Saturday, September 14, 2019

වීරයා ගෙදර ඒම වලක්වමු



අපේ නිමල් දිසානායක උන්නැහේ ලියන නිදි ගේ පංචතන්තරේ බ්ලොග් අඩවියේ මේ ලඟදි හැබෑම වීරයෙක් ගැන ලියල තිබුනා. යුද්දය හින්ද ඇස් දෙකම නැති වෙච්ච අපේ කාලයේ වීරයෙක් ඇස් නොපෙනෙන තවත් මිනිස්සු පනස් දාහක් දෙනාගේ ඇස් පාදා දීමේ කියන්නේ කාච බද්ධ කරදීමේ පිංකමක නිරත වෙලා ඉන්න හැටි ගැන තමයි කතාව. ගැන නොකියවපු කෙනෙක් ඉන්නවා නං මෙන්න ලින්ක්එක ඒ ලිපියට. ඔය ලිපිය කියෙව්වට පස්සේ වීරයා ගෙදර ඇවිත් කියල මාර ටෙලි නාට්යයක් ගියාය ඒක බැලුවේ නැත්තං කිසි වැඩක් නැතිය කියල කීප දෙනෙක්ම කියපු හින්ද පහුගිය දවස් ටිකේ යූ ටියුබ් එකෙන් නාට්යය බාගත කරගෙන බැලුවා. කොටස් හතලිස් හතක් කියන්නේ දල වශයෙන් පැය පහළොවක් විතර! ගෙදර ඉන්න වෙලාවේ ඕක බලන්ඩ ගිහින් තව ඩිංගෙන් මාව ගෙදරිනුත් එළවලා දානවා.

ඇත්තටම රට ජාතිය වෙනුවෙන් ජීවිතේ කැප කරලා, එක්කෝ ජීවිතෙන් වන්දි ගෙවපු, එහෙම නැත්තං ජීවිතාන්තය දක්වා ආබාධිත තත්වයට පත් වෙච්ච කී දාහක් මේ රටේ ඉන්නවද? අයව මල් මාලා දාලා, බෙර ගහලා, රතිඤ්ඤා පත්තු කරලා පිලි ගත්තේ යුද්දේ දිනලා එන කොට. යුද්දේ දිනලා අවුරුදු දහයක් යනකොට අපිට අයගේ සේවයත් අමතක වෙලා. දැන් අය නිකම්ම නිකං ආමි එකට ගිහිං 'ඇස් පොට්ට වෙච්ච' එහෙම නැත්තං 'අබ්බගාත වෙච්ච' එකෙක් විතරයි. එදා වීරයා දැන් නිකමෙක් වෙලා. වෙලා නෙවෙයි කරලා.

කොහොමද එහෙම ජීවිත පරිත්යාග කරපු අය - ජීවිතේ නැති උනත් නොවුනත් ස්ථිරව ආබාධිත වෙච්ච ඕන කෙනෙක් කරලා තියෙන්නේ අපිට හිතා ගන්ඩවත් බැරි තරමේ කැප කිරීමක්. අයගේ ජීවිතේ මොනවගේ අමාරු කම් වලින් පිරිලා ඇද්ද කියලා හිතා ගන්ඩ නිකමට එක පැයක් ඇස් දෙක වහගෙන තමුන්ගේම ගේ වටේ ටිකක් ඇවිදලා බලන්ඩකො. එක පැයක්, තමුන් හොඳට දන්න ගෙදර දොරේ ඇවිද ගන්ඩ මෙච්චර අමාරු නම් ඇස් දෙකම පේන්නේ නැතුව ජීවිතේම  ගත කරන්ඩ වෙලා තියෙන ජීවිතේ කුදු මහත් හැම වැඩක්ම කර ගන්ඩ වෙලා තියෙන  විරුවෝ ගැන මොන කතාද ආයිබොවන්? අතක් පයක් නැති උනාමත් එහෙම තමයි.

මට හිතෙන්නේ අපිට වීරයෝ අමතක වෙන්නේ, අය කරපු ඓතිහාසික වැඩේ මොකද්ද කියලා අමතක වෙලා තියෙන හින්ද කියල. කොහොමද අපි අයගේ මතකය දිගටම ජීවත් කරවන්නේ?

