ජනාධිපතිවරණයක් ඇවිත්. කාට චන්දෙ දෙනවද කියල තාම තීරණයක් නෑ. හැබැයි කවුරු මග තොටේ දී හම්බ උනත් අහන්නේ මේ පාර කවුරු දිනයිද කියල. මං කොහොමද දන්නේ? මං සාත්තරකාරයෙක් නෙවෙයි නේ. ටික කාලයක් කේන්දර බලන හැටි ඉගෙන ගත්තු බව හැබෑව. ඒ දන්නා ටිකෙනුත් චන්දයක දිනුම පැරදුම වගේ දේවල් ගැන හරි තීරණයක් දෙන්ඩ පුළුවන් කියල මට හිතෙන්නේ නෑ. වෙනිං රටවල් වල නං අපක්ෂපාතී එහෙම නැත්තං ස්වාධීන කියල හිතන්ඩ පුළුවන් ජන මත විමසුම් පැවැත්වෙනවා චන්දෙකට කලින්. හුළඟ හමන්නේ කොයි අතටද කියල දැන ගන්ඩ ඒ වගේ සමීක්ෂණ හොඳ මෙවලම්. එහෙව් සමීක්ෂණ නැති අපි වගේ රටවල් වල මැතිවරණ උණ හැදිච්ච අයට තියෙන්නේ එකම සරණයි. ඒක තමයි මග තොටේදී හමුවෙන අයගෙන් මොකක් වෙයිද කියල අහන එක.
පස්වෙනි නිකලස් පාප් තුමා
කවුරුවත් මගෙන් එහෙම ඇහුවත් වැඩක් නෑ. මොකද මම මෙතෙක් කල් ජනාධිපතිවරණ වලදී චන්දෙ දීපු අපේක්ෂකයෝ දිනලා තියෙන්නේ 50% ප්රතිශතයක්. ඒ කියන්නේ මගේ තේරීම හරි හෝ වැරදි වෙන්ඩ පුළුවන්. ඉතින් කවුරු දිනයිද කියල මගෙන් අහන අයට දෙන්ඩ මම උත්තරයක් හදා ගත්තා. එක තමයි මම අද කියන්ඩ යන්නේ.
මේ මම කියන්නේ මම හොයා ගත්තු දෙයක් හෙම නෙවෙයි. මේ පරිච්චේදය තියෙන්නේ ද බොර්ජියාස් කියන පොතේ. පොත ලියල තියෙන්නේ ජී. ජේ. මේයර්.
බොර්ජියා වරු ගැන යුරෝපා ඉතිහාසයේ තියෙන්නේ හරිම කළු පින්තූරයක්. මධ්යතන යුගයේ ආගමික හා දේශපාලනික ක්ෂේත්‍ර වල මහා බල පරාක්රමයක් දක්වපු කෲරත්වයෙන්, කපටි කමෙන් හා නොයෙකුත් දුශ්චරිත වලින් තමන්ගේ බලය හා ධනය වැඩි කරගත්තු බොර්ජියා වරු ගැන වැඩි විස්තර ඔබ තමුන්නහෙලාම තෝර බේර ගන්ඩ. මම මේ කියන්ඩ යන්නේ බොර්ජියා වරුන්ගේ බලයේ උල්පත මතු වෙච්ච හැටි. ඔන්න එහෙනං කතාව...
වසන්ත සමය දෝරේ ගලමින් තිබුණු ඒ දවස අප්රේල් තුන් වෙනිදාවකි.
අපි මේ ඉන්නේ රෝමයේ. මේ කියන 1455 අවුරුද්ද වෙන කොට පරණ රෝම අධිරාජ්යයන් යටතේ තිබුණු හෝ පරම්පරා කීපයකින් පසු අනාගතයේ දවසක නැවත ගොඩ නැගෙන සෞභාග්යමත් නගරය නෙවෙයි ඒ. ඒක ඒ වන විට ආත්ම තිස් හතලිස් දාහක් පා වෙවී හිටපු ගරා වැටුණු නගරයක්.
