පොත් අල්මාරිය පෙරල පෙරල ඉන්නකොට කාලෙකට ඉහතදී කියවපු ඒත්
අමතක වෙලා ගිහින් තිබ්බ පොතක් හම්බ උනා. ඛාලිඩ් හොසෙයිනිගේ ද කයිට් රනර් (සරුංගල් යවන්නා).
මම ආසම පොතක්. ඛාලිඩ් හොසේයිනි තරම් අපූරුවට චිත්ත රූප මවන ලේඛකයෙක් ගේ පොතක් මම කියවලා
නෑ. ඒ පොතේ තියෙනවා ලස්සන දෙබසක්. කතා නායක අමීර් සහ එයාගේ තාත්තා අතර.
මුල්ලා මොනවා ඉගැන්නුවත් මේ ලෝකේ තියෙන්නේ එකම පවයි. එකම එකයි. ඒ තමයි හොරකම. අනිත් ඕනෑම පවක් හොරකමේ වෙනස් විදියක් විතරයි. පුතේ උඹට ඒක තේරුනාද?
නෑ තාත්තා.......
ඔයා මිනිහෙක් මැරුවොත් ඔයා ඒ මනුස්සයාගේ ජීවිතය හොරකං කරනවා.
ඔයා එයාගේ බිරිඳට ස්වාමියෙක්ගේ රැකවරණය ලබාගන්ඩ තියන අයිතිය හොරකං කරනවා. එයාගේ දරුවන්ට
තාත්තෙක් එක්ක හුරතල් වෙන්ඩ තියන අයිතිය හොරකං කරනවා. ඔයා බොරුවක් කියනකොට ඒක අහන කෙනාට
ඇත්ත දැනගන්ඩ තියන අයිතිය ඔයා හොරකං කරනවා. ඔයා වංචාවක් කරනකොට ඒ වංචාවට අහුවෙන කෙනාට
සාධාරණත්වය වෙනුවෙන් තියන අයිතිය හොරකං කරනවා. තේරුනාද?
තේරුනා තාත්තා!!
මේ දෙබස දකින කොට මට අපූරු කතාවක් මතක් උනා පහුගිය දවසක අහපු.
ඒ කතාව කට්ටකාඩුවට ලියන්ඩ ඕන කියල මට හිතුනේ ඒ කතාවේ තිබ්බ අපූරු සිදුවීම් රැසක් හිංදා.
අපේ යාලුවට අපි කපිල කියල කියමු. කෙසග ශරීරයක් තිබ්බ කපිල ඉපදුනේ කොළඹ මාළිගාවත්තේ. දන්නවනේ මාළිගාවත්ත කියපුවම මතකෙට එන්නේ බජාර් එකේ අයියලා, කුඩු කාරයෝ, බඩු කාරයෝ විතරක් නෙවෙයි සමාජේ විවිධාකාර කුපාඩි වැඩ වලට නම් දරාපු අං ගිලපු චරිත ටිකක් නේ. කපිල ඒ අතින් ටිකක් වෙනස්. හැබැයි පොඩි කාලෙම අම්මයි තාත්තයි දෙන්නම නැතිවෙච්ච හිංදා බොහොම අමාරුවෙන් ජීවිතේ ගැට ගහගත්තු කෙනෙක්. යන්තං තරුණ වයසට එළඹෙනවත් එක්කම කපිලට ඕන උනේ රස්සාවක් හොයා ගන්ඩ. ලේසියෙන් හම්බ කරන්ඩ පුළුවන්
කීපයක්ම කපිලට අත වැනුවා. ඒත් නීති විරෝධී වැඩ වලට සම්බන්ධ වෙලා පොලිස් කූඩුවේ චාටර් වෙන්ඩ කපිලට උවමනාවක් තිබ්බේ නෑ. ඒ හිංදා වැඩි මහන්සියකින් අඩු ගානක් හොයන්ඩ පුළුවන් උනත් නීත්යානුකූල රස්සාවක් තමයි
බලාපොරොත්තුව උනේ. ඔහොම රස්සාවක් හොයන්ඩ පටන් ගත්තට කපිලට කිසිම පිළිගත් තාක්ෂණික හෝ අධ්යාපනික සුදුසුකමක් තිබ්බෙත් නෑ.
