හැලපකඩේ ලියන අපේ හැලපතුමාට අපි ආදරේ කරන්නෙ කාරණා දෙකක් හින්ද. එක තමයි එතුම කට්ටකාඩුවේ පළමුවැනි හඹා එන්නා නොහොත් ෆලෝවර්. දෙක එතුමගේ ලිපි වලට යොදන මාතෘකා නොහොත් ශීර්ෂපාඨ වල තියන කලාව. තමන් කියන්ඩ යන දේ වෙනුවෙන් වචන පහ හයක මාතෘකාවක් නැත්නම් පොඩි චේදයක් උනත් මාතෘකාවක් විදිහට යොදාගන්ඩ පුලුවන් බව අපිට පෙන්නලා දුන්නෙ හැලපතුමා. මේකෙ ඒ කියන්නෙ මාතෘකාවක තියන වැදගත්කම තමයි තමන් ලියන්ඩ යන දේ මොකද්ද කියල පාඨකයාට ලේසියෙන් අවබෝධ කරවන්ඩ පුලුවන් වීම. උදාහරණයක්
විදිහට මම මේ ලියන්නෙ ගුත්තිල -මූසිල කතාවෙ දෙවෙනි කොටස කියල මාතෘකාව දැක්ක ගමන් හැමෝම දන්නවා මේකා මේ තෙපරබාන්නෙ ගිය සතියෙ ලියපු ලිපියෙ දෙවෙනි කොටස ලියන්ඩ තමාය කියල. කාට හරි ඒ කොටස කියවන්ඩ බැරි උනානං මේං මෙතෙන්ඩ කොටාපුවම ඒ ලිපිය කියවන්ඩ පුලුවන්.
දැං ඔය කවි පන්සිය ගානක් තියන ගුත්තිල කාව්‍යය රචනා කරපු අපේ වෑත්තෑවේ හාමුදුරුවො
සිංහල බාෂාව ගැන හොද අවබෝධයක් තියන උත්තමයෙක්. ඉතින් එතකොට ගුරු ගෞරවය නැති ගෝලයෙක් ගැන ලියන්ඩ එතුමාට ජාතක කතාවලට හැරෙන්ඩ ඕන කරන්නෙ නෑ. එතුම ජීවත් වෙච්ච කෝට්ටේ යුගයෙ අග භාගය කියන්නෙ සංදේශ කාව්‍ය ඕසෙට ලියවෙච්ච කාලයක්. කොටිම්ම තමුන්ගෙ ගුරු හාමුදුරුවෝ වෙච්චි තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවොත් ඒ ගුරු හාමුදුරුවන්ගේ හෙවනේම හැදිල වැඩිච්ච තමන්ගේ සහෝදර හාමුදුරුනමක් වෙච්ච වීදාගම මයිත්‍රිය හාමුදුරුවොත් දෙන්නම තම තමුන්ගේ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් රෙදි නැතුව කඩේ යමින් හිටි කාලයක් මේ. ඒ ගැන මතකය අලුත් කරගන්ඩ ඕන නම් මං ලියපු පැරණි ලිපි දෙකකට මෙන්න මේ සම්බන්ධතාවයත්, මෙන්න මේ සම්බන්ධතාවයත් ඔස්සේ ගිහින් බලා ගන්ඩ පුලුවන්. ඉතින් මං අද කියන්ඩ යන්නෙ මේ හාමුදුරුවො ඇයි ගුත්තිල ජාතකය ආශ්‍රයෙන්ම කවි පොතක් ලිව්වේ සහ ඒ පොතේ හංගලා ඉදිරිපත් කරනවාය කියල මට හිතෙන කතාව ගැන විස්තර. ඔන්න පටන් ගන්ඩ ඉස්සරලම කිව්වා මං මේ ගැන විශේෂ දැනුමක් තියන කෙනෙක් නෙවේය මේ ගැන උනන්දු වෙච්ච සාමාන්‍ය පාඨකයෙක් විතරක් ය කියන එක.
හාමුදුරුවනේ....අවසර ඔබ වහන්සේ කොහෙ වඩින්ඩද මේ නැව්තොටට වැඩියේ?
දඹදිවට, සියමට බැරිනං කොහෙට හරි...
