Tuesday, April 30, 2019

නාලිනී, වණය, ඉසිසිංග සහ අපි



අද උදේ පාන්දරම මට ඇහැරුනේ අමුතු සද්දෙකුත් එක්ක. ගෙදරට පල්ලෙහා පුවක් අරඹ පැත්තෙන් උළමෙක් කෑ ගහන සද්දයක්. කෑ ගහන හැටි මීට ඉස්සරත් මං අහල තියනවා. හැබැයි මේ දවස් වල තියන මූසල තැතිගැම්මත් එක්ක  උළමගේ සද්දේ මට අමුත්තක් ගෙනාවා. උළමා කෑ ගහන්නේ කාට හරි කරදරයක් වෙන්ඩ ලං උනාම කියල විශ්වාසයක් තියෙනවා. හින්දම ඇඳෙන් නැගිටලා ඇවිත් ඉස්සරහ ජනේලෙ ඇරියෙ හරියටම සද්දේ එන්නේ කොහෙන්ද කියල දැනගන්ඩ.  මේ දවස් වල තියන අඩු පීඩන තත්වේ - සමාජේ විතරක් නෙවෙයි බෙංගාල බොක්කෙත් අඩු පීඩන තත්වයක් - හින්දද කොහෙද හීං සිරි පොදයක් වැටෙනවා. මට ඕන උනා සිරි පොදට තෙමෙන්ඩ....තෙමි තෙමී උළමාගේ සද්දේ අහන්ඩ. හින්දම දොරත් ඇරගෙන එලියට ඇවිත් පිල උඩින් වාඩි උනා.


සිරි පොද වැස්සේ තෙමි තෙමී උළමාගේ සද්දේ අහනකොට මතක් උනේ ගුණදාස කපුගේ මහත්තය..... එතුමා ගයනා කරන මගේ ආසම සිංදුවක්...

පාළුව දෙවනත් කරලා
නාඩන් උළ ලේනෝ

කාටත් නපුරු දා - තනිකම ඇති වෙනවා
හීත හුළං හිරි කඩයි - කැළේ අපිට උරුමේ
උඹට පිහාටුයි - මට පැල්පතයි තියෙන්නේ

උළ ලේනෝ....

උළ ලේනා නොහොත් උළමා ගැන මම ඉස්සරෝම කියෙව්වේ ආර්. එල්. ස්පිට්ල් මහත්තයාගේ Wild White Boy පොතේ පරිවර්තනයක් උන සුදු වැද්දා පොතෙන්. පොතේ විදිහට රජ්ජුරුවන්ගේ ඥාති දියණිය නාලිනීට තමයි උළමෙක් කෑ ගහන සද්දේ ඇහෙන්නේ.

ඔන්න එතකොට තමයි මට මතක් වෙන්නේ නලිනී කියල ජාතක කතාවක් තියනවා නේද ජාතක කතා පොත් වහන්සේ ගේ කියල. සමහරු මේ ජාතක කතාවට නිලිනිකා ජාතකය කියලත් කියනවා.


ඔන්න බුදු හාමුදුරුවෝ ළඟ මහන වෙලා හිටපු හාමුදුරු නමක් කාන්තාවක් පිලිබඳ සිතක් ඇති කරගෙන මහන දහම් පිරීමට කම්මැලි වෙලා කල් අරිනවා. බුදු හාමුදුරුවෝ අහනවා මේ කතාව ඇත්තද කියල. හාමුදුරුවොත් පිලි ගන්නවා ඇත්ත තමයි කියල. ඔන්න මේ පාළුව යන්නත් එක්ක ඒ කතාව කියන්නංකෝ  හොඳද?

