මම ලඟදි දවසක පොඩි වැඩ වගේකට මිහින්තලේ ගියාම දවල්ට කන්ඩ වෙලාව එළඹුනා. මගේ මිතුරෙක් මාව එක්ක ගියා හරි අපූරු තැනකට. (ඒ තැන ගැන මම ලඟකදී බ්ලොග් අඩවියකත් කියවලා තිබුණු බව මතක නමුත් ඒ කොයි බ්ලොග් එකේද කියලා හොයා ගන්ඩ බැරි උනා).
එතැන තමයි ඔරිජිනල් නෙලුම් කොළේ කියන කෑම කඩේ. රඹෑව ටවුන් එක ළඟ තියෙන්නේ. ඉතාම සුන්දර අත්දැකීමක් එහෙම ව්‍යවසායකයෙක් දකින්ඩ ලැබීම. ඊට අමතරව තව වැදගත් දෙයක් උනේ ඒ කෑම කඩේ තිබුණු දැන්වීමක්.
හරියටම වචන මතක නැති උනත් එයින් කියැවුනේ මෙහෙම අදහසක්. "වැරදි කල අයෙකුට සමාව දිය හැක්කේ ශක්තිමත් පුද්ගලයෙකුට පමණි". මම කල්පනා කළා ඒක ඇත්තද කියල. වෙන කෙනෙක් ගැන හිතනවට වඩා තමන් උපමා කරලා යමක් හිතන්ඩ කියලනේ බුදු හාමුදුරුවොත් කියල තියෙන්නේ...ඉතිං මම මං ගැනම කල්පනා කරලා බැලුවා. මට වැරද්දක් ඒත් මගේ හිතේ පැහැවන තරහක් තියන කෙනෙක් කවුද?
ඔන්න එතකොට මතක් උනා කලාබර ගැන. කැමතිද ඒ කතාව කියවන්ඩ.
අපේ රටේ තියන 'විද්යාත්මක' තීරණ ගැනීමේ දක්ෂතාව හිංදා මාව රුහුණු විශ්වවිද්යාලයේ කෘෂිකර්ම පීඨයට තේරිච්ච කතාව මම මීට ඉස්සරත් කියල තියනවනේ. ඒ ගැන ආයෙත් බලාගන්ඩ ඕන නං මෙන්න ඒ ලිපියට සබැඳිය. රුහුණ කියන්නේ ඒ කාලේ ජෙප්පන්ගේ තිඹිරිගෙය කියලයි අපි අහලා තිබ්බේ. ජෙප්පෝ අලුත් එකෙකුට 'කොක්ක' ගහන්නේ රැග් එක හරහාලු. ඉතිං මේ 'ප්රත්යක්ෂ' ඇසුරෙන් ගොඩ නගපු අපේ බලාපොරොත්තුව උනේ රුහුණේ දී ජෙප්පෝ අපිට අම්බානකට රැග් කරනු ඇති බව. ඔය කාලෙදි පේරාදෙණියේ ඉංජිනියරින් කරපු වරප්රකාෂ් මරා දැමෙනවා. ඒත් රැග් වෙමින් සිටියදී. ඉතින් පේරාදෙණිය වගේ තැනකත් මැරෙන ලෙවල් එකට රැග් එක සිද්ධ වෙනවා නං රුහුණේදී අපිට අබ සරණයි කියලා සූදානං සරීරෙන් තමයි කොල්ලා මාපලානට ගියේ.
පළවෙනි දවස හරි ෂෝක්. කිසි රැගක් නෑ. අපිට හොස්ටල් හම්බ වෙලා නොතිබ්බ හිංදා අපි හිටියේ පිට බෝඩින්
වල.
"සහෝදරයා සහෝදරිය උඹලා වගේ අලුතෙන් මේ විශ්ව විද්යාලයට පය තබන නවකයන්ට නේවාසික පහසුකම් ලබා දෙන්න මේ පාලනාධිකාරිය අසමත් වෙලාතියනවා. අපි ඒ ගැන සටන් කරනවා. ඒත් ඒ සටන දිනන්ඩ තව කල් යයි. ඒ වෙනකොට සමහර විට උඹලා දෙවෙනි අවුරුද්දට ඇවිල්ලා තියෙයි. එතකල් උඹලාව බෝඩින් වල තියන්ඩ අපිට බෑ. අපේ කාමර වලට උඹලා වරෙල්ලා. අපි තියන හැටියකට බෙදාගෙන ජීවත් වෙමු. එහෙම එකට ඉන්න කොටයි අපි එකිනෙකා හොඳට අඳුනා ගන්ඩ
පුළුවන් වෙන්නේ" එහෙම කිව්වේ ජිල්බා. ශිෂ්‍ය සංගමේ සභාපති අයියා!!
වරේවා!...වරේවා!!! කවුද ඩෝ කිව්වේ ශිෂ්‍ය සංගමේ ඉන්නේ ජෙප්පෝ කියලා. මේ ඉන්නේ එල චරිත නේ...බොක්ක උනත් ෂෙයා කරන්ඩ කැමති අයියලානේ මේ... අපි හිතුව විදිහ කොච්චර වැරදිද? අපිට හිතුනේ එහෙමයි. ඉතිං පහුවදාම අපි ඔක්කොම කැම්පස් එක ඇතුලේ තිබ්බ හොස්ටල් වලට ආවා.
එදා දවල් කන වෙලාවේදී රැග් එක පටං ගත්තා. හරියට ගුහාව ඇතුලට හා පැටියා එනකල් බලාගෙන හිටපු නරි රංචුවක් වගේ ඊයේ හිටපු අයියලා අක්කලා අපිව වට කර ගත්තා.
පර බල්ලෝ දණ ගාගෙන පලයවූ කැන්ටිමට...එහම අණ නිකුත් වෙනකොට අපි හිටියේ බොරළු පාරක
අනේ අයියේ....
අයියේ..කවුද හු*** අයියා?. ජේෂ්ට උත්තමයා කියාපිය! අපිට වඩා අවුරුද්දක් වැඩිමල් එකෙක් බෙරිහන් දුන්නා. ඔන්න එතන ඉඳන් අපේ ජ්යෙෂ්ඨ උත්තමයෝ උත්තමාවියෝ අපිව කරන්ඩ පටන් ගත්තා.