ඔබ වතිකානුවේ ගරා වැටෙමින් තිබුණු අවුරුදු දාස් ගණනක් පැරණි ශාන්ත පීතර බැසිලිකාව දිහා බැලුවොත් පෙනේවි කාදිනල් වරු එක් රැස් වෙනවා.පස්වෙනි නිකලස් පාප්තුමා 'මී මැස්මොරේ' හැදිලා ස්වර්ගස්ථ වෙලා අදට හරියටම දවස් දහයයි. ඒකයි මේ කාදිනල් වරු එක්කහු වෙන්නේ ඔවුන්ගේ ඊළඟ නායක තුමා තෝරා ගන්ඩ. මී මැස්මොරේ...ඔව් එහෙමයි හිටපු පාප් තුමාට වෙදකං කරපු ඔක්කොම දොස්තරලා කිව්වේ. ඒකෙන් ඔප්පු උනේ පාප්තුමා සතියෙන් සතිය හොඳටම අබල දුබල වෙලා අන්තිමට යන්තම් අවුරුදු පනස් හතක් වෙද්දී ස්වර්ගස්ථ වෙන්ඩ හේතුව ඒ දොස්තරලා කවුරුවත් හරි හැටි නොදැන හිටි බව. අන්තිමට ශුද්ධෝත්තම පියතුමාම කිව්වා තමුන්ගේ අවසානය අත ළඟ කියල!!!
මේ පාප් වහන්සේ මේ වෙලාවේ ස්වර්ගස්ථ වෙච්ච එක හිතට වධ දෙන දෙයක්. ඊටත් වඩා වධ දෙන කාරණේ අලුත් කෙනෙක් තෝරා ගන්න එක!! ඇත්තටම ඒක හිතන කොටත් බය හිතෙන කාරණයක්!!
චාරිත්රානුකූලව හැමදාම වෙනවා වගේ පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙලා පලවෙනි දවස් නවය ගත උනේ උන්නාන්සේගේ අවමංගල්‍ය වැඩ කටයුතු වලට. දවසකට එක ගානේ දේව මෙහෙයයන්...ඒ දේව මෙහෙයයන් මෙහෙය වන්නේ එක එක කාදිනල් උන්නාන්සේලා.ඒ උනාට අනිවාර්යයෙන් වෙනවා වගේ දවල් රෑ කාල ඔක්කොම පිරිලා තිබුනේ තිරය පිටි පස්සේ වෙච්ච දේශපාලන කතා බහට. කාටද පුළුවන් ඕන කරන චන්ද ප්රමාණය ගන්ඩ ඊලග පාප් පදවියට පත් වෙන්ඩ??...ඕක තමයි තිබ්බ ප්රධානම මාතෘකාව.
ඔන්න පාප්තුමා සුසානාගාරයේ තැන්පත් කරලා, අන්තිම දවසේ අන්තිම පූජාවත් තියල ඉවර උනාට පස්සේ පාප්තුමාගේ මාළිගාවේ එක පැත්තක කාමර කීපයක් ලැස්ති වෙලා තිබුනා සාම්ප්රදායික විදිහටම. ඉතා චාම් මේ කාමර ඇතුලට ඔබ එබී බැලුවොත් පෙනේවි හැම කාමරයකම ඇඳක්, පොඩි පුටුවක් හා කුඩා මේසයක් තියෙනවා. ඉතුරු වෙලා හිටපු කාදිනල් වරු පහළොස් දෙනා - තව හය දෙනෙක් හිටියා රෝමයට මේ වෙලාවේ එන්ඩ බැරි තරම් දුර ප්රදේශ වල හිටපු- ඔන්න සේවයට වාර්තා කරනවා. ඔවුන් ඇතුලට ගිය ගමන් ඒ පැත්තට යන්ඩ තිබ්බ ඔක්කොම දොරවල් වහලා සීල් තිබ්බා. දොරවල් වලට එළියෙන් සෙබළු මුරකාවල් පටන් ගත්තා. 1455 අවුරුද්දේ පාප්වරණය රහස් සභාවක පටන් ගත්තේ ඔහොමයි.
මේ කාමර තුලට හිරු එළියවත් නොවැටෙන්ඩයි හදලා තිබුනේ. තිබුණු එකම ආලෝකය ආවේ ඉටිපන්දම් වලිනුයි තෙල් පුරවපු ලාම්පු වලිනුයි. සීතල මකා ගන්ඩ තිබුනේ දර උදුන්. ඔබ හිතුව වගේම මේ පරිසරයේ වැඩි වෙලාවක් ඉන්න එක ලේසි වැඩක් නෙවෙයි. ටික වෙලාවක් යනකොට හැමෝම හුස්ම ගන්න, ඒ වගේම හොඳ වාතාශ්රයක් නොතිබ්බ මේ අඳුරු කාමර වල වාතය බර ගතියක් ගන්නවා. එක අතකින් කිසිම පාප්වරණයක් සැප පහසු වෙන්ඩ ඕනත් නෑ. මේ අමාරු පරිසරය උදව්වක් වෙනවා පල්ලියේ කුමාරවරුන්ට පුළුවන් තරම් ඉක්මනින් තමන් ආපු කාරිය ඉවර කරලා - ඒ කියන්නේ ඉක්මනට ඊළඟ පාප්තුමා කවුද කියන එක තීරණය කරලා - ප්රතිපල ප්රකාශ කරලා, මේ අඳුරු ගුහාවෙන් මිදිලා තමන්ගේ ගම රටවල් වලට යන්ඩ.