මේ වටපිටාවට, තමන්ගේ ඕන එපාකං වලට ගැලපෙන විදිහට යාන්තං අන්තිමට කපිලට රස්සාවක් හම්බ උනා. ඒ කොළඹ- අම්පාර දුවන මරික්කාර් මුදලාලිගේ බස් එකේ කොන්දොස්තර රස්සාව.
දැන් අපි කපිලගේ කතාව අහමු.
මාසයක් දෙකක් ගෙවිල ගියා. හැමදේම හොදින් සිද්ධ උනා. අතේ මිටේ සල්ලිත් ගැවසෙන හිංදා මම බැංකුවේ අකවුන්ට් එකකුත් පටන් ගත්තා. එක දවසක් කොළඹට ඇවිත් බස් එක නවත්තපුවම මම බස් එක අතු ගාන්ඩ පටන් ගත්තා. බස් එක ක්ලීන් එකට තිබ්බහම මට සතුටුයි. ඒ හින්ද හැම ගමන් වාරේකටම පස්සේ බස් එක සුද්ධ කරන එක
පුරුද්ද. සමහරවිට රුපියල් විස්සක් තිහක් හම්බ වෙනවා බස් එකේ බිම වැටිලා තිබිල. එහෙම හම්බ වෙන හැම සතයක්ම මම බැංකුවේ දැම්මා. මට ඕන උනේ සල්ලිකාරයෙක් වෙන්ඩ. එහෙම සල්ලි කාරයෙක් උනොත් කාටවත් අත නොපා කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්ඩ පුලුවන්. එහෙමයි මම හිතුවේ.
ඔන්න ඔහොම ඉන්නකොට දවසක් පිටිපස්සේ සීට් එක යට වැටිලා තිබිලා ස්මාට් ෆෝන් එකක් හම්බ උනා. ඒ කාලේ ස්මාට් ෆෝන් ආපුම දවස්. ඉතින් මට ඕන උනා අයිතිකාරයෙක් නැති ෆෝන් එක කාට හරි අඩු ගානකට හරි විකුණන්ඩ. ෆෝන් එකේ සිම් එක ගලවලා දාලා ෆෝන් එක විකුනගන්ඩ කීප දෙනෙක්ම ගාවට ගියත් උන් එකෙක්වත් කැමති උනේ නෑ එච්චර වටිනා ෆෝන් එකක් මං වගේ කෙනෙක් ගෙන් ගන්ඩ. උන් හිතුවේ මම
හරි හොරකම් කරපු එකක් කියල.
ඔය අතරේ මට මතක් උනා දර්ශනීව. ඒකි පට්ට කෑල්ල. මං ඒකි පස්සේ දිගටම ගියා මාස හයක් විතර. ඒත් ඒකි මාව සතේකට ගණන් ගත්තේ නෑ. කෝමද මේවගේ ෆෝන් එකක් අරන් ඒකි ඉස්සරාට ගියොත්? බඩු අතේ නේ? මට ඒ වෙලාවේ ඉඳන් පේන්නේ ෆෝන් එක නෙවෙයි දර්ශනී ව. පේමතෝ ජායතී සෝකෝ කියල කතාවක් තියනවා නේද මහත්තයා? ඒක සම්පූර්ණ ඇත්ත කියල මට තේරුනේ ඔය ෆෝන් අරං දර්ශනී එක්ක කතා කරන්ඩ ගියාම. මම ෆුල් බලාපොරොත්තුවෙන් ගියාට ඒකි නෙවෙයි මාත් එක්ක වචනයක් වත් කතා කරේ. අඩු ගානේ මගේ අලුත් ස්මාට් ෆෝන් එක දිහා ඒකි ඇස් ඇරලවත් බැලුවෙ නෑ. ඒකිත් හිතන්ඩ ඇති මම මේක ගත්තෙ රොබරියක් දීලා කියල.
මොකා කොහොම හිතුවත් මම දන්නවා මම වැරද්දක් කරලා නෑ කියල. ඉතින් මම දිගටම ෆෝන් එක පාවිච්චි කරන්ඩ පටන් ගත්තා. අම්මෙක් තාත්තෙක් විතරක් නෙවෙයි දන්නා කියා ලග නෑදෑයෙක්වත් නැති මම කාට කියල කතා කරන්ඩද? ඒ හින්දම මම වැඩියෙන් කතා කරේ අපේ රූට් එකේම යන බස් වල කොන්දොස්තරලා එක්ක. ඒ වෙන මොනවටවත් නෙවෙයි ඒ ඒ බස් කොහෙද තියෙන්නේ කියල බලා ගන්ඩ. ඒක දුර ගමන් බස් වල කොන්දොස්තරලා විතරක් නෙවෙයි සමහර විට ඩ්රයිවර්ලත් කරන සාමාන්‍ය වැඩක්.