දවල් කෑම පාර්සල්
මේස දෙකක් උඩ එලපු කඩදාසි කොළ දෙක තුනක් උඩට එක ගොඩකට හලන්ඩ නියම උනා. ඊට පස්සේ ඒ ඔක්කොම එකට අනන්ඩ. ඊට පස්සේ එක එක බත් ඇටේ ගණනේ අරගෙන කන්ඩ. ඉස්කෝලෙදි එකට කාලා හුරුව තිබ්බ මට නං එක ගොඩකට ගහලා අනපු බත් කන එකේ එච්චර අජූවක් දැනුනේ නෑ. හැබැයි එක බත් ඇටයක් කාලා තව එකසිය පනහක් විතර පෝලිමේ ගිහිං බත් ඇටේ ගානේ අරං කන කල් බඩ ගින්නේ ඉඳීම නං මට අමාරු උනා. හැබැයි සමහර සහෝදරියෝ විතරක් නෙවෙයි සහෝදරයන්ටත් එක ගොඩකට දාලා අනපු කෑම කන එක හරිම අමාරු කාරණයක් උනා. සමහරු වමනේ දැම්මා. එතකොට අමු තිත්ත කුණු හරුප වැලක් අහ ගන්ඩ පුළුවන්. එදා දවල් වරුවටම බත් ඇට දහය දොළහකට වඩා කන්ඩ හම්බ උනේ නෑ. අපි ඔක්කොම එක බත් පාර්සලයක් කන්ඩ ඇති. අනිත් සිය ගානම කුණු කූඩෙට!!
නවක හඳුනා ගැනීම ආරම්භ උනේ එහෙමයි!
එදා රෑ ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගේ හොස්ටල් එකකට ගාල් කරපු කොල්ලෝ ටික ඔක්කොම නිගන්ඨ ආගමට හරවන්ඩ ඒ උත්තමයෝ කාරුණික උනා. එහෙමනේ සමානාත්මතාව පුරුදු පුහුණු කරවන්ඩ ඕන! ගල් බැමි උඩ දණ ගසා සිටීම්, එහෙම දණ
සිටිමින් උඩ පැනීම් (එතකොට දණිස් තුවාල වෙනවනේ කියල කවුද අහපු එකා....යකෝ එහෙම නැත්තං කොහොමද දන්නේ හැම එකාගෙම දුවන්නේ රතු පාට ලේ ද කියලා?....දණිස් පලා ගලකින්...... බලන් රුහිරූ එක රතු පාටින් ගලා හැලෙන අයුරූ.....), හොස්ටල් එකේ කොමන් රූම් එක ස්විමිං පූල් එකක් කියලා හිතාගෙන නිර්වස්තරෙන් බඩ ගෑම්, හිටපු ගමන් එකෙක් දෙන්නෙක් මිදුලේ වැලි උඩ විශේෂ පිහිනුම් සැසි සඳහා සහභාගී කිරීම් වැනි එකී නොකී මෙකී දහසක් අලුත් සෙල්ලං අපි ඉගෙන ගත්තේ අර ජ්‍යෙෂ්ඨ උත්තමයන්ට පිහිට වෙන්ඩ. අපි එහෙම සෙල්ලං කරන කොට ඒ උත්තමයෝ අමු තිත්ත කුණුහරුප කියමින් අපිව උද්යෝගිමත් කළා. හරියට ඔලිම්පික් බලන ග්රීක දෙවිවරු වගේ ඒ උත්තමයන්ගේ මුහුණු වල සතුට දොරේ ගියා. අපෙන් දෝරේ ගියේ කඳුළු සමග ලේ.
අපි එදා නින්දට වැටෙන කොට රෑ දොළහත් පහු වෙලා. එදා රෑටත් කෑම බත් කටකට දෙකකට වැඩි නෑ. බඩගින්නත්, ශාරීරික හා මානසික තුවාල හිංදා දැනුණු වේදනාවත් අපිව වේදනාවට පත් කළා. ජීවිතේම වේදනා විඳගෙන ඉගෙන ගෙන කැම්පස් එකකට ආවේ මේකටද?
සීතල වතුර පාරකින් අපිව ඇහැරුනේ පහුවදා උදේ පාන්දර හතරට විතර.
@##$$%^^&&&&***(****()**)(&*^(^%^%&^$&$*(^(^(^(^(^^(^(.....!!!
ඒ වචන මම සිංහල බසින් ලියන්නේ නැත්තේ කිසිම මනුස්සයෙකුට ඒ වගේ දේවල් අහන්ඩවත් දකින්ඩවත් නොලැබිය යුතු හිංදා. සරලව ගත්තොත් ඒ අපි ඇඳගෙන හිටපු සරං ජටාවක් විදිහට ඔලුවේ බැඳගෙන හොස්ටල් එක ඉස්සරහා පිට්ටනියේ පෝලිං ගැහෙන්ඩ අණක්. උත්තම අණ දෙන නිලධාරියා අඩි පහ මාරකට ටිකක් වැඩියෙන් උස, උසට හරියන මහතක් තිබුණු සුදු පාට ජෙනරාල් කළාබර ගෙන්. (ඒ කාලේ මම එතුමාගේ කාඩ් එක දැනගෙන හිටියේ නෑ. ඒක දැනගත්තේ රැග් එක ඉවර උනාට පස්සේ). අපි කිලෝ මීටර් දෙක තුනක් මේ පාන්දර දුවවන එක තමයි එතුමාගේ විනෝදාංශය. ඊට පස්සේ උදෑසන සරඹ කරවීම්. ඊට පස්සේ දෙතුන් දෙනෙක්ගේ වැලමිටි, දණිස් ආදියෙහි ලේ ගලන බව සහතිකව දැන ගැනීම පිණිස තුවාල සිදු කිරීම්. ඊට පස්සේ අපිට පැය කාලක් විතර හම්බ වෙනවා උදේ ඉංග්රීසි කඩිනම් පාඨමාලාවට සහභාගී වීමට යන්ඩ වෙලාවක්.
කැන්ටිමෙන් උදේ කනකොට කලාබර තුමා දෙතුන් දෙනෙක් ගේ පිඟන් වලට වතුර දාන්නේ හොදි මදි හින්ද වෙන්ඩ ඕන. ඊට පස්සේ ෆැකල්ටියේ කොමන් රූම් එකේ තියන යකඩ පුටු අස්සෙන් රිංගලා බඩ ගාමින් තමයි අපි ඉංග්රීසි ක්ලාස් යන්ඩ ඕන. ඉතින් එතකොට ෂර්ට් එකෙයි කලිසමෙයි පොලිෂ් ගෑවිලා දුඹුරු රතු පාටක් ගන්නවා. එක අතකින් ඒක හොඳයි. නැත්තං අපේ කමිස කලිසං වල තියන ලේ පැල්ලම් දැක්කොත් අපිට ඉංග්රීසි උගන්නන උත්තමයෝ බයවෙලා පාලනාධිකාරියට රපොර්තු කරන්ඩ පුළුවන් නේ. අනේ ඉතිං මොකටද කාටවත් කරදර කරන්නේ!!!!
