Friday, February 23, 2018

පුතු ඉපදුනු මේ දෙරණේ උරුමය පුතුටයි


හැමදාම අපේ රටේ මොකක් හරි අඩුපාඩුවක් ගැන කතා කරනවා. හැබැයි මේ මොන අඩුපාඩු තිබ්බත් මට නං මේ රට තරං වටින රටක් තවත් නෑ. මේ ලඟදි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) ආයතනය තවත් ආයතන කීපයක් එක්ක එකතු වෙලා පල කරපු වාර්තාවක් මේ වටිනාකම ගණන් හිලව් ඇතිවම පෙන්නලා තිබ්බා. අද මම වාර්තාව පාදක කරාගෙන ලියන්නේ අපේ රටේ ඇති සෞඛ් සේවය ගැන හිතේ උපන්න ආඩම්බරේකුත් එක්ක. මේ තත්වෙට විවිධ භාධක මැද්දේ රට ගෙනාපු හැම දෙනාටම පිං දෙන ගමන් කැමති නං කියවමු දකුණු ආසියාවේ ඉපදෙන දරුවෙකුට ඉපදෙන්ඩ තියන හොඳම රටේ ප්රගති වාර්තාවක්.

Levels and Trends in Child Mortality Report 2017  තමයි මම මේ කියන වාර්තාව. අද මම ඒ ගැන ටිකක් ලියන්ඩ හිතුවා.   


මේ වාර්තාව දැක්ක ගමන් මගේ මතකය දිව්වේ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසෙට. මගේ හොඳම යෙහෙළියක් එයාගේ දෙවෙනි දරුවා ලැබෙන්ඩ නුවර පෞද්ගලික රෝහලකට ඇතුල් උනා. හැමදේම හොඳින් සිද්ද උනත් සොඳුරු ලෝකේ උඩු යටිකුරු වෙන්ඩ ගතවුනේ විනාඩි කීපයක්. පෙනහළු වල අධික පීඩනය නිසා ඉපදුනු දරුවාගේ ජීවිතය ඉතා අනතුරුදායක තත්වෙක තියන බව කියවුනා. පෙනහළු වල ප්‍රශ්නෙට අමතරව හදවතේ අසාමාන්‍ය සිදුරකුත් ඇති බවක් තමයි විශේෂඥ දොස්තර වරු කිව්වේ. දස මාසයක් කුසේ දරා ගෙන ආදරෙන් මේ ලෝකෙට බිහි කරපු දරුවා ඉතා ඉක්මනින් මේ ලෝකෙන් සමුගන්න බව මගේ යෙහෙළියට තේරුනා. ඇයට කල හැකිව තිබූ එකම දෙය මවකට අත් විඳීමට සිදුවිය හැකි නරකම අත්දැකීමට සූදානම් වීම! 

තත්වය තවත් භයානක උනේ අදාළ පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයක් තිබුනත් එයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය පැය විසි හතර පුරාම නොලැබෙන බව දැනගන්නට ලැබීම. දරුවා කොතෙක් කල් ජීවත් වේදැයි විශ්වාසයක් නැති උවත් අදාළ රෝහලේ තිබුණු පහසුකම් යටතේ ඒ ජීවත් විය හැකි කාලය ඉතා කෙටි එකක් උනා. මුළු ලෝකය අඳුරු වී ගියා. වැස්සට වඩා කඳුළු වලින් රෝහල් බිම තෙමෙන්න ඇති. මහා පොලොව දෙදරා ගියේ ගොර බිරුම් හඩෙන් නෙවෙයි. ඒ දෙමව්පියන්ගේ හදවත ගැහෙන හඩෙන්.

මේ කාලකන්නි මොහොතේ දේවතාවියක් පහල උනා. දිවය ලෝකෙන් නෙවෙයි මේ අපේ සමාජෙන්. ඇය නුවර මහා ඉස්පිරිතාලේ ළදරු හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරිය. නමින් නාලිකා මැණිකේ. සිරුරෙන් පොඩි උවත් කරුණාවෙන් හා උත්සාහයෙන් පිරිච්ච දේවතාවියක්. ඇය තීරණය කලේ දරුවාව වහාම නුවර ඉස්පිරිතාලේ ළමා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරන්න. ජීවිතෙත් මරණයත් අතර සටනක හිටපු දරුවාගේ පැත්තෙන් හිටියේ අර මහා කාරුණික වෛද්‍යවරිය. ඇයට සහය වෙන්න ජීවක පරපුරේ වර්තමාන සාමාජිකයොත්, නයිටින්ගේල් ගේ පරපුරේ සාමාජිකාවොත් දවල් රෑ පෙළ ගැහිලා හිටියා.
දරුවා ටිකෙන් ටික සුවය ලැබුවා. ඉස්පිරිතාලෙන් පිට වෙන්ඩ ඒ දරුවට ලැබුනේ දවස් විස්සකට විතර පස්සේ. 

