Saturday, April 21, 2018

දවල් මිගෙල් රෑ ඩැනියෙල්


අපිට හම්බ වෙන මිනිස්සු හරි පුදුමාකාරයි. එලියට පෙන්නන මනුස්සය නෙවෙයි ඇතුලේ ඉන්නේ. අපේ නෝන මහත්තයගේ ගෙදර කට්ටිය මට කැමැත්ත දෙන්ඩ කලින් මගේ උපන්න වෙලාව ඉල්ලගෙන ගිහිං පොරොන්දන් බලවලා. ඊට අමතරව මගේ ගති ගුණ ගැනත් සාත්තර කාරයෙකුට කියල අස්සවලා. මනුස්සයා කිව්වලු ඔය උඩිං පෙන්නන මනුස්සයා නෙවෙයි ඇතුලේ ඉන්නේ, මහා දෙබිඩි චරිතයක්, කසාද බැඳලා ටික දවසකින් වහල් කමට ගියා වගේ දැනෙයි කියලා. අපේ නෝනත් ඔය කතාව ඇදලා ගන්නේ මොකක් හරි හිත් නොහොඳ කමක් ඇති වෙච්ච වෙලාවටමයි. මටත් එතකොට යකා නගිනවා. මගේ රෙඩිමේඩ් උත්තරේ තමයි සාත්තර කාරයා මට කියන්ඩ තිබ්බ දෙයක් වැරදිලා තමුන්ට කියලා තියෙන බව කීම. කොහොම උනත් ඊයේ ටී වී එකේ මම දැක්ක එක කතාවක් හිංදා මට එක එක දේවල් හිතෙන්ඩ පටං ගත්තා මේ කාරණේ ගැන.

අපේ වික්ටර් රත්නායක මහත්තයාගේ මාලිනියේ සින්දුව අහල තියනවා නේද?

මාලිනියේඉන්ද්‍රජාලය

මා මනසේ - අන්ධකාරය

මා දෑස සොයනා - ඔබ දෑස නැත

රුව ඇඳුනේ මාලිනියේ - නොරැවටෙන්

ඈන් ස්පොරි

මටනං හිතෙන්නේ මතුපිට සහ ඇතුලත චරිත ගැන කියවෙන මේ සිංදුවට ගැලපෙන චරිතයක් තමයි ඊයේ මම දැනගත්තු කෙන්යානු ජීවිත දහස් ගණනක් බේර ගත්තු වෛද්‍යවරියගේ කතාව. කැමති නං කියවන්ඩ මේ ඈන් ස්පොරි ගේ කතාව.


ඇෆ්රිකානු භූමියේ ජීවත් වෙන මසායි ගෝත්රිකයෝ මමා ඩක්ටාරි එහෙම නැත්නං 'දොස්තර අම්මා' කියල හඳුන්වපු ඈන් වෘත්තියෙන් වෛද්‍යවරියක්. ස්විස් - ප්‍රංශ සම්භවයක් දරපු මේ ඈන් සම්බන්ධ වෙලා හිටියා African Medical and Research Foundation (Amref) කියන ආයතනයකට. මේ කට්ටියගේ එක සේවයක් තමයි කෙන්යාවේ පාරවල් වලින් ලගා වෙන්ඩ අමාරු ප්‍රදේශ වලට ගුවනින් වෛද්‍ය ආධාර සැපයීම. යන්ඩ එන්ඩ විදිහක් වත් නැතුව තියන පැත්තක කොහෙද දොස්තරලා? ඉතිං කාටහරි ලෙඩක් උනාම පණිවිඩයක් එවනවා Amref එකට. ඒ කට්ටිය පොඩි ගුවන් යානයක දොස්තර කෙනෙකුයි බේතුයි යවනවා අදාළ තැනට. ඔන්න ඔහොමයි වැඩේ සිද්ද උනේ. ඉතින් ඈන් ගේ විශේෂත්වය මොකද්ද?

එයා උපන්නේ 1918 දී ඉතාම ධනවත් ස්විස් දෙමාපියන්ට දාව ප්‍රංශයේදී. එයා වයස 45 වෙච්ච 1964 ඉඳලා වයස 81 වෙලා 1999 මියයන දවස දක්වාම ඇෆ්රිකානු ජීවිත සුවපත් කරන්ඩ දරපු අප්‍රමාණ කැප කිරීම් හිංදා තමයි විශිෂ්ටත්වයට පත් උනේ. ගුවන් වෛද්‍ය සේවය පිහිටවපු ටොම් රීස් කියන විදිහට මේ ඈන් ගේ තනි මෙහෙවරින් කෙන්යානු වෙරළ තීරයේ හැතැම්ම 100 විතර ප්‍රදේශයේ පෝලියෝ නැත්තට නැති උනා. සමහර කාලවලදී මෙයා මාසෙකට ලෙඩ්ඩු 1,000 කට විතර බේත් දුන්නා. සතියකට ළමයි 2,000 කට විතර ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දුන්නා. ජීවිතේ අවසාන කාලෙත් මාසෙකට තුන් පාරක් මෙයා ඈත ගම් දනවු වලට පියාසර කරලා ලෙඩ්ඩුන්ට බේත් දුන්නා. ඇත්තටම සමහර වෙලාවල් වල ඒ බේත් ගන්ඩ, අදාළ වෛද්‍ය සේවා පවත්තගෙන යන්ඩ ඕන කරන සල්ලි ලැබුනේ ඈන් ගේ පෞද්ගලික වත්කම් වලින්. කොටිම්ම කිව්වොත් තමුන්ගේ අතින් සල්ලි වියදම් කරගෙන, බටහිර රටක සැපසේ ජීවත් වෙන්ඩ තිබ්බ විකල්පය අත් ඇරලා, නැගෙනහිර ඇෆ්රිකාවේ මිනිස්සු සුවපත් කරන්ඩ මහන්සි වෙච්ච සුර දූතිකාවක් තමයි මේ ඈන්.


