ගියපාර මම කියාගෙන ආපු කතාවේ ඉතුරු කොටස කියන්ඩයි මේ සූදානම. මේ කතාව මම හිතුවට වඩා ටිකක් දිග වැඩි උනා. ඒකට හේතුව මේ කතාව කියන ගමන් එක එක ගුරුවරු, යාලු මිත්තරයෝ අහන ප්රශ්න වලට උත්තර සපයන්ඩත් වෙන එක. ඒ කොහොම උනත් මේ කතාවේ පළමුවැනි කොටස මෙතැනිනුත්, දෙවෙනි කොටස මෙතැනිනුත් කියවලා ආවොත් තමයි වඩා පහසු වෙන්නේ.
ඔන්න එහෙමනං එදා ඉවර කරපු තැන ඉඳලා අද කතාව.
ඉතින් හාමුදුරුවනේ ඔබ වහන්සේ කොහොමද කියන්නේ මේ වාදය ගුත්තිල පඬිතුමාවත්, මූසිලවත් ඉල්ලපු එකක් නෙවෙයි, රජ්ජුරුවෝ බලෙන් පටවපු එකක් කියල?
මම කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. ජාතක කතා පොත් වහන්සේ රචනා කරපු කෙනාමයි එහෙම කියන්නේ.
කොහොමද?
මෙන්න මෙහෙම...අහගන්ඩකෝ හොදට...
....බෝධිසත්වයෝත් දෙමව්පියන් කීවා අපත් වන්ට බැරි හෙයින් යාපතැයි කියා ආචාරි භාග නො තිබාම ශිල්ප නිමාවට විද්යාව ඉගැන්වූහ.
බෝධිසත්වයෝත් රජ්ජුරුවන් දකින්ට යන විටෙක අත වැස්සනුත් ඇරගෙන යන්නාහ. රජ්ජුරුවෝ මූ කවුරුදැයි විචාරන්නා දේවයන් වහන්ස මගේ අන්තේවාසිකයෙක් ය යැයි කී සේක. රජ්ජුරුවොත් ඌ හා සමග කල් යාමෙන් විශ්වාස වුහ. බෝධිසත්වයෝත් ' දරුවා තොපට වඩා මම විද්යාව නිමවා දනිමි' කීහ. එක් දවසක් මූසිල ගාන්ධර්වයා සිතන්නේ 'මම ඔබ්බේ නුවරකට ගොස් ජීවත් වන්නා බලා ඇමටම ප්රධාන වූ බරණැස් නුවර ඉඳිමි' යි සිතා බෝධිසත්වයන්ට කියන්නේ 'ආචාරීන් වහන්ස, රජ්ජුරුවන් වහන්සේට සේවයකරන්නා කැමැත්තෙමි" කීහ. බෝධිසත්වයෝත් රජ්ජුරුවන්ට ගොසින් කියමි කියා රජ්ජුරුවන් සමීපයට ගොස් කියන්නාහු " දේවයන් වහන්ස, මාගේ අන්තේවාසිකයා නුඹ වහන්සේට සේවය කරන්නා කැමැත්තේය. ඌට පඩියක් සලස්වන්ට උවමැනව" යි කීහ. රජ්ජුරුවෝත් "එසේ වී නම් තොප ගේ පඩි නියාව භාගයක් සලස්වා ලමි" යි කීහ. එපවත් ගොස් ශිෂ්යයන්ට කීහ. ශිෂ්යයෝ කියන්නාහු "ඇයි මාත් ශාස්ත්‍ර සරියේ දනිත් වුව, මට පඩි අඩුවන්ට කාරණා කවරේදැයි " කීහ. එපවත් බෝධිසත්වයෝ ගොස් රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝ "තොප සරියට විද්යා පෑ නම් එතරම් නියාවට පඩිත් වෙයි" කීහ.
