Sunday, September 23, 2018

එළදෙන සහ සමාගම - අවසාන කොටස


කාකාස ඉස්ටෝරු කාමරේට දුවල ගිහිල්ල ටෝච් එකක් අරං ආවා. මැනේජර් මහත්තයා එළදෙනගේ කට ඇතුලට ටෝච් එක ගැහුවා. එතකල් එළදෙනගේ කට ඇරලා අත් දෙකෙම්ම අල්ලගෙන ඉන්ඩ උනෙත් කාකාස ටම තමයි.

නියමයි! පොටෝකාරයා කිව්වා.

මට ඕනේ ඌ කට බලියාගෙන වගේ ඇරගෙන ඉන්න විදිහට ගන්ඩ මැනේජර් මහත්තයා කිව්වා. ඊ ගාවට එම්.ඩී. පැත්තට හැරිලා මෙහෙම කිව්වා. සර් එළදෙන දවස පුරාම මොනවා හරි හප හප තමයි ඉන්නේ. හැම හින්දුවෙක්ම එළදෙනට ආදරෙයි. ඒ හිංදා අපි එළදෙනක්ව පොස්ටරේට දැම්මොත් උන් කැමති වෙයි අපේ චුවින්ගම් වලට!

ඔහු ආයෙත් ටෝච් එක ගැහුවා. එළදෙන කලබල ගතියෙන් ඔලුව වැනුවා. ඊ ගාවට ඌ දුවගෙන ගියේ පොටෝ කාරයයි මනුස්සයාගේ අනික් පොටෝ ගහන බඩු ටිකයි තිබ්බ තැනට!

ඉක්මනටම අරූව මෙතනිං අරං යනවලා! එම්.ඩී. මහත්තයා කෑ ගැහුවා. මට හුස්ම ගන්නවත් බෑ. මේ ගන්දස්සාර ජරාව අහක් කරනවා මෙතනින්! මෙතන කුණු බිංදුවක් නැති වෙන්ඩ හොඳට සුද්ද කරනවා අද දවස ඉවර වෙන්ඩ ඉස්සර!! එහෙම කියල එම්.ඩී. මහත්තය ගෙදර යන්ඩ ගියා.

දැන් තුන් දෙනාම එක්කහු වෙලා එළදෙනව අදිනවා පල්ලෙහාට යන්ඩ. එළදෙන ඔලුව ගස්සපු ගමං තුන්දෙනාම වැටුනා බිමටම. මෙහෙම තුන් දෙනාම බිමට වට්ටපු එළදෙන ඊගාවට හැරුනේ ෆයිල් කාමරේ දිහාවට.

ඔය අතරේ තමයි කාකාසට මතක් උනේ එදා හවස ලියුම් දැම්මේ නෑ නේද කියලා. මිනිහ සුටුස් ගාලා ගියා ලියුම් කාමරේට. ගත්ත ලියුම් ටික. ඊ ගාවට කුස්සියට දුවගෙන ගියේ මනුස්සයාගේ සෙරෙප්පු දෙක දා ගන්ඩ. ආ...මුද්දර ගහන්ඩ සල්ලි එපැයි...කාකාස දුවගෙන ගියා එකවුන්ටන් මහත්තයා ගාවට. මුද්දර සල්ලිත් ඉල්ලගෙන පන එපා කියල හැතැම්ම බාගයක් දුර තියන තැපැල් කන්තෝරුවට දුවලා යනකොට ඒක වහන්ඩ තව ඉතුරු වෙලා තිබ්බේ විනාඩි දෙකයි! ලියුම් ටික දාලා ආපහු කාකාස ඔෆිස් එකට එනකොට හවස පහ පහුවෙලා. ඔෆිස් එක හිස්. කාකාස දැක්කේ ෆයිල් කාමරේ දොරට හේත්තු වෙලා බිම ඉඳගෙන හති අරින මැනේජර් මහත්තයා. පොටෝ කාරයත් එක්ක වෙච්ච සංගදියෙන්  පස්සේ එළදෙන පස්සේ දුවපු මැනේජර් මහත්තයාට පුළුවන් උනා ෆයිල් කාමරේ ඇතුළට එලදෙනවා දක්කලා පිටිං ලොක් එක දාන්ඩ. ආය එළදෙන එළියට එනව බොරු!


