මතකද අපේ ගම? කීප සැරයක්ම ආ ගිය හිංද දැං මතක ඇතිනේ?
කඳු
වලින් වටවෙච්චි පළාතක පිහිටලා තියන අපේ ගමේ
ජීවිතත් පරම්පරා ගානක්ම කඳු අතර තිබ්බ පහත් බිමේ ඒ කියන්නේ නිම්නයේ එහෙම නැත්නම් දෙණියේ
හිරවෙලා තිබුනා. ඒ හිරවීම හින්දම, මං මේ කියන්ඩ
යන අසූව දශකේ අග වෙන කල්ම අමුතු ආකාරයේ ගති සිරිත් කීපයක් ගමේ ඉතුරු වෙලා තිබුනා. ඇස්ටෝං
ගෙවලුත් එහෙම පුරුද්දක් මගෙ හිතේ. මේ සිද්දිය උනේ අපේ ගමට අල්ලපු ගමේ.
ඇස්ටෝං ගෙවල් කියන්නෙ මොනවද කියල ඇහුවා...? හපොයි දෙයියනේ ඇස්ටෝං ගෙවල් ගැන දන්නැති මිනිස්සුත් ඉන්නවද අප්පා? මුළු රටම සුද්දට යට වෙලා තිබ්බ එකේ අපේ ගං
දෙක තුනේ
විතරද ඉංගිරිස් වලින් සුරුස් බුරුස් ගාල නිකං වතුර වගේ කතා කරන්නේ? ඒ කොහොම උනත් කතාව තේරුං ගන්ඩ බැරි වෙන හිංදා අදට මං කියල දෙන්නං හැබැයි ඉක්මනින්ම ගිහිල්ලා සක්විති සර් ගෙං හරි ඉංගිරිස් ටිකක් ඉගෙන ගල්ලා අපේ ගමේ මිනිස්සු වගේ!!
දෙන්නෙක් කසාද බැඳලා දෙවැනි දවසේ දැන් වගේ හෝටල් වල උත්සව ගන්න පුරුද්දක් අපිට තිබ්බේ නෑ ඉස්සර. ඒ වගේ උත්සවයක් ගත්තේ ගෙදර මිදුලේ ලොකු 'හඩ්' එකක් ගහලා, සාරි විස්සක් තිහකුයි හබරළ කොල සීයක් විතරකුයි ගෙනහැල්ලා ඒ හඩ් එක වටේට තිර ඇදලා, උඩු වියන් බැඳලා. ගමේම තිබ්බ පුටු ටික ඉල්ලගෙන ඇවිල්ල තමයි එන සෙනගට ඉඳ ගන්ඩ දුන්නේ.
පිගනුයි වතුර බොන වීදුරුයි ඉල්ලගෙන එන්නෙත් ගමේ ගෙවල් වලිං. තව ‘ලවුස් පීකර්’ දෙක්කුත් මේකට ඕනමයි. ඊගාවට ඒකෙ දාන්ඩ සිංදු පීස් දෙකක්!! අපේ පැත්තේ හිටපු ලවුස් පීකර් කාරයා ගාව තිබ්බේ මොහිදීන් බෙග් මහත්තයගේ පීස් දෙකක්. මං කට පාඩමින් කියන්නං එව්වගේ තිබ්බ සිංදු...මොකෑ දන්නවද එච්චරටම එව්වා අහලා අහලා අහලා මුළු ගමටම ඒ සිංදු කට පාඩං. ඔබෙ රාගී....මන කැළඹේ දෝ...එමවිට පවසනු මුවින් ඔබේ... සිංදුව තමයි මුලින්ම තිබ්බේ ඒ පීස් දෙකේම. ඊ ගාවට මැණිකක් රකිනා නා රජිදෙකු සේ..... ඊ ගාවට ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ. මට අද වගේ මතකයි!!
මේ විදිහට ගෙදර තිබ්බ ඕනම ලොකු උත්සවයක් ඇස්ටෝං ගෙයක් උනා. පණ්ඩිතයෝ නං කියන්ඩ පුලුවන් ඕකෙ නියම නම ‘ඇට් හෝම්’ එහෙම නැත්නං ගෙදරදී පවත්වන කියන තේරුම තමයි තියෙන්නෙ
කියලා. එව්වා මොක උනත් අපේ ගමට නං අදත් ඇස්ටෝං කියන්නෙ ඇස්ටෝංම තමයි!!