ඔබ වහන්සේ බොහොම කල කිරීමෙන් වගේ?
නැතුව...? මේ සිවුරු දරාගෙන ශාසනේට අයිති නැති වැඩ කරන එක මට අල්ලන්නෙ නෑ. ගුරු හාමුදුරුවෝ උනත් වැරද්ද නං වැරැද්දම තමයි.
ඒක ඇත්ත. ඉතිං කවුද ඔය වැරැද්ද කරන ගුරු හාමුදුරුවෝ.
වෙන කවුද ඉතිං තොටගමුවෙ නායක උන්නාන්සෙ මිසක්.
ඒ කිව්වේ මේ අපේ තොටගමුවෙ ශ්‍රී රාහුල හාමුදුරුවොද?
ඔව්. මං උන්නානසෙට මේ නස්පැත්තිය ගැන කිව්වම උන්නාන්සෙ හිතුවෙ මං ගුරු ගෞරවේ නැති අධමයෙක් කියල. ඒ හින්ද තමයි මම ගුත්තිල කාව්‍යය ලියල තිබ්බෙ.
ඒ කියන්නෙ මේ අපේ වෑත්තෑවෙ හාමුදුරුවොද. අනේ සමවෙන්ඩ ඕන මට අදුන ගන්ඩ බැරි උනා.
ආ ඒකට මොකද. මෙච්චර කාලයක් එක පංසලේ හිටපු ගුරු හාමුදුරුවන්ටත් මාව අදුන ගන්ඩ බැරි වෙච්චි කොට. කොහොම උනත් ගුරු ගෝල සම්බන්ධතාවය විනාශ වෙන එකත් හරි අපරධයක්.
ඉතින් ඔබ වහන්සේ ලිව්වෙත් ගුරුතුමා හරි ගෝලයා වැරදි කියන කතාවක්නේ
කවුද එහෙම කියන්නේ?
අනාගතේ පහල වෙන මිනිස්සු එහෙම කියනවා.
ඒ කියන්නෙ ඔබතුමා අනාගතයෙන්?
එහෙමයි.
ඒ කාලෙදිත් ගුත්තිල කාව්‍යය භාවිතයේ තියෙනවද?
එහෙමයි. අපිට ඉස්කෝලදිත් ඒ පොත උගන්නනවා.
ඒ කියන්නෙ ගුරුවරු මේ පොත විචාර බුද්ධියෙන් කියවලා නෑ. කොහොම උනත් මට ඕන උනෙත් ගුරු ගෝල සම්බන්ධතාව ගැන ව්‍යංගයෙන් කියන්ඩ. ඒ හින්දම තමයි ගුරුවරු අනාගතේදිත් හිතනව ඇත්තෙ මේ ගුරුවරුන්ට සුදු හුණු ගාන පොතක් කියල. එහෙම හිතන තාක් පොත නිර්දේශ කරාවි.
එතකොට ඔබ වහන්සේ කියන්නෙ ගුරුවරයා වැරදියි කියලද?
නෑ...මම කොහෙද එහෙම කියල තියෙන්නෙ?
එතකොට කවුද වැරදි? කවුද කලු?
කවුරුවත් සුදුවත් කලුවත් නෑ. හැමෝම අලු පාටයි!
මේක මටනං ටිකක් පැටලිල්ලක් වගේ. අපි හිතාගෙන උන්නෙ ගෝලයට රිඹ යන්ඩ දොස් පවරලා තමයි ඔබ වහන්සේ මේක ලිව්වෙ කියලා.
ගුරුතුමාට තමන්ගෙම කල්කිරියාව දිහා බලලා අනුන් විතරක් නෙවෙයි තමනුත් යම් යම් ප්‍රමාන වලින් වැරදියි කියන එක පෙන්නලා දෙන්ඩ පොතක් ලියපු මම ගෝලයාට විතරක් වැරැද්ද පටවන කතන්දරයක් ලියන්නෙ මොකටද?
ඒකත් ඇත්ත. ඉතින් ඇයි ඔබ වහන්සේ ගුත්තිල ජාතක කතාවම තෝර ගත්තේ මේ පොත ලියන්ඩ?