දවස දෙක තුන ගෙවිලා ගියා. එක්කෙනා දෙන්නා තුන්දෙනා ඉස්පිරිතාල වල පිහිට හෙව්වා. මේ වෙනකොට අපේ නිළ වධකයා කළාබර බව අපිට තේරිලා තිබුනා. මේ අස්සේ අපිට යන්තමින් වත් බුරුලක් දුන්නු, අපේ දුක සැප හොයලා බලපු අයත් නොහිටියා නෙවෙයි. පොරමඩුල්ල සෙන්ට්රල් එකෙන් ආපු කණ්ඩියා එහෙම කෙනෙක්. දැන් ඔහු කැළෑ කන්තෝරුවේ නිළයක් දරනවා. තව හිටියා මැඩෝනා කියල අක්කා කෙනෙක්. අර මම මුලින් කියපු ශිෂ්‍ය සංගම් සභාපති ජිල්බා පස්සේ කාලෙකදී මේ අක්කව කසාද බැන්දා කියලා දන්නවා මිසක් වැඩි විස්තරයක් දන්නේ නෑ. අර අපායේ උනත් මිනිස් දෙවිවරු හිටපු බව කියන්නයි මම එහෙම සඳහන් කලේ. තව කට්ටියක් හිටියා රැග් එකට විරුද්ධ. හැබැයි ඒ අය අපිට විශේෂ උපකාරයක් කලෙත් නෑ. හැම දේම නොපෙනුනා, නෑසුනා වගේ හිටියා.
ඒ කොහොම උනත් දින සති ගණන් වලට පෙරලේද්දී කළාබර ගේ ලේ සහ කඳුළු පිපාසෙ තව වැඩි උනා. ඔහුගේ සහයට බාවා වගේ චරිතත් එක්කහු උනා. දිව්‍ය ලෝකේ එක්තරා දෙවි වරු කොටසක් ඉන්නවලු අබ්භාහාරක දෙවිවරු කියලා. ඔවුන් සන්තෝෂය මත යැපෙන අය.
වෙනත් ආහාර ගන්නේ නෑ. ඒකෙ ප්රතිවිරුද්ධ පැත්ත තමයි කළාබර. ඔහුට සතුට ගෙනාවේ අනෙක් අයගේ දුක් වේදනා. ටික දවසකින් මගේ කකුලේ උලුක් වීමක් වෙච්ච හිංදා මේ වධ වලින් ටිකක් බේරෙන්ඩ මට පුළුවන් උනා. ඉස්පිරිතාලෙන් දීපු බේත් මම පාවිච්චි කලේ නැත්තේ උලුක්කුවේ වේදනාව නැති උනොත් කලාබරගේ ගොදුරු බවට පත් වෙන්ඩ වෙන හිංදා.
සති තුනකට පස්සේ අපේ රැග් සීසන් එක ඉවර උනා. ඊට පස්සේ ඇඟේ පතේ තුවාල හොඳ උනාම මම ගෙදර ආවා. ඒත් තුවාල කැලලි පේන්ඩ තිබ්බ හිංදා අම්මා දැන ගත්තා මම විඳපු වද ගැන. දවසක් අම්මලාගේ ස්ටාෆ් එකේ සර් කෙනෙක් අපේ ගෙදර ආවා. ඔහු ඉංග්රීසි ගුරුවරයෙක්. අම්මා ඇඬු කඳුලින් මගේ විස්තර කියනකොට එයා මෙන්න මෙහෙම කිව්වා.
මාත් දන්නා කෙනෙක් ඉන්නවා මාපලානේ. මගේ හිතේ දැන් දෙවෙනි නැත්තං තුන්වෙනි අවුරුද්දේ විතර ඇති.
ඒ කවුද සර්...මම ඇහුවා.
නම නං XXXX ගම තිත්තවැල්ගොල්ල. දඹුල්ල පැත්තේ.
අපි ඉතින් තාම නං දන්නේ නෑ. කාඩ් එක තමයි ටිකක් වත් දන්නේ....
මිනිහට තිබ්බේ හරි අමුතු කාඩ් එකක්...ඉන්ඩ බලන්ඩ මතක් කරන්ඩ....මගේ හිතේ කළාබර!
න්.....නෑ!
ඇයි ඔයා එයාව දන්නවද? මගේ නම කියන්ඩ එයා මාව හොඳට අඳුනනවා.
ඒ තමයි අපේ ප්රධාන වධකයා!!!
මම කළාබර ගේ වැඩ ගැන දාහෙන් එකක් කිව්වා. ඔක්කොම කියලා අහගෙන ඉන්න අය බය කරන්නේ මොකටද? මම කතාව කියන කොට සර් අඬන්ඩ පටන් ගත්තා.
ඔය ඇත්තද?
මම මොකටද බොරු කියන්නේ?
මම මේ කියන්ඩ යන කතාව අහගන්ඩ. එයා ශිෂ්‍යත්වේ පාස් වෙලා නුවර කිංස්වුඩ් එකට ආවා. කන්ඩ බොන්ඩ වත් තිබ්බේ නෑ. හරි අමාරුවෙන් ජීවත් උනේ. මායි අයියයි මෙයා විඳින දුක දැකලා අපේ ගෙදර එක්කගෙන ආවා. ඒ ලෙවල් කරන කල් අපේ අම්මයි තාත්තයි තමයි මෙයාට කන්ඩ අඳින්ඩ දුන්නේ. අපි උදවු කලේ අසත්පුරුෂ බල්ලෙකුට කියලා අපේ අම්මලාට කිව්වොත් ඒ අයගේ පපුව පැලෙයි!
මොනවා ඔය ඇත්තද?
සහතික ඇත්ත....හම්බ වෙච්ච දවසක අහලා බලන්ඩ මගේ නම කියලා.
ඊට පස්සේ සතියේ මම කළාබර ගෙන ඇහුවා අහවලා අඳුනනවාද කියලා. ඌ ටිකක් අමාරුවෙන් මතක් කරලා පිලි ගත්තා ඌට සැලකුවේ අර මම කියපු සර්ගේ දෙමව්පියෝ තමයි කියලා.