මේ ක්රමයේ හැම පියවරක්ම අවුරුදු එක්දාස් පන්සීයකට කිට්ටු කාලයක් පුරා වර්ධනය වෙච්ච සම්ප්රදායයන්ගෙන් තමයි පාලනය උනේ. එක එක කාලවල පාප්වරු තෝරාගැනීමේ අයිතිය තිබුනේ රෝම අධිරාජ්යයන්ට. තව කාලෙක බයිසැන්ටියමේ අධිරාජ්යයනුත් තවත් කාලේ ඇල්ප්ස් කඳුකරයෙන් එහා පැත්තේ ඉඳන් ආපු ශුද්ධ රෝම අධිරාජ්යයනුත් පාප්වරු තේරුවා. තවත් සමහර වෙලාවල් වල පාප්තුමාටම පුළුවන්කම තිබුනා තමන්ට පස්සේ කාට මේ පදවිය ලැබෙන්ඩ ඕනද කියලා තීරණය කරන්ඩ.
තවත් සමහර කාලවල් තිබුනා රෝමයේ පූජක වරුන්ගේ විතරක් නෙවෙයි සාමාන්‍ය වැසියන්ගේත් කැමැත්ත නැතුව මේ ඔටුන්න බාර ගන්ඩ තියා බාර ගැනිල්ල ගැන හිතන්ඩවත් බැරි වෙච්ච. ඒත් 1059 දී පාප් තුමාගේ ආඥාවකින් පාප්වරයෙක් තෝරා ගැනීමේ බලය කාදිනල්වරු සතු උනා. තවත් අවුරුදු අසූවකට පස්සේ ඒ බලය සම්පූර්ණයෙම්ම කාදිනල් වරු සතු උනා. ඒ කියන්නේ කාදිනල්වරු තේරුවට පස්සේ පාප් තුමාගේ පත්වීමට ආය තව කාගේවත් අනුමැතිය ගන්ඩ ඕන උනේ නෑ. ඊටත් අවුර්රුදු හතළිහකට පස්සේ පාප් වරයෙක් තෝරා ගන්ඩ පැමිණ සිටින කාදිනල්වරු සංඛ්යාවෙන් තුනෙන් දෙකක චන්ද ඕන උනා.
ඒ කියන්නේ දැන් ඔය රහස් සාකච්ඡාවටා සහභාගී වෙලා ඉන්න කාදිනල් වරු පහළොස් දෙනාගෙන් හා දෙනෙකුගේ කැමැත්ත
ගන්න කෙනා ඒ මොහොතේ ඉඳම්ම ඊළඟ පාප්තුමා වෙනවා මේ ලෝකේ මොකා විරුද්ධ උනත්.
මෙහෙම සරල නීති තිබ්බට පාප්වරයෙක් තෝරාගන්න එක සරල වැඩක් නෙවෙයි. එකට හේතුව බොහෝ දෙනාගේ බොහෝ බලාපොරොත්තු මේ පදවියත් එක්ක ගැට ගැහිලා තිබීම. එකිනෙකට ප්රතිවිරුද්ධ අදහස් ඇති බල සේනා නිරන්තරයෙන් ගැටුනේ මේ බලය වෙනුවෙන්. කාදිනල්වරු තමන්ගේ කාමර වලට ගිහින් එකිනෙකා එක්ක කතා කරන්ඩ පටන් ගත්තම ඔවුන්ට තේරුනා මේ පාරත් වෙනද වගේම 'බොන්ඩ ඕන ප්රශ්නයක්' තමන් ඉදිරියේ තියෙන බව!!