ඔක්කොම හරිද සර්? කාකාස ඇහුවා.

මෙහෙ වරෙන් මෝඩයා!

දෙයියනේ එළදෙන?!

මැනේජර් මහත්තයා දොර ඇරපු ගමන් ගොම ගඳ ඔෆිස් එක පුරාම පැතිරුනා. කාමරේ මැද්දේ එළදෙන. හරියට ලැජ්ජාවෙන් වගේ ඌ කකුල් දෙක වකුටු කරගෙන ඉඳගෙනයි හිටියේ. කටේ තිබ්බේ දුඹුරු පාට ෆයිල් කවරයක්!

අ..අ..අර..මොන ෆයිල් එකද? මැනේජර් ඇහුවා

මං දන්නේ නෑ!

ඇදලා ගනිං ඒක!

කාකාස එළදෙන බාගෙට කාලා තිබ්බ ෆයිල් කවරේ ඇදලා ගත්තේ අමාරුවෙන්. මැයි මාසය සඳහා අවශ්‍ය ලිපි -පළමු කාණ්ඩය අර ෆයිල් එකේ උඩින් ගහලා තිබ්බා.

ආ..ඕක ගිය අවුරුද්දේ ෆයිල් එකක්. කවුරුවත් ඕක ගැන අහන එකක් නෑ. මූව එළවලා මෙතන සුද්ද කරලා දානවා. මට කමක් නෑ මේකි එළදෙනක් උනත්!

මෙහෙම කියාගෙන මැනේජර් මහත්තයා එළදෙන පැත්තට ගියා. එක කකුළකින් එළදෙනට අනින ගමන් ඔහු මෙහෙම කිව්වා!

නැගිටපන් ජරා සතා!!

එතකොටම අනික් කකුළ ගොම තැම්බක් උඩ තියවෙච්ච හිංදා අර ගොම සහ එළ හුජ්ජ ගොඩේ මැනේජර් මහත්තයා පත බෑවුනා.කාකාස කට වහ ගත්තා. එළදෙන නැගිට්ටා. බිම වැටිලා ඉන්න මැනේජර් මහත්තයා දිහා එළදෙන බැලුවා. දෙන්නගේ ඇස් තත්පර කීපෙකට එකිනෙක හමු උනා. එළදෙනට ලැජ්ජා හිතුනා වගේ ඌ බෙල්ල අනික් පැත්තට හරවා ගත්තා. මැනේජර් මහත්තයා පහු කරගෙන කාමරේ දොර දිහාටත් එතැනින් පඩි පෙළ දිගේ පහළ තට්ටුවටත් එළදෙන බහින්ඩ පටං ගත්තා. කාකාස එළදෙන පාරට බැහැලා නොපෙනී යනකල්ම ඌ දිහා බලාගෙන හිටියා. 

බලන්ඩ සර් කොච්චර මොලේ තියන සතෙක්ද? ඌ දන්නවනේ පාර හොයාගෙන යන්ඩ!

මෝඩ හරකෝ එක දොරයි නේ ඇරලා තිබ්බේ! ගෙනෙං මට තුවායක්!

ඒ උනත් සර් ඌට ඕනනං තල්ලු කරලා අනිත් දොරවල්  ඇරගන්ඩ පුළුවන්කම තිබ්බනේ!

අපි දැන් මොකද කරන්නේ? මැනේජර් මහත්තයා ඇහුවා

ගෙදර යං?

ෆයිල් එකට මොකද කරන්නේ?