මම ඉස්සරලා කිව්වා වගේම ඈන් 1999 දී කෙන්යාවේදී මියයනවා. එයා වෙනුවෙන් තැන හතරක දේව මෙහෙයයන් පවත් වෙනවා. මිනිස්සු දාස් ගානක් මේ ගුණ කඳ සිහිපත් කරන්ඩ එක් වෙනවා. කෙන්යාවේ ප්‍රංශ තානාපති වරයා මේ අවමගුල් උත්සවයේදී කියනවා ඈන් ප්‍රංශයට ගෞරවය ගෙනා චරිතයක් බව.

ඔය අතරේ මෙයාගේ යාලුවෙක් වෙච්ච ජෝන් හෙමිංවේ කියන මාධ්‍යවේදියා ඈන් ගේ පරමාදර්ශී ජීවිතය ගැන නැවත නැවත කල්පනා කරන්ඩ පටන් ගන්නවා. තමන්ගේ මුළු ජීවිත කාලෙ ගැනම ඈන් කිව්වත් දෙවැනි ලෝක යුද සමය ගැන කතා කරන්ඩ එයා කවදාවත් කැමති උනේ නෑ. ප්‍රසිද්ධ කතාවක් උනේ ජර්මනිය විසින් ලෝක යුද්දෙදි ප්‍රංශය යටත් කර ගත්තට පස්සේ ඈන් ප්‍රංශ විමුක්ති ගරිල්ලා කණ්ඩායමකට බැඳුන බවත් ටික කාලෙකින් ඇයව ජර්මන් ඇත අඩංගුවට පත් වෙලා ලිංගික වහල් සේවයට යොදවලා හිටපු බවත්. ජෝන් ට දැන ගන්ඩ ඕන වෙන්නේ එහෙම කෲර සලකීමකට බඳුන් වෙච්ච ඈන් කොහොමද ජීවිත බේරගන්න සාන්තුවරියක් උනේ කියන එක. හැබැයි ඈන් කවදාවත් ඒ අතීතය දිග අරින්නේ නෑ.

අගේ මරණින් පස්සේ එයාගේ ලිපි ලේඛන තියන පෙට්ටි වගයක් පවුලේ කට්ටියට ලැබෙනවා. ඒ ලියුම් කියුම් වලින් ඈන්ගේ සැඟවුණු අතීතය හෙළි වෙනවා. මේ හිර කඳවුරෙන් බේරිච්ච කීප දෙනෙක් හොයා ගෙන හෙමිංවේ යන්නේ ඈන්ගේ ලියවිලි වල තියන කතා ඇත්තද කියල තහවුරු කරගන්ඩ. ඒ අය මේ ලියවිලි තහවුරු කරනවා විතරක් නෙවෙයි තව හොඳ හොඳ කතා ටිකකුත් කියනවා. ඒ ඔක්කොම කතා එක්කහු කරලා හෙමිංවේ පොතක් ලියනවා. මම මේ කියන්ඩ යන්නේ ඒ කතාවේ සාරාංශයක්. 

ඈන් පැරිස් නුවර වෛද්‍ය විද්‍යාව හදාරමින් ඉන්න කාලෙදි තමයි ජර්මන් හමුදාව පැරිසිය ආක්‍රමණය කරන්නේ. ඈන්ගේ අයියා, ප්‍රන්ශුවා සම්බන්ධ වෙනවා ජර්මන් කාරයන්ට විරුද්ධව සටන් වදින හමුදා කණ්ඩායමකට. ඈන් බයිසිකලෙන් එහා මෙහා පණිවිඩ ගෙනියන්නේ අයියාට උදවුවට. 1942 වෙනකොට ප්‍රන්ශුවා අර සටන් කණඩායමේ නායකත්වයට පත් වෙනවා. ඉතිං ඒකෙන් උද්දාමයට පත්වෙන ඈන් තමන්ගේම විමුක්ති කණ්ඩායමක් හදා ගන්නවා පැරිසියේ. සටන්කරුවන්ට ආරක්ෂාව සපයන නිවාසයක් එයා පවත්තගෙන යනවා. හැබැයි එයාව පාවා දෙන්ඩත් කට්ටියක් ලැස්ති වෙලා ඉඳලා. ඒ හින්දා 1943 මාර්තු වලදී ජර්මානු ගෙස්ටාපෝ පොලිසිය ඈන් ව අත් අඩංගුවට ගන්නවා. 