ස්වර්ගස්ථ වෙච්ච නිකලස් පාප් තුමා ඔවුන්ට මහා අවුල් ජාලයක් ඉතුරු කරලා ගිහින් තිබුනේ නෑ. ඇත්තටම නිකලස් පාප් තුමා නරක හෝ අපරික්ෂාකාරී පාප්වරයෙක් උනේ නෑ. ඒ කාලේ හිටපු අනික් අයත් එක්ක සංසන්දනය කරලා බලපුවම ඔහු හොඳ කෙනෙක් කියලත් කියන්ඩ පුළුවන්. ඔහුට කලින් හිටපු පාප්තුමා එක්ක බලනකොට නිකලස් කියන්නේ විශිෂ්ට පාප්තුමෙක්. වයඹදිග ඉතාලියේ ඉතා නිරහංකාර පවුලක උපත ලබපු ඔහු පල්ලිය තුල ඉහලට නැග්ගේ තමන්ගේ හැකියාව ප්රයෝජනයට අරගෙනමයි. මුලින් ශ්රේෂ්ට මානව හිතවාදියෙක් විදිහටත් පස්සේ විශිෂ්ට රාජ්‍ය තාන්ත්රිකයෙක් විදිහටත් ඔහු ඉහලට ආවා.
එක අතකින් බලනකොට ඔහු පාප්වරයා වීම හදිස්සියේ මතුවෙච්ච වාසනාවකින් වෙච්ච දෙයක්. කොටින්ම ඔහු කාදිනල් වරයෙක් උනෙත් ඊට මාස කීපෙකට ඉස්සෙල්ලා. අනික කාදිනල්සභාවේ හිටපු බලවන්ත කණ්ඩායම් එකාට එකා නුරුස්සන බල පොරයක යෙදිලා කාටවත් පාප් ඔටුන්න දිනා ගන්ඩ බැරි තැනකට ගිහින් හිටීමත් ඔහුට වාසියක් උනා. ඔහු පාලනය කල අවුරුදු අට තුල විවිධ ජයග්රහණ ලැබුනා. අපචාර චෝදනා මොනවත් නෑ!! සාමය හා ස්ථායිතාව ඉතාලියට විතරක් නෙවෙයි ජර්මනියටත්
ගේන්ඩ ඔහු අනුපමේය මෙහෙයක් කළා. කතෝලික සභාවේ ඇති වෙලා තිබ්බ මහා බෙදීම අවසාන කරන්ඩත් ඔහුගෙන් උනේ අමතක නොකළ හැකි සේවයක්. වතිකානුවේ භාණ්ඩාගාරය අවංක විදිහට පුරවන්ඩත් විනාශ වෙමින් තිබිච්ච රෝම නගරය ප්රතිසංස්කරණය කරලා පැරණි ශ්රී විභූතිය නැවත ගේන්ඩත් ඔහුගෙන් සිදු වෙච්ච සේවය අමතක කරන්ඩ බෑ.
ඒ ඔක්කොම අමතක කලත් තව වැදගත් දෙයක් ඔහු කළා. ඒ තමයි තමුන්ගේ නයින්ට කිසිවිට අයුතු විදිහට ධනවත් වෙන්ඩ නොදීම. ඔහු අනික් අය වගේ රොත්ත බුරුත්ත පිටින් තමන්ගේ නෑයින්ව කතෝලික සභාවේ ඉහල පුටු වලට පත් කලේ නෑ. ඇත්තටම ඔහු තමන්ගේ නෑයින්ගෙන් කාදිනල් ධූරයකට පත් කලේ තමන්ගේ අර්ධ සහෝදරයා විතරයි.
කොටිම්ම පාප් ධූරය බබලවන්ඩ ඔහුට පුළුවන් කම හම්බ උනා. ඔහු කල මේ සියල්ල තව දුරටත් ඉදිරියට යාවිද නැත්නම් හිටි අඩියේ නතර වේවිද කියන්ඩ හරියටම පුළුවන් වෙන්නේ පත්වෙන නව පාප් වරයා කවුද කියන එක මතයි.
නව පාප්තුමා තෝරන්නට එක වෙලා ඉන්න කාදිනල් වරුන්ට මූණ දෙන්ඩ වෙලා තියෙන ප්රශ්න වලට මුල නිකලස් පාප්තුමා නෙවෙයි. මේ ප්රශ්නවල මුල ඉන් හුගක් ඈත අතීතයකට දිවයනවා. අඩුම ගානේ අවුරුදු එකසිය පනහක් තිස්සේ වෙච්ච දේවල් වල ඉතුරු බිතුරු තමයි අලුත් පාප්තුමාට විසදන්ඩ ඉතුරු වෙලා තියෙන්නේ.පරම්පරාවකට පස්සේ පරම්පරාවක් විදිහට රටින් පිටුවහල් වී සිටීම්, මහා බේධය, මුළු කතෝලික සභාවටම දරුණු හානි ගෙනත් දුන්න පාප්තුමා සර්ව බලැති නායකයාද නැත්නම් ඔහු කවුන්සිලයට යටත් පුද්ගලෙක්ද වගේ මුල් ඇදපු ප්රශ්න ගණනාවක් ගැන මතකය මුළු සභාව පුරා හොල්මන් කරනවා.