ඒ දරුවා තමුන්ගේ දෙමාපියන් එක්ක සංතෝසෙන් ගෙදර ගියා. අර වෛද්‍යවරිය නොහිටින්ඩ ඇය ඉපදුනු දවසෙම ඉස්පිරිතාලෙන් පිට වෙනවා. හැබැයි ඒ ගෙදර යන්ඩ නෙවෙයි. කනත්තට යන්ඩ. ඒ දෙමාපියෝ සදාකාලිකව කඳුළු එක්ක ජීවත් වෙන එක නැවැත්තුවේ, අර කිරිකැටියාට ජීවන හුස්ම පිම්බේ දෙවියෙක් නෙවෙයි. මනුස්ස දුවක්!
අපි හුගක් වෙලාවට කතා කරන්නේ දොස්තරලාගේ නර්ස් ලාගේ වැරදි. හැබැයි ඔවුන්ගේ සේවය අති මහත්. අද ලංකාවේ කී දාහක් දරුවෝ අර මම කියපු දරුවා වගේම වාසනාවන්ත වෙන්ඩ ඇත්ද?

නාලිකා මැණිකේ වෛද්‍යතුමිය වගේ දෙවියන් දේවතාවියන් හිංදා අද අපේ රට ලෝකේ ඉතාම අඩු ළමා මරණ සහිත රටක් බවට පත් වෙලා. මෙන්න සාක්කි.

අවුරුදු 5 අඩු දරුවන්ගේ මරණ අනුපාතිකය (සජීවී උපත් දහසකට)
වාර්ෂික මරණ අඩු වීමේ ප්රතිශතය 
1990
2016
ශ්රී ලංකාව 
21
9
3.1
ඉන්දියාව
126
43
4.1
පකිස්ථානය
139
79
2.2
මාල දිවයින
94
9
9.2
භූතානය
128
32
5.3
නේපාලය
141
35
5.4
ඇෆ්ඝනිස්තානය
177
70
3.6
බංගලා දේශය
144
34
5.5
දකුණු ආසියානු කලාපය 
126
47
3.8

අපි කොහොමත් අනිත් දකුණු ආසියානු රටවල් වලට වඩා වෙනස් නේ. ඉතින් අපි බලමු ලෝකේ දියුණු රටවල් වලට සාපේක්ෂව අපි කොහෙද කියලා.

රට / ප්‍රදේශය
අවුරුදු 5 අඩු දරුවන්ගේ මරණ අනුපාතිකය (සජීවී උපත් දහසකට)
වාර්ෂික මරණ අඩු වීමේ ප්රතිශතය 
1990
2016
ශ්රී ලංකාව 
21
9
3.1
එක්සත් ජනපදය  
11
7
2.1
එක්සත් රාජධානිය
9
4
3
ඔස්ට්රේලියාව
9
4
3.5
නවසීලන්තය
11
5
2.8
ජපානය
6
3
3.3
රුසියාව
22
8
4
චීනය
54
10
6.5

සෝමාලියාවේ මේ අගයයන් 1990 දී 181 හා 2016 දී 133 ගන්නා බව ඇහුවමත් දුක හිතෙනවා නේද? කොහොම නමුත් 1990 දී අවුරුදු 5 අඩු ශ්රී ලාංකික ළමුන් 8,000 වසරකට මෙලොව හැර යද්දී තාමත් අගය 3,000 මට්ටමේ තියනවලු

තව කාරණයක් තියනවා. ඉන්දියාව වගේ සමහර රටවල ගෑණු දරුවෙක්ගේ ජීවිතය බේර ගන්ඩ දරන උත්සාහයට වඩා වැඩි උත්සාහයක් පිරිමි දරුවෙක් බේරගන්ඩ දරනවා. සමහර විට මේ වාර්තාවේ නොකිව්වට පවුලට බරක් වෙන ගෑණු දරුවෙක් මරා දාන්ඩ පවා සමහර දෙමව්පියෝ  උත්සාහ කරන බව අපි අහලා තියනවනේ. අපේ ලංකාවේ එහෙම නෑ. 1990 දී අපේ ගෑණු ළමයි උපත් දාහකට 19 මිය යද්දී පිරිමි ළමයි 23 මැරුණා. 2016 වෙනකොට අගයයන් 8 හා 18 අඩු කරගන්ඩ අපිට පුළුවන් වෙලා. හැබැයි ලෝකේ හැම කළාපෙකම කළාපීය විදිහට සලකපුවම ගෑණු ළමා මරණ අනුපාතය අඩුයි.