මට මරු අදහසක් ආවා. අපි මීයෝ දෙතුන් දෙනෙක් අල්ලලා කාමරේ ඇතුලට දාමු. එතකොට අපිට කිව්වැකි ෆයිල් එක මීයෝ කාලා කියලා!! කාකාස කිව්වා.

මීයෝ තව ෆයිල් හුගක් කෑවොත්?

එහෙම නං අපි මීයෝ කූඩුවක දාලා තියලා කියමු හොඳ වෙලාවට අපි උංව අල්ලගත්තා කියලා. කොහොම උනත් ෆයිල් කාමරේ පැත්තේ කවුරුවත් එන්නේ නෑ නේ!

බෙනර්ජී එයි!?

හරි. මම හෙට බෙනර්ජී මහත්තයට කියන්නං මම මීයෙක් දැක්කා කියලා. එක්කොත් ඔබතුමා කියන්ඩ මීයෙක් දැක්කා කියලා. මං මොනවා කරන්ඩද ෆයිල් කාමරේට ඇවිත්?

නෑ උඹම කියපං! මැනේජර් මහත්තයා කිව්වා.


එකවුන්ටන් මහත්තයා ජනේලෙන් එහා සාරි කඩේ දිහා බලාගෙන ඉන්න කොට කාකාස එයා ලඟට කිට්ටු උනා.

බෙනර්ජි සර්...

එකවුන්ටන් තාම පාරේ එහා පැත්තේ සාරි කඩේ දිහා බලාගෙන. ටවුමේ අලුත් නෝනලා අතරේ මේ සාරි කඩේ ප්‍රසිද්ධයි.  ඒ අලුත් නෝනලා කොහෙන් ආවද කොහේ යනවද හිතා ගන්ඩත් බෑ. මූදු හුලගෙන් වැනෙන ඒ අයගේ දිගු නොබැඳපු වරලස...නිරුවත් බඳ පෙදෙස....මේ සියල්ල උලුප්පා පෙන්නන අත නැති හැට්ට...!! හරියට ධුරන්ධර් ගේ සිත්තමකින් මිදිච්ච රූප වගේ! ඔහු ඉන්නවද මේ ජනේලයක් පිටුපස එහෙම නැත්තං කඩයකට වෙලා මේ අප්සරාවන් අඳිමින්?

එකවුන්ටන් මහත්තයාට හොඳටම විශ්වාසයි රාජා රවී වර්මා තමයි රටේ හිටපු හොඳම චිත්‍ර කාරයා කියලා. ඒත් ගිය සිකුරාදා එම් ඩී මහත්තයා කාටදෝ "දැන් ධුරන්ධර්, රවී වර්මාට වඩා හොඳයි" කියලා කියනවා එකවුන්ටන් මහත්තයා අහගෙන.ඊගාව දවසේ කළා පාසැලේ තිබ්බ ධුරන්ධර් ගේ ඉන්දියාවේ කාන්තාවෝ චිත්‍ර ප්‍රදර්ශනේ බලන ගමන් එකවුන්ටන් මහත්තයත් ඒ කතාව පිලි ගත්තා.

බෙනර්ජි සර්....!!

හ්ම්...ඒ ගමන මොකද්ද?

නෑ මොකුත් නෑ...කල්කටාවේ මහාමාරිය වසංගතේ ගැන තොරතුරු නැතෙයි?

කල්කටාවේ මහාමාරිය වසංගතයක් නෑ..කවුද කිව්වේ?

මම නිකං ඇහුවේ. මං ඊයේ දැක්කා ෆයිල් කාමරේ මීයෙක් ඉන්නවා. ඉතිං මං හිතුවා...

මේ බිල්ඩිමේ මීයෝ නෑ!

මං මගේ ඇස් දෙකිම්ම දැක්කා....!!

කාකාස ෆයිල් කාමරේට දුවලා ගිහිං ෆයිල් එකක් අරං ආවා.

බලන්ඩකෝ සර් මේ ෆයිල් එක. මීයෙක් මේකෙන් බාගයක්ම කාලා...!!