සමහර ප්‍රශ්න විසඳිලා වගේ පෙනුනත් ඒ මතකය අළු යට ගිනි පුපුරු වගේ හිත් කුප්පනවා.අතීතයේ වෙච්ච දරුණු තුවාල හොඳ වෙලා නෑ. නිකලස් පාප් ධූරයට පත් උනේ රෝමයෙන් පිටුවහල් වෙලා හිටපු අන්තිම පාප්තුමා රෝමයට ඇවිත් යන්තං අවුරුදු හතරකට පස්සේ. ඔහු පත් වෙලත් අවුරුදු දෙකක් යනකල් තමන්ද පාප් වරයෙකැයි කියා ගත්තු තරග කාරයෙක් හිටියා. නිකලස් පාප් තුමාගේ මරණයට අවුරුදු දෙකකට ඉස්සර තමයි රෝමය තුල පාප්තුමාගේ පාලනය විනාහ කරලා ජනරජයක් පිහිටුවන්නට ගත්තු උත්සාහය ව්යර්ථ උනේ. නිකලස් පාප්තුමා ඒ ප්රශ්නය වෙලාවේදී හාණියකට පත් නොවී බේරිච්ච බව හැබෑ උනත් ඒකෙන් අදහස් වෙන්නේ නා තර්ජනය සම්පූර්ණයෙම්ම පහව ගිහිල්ලා කියල. ඒ තර්ජනය ඉදිරියටත් තියෙයිද නැත්නම් සාර්ථකව මැඩ පවත්වලා ඉවරයිද කියන එක තීරණය වෙන්නෙත් ඉදිරියට පත්වෙන පාප් තුමා අනුවම තමයි.
අද පෝස්ට් එකේ දිග වැඩි වෙන හිංදා දෙවෙනි කොටසකුත් ලියන්ඩම වෙනවා මේ ගැන. ඉතිං අදට ලියපු ටික අපි ලංකාවට ගලපලා බලලම ඊළඟ පොස්ට් එකට යමු.
මට නං හිතෙන්නේ 1455 දී නව පාප් තුමා තෝරන්ඩ ලෑස්ති වෙච්ච කාදිනල් වරුන් හමුවේ තිබ්බ අභියෝගයට වඩා වැඩි අභියෝගයක් 2019 ලංකාවේ චන්දදායකයා අතේ තියෙනවා කියල.
එදා ඔවුන්ට පිටිපස්සෙන් තියෙන්නේ සාර්ථක නිකලස් පාප්තුමාගේ මතකය. අපි පස්සෙන් තියෙන්නේ මෑත ඉතිහාසයේ ලංකාවේ බිහිවෙච්ච....හි.. හි.. හි....අන්න එයාගේ පාලනය. අපචාර චෝදනා, ඥාති සංග්රහ ආදිය ගැන ඉන්න අයටත්, හිටපු අයටත් තියෙන්නේ එක චෝදනාවක් දෙකක් නෙවෙයි. ඔය ඔක්කොම අස්සේ අසාර්ථක වෙච්ච ව්යවස්ථා කුමන්ත්රණයකින් පස්සේ කුජීතු වෙච්ච පදවියක් වෙනුවෙන් තමයි මේ මැතිවරණය තියන්නේ, නමුත් ඒ පදවියේ අභිමානය නැවත පිහිටු වන්ඩත් ඒ එක්කම ඒ පදවිය හෑල්ලු වීම නිසා රටට ඇතිවෙච්ච හොඳ ප්රතිඵල ඉදිරියට ගෙනියන්ඩ ඕන කරන දේශපාලන පරිනතභාවයත් අලුත් නායකයන්ට ඕන කරනවා.
මට මතක් වෙන්නේ වික්ටර් රත්නායක මහත්තයා. ඔහු ගායනා කරන කඳුළු පැන් කෙණ්ඩියක් සිංදුව...
කඳුළු පැන්...කඳුළු පැන් කෙණ්ඩියක්
සිනහ මල්...සිනහා මල් වට්ටියක්
දෑතට ගෙන යා හැකි දුර
ගවු සියයක් වත් වේනම්
ප්රේමවන්තයෙක් උනාට කමක් නෑ මලේ....