ඔහොම ටික දවසක් යනකොට තව බස් එකක කොන්දොස්තර කෙනෙක් මට මෙහෙම කිව්වා.
ඒයි කපිලයා මාර වැඩක් උනානේ...
මොකද්ද බං උනේ?
අද මට ලෑන්ඩ් ලයින් එකකින් කෝල් එකක් ආවා. කිව්වේ මිරිහාන පොලිසියෙන් කියල.
ඉතින්?
උඹේ නම්බර් එක කියල ඇහුව මම දන්නා කෙනෙක්ද ඒක පාවිච්චි කරන්නේ කියල.
ඉතින්..උඹ මොකක්ද කිව්වේ?
මට හිතා ගන්ඩ බැරි උනා මොකක් කියන්ඩද කියල. පොලිසියෙන් කියපු හින්ද ගොන් පාට් එකක් කියල හිතන්ඩත් බෑ. හැබැයි ඉතින් උඹෙයි මගෙයි නම්බර්ස් ගැන හොයල බලන්නේ කවුරුහරි අපි වගේම අපතයෙකුට ලෑන්ඩ් ෆෝන් එකක් නොමිලේ අහුවෙලා වෙන්ඩ ඇති කියලත් හිතුන.
ඉතින් උඹ මොකක්ද කිව්වේ?
අපිට හංගන්ඩ දෙයක් නෑනේ මචං මං කිව්වා ඔව් මම දන්නවා මේ නම්බර් එකේ අයිතිකාරයා කියල.
ඊට පස්සේ?
උඹේ නම ඇහුවා. කොහෙද වැඩ කරන්නේ කියල ඇහුව? කුඩු ගහනවා නේද කියල ඇහුව...පදිංචිය කොහෙද කියල ඇහුව තව මොන මොනවද හෙන විස්තර අහනවා. මම අන්තිමට කිව්වා මම එච්චර විස්තර දන්නේ නෑ කියල.
ඊට පස්සේ?
එච්චරයි. උං කෝල් එක කට් කළා. ඇයි උඹ මොකක් හරි ගේමක් දුන්නද?
පිස්සුද මචං. මම ජීවත් වෙන්ඩ සල්ලි හෙව්වට කුඩු විකුණලා වත් මිනී මරලා වත් නෑ.
කෝකටත් ලොක්ක හොඳ නැද්ද සූදානං සරීරේ කියල හිටියොත්?
මොකට බය වෙන්ඩද අපි වැරද්දක් කරලා නැත්තං....
ටික දවසක් ගියා. මට ඔය සිද්දිය අමතක වෙන්ඩ ඔන්න මෙන්න කියල තියෙද්දී දවසක් මම බස් එකේ ටිකට් කඩ කඩා හිටියා. බස් එකේ සෙනග පිරිලා. අපි අම්පාරට පිටත් වෙන්ඩ විනාඩි දහයක් විතර තියෙද්දී මම දැක්ක පොලිස් ජීප් එකක් ඇවිල්ලා බස් එක ගාව නවත්තනවා. මං හිතුවා කවුරු හරි අම්පාරේ යන පොලිසියේ කෙනෙක් බස් එකට දාන්ඩ ඇවිත් කියල.
කෝ මේ බස් එකේ කොන්දොස්තර? එක පොලිස් කාරයෙක් බස් එක ලඟට ඇවිල්ලා ඇහුවා.
මමයි සර් මම කිව්වේ බස් එකෙන් බැහැලා ලඟට යන ගමන්.
කපිල කියන්නේ උඹද?
ඔව් සර්!
අපිට උඹෙන් කට උත්තරයක් ගන්ඩ ඕන..යමං පොලිසියට...
සර් මම දැන් වැඩ...අම්පාරේ යන්ඩ ලෝඩ් කරන ගමන්. ගිහිං ආපු ගමන් එන්ඩද පොලිසියට?
ඈ... කැ...තෝ එනවද මට රාජකාරිය උගන්නන්ඩ? නැගපිය පරයා ජිප් එකට!
ඒ වෙලාවේ බස් එකේ ඩ්රයිවර් සුමනේ අයියත් ලඟට ආවා. සර් මේ මල්ලි කරපු වැරැද්ද මොකද්ද?
