැන ලිව්වට
කිසි ගතියක් නෑනෙ. ඉතිං එක එක සිද්දි වෙච්ච කාළ වකවානු අරගෙන එහෙට්ට මෙහෙට්ට පෙරළ
පෙරළා ඉන්නකොට මට තේරුනා පොඩි රටාවක් මතුවෙන බව. ඒ තමයි අවුරුදු දෙසීයකට විතර පාරක්
හරියට භූතයෙක් මතු උනාවගේ හරි නස්පැත්ති රාසියක් ලංකාවට කඩා පාත් වෙනවා කියන එක. තවත්
පැහැදිලි කරොත් අවුරුදු දෙසීයෙන් දෙසීයට දෑලෙ තියෙන අවුරුදු දහය එක්ක ගත්තොත් ඒ කියන්නෙ
ඔය ගණිත ශාස්ත්‍රඥයෝ ලියලා පෙන්නන විදිහට 200± 10 විදිහට
ගත්තොත් අපි මහා විපත්තියකට මුහුණ දීලා තියෙනවා හුගක් වෙලාවට.
ඔන්න මගේ මතය ඇති වෙච්ච හැටි ගැනයි දැන් කියන්ඩ යන්නෙ.
2020 ආය වෙනම
විච්චූරණ දාලා නොකිව්වට අපි දන්නවා හොඳටම උනේ මොකද්ද කියල. දැන් දෙසීයක් අඩු කරල බලමු.
1820 (1810-1830)
අපි ඉංගිරිසින්ට 1815 දි නිළ වශයෙන් මුළු රටම යටත්
වෙලා අවුරුදු පහයි. ඊට පස්සේ ඇති වෙච්ච වෙනස් කම් දරා ගන්ඩ බැරුව අපි කැරළි ගැහුවා
අවුරුදු තුනකින්. ඒ කියන්නෙ 1818 දි. අපේ තෙන්නකෝන් විමලානන්ද මහත්තයා ලියපු
උඩරට කැරැල්ල පොතේ ඒ කාලේ හිටපු ආණ්ඩුකාරයා වෙච්ච ලෙෆ්ටිනන්ට් ජෙනරල් සර් රොබට් බ්‍රවුන්
රිග් පනවපු රාජ ආඥාවක් ගැන තියෙනවා. ඒ කෙ විදිහට කැරැල්ල පටන් ගන්නෙ 1817 මාර් තු
මාසෙ. මේ ආඥාව නිකුත් කරන්නෙ 1818.11.21. ඒකෙන් ලංකාවෙ නිදහසට කියන මිනී පෙට්ටියට
අන්තිම ඇණෙත් ගහනවා. මෙන්න ඒ ආඥාවෙ නව වැනි වගන්තිය...
“අදිකාරම්වරුන්ද, දිසාවරුන්ද, අනිකුත් සියළුම නිළමවරුන් හා රාළලාද රාජකාර්‍ය කටයුතු කළයුතු වන්නේ කොමසාරිස් මණ්ඩලයේ හා බ්‍රිතාන්‍ය ඒජන්තවරුන්ගේ ආඥාවන්ට විනා අන් අයුරකින් නොවේ. ලියවිල්ලකින් ලත් පත්වීමක් පිට මිස කිසිවෙකු රාජ කාර්‍ය නොකළ යුතුය.” (උඩරට මහ කැරැල්ල- තෙන්නකෝන් විමලානන්ද)
මේ කියන්නෙ
මොකද්ද? නිළ වශයෙන් අපි 1815 යටත් උනාට සාම්ප්‍රදායිකව අපේ පැවතිච්ච පාලන ක්‍රමය
අඩු ගානෙ ගම්වල ක්‍රියාත්මක වෙන්ඩ ඇති. සන්නිවේදන පහසුකම් අඩු, ගමනාගමන පහසුකම් අඩු
ඒ කාලෙ සමහර ගං තියෙන්ඩ ඇති සිංහලේ රජ්ජුරුවෝ ඉන්නවාද නැද්ද කියලවත් නොදන්න. ඉතිං ඒ
නොනිළ නිදහසත් අපිට නැති උනා.