මට කියන්ඩ තියෙන්නෙත් ඒකමයි. කඳුළු හා සිනහව දෑතට ගෙන සම සිතින් ගවු සියයක් යන්නට අදිටන් ඇතිව මේ පාර චන්දදායකයෙක් වෙන්න ඕන. මොකද තෝරාගන්න තියෙන්නේ හොඳ හා නරක දෙකින් එකක් නෙවෙයි. ඒකයි මට තියෙන ගැටලුව. බලමු ඊළඟ පෝස්ට් එකෙන්වත් උත්තරයක් හොයාගන්ඩ....
එතකල් ආවඩා ආයු බෝ වේවා!!
ayeth liyala. Baya une obathuma nawaththala liyana eka kiyala. mn asama kotasak thama oka. borgia waru kiyanne maha amuthu paul gahak.
ReplyDeleteස්තූතියි රුචිර ඔබේ දිරිගැන්වීමට. වැඩ වැඩි හිංදා ලියන්ඩ වෙලාව හොයා ගන්ඩ අමාරු උනත් ලියන එක නවත්තන අදහසක් තාම නෑ.ඔව් ඔබ කිව්ව වගේම බෝර්ජියා වරු කියන්නෙ පවුල් ගහක්...පොඩි කැලයක් කිව්වත් වැරදි නෑ...ආගමත්, දේශපාලනයත් පටලවල ගත්තම පොඩි කැලයක් හදාගන්න එක අමාරු නෑ.
Deleteලොකූ, මෙහෙම පාර පෙන්වීම ගැන ගොඩක් ස්තුතියි!
ReplyDeleteලොකා, දිරිගැන්වීමට ස්තූතියි...අනුන්ට පාර පෙන්නන්ඩ ඉස්සර මට ම පාර හොයා ගන්ඩ බෝර්ජියා කියවීම උදවු උනා...
Deleteඇත්ත කතාව. මේ තියෙන අභියෝගය එක ඡන්දදායකයෙක්වත් සීරියස් අරගෙනත් නෑ...
ReplyDeleteමටත් හිතෙන්නෙ එහෙමයි ඩ්‍රැකී...අපි මේ මූන දෙන්නෙ 19 ව්‍යවස්තා සංශෝධනයෙන් පස්සෙ එන පලවෙනි ජනාධිපතිවරනෙට...අපි කවුරුවත් ඒ ගැන අවධානය යොමු කරල නෑ කියලයි මට හිතෙන්නෙ...බෝර්ජියා එන කොට පාප් පදවියත් අඩු කැඩිච්ච එකක් එහෙම නැත්තං තියන අඩු වලින් වැඩ ගන්ඩ බැරුව හිටි පදවියක්. මං ඊගාව කොටසින් ඒ ගැන කියන්නම්.
Deleteඔය බෝර්ජියාවරු ගැනද මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා එකේ අර පාදිලි තැන එද්මන් දාන්තේට කියන්නෙ? සීසර් බෝර්ජියා සහ ඔහුගෙ පියා වුණු ඇලෙක්සැන්ඩර් (මට නම මතක හැටියට) පාප් තුමා...?
ReplyDeleteශතෝ දීෆ් බන්ධනාගාරේ අදුරු බිම් ගේ තුලදි ෆාරියා පූජක තැන එද්මොන් දාන්තේට කියන දේවල් වලින් තමයි මම බෝර්ජියා වරු ගැන මුලින්ම දැනගත්තේ...නමුත් ඒ මං මේ කියන බෝර්ජියා නෙවෙයි. පස්සෙ කාලෙක එන මොහුගේ නෑයො ගැනයි මේ කියන්නෙ...මට වගේම ඔබටත් මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා මතක තියෙන චරිතයක් නේද?
Deleteනැතුව නැතුව... ඔතන කියනවනෙ කබානිස් ගැන එහෙමත්... මගෙ අම්මේ මං ඒ කාලෙ ඔය පොත නිසා වෙනම ලෝකයකට ගියා. කොහොමද අප්පා ඔය තරම් ලොකු පොත් මිනිස්සු ලියන්නෙ, එකකට එකක් ගැළපෙන්න?
Deleteබෝර්ජියාවරු ගැන ලියනවද?