දැරිවියක් ලොකු ළමයෙක් උනාමත්, පවුලක් අලුතෙන් ගෙදරකට ගියාමත් අපි ඇස්ටෝං තිබ්බා. ඒකට හේතුව සන්තෝසේ බෙදා ගැනීම විතරක් නෙවෙයි. මෙහෙම ඇස්ටෝං එකකට ගිහිං කාලා බීලා විතරක් හරියන්නේ නෑ කාලේ හැටියට හරියන ගානක් ඇන්ලොප් එක්ක දාලා, තමුන්ගෙ නම ලියල, තමුන්ට ඇස්ටෝං එකට ආරාධනා කරපු කෙනාට දෙන්නත් ඕන.
එතකොට ඒ මනුස්සයා ඔය ඇන්ලොප් ටික එක්කහු කරගෙන, කවුරුවත් නැති තැනකට පොතකුයි පන්සලකුයි අරන් ගිහිං, එකින් එක ඇන්ලොප් කඩ කඩා එව්වා දුන්න එකාගේ නමයි, දීලා තියන ගානයි පොතේ ලියා ගන්නවා.
අපි හිතමු පල්ලෙහා ගෙදර මාමගේ ඇස්ටෝං එකකට කහවත්තේ මාමා ගිහිල්ල රුපියල් පනහක් දුන්න කියලා. පස්සෙ දවසක කහවත්තේ මාමගේ ඇස්ටෝං එකකට පල්ලෙහා ගෙදර මාමා ඇවිල්ල අඩුම තරමේ රුපියල් පනහක්වත් දෙන්ඩ ඕන. එහෙම දුන්නෙ නැත්නම් කහවත්තේ මාමා ලගදි දවසක සූර් වෙලා වගේ පාට් එකක් ඇට් කොර කොර මුළු ගමටම ඇහෙන්ඩ දිග අරිනවා පල්ලෙහා ගෙදර මාමගේ ජාතකේ!!! ඔය වෙසක් පොසොන් කාලෙට පෙන්නන එව්වා වගේ නෙවෙයි මේ කතා.....අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි!!!......ඔබෙ රා.....ගී මන කැළඹේ..... දෝ.....පිවිතුරු හදවත පෑරේ....දෝ....එමවිට පවසනු මුවින් ඔබේ....!!!
හැබැයි පුතෝ කහවත්තේ ගොයියගේ ගෙදර ඇස්ටෝං එකක් නොතිබ්බොත් අර පල්ලෙහා ගෙදර මාමට දුන්න සල්ලි 'බොල් ණය' වෙනවා. මගේ හිතේ මිනිස්සු කාරනා හොය හොයා ඇස්ටෝං ගත්තේ තමුන් දුන්න සල්ලි ටික ආපහු එක්කහු කර ගන්ඩ. කන්ඩ බොන්ඩ දෙන්ඩ අර හම්බ වෙන සල්ලි වලට වඩා ගානක් ගියත් තමන් දුන්න සල්ලි ටික ආපහු ගත්තේ නැත්තං හැමදාම හූල්ල හූල්ල ඉන්ඩ වෙන්නේ නැද්ද හා....? ඔබෙ රා.....ගී මන කැළඹේ..... දෝ.....පිවිතුරු හදවත පෑරේ....දෝ....!!!