එංගලන්තේ තියෙනවා ට්රැෆල්ගාර් චතුරශ්රය. වගේ හැම රටකම තියනවා තමුන්ගේ යුද විරුවන්ව සමරන්ද විශේෂ ස්ථාන... කියන්නේ මේ නිකං අවුරුද්දට පාරක් විතරක් වෙඩි මුර තියලා සමරණ ස්මාරක හරි සොහොන් කොත් හරි නෙවෙයි. මිනිස්සු ගැවසෙන, මිනිස්සුන්ට නිකම්ම විරුවන්ව මතක් වෙන විදිහේ ස්ථාන. අපේ තියෙනවද කොබ්බෑකඩුව පෙදෙසක්? ගාමිණි කුලරත්න නගරයක්? මුතාලිෆ් චන්ද්රවංකයක්?  මිනිස්සු මරෙන්ඩම ඕන නෑ උපහාර ලබන්ඩ. ජීවතුන් අතර ඉන්දැද්දී දේවත්වයට පත් කරන්ඩ සුදුසු කී දෙනෙක් තාම අපි අතර ජීවත් වෙනවද? කාටද මතක විශේෂ බලකාය හදපු මේජර් ජෙනරාල් ගාමිණි හෙට්ටිආරච්චිව? එතුමා එක ඇහැකුත් නැති කර ගත්තේ මේ මල ඉලව් යුද්දේ හින්ද. වැඩිය ඕන නෑ බොලව් කාටද මතක යුද්ධයක් තිබ්බ කියල?

අපිට මතක දුටුගැමුණු -එළාර යුද්දේ විතරයි. 2009 ඉවර වෙච්ච යුද්දෙත් දැන් ටික ටික අමතක වෙලා යනවා. 1848 යුද්දේ මතකද? 1818 යුද්දේ? ඊට ඉස්සර ගන්නෝරුවේ, මුල්ලේරියාවේ, තව නමක් ගමක් හරියට නොදන්නා තැන් ගණනාවක තිබ්බ යුද්ද කාටද මතක? හැම එකකම වීරයෝ හිටියා. පාවා දෙන්නොත් හිටියා. හැබැයි අපි පාවා දෙන්නන්ගෙන් පාඩම් ඉගෙන ගන්න ගමන් වීරයන්ගේ ජීවිත සමරන්ඩ ඕන. ඔවුන්ගේ ජයග්රහණයේ ප්රීතිය භුක්ති විදින්ඩ, ගැන උත්සව පවත්වලා අනාගතේටත් මතක තියෙන විදිහේ වැඩක් කරන්ඩ ඕන. සුද්ද සිංහලෙන් කියනවා නං වීරයන්ගේ ජීවිත සෙලිබ්රේට් කරන්ඩ ඕන.

 අපේ වීරයෝ කීප දෙනෙක් ගේ නමින් හූනන් විශේෂ කීපයක් නම් කිරීම මම නම් දකින්නේ ඉතාම හොඳ ඉදිරි පියවරක් විදිහට. දුටුගැමුණු රජ්ජුරුවොත් එක්ක සටන් කරපු නන්දිමිත් යෝධයාත් ගෝඨයිම්බර යෝධයාත් වෙනුවෙන් වගේම 1818 කැරැල්ලේ නායකයෝ වෙච්ච කිවුලේගෙදර මොහොට්ටාල, කොහුකුඹුරේ වලව්වේ රටේ රාල මීගහපිටියේ වලව්වේ හිටිහාමි මුදියන්සේලාගේ රටේ රාල වගේම බූටෑවේ රටේ රාල වෙනුවෙනුත් මෙහෙම හූනන් විශේෂ හයක් නම් කෙරුනා.

මේ හූනන් හොයා ගත්තු සමීර සුරන්ජන් කොඩිතුවක්කු මහත්තයාට තිබ්බා තමුන් කැමති ඕනෑම කෙනෙක්ගේ නමින් මේ හූනන් ටික නම් කරන්ඩ. ඉතින් එහෙව් එකේ කොහේ හරි ඉන්න අපතයෝ රැලක ගේ නම් දාන්නේ නැතුව අපේ ජාතික වීරයෝ නමින් සත්තුන්ව නම් කිරීම ගැන අපි උත්තමයාට ස්තූති කරන්ඩයි තියෙන්නේ. මේ වැඩේට ගරහන 'පඩත්තල වංශ' ලා කී දෙනෙක් දන්නවද කොහුකුඹුරේ රටේ රාල ගැන? බූටැවේ රටේ රාල ගැන?? අපේ සමහරු කියනවා හූනෙක්ව නම් කරපු එක වැරදියි. අයගේ ගරු ගාම්භීර බාවයට ගැලපෙන සතෙක්ව නම් කළා නම් කමක් නෑ කියල. එහෙම කියන්නේ ජීව විද්යාව ගැන මල පොතේ අකුරක් නොදන්නා, අපේ නලින් සිල්වා මහැදුරු තුමාගේ බසෙන් කියන විදිහට 'පඬියන්' රැලක්.