1944 ජනවාරි වල එයා රෙවෙන්ස්බ්‍රක් (Ravensbruck) හිර කඳවුරට මාරු කෙරෙනවා. රෙවෙන්ස්බ්‍රක් තමයි නාසි ජර්මනිය පිහිටවලා තිබ්බ කාන්තාවන්ටම වෙන්වෙච්ච එකම සිර කඳවුර. සුප්‍රසිද්ධ අවුස්විච් හිර කඳවුර තරම්ම නොවුනත් මරණයේ හෙවනැල්ලෙන් නිරන්තරයෙන් වැහිලා තිබ්බ මේ හිර කඳවුරට 123,000 විතර සිරකාරියෝ යැවුනා. බේරුනේ 30,000 කට අඩු ප්‍රමාණයක්. තේරෙනවනේ මේකෙ හැටි. 

1944 ජූලි අග වෙනකොට හිර කඳවුර පිරිලා ඉතිරිලා යමින් තිබුනා. එක ඇඳක හිර කාරියෝ හතක් විතර හිටියා. අනන්ත වැඩ වේධනා වලට අමතරව එක එක ලෙඩ බෝවෙමින් තිබුනා. මේ කාලෙදි ඈන්ව මාරු කරනවා 10 ගොඩනැගිල්ලට. එක තමයි ක්ෂය රෝගය හා මානසික රෝග වලින් පීඩා විඳපු සිරකාරියන්ගේ කොටස. මේ ගොඩනැගිලි පාලනය කරන්ඩ ජර්මන් කාරයන්ට කඩේ ගිය 'අක්කලා' ටිකක් පත් කරලා හිටියා. 10 හිටපු 'අක්කා' තමයි කර්මන් මෝරි. ඈන් මේ මෝරි එක්ක යාලු වෙනවා. මෝරි ලෝකෙ කාලා මූදෙ වතුර බීපු එහෙම නැත්තං අං ගිලපු චරිතයක්!
මෝරි අක්කා

මෝරි සහ ඈන් සමලිංගික ආශ්‍රයක් පටං ගන්නවා. ඒ එක්කම 1944 ජූලි වලදී ඈන් නම වෙනස් කර ගන්නවා ඩොක්ටර් ක්ලෝඩ් කියලා. මෝරිට හිතුනම කවුරුහරි හිරකාරියෙක් මහා කරදරයක් කියලා ඩොක්ටර් ක්ලෝඩ් ඒ හිරකාරිට ඉන්ජෙක්ෂන් එකක් දෙනවා. ඊට පස්සේ ටික වෙලාවකින් එයා කාමරෙන් අතුරුදන් වෙනවා. ආය කවදාවත් නොදකින්ඩම. සමහර වෙලාවට හිරකාරියන්ට දස වධ දෙන්නෙත් මේ දෙන්න එක්කහු වෙලා. උදාහරණයක් විදිහට මානසික රෝග වාටුවට ඇවිල්ලා මේ අය සීතල වතුර ගහනවා ලෙඩ්ඩුන්ට. ඒ කාලේ වාටුවේ ලෙඩ්ඩු 65 විතර හිටියා. හැමදාම හිරකාරියෝ 60 විතර මැරුණා. අනිවාර්යයෙන් ඒ අතර ඩොක්ටර් ක්ලෝඩ් ගෙන් ඉන්ජෙක්ෂන් වැදිච්ච කීප දෙනෙකුත් හිටියා. 1945 ජනවාරි 01 මෝරි ව වෙන හිර කඳවුරකට යැවුනා. ඒ මිත්‍ර හමුදා ළඟ ලඟම එන බවට ආරංචි ලැබුණු හිංදා. 44 ජූලි ඉඳන් 45 ජනවාරි වෙනකල් මාස පහේ ඩොක්ටර් ක්ලෝඩ් අඩු ගානේ සිය ගානක් හිරකාරියෝ මැරුවා. දාස් ගානකට වධ දුන්නා. රෙවන්ස්බ්‍රක් වලින් බේරිච්ච එක්කෙනෙක් අතීතය මෙනෙහි කලේ එහෙම.

දවස් පහකට පස්සේ ඩොක්ටර් ක්ලෝඩ් ව හයේ ගොඩනැගිල්ලට මාරු කළා. ඒ උණ හා පාචනය ලෙඩ්ඩු හිටපු තැන. ඒ ගිය ගමං ඩොක්ටර් ක්ලෝඩ් ආපහු තමන්ගේ මුල් නම පාවිච්චි කරන්ඩ පටං ගත්තා. ක්ලෝඩ් ආපහු ඈන් උනා. එහෙදි ඉන්ජෙක්ෂන් තිබ්බේ නෑ. ඈන් ලෙඩ්ඩු කීප දෙනෙක්ව මරණයෙන් ගලව ගත්තු බවත් කියවෙනවා මේ කාලෙදි.
1945 අප්‍රේල් 25 ස්වීඩන් රතු කුරුස හමුදාව රෙවන්ස්බ්‍රක් කඳවුරේ හිටපු හිරකාරියන්ව නිදහස් කර ගත්තා. ඈන් ආපහු ගෙදර ගිහිං බාගෙට ඉවර කරපු වෛද්‍ය උපාධිය ඉවර කරන්ඩ ඉගෙන ගන්ඩ පටං ගත්තා.