බෝධිසත්වයෝ එපවත් ශිෂ්යයන්ට කීහ. ශිෂ්යයෝ "යහපතැයි විද්යා නියාවට පාමි" කීහ. රජ්ජුරුවෝ බෝධිසත්වයෝත් ශිෂ්යයාත් ලඟට ගෙන්වා ශිෂ්යයාට කියන්නාහු "එම්බල තොප විසින් ගුත්තිල නම් ගාන්ධර්වයන් හා කැටිව වාද කරන්ට පිළිවන්දැයි" විචාළාහ.
ඒ කියන්නේ මේ විදිහට රජ්ජුරුවෝ විවාදයක් අටවන කල් ගුරු ගෝල ප්රශ්නයක් තිබ්බේ නෑ කියන එක. නේද හාමුදුරුවනේ?
ඒ විතරක් නෙවෙයි. මේකේ කියන විදිහට රජ්ජුරුවෝ මේ වාදයට හගිස්සවන්නේ තමන් ලග කාලයක් තිස්සේ සේවය කරපු පඬි වරයෙකුයි තමන්ගේ යාළුවෙකුයි. මතකනේ කිව්වා 'රජ්ජුරුවොත් ඌ හා සමග කල් යාමෙන් විශ්වාස වුහ' කියලා. ඒ ඔක්කොම පැත්තකින් තියමු අන්තිමට මොන සේප්පඩ විජ්ජාව දාලා හරි ගුත්තිල පඬිතුමා දිනපුවම මූසිලට විරුද්ධව නීතිය අපයෝජනය කරන්ඩත්
මේ රජ්ජුරුවෝ.
ඒ කොටස නං මටත් මතකයි හාමුදුරුවනේ...තියෙන්නේ මෙහෙමයි....රජ්ජුරුවෝ මූසිලයා කෙරේ කිපී අමාත්යයන්ගේ මූණ බැලූහ.
අමාත්යයෝ රජ්ජුරුවන්ගේ අභිප්රාය දත්තාහු විසින් ආචාරීන් කැටිව ගුරුද්රෝහ කරන ලදැයි මූසිලයා වෙත තමන් තමන්ගේ අත තිබූ
බාලා මරා තලා පය අල්වා ඉවත දැමූහ. කියල නේද?
ඔව්. ඒ ජාතක කතා පොත් වහන්සේ. අට්ඨ කතාව මීටත් වඩා පැහැදිලිව කියනවා. මෙන්න මෙහෙම..." ඒ අවස්ථාවේ රජතුමා මහජනයාට ඉඟියක් කළේය. මහජනයා නැගිට නුඹ ගුරුවරයා සමග විරුද්ධ වී සමව වාදනය කරමියි උත්සාහ කළෙහිද? තමන්ගේ තරම නොදන්නේදැයි මූසිලයාට තර්ජනය කොට ගත් ගත් ගල් ආදියෙන් කුඩු කොට ජීවිතක්ෂයට පමුණුවා පාවලින් ඇදගෙන ගොස් කසල ගොඩට ඇද දැමූහ.
ඇයි හාමුදුරුවනේ එහෙම උනේ?
ඒක තමයි ලෝකේ හැටි. රජවරු හැමදාම එහෙමයි. ජනප්රිය වෙන්ඩ නොකරන නොපෙනත් කමක් නෑ. අනික් පැත්තෙන් මූසිල ගෙව්වේ සමාජයේ සම්මත සිරිත් වලට අභියෝග කිරීමේ පව. ගුත්තිලට මොන තරම් අසාධාරණ විදිහට උදව් හම්බ උනත් ඔහු සමාජයේ ප්රධාන ධාරාව එක්ක ඉන්න හිංදා ඔහු ගේ හැසිරීම කවුරුවත් ප්රශ්න කරන්නේ නෑ.
ඒ හින්දමද ඔබ වහන්සේත් ගුත්තිල ජාතකය තෝර ගන්නේ ඔබ වහන්සේගේ කතාව කියන්ඩ.