වැරැද්ද? වැරැද්ද කියල දෙන්නං පොලිසියෙදි..දැන් යමං!
මට මොනවා කරන්ඩද කියල හිතා ගන්ඩ බැරිඋනා. මම ටිකට් සල්ලි ටිකයි ටිකට් මැෂින් එකයි සුමනේ අයියට දීලා ජීප් එකේ පිටිපස්සට නැග්ගා. නැගපු ගමන්ම මට ටෝර් ගාලා කන හරහට පාරක් ගැහුවා.
ගනිං හු...තොගේ ෆෝන් එක!
මම ෆෝන් එක දුන්න ගමන් මං ගාව හිටපු කොච්චියා කිව්වා හරි සර් මූ ගාව බඩු තියනවා කියල.
පොලිසියට ගියා විතරයි මාව කාමරේකට දාගෙන පස් හය දෙනෙක් වටවෙලා නෙලුවා නැති වෙන්ඩම. මට කිව්වේ වැරැද්ද පිලි ගන්ඩ කියල. මම ඇහුවා මොන වැරැද්දද කියල. තෝ දන්නෙම නෑ තෝ පොඩි බබා කිය කියා උං මට ගැහුවා.
අන්තිමට මම කිව්වා සර් පේනවනේ මම හරි කෙට්ටු මිනිහෙක්. සර් ලා පස් හය දෙනෙක් එක්කහු වෙලා ඔහොම මට ගහනකොට මාව මැරෙයි ඒ හිංදා එක්කෙනා ගානේ ඇති වෙනකල් මට ගහන්ඩ කියල. එහෙම කිව්වට පස්සෙද කොහෙද උං ගහන එක නැවැත්තුවා.
තෝ වැරැද්ද පිලි ගනිං එතකොට ප්රශ්නේ ඉවරයි!
මොකද්ද සර් මම කරපු වැරැද්ද කියන්ඩකෝ!
උං මොනවත් කියන්නේ නැතුව අහක් උනා.
පහුවදා බස් එකේ මරික්කාර් මුදලාලි ලෝයර් කෙනෙක් එවලා තිබ්බා මට ඇප දෙන්ඩ පුලුවන්ද බලන්ඩ. ඒ ලෝයර් තමයි මට කිව්වේ මොණරාගල ප්රාදේශීය සභාපති කෙනෙක්ගේ ගෙදර කඩලා බඩු ගත්ත එකලු මට තියන චෝදනාව. දෙයියෝ සාක්කි මං ජීවිතෙට හීනෙන් වත් හිතුවේ නැති දෙයක්!! ඒ මදිවට ඒ ප්රාදේශීය සභාපති ඇවිල්ලා කිව්වලු මූ තමයි හොරකම කරලා තියෙන්නේ මට හොඳටම ෂුවර් කියල. ඒ පැත්තේ මොකෙක්වත් නෑ මට මෙහෙම වැඩක් කරන්ඩ. මේ මාළිගාවත්තේ අම්ම අප්පා නැති බැල්ලිගෙ පුතාලා තමයි මේ වගේ දහපදුරා වැඩ කරන්නේ කියල කිව්වලු ඒ සභාපතියා.
නඩුව පටන් ගත්තම ලෝයර් කිව්වා වැරදිකරු කියල පිළිගන්ඩ එතකොට පොඩි දඬුවමක් දෙයි. වැඩේ ඉවරයි කියල.
නෑ...මම ඇදගෙන ඉන්න කලිසම විකුණලා හරි නඩු කියනවා. මම නොකරපු වැරැද්දක් කරා කියල පිළිගන්නේ මොකටද? මම කිව්වේ එහෙමයි.
අවුරුදු එක හමාරක් නඩුව ගියා. මරික්කාර් මුදලාලි මට ආපහු රස්සාව දුන්නා. ඒ විතරක් නෙවෙයි හැම නඩු දවසටම ලෝයර් ගේ ගාස්තු දුන්න. පඩිත් එක්ක නිවාඩුත් දුන්න නඩුවට යන්ඩ.
අවුරුදු එකහමාරකට පස්සේ දවසක් ආයෙත් මට පොලිසියේ ලොකු මහත්තයා කතා කළා. මං හිතුවා මේ පාර කුඩු කේස් එකකට හරි මාව පටලවලා අරින්ඩ තමයි උන් හදන්නේ කියල. ඒ හින්ද ලෝයරුත් එක්කම තමයි මම පොලිසියට ගියේ.
