Saturday, July 15, 2017

අලි ගැහුවද? ගැහුවේ නැද්ද??


පෙරවදන

මගේ මිතුරියක් රාජකාරි ගමනක් යමින් සිටියදී මෑතකදී අනුරාධපුර ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක් වූවාය. ඇය ගමන් කල වාහනය ප්‍රහාරය නිසා  පෙරලී ගිය නමුත් පෙර වාසනාවකට මෙන් ඇයටවත් ඇය සමග ගමන් කල පිරිසේ කිසිවෙකුටවත් සුළු සීරීම් හැර වෙනත් අලකලංචියක් ඒ මොහොතේදී සිදු නොවිණි. එහෙත් දේවාලය ඉහේ කඩා වැටුනේ ඇය සිද්ධිය පිලිබදව ඇය සේවය කරන ආයතනයේ ආරක්ෂක අංශය දැනුවත් කල පසුය. 
අනාරක්ෂිතව ජීවිත අවදානමට ලක් කිරීම නිසා ඇයට අදාළ ප්‍රදේශයේ කටයුතු කිරීම නවත්වන්නට බල කෙරිණි. ඔලමොට්ටල ආරක්ෂක නිලධාරීන් ඇයව දඩු කදේ ගැසීමට සැරසුනේ රාජකාරියේ යෙදී සිටියදී මියගියහොත් හෝ අබාධිත බවට පත් වූ විට හෝ  ගෙවන රක්ෂණ වන්දිය ලබා ගැනීමට තැත් කිරීමත් ඊට කුමන්ත්‍රණය කිරීමත් වැනි සාපරාධී චෝදනා යටතේ වුවත් මම පුදුම නොවන්නේ අදාළ සිද්ධිය අනවශ්‍ය අකාරයෙන් පුම්බා තමන් වැඩ්ඩන් බව පෙන්වීමට ඔවුන් උත්සාහ කරණ බව දන්නා නිසාය.

මගේ මිතුරිය තීරණය කලේ සිය කටයුතු නිසා සහනයක් අත්වන අලි කටේ ජීවත් වන දහසක් දෙනා වෙනුවෙන් සිය කටයුතු අත් නොහැර පවත්වාගෙන යාමටය. ඒ සදහා තිබුණු එකම විකල්පය වූයේ එවැනි අලි කරදරයක් තමන්ට නොවූ බව පැවසීමය. එනම් වල් අලි පහර දීමක් සිදු නොවූ බවට කට උත්තරයක් ලබා දීමය. මෙම සිද්දිය සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ලක් නොවූ නිසාත් සිද්ධියට මුහුණ පෑ වාහනය රාජකාරි ආයතනයට අයත් නොවූ කුලියට ගත් පෞද්ගලික වාහනයක් වූ නිසාත් රාජකාරිමය පරීක්ෂණය එතනින් අවසන් විය.

මට මතක් වුයේ වසර කීපයකට පෙර කැලණිය ප්‍රදේශයේ දේශපාලුවෙකු විසින් ගස් බදින ලද බවට චායාරූප සටහන් පවා තිබියදී තමන් විසින්ම ගස් බන්දවා ගත බව ප්‍රකාශ කල රාජ්‍ය සේවකයාය!!!

සත්‍යය වස දැමීමට උත්සාහ ගත් මේ අවස්ථා හැම එකකදීම සිදු වූයේ කට කතා පැතිරී යෑමය. අසත්‍යය ඉස්මතු වීමය.සත්‍යය සැගවු හෝ සැගවීමට උත්සාහ කල විට හෝ සිදු වන්නේ කට කතා සහ යාන් හෑලි වලට පන ලැබීමය. අලි පහරදීම ගැන පැතිර ගිය කතා සමහරක් පහත පරිදිය.