හරියට හරි මහත්තයා. මගේ කතාව සමාජයේ පැතිරෙන්ඩ නං, ඒ කතාව මිනිස්සු සතුටින් භාර අරගෙන කියවන්ඩ නං මමත් ප්රධාන ධාරාව ඇතුලේ ඉන්ඩ ඕන. ප්රධාන ධාරාව ඇතුලේ ඉඳගෙන මගේ කතාව උපමා රූපක එක්ක ව්යංගයෙන් කිව්වොත් අපේ ගුරු හාමුදුරුවන්ට විතරක් නෙවෙයි අනාගතේ පහළ වෙන නිදහස්
චින්තනයක් තියන ගුරුවරුන්ටත් මූසිලගේ සාධාරණ බව තේරේවි.
ඒකද ඔබ වහන්සේ කියන්නේ....
මූසිල මෙපුර ත ට
නුවරෙක් නොවෙයි ඉඳින ට
ඉන් තෝ මෙහි නොසි ට
යවයි නෙරපූය යම පුරය ට (317) කියල.
ඔව්. මිනිස් ලෝකෙන් සාධාරණයක් වෙන්නේ නැත්නම්, දිවය ලෝකේ ඉන්න උන් මිනිස් ලෝකේ අසාධාරනකම් වලට උල්පන්දම් දෙනවා නම් කෙනෙක් කොහෙන්ද සාධාරණය බලාපොරොත්තු වෙන්ඩ ඕන? අඩුම ගානේ යම ලෝකෙදි කරපු පව් වලට අනුපාතිකවලුනේ දුක් ලැබෙන්නේ. ගුරුවරයාට විරුද්ධ වෙන්ඩ රජෙකුගේ උගුලට අහු උනා කියල ගල් මුගුරු වලින් ගහලා මරලා කුණු ගොඩට දාන එකක් නෑනේ එහෙදි!!!
ඔබ වහන්සේත් දැන් නැව් නගින්ඩයි හදන්නේ? එතෙර ජීවිතේ ගැන මොකුත් දන්නේ නැතුව?!!
සමාජයේ ප්රධාන ධාරාවට එරෙහි වෙන හැම මූසිල කෙනෙක් ගේම ඉරණම ඒක තමයි. විප්ලවය හරි ගියේ නැත්නම් පළායාම!!
නැව පිටත් වෙන්ඩත් තව ටිකක් වෙලා තියන එකේ ශක්රයා ගැනත් කියන්ඩකෝ හාමුදුරුවනේ.
අන්තිම ආත්මාර්ථකාමී කඩාකප්පල් කාරයෙක්!!!
එයා කලේ වාදයට අනිසි විදිහට මැදිහත් වීම නේද?
නැතුව. තමුන්ගේ පඬුපුල් ආසනේ උණු වෙන හින්දා සාධාරණයක් බලන්නේ නැතුව විනාශයක් කළා.
හාමුදුරුවනේ කොහේ හරි කියවෙනවද ශක්රයාගේ මැදිහත් වීමට ඉස්සර ගුත්තිල හා මූසිල සමානයි කියලා. කොච්චර කිව්වත් ගුරු මුෂ්ටි නැතුව ශිල්පය දුන්න කියල ජාතක කතා පොතේ තියනවා නේද බෝධිසත්වයෝත් ' දරුවා තොපට වඩා මම විද්යාව නිමවා දනිමි' කීහ කියලා. ඒ කියන්නේ ශිල්පය ප්රගුණ කිරීමේ වෙනසක් ඇති.
ඔව්, පිරිපුන් බව එන්නේ පෙර සසර පුරුද්දත් සතතාභ්යාසයත් ඒ කියන්නේ නිරන්තරයෙන් කරන පුරුදු පුහුණු වීමත් එක්ක. ඒ හිංදා ජීවිත කාලයක් ශාස්ත්රය පුරුදු පුහුණු කරපු ගුත්තිලට යම් වැඩිපුර හැකියාවක් තියෙන්න ඇති. ඒ උනත් වාදය වෙලාවේදී දෙන්නම සම උනා.