කතාව පැත්තකින් තියමුකෝ. අපි කතා කර කර හිටියේ 1818 කැරැල්ලේ වීරයෝ ගැනනේ.

1818 ජනවාරි 01 දාඉංග්රීසි ආණ්ඩුව නිකුත් කරපු ගැසට් පත්රයකින්  ඉස්සරලා කියපු කට්ටියයි තව 18 දෙනෙකුයි දේශ ද්රෝහීන් විදිහට නම් කෙරුවා. ලිස්ට් එකේ හිටියා කැරැල්ලේ ප්රධාන නායකයෝ...අපේ මොණරවිල කැප්පෙටිපොල දිසාවත් එක්කම. මං දන්නා තරමින් එතන නොහිටියේ ඔය හිටිහාමි කියන වීරයා විතරයි. හිටිහාමි කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි බදුල්ලේ ඊතනවත්තෙදී බදුල්ලේ දිසාපති වෙච්ච විල්සන් මහත්තයාට විදලා මරලා දාපු කැරලි කරුවා. මේකෙන් පැහැදිලි වෙන දේ තමයි කැරලි නායකයොත් එක්ක තවත් දහස් ගණනක් සමහර විට ලක්ෂයකට කිට්ටු වෙන ගණනක් සාමාන් මිනිස්සුත් එදා රටේ නිදහස වෙනුවෙන් ජීවිතේ පරදුවට තියලා සටන් බිමට ආවා කියන එක. හිටිහාමිත් එහෙම ආපු කෙනෙක්.

හුගක් වෙලාවට වෙනවා වගේ මේ වීරයන්ගේ සටනත් පාවලා දෙන්ඩ කට්ටිය හිටියා. සල්ලි, තාන්න මාන්න ලබා ගන්ඩ විතරක් නෙවෙයි පෞද්ගලික එදිරිවාදිකම් පිරිමහ ගන්ඩත් මේ වෙලාව පාවිච්චි උනා. එක්නැලිගොඩ, උඩුගම උන්නාන්සේ ඇතුළු පාවා දෙන්නන්ගේ වැඩ හින්දත්, වෙඩි බෙහෙත් හිගවීම, කැරලි නායකයන් අතර ඇති වෙච්ච බේධ බින්නකම් වගේ දේවල් හිංද කැරැල්ල පැරදුනා.

හුගක් අය ජීවිත වලින් වන්දි ගෙව්වා. තව සමහරු පිටුවහල් කළා. තව දහස් ගණනක් ගම් බිම් සුද්දෝ ගිනි තියලා අළු දූලි කරලා දැම්මා. ගොවි බිම්, සත්තු, වතු පිටි දහස් ගණනක් ගිනි තියලා විනාශ කරලා දැම්මා. ආය කවදාවත් කැරැල්ලක් ඇති නොවෙන්ඩ, කැරැල්ලට සහභාගී වෙච්ච පළාත් වල මහා විනාශයක් කරලා මිනිසුන්ව ඈත පළාත් වලට පැන්නුවා.

තමුන් ආදරය කරපු රටේ නිදහස වෙනුවෙන් බය නැතුව සටන් කරපු, සටන හින්දම ජීවිත වලින්, ගම් බිම් වලින්, කොටිම්ම තමන් ඊට කලින් ජීවිතේ පුරා එක්කහු කරගෙන හිටපු හැම දෙයින්ම වන්දි ගෙවලා අතේ සතයක් නැතුව කැරැල්ලට සම්බන්ධ වෙච්ච දාස් ගානක් මිනිස්සු - හුගක් වෙලාවට තමන්ගේ ආදරණීයයන් මරලා දාපු වේදනාවත් එක්කම බින්තැන්නට, ඌව වෙල්ලස්සේ ඈත පළාත් වලට පැනලා ගියා.

මතක තියාගන්ඩ මේ මිනිස්සු පැනලා ගියේ පශ්චාත් බාගය කහන හින්ද නෙවෙයි. රට වෙනුවෙන් සටන් කරලා. දිනන්ඩ  කියල තියෙද්දී පාවා දීම් ඇතුළු තවත් හේතු හිංදා සටන පැරදුනාම වෙන කරන්ඩ දෙයක් නැතුව.