වටේ පිටේ විස්තර කියන්ඩ ගිහිං කතාව කියන්ඩ පරක්කු උනා. ඔය කියන කාලේ අපේ අල්ලපු ගමට වාහන ගෙනියන්ඩ පාරක් තිබ්බේ නෑ. ඉතිං ඇස්ටෝං ගෙදරක් උනාම ඕන කරන ඔක්කොම අපේ ගමේ හංදියේ බාලා අල්ලපු ගමට කරෙන් අදිනවා. අපි පොඩි සංදියේ ක්රිකට් ගැහුවේ මේ පාරේ. වාහන යන්නෙත් නැති එකේ මේ පාර හොඳ පිට්ටනියක් උනා අපිට. අල්ලපු ගමේ ඇස්ටෝං ගෙයක් තියන බව අපි දැන ගන්නේ මිනිස්සු කරෙන් බඩු තොගයක් අදිනවා දැක්කහම. ඔය බඩු ඇදිල්ල හිංදා අපේ මැච්
කීයක් නං විනාඩි දහය පහළොවකට නවත්තන්ඩ උනාද? ඒක නම් ඉවසගෙන හිටියෑකි. ඉවසන්ඩ බැරිම දේ තමයි ලවුස් පීකර් දෙක හරි හතර හරි ගෙනියන්ඩ එන පොඩි එවුං. අපේ හැම ගමකම තිබ්බ ලෙඩක් මේ පොඩි උන්ටත් බෝ වෙලා තිබ්බා. ඒ තමයි තමන්ගෙම කට හඬ මහ හයියෙන් තමන්ටම අහ ගන්ඩ තිබ්බ ආසාව. උං මේ ටික අරං යන්නේ පීකරේට කට තියාගෙන සිංදුවකුත් කියා ගෙන. උං දන්නේ එක සිංදුවයි. හැම වෙලාවෙම ඇහෙන සිංදුව තමයි ඒ.... ඔබෙ රා.....ගී මන කැළඹේ..... දෝ...!!! අපිට අප්පිරියා වෙලා තිබ්බ සිංදුව තව පාරක් මෙලෝ මිනිහෙකුට අහගෙන ඉන්ඩ බැරි කට අඩවල් ටිකකින් අපේ කන ගාවම කියලා දානකොට අප්පා දැනෙන සතුට!!!!!
ඇස්ටෝං ගෙදරක වැඩ සිද්ද වෙන පිළිවෙලක් තියනවා. ඒ මෙහෙමයි. කන්ඩ බොන්ඩ ඕන කරන බඩු ටික ගෙනැල්ල ඒක කුස්සිය පැත්තට බාර දෙනවා කපලා, කොටලා, මිරිකලා, අඹරලා, තෙල් දාලා ගන්ඩ. ඒ අතරේ කොල්ලෝ දෙතුන් දෙනෙක් අල්ල ගෙන ලවුස් පීකර් දෙක බඳිනවා උස ගස් දෙක්ක. එතකොට තමයි හතර වටේටම හොඳට සද්දේ ඇහෙන්නේ. මොක නැතත් සද්දේ තියෙන්ඩ ඕන කං පැලෙන්ඩ!!
දැං ඕං හවස තුනට හතරට විතර ඇති.... ඉස්සරෝම පටං ගන්නේ සබ්බ පාපස්ස අකරනං ගාථාව දාලා. මොකද ඕක දැම්මේ නැත්තං මිනිස්සුන්ට පව් කිරීම නරක දෙයක් බව අමතක වෙලා ගිනි විජ්ජුම්බරයක් වෙනවා. ඕක දාලත් රෑ වෙනකොට නටන නාඩගං දැක්කහම ඒ ගාථාව නොදැම්මොත් මොකින් මොකක් වෙයිද දන්නේ නෑ. අනික ඔය ගාථාව ඉස්සරෝම දැම්මේ නැත්තං පීකරේ හරියට වැඩ කරන එකක් නෑ කියල පොඩි සැකේකුත් නොතිබ්බම නෙවෙයි.
ඊ ලඟට අර මං මුලින් කියාපු කැසට් පීස් දෙක දානවා ගං හතකට ඇහෙන්ඩ. මාරුවෙන් මාරුවට ඔය පීස් දෙක තුන් හතර පාරක් දාපුවම තා දුරටත් මිනිස්සුන්ට ගෙවල් වල ඉන්න එක එපා වෙලා මරාගෙන මැරෙන්ඩ කියල හිතා ගෙන එනවා ඇස්ටෝං ගෙදර දිහාවට. ගෙදරට ආපු ගමං ගෙදර මනුස්සයා පිරිමි අයව එක්කං යනවා ගෙයි පැත්තක හදලා තියන පොඩි මඩුවක් වගේ තැනකට. එතෙන්ට ගියාම ‘නැටුං තෙල්’ බූලියක් උනත් ගිල දාන්ඩ පුළුවන්. ඔය අතරේ අර සින්දු ටික නොනවත්වා යනවා...ඔබෙ රා...ගී...මන..... මිනිස්සු දත් මිටි කකා 'ඇති හිටියා' ගහනවා.