කෝ බලන්ඩ...මේ මොකද මේක තෙත?

න්...නෑ නෑ එහෙනං මීයෙක් වෙන්ඩ බෑ..... මොකක් හරි ලීක් එකක් ඇති!

මොන ලීක් එකක්ද?

වතුර!

ෆයිල් කාමරේට අනෝරා වැස්සක්  වහිනවද?

අනෝරා වැස්සක්...!!!එකවුන්ටන් මහත්තයා ආපහු ඇහුවා. 
ඔහු ඒ වචනේ ඉගෙන ගත්තේ ගිය සතියේ. ඊට පස්සේ එයා ඒ වචනේ ලියා ගත්තා ඩයරියේ. එයා එක දවසකට එක පිටුවක් ඩයරිය ලියනවා.

අනෝරා වැස්ස
තේරුම - තද වැස්ස
වාක්‍යය - අද නුවරට අනෝරා වැසි ලැබිණි

එහෙම වැස්සකින් ලොකු හිලකුත් හැදිලද වහලේ? එකවුන්ටන් මහත්තයා එහෙම ඇහුවේ ෆයිල් කාමරේ පැත්තට යන ගමන්.

කාකාස ෆයිල් කාමරේ දොර හරහට හිට ගත්තා. නෑ. ඔක්කොම හරි සර්. මං හිතන්නේ වැරදිලා මම ඒක කාලද කොහෙද!!??

උඹ බීලද නට්වර්ලාල්?

ෆයිල් කාමරෙන් ආපු ගඳ තාම නැතිවෙලා නෑ. මැනේජර් මහත්තයා ඉක්මනට එතෙන්ට ආවා. එයා දැක්කහම තමයි කාකාස ගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ.

නට්වර්ලාල් අර එළදෙන මෙතැන දාලා ගියාද උඹ? එකවුන්ටන් මහත්තයා ඇහුවා.

කාකාස මැනේජර් මහත්තයා දිහා බැලුවා. ඊට පස්සේ එකවුන්ටන් මහත්තයා දිහා. ආයෙත් මැනේජර් මහත්තයා දිහා බැලුවා.

උඹේ දවසක පඩි කපනවා. එකවුන්ටන් මහත්තයා කිව්වා. අර ෆයිල් එක හදලා තියපන්!!!

අනේ එපා සර්...පස්ටොන්ජි සර් අනේ මේ බලන්ඩකෝ කාකාස අසරණ විදිහට විරෝධය පෑවා.

පස්ටොන්ජි සර්? පස්ටොන්ජි සර් මේ පාර නං උඹව බේර ගන්නේ නෑ. බෙනර්ජි මහත්තයා හරි! මැනේජර් මහත්තයා කිව්වා. ඒ දෙවෙනි පාරටත් කාකාස දිහා බලලා ඇහැක් ගහන ගමං. 

කාකාස මොකුත් කිව්වේ නෑ. එයා තරහින් වගේ මොන මොනවදෝ කුටු කුටු ගාන ගමන් ෆයිල් කාමරේ පැත්තට ගියා.
 

මැනේජර් මහත්තයා එදා හවස ගෙදර යද්දී දොර ගාවදි දැක්කා අලුත් අසල්වැසියාගේ ගෙදර නාම පුවරුව දැක්කා. A.K. Hedge ඒ පුවරුවේ ලියල තිබ්බා. ඒ....කේ....හෙ..ජ්! අප්පද බොල සුද්දෙක්!

පෙර්සිස් ඔයාට හම්බ උනාද එහා ගෙදරට අලුතෙන් ආපු කට්ටිය?

නෑ...මේ මොකද ගඳ ගහන්නේ?

ඒක දිග කතාවක්...

කලිසමේ චූ දාගත්තද?

නෑ මම චූ ගොඩක් උඩ වැටුනා.

වැටුනා. ඔච්චර මෝඩ වැඩ කරන්නේ කොහොමද මනුස්සයෝ?