ගුත්තිල ජාතකය තරම් ගුරුවරු අතින් වෙනස් වෙච්ච වෙන මිනිස්සු අතර ජනප්‍රිය ජාතක කතාවක් නෑ කියලයි මට හිතුනෙ. ඉතින් මම ඒ වැරැද්ද ටිකක් හරි අඩු කරන්ඩ උත්සාහ ගත්තා. මං ඒකනෙ මෙහෙම කිව්වෙ....
පෙර මහ කිවිවර ණ
පැවසූ තිලෝගුරු බ ණ
මම මගෙ නැණ පම ණ
කීමි වරදක් වේද කිකරු ණ (ගුත්තිල කාව්‍යය 14 කවිය)
මට ඒ කතාව තේරෙන්නෙ නෑ හාමුදුරුවනේ....
ඔය දඹදෙනි හරි කුරුණෑගල යුගයෙදි හරි ලංකාවෙදි ලියපු ජාතක කතා පොත් වහන්සේ කියල කියන්නෙ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයිති ඛුද්දක නිකායේ එන ජාතක පාලිය කියන කොටසට ලියපු අටුවාවක්. ඒ කියන්නෙ අපි අද කියවන ගුත්තිල ජාතකය ලංකාවෙ හාමුදුරුවරුන්ගේ නිර්මාණයක්. ඒකට මුල් වෙන්ඩ ඇත්තෙ බුද්ධඝෝෂ අටුවාචාරීන් වහන්සේ අනුරාධපුර
යුගයෙදි සිංහල භාෂාවෙන් පාළි භාෂාවට පරිවර්තනය කරපු අටුවාව. අපි හිතමුකෝ බුද්ධඝෝෂ හාමුදුරුවෝ කිසිම වෙනසක් කරන්නෙ නැතුව පරිවර්තනය කලා කියල එහෙම උනත් කවද හරි අර අටුවාව මුලින් ලියපු කෙනා තමුන්ගේ අතින් සෑහෙන ලුණු ඇඹුල් දාලා තමයි ඒ අටුවාව ලියල තියෙන්නෙ.
කොහොමද එහෙම කියන්නෙ?
මේ උන්නැහෙ කියවලා තියනවද ජාතක පාලියේ තියන ගාථා?
නෑ හාමුදුරුවනේ?
මෙන්න මෙහෙමයි ජාතක පාළියේ, ඒ කියන්නේ ගුත්තිල ජාතකයේ මුල් අවස්ථාවේ තියන කථාව. ගාථා දෙකයි. හරිම සංක්ෂිප්තයි. සරළයි.
සන්තන්තින් සුමධුරං රාමණෙයියං අවාවයිං
සො මං රංගම්හි අවේහති සරණං මෙ හොහි කොසිය
තත් සතක් ඇති ඉමිහිරි රමණීය වූ වීණා ගායනය ඉගැන්වීමි. ඒ (ශිෂ්යයා) මා රගමඩලට (වාද පිණිස) කැදවයි. ශක්රය මට පිහිට වන්න.
අහං තං සරණං සම්ම අහමාචරිය පූජකෝ
න තං ජයිස්සති සිස්සෝ සිස්සමාචරිය ජෙස්සසීති
මිතුර මම තොපට පිහිට වෙමි. මම ගුරුන් පුදන්නෙක්මි. ඒ ශිෂ්යයා නොදිනන්නේය. ඇදුරුතෙම දිනන්නේය.
ඔය ගාථා දෙක ඇතුලේ කොහෙද රජ කෙනෙක් ගැන, මූසිල කියල මනුස්සයෙක් ගැන, දිව්යාංගනාවෝ නටන හැටි ගැන තියෙන්නේ?
ඇත්තටම එහෙම දේවල් කියවුනේ නෑ නේද ඒ ගාථාවල ?
ඒක නේන්නං මාත් කියන්නේ.
එතකොට කොහෙන්ද ඒ කොටස් එක්කහු උනේ?
සමහරවිට ලංකාවෙදි හෙළ අටුවා ලියනකොට එක්කහු වෙච්ච දේවල් වෙන්ඩ පුළුවන්. ඒත් ඒ මුල් හෙළ අටුවා දැන් හොයා ගන්ඩ නැති හිංදා හරියටම කියන්ඩ බෑ. දැන් අපි ගාව තියන බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලියපු පාළි අටුවාවල දිව්යාංගනාවෝ නටන කතා තියනවා.