මම හිතා ගෙන හිටියට රැග් කරන්නේ ජෙප්පෝ කියලා කළාබර ජෙප්පෙක් නෙවෙයි. අඩු ගානේ ඌ එළිපිට ඒ බව පිළිගත්තේ නෑ. හැබැයි ඌ තමන්ට වඩා දුබලය්න්ව පෙළීමෙන් සතුටට පත්වෙච්ච මානසික රෝගියෙක්. මගේ හිතේ තමන් ජීවිතේ පුරා
මූණ දීපු දුප්පත්කමේ ශාපයේ ඇරියස් එක තමන්ගේම පංතියේ එවුන්ගෙන් පහ කරපු බය ගුල්ලෙක්. අර සත් ගුණවත් පවුලකට මූව මුණ නොගැසුනා නං මේ වධකයා ලෝකෙට ඉතුරු වෙන්නේ නෑ. මගේ බැච් එකේ අයට ඌ හම්බ වෙන්ඩ
කලින් කනත්තක වලකට ඔහුව හම්බ වෙන්න තිබ්බා එහෙම උනානං. අපේ පවට එහෙම උනේ නෑ.
කාලෙකට පස්සේ මට ආපහු කළාබරව හම්බ උනා. එතකොට ඔහු කෘෂිකර්ම දෙපාර්තමේතුවේ අම්පාරේ සේවය කරමින් හිටියේ.
ආ තිත්තවැල්ගොල්ලේ ජ්‍යෙෂ්ඨ තුමා...කොහොමද?
ඔ...ඔබතුමාට මගේ ගමේ නමත් මතකද?
(අපොයි ඔව්. මගේ දනිස්සේ තුවාල කැලලි මැකෙන්නේ නෑ නොව......) මම එහෙම කිව්වේ නෑ හිතුවා විතරයි. මොකටද කාටවත් රිදවන්නේ?
මට මතක් වෙනවා ප්‍රත්‍ය ශතකයේ පස්වෙනි ශ්ලෝකය.
උත්කෘෂ්ට මධ්‍යමනිකෘෂ්ට ජනෙෂු මිත්‍රං
යද්වත් ශිලාෂු සිකතාෂු ජලෙෂු රෙඛා
වෛරං ක්‍රමාදධම මධ්‍යම සජ්ජනෙෂු
යද්වත් ශිලාෂු සිකතාෂු ජලෙෂු රේඛා
උත්තම මධ්‍යම අධම යන මොවුන් කෙරෙහි කළාවූ උපකාරය ගලෙහි, බිමෙහි, දියෙහි ඇඳි රේඛාවක් මෙන් වන්නේය. විපර්යාස වශයෙන් අධම, මධ්‍යම උත්තමයන් කෙරෙහි කළාවූ ද්රෝහී කමුත් ගලෙහි, බිමෙහි, දියෙහි ඇඳි රේඛාවක් මෙන් වන්නේය.
ඉතින් මේ කතාව මතක් උනේ ඔරිජිනල් නෙලුම් කොළේ කඩේදී කිව්වනේ. ඇත්තටම මට ශක්තිය තිබ්බේ නෑ කළාබරට සමාව දෙන්ඩ. හැබැයි අර කඩේදී දැක්ක දැන්වීමත් එක්ක මට ඕන උනා ශක්තිවන්තයෙක් වෙන්න. ඒක හිංදා අන්තිම පාරට කතාව මතක් කරලා ලියන්ඩ ඕන උනා. දැන් මම ශක්තිමත්.
කළාබර මම ඔබට සමාව දෙනවා!! බොහෝ කළක් සුවෙන් ජීවත් වෙන්න. කාටවත් රිදවන්න එපා. ඒ රිදෙන මිනිස්සු දුර්වලයි නං ඔවුන් ඔබට සමාව දෙන එකක් නෑ....සංසාරය හරි බියකරුයි!!!!
ohoma thama ban ayya.. malliye...
ReplyDeletena na prakara ewun innawa
jeewath wela wadi kalayak inna oni ewun akalaye marenawa
marenna oni ewun jeewath wenawa
ජීවිත ගමනෙදි එක එක වර්ගයේ මිනිස්සු හම්බ වෙනවා. ඒ හැමෝම හොඳ හා නරක දෙකම තියන මිනිස්සු. ජර්මන් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වෙච්ච බිස්මාක් වරක් මෙහෙම කිව්වලු. අත්දැකීම් වලින් ඉගෙන ගන්නවානම් එය හොඳ දෙයකි. හැබැයි අපිට පුලුවන්නම් අත්දැකීම් වලින් ඉගෙන ගන්න එය වඩා හොඳ දෙයකි. හරි පුලුවන්නං මේ දේවල් වලින් ඉගෙන ගෙන තව කළාබර කෙනෙක් නොවී ඉන්න ඒක තමයි මගේ බලාපොරොත්තුව.
Deleteඔය වගේ තමන්ගෙ වයසෙ එකෙක් රිදෝල සන්තෝස වෙන්නෙ මානසික ලෙඩ්ඩු තමයි. බොලාට කරපු දේවල් දැනගත්තට පස්සෙ කළාබරට සහෝදරයෙකුට වගේ සලකපු අර සර්ට මොනව හිතෙන්න ඇද්ද.
ReplyDeleteඇත්තටම මම ඒ කතාව කියන සර් ට ඇඩුනා. ඊට පස්සේ දවස් ගණනක්ම - මම රුහුණේ ඉන්න තාක් කල්- ඔහු මගේ දුක සැප හොයල බැලුවා. සමහර විට හිතුවද දන්නේ නෑ ඒ කට්ටියගේ මනුස්සකම හිංදා තව සිය ගණනක් දුක් වින්ද බව. ඒ කොහොම උනත් මට දුක සමාජයෙන් එච්චර උදව් ලබා ගත්තු කෙනෙක් සමාජ විරෝධී වධකයෙක් වෙච්ච එකයි.
Deleteඒ් ඛළාභරට සමාව දුන්නට අනාගත හෝ වර්තමාන කළාබරලා පිළිබඳව නම් සලකා බලන්න වෙනව..... හැබැයි ඉතිං නිස විසඳුම් ලැබෙන කම් අහිංසක සිසුන්/සිසුවියන් අනේකවිධ දුක් විඳනව!