කතාව පටන් ගන්නේ අර පරණ පුරුදු විදිහටමයි. යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන් රාජ් කරන සමයෙහි....කියල. ඔය කියන කාලේ තාපසයෙක් තමන්ගේ පුතාත් එක්ක තපස් රකින්ඩ හිමාල වනාන්තරේට යනවා. තාපසයාත් භාවනාවෙන් ඉහලට යද්දී පුතාත් භාවනාවෙන් ඉහලට යනවා. මේ පුතාගේ නම ඉසිසිංග. කොච්චර ඉහලට යනවද කියනවා නං ශක්රයාටත් වඩා බලවත් වෙන ලකුණු පෙන්නනවා

ඔන්න ඉතින් ශක්රයාට  හිතෙනවා " මේ පොඩි කොල්ලෙක් කොහොමද මට වඩා බලවත් වෙන්නේ...මම කොහොම හරි ඉසිසිංග තාපසයාගේ බලවත් වීම නවත්තන්ඩ ඕන කියල. ශීලයටම ඇලිලා ගැලිලා වාසය කරන ඉසිසිංග තාපසයව පරද්දන්ඩ ඕනනං එතුමාගේ සීලය බිඳින්ඩ ඕන. එක ලේසි පාසු වැඩක් නෙවෙයි. සරාගී කාන්තාවක් ඕන මේ වැඩේට. හිමාල වනාන්තරේ මැද්දේ කොහෙද කාන්තාවෝ. අනික අද කාලේ විදිහට කියනවා නං ඉටි කිරිස් කෑල්ලක් ඕන මේ වැඩේට. එහෙම කෙනෙකුට ඉන්නේ බ්රහ්මදත්ත රජ්ජුරුවන්ගේ දුව විතරයි. රජ්ජුරුවන්ව පොළඹවා ගන්නේ කොහොමද දුවව බමුනේක්ගේ සිල් බිඳින්ඩ යොදා ගන්ඩ?

ඔන්න එතකොට ශක්රයාට මෙන්න මෙහෙම අදහසක් පහල වෙනවා. රජ්ජුරු කෙනෙකුට තමන්ගේ බලය තරම් වටිනා වෙන දෙයක් නෑ. තමුන්ගේ දරුවන්ටත් වඩා රජවරුන්ට බලය වටිනවා. හින්ද බ්රහ්මදත්ත රජ්ජුරුවන්ට දුවව දෙන්ඩ බල කරන්ඩ නං රජ කමට තර්ජනයක් ඇති කරන්ඩ ඕන...ඔන්න ඔහොම හිතලා ශක්රයා වැස්ස නවත්තනවා අවුරුදු තුනකට. මුළු රටම නිකං පිච්චිලා ගියා වගේ කර කුට්ටං වෙලා යනවා. රටේ මිනිස්සු ගිහින් මේ දුක කියනවා රජ්ජුරුවන්ට. මිනිස්සු කෝප උනොත් රජ කමට තට්ටු වෙන්ඩ වැඩි කාලයක් යන්නේ නෑ කියල හැම රජෙක්ම දන්නවා.  

රජ්ජුරුවොත් මේ ගැන හිත හිතා නිදා ගෙන ඉන්නකොට සිරි යහන ගබඩාවට එනවා ශක්රයා. ඇවිත් අහනවා රජතුමනි ඔබ වහන්සේ දන්නවාද මේ වැහි නැති වීමට හේතුව කියල.

රජ්ජුරුවෝ කියනවා නෑ. ශක් දේවයිනි මම දන්නේ නෑ කියල.

මේකට හේතුව හිමාලයේ වෙසෙන ඉසිසිංග කියන මහා නපුරු තාපසයා. දිගින් දිගට වැස්ස වහින වෙලාවක ඔහු අහස දිහා බලලා ශාප කළා. අන්න ඒකයි වැස්ස නැති වෙන්ඩ හේතුව.
ඉතින් අපි මොකද්ද කරන්ඩ ඕන ශාපය නැති කරන්ඩ?

කරන්ඩ තියෙන්නේ එකම දෙයයි. ඉසිසිංග ගේ ශීලය බිඳ දාන එක. එක කරන්ඩ නං ඔබේ දූ කුමරිය යවලා ඔහුව වරදට පොළඹවා ගන්ඩ ඕන!