වීරයෝ තමයි කන්දෙකැටියේ, රිදී මාලියද්දේ, මඩුල්ලේ, මේ වගේ අති දුෂ්කර පළාත් වල සුද්දන්ට ලං වෙන්ඩ බැරි කඳු උඩ පොඩි පොඩි ගම්මාන හදාගෙන පදිංචි උනේ.
මේ කතාව කියාගෙන යනකොට මට මෑත ඉතිහාසයේ කතාවක් මතක් උනා. පොඩි වෙනසකටත් එක්ක කතාවත් කියලම ඉන්නං.

එක්දාස් නවසිය අසූ ගණන් වල අග වයසක ඇමරිකානුවෙක් ප්රංශයට ආවා. ඔහුට රට ඇතුළු වෙන්ඩ වීසා ලබා ගන්ඩ ඕන උනා ගුවන් තොටුපොලේදී. ඒත් තමන්ගේ ගමන් බලපත්රය ඇරුනම වීසා ගන්ඩ ඕන කරන වෙන කිසිම පූර්ව කොන්දේසියක් ඔහු සපුරලා තිබ්බේ නෑ. ගුවන් තොටුපොළේ හිටපු අහංකාර ප්රංශ ආගමන නිලධාරියා, ඇමරිකානු ජාතිකයා දිහා ඔලොක්කුවට බලලා  මෙහෙම ඇහුවා....

තමුසේ කවදාවත් වෙන රටකට ගිහිල්ලා නැද්ද?

නෑ...මම ප්රංශයට ඇවිත් තියෙනවා මීට කලින්...ඇමරිකානු ජාතිකයා උත්තර දුන්නා.

ප්රංශයට ඇවිත් තියෙනවා? එහෙනම් ඔබ එන්ඩ ඇත්තේ හොරෙන්. ප්රංශ නීතිය ඉතා තදයි හොරෙන් රට ඇතුළු වෙන්ඩ හදන නිකමුන්ට...

මම එන වෙලාවේ වීසා ඕන උනේ නෑ. කොටිම්ම පාස්පෝට් ඕන උනේත් නෑ.

හෙහ්... හෙහ්...ප්‍රංශ ආගමන නිලධාරියා අවඥාවෙන් හිනා වෙලා මෙහෙම කිව්වා...ඔබ එන්න ඇත්තේ ගල් යුගයෙදී. එහෙම නැත්තම් අඩු ගානේ අවුරුදු හය හත්සීයකට ඉස්සර. ප්‍රංශය නීතිය ඉහලින් රකින දියුණු සමාජයක් ඉන් මෙහා හැම කාලෙදිම. ඔබේ ඇස් අන්ධ වෙලා තිබ්බේ නැත්නම් අනිවාර්යයෙන් ඔබ ප්‍රංශ ආගමන නිලධාරීන් නොදැක ඉන්ඩ හේතුවක් නෑ.

මම එන වෙලාවේ වෙලාවේ ආගමන නිලධාරීන් විතරක් නෙවෙයි කිසිම ප්‍රංශ ජාතිකයෙක් පේන්ඩ හිටියේ නෑ...!

වයසක ලොක්කා ඔබ ප්‍රන්හයේ නීති කඩනවා මදිවට තව බොරු කියනත් එනවා...

නෑ...මම නොර්මන්ඩි වෙරළට ගොඩ බැහැලා අනිත් මිත්‍ර හමුදා එක්ක ප්‍රංශය නාසි හමුදා වලින් මුදා ගන්ඩ සටන් කරන කොට මුලින්ම හම්බ උනේ ප්‍රංශය ජර්මනියට පාවා දෙන්ඩ වැඩ කරපු ප්‍රංශ ජාතිකයෝ විතරයි....එත් දවස් දෙක තුනකට පස්සේ...!!

ඔ...ඔබ... දෙවෙනි ලෝක යුද්ධයේ දී ප්‍රංශය නාසි හමුදා වලින් මුදා ගන්ඩ ආපු කෙනෙක්ද?

ඔව්....ඒ කාලේ ආගමන නිලධාරීන් හිටියෙම නෑ...!

සමාවෙන්න සර්!! ලජ්ජාවෙන් මූණ රතු කර ගත්තු ආගමන නිලධාරියා කිව්වා.