ReplyDeleteකිසිම 'කළාබර' කෙනෙකුට ඉඩ නොතැබිය යුතුයි. හැබැයි මම කැමතියි අනාගත කළාබර ලාව කලින් හඳුනා ගෙන ඒ අයගේ තියෙන පීඩනය ඔවුන් යහ මගට ගන්න ක්‍රමයක් තියනවානං. ඔවුන් මානසික රෝගීන් නං ඒ ලෙඩ හඳුනා ගෙන ප්‍රතිකාර කරන ක්‍රමයක් ඇති වෙනවා නම්. එහෙම නැති උනොත් ජීවිත දෙක තුනක් නැති වෙලා හෝ ආබාධිත උනාට පස්සේ තමයි ලෙඩාව අඳුනා ගන්න වෙන්නේ.
Deleteතවකෙක් පෙලන් ඕනම එකෙක්... අති දරුණු ඝනයේ මානසික රෝගියෙක්...
ReplyDeleteඑකඟයි! දරුණු විදිහට පෙළන්නේ දරුණු රෝගීන්....
Deletehttps://gadyanohothkavi.blogspot.com/2018/06/blog-post_3.html
ReplyDeleteස්තූතියි.
Deleteමිනිස්සු රැග් එක අනුමත කරලා පෝස්ට් දානකොට මට පුදුම හිතෙන්නේ මේ නිසයි. මේ වගේ දරුණු වධ බන්ධන නිසා මිනිස්සු මැරෙන්නත් පුළුවන්. පස්සෙ කාලෙක මතක් කරලා හිනා වෙන්න පුළුවන් කියලා රැග් එක ගැන කියනකොට, මට හිතෙන්නේ මේ දේවල් මතක් කරලා හිනා වෙන්නෙ කොහොමද කියල.
ReplyDeleteඔබේ ශක්තිය ගැන සතුටුයි. මම උනා නම් ඒ මහ රෑක ම ඇඳි වත පිටින් බස් එකක නැගලා ගෙදර ඒවි. ආයෙ නොයන්නම.
ස්තූතියි සොයුරිය. දරුණු ශාරීරික හෝ මානසික වධ වේදනා නැවත සිහි කිරීමෙන් සතුටක් ලබන්නේ කොහොමද? මටත් කැම්පස් එක දාලා එන්ඩ හිතිච්ච වෙලාවල් තිබුනා රැග් සීසන් එකේදී. ඒත් ඒක අපි වගේ සමාජ ආර්ථික පසුතලයකින් ආපු අයට විකල්පයක් නෙවෙයි. කොළඹ, නුවර, ගාල්ල, යාපනය වගේ දිස්ත්‍රික්ක වලින් කැම්පස් යන්ඩ දැඩි තරඟයකට මූණ දෙන්ඩ ඕන මේ තියන විකාර රූපී කෝටා ක්‍රමය හිංදා. එහෙව් තරඟයකින් ඇතුලට ගිහිල්ලා හිස් අතින් ආපහු ආවොත් අපේ දෙමව්පියන්ට, සහෝදර සහෝදරියට සලකන්නේ කොහොමද? ඔවුන් අපි වෙනුවෙන් ජීවිත කාලයක් පරිත්‍යාග සිදු කළා. ඉතිං මම ඒ බියකරු හීනය ගෙවෙන තුරු ජීවත් වීමේ උවමනාවෙන් කල් ගත කළා. හැබැයි මට විකල්පයක් තිබ්බා නං කළාබර ගේ ඉරණම අපි හුගක් දෙනෙක් අතින් විසදෙන්ඩ ඉඩ තිබ්බා.
Deleteඔය හොස්ටල් ඉන්න ලමයිට සෑහෙන ප්‍රශ්න ලොකු අයියේ. එ් වගේ පීඩනයක් දැරුවට පස්සෙ මානසිකව වෙනස් වෙනවා මිනිස්සු. හැබැයි ගැටලු තියාගෙනත් මනස හොදින් තියන් ඉන්නවා සමහරු. එ් වගේ අය හරි ශ්‍රෙෂ්ඨයි.
ReplyDeleteඅපි මුලින් හොස්ටල් නෙවෙයි මලයා. අපිව හොස්ටල් ඇතුලට ගත්තේ රැග් කරන්ඩ. ශිෂ්‍ය සංගමේ හිටියේ ජෙප්පෝ. රැග් කලේ උන්ම නෙවෙන්ඩ පුළුවන් හැබැයි දෙගොල්ලන්ම එකගව තමයි වැඩේ උනේ. අරමුණු වෙනස්.
DeleteThis comment has been removed by the author.
Deleteකළාබර ගේ සත්‍ය නම මොකක්ද ? වර්තමානයේ දරන තනතුර මොකක්ද ?
ReplyDeleteස්තූතියි වෛද්‍ය තුමනි. කළාබර ගේ සැබෑ නම කිව්වොත් ඔහු සමාජය ඉස්සරහා පීඩාවට පත් වෙයි නේද. ඔහු අනෙකුන්ට දුන් වධ අපි නැවත ඔහුට දිය යුතු නෑ. මෙතෙන්දි කළාබර එක ප්‍රධාන චරිතයක් විතරයි. 'බාවා' වගේ තව කට්ටිය හිටියා ඔහුගේ සහයට. කලාබර ගේ සහ බාවා ගේ වෙනස අඩු ගණනේ වගකීමක් බාර ගන්නවත් කළාබරට හයිය තිබ්බ එක සහ බාවා ඊටත් අන්ත බිය ගුල්ලෙක් වීම. මට අන්තිමට තොරතුරු ලැබෙන කොට දෙන්නම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටියේ. කළාබර අම්පාර දිස්ත්‍රික්කයේ ඉහළ තනතුරක් දැරුවා. බාවා හිටියේ මොණරාගල.
Deleteමට ඔබතුමාගෙන් වෙන ඉල්ලීමක් කරන්ඩ තියනවා. හැකිනම් වින්දිතයන් වෙනුවෙන් Healing process එකක් යෝජනා කරන්න ලංකාවට ගැලපෙන විදිහට.
තිත්තවැල්ගොල්ලේ ජ්‍යෙෂ්ඨ තුමා අමාරුවෙන් මතක් කරල පිළිගත්තු උන්නැහෙගෙ අතීතය පිලිබඳ මොහොතක මතක රැග් එක ඔබ සති තුනක් තිස්සේ විඳි ශාරීරික රැග් එකට වඩා බොහොම බරයි ලොකුමල්ලි…..