රජ්ජුරුවොත් කැමති වෙනවා දුවගේ කන්යාභාවය, තමන්ගේ රජකම බේරා ගැනීම වෙනුවෙන් බිලි දෙන්ඩ. රජ්ජුරුවෝම දුවට උපදෙස් දෙනවා කොහොමද තාපසයා වරදට පොළඹවා ගන්නේ කියල. මේ රජ්ජුරුවන්ගේ දුවගේ නම තමයි නාලිනී.

ජාතක කතා ලියපු හාමුදුරුවෝ ඔය සිද්ධිය කියන්නේ මෙහෙමයි.

...”තොපගේ විලාස දක්වා කාම රති බන්ධනයෙන් තාපයන් තොපගේ වසඟයට පවත්වාගෙන ශීලය බේධ කරව යි යනාදීන් දියණියන් හා නො කියයුතු කථා රාජ් පරිපාලනය නිසා කීහ” කියල. කියන්නේ රජකමට ඇති ලෝභය දරු පෙමට වඩා ඉස්සරහට ආවා කියන එකනේ නේද?

ඔන්න ඉතින් නාලිනී කුමරියත් කැමති වෙනවා වැඩේට. රජ්ජුරුවෝ ඇමති වරු එක්ක යවනවා කුමරියව හිමාල අඩවියට ඉසිසිංග තාපසයාගේ ශීලය බිඳින්ඩ.

කුමරිය තාපසයා ඉන්න පංසලට යන කොට ඉසිසිංග තාපසයාගේ පියා වෙච්ච මහලු තාපසයා පල වැල  හොයන්ඩ කැලේට ගිහිං. පොඩි කාලේ ඉඳලා කැලේම වාසය කරපු හිංදා ඉසිසිංග කවදාවත් ගෑණු පුළුටක් දැකලා නෑ. ඉතින් ඔන්න හිතා ගන්ඩකෝ මේ සුකුමාල, රූමත් කුමාරිය දැක්කම තාපසයට වෙන දේ?නොදන්න නොපුරුදු දෙයක් දැක්කම ඕන කෙනෙකුට ඇති වෙන්නේ බයක්. කුතුහලයක්. අන්න ඒකම ඉසිසිංගටත් උනා.

මේ යකෙක්ද නැත්තං අමුතු ආකාරයක තාපසයෙක්ද කියල ඉසිසිංග කල්පනා කරන්ඩ පටන් ගත්තා.  මේ අමුතු සතාගෙන් ඔහු අහනවා ඔබ යකෙක්ද, තාපසයෙක්ද කියල. නාලිනී කියනවා තාපසයෙක් කියල. එහෙනම් එන්ඩ මේ පන්සල ඇතුලට කියල ඉසිසිංග මේ අමුතු තාපසයාව පිලිගන්නවා තමුන්ගේ පන්සල ඇතුලට.

නාලිනීත් ඇතුලට ගිහිං තමන්ගේ රහස් අවයව ඉසිසිංග පේන විදිහට වාඩි වෙලා ඉන්නවා. කාන්තාවකගේ අංගජාතයක් කවදාවත් දැකලා නැති ඉසිසිංග ඒක දැක්කහම තවත් විපිළිසර වෙනවා. මං මොකටද මහන්සි වෙන්නේ එයා හිතපු විදිහ  කියන්ඩ? ජාතක කතා පොතේම ඒක ලස්සනට තියෙනවා.

“එකල තාපසයෝ  ස්ත්රීන්ගේ අංගජාත නොදුටු හෙයින් පහවූ වස්ත්රයෙන් ශරීර අවයවයන් දැක ඒකාන්තයෙන්ම මේ වණයක් මය සිතා විචාරන්නාහු, එම්බා තාපසයෙනි තොපගේ මේ කලවා යුවල අතුරෙහි කළු වූ පැහැ ඇති මනා කොට පිළියම් කරන ලද සිප්පි මුඛයකට බඳු වූ සටහන් ඇතිව පෙනෙන්නේය. කෙසේ වූ වණයෙක්ද? තොපගේ උත්තමාංගය කියන ලද නිමිත්ත ස්ථාන නොපෙනෙන්නේ කිමෙක්ද? තොපගේ ශරීර අභ්යන්තරයට වැද ගියේ දැයි විචාලාහ”.