එතකොට බුද්ධඝෝෂ හාමුදුරුවෝ පරිවර්තනය කළා විතරක් නෙවෙයිද?
නෑ. කියන්නේ නං එතුමා අර්ථය වෙනස් නොවෙන විදිහට අනුවාදයක් කළා කියලනේ.
ඒ කොහොම උනත් මොනවද ඒ පාළි අටුවා වල තියෙන්නේ?
ඔය මම කවි පොතට ගත්තු කථාව එහෙමම වගේ තියෙනවා ඒ පොත්වල.
ඒ කියන්නේ මූසිල වෙළෙන්දන් අතින් ලැජ්ජාවට පත් වෙලා ගුත්තිල ගුරුතුමා හොයාගෙන යනවය, ගුත්තිල පඩිතුමාගේ ගෙදර ගිහින් වීණාව වාදනය කරනකොට එතුමාගේ අන්ධ දෙමව්පියෝ, මීයෝ කනවා කියල එලෙව්වය, ඊට පස්සේ දෙමව්පියන්ගේ කීමට වීණා වාදනය ඉගැන්නුවය, ඊට පස්සේ රජ්ජුරුවෝ ලග සේවයට ගිහින් සම වැටුප් ඉල්ලුවාය කියල අට්ඨ කතාවේ තියනවද?
ඔව්. ඊට අමතරව රජ්ජුරුවෝ එපා කියද්දී මූසිල වාදයක් ඉල්ලුවා කියලත් තියනවා.
මොනවා වෙනස් කලත් වාදයට කැදවපු කතාව නං මුල් ජාතක පාළියෙත් තියනවා නේද හාමුදුරුවනේ?
ඔව්. මෙන්න මෙතෙන්දි තමයි ගුත්තිල පඩිතුමා ශක්රයාගෙන් උදව් ඉල්ලන්නේ!
හ්ම්...
ඒක වෙන්ඩ පුළුවන් දෙයක්ද? මෙතන ගුත්තිල පඬිතුමා කියන්නේ බෝසතාණන්වහන්සේ. උන්වහන්සේ තමයි මහාවීර. අප්රමාණ වීර්යයකින් බුදුබව පතන උත්තමයෙක්, ජීවිතේ පවා දන් දෙන උත්තමයෙක් තමන්ගේ ගෝලයත් එක්ක සටනට බයේ ශක්රයාගෙන් උදව් ඉල්ලනවා!! මේක හරි විහිළුවක්!!!
ඒ ඇයි?
නිකමට හිතන්ඩකො මොනවද ගුත්තිල පඬිතුමාට නැති වෙන්ඩ තියෙන්නේ කියල? වාදයෙන් පැරදුනා කියමු. ඒත් ගෝලයත් එක්ක සමාන වැටුපක් හම්බ වෙනවා. පැරදුනොත් තමන් ගුරු මුෂ්ටි නොතියා හොදින් ශිල්ප උගන්නපු ගුරුවරයෙක් කියල ප්රසිද්ධ වෙනවා. එහෙම නැතුව බයේ හැංගෙන, ශක්රයා හරි වෙන මොකෙක් හරි බාහිර බලවේගයකින් උදව් ඉල්ලන චරිතයක් ද බෝසතුන් වහන්සේ? එහෙම අභියෝගයක් වත් බාර ගන්ඩ බැරි දුර්වලයෙක් කොහොමද තමුන්ගේ රාජධානි, වස්තුව, අඹු දරුවෝ, ඉස්, ඇස්, මස්, ලේ විතරක් නෙවෙයි ජීවිතේ පවා බුදු බව ප්රාර්ථනා කරමින් දැන් දුන්නා කියල හිතන්නේ?
ඉතින් ඔබ වහන්සේ මොකද කලේ?
මම කතාව ටිකක් වෙනස් කළා. ගුත්තිල කවි පොතේ දී මූසිල වාදයක් ඉල්ලන්නේ නෑ. ඉල්ලන්නේ තමන්ට ශිල්ප දක්වන්ඩ අවස්ථාවක්.