පදමට වැදුනට පස්සේ අර මං මුලිං කියාපු ලෙඩේ මතු වෙනවා. ඉතිං පටන් ගන්නවා කසිප්පු ස්ටාර් වැඩසටහන!!! ඒක තමයි විවිධාකාර කටහඬවල් වලින්, විවිධාකාර සෘති වලට, විවිධාකාර තනු දාලා බෙග් මාස්ටර් ට වඩා හොඳට අර සින්දු ටික කියන්ඩ උත්සාහ දැරීම!!!! ඔය නව රැල්ලේ තනු දැමීම අපේ ගම්වල ඔස්තාද්ලා පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි. පැය බාගෙකින්, පැයකින් විතර කට්ටියටම කන්ඩ කතා කරනවා. මේ සින්දු හින්දයි, 'ඇති හිටියා' හින්දයි ඇති වෙච්ච අප්පිරියාව යන්ඩත් එක්ක කට්ටිය මස් කෑල්ලකුත් එක්ක බත් සුට්ටක් ගිල දාන්නෙ ඔය වෙලාවට. ඇස්ටෝං ගෙදෙට්ට ආපු වෙලාවේම පිරිමි කට්ටිය වෙනම තැනකට යනවා කිව්වනේ. මේ කෑම මේසෙට එනකල්ම ඇස්ටෝං ගෙදෙට්ට ආපු ගෑණු කට්ටිය ගමේ රොයිටර් වැඩේ කරනවා!!!!!.
අහගෙන ඉන්න අපි සංසාරේ කරපු කියපු පව් කන්දරාවේ හැටි හැටියට කසිප්පු ස්ටාර් වැඩසටහන දිගටම යනවා. සමහරවිට රෑ දොළහ විතර වෙනකල්. හැබැයි අන්තිමට ලව්ස් පීකර් කාරයා ශ්රී ලංකා මාතා දාලා පීස් එක දානවා.
හුගක්ම කට්ටිය වැඩිනම් සමහර විට ඒක කියන්නෙත් ස්ටාර් කෙනෙක්ම තමයි. ඒකෙ එහෙම උනොත් ඒකෙ තාලෙත් ඔබේ රාගී මන කැළඹේදෝ වගේ තමයි. අම්මපා ඇඩෙනවා මෙහෙම ජාතියක සාමාජිකයෝ වීම ගැන. නැද්ද හා???
ඉතිං මේ මන් කියන ඇස්ටෝං ගෙදරත් වෙනද පුරුදු විදිහටම වැඩ සිද්ද උනා කසිප්පු ස්ටාර් පටං ගන්න කල්ම. ඊට පස්සේ තමයි කවුරුත් නොහිතපු විදිහට එකෙක් මයික්කෙ බදු ගත්තේ!! ඌ දැන් තුන්වැනි පාරටත් අර සින්දු සෙට් එකම කියනවා. පෝලිමේ සින්දු කියන්ඩ හිටපු ජෝන් ගොයියගේ රතු කට්ට පැන්නේ හතර වැනි වතාවට ඔබේ රාගී මන...සින්දුව පටං ගත්තහම.
“අඩෝ ...පලයන් යකෝ අහකට දැන් සින්දු කීයක් කිව්වද?” ජෝන් ගොයියා හයියෙම්ම ඇහුවා...
“තෝ කව්ද මං සින්දු කියන එක නවත්තන්ඩ ...?” තමුන්ගෙ සින්දුවට බාධා කරපු එකා මොකාද කියල බලන ගමං අන්දිරිස් ලොක්ක ඇහුවා.
“මං කව්රු උනාම මොකද යන්ටකො කන්ට මෙතන වද නොදී!!”
