පහුගිය දවසක මැලේසියාවට යන්ඩ උනේ රාජකාරි වැඩකට. අපි හිටියේ සරවක් දූපතේ කුචින්
නගරයේ. වැඩ කටයුතු අතරේ දවසක් නිවාඩු ලැබුනාම අපේ මැලේසියානු මිත්රයෝ ඇහුවා නිවාඩු දවස හෝටල් කාමරේට වෙලා ඉන්නවට වැඩිය මොනව හරි බලන්ඩ යමුද කියලා. මාත් එක පයින් කැමති උනේ කුචින් කියන්නේ බොහොම විවිධත්වයකින් රටක් කියලා අහලා තිබ්බ හිංදා.
ඊ ගාව ප්රශ්නේ කොහෙද යන්නේ? ඔරන් ඔටන්ලා බලන්ඩ ද? බාකෝ ජාතික වනෝද්යානය බලන්ඩද? නැත්නම් සංස්කෘතික ගම්මානයක් බලන්ඩද?
මං මැලේ මිතුරාගෙන් ඇහුවා අපි හෝටලෙන් එලියට යනවා කිව්වා නේද කියලා. ඔහු කියනවා ඔව්.. ඔව්.. මේ තැන් තුනම තියෙන්නේ හෝටලෙන් පිට කියලා.
හෙහ්... හෙහ්... ඔරන් ඔටන් ලා බලන්ඩ නම් කාමරේ තියන කන්නාඩියක් ලඟට ගියාම හරිනේ!
එදා ටිකක් වැහි බර දවසක්. බාකෝ වනෝද්යානය බලන්ඩ යනවා නම් පැය තුන හතරක් ඇවිදින්ඩ ඕන. වැස්සක් ආවොත් ඒ වැඩේ අංජ බජල් වෙනවා
මිත්රයා කිව්වා. ඉතින් වැස්ස වලාහක දෙයියන්ට බැන බැන ඉතුරු වෙච්ච එකම විකල්පෙට යන්ඩ මං කැමති උනා.
සරවක් වල ප්රධාන ජන කොටස් හතක් ජීවත් වෙනවා. බිදායු, ඔරන්ග් උලු, මෙලනෝ, චීන, මැලේ, ඉබන්, පෙනාන් කියන්නේ ඒ වර්ග හත. හැබැයි මේ ප්රධාන වර්ග හත ඇතුලේ උප කණ්ඩායම් ගණනාවක් ඉන්නවාලු. උදාහරණයක් විදිහට ඔරන්ග් උලු ගෝත්රය ඇතුලේ පොඩි පොඩි කණ්ඩායම් හතළිහක් විතර ඉන්නවලු. මේ හැමෝටම එකිනෙකින් වෙනස් සංස්කෘති තියනවලු...මේ විදිහට අර කිව්ව සංස්කෘතික ගම්මානෙට යනකල් අපේ මිත්රයා මට විස්තර කිව්වා. මානව විද්යාව කියන්නේ මං කාලයක් බොහොම ආදරය කරපු විෂයක් හැබැයි කාලයත් එක්ක ඒ උනන්දුව නැතිවෙලා ගිහින් තිබුනා. හෝටලේට වෙලා ඉන්ඩ තිබ්බ කම්මැලි කමට යං කියල කිව්වට මගේ හිත වැඩ කලේ නිකං බාගෙට බාගෙට වගේ. ඔන්න ඔහොම තව ටික දුරක් යනකොට මගේ යාලුවා මෙන්න මෙහෙම කතාවක් කිව්වා.
“ඔතන ඉන්න සමහර ගෝත්ර ඉස්සර මිනී මස් කාලා තියනවා!”
“මොකක්?”
“ඔව්. යුද්දෙට ගිහිං මරණ සතුරන්ගේ ඔලු ගෙවල් වල තියාගෙන ඉන්න මිනුස්සුත් ඉන්නවා ඔතන!”