1620 (1610-1630)
ඔය කාලෙ අපේ උඩරට රාජධානිය තිබ්බ කාලෙ. රාජධානිය පිහිටවපු අපේ විමලධර් මසූරිය මහෝත්තමයා අභාවයට ගිහිං සෙනරත් රජතුමා රජවෙලා. පහතරට පළාත් පෘතුගීසින් යටතේ. සීතාවක රාජසිංහ රජ්ජුරුවොත් මිය ගිහිල්ලා අවුරුදු විස්සක් විතර! ඒ කියන්නෙ ආය පෘතුගීසිකාරයන්ගෙන් ගේම ඉල්ලනවා නං ඉල්ලන්ඩ ඉන්නෙ උඩරට රජ්ජුරුවෝ විතරයි. එහෙව් රජ්ජුරුවෝ සිවුරු ඇරලා සිංහාසනේට ඇවිත් කුසුමාසන දේවිය හෙමත් කසාද බැඳලා ඉන්න කාලෙ මේ. තාම අපිට නැඟෙනහිර පලාතේ ප්‍රධාන වරායවල් දෙකක් - ත්‍රීකුණාමලය හා මඩකලපුව- අයිතියි. ඔන්න ඉතිං 1617 රජ්ජුරුවෝ පෘතුගීසින් එක්ක සාම ගිවිසුමක් එහෙමත් අස්සන් කරනවා. හැබැයි පෘතුගීසි කාරයෝ 1623 ත්‍රීකුණාමලයත් 1628 දි මඩකලපුවත් අල්ලගන්නවා. දැන් අපිට තිබ්බ විදේශ වෙළදාම නිදහසේ කරගන්ඩ ඉඩ නැති වෙනවා.
ඊගාවට කුන්ස්තන්තීනුද සා යටතේ 1629 දි මහනුවර නගරයට
දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා. නගරය සුන්නද්දූලි කරලා ගිනිබත් කරපු බවයි පෘතුගීසි වාර්
තා කියන්නේ. ඊට ඉස්සර ලංකාවෙ ඉඳලා ගිය අසවේදු මේ වෙනකොට ලොකු තානාන්තරේක ඉඳන් උඩරට ආක්‍රමණයට උදවු දුන්න බවට සාක්කි තියෙනවා. ඒ කියන්නෙ අපිට ඉතිහාසෙ අමතක උනාට අනිත් මිනිස්සුන්ට මතක තියෙනවා කියන එක. උං මතක තියාගෙන ඉන්නවා විතරක් නෙවෙයි හම්බ වෙච්ච හැම වෙලාවෙම අපිට ගේම දෙනවා. තාර බර ඇරලා මේ දේවල් සැලකිල්ලට ගත්තත් මේ කාලෙ මහ විනාසයක් වෙච්ච බවත් රටේ නිදහස
විවිධාකාරයෙන් නැතිවෙමින් තිබ්බ බවත් අමුතුවෙන් කියන්ඩ ඕන නෑ නෙ.
1420 (1410-1430)
ඔය කියන්නෙ කෝට්ටේ රාජධානියේ අපේ හයවෙනි පරාක්‍රමභාහු
රජ්ජුරුවෝ රජ වෙච්ච අල්ල පනල්ලෙ. උන්නාන්සෙ රජ වෙන්නෙ 1415 කියල කියනවනෙ. උන්නාන්සෙ
රජ කමට එන්නෙ කොහොමද කියන එකයි මං මේ කියන්ඩ යන්නෙ.
නපුංසක චීන සෙනෙවියෙක් හිටියා ෂෙන්-හෙ (Zheng He) කියලා. උන්දැ ලංකාවට
ආවා 1411 දි. ඇවිල්ලා නිකං හිටියේ නෑ. ඒ වෙනකොට රයිගම රජවෙලා හිටපු එහෙම නැත්තං ප්‍රධානියෙක්
වෙලා හිටියත් නමට විතරක් ලංකාවෙ නියම රජ්ජුරුවෝ නොවිච්ච වීර අලකේශ්වරව (අලගක්කෝනාර
කියන්නෙත් එයාටම තමයි) අල්ලගෙන චීනෙට ගෙනිච්ච හිංදා. චීනා එදා ඒක සාධාරණීකරණය කරේ ‘තමන්ගේ අසල්වැසි රටවලට
සතුරු ලෙස ක්‍රියා කරන අතර, ඔවුන්ගේ තානාපතිවරුන්ට බාධා පමුණුවමින්, භාණ්ඩ සොරකම්
කිරීමත් මේ ලංකාවෙ රජ්ජුරුවෝ කරපු හිංදා කියල. හැබැයි බළලා ඒ වෙනකොටත් මල්ලෙන් එළියට
පැනලයි තිබ්බේ. ඔය ෂෙන්-හෙ ඔයිට ඉස්සරත් ලංකාවට දෙතුන් පාරක් ඇවිල්ලා තිබ්බා. 1409
එහෙම ආපු වෙලාවක එයා ගාල්ලෙ සෙල් ලිපියක් පිහිට වෙව්වා. මේක භාෂා තුනකින් කොටවලා තියෙන
බවත් ඒ ලිපිය චීනෙ ඉඳලම අරගෙන ඇවිල්ලා මෙහෙ පිහිටවපු එකක් කියල මතයක් තියෙන බවත් කියන්ඩම
ඕන. ඒ ලිපියෙ මෙන්න මෙහෙම කියවෙනවාලු...එසේම අප අපගේ අධිරාජ්‍යයේ සැලසුමට අනුව සාමකාමී
රාජ්‍ය පාලනයක් ගෙන යාමට අවශ්‍ය පසුබිමක් සැකසීම සඳහා...මේ ශිලා ලිපිය පිහිටුවන බව!!