මේ අතරේ මෝරි අත් අඩංගුවට පත්වෙලා නඩු විභාගයකට මූණ දෙමින් හිටියා. එයාගේ සහයට තිබ්බේ එකම සාක්කියයි. ඒ ඈන්. හැබැයි එයා උසාවියට ගිහිං මෝරිගේ පැත්තට සාකි දීම ප්‍රතික්ෂේප කළා. ඔය අතරේ ඈන්වත් අත් අඩංගුවට ගන්නවා. එයාට විරුද්ධව නඩු අහන්ඩ පටන් ගන්නකොට ඈන් ගේ කෝටිපති තාත්තා රටේ හිටපු හොඳම නීතීඥයෝ රෑණක් අල්ලලා දුවට සපෝට් කරනවා. හැමදාමත් වගේ නඩු හදන්නෙත් නැති කරන්නෙත් නීතිය දන්නවා කියන සුළු පිරිසක්. ඉතිං ඈන් ට විරුද්ධව නඩු පවරන්ඩ තරං කරුණු නෑ කියල නඩුව අහක යනවා. නෑ නෑ මේ ලංකාවේ වෙච්ච දෙයක් නෙවෙයි. ස්විට්සර්ලන්තෙයි ප්‍රංශේයි වෙච්ච දෙයක්. ඒ කාලේ විතරක් නෙවෙයි දැනුත් එහෙම තමයි එහෙ විතරක් නෙවෙයි මෙහෙත්!!!

1947 පෙබරවාරි වල මෝරිට මරණ දණ්ඩනය නියම වෙනවා. මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්ඩ නියමිත 1947 අප්‍රේල් වල. ඒ දිනයට සතියකට ඉස්සර මෝරි සිය දිවි නසා ගන්නවා බ්ලේඩ් එකකින් තුවාල කරගෙන.

සාමාන්‍ය උසාවි වලින් බොරු එක එක විදිහට නිදහස් වෙන ක්‍රම තියන බව අපි හැමෝම දන්නවනේ. ඒත් මිනිස්සුන්ගේ මතකය කියන උසාවියෙන් එහෙම නිදහස් වෙන්ඩ ලේසි නෑ. ප්‍රංශ නිදහස් සටනේ හිටපු සාමාජිකයෝ උසාවියක් පිහිටුවා ගන්නවා ගෞරවයේ අධිකරණය කියල. ඈන්ට ඔවුන් බල කරනවා මේ අධිකරණය ඉදිරියට ඇවිත් නිවැරදි බව ඔප්පු කරන්ඩ කියල. 1946 මැයි මාසේ ඈන්ට විරුද්ධ නඩුව ඇහෙනවා මේ 'අලුත් උසාවියේ'. ඈන්ට විරුද්ධ සාක්කි එක පිට එක එලියට එනකොට සමහර සාක්කිකාරියෝ ඈන්ව හඳුන්වන්නේ යක්ෂයෙක් විදිහට. ඈන් කඩා වැටෙනවා. එයා වැරැද්ද පිලි ගන්නවා.
'ගෞරවයේ උසාවිය' ඈන්ව වැරදිකාරිය විදිහට නම් කරනවා මෙන්න මේ වැරදි වලට. වෛද්‍යවරියක් විදිහට වංචනිකව කටයුතු කිරීම, ප්‍රංශය පාවාදීම, කෲර ක්‍රියා සිදු කිරීම මගින් ප්‍රංශයට අපකීර්තියක් ගෙන ඒම. දඬුවම ප්‍රංශයෙන් අවුරුදු විසි පහක් පිටුවහල් කිරීම.

මේ උසාවි නියෝගය හිංදා ප්‍රංශ වෛද්‍ය පීටය ඈන් ගේ වෛද්‍ය උපාධිය ලබාදීම නවත්වනවා. හැබැයි මේ වෙනකොටත් එයා නිවර්තන වෛද්‍ය ක්‍රම ගැන ඩිප්ලෝමා එකක් අරං හිටියේ. හැබැයි උපාධිය නොලැබුණා කියල ඈන් ගණන් ගන්නේ නෑ. එයා වෛද්‍ය ස්පොරි කියල අත්සන් කරන්ඩ පටං ගන්නවා. ආයෙත් අහනවා මේ ලංකාවෙද කියල. නෑ බොලව් මේ ලංකාවේ නෙවෙයි ප්‍රංශේ වෙච්ච දෙයක්. මෙහෙ විතරක් නෙවෙයි ඒ කාලේ එහෙත් ඕන කොල්ලෙකුට බල්ලෙකුට ඩොකෙක් කියලා වැඩ පටං ගන්ඩ පුළුවන් වෙලා තියනවා.