දැන් ආයෙත් අපේ පරණ කතාවට යමු.

1818 යුද්දෙන් පැරදිලා පලා ගිය අපේ යුද වීරයෝ වෙන කවුරුවත් නොගෙවන විදිහට පරම්පරා ගානක් තිස්සේ තමන්ගේ වීරත්වය වෙනුවෙන් වන්දි ගෙව්වා. පාවා දෙන්නන් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් තාන්න මාන්න අරගෙන මහා මුදලි වරු වගේ වැජඹෙන කොට අර මිනිස්සු ජීවිතේ ගැට ගහගන්ඩ අනෙක දුක් වින්දා. අද වෙනකොටත් ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දහය ඇතුලට මේ උඩරට කැරැල්ලේ වීරයන් සැඟවෙච්චි ප්‍රදේශ.

සිංගප්පූරුවේ ගැසල් වෙන්චර්ස් කියල සමාගමක් ගැන අහල තියෙනවද? අය ලංකාවේ සීනි කර්මාන්තය දියුණු කරන්ඩ යනවා. එකට උක් වවන්ඩ අලුතින් ඉඩම් අක්කර 18,000 ඕන කරනවා. ඔන්න මහවැලියේ මහත්තුරු ඉඩම් දෙන්ඩ කැමති වෙලා අර අපේ වීරයෝ හිටපු බිබිලේ රිදී මාලියද්දෙන්. මට හිතෙනවා වීරයෝ මෙහෙම කියාවි කියල.... අයගේ හඬද ගුණදාස කපුගේ ගායනා කරන්නේ?

බිම්බරක් සෙනග ගැවසුණු චන්ද් සුර්යයා ඉපදුනු
ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ?
යුද්දෙකට ඇවිත් රුපු සෙන් සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වටකලේ මනරම් මාලිගාව දෝ

ට්රැක්ටරේ යකඩ ගජසෙන් කුන්චනාදයෙන් ඇලළුණු
වෘක්ෂ දේවතාවුන් බිම වැටී පණ ගසයි
මිනී මල් පිපුණු සීතල නිම්න භූමියේ ඇටකටු
හතර රියන් කඩ අහිමිව විලාපය නගයි
විලාපය නගයි....

මේ ඉඩම් කොල්ලයට විරුද්ධව පරිසර සංවිධාන කීපයක් උසාවියට යනවා. අනේ උසාවියේ ඉන්න දෑස් බැදි නීතියේ දෙවඟන කියනවා මේ අවනඩුව ගැන චෝදනා කරන්ඩ තිබ්බ කාලය පහු වෙලා ගිහිල්ලාලු!!!!!! අනේ දෙයියනේ 1818 දෙකොන පූට්ටු වෙලා අපි නිදහා හොයන කොට, අර වීරයෝ සටනට ගිහිං ජීවිතේ පුදන කොට, ඊට පස්සේ පරම්පරා ගානක් මේ කැලෑවේ හැංගිලා හා දුක් විඳින කොට කවුරු වත් කිව්වද හා හා දැන් කාලය ඉකුත් වෙලා තියෙන හින්දා -කාලාවරෝධය - හිංදා උඹලා ආපහු ගමට ගිහින් හොඳින් හිටපල්ලා අපි ඉතුරු ටික බලා ගන්නං කියල....!!????  

අර මම ඉස්සෙරලා කිව්වනේ 1818 ගැසට් එකකින් දේශ ද්රෝහීන් කියල කැරලි නායකයන්ව නම් කලා කියල. නියෝගය ආපිට හැරෙව්වේ 2016 දෙසැම්බර් වලදී. ඔවුන් රණ ශූරයන් විදිහට පිලි ගත්තේ අලුත් ගැසට් නිවේදනයෙන් ජනාධිපතිතුමා නිකුත් කරපු. කියන්නේ දේශ ද්රූහීන් නෙවෙයි උඹලා අපේ නිදහස වෙනුවෙන් නැගිටපු උතුම් වීරයෝ කියල රටේ ආණ්ඩුව පිළිගත්තා. හැබැයි වීරයන්ට එන්ඩ දැන් ගමක් නෑ. ගම උක් වවන්ඩ සිංගප්පූරු සමාගමකට දීලා! නීතියත් අහක බලලා!!!