ආ...කපිල..වරෙන් වරෙන්..මෙන්න මෙහෙන් ඉඳ ගනින්කෝ...නයි කයිද රෝස් පාං කිව්වලු මෙන්න මේ පරයා මට හොඳට කතා කරලා ඉඳ ගන්ඩ කියනවා.
ඇයි සර් මට එන්ඩ කියල පණිවිඩයක් එව්වේ?
ඇයි උඹ බය උනාද? මේ සාජන් මේ කපිලටයි මටයි කැන්ටින් එකෙන් තේකක් අරන් එනවා. නයි කයිද චිකන් කොත්තු කිව්වලු මෙන්න මූ මට තේ ගේන්ඩ කියනවා.
සර් මට එන්ඩ කිව්වේ...?
ආ අර කූඩුවේ තමුසෙගෙ යාලුවෙක් ඉන්නවා...බලනවා අඳුනනවද කියල?
මම කූඩුව ලඟට ගිහිං බැලුවා. ම්හ්...මං අඳුනන එකෙක්වත් නෑ.
සාජන් අර හෝරාව පෙන්නනවා මේ කපිලට...ලොකු මහත්තයා කාමරේ ඇතුලේ ඉඳලා කියනවා මම අහගෙන.
මට තේ ගෙනාපු වේටර් සාජන් ඇවිල්ල අඩි හයක් විතර උස එකෙක්ව කූඩුව ඇතුලෙන් අරන් මට පෙන්නුවා. ඌ මාව දැක්ක ගමන් මට දන ගහලා වැන්දා. ඇත්තටම එහෙම උනේ අර වේටර් සාජන් අරූගෙ දනිස්සට බූට් එකෙන් ගහල වැදපිය පරයා මේ මනුස්සයට...මූ තමයි තෝ වෙනුවෙන් ගුටි කෑවේ කියල කිව්වහම.
අනේ මල්ලි මට සමාවෙයන්. මම උඹව අල්ලන්ඩ හිතුවේ නෑ. අර සභාපතිගේ ගේ කැඩුවේ රට යන්ඩ සල්ලි හොයාගන්ඩ. මම කොළඹ ආපු බස් එකේ සභාපතිගේ ගෙදරින් උස්සපු ෆෝන් එක වැටිලා. මම එක හොයන්ඩ හදන්නේ නැතුව කටුනායක ගියා. අය මම ලංකාවට ආවේ පෙරේදා!!
බැලින්නං මේ අර සභාපතිගේ ගේ කඩපු ඇත්ත හොරා. ඌ ඒ සල්ලි ඒජන්සියකට දීලා සවුදි ගිහිං. එහෙදි වෙන බඩුවක් සෙට් කරගෙන පවුල් කනවා කියල ගෙදර ගෑණිට ආරංචි වෙලා. ඒ ගෑණි හැරෙන තැපෑලෙන් පොලිසියට ඇවිත් ගින්දර පත්තු කරලා. පුතාට හොඳටම අසනීපයි කියල බොරු පණිවිඩයක් යවලා අර හොරාව ගෙන්නාගෙන. කටුනායකින් එලියට එනකොටම පොලිසියේ උං අරූව අල්ලාගෙන තියෙන්නේ. ඌ පාපොච්චාරණේ කරලා හොරකමට. බැලින්නං ඌට වෙන පවුලක් නැතිලු. අර ගෑනිගේ හදිස්සිය හිංදා ඇත්ත හොරා අහු උනා. මගේ නඩුව ඉවර උනා!!!
ලෝයර් කිව්වේ පොලිසියට විරුද්ධව නඩු දාමු කියලා. කෝටියක් ඉල්ලමු කිව්වා අලාභ විදිහට. එතකොට ලක්ෂ විස්සකටවත් සෙට්ල් වෙන්ඩ පුළුවන් වෙයි කියල කිව්වා. පොරට නඩු ගාස්තු එපාලු සෙට්ල්මන්ට් එකෙන් බාගයක් දෙන්ඩලු!!! මට හිතා ගන්ඩ බැරි උනා මොනවා කරන්ඩද කියල. මට මතක් උනේ මගේ දුකේදී මාත් එක්ක හිටපු එකම කෙනා. මම මරික්කාර් මුදලාලිගෙන් ඇහුවා මොකක් කරන්ඩද කියල.