නිල් පාටින් තියෙන්නේ ළමා මරණ අවම රටවල්. තද පැහැය වැඩි වෙන්නේ මරණ ප්‍රතිශතය ඉහල රටවල් වල

මේ වාර්තාවේ කියවෙන තවත් වැදගත් කරුණක් තමයි ළමා මරණ වලින් 46% ක්ම සිද්ද වෙන්නේ ඉපදිලා පළමු මස තුලදී බව. මාස 2-60 දක්වා කාලේ සිද්ද වෙන ප්රතිශතය වැඩි උනත් මාසෙකට ගත්තහම එය සුළු අගයක්. අනිත් අතට ලොව පුරා දරුවා ඉපදී පළමු මස සිද්ද වෙන මරණ අඩු කර ගන්ඩ පුළුවන් උනත් එය මාස 2-60 කාලෙත් එක්ක සංසන්දනය කරපුවම තාම පහල අගයක ලු තියෙන්නේ. ඉතිං අපිට තව හුගක් දේවල් කරන්ඩ තියනවා මේ පළමු මස මරණ ගැන.ලංකාවේ 1990 දී පළමු මස මරණ (ළදරු මරණ) සජීවී උපත් 1000 කට 13 වෙද්දී 2016 වෙනකොට එය 5 දක්වා අඩුවෙලා

කියන්නේ අභියෝගය ඉවර නෑ. හැබැයි අර මම මුලින් කිව්වා වගේ දෙවිවරු ඉන්න තාක් කල් අපිට බලාපොරොත්තුවක් තියනවා. මේ බලාපොරොත්තුව සපල කර ගන්ඩ ඕන අපි ජාතියක් විදිහට. මොකද ඒ අපෙන් සමුගෙන යන්නේ අනාගත දවසක හොඳ කළාකාරයෙක්, විද්‍යාඥයෙක්, ගුරුවරයෙක්, කලමණාකරුවෙක්, අම්මෙක්, තාත්තෙක් වෙන්ඩ පුළුවන් හිංදා. එක එක කාරණා හිංදා අපි මේ මිනිස්සුන්ව නැති කරගත්තා හොඳටම ඇති.

ඒ කොහොම වෙතත් ලංකාව මේ අභිමානනීය තත්වෙට ගෙනාපු හැම අම්මෙක් තාත්තෙක්ම, හැම වෛද්‍ය වරයෙක්, වරියක්ම, හැම හෙද මහත්මියක්ම, හැම පවුල් සෞඛ්‍ය සේවිකා මහත්මියක්ම වගේම ගර්භනී වෙච්ච දවසේ ඉඳලා හැම අම්මා කෙනෙක්ම තමුන්ගේ දුවෙක් වගේ රැක බලාගන්න අපේ මුළු මහත් සමාජෙටම පින් පෙත් දෙමින් අදට සමු ගන්නවා. ඒ සියලු දෙනාටම ආවඩා..... ආයුබෝ වේවා!! දෙවියෝ ඔබ නිරතුරු රකිත්වා!!!!



11 comments:

  1. ලංකාවේ පවුල් සෞඛ්‍ය සේවිකාවනුත් හුඟක් වැඩ කොටසක් සිද්ධ කරනවා. මිල මුදල් නැති, නිර්ධන පාන්තිකයන් තමා මෙයින් හුඟක් ප්‍රතිලාභ ලබන්නේ අනෙක් අය පෞද්ගලික රෝහල් වලින් ඒ පහසුකම් ලබා ගන්නවා. විශේෂයෙන්ම කැල්සියම් , විටමින් C, ෆෝලික් අම්ලය වගේම අවශ්‍ය ප්‍රතිශක්තිකරණ එන්නත් සෑම මවකට ලබාදීමෙන්ද මේ වාර්තා යහපත් තත්වයකට පත් වෙන්න උදව් වෙනවා.. මේ ලිපිය හුඟක් හොඳ ලිපියක් ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ තුමියනි. මම ඔබ සමග එකඟ වෙනවා. මට තාම එකම එක ගමයි හම්බ වෙලා තියෙන්නේ ලංකාවේ පවුල් සෞඛ්‍ය සේවිකාවකගේ සේවය ලබා ගැනීමට ගමෙන් පිටට යා යුතු. ඉතා දුෂ්කර ගමක් වන එය හැරුණු කොට අනික් හැම ගමකටම ප.සෞ.සේ. සේවය ලැබෙනවා. ඔවුන්ගේ සේවය අතිමහත්.