දැන් ඉතින් තවත් ඈතට පලා යන එකයි තියෙන්නේ....වෙන මොනවා කරන්ඩද? හැබැයි මේ බිම් වල සැඟ වෙලා තියෙන ඔවුන්ගේ මතකයන් වලට මොකද වෙන්නේ? මට දිවුල්ගනේ මහත්තයාගේ සින්දුවක් මතක් වෙනවා

මිනින්දෝරු කන්තොරුවෙ මුලාදෑනි ටික
සුදු බන්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද?
ඇහැ ඇරේවි යන්න හොඳයි දම්වැල් ඇරගෙන
තරහ අවසරයි යනවද දම්වැල් අරගෙන

දෙයි හාමුදුරුවෝ දන්නවනම් දැන් නැති වග
තෙල් පාන උනත් නිවා දමයි සන්හිඳ පාමුල
වාවන්නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට

කපුගේ මහත්තයා ගායනා කරන සින්දුවයි, දිවුල්ගනේ මහත්තයා ගායනා කරන සින්දුවයි දෙකම ලිව්වේ අපේ රත්න ශ්රී විජේසිංහ මහත්තයා. රත්න ශ්රී මහත්තයෝ අපි සින්දුවක් වත් ලියමුද කොහුකුඹුරේ රටේ රාළට, හිටිහාමිට, කිවුලේගෙදර මොහොට්ටාලට, විතරක් නෙවෙයි 1818 කැරැල්ලේ හැම වීරයෙකුටම ආය මේ පැත්ත පළාතේ එන්ඩ එපා කියල....ආවොත් පපුව පැලිලා මැරේවි පර සුද්දෝ පවා නොකරපු දෙයක් අපේ කළු සුද්දෝ කරනවා දැක්කම!!

අදම වීරයෝ ගෙදර එන එක නවත්තමු! එන්ඩ ගෙදරක් ලැබෙන තුරු වීරයන්ට එන්ඩ එපා කියමු!!!

18 comments:

  1. මේක් කියෙව්වම මටත් හිතුනා වීරයා ගෙදර ඇවිත් බාගෙන බලන්න.

    ReplyDelete
    Replies
    1. ලස්සන කතාවක්. ඉහල ගනයේ රගපෑම්!!! බැලුවට පාඩුවක් නැති හිතේ කහටක් නැතුව රෙකමදාරු කරන්ට පුලුවන් කතාවක්....

      Delete
  2. අපේරටේ හල වූ කීර්තිමත් පඬි රුවනක් වූ ආචාර්ය නලීන් ද සිල්වා මහතා ගේ රුවන් වැකි දෙකක් උපුටා දක්වමින් මෙම ආලෝචනාව අරඹන්නම්.
    1. ශ්‍රී ලාංකික ජාතිය යනු පාස්පෝට් ජාතියක්.
    2. හැමදේම ආර්ථික සාධක ඔස්සේ තේරුම්ගැනීමට උත්සාහ කිරීම කෂිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්.

    අදවනවිට බටහිර අධිරාජ්‍යවාදය නිසා සිදුවූ සිංහලයන්ට බලපාන විශාලම ගැටළුව තමයි ලංකාවතුල සිංහලජාතියට හිමිතැන අහිමිවීම. මේ ගැන ධර්මපාල තුමා වසර සියයකටත් පෙර පැවසූ බව මතක තබාගත යුතුයි.
    http://anagarikadharmapala.blogspot.com/2011/11/blog-post_1788.html
    1815 සිට අද දක්වාම මෙරට ප්‍රධාන සංස්කෘතිය ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියයි. ඒ වගේම ප්‍රධාන බාශාව ඉංග්‍රීසි. අනෙක් සියළු බාශා සංස්කෘති එක සමාණයි.
    ලාංකීය දෙමළ ජාතිවාදයත්(ඉන්දීය දෙමළ ජාතිවාදය වෙනම දෙයක්) මේ ඇංග්ලිකන් අධිරාජ්‍යවාදයේ බළල් අතක් පමණයි.
    ඒ වගේම ලංකාව බිරිතානි අධිරාජ්‍යවාදයෙන් නිදහස් වනවිට සිංහලයන්ගේ ඔළුවට කවලා තිබුන මතයක් තමයි. සිංහලයා පහත් මිනිහෙක්. යාපනේ දෙමළා මහා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්, ය යන මතය. එයත් අධිරාජ්‍යවාදයේ එක ප්‍රතිළුලයක්. දැනුත් එහෙම හිතන අය ඉන්නවා මම හැම සිංහලයෙක්ටම කියනවා ඔබට එහෙම හිතෙනවා නම් ඒ සිතුවිල්ල වහාම මොලයෙන් ඉවත් කරන්න. හැමවිටම සිංහලයා උසස් කෙනෙක් විදියට හිතන්න.