“නෑ!!! තාම ඒ මිනිස්සු මිනී මස් කනවද?”
“ඒක නං මං දන්නේ නෑ!!”
අර නැතිවෙලා ගිහින් තිබ්බ උනන්දුව එක පාරටම මතු වෙලා ආවා නිකං හුම්මානේ වගේ. මිනී කන, මිනී ඔලු ගෙවල් වල තියාගෙන ඉන්න මිනිස්සු ගැන ඉංග්රීසි ෆිල්ම් වල අහල තිබ්බට කවදාකවත් හැබැහින් දැකලා තිබ්බේ නෑ. නොහිතපු වෙලාවක මිනී කන මිනිස්සු හම්බ වෙන්ඩ අවස්තාවක් දුන්නේ මොන දෙයියොද කියල හිත හිත මං ගම ඇතුලට ගියා.
ඒ ගමේ තිබ්බ සංචාරක කර්මාන්තය මූලික කරගත්තු සංවිධාන ව්යුහය ගැන වෙනම ලිපියකින් කියන්ඩ වටිනවා. දඹාන වගේ තැනක තියන අසංවිධිත ස්වභාවයට වඩා හාත්පසින් වෙනස් අත්දැකීමක් සරවක් සංස්කෘතික ගම්මානයේදී දැක ගන්ඩ පුලුවන්. ඒ අය අවුරුද්දකට පාරක් ජාත්යන්තර උත්සවයක් පවත්වනවා ලෝක වැසි වනාන්තර සංගීත උත්සවය කියලා. හැම අවුරුද්දෙම ජූලි මාසේ 14 ඉඳලා 16 වෙනිදා වෙනකල් තියන මේ උත්සවේට 60,000 -70,000 විතර සෙනග එනවලු ලෝකේ හුඟක් රටවල් නියෝජනය කරමින්. ඒ ඔක්කොම සංවිධානය කර ගන්නේ මේ ගම්මානය. නිකමට හිතන්ඩ ලංකාවේ ගමකට පුලුවන්ද මිනුස්සු 100 එන ජාත්යන්තර උත්සවයක් එකම එක පාරක් සංවිධානය කරන්ඩ? අපේ මිනිස්සුන්ගේ බැරි කම නෙවෙයි. මිනිස්සුන්ගේ උවමනාවක් නැතිකම!!!
මේ ගම්මානේ හැදිලා තියෙන්නේ එක ගෝත්රයකට එක ගෙදරක් වෙන විදිහට. ඒ ගෙදර ඇතුලේ අදාළ ගෝත්රයට ආවේනික නැටුම්, ගැයුම්, සිරිත් විරිත්, එදිනෙදා ජීවිතේ භාවිතෙට ගන්න නොයෙකුත් ආම්පන්න වගේ ඔක්කොම දේවල් බලා කියා ගන්ඩ පුළුවන් විදිහටයි හදල තියෙන්නේ.
කොහොමින් හරි අපි ඉස්සරෝම බිදායු වරුන්ගේ ගෙදර බලලා එලියට ආවා විතරයි මහා වැස්සක් කඩා පාත් වෙන්ඩ පටන් ගත්තා. ඉතින් වැස්සේම අපි තව ගෙදරකට දුවගෙන ගියා. එච්චර හොයල බැලුවේ නෑ මොකද්ද මේ ගෝත්රය කියලා. බැලින්නං ඒ තමයි ඉබන් කියන ගෝත්රයේ ගෙදර. මුලු සරවක් පළාතේම ප්රසිද්ධම රණකාමී ගෝත්රය තමයි ඒ. අර ප්රසිද්ද මිනී ඔලු එකතු කරන්නෙත් මේ අය කියලා මගේ යාලුවා මට කිව්වා. මගෙ අම්මෝ මහා වැස්සකදී අපි ගොඩ වෙලා තියන තැන!! වැස්ස වලාහක නම් මගේ පරණ හතුරෙක්ද කොහෙද!!