....එවිට බෝධිසත්වයන් හා අත්වැසි විද්යාව සමව පෑහ. බොහෝ දෙනා විද්යාව පෑ නියාව යහපතැයි බොහෝ සතුටු වූහ.- ජාතක කතා පොත් වහන්සේ
.....ආරම්භයේදීම දෙදෙනාම සම සමව වීණා වාදනය කළහ. මහජනයා දෙදෙනාගේම වාදනයෙන් සතුටුව වාර දහස් ගණනක් මහා ප්රීති ඝෝෂා කළහ- අට්ඨ කතාව
ඔව්. ගුරුවරයා තරමටම වගේ ශිල්ප දක්වපු ගෝලයාට මරණය ගෙනෙන අත පෙවීමක් කලේ ශක්රයායි රජ්ජුරුවොයි. ඒ කියන්නේ ලෞකික නායකයයි අලෞකික නායකයෙකුයි!
ඔබ වහන්සේ ගුත්තිල කාව්යය ලියන කොට මූසිල කතාවට වඩා තැනක් දෙන්නේ ඊට පස්සේ වෙන දේවල් වලට?.
කෙනෙකුට එහෙම හිතෙන්ඩත් පුළුවන්...ගුත්තිල කාව්යයේ කවි 511 තියෙනවා. ඒවායින් මම ගුත්තිල මූසිල සම්බන්ධය පෙන්නුවේ කවි කීපෙකින් විතරයි. මුල ඉඳම්ම ගත්තොත් මූසිල ගුත්තිල ගැන දැනගන්න කවි 10, බරණැස් නුවරට ගුත්තිල හම්බ වෙන්න මූසිල එන ගමන කවි 2, ගුත්තිල ගේ ගෙදරදී හමුව ගැන කවි 10, මූසිලට ශිල්ප දීම ගැන කවි 1, රැකියාව ගැන මූසිල ගේ සිතුවිල්ල කවි 3, මූසිලව රජුට ඉදිරිපත් කිරීම කවි 12, වාදය පිලිබඳ අදහස කවි 8, ගුත්තිලට තමන්ගේ දක්ෂතාව ගැන ඇතිවෙන සැකය ගැන කවි 13, ශක්රයා ගුත්තිල හමුව කවි 18, වාදය ගැන සහ මූසිලගේ මරණය ගැන කවි 37 එතකොට මූසිල සම්බන්ධ වෙන කවි ඔක්කොම 114.ඒ කියන්නේ මුළු පොතෙන් ම ගත්තොත් 22%. කාලක් වත් නෑ.
පොතේ ඉතුරු තුන්කාල මොනව ගැනද හාමුදුරුවනේ?
ඒ මට කියන්ඩ ඕන වෙච්චි දේවල් කියන්ඩ.
ඒ අතරේම තියනවා නේද ශක්රයා ගේ ගමන් ගැන සක ඇතිවෙන තැනක් ගැනත්?
මේ කවි පොත ලිව්වේ මගේ නඩුව මිනිස්සුන්ට කියන්ඩ විතරක් නෙවෙයි. පොත බලපුවම මිනිස්සු පිනට ආසා කරවන්ඩත් ඕනනේ. ඉතින් දිව්‍ය ලෝකෙ ගැන වර්ණනාවක් කරන ගමන් ශක්රයාට වෙච්ච ඇබැද්දි දෙක තුනකුත් හංගලා තිබ්බා.
ශක්රයා වාදෙන් පස්සේ දිව්‍ය ලෝකෙට ගියාම එතුමාගේ අන්ත:පුරේ සුරංගනාවෝ අහනවා නේද කොහෙද මෙච්චර වෙලා ගියේ කියල?