ඒ විදිහට අපකීර්තිමත් විදිහට ප්‍රංශයට ආයුබෝවන් කියන්ඩ වෙන ඈන් රස්සාවක් හොයා ගන්නවා රතු මුහුද පැත්තට එන වන්දනා කරුවන් සහිත නැවක. ඒ ආපුවම දකිනවා කෙන්යාව. ඒ 1949 අගදී. එයා අක්කර 3,000 විතර අරගෙන ගොවිපොළක් පටන් ගන්නවා කෙන්යාවේ. ඒ 1950 විතර. 1964 ඒ කියන්නේ කෙන්යාවට ඇවිල්ලා අවුරුදු 15 කට පස්සේ ඈන් ගුවන් යානා පදවන්ඩ බලපත්‍රයක් ලබා ගන්නවා. ඊට පස්සේ මම අර මුලිං කියපු විදිහට Amref එකත් එක්ක එක්කහු වෙලා 'පියාඹන දොස්තර' කෙනෙක් විදිහට සාන්තුවරියකගේ චරිතයට අවතීර්ණ වෙනවා.

ගිය සතියේ දවසක CNN එකේ ක්‍රිස්ටියාන් අමන්පෝ මේ පොත ලියපු ජෝන් හෙමිංවේ එක්ක සාකච්චාවක් තියනවා. ඒ සාකච්චාව බලපු වෙලාවේ ඉඳලා මගේ හිතේ හොල්මන් කරන ප්‍රශ්න කීපයක් තියනවා. මෙන්න ඒ ප්‍රශ්න. උත්තර දන්නා කෙනෙක් ඉන්නවා නං උත්තර දුන්නොත් පිං සිද්ධ වෙනවා.

1. ඈන් ඉතිහාසයේ භයානක අපරාධ කරපු බව ඇත්ත. හැබැයි ඒ වැරදි වලට එයා වන්දි ගෙව්වේ අප්‍රමාණ සේවයක් කරලා. එතකොට අර වැරදි අමතක කරන්ඩ පුලුවන්ද? වැරදි අමතක නොකරනවා කියන්නේ එයාගේ හොඳ අමතක කිරීමද? එහෙම නං ලෝකයා, ඈන් තරමට හෝ ඊටත් වැඩියෙන් කුහක නොවන්නේද?

2. ඈන් සුදුසුකම් ලත් වෛද්‍යවරියක් නෙවෙයි. හැබැයි ඇය ලෙඩ්ඩු ලක්ෂ ගානකගේ ජීවිත බේරුවා. එතකොට වඩා වැදගත් සුදුසුකම් ලබා ගැනීමද, කැපවීමෙන් යුක්තව සේවය කරලා ජීවිත බේරා ගැනීමද? ජීවිත බේරා ගැනීම වැදගත් නං එහෙම කියල ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්ඩ ඉඩ දෙන එක හරිද? (මම අහන්නේ ඕන කෙනෙක් ඕන දෙයක් කරන ලංකාවේ තත්වේ නෙවෙයි ශිෂ්ට සම්පන්න සමාජයක් වෙන්ඩ ඕන විදිහ) 

3. එකට එක්කහු වෙලා සිරකාරියන්ට වධ දීපු මෝරිට මරණීය දණ්ඩනය හිමි වෙන්නෙත් ඈන් නඩු නැතුව නිදහස් වෙන්නෙත් විධිමත් අධිකරණ ක්‍රියාවලියේ තියන හිස් තැන් හිංදා. ඒ කියන්නේ එහෙම හිස්තැන් අදත්, එදත්, මෙහෙත්, එහෙත් තිබ්බා. තියනවා. ඇයි ඒ හිල් වහන්නේ නැත්තේ? කාගේ වාසියටද? කාගේ උවමනාවටද?

4. විධිමත් අධිකරණ ක්‍රියාවලියකින් ඈන් නිර්දෝෂ උනත් මිනිසුන් විසින් පිහිටුවා ගන්නා ලද අධිකරණයකින් වැරදිකරු වූ ඇය ඒ තීන්දුවට ගරු කළා.

4.1 ලංකාවේ එහෙම දෙයක් උනා නං කොහොම තියෙයිද?

4.2 ලංකාවේ විධිමත් අධිකරණ ගැන විශ්වාසය මහා නාය යෑමකට පසුගිය වසර තිහක පමණ කාලයක් පුරා ලක් වෙද්දී මිනිස්සු 'ගෞරවයේ අධිකරණයක්' පිහිටුවා ගන්ඩ උත්සාහ නොකරන්නේ ඇයි? ඒ දවස අපේ ජීවිත කාලය තුල උදා වෙනු ඇත්ද?

එහෙවු නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරණු මැන........!!!

19 comments:

  1. ayye angulamala pirithen wadak thiyeda nadda ?