තමුසෙට නඩු ගාස්තු ගියේ නෑනේ. මමනේ එව්වා දුන්නේ. ඒ හිංදා ඇත්තටම පාඩුවක් උනේ මටනේ. උසෛ යනවා කියන්නෙම මෝඩ කමක් ඕයි. උන් ඔක්කොම
හූරගෙන කන්ඩ ඉන්න එවුං. තමුසේ ඔය කේස් එක අත ඇරලා දානවා. මට නං කෝටි දහයක් දෙනවා කිව්වත් උසාවි යන්ඩ වෙන කේස් එකක් නං එපාමයි!!
මටත් හිතුන වැඩේ ඇත්ත තමයි කියල. ලෝයර් නං බැන්න තෝ වගේ පල් මෝඩයෙක් කියල. හැබැයි මට හිතෙන්නේ බස් එක අතුගාලා හම්බ වෙන රුපියල් විස්ස එකතු කරලා සල්ලි කාරයෙක් වෙන එක හොඳයි අර විදිහට සල්ලි හොයනවට වැඩිය කියල. මොකද මට අදත් කොන්ද කෙලින් තියාගෙන කියන්ඩ පුළුවන් පොලිසියේ බල්ලෝ මාව කෑවට මම ආපහු උන්ව හපන්ඩ ගියේ නෑ කියල!!!
කතාව ඉවරයි. දැන් කපිල කුලී රථ රියදුරෙක්. මනුස්සයා පවුල් වෙලා සංතෝසෙන් කාලය ගත කරනවා. මම ලංකාවේ දැක්ක විනයගරුක හා නීති අකුරට පිළිපදින හොඳම රියදුරා ඔහු. කපිල ඇත්තටම ඇයි වන්දි ඉල්ලලා නඩු කිව්වේ නැත්තෙ? මම ඇහුවා. මට ඕන උනේ සල්ලි හොයන්ඩ නෙවෙයි සර්. කොන්ද කෙලින් තියාගෙන බය නැතුව ඉන්ඩ. මට සල්ලි ඕන උනේ එක ලබා ගන්ඩ. ඒත් මට තේරුනා කොන්ද කෙලින් තියා ගෙන ජීවත් වෙන්ඩ තව ක්රම තියනවා කියල. මම එක පාරක් නොදැන ෆෝන් එකක් අරගෙන දඬුවම් වින්දා නොසෑහෙන්ඩ. මම වන්දි ඉල්ලුවා නං ඔය පොලිස් කාරයෝ ඒ වන්දිය ගෙන්වන්නේ උන්ගේ පඩියෙන් නෙවෙයි. කාගෙන් හරි පගාව අරං. ඒ කියන්නේ මාත් ඒ හොරකමට හවුල් වෙනවා. හොඳයි පඩියෙන් ගෙව්වා කියමුකෝ එතකොට ඒ මිනිස්සුන්ගේ ළමයින්ට කන්ඩ දෙන්නේ කොහොමද? මම වන්දි ගත්තා කියන්නේ ඒ ළමයින්ගේ කෑම වේල, බේත් ටික හොරකං කරා වෙනවා. මේ මොන හොරකම උනත් ෆෝන් හොරකමට වඩා බරපතලයි. ඒකට මට කවදා කොහොම ගෙවන්ඩ වෙයිද?
"මුල්ලා මොනවා ඉගැන්නුවත් මේ ලෝකේ තියෙන්නේ එකම පවයි. එකම එකයි. ඒ තමයි හොරකම. අනිත් ඕනෑම පවක් හොරකමේ වෙනස් විදියක් විතරයි. පුතේ උඹට ඒක තේරුනාද?" අමීර් ගේ තාත්තා අමීර්ට කිව්වේ එහෙමයි.
ඒ ද කයිට් රනර් පොතේ කාබුල් වලදී. කපිල මට කොළඹට එන ගමන් කියන්නෙත් ඒකම නේද? ලංකාවේ දුප්පත් මිනිස්සු කඹුරපු සල්ලි වියදං කරලා පිට රට රාජ්ජ වල ගිහිං ඉගෙන ගෙන ඒ රටවලට කඹුරන, ලංකාවට කණු තියපු කැම්පස් ආචාර්ය සෙට් එකක් ඉන්නවා කියල පත්තරවල නං ගං එක්ක යනවා මම දැක්කා. අනේ අර ලංකාවට පොලු තියලා පැනලා ගිය විශ්ව විද්යාලයීය ආචාර්ය වරුන්ට ඒ ඇත්ත කියල දෙන්නේ කවුද? කොහෙදිද?