මේ කතාවට අන්දිරිස් ලොක්කට මල පැන්නා. මනුස්සයා හොඳම කුණු හරුප වැලක් බෑවා ජෝන් ගොයියගේ කන් පැලෙන්ඩ. තමුන්නැහෙලා ජීවිතේටම අහල තියන ජරාම කුණු හරුප ටික මතක් කර ගන්ඩකෝ. අපොයි අම්මේ ජෝන් ගොයිය උත්තර විදිහට කියපු කුණු හරුප වලට එව්වා ඔක්කොම පරාදයි. ටිකකින් කසිප්පු ස්ටාර් තරගේ නීති රීති වෙනස් උනා. ඒ අන්දිරිස් ලොක්ක ළඟ තිබ්බ කනප්පුවකින් ජෝන් ගොයියගේ ඔලුවට බාපු හිංදා. දැන් කුණු හරුප වැලක් මැද්දේ රෙස්ලින්ද ගරිල්ලා සටන්ද කරාටි ද හැම දෙයක්ම පටන් ගත්ත බව අපිට ඇහුනා!! ඔව්… ඔව්… මේ ඔක්කොම ලවුස් පීකරෙන් සජීවීව අහල ගං හත අටකටම හොඳට ඇහුනා!!!!.
වෙනදා කසිප්පු ස්ටාර් තියන්නේ සංගීත භාණ්ඩ නැතුව. අද ඩ්රම් සෙට් එකක් දාලා වගේ සද්දයි ඒ අතරේ කුණු හරුප වැල් පිටිං ගලා ගෙන ගියා.අපි ගිහිං නවත්තන්ඩ කියලය...ඒ ගමේ මිනිස්සුන්ට ගහ ගන්ඩ ස්වයිරී ද මොකද්ද අයිතියක් තියනවනේ. ඉතින් අපි මොකටද ඒ අයගේ මානව අයිතිවාසිකම් කඩ කරන්නේ. අනික දැන් වගේ 119 තිබ්බෙත් නෑ ඒ කාලේ.
හැබැයි පැය බාගෙකට විතර පස්සේ කව්රු හරි සෙබලෙක් පීකර් සෙට් එකේ ඈම්ප් එක මෝටාර් එකක් විදිහට පාවිච්චි කරන්ඩ තීරණය කිරිල්ලත් එක්ක සජීවී ඇස්ටෝං විචාරය ඉවර උනා. තවත් පැය බාගෙකට විතර පස්සේ හත් අට දෙනෙක්ම මහ පාරට උස්සගෙන ආවා ඉස්පිරිතාලේ ගෙනියන්ඩ. දෙන්නෙකුට පිහියකින් කොටලා! එක් කෙනෙක්ගේ ඔලුවට තඩි ගලකින්ද කොහෙද ගහලා!!!
උත්සව ශාලා ගමට ඒමත් එක්ක ඇස්ටෝං අඩු උනා. වෙනද සතියට දෙක තුනක් හම්බ හයර් නැති වෙනකොට ලවුස් පීකර් කාරයාත් බංකොලොත් උනා. එදා අහල අප්පිරියා වෙලා හිටියත් අද කාලේ තියන සිංදු අහපුවම හිතෙනවා බෙග් මහත්තයගේ සිංදු මල් මසුරං කියලා.
දැන් කාලේ සමහර හාමුදුරුවරු කරන ජාති වාදය වැපිරීම වගේ අසික්කිත වැඩ දැක්කහම මට හිතෙනවා ඒ පන්සල් ගාව බෙග් මහත්තයගේ අර සින්දුව දාන්ඩ. රාගී මන කැලඹුනාම කරන්ඩ ඕන දේ ඒ සිංදුවේ තියනවා.බෙග් මහත්තය මුස්ලිම් කෙනෙක් උනාට දැන් ඉන්න සමහර හාමුදුරුවරුන්ට වඩා බුද්ධාගම ගැන දැනගෙන හිටියා වගේ කියල මට හිතෙනවා!!!!
රා බී මන කැළඹුනාට පස්සෙ ඔහොම ගහ මරාගෙන කෙලවර වෙන ඇස්ටෝං ගෙවල් ගොඩක් ගම්වල තියෙනව. මොනව උනත් ඇස්ටෝං ගෙවල්වල ආතල් හෝල් වලට ගිහිල්ල ගන්න වෙඩිං වලින් ගන්න බෑ.
ReplyDeleteසහතික ඇත්ත ප්රසන්න.