    ReplyDelete
    Replies
    1. රන්සකු මල්ලියේ, අංගුලිමාල පිරිත කියන්නේ බබෙක් හම්බවෙන්ඩ යනකොට සාමාන්‍යයෙන් හම්බ වෙන්ඩ නියමිත දිනයට මාසෙකට දෙකකට කලින්. දැන් තියන ප්‍රශ්නේ කාට බබා හම්බ වීමද කියන එක. සාමාන්‍ය මිනිස්සු සැලකුවොත් මගේ හිතේ දැනටමත් 'බබා හම්බ වෙලා' ඉවරයි. පේනවනේ එක එක්කෙනා කියන හැටි නඩු අහපු ආකාරය ගැන. දූෂිත අධිකරණ ක්‍රමයට බබා හම්බ වෙන්ඩ යනවද කියල හිතනවනං මම හිතන්නේ තව හුඟක් කල් තියනවා. පේන තෙක් මානෙක එහෙම දවසක් නෑ. ඉතින් මේ කොයි විදිහෙන් ගත්තත් අංගුලිමාල පිරිතෙන් වැඩක් නෑ. හැබැයි කවුරු හරි අලුතින් නඩුවක් දාන්ඩ හිතාගෙන ඉන්නවනං ඔන්න මේ පිරිත කියවගන්න එක ඇඟට ගුණයි!!!
      ස්තූතියි ඔබේ අදහසට!!

      Delete
  2. Replies
    1. ගහන්නේ කවදාද මේ වගේ වැටක් දූෂිත අධිකරණ ක්‍රමය හා අසරණ මිනිස්සු අතර?

      Delete
  3. 'ගෞරවයේ අධිකරණයක්'එකනම් කදිම අදහස . හ්ර්දශාක්ෂියේ අධිකරණයට පමණක් එය යටත් වේවි

    ReplyDelete
    Replies
    1. හර්ද සාක්ෂියක් ඇති මිනිසුන්ට පමණක් ගෞරවය වැදගත් වේ. දේව ධර්මය - පවට ඇති ලැජ්ජාව සහ භය - නොදත්තවුන්ට හර්ද සාක්ෂියක් නැත. එනිසාම ගෞරවයක්ද නොමැත්තේය!
      ස්තූතියි පොලියානා මේ පැත්තේ ආවාට. ඔබේ බොහෝ කවි වලත් මේ ගැන කියවෙනවා මම දැක්කා.

      Delete
  4. https://gadyanohothkavi.blogspot.com/2018/04/blog-post_439.html

    ReplyDelete
    Replies
    1. පත්තරෙන් ඇවිත් මෙහේ ඇද්ද යම් කෙනෙක්...?

      Delete
  5. //වඩා වැදගත් සුදුසුකම් ලබා ගැනීමද, කැපවීමෙන් යුක්තව සේවය කරලා ජීවිත බේරා ගැනීමද?//
    අසීරු අවස්ථාවන්වලදි ඔය සුදුසුකම් වලට වැඩිය කැපවීම වටිනව. සුදුසුකම් ලත් අය සුදුසු තැන්වල වැඩ කරද්දි යන්න පාරක්වත් නැතිව තිබ්බ අර මිනිස්සුන්ට ඔය සුදුස්සො සේවය කරයි කියල හිතන්න බෑ. මෙහේ උනත් දුෂ්කර සේවයට යන්නෙ කීයෙන් කී දෙනාද. ඒ වගේ අවස්ථාවක කැපවීම සුදුසුකම් වලට වඩා වටිනව.

    ReplyDelete
    Replies
    1. එකඟයි ප්‍රසන්න. දිස්ත්‍රික් කෝටා ක්‍රමය කියන මුලාවේ දශක දෙකක් විතර ගෙවලත් තාම ලංකාවේ දුෂ්කර පළාත් වල සේවයට වෛද්‍යවරු මදි. ගුරුවරු මදි. අනික් රාජ්‍ය සේවකයෝ ගැන මම නොකියන්නේ වැඩිම කැපවීමක් අවශ්‍ය සේවාවන් දෙක ගැන තත්වය එහෙම නං අනිත් සේවාවන් ගැන කියල වැඩක් නැති හිංදා. ඒ අතින් පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ විශිෂ්ට සේවය අගය කරන්ඩ ඕන. ඔවුන්ගේ උගත් කම වෛද්‍යවරුන්ට සාපේක්ෂව අඩු වෙන්ඩ පුළුවන් නමුත් සේවා ලැදියාව ගව් ගණනක් ඉදිරියෙන්! කොහොමද එහෙම උනේ?

      Delete
    2. සම්පූර්ණයෙන්ම එකඟයි. සේවය සලසන්න ඉතා දුක්සර පැළාත් වල (වැඩි ඈතික නෙමේ කළුතර දිස්ත්‍රික්කයේම) අඩි පාර වල වෙහෙස හා උණුසුම දරාගත් නොහැකිව ක්ලාන්ත වුන පවුල් සෞඛ්‍ය සේවිකාවන්ව දැකලා තියෙනවා. බෝවන රෝග වැළක්විම සදහා ගෞරවය මුළුමුනින්ම වාගේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ විශිෂ්ට සේවයට හා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට ලැබිය යුතුයි. දැකලා කියෙනවාද ඔවුන්ගේ ලොක්කා මට ඕන හැටියට වැඩනරව ඔෆිසර් (එම්.ඕ.එච්) සෙනසුරාදා ඉන්නවා කවදාවත් දැක තියෙනවාද?.