ReplyDeleteමේ අපරාධකාරයන්ට හаදය සාක්ෂියක් තියනවා නම් ඔවුන් ජීවත් වෙන්නේ අපමණ දුක් ගොඩක ගිලෙමින් වෙන්න ඕන. ස්තූතියි ඔබේ අදහසට SDC තුමනි.
Deleteඅනිත් උන්ට රිදවලා තෘප්තියක් ලබන මේ පරපීඩාකාමුකයින්ට සමාව දිය යුතු නෑ. ඔය යකා සමහරවිට දැං වැඩකරන තැනත් පොඩි උන්ව තලා පෙලා ආතල් ගන්නවා ඇති. ඔය වගේ උන්ට දඬුවමක් දෙන්නම ඕනේ. ආදර්ශයක් විදිහට සහ වෙනත් ගොදුරු ගන්න එක නවත්වන්න
ReplyDeleteකට්ටකාඩුවේ ලොකු මල්ලී,ලංකාවේ ගොඩක් අය මානසික ලෙඩ්ඩුබව හැසිරීමෙන්,කල්කිරියාවෙන් පේනවා.නවක වදය අන්තිම පහත් දෙයක්.යම් යම් සිදුවීම් තුලින් මොනවට පැහැදිලි වෙනවා අපේ මිනිස්සුන්ගේ තරම.ඉතා කපටි,කුහක මිනිස්සු බහුතරය.ඒ අතර යහපත් අයද ඉන්නවා.මම දැක තියෙනවා දියුණු යුරෝපීය මිනිසා තම වර්ගයාට ඇති ලැදියාව.කොටින්ම ඉංදියානුවෝ පවා....ඒත් අපි ?රාවණා ගැනයි,දුටුගැමුණු ගැනයි,බුදු දහම ආදී දේවල් ගැනයි පම්පෝරි තමයි.බස් එකේ වාඩිවී යනහැටි බලන්න,අනෙකාට හරියට ඉඩ දෙන්නේ නෑ.බටහිර රටවල ඉන්න අපේ ගොඩක් අයත් එකවගේ.එකාට එකෙක් නෑ.හිමින්සැරේ හරි ලොකුකමම තමා පෙන්වන්නේ.ලෝකයේ අන් අය සමග බලද්දී මේ අය පිස්සෝ නොවේද ?ඔයවගේ පුද්ගලයෝ ලංකාවේ ඕනෑතරම් ඇත.මුල්වියේ සිට දරුවෙකු ඕනෑවට වඩා හුරතල්කිරීම,බය කිරීම,සෝබන ලෙස වැඩිහිටියන්ට ගරුකරන්න ඉගැන්වීම හා පුලුවන්තරම් කපටිකමින් ඉන්නහැටි කියාදීම් වැනි ආර්ය ගුණාංගවල එකතුව මේවාගේ ලෙඩ්ඩු බිහිවීමයි.
Deleteවැරදී. ඕකට හේතුව අධ්‍යාපන ක්රමය මිසක් වෙන දෙයක් නෙමෙයි.
Delete@ දිනුක - මම කර්මය විශ්වාස කරනවා. ඔහු කල දෙය ඔහුට ලැබෙයි. නමුත් අපි වෛරයෙන් හිත පුරවා ගත්තම අපේ සෞඛ්‍ය තත්වයමයි පිරිහෙන්නේ. අවාසනාවකට මේ රටේ නීති හා අධිකරණ පද්ධතිය ශක්තිමත් නෑ මෙවැනි අලුගෝසුවන් පිටුපස හඹා ගොස් ඔවුන්ට දඬුවම් දෙන්න.
Delete@ ලලිත් ගුණවර්ධන - අනිවාර්යයෙන් මේ මානසික රෝගියෙක්. සමාජයේ හොඳ කමින් ජීවිතය ගැට ගසා ගත් අයෙක් ඒ සමාජයටම හතුරුකම් කරන්නේ ඇයි කියල මට හිතා ගන්න බෑ. සමාජයෙන් ලොකු වැරද්දක් උනා නම් මේ ආකාරයේ ක්‍රියා තේරුම් ගන්ඩ ටිකක් හරි ඉඩ තිබ්බා. ඔබතුමා කියන කුහකකම කියන සාධකය එක්ක නම් මම සම්පූර්ණයෙන් එකඟයි.
@ ෂෙනාල් මෙන්ඩිස් - මමත් හිතනවා අපේ අධ්‍යාපන ක්‍රමය මේකට වගකිව යුතුයි කියලා. අන්තිමට එන කෝටා ක්‍රමය කියන්නේ අතිශයින් අසාර්ථක අත්හදාබැලීමක්. ඒ හිංදා ඇති වෙලා තියන අනවශ්‍ය තරඟය එක්ක මානසික රෝගීන් බිහි වෙන්නේ නැත්නම් තමයි පුදුම වෙන්න ඕන.
ඔය මිනිහා තවමත් ඔය විදිහට හැසිරෙනවා ඇති ... සුදු හමක් පොරවගන බන ටොක් දීගන ..ඔය අපි අතරෙත් ඉන්නේ
ReplyDeleteදැන් ඔහුගේ හැසිරීම ගැන නම් දන්නේ නෑ අටංතුමනි. හැබැයි මේ පොස්ට් එක කියවපු එක මිතුරෙක් හොයා ගත්තා දැන් ඔහුගේ රාජකාරි ස්ථානය. හොයල බලන්නං දැන් කොහොමද කියලා.
Deleteමට මේක කියවද්දී හිතුනේ ඔහොම කරන උන්ට වටවෙලා නෙලන්න බැරි මොකද කියල ඔය අලුතින් යන කොල්ලන්ට. ... මම කැම්පස් ගිහින් නැති හින්දා ඕක විඳලා නෑ.. ඇත්තටම මිනිහා තාමත් තමුන් යටතේ ඉන්න අයට වධ දෙනවද දන්නේ නෑ...