ඒක මේ මගේ වැරැද්දක් නෙවෙයි. එළදෙනක් ගේ...

බිම බලාගෙන නෙවෙයිද ඇවිදින්නේ? උඩ බලාගෙන යන්ඩ ඇති කොහෙද ඉතිං! ඔයාට අම්මපා එලදෙනක්වත් පේන්නේ නැද්ද? එළදෙනක් අලියෙක් විතර ලොකු වෙලත් ඇස් පේන්නේ නැද්ද?

මේ ඒකෙන් වැඩක් නෑ ඔයා අල්ලපු ගෙදර කට්ටියව දැක්කද කියන්ඩකො!

නෑ...!

ෂුවර් එකට ලංඩන් වලින් ආපු සුද්දෙක්!

ඔයා කොහොමද දන්නේ?

මං දන්නවා. මේ ඔයා හදන අර ස්පෙෂල් වියන්ජනයක් හදන්ඩකෝ හෙට. මම ඒකෙන් ටිකක් අරගෙන අල්ලපු ගෙදරට ගිහින් මාව අඳුන්වලා දෙන්නං. මේ අර යකඩ බාජනේ උයන්ඩ එපා හොඳද?

ඊගාව දවසේ පෝසිලේන් භාජනෙක දාපු වියන්ජනේ ඇලුමිනියං කවරෙකින් වහගෙන මැනේජර් මහත්තයා අල්ලපු ගෙදරට ගියා. ඔය ඇලුමිනියං කවර ටික මාස අටකට කලින් බාප්පගේ පුතා ගෙනැල්ලා දුන්නට පස්සේ ඔය අදමයි පාවිච්චියට ගත්තේ. එයා ඒ බාජනේ වටේට සුදු පාට රිබන් එකකුත් බැන්දා. අල්ලපු ගෙදරට යන්ඩ ඉස්සරලා දෙපාරක්ම ටයි එක හරියට දා ගත්තා නේද කියල අල්ලලා බලන්ඩත් එයා අමතක කලේ නෑ.

මට හෙජ් මහත්තයාව හම්බ වෙන්ඩ පුලුවන්ද?...එහෙම අහන එක හරි මදි වගේ...මට පුලුවන්ද හෙජ් මහත්තයා හමුවීමේ සතුට ලබා ගන්ඩ?..ම්හ්..ඒකත් අවුල් වගේ...කරුණාකර මට හෙජ් මහත්තයා හම්බ වෙන්ඩ පුලුවන්ද? එහෙම නැත්තං..මම ආවේ හෙජ් මහත්තයා හම්බවෙන්ඩ....මම ආවේ අපේ අලුත් අසල්වැසියා හෙජ් මහත්තයා හම්බවෙන්ඩ...ඔහු ගැන හුගක් හොඳ දේවල් මම අහලා තියනවා. කොහොමද ඔබේ සැප සනීප?සතුටුයි! සතුටුයි!! ඔබ කොතරම් කරුණාවන්තද?...මෙහෙම අල්ලපු ගෙදර කෙනා හම්බ උනාම කතා කරන්ඩ ඕන විදිහ පුහුණු වෙමින් ගිය ඔහු අල්ලපු ගෙදර දොරේ බෙල් එක ගැහුවා.

ක..කරුණාකර හෙ...හෙජ් මහත්තය හම්බ වෙන්න පුලුවන්ද?

හෙජ්?

ඔව්..හෙජ් මහත්තයා.

හෙජ් කියල කෙනෙක් නෑනේ. හෙඩ් ගේ වෙන්න ඕන. ඔබට හමු වෙන්න ඕන බොම්බාය ප්‍රාන්තෙ සොලපූර් වලින් ආපු හෙඩ් ගේ මහත්තයද?

හෙජ්!! ආපහු මැනේජර් මහත්තයා කිව්වා.

නෑ හෙඩ් ගේ !

නෑ ...මං...මං හිතුවේ...කමක් නෑ ස්තූතියි!!