ඒ කියන්නෙ වටේ පිටේ රටවල් වලට සතුරුකම් කරපු හිංදා නෙවෙයි අලගක්කෝනාරව අල්ලගෙන යන්නෙ!!
ඉතිං ඊට පස්සෙ ඇතිවෙන අරාජික කාලයෙදි තමයි හයවෙනි
පරාක්‍රමභාහු රජ වෙන්නෙ. ඒ උනාට එතුමාත් රජ වෙච්ච ගමන් 1416 දිත් ඊට ටික කාලෙකට පස්සෙ
1421 දිත් චීන රාජ සභාවට පඬුරු පාක්කුඩම් යවලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි 1433, 1436,
1445 අවුරුදුවලත් අපි එහාට පඬුරු යැව්වා!!
ඔය කාලෙට ළඟවි ලියවෙච්ච සද්ධර් මරත්නාකරය නං කියන්නෙ
‘පෙර කරපු කරුමෙකින් චීන මායමට අහුවෙලා’ අලකේෂ්වර විනාශ වෙච්ච බව
1220 (1210-1230)
“ලංකාවාසීන්ගේ කිසියම් ධර් මයක් නැති හෙයින් අහේතු
කොට පව් පලදෙන හෙයින් ලකට අරක්ගත් දෙවියන්ගෙන් කිසි අපේක්ෂාවක් නැති හෙයින් අධර් මකම්
පහළ වන්නේය. කළිඟු රජ විසි දහසක් මල්ලව සෙනඟ ගෙන ලක්දිවට ගොඩ බැස කඳයුරු බැඳ පොළොන්නරු
නුවර ගෙන පඬි රජු (මේ කියන්නෙ ඒ කාලෙ ලංකාවෙ රජ වෙලා හිටපු පරාක්‍රම පාණ්ඩ්‍ය කියන
රජ්ජුරුවෝ) අල්ලා ඇස් උදුරා ලෝක ශාසනය නසා රුවන්වැලි දාගොබ බිඳුවා සෙසු දාගොප් බිඳුවා......ජාති
භේද කරවා කුලදරුවන් දිළිඳු කරවාසිරිලක මිථ්‍යාදෘෂ්ටි කරවා සිල්වත් අය අල්වා ධන විකාරයට
පමුණුවා ගම ගම දෙමළුන් ඉඳුවා.... (රාජාවලිය, ඒ.වී. සුරවීර සංස්කරණය)
දැං බලමු මහාවංශය මොකද්ද මේ කාලෙ ගැන කියන්නෙ කියල.
"...ඉක්බිත්තෙන් ලංකාවාසී වූ ජනයන්ගේ රෞද්‍ර වූ අතිශයින්
උත්සන්න වූ යම්කිසි පාපකර් මයක් කරණකොට ගෙන එකල ලංකා රක්ෂණයෙහි නියුක්ත වූ දේවතාවන්
ඒ ඒ තන්හි ආරක්ෂා විධානය කරන්ට උපේක්ෂා කරන කල්හි..."
"..මාඝ නරේන්ද්‍ර නැමති මහා ග්‍රීස්මය තෙම ලංකා රාජ්‍යය
නැමති මහ වනය පෙළන්ට බොහෝ යෝධ නැමති ලැව් ගිනි මෙහෙයීය...ඉක්බිති ලෝකයාට පීඩා කරන්නාවූ
උහුගේ කෲර වූ මහා යෝධයෝ “අපි කේරළ යෝධයම්හ” යි උන්නාද කෙරෙමින් තැනින් තැන මිනිසුන්ගෙ
වස්ත්‍රාභරණාදිය පැහැර ගත් හ. බොහෝ කල් පාලනය
කරන ලද්දා වූ කුලාචාරය කඩ කළහ. හස්ත පාදාදිය කැපූහ. බොහෝ ගෙවල් බිඳපූහ. ගව මහිෂාදීන්
තමන් අයත් කොට බැඳපූහ. මහා ධනවත් ආඪ්‍ය ජනයන් බැඳ වධ කොට සියළු බොහෝ වූ චෛත්‍යයන්
වැනසූහ...දරුවන් තැළූහ...ජනයා ලවා බර ඉසිලවූහ.....ඔවුන් ප්‍රසිද්ධ ප්‍රශස්ත වූ බොහෝ
පොත් ලනුවෙන් මුදා ඒ ඒ තැන විසුරවූහ."