හිතේ පොඩි චකිතෙකින් ගේ ඇතුලට ගිහින් බැලින්නං බොහොම සිරියාවන්ත කෙලි පොඩ්ඩකුයි අමුතුම ඇඳුමක් ඇඳ ගත්තු පිරිමියෙකුයි විතරයි ගේ ඇතුලේ. වැස්ස හිංදා අනිත් අය දවල්ට කෑම ගන්ඩ ගිහින්ලු ඒ වෙලාවේ. මේ ඉන්නේ ඒ ගෑනු ළමයා. ඔන්න ඔහොම එන්ඩකෝ වැස්ස වලාහක!
වැස්ස හිංදා වෙන කවුරුවත් සංචාරකයෝ එන්නෙත් නෑ. අපිටත් වෙන තැනකට යන්ඩත් බෑ. ඉතින් අපි මේ ළමයත් එක්ක කතා බහ පටන් ගත්තා. ඒ ළමයගේ නම මරියා.
“මරියා කියන්නේ ක්රිස්තියානි නමක් නේද?” මං ඇහුවේ කොහෙන් හරි කතාව පටං ගන්ඩ ඕන හිංදා.
“ඔව්. දැන් හුඟක් ඉබන් ගෝත්රිකයෝ ක්රිතියානි ආගම හරි මුස්ලිම් ආගම හරි අදහනවා”. ඒ දැරිවිගේ කටහඩත් හරි මිහිරියි.
“ඉස්සර මොන ආගමක්ද ඇදහුවේ?”
“එහෙම විශේෂ ආගමක් නෑ. මල ගිය මුතුන් මිත්තෝ ඇදහීම
කළා. මගේ හිතේ ලොකු ලෙඩක් දුකක් උනාම මිඅක් මිනිස්සුන්ට ආගමික විශ්වාස වලට වෙන් කරන්ඩ තරං වෙලාවක් නැතුව තියෙන්ඩ ඇති”.
“ඒ කියන්නේ?”
“මේ බෝර්නියෝ දූපතේ වැහි වනාන්තර ඇතුලේ ජීවත් වෙන එක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් මිනිස්සුන්ගේ මුළු කාලෙම වගේ ගත වෙන්ඩ ඇත්තේ කන්ඩ දෙයක් හොයා ගන්ඩ, සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්ඩ සතුරු පවුල් වලින් හරි ගෝත්ර වලින් හරි එන තර්ජන වලක්වා ගන්ඩ. එහෙම දේවල් වලට යන වෙලාව අත ඇරලා තව වෙලාව ඉතුරු උනොත් නේ ආගමක් අදහන්ඩ පුලුවන්. ඉතින් එහෙම අතිරේක වෙලාවක් තියෙන්ඩ නැතුව ඇති”.
අපේ රටේ නම් තාම ආගම මතක් වෙන්නේ කරදරයක් උන වෙලා වල් වල විතරයි. ඒ කියන්නේ අපි තාම අර ගෝත්රික ජීවන රටාවට වඩා ලොකු දියුණුවක් ලබලා නෑ කියන එකද? මං එහෙම හිතුවට මරියට ඔය දේවල් කියන්ඩ ගියේ නෑ.
“ඔයාලා මිනී මස් කෑවා කියන කතාව ඇත්තද?”
“ඇත්තටම මං දන්නේ නෑ එහෙම සිරිතක් ගැන අපේ ගෝත්රයේ. අපි යුද්ධයට නිතරම සූදානමින් හිටපු කට්ටියක්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ අපි මිනී මස් කෑවා කියලා. හැබැයි අපේ ගෝත්රයේ පිරිමි තමන්ගෙ රණ ශූර බව පෙන්වන්ඩ සටනේදී මියයන සතුරු වීරයන්ගේ ඔලු එකතු කරගෙන ආවා”.