ReplyDeleteපැතුම් ඔය ප්‍රශ්නේ මටත් තිබුනා. හේතුව තමයි තොරතුරු බෙදී යාමේ අසමමිතික බව. උදාහරණයක් විදිහට අලුතෙන් කැම්පස් එකට එන බැච් එකේ කට්ටිය එකිනෙකා අඳුනන්නේ නෑ. ඒ හින්දා එකට එකතු වෙලා ගේමක් දෙන්ඩ තරම් ෆිට් වෙන්නේ නෑ. එකිනෙකා අඳුනා ගන්න කොට රැග් සීසන් එක ඉවර වෙලා. අපි කීප දෙනෙක් ට්‍රයි කළා මේ දෙන්න තුන්දෙනාව අල්ල ගන්ඩ රැග් එක ඉවර වෙච්ච දවසේ හැබැයි එතකොට මුං තාවකාලිකව අතුරුදහන් වෙලා. ගුටි කන්ඩ තියන සම්භාවිතාව අඩු උනාම තමයි මුං එළියට බැස්සේ ආයෙත්.
Deleteඅපේ කාලේ රැග් එකේ මෙහෙම් දේවල් තිබුනේ නැහැ ඇත්තටම් අපි එන්ජෝයි කලා.මම මීට කලිනුත් අහල තිබුන ඔය කියන පරිසරවලින් ආපු අය තමයි මේ විදිහට ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් රැග් කරන්නේ කියල.එත් ලොකු මල්ලි කියනකන් මම මේ කතාව විශ්වාස කලේ නැහැ
ReplyDeleteරුහුණට සාපේක්ෂකව පේරාදෙණියේ රැග් එක අඩුයි. ඒත් මට මතක විදිහට ගිය අවුරුද්දේ ඉතා අමානුෂික සිද්ධියක් වාර්තා උනා. මම දන්නා තරමින් තවම ජ්‍යෙෂ්ට ශිෂ්‍යයන් ගණනාවක් රිමාන්ඩ් එකේ. සාමාන්‍යයෙන් වාර්තා වෙන්නේ අත්තටාම් සිද්ධ වෙන සිදුවීම් වලින් ඉතා අල්පයක්. ඒ විදිහට ගත්තහම මේ ප්‍රශ්නෙන් පේරාදෙණිය උනත් මිදිලා නෑ. සබ්බේ තසන්ති දණ්ඩස්ස - සියලු සත්වයෝ දඬුවමට බිය වෙති!!
Deleteප්‍රශ්නෙ තියෙන්නෙ උගෙ නෙමෙයි රැග් සොඳුරුයි අවශ්‍යයි කියන අයගේ. මානසික ලෙඩ්ඩුන්ට ඉඩ හදාදෙන්නෙ උන් තමයි. මං ගිය උසස් අද්‍යාපන ආයතනයේ තිබුනේ ඔය සොඳුරුයි කියන ජාතියේ ඉතා අවම රැග් එකක්. මං ඒක එන්ජෝයි කලෙත් නෑ, දීපු උන් ගැන පැහැදීමක් ආවෙත් නෑ ඊට පස්සෙ දෙන්න ගියෙත් නෑ. කාටවත් බලෙන් මොනවත් කරවීම දරුණු නම් දරුණු අපරාධයක් , ඔය සොඳුරුයි කියන බලකිරීම නම් නිකම්ම ගොන් පාර්ට් එකක්
ReplyDeleteඔව් ප්‍රා ජේ. ගොන් පාට් වලින් කෙනෙකුට දීර්ඝ කාලීනව රිදෙන යමක් වෙන්න බෑ. ඉතින් විහිලු සහ ගොං පාට් අනිවාර්යයෙන් රැග් එකෙන් වෙනස් වෙනවා. අපි කොහොමත් මානසික රෝගීන් හඳුනා ගැනීම අතින් පහල මට්ටමක ඉන්න රටක් මම හිතන විදිහට. ඒ අයව ඉක්මනට අඳුනා ගන්න පුළුවන් ක්‍රමයක් තියනවානම් හොඳ කරන්ඩ පුළුවන් වෙයි අනිත් අයට කරදරයක් වෙන්ඩ කලින්ම.
Deleteකට්ටකාඩුවේ ලොකු මල්ලී. මම දන්නා මල්ලියෙක් ජපුරට තේරුණා. මිනිහා පුළුවන් තරම් ලෙක්චරුත් කට් කර-කර රැග් එකෙන් උපරිමයෙන්ම බේරුනා. රැග් කරන අයටත් බැන-බැන හිටියේ. මේන් මේ 'කලවැද්දා' ඊළඟ අවුරුද්දේ උඩ දාගෙන නවක වදේ දෙනවා! මම තවම හියනවා ඒ දුෂ්ට අසනිපෙට නමක්.
ReplyDeleteනිමල් මහත්තයා මමත් දන්නා චරිතයක් හිටියා අපේ ජූනියර් බැච් එකේ. ඔහුගේ තිබුණු එක්තරා ප්‍රශ්නයක් හිංදා අපේ බැච් එකේ කට්ටිය ඔහුට වෛද්‍ය ප්‍රතිකාර පවා ලබා දෙන්ඩ උනන්දු උනා. හැබැයි ඔවුන්ගේ ජූනියර් බැච් එක ආවාම මේ ගෝතයා තමයි රැග් ලීඩර්!! මෙහෙව් රටට මොට පායාද සූරියා කිව්වලු!!!!
Deleteඋඹ සමාව දුන්නට මේක කියවපු මම උෟට ෙෙවර කරන්න පටන් ගත්තා
ReplyDeleteකියවපු / දැන ගත්තු ගමන් නම් වෛරයක් ඇතිවෙනවා මිනිස්සු විදිහට. ඒත් වෛරය වෛරයෙන් සංසිඳෙන්නේ නෑ නේ. අපි මොකටද කළාබර ගේ / බාවා ගේ තත්වෙට වැටෙන්නේ? බල්ලෙක් අපිව හැපුවට අපි බල්ලව හපන්නේ නෑ නේ. ඉන්ජෙක්ෂන් එක ගහ ගන්නවා මිසක්.
Deleteඕක මිනිහගේ විතරක් වැරුද්දක් නෙමෙයි. මේක කාලාන්තරයක් තිස්සේ මානසික ව්‍යාධීන් ඇත්තන් හදන ක්‍රමයක් වෙලා. කළාබර වගේ අයට පනින රිලවුන්ට ඉනිමං දුන්න වගේ වැඩක් තමා රැග කියන්නේ. කරුමෙට මේ ලංකාවේ හෙන පොරවලුත් රැග් එක හොදයි කියනවා නේ.
ReplyDeleteඅමතක උනා. කට්ටා ලස්සනට ගලපල ලියල තියෙනවා.
Deleteඔබ කියා ඇති සියලු දේ ගැන මම එකඟ වෙනවා. ස්තූතියි ඔබේ දිරි ගැන්වීමට.