අනේ මෙහෙමත් එකෙක් කියල හිතන්ඩ එපා. අපි උනත් නොදැක්ක නොපුරුදු දෙයක් මුල් වතාවට දැක්කහම අඤ්ඤ කොරොස් වෙලා බලා ගෙන ඉන්නවනේ. ඉසිසිංගත් එහෙම තමයි.

නාලිනීත් කියනවා අනේ ඔව්. මේ වණේ හින්ද කිසි සැපක් නෑ කියල. අනේ පුලුවන්නං මේ වණය සනීප කරලා දෙන්ඩ කියල නාලිනී බැගෑපත් වෙනවා. ඔන්න ඉතිං ඉසිසිංග බේත් ජාතිත් අරං අර 'වණයට' ලංවෙලා බලනවා. මෙන්න ඔහු අන්තිමට කියන දේ.

“එම්බා තාපසයෙනි (ඉසිසිංග තාම හිතාගෙන ඉන්නේ මේ තාපසයෙක් කියලා) තොප ගේ මේ වණය තෙම ඉතා ගැඹුරු වූ ස්වභාව ඇත්තේය, ලේ සහිතය, කුණෙන් ගැවසී ගත්තේය, මඳ මඳ දුර්ගන්ධ ඇත්තේය. එසේ හෙයින් මම මේ වණය වෘක්ෂ වලින් නිසි  කොළ පත්, සුඹුළු ආදිය ගෙන කසට යෝගයක් කෙළෙමි කීහ”.

එතකොට නාලිනී කියනවා ඔය ඖෂධ වලින් යන්තර මන්තර වලින් මේ 'වණේ' සනීප කරන්ඩ බෑ, එව්වා කරලා හරි ගියේ නෑ කියල. මේකට සුවය ලැබෙන එකම ක්රමය අංගජාතයකින් පිරිමැදීම කියල!!

අනේ ඉතිං ඉසිසිංගත් හිතනවා මේ කියන්නේ ඇත්ත තමයි කියල. සංසර්ගය කියන්නේ මොකද්ද කියලවත් ඒකෙන් සිල් බිඳෙනවා කියලවත් නොදන්නා ඉසිසිංග, නාලිනී එක්ක සහවාසයේ යෙදෙනවා. තමන්ගේ උවමනාව ඉටු උනා කියල දැන ගන්න නාලිනී ආපහු යනවා බරණැස් නුවර බලා

හැබැයි දැන් ඉසිසිංගට, නාලිනීව මැවි මැවී පේනවා. සුවඳ, පහස නැවත නැවත ලබන්ඩ උවමනාවක් හට ගන්නවා. මේ ගැන හිත හිතා දුකින් ඉන්න කොට ඔහුගේ පිය තාපස තුමා ආපහු පන්සලට එනවා. දුකෙන් ඉන්න තම පුතා දැකලා අහනවා ඇයි කියල. ඉසිසිංග ත් වෙච්ච දේ පුළු පුළුවන් විදිහට කියනවා. මහලු තාපසයා දැන ගන්නවා වෙලා තියන දේ.
මහලු තාපසයා ලෝකය දැක්ක, අත්දැකීම් බහුල කෙනෙක්. ඔහු දැන ගන්නවා කාන්තාවක් ගැන බැඳිච්ච පිරිමි හිතක් එයින් මුදවා ගන්න එක ලේසි වැඩක් නෙවෙයි කියල. ඔය හින්දනේ අර කන්යාවෝ 72 කොහෙද පස්සේ දැන් ඉන්න සමහර මොට්ටපාල ලා යන්නේ. ඉතින් උපායකින් තමයි මේ ගැටලුව විසදන්ඩ වෙන්නේ කියන එකත් ඔහු දැන ගන්නවා. හින්දම ඔහු කියනවා අවත් තියෙන්නේ මිනිස්සු අල්ලලා මරාගෙන කන යක්ෂණියක් කියල.