“සතුරු වීරයෝ කියන්නේ?”
“යුද්දෙදි නිර්භීතව සටන් කරන සතුරන්ටත් අපි ගරු කළා. එහෙම වීරයෙක් මරා දාන්ඩ පුළුවන් වෙන්නේ
වීරයෙකුට විතරයි. ඉතින් තමුන්ගේ අතින් වීරයෙක් මැරුනොත් ඒක තමුන්ගේ වීරත්වය පෙන්නන්ඩත් හොඳ උදාහරණයක්. ඉතින් අපේ පිරිමි ඒ වගේ වීරයන්ගේ ඔලු ගෙවල් වලට ගෙනාවා”.
“ඒ ඔලු වලට මොකද කරන්නේ?”
“ඒ ඔලු ගෙවල් වල පත්තු කරන ගිනි මැලේ උඩ එල්ලලා තියනවා. ඒ ගිනි රස්නය අර වීරයන්ව උණුසුම් කරනවලු. සදාකාලික ජීවනය ලබා දෙනවලු! අනික් පැත්තට තමන්ව හොඳින් රැක බලා ගන්න ඉබන් පව්ල් ආරක්ෂා කරලා දෙන්ඩ අර වීරයන්ගේ ආත්ම ඇප කැප වෙනවලු”.
“සටනේදි මැරෙන වීරයන්ගේ ඔලු විතරද එහෙම එකතු කරන්නේ?”
“ඔව්. බයගුල්ලන්ගේ ආත්ම වලට අපිට ආරක්ෂාව දෙන්ඩ බෑනේ. ඉතින් එහෙම අයගේ ඔලු එකතු කරන එකේ තේරුමකුත් නෑ”.
(දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. ඒ කියන්නේ මගේ ඔලු කට්ටෙන් මේ ඉබන් වරුන්ට වැඩක් නෑ. අනේ අපේ රටේ හුගක් අයට ඉබන්වරුන්ගෙන් අනතුරක් නෑ!!)
“තාම ඒ චාරිත්රය තියනවද?”
“1930 ගණන් වලදී ඒ සිරිත නතර උනා කියල කියනවා. හැබැයි ඈත කැලෑ ප්රදේශවල මොනවා වෙනවද කියල කියන්ඩ අමාරුයි!” (මගේ හිතේ තාම ඒ සිරිත තියනවා කියලද මේ මරියා කියන්නේ?)
“එතකොට මිනී මස් කෑවා කියන කතාව හැදුනේ කොහොමද?”
“මං හිතන්නේ මිනිස්සු ඒ වගේ අද්භූත කතා විශ්වාස කරන්ඩ කැමතියිනේ. ඉතින් මිනිස්සු එහෙම කතාවක් හදන්ඩ ඇති. අනික් අතට අපේ අයම එහෙම කතාවක් හැදුවා වෙන්ඩත් පුළුවන් හතුරෝ බය කරන්ඩ!”
“මේ ගෙදර ගැන විස්තර ටිකක් කියන්ඩකෝ”.
“අපි පාරම්පරිකව ජීවත් වෙන්නේ මේ දික් ගෙවල් (Long houses) වල. පවුලේ ප්රධානියාට තමයි ගෙදර මැද කෑල්ල වෙන් වෙන්නේ. පව්ලේ අනිත් සාමාජිකයෝ කසාද බැන්දහම අලුත් පවුලට වෙනම කාමරයක් ලැබෙනවා අර ගෙදරින්ම. ඒ අයගේ දරුවෝ බැන්දහම තව කාමර එකතු වෙනවා ගෙදරට. ඉතින් අපේ ගෙවල් හුගක් දිගයි. සමහර විට අඩි අසූවක් සීයක් විතර”.
“කාමරයක් කොච්චර විතර විශාලද?”
“සාමාන්යයෙන් අඩි තිහක් දිග අඩි තිහක් පළල විතර”.