දන්නවද මේ කියන මහා විනාශයක් කරපු මාඝ එහෙම නැත්තං
කාලිංග මාඝ ලංකාවට එන්නෙ කීයෙදිද කියල? ඒ 1213 දි. කොච්චරද කියනවා නං අපිට පොළොන්නරුව
අත ඇරලා නිරිතදිගට පහු බහින්ඩ උනා සදාකාලෙටම!! මාඝ හුගක් කල් ඒ කියන්නෙ අවුරුදු
21-22 විතර ලංකාව පාලනය කරා.
1420 දි චීන ජාතික නපුංසක සෙනෙවියක්ගෙන් කන්ඩ නියමිත
අපි, මෙදා ඒ කියන්නෙ ඊට අවුරුදු දෙසීයකට කලින් කෑවෙ ඉන්දියාවෙන් ආපු නොසන්ඩාලයෙක්ගෙන්!!
1020 (1210-1230)
පස්වෙනි මිහිඳු කියන රජ්ජුරුවෝ (සාමාන්‍යයෙන් ඔය
නම තියෙන රජවරුන්ට මොකද්දෝ අපලයක් තියෙනවා. ඒක ගැන අපි පස්සෙ කතා කරමු) තමයි අවුරුදු
1200 විතර පැවතිච්ච අනුරාධපුර රාජධානියේ අන්තිම රජ්ජුරුවෝ. උන්නාන්සේ ඉන්දියාවෙන් ආපු
සොළීන් විසින් අල්ලගෙන යන්නෙ 1017 දි. ඊට පස්සෙ මහා විජයබාහු රජ්ජුරුවෝ සිංහල රට
1070 දි විතර බේර ගන්නකල් ම අපේ රට පාළනය කලේ සොළීන්. ඒ කියන්නෙ අවුරුදු 60 විතර.
ඔය මහින්ද රජ්ජුරුවෝ අල්ලගෙන ගියේ 1017 උනාට ඊට ඉස්සර අවුරුදු 10-15 විතරම උන්නාන්සේ
හිටියේ රුහුණේ පොඩි ප්‍රදේශයකට කොටු වෙලා. ඉතින් අපේ එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ
එහෙම සලකන්නේ 1010 න් පස්වෙනි මහින්ද රජ්ජුරුවන්ගේ පාලන කාලය ඉවරයි කියල. ෂෙන්-හෙ,
අලකේෂ්වරව අල්ල්ගෙන යද්දිත් ලංකාවෙ මොකෙක් හරි රජෙක් හිටියා. හැබැයි 1815 ශ්‍රී වික්‍රම
රාජසිංහ රජ්ජුරුවොයි, 1017 පස්වෙනි මිහිඳු රජ්ජුරුවොයි රටෙන් අල්ලගෙන යනකොට අපේ සිංහාසනේ
හිස්!! ඒ කියන්නෙ අපි සම්පූර් ණයෙන්ම අරාජිකයි. පරාජිතයි. ලොසේ ලොස්!!
820 (810-830)
816 දි නමවෙනි අග්ගබෝධි රජ්ජුරුවෝ රජවෙනවා. ඒ රජ්ජුරුවෝ
රජවෙන්නෙ ටිකක් හදිස්සියේ. ඒකට හේතුව අභ්‍යන්තර බල අරගලයක් වෙන්ඩ පුලුවන්. හැබැයි
මහාවංශෙ කොළ ටිකක් විනාශ වෙලා හිංදා මේ කාලෙ වෙච්ච දේ ගැන තොරතුරු අඩුයි. ඒත් පරණවිතාන
මහත්තයා හිතනවා මේ කාලෙ ලංකාවට ද්‍රවිඩ ආක්‍රමණයක් එල්ල උනාය කියල. ඒ කොහොම උනත්
819 දි පළමුවෙනි සේන රජ වෙනවා. උන්නාන්සේ අවුරුදු විස්සක් රජ කරනවා. ඔය කාලෙදි පාණ්ඩ්‍ය
රජෙක් වෙන ශ්‍රී මාර ශ්‍රී වල්ලභ ලංකාව ආක්‍රමණය කරනවා. මොකක් හරි ‘මණ්ඩලේ කචල්’
එකක් හිංදා ලංකාවෙ හමුදාවල් මේ වෙනකොට බේද භින්න වෙලයි හිටියේ. ඒ මදිවට ඒ වෙනකොටත්
ලංකාවෙ හිටපු ඉන්දියන් ජාතිකයෝ (මං මෙහෙම කියන්නෙ තේරුම් ගන්ඩ පහසු වෙන්ඩ. නැතුව ඒ