ඔන්න එහෙම කිව්වම ඉසිසිංගට හොඳටම බය හිතෙනවා. ඔහු නාලිනී ගැන හිතන එක අමතක කරලා ආයෙත් ධ්යාන වඩලා, අභිඥා උපදවාගෙන බ්රහ්ම ලෝකේ ඉපදිච්ච බව තමයි මේ නලිනිකා එහෙම නැත්තං නලිනී ජාතකේ තියෙන්නේ.

මට හිතෙනවා මේ නලිනි ජාතකය අද ලංකාවේ සමාජයට වටිනා පාඩම් හුගක් කියල දෙනවා කියල. මුස්ලිම් අන්තවාදය කියන්නේ නාලිනී කුමාරිය වගේ කියලයි මට හිතෙන්නේ. අපිට පේන්නේ අහිංසක ඉසිසිංගව විනාශ කරන්ඩ ආපු නාලිනීව විතරයි. අපේ හිතට හොලිවුඩ් ෆිල්ම් එකක වගේ සිද්ධි දාමයක් පෙන්නන කොට, නාලිනී ගේ කලවා අතරේ කුණු ගඳ ගහන, ලේ රහ තියෙන වණයක් අපි රස කර කර බලනවා. අපේ සැතිරිය නාලිනී. මේ ජිමික් අස්සේ අපිට අමතක වෙනවා නාලිනීව එවන බ්රහ්මදත්ත රජ්ජුරුවන්ව. රජ්ජුරුවන්වත් පොළඹවන, මිනිස්සුන්ට අවුරුදු තුනක් වැස්ස නොවස්වා හරි තමන්ගේ උවමනාවල් ඉටු කර ගන්ඩ හදන ශක්රයාවත් අපිට අමතකයි.

මේ දවස් වල තියෙන කඩු ෆයිට් වලින් නාලිනී විනාශ කරන්ඩ අපිට පුළුවන් වේවි. හැබැයි බ්රහ්මදත්තලා, ශක්රයා වගේ අනුන්ට හෙණ ගැහුවත් තමුන්ගේ බලය රැක ගන්ඩ උත්සාහ කරන උන්දැලා ගැනත් අපි මතක තියා ගන්ඩ වෙයි. නැත්තං අද නාලිනී, හෙට වෙන නමකින් එන්ඩ පුළුවන්.

අනික අර මහලු තාපසයා වගේ උපායශීලීව රට හරි පැත්තට අරන් යන්ඩත් අපේ නායක කාරකාදීන් දක්ෂ වෙන්ඩ ඕන. ආගමික අන්තවාදය කියන නාලිනීව ශාරීරිකව විනාශ කරනවා වගේම මතවාදීමය විදිහටත් විනාශ කරන්ඩ ඕන. ඒක කරන්ඩ නිකං බෑ. අප්රමාණ ඉවසීමක්, කැපවීමක්, නිරහංකාර බවක් තියෙන්ඩ ඕන. මතකද පාප් වහන්සේ මේ ලඟදි දකුණු සුඩාන් නායකයන්ගේ දෙපා සිප ගනිමින් යුද්ධය නැවත පටන් ගන්ඩ එපා කියල ඉල්ලපු හැටි

අන්න එහෙම නායකත්වයක් මේ මර්දන සමයෙන් පස්සේ අපිට ඕන වෙයි. එහෙම උනොත් විතරයි අපිට බ්රහ්මදත්තලා, ශක්රයලා පේන්නේ. ඔවුන් එක්ක සටන් කරන්ඩ පුළුවන් වෙන්නේ. නැත්තං නාලිනීව විතරයි අපි දකින්නේ. 

ඉහිරුණු කිරි කොතලේට - ඉකි බිඳලා පල නෑ
උඹටත් එක්කයි - මේ පැල් කවිය කියන්නේ

සංසාරේ හැටි තමයි - වියෝග ඇති වන්නේ
නිවනට ගියදා - මේ හැම දුක නැති වෙන්නේ

උළ ලේනෝ…..

