බොර්ජියාවරු ගැන ලියන්ඩ පටන් ගත්තු වෙලාවේ මට හිතුනේ සිටුවර මොන්ත ක්රිස්තෝ පොතේ පාරියා පූජක තැන ශතෝ දීෆ් බන්ධනාගාරේ අඳුරු බිම් ගෙයක් ඇතුලෙදි සීසර් බෝර්ජියා ගැනත් ඔහුගේ පියා වෙච්ච හයවෙනි ඇලෙක්සැන්ඩර් පාප් වහන්සේ ගැනත් කියපුවා මතක තියෙන්නේ මං වගේ මොන්ත ක්රිස්තෝ පිස්සන් කීප දෙනෙකුට විතරයි කියල. ඒත් බලා ගෙන ගියාම හුග දෙනෙකුට ඒ කතාව මතකයි. හුග දෙනෙක් ඇහුවේ මේ මං කියන්නේ අර ඒ පාප් වහන්සේ ගැනද කියල. නෑ. 1492 දී තමයි හයවෙනි ඇලෙක්සැන්ඩර් පාප්තුමා ඒ පදවියට පත් වෙන්නේ. මේ මම කියන්නේ 1455, ඒ කියන්නේ ඊට අවුරුදු 37කට ඉස්සර
කතාවක්. කාට හරි ඒ කතාවේ
මුල මතක නැත්නං මෙන්න මෙතනිං පරණ ලිපියට යන්ඩ පුළුවන්.
තුන්වෙනි කැලික්ස්ටෝ පාප් තුමා
ඔය අස්සේ ජනාධිපතිවරණ උණුසුමත් ඉහල යන බව පේන්ඩ තියෙනවා. සමහර යාලුවන්ගේ හැසිරීම් දැක්කම හිතෙන්නේ ඔවුන්
සහය දෙන අපේක්ෂකයා බැරි වෙලාවත් පැරදුනොත් එහෙම මට මල ගෙවල් හය හතක යන්ඩ වෙන බවයි. නූතන වහල් සේවය ක්රියාත්මක වෙන ආකාර හරි පුදුමයි. ඒ කතා පැත්තකින් තියලා අපි යමු 1455 ඉතාලියට. මිල්ලෙ සොයා නෙවෙයි...පාප් නිළවරනෙට මොකද්ද වෙන්නේ කියල බලන්ඩ.
ඔන්න එහෙනං ඒ කතාව.
1455 වෙද්දී සම්පූර්ණ ඉතාලියම සාමයෙන් තිබ්බා. හැබැයි ඒක උනේ අතීතයේ ඉඳන් එන සිරිත විදිහට නෙවෙයි. පුරුදු වෙලා තිබ්බේ යුද්ධයට. අනික ඒ සාමය කොයි වෙලාවේ බිඳිලා යයිද කියලත් කියන්ඩ පුළුවන් කමක් තිබ්බේ නෑ. 1452 තරම් මෑතකදී මුළු අර්ධද්වීපයම තිබුනේ යුද්ධ වල පැටලිලා. වැනීසිය, මිලාන් නුවරට විරුද්ධව යුද්ධ ප්රකාශ කළා.
ෆ්ලොරන්සය, ජෙනොවාව, බොලොක්ඤාව වගේම මන්ටුවාවත් මිලානයේ සහයට ආවා. නේපල්ස් උදවු කලේ වැනීසියට. නිකලස් පාප් තුමා මොලේ පාවිච්චි කරලා රෝමය ස්වාධීනව තියා ගත්තා. මේ ස්වාධීනකම හින්දම උන්වහන්සේට පුළුවන් උනා මේ රණකාමී නගර අතරේ කපු කමක් කරන්ඩ. එකෙන් තමයි ඉතාලියානු ලීගය එහෙම නැත්නම් 'අති ශුද්ධවන්ත එක්සත් මණ්ඩලය' පිහිටුවන්ඩ. ඒ ගිවිසුම වලංගු වෙන්ඩ පටන් ගත්තේ පාප්තුමාගේ මරණෙට සති දෙකකට කලින්. ගිවිසුම අවුරුදු විසි පහකට වලංගු වෙන්ඩ අස්සන් කරලා තිබුනට ඉතාලිය ගැන දන්නා කවුරුවත් එච්චර කල් මේ ගිවිසුම තියෙයි කියල විශ්වාස කලේ නෑ. අනික
මෙහෙම සමගි සංධානයක් ඉතාලියේ කවදාවත් තිබිලත් නෑ.
එකිනෙකා එක්ක කා කොටා ගන්ඩ පුරුදු වෙලා හිටපු රාජ්‍ය එකිනෙකා බදා වැලඳ ගනිමින් සමගියෙන් ඉන්න එක බලන්ඩ වටිනා දර්ශනයක්!! නිකලස් පාප්තුමා නොහිටින්ඩ මේ සමගිය හීනයක් විතරයි. ඊළඟට පාප් පදවියට පත් වෙන කෙනා අතින් වෙන එක වැරද්දකින් මුළු ඉතාලියම ආපහු යුද පිටියක් වෙන්ඩ ඉඩ තියෙනවා. අන්න ඒ කාරණේ හින්දත් මේ පාර පාප්වරණය හරිම වැදගත්.