වෙනකොට ඉන්දියාව කියල රටක් නෑ හොඳේ...හරි හරි කාගෙ හරි හිත රිදෙනවනං අනාගතයේ ඉංදියාව
කියල හඳුන්වන රටෙන් ළගකදි ලංකාවට සංක්‍රමණය වෙච්ච අය කියල හිතමුකෝ) සෙට් එකත් ශ්‍රී
මාර ශ්‍රී වල්ලභට සපෝට් කරනවා. සේන රජ්ජුරුවන්ගෙ ඩෙපියුටි විදිහට හිටියේ (ඒ කාලෙ
උප නායක, නියෝජ්‍ය නායක වගේ කුණුහරුප පදවි තිබ්බෙ නෑ. තිබ්බෙ එකයි. ඒ තමයි යුව රාජ)
මහින්ද කියල කුමාරයෙක්. දැන් ඉතිං එයා ඊට ඉස්සරලා රජ වෙලා හිටියද කියල මගෙන් අහන්ඩ
එපා. එහෙම කුප්පදු සිරිත් ඒ කාලෙ තිබ්බෙ නෑ. රජ කමෙන් ගියා නං ගියා. ආය යුව රාජ වෙලා
චාටර් වෙන්ඩ ආවෙ නෑ!! මේ මහින්ද මොකද කරේ, පිට උං අතිං මැරෙනවට වඩා මමම මැරෙනවා කියල
සතුරන්ට අහුවෙන්ඩ ඔන්න මෙන්න කියල තියෙද්දි සිංහල සේනාව පලාගිය බව දැකලා බෙල්ල කපාගෙන
මැරුනා!! (ඉතිහාසෙ හරියට දැන ගත්තනං එදා ගෝල් ෆේස් වලියට මහින්දගේ කට්ටිය සෙට්
නොවී ඉන්ඩ තිබ්බා). යුද්දෙට නායකත්වය දෙන්ඩ කෙනෙක් හිටියෙ නැති හිංද සේනාව ඔහේ සටන්
කලා.
“ලක්දිව සේනා තොමෝ හිමියන් නැති බැවින් උත්සාහ රහිතව
යුද කරන්නී බිඳී ඒ ඒ දිග පලා ගියා” (මහාවංශය)
පඬි රජ්ජුරුවෝ රට කොල්ල කෑවා නහුතෙටම!!
“ඒ ඒ වෙහෙරවල රන් පිළිමද යන සියල්ල ගෙන හෙතෙම ලක්දිව
නිසරු කෙළේය. සිතකළු වූ පුරය යකුන් අනුභව කළ අයුරු කොට හැරියේය” (මහාවංශය).
පස්සෙ සේන රජ්ජුරුවෝ පාණ්ඩ්‍ය රජ්ජුරුවෝ ගාවට පඬුරු
පාක්කුඩම් යවලා භය පක්ෂපාත්බව දක්වලා
620 (610-630)
ඔය කාලෙ ඒ කියන්නෙ 622 දි රජ උනා අසිග්ගාහක සංඝතිස්ස
කියන රජ්ජුරුවෝ. මෙයා රජ උනාට ඒ වෙනකොට රුහුණේ හිටපු මුගලන් කුමාරයා විරුද්ධ උනා.
ඉතින් මුගලන් ඇවිත් නිකවැරටිය හරියේ කඳවුරු බැද ගත්තා. ඔහොම සටන් කීපයක් තිබ්බා. දවසක්
රජ්ජුරුවෝ තමුන්ගේ සෙනෙවියාට කියපුවම සටනට යන්ඩ කියල අනේ රජතුමනි මට ටිකක් සනීප මදි
කියල පොර නිදා ගත්තා (මරු හමුදා නායකයෝ නේද?). මේ වෙනකොට රජ්ජුරුවන්ට හතේ හත වැදිලා
හිටියේ. සේනාව තියා රජ මාළිගේ උයන්ඩවත් ඉන්නෙ නැතුව ඔක්කොමලා රජ්ජුරුවෝ අතරමං කරලා
ගිහිං. කොටිම්ම රජ්ජුරුවන්ට කෑම ගෙනාවෙත් හාමුදුරුවරුන්ට දානෙ බෙදපු මහාපාලි දාන ශාලාවෙන්
කියලයි කියවෙන්නෙ.
මේ කතාවෙන් නොකියා කියන්නෙ මොකද්ද? මුගලන් ගේ අභියෝගය
පැත්තක තිබ්බත් රජ්ජුරුවෝ හෙනට නා ගෙන අනාගෙන හිටපු බව. ඒ කියන්නෙ අවුරුදු දෙසීයකට
වතාවක් දෙවෙනි දශකයේ දෑලෙ ඉන්න රජවරු/ නායකයෝ නා ගෙන අනාගෙන හත් පතේ ගා ගන්න ජාතික
පුරුද්දක් අපිට තිබ්බ/ තියෙන බවද?