      Delete
  6. Meka nam puduma hithena, adahanna bari tharam apooru kathawak!

    ReplyDelete
    Replies
    1. නාසි අපරාධකරුවන් අතර මෙවැනි අයත් හිටියා කියල දැන ගැනීම පුදුම සහගතයි තමා සරත් පෙරේරා තුමනි. ඊටත් වඩා පුදුමයි මට නම් ගෞරවයේ අධිකරණය ගැන. දකුණු ඇෆ්රිකාවේ 'සත්‍ය සෙවීමේ කොමිසම' - Truth Commission මෙහෙම එකක් වෙන්ඩ ඇති.

      ඒ රටවල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ!
      වැරදි කරුවො වැරැද්ද බාර ගන්නෙ නෑ!!!

      Delete
  7. සුදු මිනිසාගේ මානසිකත්වය පෙරදිග අපට වඩා වෙනස්.හරියට අපි වර්ණයෙන් වෙනස් වගේ.දෙවන ලෝක යුද්ධ කාලේ කොහොමත් නීති අද වාගේ නොවෙයි.කිසිම රටක නීතිය සීයට සීයක් හරි නෑ.ඕවා ලංකාවට කියන එක වැඩකුත් නෑ.පෙරදිග උනත් ජපානෙදී,තායිවානයේදී,කොරියාවෙදී,චීනයේදී මේවා කතා කෙරුවොත් සාධාරණව උත්තර ලැබේවි.සුදු මිනිස්සු දෙයක් උනාම ඒකට පියවර ගන්නවා,ඉවරයි.අපි වගේ දිගටම කරේ තියන් යන්නෑ.සුදු මිනිසාගේ ගොවි පොළක් ගනිමු.එහි ඉන්න සත්තුන්ට ඔහුගේ දරුවෝ,ඔහු කරුණාවෙන් සලකනවා.හැබැයි ආහාරයටත් ගන්නවා.කන්න ගන්නේ කහොමද? මරලා මිසක්.... එතකොට අපි කියයි හපෝ මුන්... කියලා.ඔතන තියෙනවා අපි හිතන සීමාවෙන් එහා දෙයක්.අපේ බොදුනුවෝ මස් කනවා අපි මරන් නෑ කියමින්,තව කෙනෙක් මාලු කනවා මස් කන්නේ නෑ කියනවා,අනෙකා නිර්මාන්ශීයි.කුහකබව,කේන්තිය පිරිලා.අපි ඉන්නේ බොරු රඟපෑමක ජීවිතය පුරාවට.සුදුසුකම් වගේම කැපවීම,පුරුදු බව වටිනවා.පුරුදුබව ඇති කෙනාට සුදුසුකම් ගන්න විභාග ක්‍රම ඇතිකළා දියුණු රටවල්.තම ජාතියට අද ඔවුන් දයාබරයි.අපේ රටේ පොඩි මිනිහාට උගත් ලොකු රැකියා කරන අය ගරු කරනවද?බටහිර ලෝකය එහෙම ගරු කරනවා,හදවතින්ම.මිනිස්සු විසින් පිහිටුවා ගන්න අධිකරණයක් මේ ලංකාවේ ?..??හීනයකින්වත් දකින් නෑ.ලාංකීය ජන සමාජය අති දූෂිතයි.පොඩි එකාගෙ පටන් මහ එකා දක්වාම පොදුවේ දූෂිතයි.හැබැයි උදේ,රෑ බණ කියන්නේ.අද තරුණ අය ඇයි පිටරට යන්නේ?බටහිර රටවල මුලින්ම කට්ට කාල පී.ආර් ගන්න දඟලන්නේත් නිදහසේ ඉන්න හා මුදල් හම්බකරගන්නනේ.එක කොටසක් දියුණු රටවල සිට ලංකාව ගැන කියනවා,අන් අය බටහිරම විවේචනය කරනවා.මම හිතන්නේ වටින්නේ නිර්මාණශීලී අදහස් ලංකාවට දීමයි කියා.මෑත කාලේ චීන මිතුරෙක් කීවා අද චීනයට ඕනෑ සාම්ප්‍රදායික උගත්තු නොව නව නිර්මාණශීලී පුද්ගලයෝ පමණයි කියා.බලන්න අනාගත දැක්ම !තව දෙයක් කීවොත් දෙවන ලෝක යුධ සමයෙන් පසු ජයගත් අය අපිට පෙරලා දෙන්නේ ඒ අය තමයි හොඳ,ඒ වගේම හරි අනිත් අය වැරදි අපරාධ කාරයෝ පමණක්ම බව.සැබෑ ඉතිහාසය තුළ කොහේවත් සාන්තුවරයෝ සිට නැත.