මැදහත් නිරිදු තු ම
වන බව අප නොසම ස ම
තෙපලනු කිම වෙන ම
සිල්ප දුටුවිට දැනෙයි ඔබට ම
ඒ කියන්නේ වාදය ඉල්ලන්නේ ගුත්තිල පඬිතුමාද කවි පොතේ?
නෑ. වාදයක් ඉල්ලුවා නං මෙහෙම කියන්නේ නෑනේ....
අතවැසිව ද නොදැ මි
මොහු හා වාද නොකර මි
එතකුදු වුවත් හි මි
සිල්ප සත්වෙනි දවස දක්ව මි
එතකොට කවුද මේ වාදය හදන්නේ?
අන්න එක තමයි මටත් කියන්ඩ ඕන උනේ. මේ වාදය හදන්නේ රජ්ජුරුවෝ. වාදය අවුලුවන්නේ ශක්රයා.
මාර වැඩක්නේ...කොහොමද එහෙම කරන්නේ.
රජ්ජුරුවන්ට තිබ්බා දෙන්න කොටවන්නේ නැතුව දෙන්නම එක වගේ දක්ෂ නං සමාන පඩි දෙන්ඩ. මූසිල ඉල්ලන්නේ ගුත්තිල පඬිතුමාගේ පඩිය කපලා තමුන්ට දෙන්ඩ කියල නෙවෙයිනේ. රජ්ජුරුවන්ගේ භාණ්ඩාගාරයට තව එක්කෙනෙකුට පඩි දෙනවා කියන එක මහා අමාරු වැඩක් නෙවෙයි. කොහොමත් ගුත්තිල පඬිතුමා වයස්ගතව හිටියා නං මෙච්චර කල් වැඩ කලාට විශ්රාම වැටුපක් දෙන එකත් යුතුකමක්. අනික මූසිල හොදට ශිල්පය දන්නවා නං අනාගතය වෙනුවෙන් හරි තියාගත්තහම මොකද වෙන්නේ? හැබැයි රජවරු එහෙම නෙවෙයි. ඒ අය බලන්නේ තමන්ගේ ඉදිරිය ගැන විතරයි. ඒකනේ පඩි දෙන්ඩ සල්ලි නැති රජ්ජුරුවෝ වාදයට නගරය ලෑස්ති කරලා මිනිස්සුන්ට පොඩි වෙනසක් දෙන්නේ.
පු ර වා සින් සමගව රජු ඉ ඳයා
වෙ ණ වා දය අසනුව රස වි ඳයා
සො ඳ වා දනමන වන ලෙස න ඳයා
ක ර වා මහ මඩුවක් පුර මැ ඳයා
ඒ කියන්නේ බලන් ඉන්න මිනිස්සුන්ට 'නඳ' වෙන්ඩ තමයි මේ වාදය හැදුවේ කියල??!!
මට කියන්ඩ ඕන උනේ ගුරුවරුයි ගෝලයෝයි අතර ප්රශ්න හදන්නේ ශිල්පය දැනගෙන නුවණ දියුණු කරගත්තු මිනිස්සු නෙවෙයි. මොකද ඔවුන් දන්නවා ශිල්පයේ තියන වටිනාකම. ඒ ප්‍රශ්න හදන්නේ වටේ ඉන්න ගොටු අල්ලන කට්ටිය. තම තමුන්ගේ උවමනා එපා කම් වෙනුවෙන් ගුරුවරුයි ගොලයෝයි කොටවලා තියලා දෙපැත්තෙම්ම හරි එක පැත්තකින් හරි වාසි ගන්ඩ බලන් ඉන්න කට්ටිය. හරියට මේ කාලේ වෙනවා වගේ.
මේ කාලේ කිව්වේ හාමුදුරුවනේ.
මං මේ කාලේ කියන්නේ මම ජීවත් වෙන කෝට්ටේ යුගයට. ඔබතුමා කොයි කාලේ ගැන හිතුවත් මේ කතාව ඇත්ත කියල තේරේවි.
කාලේ මොක උනත් වැඩේ ඇත්තයි. ගුත්තිල කාව්යයේ ඇතුලට යන්ඩ යන්ඩ තව තව දේවල් මතු වෙන්ඩ පුළුවන්. හැබැයි අද නෙවෙයි. ලගදී දවසක මේ කතාවේ අවසාන කොටසත් අරන් එන්නං එතකල් ආවඩා ආයු බෝ වේවා!!