ඔව් ඒ කතාව මගේ එකක් නෙවෙයි. අට්ඨ කතාවෙත් තියෙනවා. මං කලේ එතන පොඩි අවුලකුත් තියෙන පුළුවන් බව කවි කියවන කෙනාට මතක් කිරීම විතරයි.
කිමෙකැ කියනු සුරපුර සිරි සර වෙසෙ ස
මෙලොව සියක් අවුරුදු එහි එක දව ස (472)
ඒ කියන්නේ මනුස්ස ලෝකයේ අවුරුදු සීයක් ඒ දිව්‍ය ලෝකේ එක දවසකට සමානයි කියලා. ඒ කියන්නේ එහෙ තප්පරයක් මෙහෙ මාස පහකටත් වැඩියි.
තියෙන්නේ ශක්රයා මෙහෙ ආවේ ගුත්තිල පඬිතුමාගේ කන්නලව්වට කියලනේ. ඒ කියනේ වැඩිම උනොත් සතියයි. ඒ සතිය එහෙ තප්පරේකටත් අඩුයි. එතකොට කොහොමද ශක්රයාගේ සුරංගනාවන්ට මේ නැතිවීම දැනුනේ? මං අහන්නේ ශක්රයත් ගුත්තිල පිටින් දාලා වෙන මොනවා හරි කලාද කියල? හරියට රජ්ජුරුවෝ ගුත්තිල මූසිල පිටින් දාලා නුවර වැසියන්ට සංගීත සංදර්ශනයක් පවත්තලා 'නඳ' වෙන්ඩ අවස්තාවක් දුන්නා වගේ.
අනික් අතට ඔය අවුරුදු සීයේ කතාව ඇත්ත නං ගුත්තිල පඬිතුමා එහෙ ගිහින් සතියක් වීණා වාදනය කළා කියන එකත් බොරු නේද ?
නැතුව? එහෙ සතියක් වීණා වාදනය කරලා එනකොට මෙහෙ අවුරුදු 700 ගිහිං. ඒ හිංද ගුත්තිල පඬිතුමා උනත් කියන ඔක්කොම අපි පිළිගන්ඩ ඕන නෑ කියලයි මම කිව්වේ. කිසිම කෙනෙක් කළු පාට වත් සුදු පාට වත් නෑ ඔක්කොම මිශ්‍ර අලු පාට කියල මම මුලිනුත් කිව්වනේ. මේ කවුරුවත් රහත් උත්තමයෝ නෙවෙයි. ඉතින් වැරදි සිද්ධ වෙනවා.
ගුත්තිල පඬිතුමා දිව්යලෝකෙදී වීණා වාදනය කරන්ඩ සල්ලි ඉල්ලනවා නේද?
හිමිසඳිනි සුරප ති
ගඳඹ ඇදුරන්ගේ නි ති
පවතින මේ සිරි ති
නොමිලයේ ගායනා නොකෙරෙ ති (452)
ඔව්... ඔව්... එහෙම කිව්වම ශක්රයාට මොනවා හිතෙන්ඩ ඇද්ද? ගුත්තිල කියන්නේ ඒ පෙර සිරිත කියලනේ. එතකොට ගෝලයා අභියෝග කරපුවම කැලේ පැනලා අදෘශ්යමාන බලවේග වල පිහිට පතන එකත් පෙර සිරිතද දන්නේ නෑ නේද? තමුන්ට පාඩු වෙනකොට පේන නොපේන ඕන ඉටි ගෙඩියකින් පිහිට ඉල්ලලා, පුළුවන් වෙනකොට දෙයියන්ගෙනුත් සල්ලි
ඉල්ලන සිරිතක් අපෙත් තියනවනේ.
එතකොට ඔබ වහන්සේට කියන්ඩ ඕන උනේ ගෝලයා වගේම ගුරුවරයාත් වැරදියි කියන එකද?