දොරෙන් ඇතුලේ හිටපු කෙනා දොර සම්පූර්ණයෙන් අරින්ඩත් කලින් මැනේජර් මහත්තයා පඩිපෙළ බැස්සා. ඒ වේගෙට එයාගේ අතින් වියංජන බාජනේ අත ඇරිලා බිම වැටුනා.
දුඹුරු පාට හොදි ගලා ගෙන ගිහිං පොඩි මඩ කඩිත්තක් හැදුනා. බිඳුණු පෝසිලෙන් කෑලි අඩමානෙට වගේ උඩට විරිත්තිලා බිම දිගා වෙලා තිබ්බා. අලුතෙන් ගත්තු සපත්තු ජෝඩුවේ ලොකු කහට පැල්ලමක් මතු වෙලා පෙනුනා. ඔහුගේ අතේ ඉතුරු වෙලා තිබුනේ සුදු පාට රිබන් එක විතරයි. පල්ලෙහැන් තියෙන අවුලත් එක්ක බලපුවම ඇඟිල්ලක එල්ලිලා තියන සුදු රිබන් එක හරි ලස්සනට පෙනුනා.
.....................................................................................................................................................

කෝවිලේ පූසාරි මැනේජර් මහත්තයව හම්බ වෙන්ඩ කන්තෝරුවට ආවේ සතියේ දෙවෙනි වතාවට. සාමාන්‍යයෙන් මිනිස්සු පූසාරි ගාවට යනවා මිසක්ක පූසාරි මිනිස්සු ගාවට එන්නේ නෑ. ඒත් මේක අහංකාරකමින් අමතක කරලා දාන්ඩ පුළුවන් වැඩක් නෙවෙයි. පූජාවක් තියන්ඩ කිසි උනන්දුවක් නැති මේ පැත්තේ තියන තුන්වැනි කන්තෝරුව මේක. මෙහෙම යන්ඩ ගියොත් මොකක් වෙයිද කෝවිලට? මේ මිනිස්සු නොකලොත් මෙහෙ ඉන්න අනිත් දේශීය ව්‍යාපාරිකයොත් පූජා නොතියා ඉන්ඩ පටං ගනීවි. පූජාවක් තියන එක කාටත් හොඳයි. යැදුම්, ගායනා මේවා වාසනාව ගෙනෙනවා. ඇයි සෞභාග්‍යය? පූජකයෝ කීප දෙනෙකුට කතා කරාට පස්සේ පූසාරි තීරණය කළා ඔහුගේ සේවය මේ සඳහා නොමිලේ ලබා දෙන්ඩ. ප්‍රසිද්ධ උත්සවයකින් ලොකු පණිවුඩයක් යවන්ඩ පුළුවන්. මේකට යන වියදං පස්සේ අනික් අයගෙන් අය කර ගන්ඩ පුළුවන්.

කාකාස දැක්කා පූසාරිව. අය මොකටද පඩි පෙළ නැගලා උඩට එනකල්වත් පරක්කු වෙන්නේ. පරණ පුරුදු උත්තරේ ඔහු කියෙව්වා.

පැස්ටොන්ජි මහත්තයා ආවේ නෑ අද!!

ඇත්තටම මැනේජර් මහත්තයා එම්.ඩී. මහත්තයාගේ කාමරේට යනවා ඔහු දැක්කේ ටික වෙලාවකට ඉස්සරලා.ඒත් කාකාසට ලැබිලා තිබ්බ ස්ථාවර නියෝග හිංදා ජීවිතේ පහසු උනා. උත්තරේ පැහැදිලියි. පූසාරිට පොඩ්ඩක් ඉඳගෙන මහන්සිය නිවා ගන්ඩයි වතුර ටිකක් බීලා පිපාසෙ නිවා ගන්ඩයි තිබ්බනං හොඳයි කියල හිතුනත් මෙහෙට වතුර ගේන්නේ කොහෙන්ද, වතුර ගේන්නේ අඩු කුලේ එකෙක්ද කියලා නොදැන බොන්ඩත් මොකක්ද වගේ හිංදා ආපහු හැරුනා. පිටදිම කියපු එකත් හොඳයි නැත්තං මම එපාය අර පඩි පෙළ නගින්ඩ! එහෙම හිත හිතා ඔහු යන්ඩ ගියා.