1. කොලඹින් ගිය කණ්ඩායම අලි පැටියෙකු පැහැර ගැනීමට උත්සාහ කිරීමේදී කුපිත වූ අලි මව පහර දීම කල බව

2. කාන්තාවන් රැසක් දැක මද කිපුණු අලියෙකු පහර දීම කල බව 

3. බීමතින් ගිය රියැදුරා කොන්ක්‍රීට් වැඩපොළක රථය හැප්පු අතර සිද්දිය සැගවීමට අලියෙකු පහර දුන් බව කීවද ඇත්තටම සිදුවූයේ වැඩපොළේ විකිණීමට සාදා තිබූ අලියෙකුගේ අනුරුවක් මතට වැන් රිය කඩා වැදීම බව

   4. සුදු වෑන් රථයක් දුටු අලියා ආණ්ඩුව මාරු වූ බව නොදැන  මේ පිරිස පැමිණෙන්නේ තමාව පහර ගැනීමට බව සිතා ආත්මආරක්ශාව වෙනුවෙන් පහර දුන් බව

5. අලියා සමග සෙල්ෆියක් ගැනීමට උවමනා වූ නිසා හෝ තමන්ට ප්‍රසිද්දියක් ලබා ගැනීම සදහා පහර දීමකට වැන් රථයේ ගමන් කල පිරිස අලියා පෙළඹ  වූ බව

6. සම්පූර්ණ සිද්දිය මවාපෑමක් පමණක් වන අතර සිය මිතුරන් තමන් මුහුණ දෙන හදිසි ආපදාවකදී කුමක් කරනු ඇත්දැයි දැන ගැනීමට අපේ මිතුරිය මෙම බොරුව කල බව

7. අලියා යනු යම් කිසි තරහ කාරයෙකු විසින් මොවුන් ඝාතනය කිරීමට යවන ලද පිල්ලියක් බව

සිද්දියට පසු අලියා මුහුණ දුන් තත්වයද යාන්ස් නිර්මාණ කරුවන්ගේ සානුකම්පිත අවධානයට ලක් විය.

1. පස් දෙනෙකු ගමන් කල රථයකට පහර දී කිසිවෙකුට හානියක් කිරීමට නොහැකි වූ අලියා 'නපුංසක' අලියෙකු බවට අලි රැල තුල ප්‍රචාරය  වීම නිසා සිත් තැවුලට පත් අලියා සිය දිවි නසා ගත් බව

2. නිවෙස් වලට පහර දීමේ කලාව පුහුණු කිරීම සදහා අලි රැල විසින් ගම්මානයකට රැගෙන යමින් සිටි අලියා තම වැඩ කිඩ පෙන්වීමට කුඩා නිවසක් යැයි සිතා වැන් රථයට පහර දුන්නේය. එවිට පෙරලුනු රථය තුල සිරවී සිටි අපේ කණ්ඩායමට මල මුත්‍රා පහ වූ හෙයින් අධික ගන්ධයක් නිකුත් විය. තමන් පහර දුන්නේ නිවෙසකට නොව වැසිකිලියකට බව සිතු අලියා තව දුරටත් පහර නොදී ගඳ ඉවසා ගත නොහැකිව පන එපා කියා පැන දිව්වේය.   වැසිකිලියකට පහර දී තම වරිගයට අවමානයක් කල මේ අලියාව රැහෙන් පන්නා දැමුණු අතර දැන් තනි අලියෙකුව සුදු වැන් සොයමින් වනය තුල සැරිසරයි.


අලි ප්‍රහාරයෙන් වැන් රථයට බරපතල අලාභ හානි සිදු නොවුවද අපේ කණ්ඩායමට පිටවී, ඒ තුල තිබූ මල පහ තොගය සුද්ධ කිරීමට හැකියාවක් නොවූ හෙයින් වැන් රථය 'කන්ඩෙම්' කිරීමට සිදු වූ බවටද රාවයක් පවතී.

1 comment:

  1. මසුරන් දාහක් දාන්න ඕන . පත්තරේට කොලමක් ලියන්න .

    ReplyDelete