ආශ්‍රිත ග්‍රන්ථ
සන්න සහිත ගුප්තිල කාව්‍යය - බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමා (රත්න පොත් ප්‍රකාශකයෝ, 2015)
ජාතකපාළි 1- බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා පුනර් මුද්‍රණය (බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2006)
ජාතකට්ඨ කතා දෙවෙනි කොටස -සිංහල පරිවර්තනය (බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2007)
නොදුටු පැත්තක්! අවසාන කොටස ආවම ඉතුරු ටිකත් බලමු.
ReplyDelete//මං මේ කාලේ කියන්නේ මම ජීවත් වෙන කෝට්ටේ යුගයට. ඔබතුමා කොයි කාලේ ගැන හිතුවත් මේ කතාව ඇත්ත කියල තේරේවි// හැක්.. හැක්..
ReplyDeleteසෑහෙන හිතන්න ඕන දෙයක් මේකෙ තියෙනව.
මේක මේ උඹේ රසවත් ලිපියට අදාළ කාරණාවක් නොවුනත් නිකමට වගේ ලියන්න හිතුණා. දැනට කාලෙකට ඉස්සෙල්ලා ඒ කියන්නෙ අසු ගණන් වල අග හෝ අනු ගණන්වල මුල වගේ ගුත්තිල කාව්‍යය ටෙලියකට නැගුණා. ටෙලිය කළේ අයි ටී එන් එකෙන් ටෙලියේ නිර්මාපකයා මහාචාර්ය සිරි ගුණසිංහ. ටෙලිය මොන තරම් කලාත්මක ආකාරයට නිර්මාණය කරල තිබ්බද කිව්වොත් ඒක බලන්න වෑත්තෑවේ හාමුදුරුවෝ හිටිය නං බෙල්ලෙ වැල දාගෙනයි මැරෙන්නේ. ඒ ටෙලිය ගැන උඹට මතකයක් තියේද දන්නෙ නෑ. කොහොම හරි දිවයිනේ කසුරිලා එහෙම ඒක පට්ට ගැහුවා දාගෙන. අන්තිමට කිව්වෙ මේ ටෙලිය සිරි ගුණසිංහගේ තරහකාරයෙක් කරපු එකක් කියල.
ReplyDelete//හැලපකඩේ ලියන අපේ හැලපතුමාට අපි ආදරේ කරන්නෙ කාරණා දෙකක් හින්ද//
ReplyDelete3. ඇනෝ
මරේ මරු!
ReplyDelete//මට කියන්ඩ ඕන උනේ ගුරුවරුයි ගෝලයෝයි අතර ප්රශ්න හදන්නේ ශිල්පය දැනගෙන නුවණ දියුණු කරගත්තු මිනිස්සු නෙවෙයි. මොකද ඔවුන් දන්නවා ශිල්පයේ තියන වටිනාකම. ඒ ප්‍රශ්න හදන්නේ වටේ ඉන්න ගොටු අල්ලන කට්ටිය. තම තමුන්ගේ උවමනා එපා කම් වෙනුවෙන් ගුරුවරුයි ගොලයෝයි කොටවලා තියලා දෙපැත්තෙම්ම හරි එක පැත්තකින් හරි වාසි ගන්ඩ බලන් ඉන්න කට්ටිය. හරියට මේ කාලේ වෙනවා වගේ.// මේ ටික කියන්න කොච්චර ලිවද . ඔයාගේ පාලි දැනුම හෙම නම් හරිම උසස් වගේ. මේ "අනුවාදයට " බොහොම කැමතියි. ඇත්තටම එක තමයි වෙන්න ඇත්තේ :)
ReplyDelete//සමහරවිට ලංකාවෙදි හෙළ අටුවා ලියනකොට එක්කහු වෙච්ච දේවල් වෙන්ඩ පුළුවන්// ඔය අටුවා ලියුවේ රවී වීරසිංහ කියල බුවෙක්ද දන්නේ නෑ ඒ කාලේ :))
ReplyDeleteමේක පට්ට.. ඊළඟ පාර හම්බ උනාම වෑත්තාවේ හමුදුරුවොන්ව මතක කළා කියන්න.