ඊළඟ සතියේ පූසාරිට ඉස්කෝලෙක දේශනෙකට ආරාධනයක් ලැබිලා තිබ්බා. ඒ ඉස්කෝලේ ඉස්සරහ චුවිංගම් කොම්පැනියේ ලොකු පෝස්ටර් එකක් අලුතෙම්ම අලවලා තිබ්බා. ඒක දැක්ක ගමන් පූසාරිට පොඩි ආවේගයක් ආවා. ඔහු දේශනේ වෙනස් කළා.

මේ විදේශිකයන්ට අපේ සාරධර්මගැන වටිනාකම් ගැන කිසි ගරු කිරීමක් නෑ. අපි කොහොමද අහිංසාව ගැන කතා කරන්නේ අපේ එළදෙන්නුන්ව එළිපිටම මුං කාලා දාන කොට? ඔහු පෝස්ටරේ දිහාට අත දික් කරා. මේ විදේශික කෑම හදන්නේ එළදෙන්නුන්ගේ බඩ බොකු දාලා. බලන්ඩ මුං ලැජ්ජා නැතුව තව දැන්වීම් දාන හැටි!!උඹල මොනවද මේකට කරන්නේ? වළලු දාගෙන හිනා වෙවී ඉන්නවද?

චුවිංගම් හදන්නේ එලදෙන්නුන්ගෙන්ද? පිරිස අතරේ හිටපු කෙනෙක් මිමිනුවා.

මුස්ලිම් මිනිස්සු 1857 දී මොකද කරේ උන්ට දීපු උණ්ඩ වල ඌරු තෙල් ගාලා තියනවා කියල දැන ගත්තහම? නිකං උඩ බලාගෙන හිටියද? නෑ...කැරළි ගැහුවා!!!. 1857 කැරැල්ල පටං ගත්තේ එහෙමයි!!! පූසාරි දිගටම කිව්වා.

කැරැල්ලක්!! කැරැල්ලක්!!! අපිට ඕන කැරැල්ලක්!!!!  මිනිස්සු කෑ ගහන්ඩ පටන් ගත්තා. 

පහුවදා පත්තරේ ලොකු අකුරෙන් මෙහෙම තිබ්බා චුවිංගම් ඇතුළේ එළ දෙන්නු: බ්‍රිතාන්‍ය සමාගම හින්දු දහමට නිගා කරයි

එදා කෝච්චි ඉස්ටේසම ළඟ ලොකු සෙනගක් රැස් වෙනවා කාටත් දකින්ඩ පුළුවන් උනා. 

උදේ එකොළහට විතර වයසක මනුස්සයෙක් කොම්පැනියේ ගේට්ටුව ගාවට ඇවිත් සෙකුරිටි ට මොනවදෝ කිව්වා. ඒක අහපු ගමන් සේකුරිටි අතින් බැටන් පොල්ල බිම වැටුනා. සේකුරිටි පඩිපෙළ දිගේ දුවගෙන ගිහින් කෙලිම්ම එම්.ඩී මහත්තයාගේ කාමරේ තමයි නතර උනේ.

උන් එන්නේ මෙහාට සර්!

ඒක අහපු ගමන් මැනේජර් මහත්තයා උන්නු තැනින් නැගිටලා දිව්වා.

පොලිසියට කෝල් කරන්ඩ. එම්. ඩී. මහත්තයා කිව්වා.

දැන් පරක්කු වැඩියි. උන් එන්නේ අපිව මරන්ඩ. උන් අපේ පෝස්ටර් පුච්චනවා. එහෙම කිව්වේ සිකුරිටි.