නෑ. ඕන කෙනෙක් අතින් වැරදි වෙන්ඩ පුළුවන් කියන එක. ඒ වැරදි උඩ රජවරු දෙවිවරු වගේ පරපෝෂීන් ජීවත් වෙනවා. අර සැරව, මල, මුත්රා, සෙම්, සොටු
උඩ ජීවත් වෙන පෙරේතයෝ ඉන්නවා කියනවනේ. ඒ වගේ තමයි මේ රජවරු හා දෙවිවරුත්. අපේ වැරදි අපිම තේරුම් අරන් හදා නොගන්න තරමට ඒ අයට වාසියි. පුද පඬුරු වැඩි වෙන්නේ එතකොට. තමුන්ගේ බලය පතුරුවන්ඩ ලේසි වෙන්නේ එතකොට.
ඔබ වහන්සේට බොහොම පිං මේ කතාව කියල දුන්නට...
උන් වහන්සේ නැවට නැග්ගා...රුවල් නැව මුහුද දෙබෑ කරගෙන ඈතට යනවා මම බලාගෙන හිටියා. ඒ රළ ඇති වෙලා, බිඳිලා විසිරිලා යනවා ජීවිතේ වගේම. මට මතක් උනා ගුත්තිල කාව්යයේ මුල්ම කවිය.
සිය පින් සිරින් ස රු
දෙතිස් ලකුණෙන් විසිතු රු
කෙලෙසුන් කෙරෙන් දු රු
වඳිම් මුනි උතුමන් තිලෝගු රු
කෙලෙසුන් කෙරෙන් දුරු වෙච්ච බුදු හාමුදුරුවෝ විතරයි තිලෝගුරු. අනිත් හැමෝම වැරදි සිද්ධ වෙන්ඩ පුළුවන් ගුරු විතරයි!!
මගේ අතීත චාරිකාව ඉවර කරලා එනකොට කසුන් ගුරුතුමාව මතක් උනා. එදා ගුත්තිල- මූසිල. ඊට පස්සේ තොටගමුවේ රාහුල හාමුදුරුවොයි වෑත්තෑවේ හාමුදුරුවොයි. ඊයේ කසුන් එක්ක විශ්ව විද්යාල මහාචාර්ය වරු. අද? හෙට? මේ ගුරු ගෝල හටනට උත්තරේ මොකද්ද? මට ආයෙත් හාමුදුරුවෝ මතක් උනා.
ඉතින් ඔබ වහන්සේත් ඒ ගුරු ගෝල ප්රශ්නයේම ගොදුරක් උනා?
මං විතරක් නෙවෙයි. අනාගතේ දිත් ගුරුවරයාගේ වැරදි පෙන්නලා දෙන්ඩ යන ගෝලයන්ට මේක වෙයි.
මොකද්ද හාමුදුරුවනේ මේකට විසඳුම?
ගෝලයොත් කවදාහරි ගුරුවරු වෙනවා. එතකොට ඒ ගුරුවරු තමන්ගේ ගෝලයන්ට තමුන්ට නොපෙනෙන යමක් දකින්ඩ පුළුවන් බව මතක තියා ගත්තොත් මේ ප්රශ්නේ ඉවර වෙනවා.
එහෙම දවසක් ඒවිද? ගෝලයන් ගුරුවරුන් වෙනකොට ඔවුන්ට අතීතය මතක තියෙයිද? ඒ මතකය ඔවුන්ගේ ගෝලයන්ට මෙලොව වඩා යහපත් තැනක් කරනු ඇත්ද? මේ විෂම චක්රය බිඳින්නට ගුරුවරුන්ටද ගොලයන්ටද ශක්තිය, දිරිය හා වාසනා ගුණය ලැබේවා!!!