“කෑම හදන්නේ ඔක්කොටම එකටද?”
“නෑ තනි තනි පවුල තම තමුන්ගේ කෑම හදා ගන්නවා. ඔක්කොටොම එකට උයන්ඩ තරම් දේවල් එකතු නොවෙන හිංදා වෙන්ඩ ඇති ඒ සිරිත පටං ගන්ඩ ඇත්තේ!” (ඒ කියන්නේ ඉබන් වරුන්ගේ හුගක් සිරිත් විරිත් පටන් අරං තියෙන්නේ පරිසරයේ තිබ්බ අගහිගතා වලට උත්තරයක් විදිහට)
“පිරිමි අයගේ ලස්සන පච්චා කොටලා තියනවා නේද? ඒවාට තේරුමක් තියනවද නැත්තං කැමති කැමති විදිහට කොටා ගන්නවද?”
“ඉස්සරනං තේරුමක් තිබ්බා. උදාහරණයක් විදිහට උරහිස් වල පච්ච කොටන්නේ හුඟක් සංචාරය කරපු අය. (බලන්න පහත චායාරූපයේ ඉන්න ඉබන් ගොත්රිකයාගේ උරහිස් වල පච්ච කොටලා තියෙන්නේ). ඇඟිලි පුරුක් වල පිට පැත්තේ පච්ච කොටන්නේ යුද්දෙදි සතුරෝ මරපු කට්ටිය විතරයි”.
ඒක හොඳ සිරිතක්. අද රාජ්ය සේවයේ ලොක්කෝ හුඟක් දෙනෙක් කරන්නේ රට සවාරි යන එක විතරයි. මන් දන්න එක ප්රධාන ආයතනයක සහකාර අධ්යක්ෂක වරයෙක් මේ ළඟදී තමුන්ගේ සියවැනි රට සවාරියට සහභාගී උනා අවුරුදු අටක් ඇතුලත.ඒ ආයතනයේ පොඩි සේවකයෝ කියන්නේ මේ සහකාර තුමා අල්ලගන්ඩ ඕන නම් සිංගප්පූරුවේ එයාර් පොර්ට් එකේ ඉන්න එක ප්රයෝජනවත් ලංකාවේ ඔෆිස් එකට යනවට වැඩිය කියලා. අන්න එහෙම මනුස්සයෙක්ගේ පපුවේ කොටන පච්චේ කොච්චර විතර ලොකු වෙන්ඩ ඕනද?
ඔයින් මෙයින් වැස්සත් නතර උනා. අපි මරියට සමු දීලා ආවත් ඉබන් ගෝත්රික ජීවිතේ අපේ වර්තමාන ජීවිත වලට කොච්චර ලගයිද කියලා මට තාම හිතෙනවා.
++++++++++++
ReplyDeleteස්තූතියි තඩි තුමනි!
Deleteමෙහාට ගොඩවුන පලවෙනි වතාව... බ්ලොග් රෝලට ඇඩ් කරගත්තා...
ReplyDeleteඔබ මගේ ප්‍රියතම බ්ලොග් රචකයෙක් ඩියෝන්. සාදරයෙන් පිලිගන්නවා කට්ටකාඩුවට.
Deleteමම හිතන්නෙත් අපේ රටට සංචාරකයෝ ගෙන්න ගන්ඩ තියන අවස්ථා ගණන කියල නිමකරන්ඩ බැහැ.හැබයි කිසිම දේශපාලක්යෙකුටත් අදාල නිලධාරීන්ටවත් වගේ වගක් නැහැ.රාමුවෙන් පිට පැනල හිතන්ඩ බැරිකමද ඕන නැතිකමද?
ReplyDeleteසරවක් එක්ක සංසන්දනය කරපුවම අපේ සංචාරක විභවයන් හරිම ඉහලයි. ඒත් අපි තාම බලන්නේ දෙකයි පනහේ බැක් පැක් ටුවරිස්ට්ලා ගැන මිසක් ඉහල ආදායම් ලබන අය ගෙන්න ගන්ඩ නෙවෙයි.