ReplyDeleteරොඩ්‍රිගෝට වැඩිය චෙසරේ බොර්ජියා තමයි ඉන්ටරෙස්ටින්ම කැරැක්ටර් එක. ටැලන්ට් එකෙනුත්
CESARE BORGIA
DeleteOf France, Duke of Valentinois and Romagna, Prince of Andria and Venafri, Count of Dyois, Lord of Piombino, Camerino and Urbino, Gonfalonier and Captain-General of Holy Church
https://www.gutenberg.org/files/3467/3467-h/3467-h.htm
නෑ ප්‍රා ජේ මේ ලියන්නෙ අල්ෆොන්සෝ ගැන...චෙසරේට රොඩ්‍රිගෝට වඩා මට නං හිතට ඇල්ලුවේ අල්ෆොන්සෝ...ඔහු තමයි පාර කපන්නෙ අනිත් අයට...
Deleteලොකු මල්ලි සෑර්ට කියන්ඩ, දැන් කාලෙ ලංකාවෙත් Borjiaවරු ඉන්නවනේ. ඒ අය බොහොම සුක්ෂම විදියට කාලෙක ඉඳලා j වෙනුවට k තමා පාවිච්චි කරන්නේ. (කී බෝඩ් එකෙත් එක ළඟ තියෙන අකුරුනේ).
ReplyDeleteලාංකික Borjiaවරු ඒ කියන්නේ බොර්කියා (Borkia) වරුන්ගේ ප්‍රධාන ලක්ෂණයක් තමයි නිතර නිතර මාධ්‍ය සාකච්චා පැවැත්වීම. Borjiaවරු Borjiaවෙන් පැවත එන ය වගේම අපේ Borkiaවරුත් බොරුවෙන්ම තමයි පවතින්නේ.
බොරුද මං කියන්නේ.
ජයවේවා!
Myself Hattor
හැට්ටර්තුමා තැන්ක් යූ කිව්වා බෝර්ජියා වරුන්ගේ පුනරුත්පත්තියක් ගැන ඉගියක් දුන්නට...කවුද දන්නේ මේ ඔවුන්මද කියල නේහ්?
Deleteකාදිනල් උන්නාන්සෙල දවසින් දවස එක එක්කෙනාට චන්දෙ දීල තුනෙන් දෙක හදාගත්තට අපි දුන්නොත් දුන්නමනෙ..යටි රවුල තියන බිෂොප්තුමාට ඉඩ දීල අනිත් එක්කෙනා අයින් උනානං තරඟයක් තියෙන්ඩ තිබ්බ.. නැත්නම් පරම්පරාවෙ එක්කෙනා දිනාවි
ReplyDeleteඅන්න ඒක තමයි SDC තුමා අපිට තියෙන ලොකුම අභියෝගය! මොකද චන්දෙ දුන්නට පස්සෙ ආයෙ ඉල්ලගන්ඩ කියලයැ....හරිම තීරණේ නොගත්තොත් අපිට දුක් වෙන්ඩ වෙනවා....හැබැයි හරිම තීරණේ මොකක්ද කියල අපි දන්නෙ නෑ...ඉතිහාසෙන්වත් පාඩමක් ඉගෙන ගන්ඩ පුලුවන් වෙයිද කියල බලමු...
Deleteමමත් දන්නෙ පාරියා පූජක එද්මොන් දාන්තේට කියපු සීසර් බෝර්ජියා ගැන විතරයි.
ReplyDeleteඅපි හුගක් දෙනෙක් දන්නෙ නවකථාකාරයෙක් උත්කර්ශයට නංවපු චරිතයක් කියපු දෙයක් විතරයි.හැබැයි හොයාගෙන හොයාගෙන යනකොට තේරෙනවා බෝර්ජියා වරුන්ට ඊට වඩා පැරණි ඒ වගේම වැඩිදෙනෙක් නොදන්න අතීතයක් තියෙනවා කියලා....
Deleteමේ මම ලිව්ව එකක්. අප්‍රේල් මාසේ. පාස්කු බිත්තර සහ බෝජා පවුල
ReplyDeleteස්තූතියි අජිත් ධර්ම තුමා සබැදියට. බෝර්ජියාවරු ඉතිහාසයේ රගපෑ භූමිකාව හරිම වර්ණවත් නේද?
Deleteඒකනේ . පවුල්වාදය
Delete//මේ හයවැනි ඇලෙක්සැන්ඩර් කියන්නේ අමුතුම පාප් වහන්සේ කෙනෙක්. සල්ලාල කම් libertinism සහ ඥාති සංග්‍රහය (nepotism) ට අළුතින්ම හොඳ තේරුමක් දුන් අයෙකු ලෙස ඉතිහාසයට එක්වූ අයෙක්.