ආශ්‍රිත ග්‍රන්ථ
සන්න සහිත ගුප්තිල කාව්‍යය - බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමා (රත්න පොත් ප්‍රකාශකයෝ, 2015)
ජාතකපාළි 1- බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා පුනර් මුද්‍රණය (බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2006)
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ 1- (බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය - 2003)
සුවිශේෂ විග්ග්‍රහයක්. තවත් පැතිකඩක් ගෙනහැර පෑවාට ස්තුති!
ReplyDeleteහරි අපුරුවට පැහැදිලි කරලා තියෙනවා. ඉස්කෝලේ කාලේ එහෙන් මෙහෙන් කියෙව්වට පස්සේ ඔය කවි ජාතක කතා එකක් වත් කියවල නෑ.. මේක කියවද්දී හිතුනා ආයේ ඕවා හොයාගෙන කියවන්න ඕනේ කියල. මට මතක් වුනේ මම මගේ බ්ලොග් එක පටන් ගත්තු මුල් දවස් වල අපේ ගෙදර තිබ්බ ලෝකෝපකාරය පොතේ පිටු කීපයක් යුනිකෝඩ් වලින් ලියල බැලුවා සිංහල අක්ෂර වින්‍යාසයට යුනිකෝඩ් වල සපෝට් එක කොහොමද බලන්න... හෙහ් හෙහ්.. මම හිතන්නේ එදායින් පස්සේ ඔය පොතක් නිකමට වත් පෙරලලා බලන්න නැතිව ඇති..
ReplyDeleteමේ තියෙන්නේ ඒක
https://biththiya.blogspot.com/2006/11/blog-post_22.html
හොඳයි, රහයි, අපූරුයි, නැණැස අවිදි කරවයි!
ReplyDelete+++++
ReplyDeletehttps://thepolymath.in/2012/04/of-jealous-teachers-and-brilliant-students/
ReplyDeleteපට්ට.. ගුත්තිල කාව්‍ය කොනක ඉඳල කියවන්න හිතුව.. මොකද හරිහමන් ප්‍රශ්නයක් අහන්නවත් මේ ගැන මට තියෙන දැනුම මදි නෙව.. කොන්වෙලා ඉන්නේ.. ඔය කියන විදියට බෝසතානොත් 'අලු' චරිතයක්නේ. අන්නේකයි මම කියුවේ ආයෙම කියවන්න ඕනි කියල. කාලෙකින් කියවපු වටිනාම පෝස්ට් එකක්. තැන්කියු ලොකු මලයා.
ReplyDelete++අගෙයි++
ReplyDeleteමගෙ අම්මේ ලොකුමල්ලි... අපි ඔලෙවල් කරන කාලෙ ඔය වගේම විග්‍රහයක හිටපු මාරසිංහ සර් ඕකෙන් වේදිකා නාට්‍යයක් කරන්න හිතාගෙන උන්නා. අපට කවදාවත් බලන්න බැරි උනා ඒක.
ReplyDelete//ඒක තමයි ලෝකේ හැටි. රජවරු හැමදාම එහෙමයි. ජනප්රිය වෙන්ඩ නොකරන නොපෙනත් කමක් නෑ. අනික් පැත්තෙන් මූසිල ගෙව්වේ සමාජයේ සම්මත සිරිත් වලට අභියෝග කිරීමේ පව. ගුත්තිලට මොන තරම් අසාධාරණ විදිහට උදව් හම්බ උනත් ඔහු සමාජයේ ප්රධාන ධාරාව එක්ක ඉන්න හිංදා ඔහු ගේ හැසිරීම කවුරුවත් ප්රශ්න කරන්නේ නෑ. // ඉහත තියන ප්‍රතිචාර ඔක්කොටම එකඟයි . ඇත්තට අර අහින්සකයව මැරුණම කොහොමද ට බෝධිසත්වයන් වහන්සේ බුදු වෙන්න පැතුවේ නැත්නම් ඒක තනිකරම රජාගේ වැඩක්ද?
ReplyDelete