නිවනට යනකල් නාලිනී ලා, බ්රහ්මදත්තලා, වගේම සූ සැට අබරණින් සැරසිලා වඩින ශක්රයා වගේ දෙවියො විදිහට අපි හිතන කට්ටියගෙනුත්  පරිස්සම් වෙමු. ඒකට තමයි....

උඹට පිහාටුයි - මට පැල්පතයි තියෙන්නේ !!

15 comments:

  1. /ඒ පොතේ විදිහට රජ්ජුරුවන්ගේ ඥාති දියණිය නාලිනීට තමයි උළමෙක් කෑ ගහන සද්දේ ඇහෙන්නේ./

    ඒ උළමෙක් විදිහට කෑගහන්නෙ හෑන්ස් නේද? හෑන්ස් සහ නාලිනී එක්ක එන මහළු වැද්දා සෙල්ලා අතර උළමෙක් අඬන විදිහට කෑගහල නේද පණිවිඩ හුවමාරු වෙන්නෙ? තමන් ඉන්න ඉසව්ව ගැන එහෙම..මට මතක නම් එහෙමයි..

    පොඩි කාලෙ හරිම ආසාවෙන් කියවපු පොතක්...ගැස්පා පිගේරා, එඩ්මන්ඩ් වැන් ස්ටියර්වෙල්ට් තව පියතුමෙකුත් හිටිය මට නම මතක නෑ...රනී හෑන්ස් ගෙ පෙම්වතිය..නාලිනීගෙ මස්සිනත් ඉන්නව නේද?

    ReplyDelete
    Replies
    1. නෑ නේද? බොලා දෙන්නගෙම මතකය හරි මදි.

      නාලිනී මරණාසන්නව ඉන්න සෙල්ලාගෙ මග පෙන්වීමෙන් හෑන්ස් ඉන්න ගල් ගුහාව දිහාට එනව. අතරමගදි සෙල්ලා මැරෙනව. මැරෙන්න කලින් සෙල්ලා නාලිනීට පාර පෙන්නලා හූ කිය කියා යන්න කියනව. නාලිනී හූ කිය කියා ඇවිත් අතරමග වැටෙනව. සෙල්ලාගෙ බල්ලත් ඒ පස්සෙ උඩු බුර බුරා එනව. ඔය සද්දෙ ගල් ගුහාවෙ ඉන්න හෑන්ස් ට ඇහෙන්නෙ උළමගෙ සද්දෙ වගේ...

      අර රවි කියන්නෙ බකුසු හූව ගැන නේද? කැපටන්ලගෙ බංගලාව ළඟ පරණ නුග ගහේ ඉඳන් හෑන්ස් බස්සෙක් වගේ හූ කියන එක නාලිනීට ඇහිලා, හෑන්ස් බලන්න එතනට එනව...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. Candidates -
      Eagle owl (spot bellied /forest), Crested Hawk Eagle, Honey Buzzard. (Even one species of Night jar is mentioned)

      Could be any of those, all of those (because any weird cry could be ascribed to the devil bird) or some other bird with a harsh, screeching , strangling cry.

      Delete
    4. අපි පොඩි කාලෙ කියවපු සුදු වැද්දා තාම හිතේ පැළපදියං වෙලා තියෙන හැටි පේනවා නේද? මට දැං හිතෙනවා ඩ්‍රැකී කියන කතාව ඇත්ත කියලා. උලමා කියන්නෙ Spot bellied eagle owl ට කියලයි මං හිතන්නෙ.

      Delete
  2. 'මේ දවස් වල තියෙන කඩු ෆයිට් වලින් නාලිනී ව විනාශ කරන්ඩ අපිට පුළුවන් වේවි. හැබැයි බ්‍රහ්මදත්තලා, ශක්‍රයා වගේ අනුන්ට හෙණ ගැහුවත් තමුන්ගේ බලය රැක ගන්ඩ උත්සාහ කරන උන්දැලා ගැනත් අපි මතක තියා ගන්ඩ වෙයි. නැත්තං අද නාලිනී, හෙට වෙන නමකින් එන්ඩ පුළුවන්.