කියන්න දෙයක් නෑ. හැබැයි අනුන්ගෙ පෝන් පාවිච්චි කරාම ඔය වගෙ වැඩ වෙනවා. මේ නීතිය තියෙන්නෙ ොකෙක් හරි වරදට පංගාර්තු කරන්න තමා. මාත් ආසම පොතක් තමා මේකත්. Nice writting katta
ReplyDeleteස්තුතියි දේශකතුමා...කියවන්ඩ කියවන්ඩ ආස හිතෙන පොතක් The Kite Runner. ඒ වගේම අහන්ඩ අහන්ඩ දුක හිතෙන ලේ කෝප වෙන කතාවක් තමයි ලේක්චරර්ස් ලා කණු තියල පැනල යෑම...
DeleteKite Runner මම මේ ළඟදිත් ආපහු කියෙව්වා.
ReplyDeleteකියවන්ඩ කියවන්ඩ වෙනස් අර්ථ මතුවෙන හරි අපූරු චිත්ත රූප මවන පොතක්....
Deleteai ganama pilikuklak ,, kangatuwak athi wenawa ayya malliye.. api mee masso wage eka ekata mee wada badinawa
ReplyDeleteලස්සන උපමාව...හරියටම කිව්වොත් මී වදේ ඉන්න වැඩකාර මැස්සො වගේ....
Delete+++++
ReplyDelete!!!!
Deleteඅමීර් වගේ හර්ද සාක්ෂියට එකඟව ජීවත් වෙන්නට පුරුදු වුණාම හැමදාම සතුටෙන්. ඔළුව කෙළින් තියාගෙන ඉන්න පුළුවන්. ලොකූ, මට නම් මේ කතාව හිතේ පතුලටම වැදුණා. හරිම රහයි, අරුත්බරයි. ඒ විතරක් නෙවෙයි, 'සරුංගල් ලුහුබඳින්නා' ආයෙම කියවන්නත් හිතුණා.
ReplyDeleteහර්ද සාක්ෂිය කියන්නෙ අපිත් එක්ක දිගටම ඉන්න නොපෙනෙන කෙනෙක්. එයා දෙවියෙක් කර ගන්නවද පෙරේතයෙක් කරගන්නවද කියන එක අපිට භාරයි...
Deleteහරිම ආදර්ශමත් කථාවක් . මිනිස්සු ආගම් , ජාති බදාගෙන කරන කෝලම් බැලුවාම මේ කථාව කොච්චර ඇත්තක් කියනවද . දිගටම ලියන්න ....අපූරු ගැලපීමක් . සරුංගල් යවන්නා කියවන්න ආසයි . මම ඒක අපේ පුස්තකාලෙන් ගන්නම් .
ReplyDeleteThe kite runner ෆිල්ම් එකකුත් තියනවා නමුත් ඉස්සරලා පොත කියවන්ඩ....ඊට පස්සෙ දිය සායම් ටිකක් අරං සමහර සිද්ධි අදින්න හිතෙනවද බලන්න....
Deleteලෝයර් කිව්වා විදිහට කපිල වැරැද්ද පිලිගත්තනම් මොකද වෙන්නේ.ලොයර්ස්ල තමුන්ගේ ගනුනුදෙනුකරු බේරගන්ඩ කියන්නේ වැරද්දක් නොකලත් වැරැද්ද පිළිඅරන් සුලුදදුවමක් ඉල්ලගන්ඩ කියල.?
ReplyDeleteබහුතරයක් ලෝයර්ලා ගැන සමාජේ තියෙන්නෙ හොද ආකල්පයක් නෙවෙයි. ඒ මේ වගේ බලු වැඩ හිංදා...කපිලගේ නිර්දෝෂී මිනිහෙක් වීමට තිබිච්ච දැඩි උවමනාව නොවෙන්නට ලෝයර් සහ පොලීසිය දිනන්ඩ ඉඩ තිබ්බා...
Deleteගුටි කන්ඩ වෙයිද මන්දා
ReplyDeleteසභාපතිගෙ ගෙදර කැඩුවනං කන්ඩ වෙනව බොස්.