ඒ කොහොම උනත් දන් හලෙන් බත් කාලා රජ්ජුරුවෝ තනිවම
සේනාවත් (ඔය කිව්වට තමුන්ගෙ හෙංචයියො ටිකක් වෙන්ඩ ඕන) අරං යුද්දෙට ගියා. අර අසනීපයි
කියපු සෙනෙවියා හමුදාව අරං ඇවිත් පිටිපස්සෙන් ඇරියා ගහන්ඩ පටං ගත්තා. මුගලන්
ඉස්සරහින්. සෙනෙවියා පස්සෙන්!!
රජ්ජුරුවෝ පළා ගිහිං පැවිදි වේශයක් අරගෙන රුහුණට
පලා යන්ඩ හැදුවා. එතකොට මින්නේරියේදි මුගලන් ගේ හමුදාවට රජ්ජුරුවොයි, පුතයි දෙන්නම
අහු උනා. ඒ දෙන්නම සීගිරියෙදි හිස ගසා මරා දැම්මා. තව පොඩි පුතෙක් හිටියා රජ්ජුරුවන්ට.
මුගලන් රජ්ජුරුවෝ අණ කලා ඒ පුතාගෙත් අත් පා කපන්ඩ කියල. අනේ දකුණු අත කපපුවම කැවුම්
කන්නෙ කොහොමද කියල ඒ පොඩි කුමාරයා අඬපු බව මහාවංශයේම සඳහන්. ඒ කියන්නෙ නොතේරෙන වයසේ
හිටපු ළදරු කුමාරයෙක් වෙන්ඩ ඕන. එහෙවු කුමාරයෙක් ගෙනුත් පළිගන්ඩ තරම් මුගලන්ට තරහක්
ආවෙ කොහොමද කියන එක වෙනම හිතන්ඩ ඕන දෙයක්. අනික් පැත්තෙන් මුගලන්ට යම් සහතිකයක් තියෙන්ඩ
ඇති ඒ තරම් දරුණු වැඩක් කලත් මිනිස්සුන්ගෙ අප්‍රසාදයට තමන් ලක් වෙන්නෙ නෑ කියල. ඒ
කියන්නෙ මිනිස්සුත් හිතන්ඩ ඇති අරූගෙන් විතරක් නෙවෙයි උගෙ ළමයින්ගෙනුත් පළිගන්ඩ ඕන
කියල. ඒකෙ හරි වැරැද්ද මොකක් උනත් මහජන කෝපය කියන එකට අහු උනාම වයස් බේදයක් පේන්නෙ
නෑ කියල පාලකයෝ මතක තියාගන්ඩ ඕන කියන එකයි මෙතන පාඩම.
420 (410-430)
මේ කාලෙ හිටියේ මහානාම රජ්ජුරුවෝ. උන්නාන්සෙගෙ කාලෙ
තමයි බුද්ධඝෝෂ හාමුදුරුවොත් ෆාහියන් හාමුදුරුවොත් ලංකාවට ආවෙ. එහෙමට ලොකු අකරතැබ්බයක්
උනා කියල පේන්නෙ නෑ. හැබැයි මෙතුමාට රජකමට එන්ඩ සිද්ද උනේ ඊට කලින් හිටපු උප්තිස්ස
රජ්ජුරුවන්ගෙ දේවිය වෙන කුමාරයෙක් එක්ක සෙට් වෙලා ඒ කුමාරයාට රජකම අරන් දෙන්ඩ වයසක
රජ්ජුරුවන්ව මරපු හිංදා!! ඒ වෙනකොට මහණ වෙලා හිටපු මහානාම රජ්ජුරුවෝ සිවුරු ඇරලා රජකමට
එන්නේ මේ අලකලංචිය හිංදා. නොහිතපු අය රජ වෙන එකත් මේ කාලෙ වෙන්ඩ පුලුවන් දෙයක්!!
220 (210-230)
මේ කාලෙ හිටියේ වෝහාරිකතිස්ස රජ්ජුරුවෝ. එතුමා බොහොම
නීති ගරුක රජ කෙනෙක් හැටියට ප්‍රසිද්ධයි. ඒ උනාට වෛතුල්‍යවාදය වගේ වෙනත් ආගම් විනාශ
කරන්ඩ ඔහු කටයුතු කලා. ඒ කාලේ විදිහට ඒ වැඩේ හරි කියල හිතන්ඩ ඉඩ තිබ්බත් අද නං ආගමික
නිදහසට බාධා පැමිණවීම නරක දෙයක් විදිහටයි හිතන්නෙ!! මේ රජ්ජුරුවෝ ලෝකෙට නීතිය දෙසුවට
තම්න්ගේ නෝනා මහත්තයා අනියම් සම්බන්ධතාවෙක පැටලීම වලක්වා ගන්ඩ එයාට් බැරි උනා. ඒක
හිංදා අපි සලකන කාලෙන් පස්සෙ අවුල් වියවුල් ගානක් ඇති උනා.