Deleteරැග් අනුමත කරලා පොස්ට් දාන බොහොම ටිකක් ප්‍රසිද්ධ අයත් ඉන්නවා. මට පස්සේ තේරුනා ඒ අයම ඇනෝ කොමෙන්ට් වලින් පහර ගහන්නත් එනවා කියල. එනිසා මටත් හිතෙන්නේ ඕක මානසික ලෙඩක් කියල. ඔබට සමාව දෙන්න පුළුවන් එක හොඳයි ඉතින්. ඒ වගේ එකෙකුට. වැඩේ කියන්නේ මූ තමන්ගේ දරුවන්ට කොහොම සලකනවද දන්නේ නැහැ
ReplyDeleteපැහැදිලිවම අජිත් කළාබර වැන්නවුන් ගෙවල් තුලදී කොහොම හැසිරෙනවා ඇත්දැයි මමත් හිතපු දෙයක්. අඩු ගානේ සමාජය තුලදී යම් යම් බාධක තියනවා ඔවුන්ගේ ඇරියස් එලියට දැමීමට විරුද්ධව. හැබැයි කැම්පස් එක, ගෙදර වගේ කුඩා උප සංස්කෘති වලදී ඔවුන්ගේ ව්‍යාධිය එලියට එන්ඩ තියන ඉඩ වැඩියි. ඒ ගති ගුණ තවම හොඳ වෙලා නැතිනම් මට දුකයි ඔවුන්ගේ දරුවන් ගැන.
Deleteමම කටුනායක IET යනකොට ඔය අත්දැකීම හොඳට ලබලා තියෙනවා.
ReplyDeleteමේ rag එක තහනම් කරන්න එච්චර අමාරු නෑ
batch දෙක තුනක් යනකම් rag කරන එවුන් batch miss කලානම් ඉවරයි.
ඇනෝ එක ලේසි වැඩක් නොවෙන්නේ රැග් ලීඩර් ලා අල්ලාගැනීම අපහසු හිංදා. හේතුව තොරතුරු නිසි වෙලාවට නිසි ආකාරයෙන් නොලැබීම. රැග් එක ගැන දැනුම් දෙන්න පුළුවන් ඇප් එකක් අලුතෙන් හදුන්වා දෙන්ඩ යන බව දන ගන්ඩ ලැබුනා. ඒක හරි විදිහට ක්‍රියාත්මක උනොත් හොඳයි. නැතුව පොලිසි ගානේ රස්තියාදු වෙලා වෙන,ම රැග් වෙන්ඩ කිසිම වින්දිතයෙකුට ඕන කමක් නෑ මගේ හිතේ.
Deleteලොකු මල්ලි සෑර්ගේ ඉස්ටෝරිය නං පංකාදු පහයි. හැබැයි හැට්ටර්ට මෙහෙමත් හිතෙනවා.
ReplyDeleteදැන් ඔය කැම්පස් විද්‍යාල ශිෂ්‍යයෝ වුනාම ඉතිං කොච්චරක් කියල මූලික වැඩ තියෙනවද කොරන්ඩ හිටං සෑර්. අධ්‍යාපනේ ඉතින් දෙවනුව නේ.
පෙරහැර පෙළපාලි යන්ඩ, පොලොසියට කියා වතුර ගසා පාරවල් සෝදවන්ඩ, කොළඹම අඬවන්ඩ කියල කඳුලු ගෑස් පාරවල් ගස්සන්ඩ. තව තව...
අනික ඉතින් රුහුණේ ශිෂ්‍යයෙක් කිව්වම තවත් ගැම්මකුත් තියෙනවනේ. සෑර්ම අත්දැකලා ඇතිනේ. නැද්ද මං කියන්නේ.
ඉතිං ජවිපෙ 'සහෝදරවරු' නොකළ දේ, උගන්නපු නැති දේ, ප්‍රැක්ටිකල් අංශයෙන්ම තිත්තවැල්ගොල්ලේ වධකයා 'තූමා' සෑර්ලට ඉගැන්නුව එකේ වරදක් තියෙනවද?
සෑර්ම කල්පනා කොරල බලන්ඩ ඔය කොළඹ හෝ වෙනයං නගරෙකට ගොහින් 'ශිෂ්‍ය විරෝධතා' කොරනකොට 'ධමෙමා හවෙ රකඛති ධමමචාරි' කණ්ඩායම ට්‍රක් රථ වලින් කුළු පොලු වලින් සන්නද්ධව පැමිණ කොහොමද කතා කොරන්නේ, 'අනේ ශිෂ්‍යයෝ කරදර නොකර පාරෙන් අයින්වෙලා සාමකාමීව ....' වශයෙන්ද, 'බැල්ලිගෙ පුතෝ ....' යනාදී වශයෙන්ද?. අන්න එකට තමයි සෑර් @##$$%^^&&&&***(****()**)(&*^(^%^%&^$&$*(^(^(^(^(^^(^(.....!!! කලින්ම හුරු කෙරෙව්වේ. ඊට පස්සේ ජල ප්‍රහාර, කඳුළු ගෑස්, බැටන් පොලු, රබර් උණ්ඩ යනාදී වශයෙන් ලැබෙන සැලකිලි වැඩි උනාම බේරෙන්ඩ දුවද්දී, කම්බි වැටවල් උඩිං යටිං දුවන්ඩ, බොරළු පොලවේ, තාර පාරේ වැටිලා දණහිස් ලෙලි යනකොට අන්න එතකොට හිතන්ඩ 'වධකයා' ඔව්ව කලින්ම පුරුදු කොරා නේද කියල.
ඔව්ව ඉතින් ඉස්කෝලෙදි උගන්නන්ඩ ඇහැක් ද? නෑ නේ. සෑර්ලට ඉතින් 'ක්‍රොප් සෑන්ස්' උගන්නනවා වගේ කවුරු හරි ඔව්වත් බාහිර ක්‍රියාකාරකම් ලෙසට වත් උගන්නන්ඩත් එපාය, නැද්ද සෑර්.
තවත් එකක්. 'කළාබර මම ඔබට සමාව දෙනවා'. අන්න සෑර් දේව ගති. එදා වගේම අදත් සෑර්ට පුල් රැස්පොට් එක එලෙසම!
ජයවේවා!
Myself Hattor.
හුග කාලෙකින් දැක්කේ හැට්ටර් තුමා. ස්තූතියි ඔබේ අදහසට. කෙටියන්ම කිව්වොත් 'ආන්න ඒකයි!!!'
Delete