පොලිසියට කෝල් කරන්ඩ මැනේජර් මහත්තයත් කිව්වා.

ඔක්කොටොම එලියට යන්ඩ කියන්ඩ. බිල්ඩිම වහලා දාන්ඩ. එම්. ඩී. මහත්තයා කිව්වේ එයාගේ මේසේ දෙවෙනි ලාච්චුවේ තිබ්බ කඩදාසි ටික ඔක්කොම එයාගේ බෑග් එක ඇතුලට දා ගන්න ගමන්.

විනාඩි කීපයක් ඇතුලත කන්තෝරුවේ හිටපු දොළොස් දෙනාම එලියට ගියා. සිකුරිටි ගේට්ටුවට ඉබ්බා දාලා ලොක් කළා. ඉස්සරෝම ගියේ එම්.ඩී. මහත්තයාගේ කාර් එක. ඊට පස්සේ තිබ්බ බයිසිකල් ටික හැරිච්ච හැරිච්ච පැත්තට ගියා. කලබල කාරයෝ හිටපු පැත්තට ඇරුනම. මැනේජර් මහත්තය වගේ අය පිටිපස්සේ දොරින් එලියට ගිහිං හොර පාරවල් වලින් ගෙවල් වලට යන්ඩ ගියා.

සතියකට පස්සේ සූරත් වලට යන්ඩ කෝච්චියක් අල්ලගන්ඩ යනකොට මැනේජර් මහත්තයා කොම්පැනි බිල්ඩිම තිබ්බ දිහා බැලුවා.එතකොට එයා දැක්කේ පිච්චිලා ගිය ගල් ගොඩවල් අතරින් බාගෙට පිච්චිච්ච කොම්පැනියේ නාම පුවරුව  අදින්ඩ හදන කොලු ගැටයෙක්. අර සුදු පාට එළදෙන කෝවිල ගාව හිටියා. ඉස්සරටත් වඩා දැන් ඌ මහතයි. බොහොම කලබලෙන් ඌ හපමින් හිටියේ කවදාවත් නැති තරමට ගිය සතියේ හම්බෙච්ච තණකොළ තොගේ.

පරශාර් කුල්කර්නි ගේ ද කව් ඇන්ඩ් කම්පැණි (The Cow and Company) කෙටි කතාවේ පරිවර්තනයකි


8 comments:

  1. හප්පේ.. මේක කියෝල මඤ්ඤං වගේ.

    ReplyDelete
  2. නට්වර්ලාල් උන්නැහේලට හිටියෙ එළදෙනක්..අපිට ඉන්නව හිතාගන්න බැරි තරමට හම්බවෙන තණකොළ තොගයක් ගිලදාන ගොන්නු දෙසිය විසිගාණක්...පැස්ටොන්ජි මැනේජර්ල ඇතිපදමට ඉන්න ආයතන..පූජකයො...ඔක්කොටමත් වැඩිය අපිට තියනව අන්තරේ...කියලත් එකක්...බුලත්විට කඩයක්වත් මෙහෙ අරින එක සුම්මා….

    ReplyDelete
  3. ,83 මතක් වුනා. නියම ලියවිල්ල.

    ReplyDelete
  4. නැවත ඇවිත් කියවන්න ඕන!

    ReplyDelete
  5. මරුවට පරිවර්තනේ කරලා තියෙනවා. කතාව නං නිකං විකාරයි වගේ හෙහ් හෙහ්...

    ReplyDelete
  6. යමක් කරන්ඩ කලින් හුගක් හිතන්ඩ ඕන කියන එකට හොද උදාහරණයක්

    ReplyDelete
  7. සුපිරි! කොටස් දෙකම එකවර කියවන්න ලැබුනා.. ඒක වඩාත්ම හොඳයි. පැස්ටෝන්ජි මැනේජර් මහත්තුරු හරියට මෙහෙත්. :))

    ReplyDelete