    මම සිංහලයන්ට කියන්නේ ආර්ථිකය බල්ලට දාපිය කියලා ආර්ථික කතා ඉස්සරහට දාගත්තාම වන්නේ මෙම වැදගත්ම ප්‍රශ්ණය යටපත්වීමයි.

    මම ඉතාම ගරුකරණ දේශපාලඥයෙක් තමයි විමල් වීරවංශ ඔහුට ජාතිකත්වයක් තියෙනවා. නමුත් ඔහුගේ තියෙන ලොකුම දුර්වලකම තමයි ඔහුත් ඔබ වගේම ඔ්නෑවට වඩා ආර්ථික සාධක ඉස්සරහට දමා ගැනීමයි. එමනිසාම ඔහුතුල ඇත්තේ අබ්බගාත ජාතිකත්වයක්.

    සිංහලයා හිතන්න ඔ්නේ කොහුකුඹුරේ රටේ රාළගේ ගම සිංගප්පූරු සමාගමකට උක් වවන්න දීම ගැන නෙමෙයි. කොහුකුඹුරේ රටේ රාළගේ පරම්පරාවේ කෙනෙක්ට සිංහලෙන් ඉගෙනගෙන දොස්තර කෙනෙක්කෙනෙක්, ඉංජිනේරුවෙන් වෙන්න බැරි මොකද කියන කාරනය ගැනයි.

    ReplyDelete
    Replies
    1. අන්තෝනියෝ සහෝදරයා ඔබට ඔබේ අදහස දැරීමට ඇති අයිතිය මම පිලිගන්නවා. මං හිතන්නේ අපි දෙන්නගෙම අවසාන බලාපොරොත්තුව එකයි. හැබැයි ඒකට යන පාර ගැන විවාදයක් තියෙනවා. ඔබේ අදහස් දැක්වීම ගැන ස්තූතියි.

      Delete
  3. Shhhhhh Loku malli, Don't talk about war heroes (specially the war with LTTE) This is not the right time, we in UNP+JVP need Tamil votes, let's talk about more power to Provincial Councils like land and police etc.

    ReplyDelete
    Replies
    1. Tragedy of this country is that real heroes are forgotten while politicians take the credit for all successes. Political leadership is required for victories but its only one factor and not the whole. Thank you Mr. Wijebahu for your comment.

      Delete
    2. Wijebahu, wy yu tok abaut JVP, UNP and elekshan.
      this is abaut වීරයා, that meens hero in english and not blady politishians.
      if yu no undastan sinhala ples dont rite joke hire.
      thankiv

      Delete
    3. ස්තුතියි පරාක්‍රමබාහු තුමා ඔබේ අදහසට.

      Delete
  4. මරේ මරු ලොකූ! ස්තුතියි.

    පෝස්ටුව කියවද්දී හිතුණු දේවල් එමටයි! සේරටම වඩා මාත් ඌව වෙල්ලස්සේ උපන් එක ගැන තිබුණු අභිමානය තවත් වැඩිවුණු බවයි කියන්නම හිතුණේ!

    ReplyDelete
    Replies
    1. නිදිතුමා ඔබට ස්තූතියි නියම වීරයෙක් අදුන්නලා දුන්නට. අවාසනාවකට අපිට තවම බැරි උනා ඔහුගේ ව්‍යායාමයට දායක වෙන්ඩ....ඌව ගැන ආඩම්බර වෙන්ඩ නම් හේතු ගොඩක් තියෙනවා.ඌවට සහ මං ජීවත් වෙන හතර කෝරළේට පොදු වීරයෙක් තමයි 1818 වීරයා...මොනරවිල කැප්පෙටිපොල...අපේ නෑදෑකං ගැන ලගදි ලියන්නං...