    ReplyDelete
    Replies
    1. ලලිත් ගුණවර්ධන තුමනි බෙහෙවින්ම ස්තූතියි ඔබේ දිගු අදහස් දැක්වීමට.
      මම හිතන විදිහටත් අපිට වැරදුනු ලොකුම තැන තමයි අධික කුහකත්වය. ඒක මුළු ජාතිය පුරාම පැතිරිලා ඔඩු දුවලා තියන පිළිලයක් වගේ. දැන් පිළිලය මොකද්ද ගහ මොකද්ද කියල අඳුන ගන්ඩ බැරි තරමට පිළිලය වැවිලා. නිහතමානී කමෙන් උපරිම මනුෂ්‍යයෙකුගේ දහමක් පිළිපදිමින් මේ තත්වෙට ආවේ කොහොමද අපි? ලංකාවේ වැව් ගැන මම ලියන්ඩ හිතං ඉන්නවා. මේ වැව් සංස්කෘතිය තුල ඔය කියන වැඩේ පේන්ඩ නෑ. ඒ කියන්නේ අපේ මාධ්‍ය කාලීන ඉතිහාසය දක්වා අපි වෙනස් ජාතියක්. ඊට පස්සේ මොකද උනේ? කුමක් හෝ දෙයක් උනා. මුළු ක්‍රමයම උඩු යටිකුරු උනා.
      අපේ රටේ ජනතා අධිකරණ තිබ්බා. වරිග සභාව එවැන්නක්. හැබැයි අද නං එහෙම දෙයක් ගැන හිතන්නත් බෑ ඔබ කියන විදිහටම.
      මේ සියල්ලට අමතරව මම නැවතත් මතක් කරන්න කැමතියි ඔබතුමා ගේ අදහස් වෙනුවෙන් කට්ටකාඩුව විවෘත බව. කැමති නං එවන්න ලිපියක් අපි කැමතියි එය කට්ටකාඩුව තුල 'පැල' කරන්ඩ. මහ ගහක් වෙන්නේ පොඩි පැලනේ? ඉතිං ඉප පොඩි පැල පුලු පුළුවන් විදිහට හිටවලා තියමු.!!

      Delete
    2. ඔබ තුමාගේ දිරි ගැන්වීමට නැවතත් බෙහෙවින් ස්තූතියි.ඔබ තුල හොඳ මිනිසෙක්,මහත්මයෙක් ඉන්න නිසා එයම අපට මිල කල නොහැකි සම්පතකි.එවැන්නෝ බිහිවීමම අද දුබල නිසා.මගේ සමහර අදහස් ඔබගේ මතයට විරුද්ධ වේවි.ඒත් එය ලිපියට හොඳක් වේවි.ජය !

      Delete
    3. කොයිරටෙත් මිනිස්සු වැරදි කරනවා. නීතියේ අඩුපාඩු තියනවා. ලංකාවෙ වැරදි පෙන්නා දුන්නහම සමහරු කියනවා ඇයි ඇමරිකාවෙ මෙහෙමයි ප්‍රංශෙ මෙහෙමයි ඒවායෙත් ඕවා වෙනවා කියලා. ඒක ඇත්ත. ඒත් බලන්න ඕනෙ කොයිතරම්ද, කොයිතරම් ප්‍රතිශතයක්ද, ඒවා ගැන මහජන හැඟීම් හා ප්‍රතික්‍රියා (public perception & reaction) කොහොමද, මාධ්‍ය කොහොමද, වැඩිදෙනා කොහොමද හිතන්නෙ කියන එක.
      වැඩිදෙනා හොර හා වංචා කිරීමට හා බොරු කීමට බය හා ලැජ්ජාද, එහෙම නැත්නම් වැඩිදෙනා ඒවා සාමාන්‍යදේ ලෙස සලකනවාද කියන එක. හොරු හා බොරු කාරයො කොහෙත් ඉන්නවා ඒත් වැදගත් දෙය සමාජයේ වැඩිදෙනා කරන කියන හිතන දෙය.
      උදාහරණයක් විදිහට බැන්ක්‍රොෆ්ට් ක්‍රිකට් පිටියේ හොර කරලා අහුවුනාම ස්මිත් ඒ සමග වරද පිලිගැනීම හා ඔවුන් හා වෝනර් සම්බන්ධව රටේ දේශපාලකයින් මාධ්‍ය, ක්‍රීඩකයින් හා විශේෂයින් මහජන ප්‍රතික්‍රියා දිහා බලන්න. අයිසීසී එකට වඩා තදින් ආවා රටේ මිනිස්සුන්ගෙ ප්‍රතික්‍රියාව.
      හොරු කොහෙත් ඉන්නවා ඒත් ඒ පිලිබඳ රටක සමාජයක මතයන් රටින් රටට වෙනස්

      Delete
  8. අධිකරණය විතරක් නෙවෙයි, ගෞරවය කියන වචනෙත් දැන් දැන් අපට තේරුමක් නැති හිස් වචන බවට පත් වෙලා

    ReplyDelete