      Delete
  2. දරුවෙක් ලැබෙන්න ඉන්න කොට නිරන්තරයෙන්ම ස්කැන් පරීක්ෂණ සිදු කරනවා නේද පෞද්ගලික අංශය නම් යම් දෙමාපියෙක් තෝර ගන්නේ දරු ප්‍රසූතියක් සම්බන්දව... එහෙම පෞද්ගලික අංශය තෝරගෙන නියමිත කාල වලදි නිසි ස්කැන් පරීක්ෂණ ඔබේ යෙහෙලිය තෝර ගත් වෛද්‍යවරයා අතින් සිදු වී නැද්ද මේ අන්තිම මොහොතේ බරපතල තත්වයක් උදා වෙලා තියෙන්නේ.. එහෙම නම් ඇයි ඒ අය රාජ්‍ය අංශය නැතුව පෞද්ගලික අංශය දරු ප්‍රසූතිය සඳහා තෝර ගත්තේ.. පෞදගලික අංශයට මුදල් ගෙවාත් ඇයට නිසි සේවය ලැබී නැද්ද..

    මේ තරම් රාජ්‍ය අංශය කාර්‍යක්ෂම නම් ඇයි ඇය අතුලු බොහෝ අය පෞද්ගලික අංශය තෝර ගන්නේ මුලින්ම... ඒ තරම්ම විස්වාශ කරන්න බැරි තැනකට කොහොමද රාජ්‍ය අංශය පත් වුනේ..

    මා සිතන විදිහ අනූව නම් හිතේ දයාව කරුණාව අවංකකම ඇති අන් අය ගැන සංවේදි මිනිසුන් සිටින කොතනත් හරි වටින තැනක් ලොකේ කොහෙත්..

    මේ ඔබේ සටහනේ මුල් ටික කියවද්දි හිතට නැඟුණු අදහස් කිහිපයක්.. පසුව ඉතිරියත් කියවා බලා අදහස් ලියන්නම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අදහසට. මම දන්නා තරමින් ඔවුන් සියලු ස්කෑන් පරීක්ෂණ සිදු කළා. ඔවුන් සේවය ලබා ගත්තේ ඉතා පළපුරුදු නාරි වෛද්‍යවරයෙකුගෙන්. නමුත් කිසිදු අනතුරුදායක තත්වයක් වාර්තා වෙලා නෑ. සමහරවිට අතපසු වීමක් වෙන්න ඇති. සමහරවිට එවැනි පහසුකම් නුවර ප්‍රදේශයේ නොතිබුනා වෙන්නත් පුළුවන්. හරි උත්තරේ මම දන්නේ නැහැ. කොහොම නමුත් ඔවුන් පෞද්ගලික අංශය තෝරාගෙන තිබුනේ වැඩි පහසුකම් බලාපොරොත්තුවෙනුයි. හැබැයි අන්තිමට පිහිටට ආවේ රජයේ රෝහල!

      Delete
    2. කිසියම් රටක එක ක්ශේත්‍රයක පහසුකම් එක් පොදු තැනකකින් නිසියාකාරව සමතුලිතව පාලනය නොවී හිතු හිතු ලෙස පාලනය වීම මිස කිසිවෙකු වැරදි නැහැ මම හිතන්නේ..

      අනිත් එක මිනිස්සු දැනුවත් නැහැ.. කසාඳ බඳින්නන් වාලේ බැඳලා ළමයි හදනවා මිසක්, තමන් වෙහෙසිලා දැනුම හොයලා විශ්ලේෂනාත්මක අවබෝදයක් ඇතුව දෙයක් කරන්නේ නැහැ, විශේෂයෙන් දරුවන් සම්බන්ධව.

      Delete