      Delete
  5. මෑත ඉතිහාසය ගැන ඇල්මක් ඇති උනේ ලොකුමල්ලිගෙ බ්ලොග් එකේ අපේ ඉතිහාසය ගැන ලියවුණු අපූරු සටහන් නිසා..මහ ගොඩක් කියවන්ඩ බැරි උනත් පෝල් ඊ පීරිස් මහත්තයගෙ පෘතුගීසි යුගයෙ ඉඳන් ඔබේසේකර මහත්තයගෙ Doomed king වෙනකම් පර්යේශණ කෘති කීපයක් කියෙව්වම හිතෙන්නෙනම් ඒ කාලෙත් වීරයන්ට වැඩිය පාවාදෙන්නො වැඩියෙන් ඉන්න ඇති කියල..ඉස්තුතියි මලේ ඔහේට ඉතිහාසෙ ගැන උණක් ඇති කොලාට…

    ReplyDelete
    Replies
    1. ස්තූතියි SDC තුමා කට්ටකාඩුව අගය කිරීම ගැන. ඔව්. මෑත ඉතිහාසයේ අපිට වීරයන්ට වඩා පාවා දෙන්නන් වැඩි උනා කියල මාත් හිතනවා. ඒ විදිහෙන් ඇරෙන්ඩ අපි අද ඉන්න ශෝචනීය තත්වය පැහැදිලි කරගන්ඩත් බෑ නේද? සමහරවිට වීරයන්ගේ අගය වැඩිපුර දැනෙන්නේ පාවා දෙන්නන් වැඩි වෙච්ච තරමටද කියලත් හිතෙනවා. ගනදුරු මැදියමේ තමයි අරුනැල්ලක නියම ආශ්වාදය ලැබෙන්නේ....

      Delete
  6. ද්ශපාලන සම්භන්දයක් නැතත් ඔය කතාව අදටත් ගිරිය ලේ රහ වෙනකම් කියනවා ජවිපෙ සමන්ත විද්‍යාරත්න මන්තිතුමා මම අහල තියෙනවා.. කරුමේ කියන්නේ ඇහෙන්න දකින්න ඕනි එවුන් බිරි වෙලා.. උන්ගේ ඇස් බැඳලා ..

    ReplyDelete
    Replies
    1. ඌවට වෙච්ච ඉතිහාසගත අසාධාරණය තවම හරිගස්සලා නෑ. කාටවත් ඒක හරි ගස්සන්ඩ උවමනාවකුත් තියෙනවා කියල මට හිතෙන්නේ නෑ. අඩුම ගානේ එහෙ ජීවත්වෙන බහුතරයකටත් එහෙම උවමනාවක් නෑ මගෙ හිතේ...බලන්ඩකො චන්ද ප්‍රතිපල මෙච්චර අසාධාරනකම් උනත්....

      Delete
  7. වීරයා කියන එක සාපේක්ෂ දෙයක්, බලන්න
    උදය ප්‍රභාත් ගම්මන්පිල මහත්තයට දේශපාලනය නොකර ටියුශන් ගුරුවරයෙක් වුනානම් මීට වඩා හම්බ කරන්න පුළුවන්.
    ඉරාජ් වික්‍රමරත්නට දෙමළාට වෙච්ච අසාධාරනය ගැන වේස ගෑණුන්ගේ ශ්‍රේෂ්ඨකම ගැන සාමය ගැන ගිත නිර්මානය කලා නම් රැඩිකල් කලාකාරයෙක් වෙන්න තිබ්බා.
    ජයන්ත චන්ද්‍රසිරිට, සිංහල ජාතියට බුද්ධාගමට අපහාසයක්වන චිත්‍රපටි හැදුවනම් ජාත්‍යන්තර සම්මාන ගන්න තිබ්බා. නමුත් එයාලා එහෙම නොකර උඩුගම්බලා යන්න තීරණය කලා. ඔවුන් මේ කාලයේ ජාතික වීරයෝ.

    ReplyDelete
  8. Replies
    1. කොයි සටනද පොදු ජනතාව අතරින්ම පැන නැග්ගේ? අඩුම තරමේ මෙච්චර පොදු ජන සහභාගිත්වයක් තිබ්බ වෙන සටනක් තිබුනද ලංකාවේ ඊට පෙර හෝ 1848 හැරුනම ඊට පසු? ඒ මොකක් උනත් - පොදු ජනතාවගේ සටනක් උනත් රදලයන්ගේ සටනක් උනත් - අන්තිමට වන්දි ගෙව්වේ / ගෙවන්නේ පොදු ජනතාව...ස්තුතියි ජගත් තුමා ඔබේ අදහසට...

      Delete
  9. මිනින්දෝරු කන්තොරුවෙ මුලාදෑනි ටික
    සුදු බන්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද?
    මම ආසම වචන ටික.. ජය

    ReplyDelete