    අනික අර මහලු තාපසයා වගේ උපායශීලීව රට හරි පැත්තට අරන් යන්ඩත් අපේ නායක කාරකාදීන් දක්ෂ වෙන්ඩ ඕන. ආගමික අන්තවාදය කියන නාලිනීව ශාරීරිකව විනාශ කරනවා වගේම මතවාදීමය විදිහටත් විනාශ කරන්ඩ ඕන. ඒක කරන්ඩ නිකං බෑ. අප්‍රමාණ ඉවසීමක්, කැපවීමක්, නිරහංකාර බවක් තියෙන්ඩ ඕන. මතකද පාප් වහන්සේ මේ ලඟදි දකුණු සුඩාන් නායකයන්ගේ දෙපා සිප ගනිමින් යුද්ධය නැවත පටන් ගන්ඩ එපා කියල ඉල්ලපු හැටි.'
    A very thought provoking post!

    ReplyDelete
  3. ශ්‍රී ලාංකික හැම දෙනාම කියවිය යුතු, කියවන්නම වටිනා පෝස්ටුවක්!

    ReplyDelete
  4. අර පාප් තුමාගෙ ආදර්ශය මීට කලින් මම දැකල තිබුණෙ ගාන්ධී තුමාගෙන් විතරයි. අපේ අනගාරික ධර්මපාල තුමත් ඒ වගේ ජාත්‍යන්තරවාදියෙක් වුණානම් අපේ රටත් මෙයිට වඩා ගොඩක් ඉදිරියට යන්න තිබුණා.

    ReplyDelete
  5. නාලනී තාම ඉන්නවද බං?

    ReplyDelete
  6. ඔහොම ජාතකයක් තියෙනවා කියලා නමින් අහලා තිබුනාට අද තමා කතාව දැන ගත්තේ.. ඒ කතාව වර්තමානෙට ගලපපු විදිය නියමයි.

    ReplyDelete
  7. මේ ජාතක කතාව ඇහුවෙත් අද.. කොහොම උනත් ලස්සනට ගලපලා තියෙනවා.
    උලමාගේ රාත්‍රිය කියල පොතක් පොඩි කාලේ කියෙව්වා. දැන් මෙලෝ දෙයක් මතක නැහැ.

    ReplyDelete
  8. 1. හැලපේ, (සිනහා වෙමින්) ..ඇයි නාලිනී තවම ඉන්නවා නම් උඹ ගිහින් බෙහෙත් කරන්නද අහන්නේ?..(මේ වාගේ පොරෝ පහරකින් ලද තුවාල කතා ඇම්ඩා series එකෙත් තිබුනා..මතකද? Ironically ඇත්තටම බං ඇම්ඩාගේ අක්කාගේ නමත් නාලිනි!)

    2.කට්ටා විසින් යුගයට ගලපා ඇති මේ කතාව කියෙව්වාම මට පෙනුනේ බලය ඇති එකා බලය තියා ගන්න නොකරන දෙයක් නැහැ කියලා. පඬුපුල් ආසනේ උඩ ඉඳගෙන, අපේ දුක දැනිලා උගේ පුක රත් වෙනවා කීවත් බලයට ඇති කෑදරකම එනකොට තමා ශක්‍රයා කියලා, ශක්‍රයාට වුනත් අමතක වෙනවා.

    ඒක නිසා ගමේ අවමංගල්‍යාදාර සමිතියට කාරක සභිකයෙක් පත් කරනකොට වුනත් බලයට ඇති කෑදර කම test එ⁣කට බිංදුව ලැබෙන එකෙක් පත් කර ගත යුතුයි කියලා මට හිතෙන්නේ.

    නැත්නම් ..ඊලඟ පාර සමිතියේ සබාපතිකම ගන්න හිතාගෙන එක එකාට පවු දෙමින් සිට ගමේ අවමඟුල් ගෙවල් 200 වුනත් ඌ කියයි..'මට දැනුම් දුන්නේ නැහැනේ " කියලා.

    Clement Peris

    ReplyDelete