ReplyDeleteඔහු ස්පාඤ්ඤ යේ වැලන්සියා හි රොඩ්රිගෝ දී බෝජා උ දොම් ලෙස 1431 දී උපත ලැබුවා. ස්පාඤ්ඤයේ බලවත් බෝජා පවුලේ ඔහුගේ මාමා අලෝන්සෝ ඩි බොර්ජා වලෙන්සියා හි බිෂොප් වරයායි. ඔහු යටතේ අධ්‍යාපනය ලැබූ රොඩ්රිගෝට තරුණ වියේදී ම පල්ලියේ කටයුතු භාරදෙනු ලැබුවා. මේ වනවිට ඔහුගේ මාමා තුන්වන කැලික්ටස් නමින් පාප් තුමා බවට පත් වී සිටියා. ඔහු විසින් වසර 1456 දී වතිකානයේ කාදිනල් වරයෙකු ලෙස පත් කළ රොඩ්රිගෝ වයිස් චාන්සලර් (රෝමානු කතෝලික පල්ලි වල උප කුලපති ) ලෙස පත්වුණු පසු අතිශයින් විශාල ධනයක් රැස් කලා. මෙය කළේ දෙවැනි පෝප් පයස් ගේ බරපතල විරෝධය මැද. යුරෝපීය පුනරුදයේ (Renaissance) කුමරකු ලෙස හැසිරුණු රොඩ්රිගෝ පල්ලියේ අධ්‍යාත්මික ගුණ වගාවන්හි දියුණුවක් ගැන සත පහකට මායිම් කලේ නැහැ .
ඔහු ප්‍රංශ රජු චාල්ස් ඉතාලිය ආක්‍රමණය කිරීමේදී නේපල්ස් රාජධානිය ප්‍රංශයට ලබා දීම ප්‍රතික්ශේප කලා වගේම වෙනිසියට බලපෑ තුර්කි වෙළඳ කොල්ලයද නැවැත්වුවා. ඒවා ඔහුගේ ජයග්‍රහණයන් ලෙස සැලකිය හැකියි.
අනිකුත් කාඩිනල් වරුන්ට වගේම මේ පෝප් වහන්සේට වනෙස්සා කැටනේ නමින් නිත්‍යානුකූල නොවන බිරිඳක් සිටියා. ඇය ඔහුට දාව චිසරේ, ජුවාන් (ස්පාඤ්ඤ හුවාන්), ලුක්රේසියා හා ජෝෆ්රි නමින් දරුවන් හතර දෙනෙකු වැදුවා. ඇයට හොඳ මාලිගාවක් වතිකානයේ වියදමින් ඔහු විසින් ලබා දී තිබුන. ඊට අමතරව ඔහුගේදුර ඥාති යෙකු වූ වූ ඔරිසිනි ගේ බිරිඳ ජුලියා ෆර්නේසි ද හොර අඹුවක් ලෙස (වැනේස්සාට අමතරව) වතිකාන මාලිගාවක තබා ගත්තා. තවත් රාජධානියක ප්‍රාදේශීය රජ කෙනෙක්ගේ බිරිඳත් ප්‍රංශ රජු අතර යුද්ධයේදී තම වසඟයට ගත් බව සඳහන් වෙනවා.
එසේම ඔහු ප්‍රන්ශුවන් ට එරෙහිව යුද්ධය ශුද්ධ වූ යුද්ධයක් ලෙස නම් කර යුධ භූමියට ගොස් (මිනිසුන් මැරීමට) භටයන්ට ආශීර්වාද කළා.
මේ පාප වහන්සේ තමන්ගේ නිත්‍යානුකූල නොවූ දරුවන්ට මහත් ලෙස ආදරය කළ කෙනෙක්. එසේම තමන්ගේ බලය රැක ගැනීමට ඔවුන්ව භාවිතා කිරීමට පසුබට වූවේ නැහැ.//
හැමෝම හයවෙනි ඇලෙක්සැන්ඩර් ගැන කතා කරනවා මිසක් ඔහුගෙ ආදිතමයා ගැන නොකියන්නේ ඇයි? ඇලෙක්සැන්ඩර් ගහක කද නම් අපි මුල් ගැනත් හොයන්ඩ ඕන නේද? බෙහෙවින්ම ස්තූතියි ඔබතුමා ගේ විස්තරයට...
DeletePope Innocent VIII - ලොකු හොඳක් නැහැ Spanish Inquisition එකට උදව් කලා නේද
Delete