Deleteහයියෝ වෙච්චි දේ... අනුන්ගේ බඩු තියාගත්තම ඔහොම වෙනවා ඉතින්...
ReplyDeleteKite runnerගැනත් නොකියන බැහැ. ඒක තමා මං කියවපු සුපිරිම පොත...
අනුන් ගේ බඩු තියාගත්තම වගේම මෙලෝ හෙවිල්ලක් බැලිල්ලක් නැති නීතිය අතට ගත්තු පොලීසියක් තියන රටක ඉපදුනාමත් මෙහෙම වෙනවා...
DeleteKite Runner නම් සිරාම පොතක්. මේ කතාවත් ඒ වගේම සිරා. ලස්සන නවල් එකක් ලියන්න පුළුවන් සිද්දියක්...
ReplyDeleteමීට වඩා භයානක ඉරණමකට ගොදුරු උන වත්තල පැත්තේ ජෙරාඩ් කියල කෙනෙක් ගැන අහන්ඩ ලැබුනා. ප්‍රසිද්ධ නඩුවක් තිබ්බලු වත්තල පොලිස් ස්තානාධිපතිට එරෙහිව ජෙරාඩ් කියලා...නමුත් එහි අවසානය හරිම දුක්ඛිතයි....
Deleteඅවාසනාවට මරික්කාර් මුදලාලිල හරි අඩුයි.. පොලීසියෙ සපත්තුවයි නීතියෙ මිටියයි හෙන ලොකුයි ..ඒ හින්ද කපිලලට දරාගෙන ඉන්ඩ බෑ..යම් තැනකදි චප්ප වෙනව...
ReplyDeleteඔව්. එක්කෝ දරා ගන්න බැරුව චප්ප වෙනව එහෙම නැත්තං අර ජෙරාඩ් මහත්තයගෙ සිද්ධියෙදි වගේ චප්ප කරනවා. දෙකින් මොකක් උනත් අන්තිමට අවනීතිය රජ වෙනවා.
Delete+++++++++++++
ReplyDeleteමං හිතුව මේ ක්ෂෙත්‍රයේ අත්දැකීම් තියන ප්‍රා ජේ තුමා මීට වඩා යමක් කියයි කියල...ස්තූතියි වැටට!!!!
Deleteඇයි ලොකු සෑර් ලැචර් උන්නාන්සේලා විතරද පව්. අර උණුසුම් කබා ගන්ඩත් සල්ලි දීල, ලංකාවෙන් පඩිත් ගෙවල ඉස්කෝලෂිප් කියල නැව් රස්සා ට්‍රේනිං වෙන්ඩ රට යවන දොස්තර මාත්තුරු නෝනලා, ඒ ගොල්ලෝ ඕකට ඔට්ටු නැද්ද.
ReplyDeleteMyself Hattor.
ලංකාවේ වෛද්‍යවරයෙක් කියන්නේ කය මිස සිත නැති බඹ ලොවක ඉපදුනු කෙනෙක් වගේ. බොහෝ දෙනාට සල්ලි හොයන්ඩ අතක් මිසක් හිතක් පපුවක් නෑ. ඒ විතරක් නෙවෙයි අර පරනිම්මිත වසවර්තියෙ ඉපදුනා කියල හිතං ඉන්න දේශපාලුවෝ. අත අරින්ඩ කියන ගමං බදා ගන්න උත්තමයො,මිනිස්සුන්ට බේගල් පොවන මාධ්‍ය සෙප්පඩ විජ්ජා කාරයො...ලැයිස්තුව හුගක් දිගයි....ඒ ඒ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වල ඉපදුනු ඇත්තො ගැන අවීචියෙ ඉපදුනු අපි මොනව කියන්ඩද කරන්ඩද?
Deleteබොහොම ගැඹුරැ කතාවක් සරලව ගලා යන විදිහට ඉදිරිපත් කළාට.
ReplyDeleteපොත කියවල නැතත් කයිට් රනර් චිත්‍රපටිය බලල තියනව, රටටත් කිහිප විඩක් ගොහිං ආව පණ පිටිං 🙂
අපි රහට කියෙව්ව ඒ කතා. තව ඉතුරුයි නේද කතාව? පුලුවන් නං පොත කියවන්ඩ....මට නං පොත හොදයි ෆිල්ම් එකට වඩා...ස්තූතියි මේ පැත්තෙ ආවාට.
Deleteනියමයි
ReplyDeleteThanks!!!
Delete