තව හෙව්වොත් ලිපිය තවත් දිග වැඩි වෙනවා. අපි මෙහෙම
අබග්ග වලට මුහුණ දුන්නට ආයෙත් නැගිටිනවා!!
ඒක සත්තයි! ඇස් දෙක පල්ලා!! ඔව් අපි නැගිටිනවා!!!!!
ඒ හිංදා මේ අමාරු මොහොතේ අපි රට ගැන විශ්වාසෙ තියමු!!
අපේ යුතුකම රට වෙනුවෙන් ඉටු කරමු!!
ආයු බෝ වේවා!!
//ලියන්ඩ ජාති කොච්චරක් තිබ්බත් එව්ව ලියන්ඩ හිත එකළාසයක් කරගන්න එක ලේසි වැඩක් නෙවෙයි// ඒකනම් ඇත්ත.
ReplyDeleteආයු බෝ වේවා...👌🙏
ආයුබෝ වේවා!! ආයු බෝ වේවා!! එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා!!!
Deleteහප්පච්චියේ මං හිතන් හිටියේ මේ ලියන මහප්‍රාණ නිසා ඔයැයි මගේ තාත්තගේ වයසේ කෙනෙක් කියල.🤣😝දැන් නෙ දන්නෙ කට්ටා කියන්නේ මට කටපුරා අයියේ කියන්න පුලුවන් කෙනෙක් කියල.
ReplyDeleteලස්සන ඉස්තිරියාවක් කටපුරා අයියේ කියල කියන එක නරක නෑ!! ඉතිං කොහොමද ජීවිතේ? ඔබතුමීගෙ කවි ඉඩ ලැබිච්ච වෙලාවට කියවනවා. බොහොම පින් !!!
Deleteමම ඊට ඉස්සෙල්ල දශකයේ. පාන් පෝලිමට යනකොට වයස 10 ක් විතර.
ReplyDeleteඅපි සෙට් උනේ පෝලිමේ ඉඳන් පාන් කන, සතියට සීමාසහිත දින ගානක් බත් කන, සිංහරාජෙ තුනී ලෑලි වලට කපන, කිරිපිටි ඇතුලු බොහෝ දේ කළුකඩේට සීමා වෙච්ච, දුප්පත්කම තුරුළු කරගත්තු සමාජයක. ඔබ දුප්පතෙක් විදිහට ඉපදීම ඔබේ ප්‍රශ්නයක් නොවනමුත් දුප්පතෙක් ලෙස මියයෑම ඔබේ ප්‍රශ්නයක් කියන පිරුළට අනුව අපි සමාජයක් විදිහට වරදකාරී නේද?
Deleteඅපේ පිනක් පහලවෙලා වෙන්ටැති ලියන්න හිතක් පහලවුනේ. එවැනි හිත් වැඩි වැඩියෙන් පහලවේවා.
ReplyDeleteස්තූතියි චමින්දතුමා ඔබතුමාගෙ දිරිගැන්වීම් වලට. බලමු ලියන්ඩ පුළුවන් තරමක්....
Deleteහැත්තෑව දශකයේ අග බාගේ කෙනෙක් හැටියට අර පූර්විකාව මටත් අදාළයි. අපි මෙහෙම ඉන්නවා පුදුමයි නේද වෙච්ච දේවල් වල හැටියට!
ReplyDeleteමේ ලියවිල්ල වෙනුවෙන් කරුණු හොයන්න සෑහෙන්න මහන්සි වෙච්ච එක අගය කරන්න ඕන ලොකු මල්ලි. කාලෙකින් ලීව එකත් කොච්චර දෙයක්ද? තව තව ලියමු!
ස්තූතියි ඔබට....අපි ලංකාවට ආපහු 'Hot Chocolate Days' උදා කරලම තමයි සමුදෙන්ඩ ඕන....සමහරවිට ඒකට ඕන පන්නරය වෙන්ඩ ඇති අර සිද්ධි අපිට දුන්නෙ!!!
Delete2120 විතර හරියයි.
ReplyDeleteඉතිහාසෙන් පාඩම් ඉගෙන ගත්තොත් ස්ථානෝචිත ප්‍රඥාව රටක් විදිහට පාවිච්චි කලොත් අපි ඉක්මනට නැගිටීවි.