Delete:)
ReplyDeleteඇස්ටෝන් ගෙවල් තිබුනෙ නැති ගමක් නම් ඒ සිරි ලන්කාවෙ එකක් නෙමේ...දානයක් මගුලක් ඇස්ටෝන් එකක් කියන්නෙ බඩ පුරා කන්ඩ බොන්ඩ තීච්ච තැන්..එයිනුත් ඇස්ටෝන් එකක් කියන්නෙ අරක්කු ටිකක් බීල මස් කෑල්ලක් එක්ක බත් ඩින්ගක් කන්න තිවුණු හොඳම පොට් එක..ඇස්ටෝන් ගෙවල් වල ගොහින් එන ගමන් නොට් ඇට් හෝම් වෙලා කානු පල්ලෙ බුදියපු ඈයො ඕනෙ පදම් අපේ ග0 ගෙවල් වල හිටිය..ඒත් ඒක අගෞරවයක් විදියට කවුරුවත් සැලකුවෙනෑ..ඒ අවිල්ල තිබුනු "බඩු" වල අප්සැට් එක නැත්නම් දෙකක් කලවම් වීමේ පාපය...
ReplyDeleteඒ කාලේ ආයේ එන්නේ නෑ!!!. ඒ නිහතමානී සමාජය අතීතයට අයිති එකක්. වික්ටෝරියානු විනීත භාවය සුද්දගේ කාලෙටත් වඩා දැන් අපි අගය කරනවා. ඉතින් කොහොමද විවෘත සුන්දර බව අත් විඳින්නේ අනාගත සමාජය!!
Deleteමහත්මයා,
ReplyDeleteඔබගේ බ්ලොග් අඩවියේ ලිපි මගින් අපගේ සිංහල බෞද්ධ සංස්කෘතිය හෑල්ලුකර ඇති බව කිහිප වරක්ම අප නිරීක්ෂණය කොට ඇත. මෙවැනි ලිපි නැවත පල නොකරන මෙන් කාරුණිකව දන්වා සිටිමි. මෙවැනිම ආකාරයට බ්ලොග් ලියු ආනමඩුවේ කළුගල් මුදලාලි වැන්නවුන්ට අද අත්වි ඇති ඉරණම පිළිබද දැන ගැනීම යෙහෙකි.
ඇස්ටොන් නැවත ඇති කරනු
ReplyDeleteඑතකොට උත්සව ශාලා වලට මොකද වෙන්නෙ මම එකෙන්ම විරුද්දයි!!!!
Deleteඕං බලහං තඩියෝ බෝලාගේ බඩට ගහන්න ලෑස්තිය :-D
Deleteහොඳ යෝජනාවක්..!!
ReplyDeleteදන්සැල් කාලෙට කන පැලෙන්න ලවුඩ්ස්පීකර්වලින් දෙනකොට හිතෙනවා මෙහෙ තියෙන්නෙ බෙග්ගාගම කියලා. :-D
ReplyDeleteඇත්තටම ඇයි අපේ රටට බැරි උනේ වඩා සරළ, වඩා නැවුම් බොදු ගුණ ගී නිර්මාණය කර ගන්ඩ?
Deleteපොඩිකාලේ අපිත් අම්මයි තාත්තයි එක්ක අස්ටෝන් ගෙවල් වල ගීය හැටි තවම මතකයි.
ReplyDeleteඊට පස්සේ ලවුඩ් ස්පීකර් එකෙන් සිංදුත් කිව්වද?
Deleteඋබ කොහොම හරි වහෙන් ඔරෝ අන්තිමට පොඩි ලයින් එකකුත් ගහනව නේ
ReplyDeleteඔහෙන් වරෝ...ඔහෙන් වරෝ....!!!
Delete// ඔබෙ රා.....ගී මන කැළඹේ..... දෝ.....පිවිතුරු හදවත පෑරේ....දෝ....එමවිට පවසනු මුවින් ඔබේ....!!! // ඔය කෑල්ල ඉවර වෙනකොටම සුද්ද හිංගල ටික පටන් ගත්ත නම් හරි :-D
ReplyDeleteමෙන්න බොලේ ලියුම්
ReplyDelete