Deleteඔවුන් හොඳින් ඉංග්‍රීසි බස හසුරවනවද? මට නම් මැලේසියන් අයගේ ඉංග්‍රීසි ඇක්සන්ට් එක අමුතුයි
ReplyDeleteහොඳ ලිපියක්
ඔවුන්ගේ ඉංග්‍රීසි බස හැසිරවීම ටිකක් අමුතුයි තමා. ඒත් මගේ මැලේ මිත්‍රයාත් උදවු කරපු නිසා සන්නිවේදනයට අපහසුවක් උනේ නෑ.
Deleteමිනී කන අය බලන්න ගිහිල්ල හම්බවෙලා තියෙන්නෙ ඉටිකිරිස් කෙල්ලක්නෙ. හැක්..
ReplyDeleteමොනව උනත් මේ ගම්මානෙ හොඳ සංවිධාන, සන්නිවේදන හැකියාවක් තියෙනව වගේ.
මං ඔය කතාව යාලුවෙකුට කිව්වම ඌ කියනවා ඉතින් මේ වගේ ඉස්තිරියාවක් අපිව මරා ගෙන කෑවත් මොකෝ කියලා!!!
Delete//අපේ රටේ නම් තාම ආගම මතක් වෙන්නේ කරදරයක් උන වෙලා වල් වල විතරයි.//
ReplyDeleteආගම් කරදරයක් වෙන වෙලාවලුත් තියනව
නැතුව නැතුව!!
Deleteබූසාන් වල තිබ්බ brex ලගේ රත්තරන් ආකරය හොයාගන්න ගියානං අහවර නෙව.
ReplyDeleteමං දන්නා තරමින් ඒක උනේ බෝර්නියෝ දූපතේම ඉන්දුනීසියාවට අයිති කොටසේ. බෝර්නියෝ දූපත රටවල් තුනකට අයිති කොටස් වලින් තමයි හැදිලා තියෙන්නේ. මැලේසියානු කොටස,ඉන්දුනීසියානු කොටස හා බෘනායි කොටස තමයි ඒ.
Deleteමරු විස්තරයක්!
ReplyDeleteස්තූතියි!
Deleteමේ විස්තරේ කියවද්දි සමන් අතාවුද හෙට්ටිගේ සොදුරු සැරිසර සරවක් නදිය දිගේ පොත මතක්වුනා. අපුරු විස්තරයක්. (බ්ලොගයට දිගටම ගොඩවුනත් කොමෙන්ටුවත් කොටාගන්නට බැරිවිදියේ තාක්ෂණික ගැටලුවකට මැදිවෙලා ඉන්නේ. මේකත් කොටන්නේ වෙන පරිගනකයකින් )
ReplyDeleteසරවක් වල ඉංග්‍රීසි රජ්ජුරුවෝ ගැන පස්සේ දවසක ලියන්නම්. කට්ටකාඩුවට දිගටම පැමිණීම ගැන ස්තූතියි.
ReplyDeleteආවෙමි කියෙව්වෙමි රසවින්දෙමි ගියෙමි
ReplyDeleteපැමිණීම සතුටකි. නැවත එනු ඇතැයි සිතනෙමි.
Deleteරහට ලියනවා ඔහොම යං
ReplyDeleteරහට ලියනවා ඔහොම යං
ReplyDeleteඅහම්බෙන් බ්ලොග් එක දැක්කේ. දැනුමට එකතු කරගන්න දේවල් ගොඩයි.
ReplyDeleteඅපුරු විස්තරයක්
ReplyDeleteමේ තියෙන්නේ මම බෝර්නියෝ පැත්තේ ගිය වෙලාවක ලියපු සටහනක්
https://biththiya.blogspot.com/2016/09/blog-post.html