Deleteකවිය හද බසය කියලා කිව්වාට
ReplyDeleteහරිම අසීරුය ඒවා ලියන්නට
ඉබේ ලියවෙනව සමහර වෙලාවට
එහෙම වුණේ නැහැ මෙවෙලේ 'නිදි'යාට
කියෙව්වාම පුදුමය ඔබෙ පෝස්ටුව
කළඹා තියෙන ඉතිහාසේ අපූරුව
දෙසීයේ අපලෙ නොව මේ අපේ පව
බකං නිලන්, කොන්ද නවන් සිටිමු තව
නිවට ජාතියක් නොව, අපි නිවට නැත
නිවටුන් කරනවා අප- පාලක හැත්ත
එලවා දමන්නට මේ නාකින් රොත්ත
හැකි වේවා හනික, ඒකෙත් ජය නියත!
කවියෙක් නොවෙමි කවි බස මට ඇත පැටලී
Deleteනැත
දෙවියෙක් නොවෙමි ඉදිරිය මට අපැහැදිලී
දුහුනෙක් නොවෙමි ඔබ කී දෙය ගනිමි පිලී
දුටුවෙමි කීමි ඉතිහාසයෙ ඇට සැකිලී
කවියෙක් නොවෙන මුත් - මත් ගණනත් හරිය
Deleteවිරිතත් නොබිඳේය - මට පෙනෙනා හැටිය
එළි සමයත් නියම ලෙස ගලපා ඇතිය
මල්ලියෙ ලියාපං, හැකි හැම විට කවිය!
Bohoma sthuthiyi wadagath e wagema rasawath ithihasa katha ekathuwata!
ReplyDeleteSthuthiyi Saraththumaa!!
DeleteMAKKEYI UNE MALLIYOO
ReplyDeleteඉස්කෝලෙ සමාජ අධ්‍යයනය ඉගෙන ගන්නකොට මේ ඉතිහාසය නිකම් ඔහේ ඉගෙනගන්න සලස්වන්න නැතුව, මේ වගේ හොඳට structure කරලා, emerging themes/patterns එක්ක ඉගැන්නුවා නම් කොච්චර හොඳද කියලා හිතුනා. තව කොටසක් දාන්න සලකා බලන්න.
ReplyDelete'ඒකෙ හරි වැරැද්ද මොකක් උනත් මහජන කෝපය කියන එකට අහු උනාම වයස් බේදයක් පේන්නෙ නෑ කියල පාලකයෝ මතක තියාගන්ඩ ඕන කියන එකයි මෙතන පාඩම'. ඔව්, නමුත් ලමයි (පොඩි බබාලා) off limits කියන එකයි ශිෂ්ට සමාජයේ පිලිගැනීම. ලමයි ඒ පවුල්වල ඉල්ලලා ඉපදුනේ නෑනෙ.
හැත්තෑවේ දශකයේ මුල හිටි කෙනෙක් හැටියට , හිටිය පැත්ත හොඳ නිසා කෑම බීම අඩුපාඩුවක් තිබ්බේ නැහැ, මට මතකයි අපට හම්බ වෙන පාන් සලාකේ (පාන් රාත්තල් දෙකක්ද තුනක්ද) ගෙනිහින් දෙනවා විදුහල්පති ගෙදරට. මට මෑන් ව පෙන්නන්න බෑ හැබැයි. පහල පන්තියක ඩෙස්ක් උඩ නැග්ග කියල ගැහුවා ඕකා එක දවසක්. හේ හේ
ReplyDeleteමේ සිදුවීම් සියල්ල වගේ හැබෑටම දන්නවනේ 620 එක ඇරෙන්න. කට්ටෙයි මායි එකම ඉතිහාස පත්ම කියවන්න ඇත්තේ. ලංකාවටම බලපාන කර්මයක්. (මම කාර්ම පල විශවාස කරන එකෙක් නම් නෙවෙයි.
ReplyDeleteලොකුමල්ලි ලියල තියෙන දේ බලපුවම එදයි අදයි කියල වෙනසක් නැහැ කියලයි හිතෙන්න්නේ.ඒ කාලේ ඉදන්ම ජාති,ආගම් කුල ගැටුම් නිසා රට ගිනි අරන් තිබිල තියෙන්නේ දැනුත් වෙන්නේ ඒ ටිකම නේද?ඊලග දෙසියේදී රටක් ඉතුරුවෙයිද ?වෙන රටක ප්‍රාන්තයක් වෙයිද?
ReplyDeleteදසනායක
ලොකු මල්ලි මහත්තය කාලෙකින් ලිව්වෙ නැති හින්ද මේ පැත්තෙ ඇවිත් බැලුවෙ නෑ, පස්සෙ දැක්කෙ...කතාව ඇත්ත..කාලෙන් කාලෙට කරදර වෙනව..කොහොම වෙතත් මහා විජයබාහු කෙනෙක් පරාක්‍රමබාහු කෙනක් නැත්නම් අඩුම ගානෙ මානවම්ම කෙනෙක් හරි පහල වෙලා මේ හරක් රැල දක්කනව..
ReplyDelete