මේ සමගි සංධානයෙන් එක්කහු වෙලා හිටියේ හරිම බඩු ටිකක්. ඔවුන් ඉස්සර බලාගෙන හිටියේ තමන්ගේ අසල්වැසියා දුර්වල වෙනකල් ඔහුව යටත් කරගන්ඩ. ඒත් මධ්යතන යුගයේ අවසාන භාගයේ ඔටෝමන් තුර්කිවරු කොන්ස්තන්තිනෝපලය අල්ලාගැනීමත් එක්ක ළඟ ඉන්න සතුරා සමග 'සමගිය' ජීවත් වීම නොහොත් පැවැත්ම සඳහා එකම විකල්පය උනා.
නිකලස් පාප්තුමා ස්වර්ගස්ථ වෙනකොට ඒ භයංකාර සිද්ධියෙන් පස්සේ ගතවෙලා තිබ්බේ මාස විසි තුනයි. ශතවර්ෂ 11 ඒ කියන්නේ සුද්ද සිංහලෙන් ම කියනවා නං අවුරුදු 1,100 පුරා නැගෙනහිර එහෙම නැත්තං බයිසැන්ටියන් අධිරාජ්යයේ අගනුවර වෙලා තිබුනේ කොන්ස්තන්තිනෝපලය. අවුරුදු පන්සීයක් තිස්සේ ක්රිස්තියානි ඔර්තඩොක්ස් පල්ලියේ මූලස්ථානය උනෙත් ඒ නගරය. රෝමයට වඩා ඒ නගරය පොහොසත්. ඒ වගේම වැදගත්. එහෙව් නගරය මාස දෙකක වැටලීමකට පස්සේ ඉස්ලාම් ආක්රමණිකයින් 80,000කගේ බලයට යටත් වෙච්ච හැටි, ඒ වගේම දවස් තුනක් ඇතුලත පනස් දාහක් මරලා ඉතුරු ඔක්කොම වහල් වෙළදපොලේ විකුණපු හැටි ඔබ දැක්කා නම්!!
බටහිර නායකයෝ මේ සිදුවීම දිහා පුදුමෙන් වගේ බලාගෙන හිටියට ඔවුන්ගේ හෘද සාක්ෂිය දිහා බැලුවා නම් තේරේවි අවුරුදු ගණනාවක් තිස්සේ මේ ප්රශ්නය ඔඩු දුවනකල් බලාගෙන හිටපු එකේ දුක. ඔවුන් හිතුවේ සතුරාගේ සතුරා මගේ මිතුරාය කියල. ඒ උනාට මගේ සතුරාවත් අල්ලාගෙන ඔහුගේ සතුරා තවත් බලවත් වෙලා දැන් මං හොයාගෙන එනකොට....වෙහෙරක් ගිල්ල යකාට අග්ගලාව කජ්ජක්ද? අච්චර බලවත් කොන්ස්තන්තිනෝපලය වැටුනා නම් රෝමය මොකද්ද?
මට යාන්තමට වගේ මතක් වෙනවා පාස්කු ඉරිදා බෝම්බ ගහන බව දැනගෙනත් නොදන්නවා වගේ හිටපු රටක් ගැන. හත් අතේ ණය වෙලා පොලිය ගෙවන්ඩ තවත් ණය වෙවී හිටපු රටක බල ලෝභය වෙනුවෙන් ව්යවස්ථා ජෝගියක් නටපු පොළොවෙන් මතු වෙච්ච පණුවෙක් ගේ තරමවත් මොළයක් නොතිබ්බ ලොක්කෙක්ගේ පාලනේ මිනී පෙට්ටියට අවසාන ඇනේ වැදුනේ මේ නොසලකා හැරීමෙන්. නිකලස් වගේ සාර්ථක පාප්තුමෙකුටත් අතීතයේ ඉඳන් ආපු අභියෝග පාලනය කර ගන්ඩ බැරි උනා නම් ලංකාවේ හිටපු අසාර්ථකම නායකයෙකුට පස්සේ එන කෙනාගේ අභියෝග ගැන කියන්ඩ ඕනද?
මෙහෙම සිද්ධියක් උනා අතීතෙත්. යසලාලක තිස්ස කියල තමුන්ගේ දොරටුපාලකයත් එක්ක එක්කහු වෙලා මිනිස්සුන්ට විහිලු කරන්ඩ ගිහිං තමුන්ගෙම ඇස් රතු කරගත්තු රජ්ජුරුවෝ මතකයි නේද? ඒ උන්දැට පස්සේ ආවේ අලුත් වංශයක රජ කෙනෙක්. විජය රජ්ජුරුවන්නේ ඉඳල එහෙම නැත්තං සමහරු හිතන විදිහට පණ්ඩුකාභය රජ්ජුරුවන්නේ ඉඳල පැවතිච්ච පරම්පරාව වෙනස් කරලා ලම්භකර්ණ වංශිකයන් බලයට ආවේ ඔය විහිළුවත් එක්ක. ලම්භකර්ණ වංශිකයන් තමයි ලංකාවේ විශාල වැව් හදන්ඩ පටන් ගත්තේ. ඇත්තටම අපි පම්පෝරි ගහන මහා වාරි සංස්කෘතියේ ආරම්භකයින් ඔවුන්. එක අතකින් අර කුජීතු විහිලු කාරයෝ ටික නැති උනා කියල රටට පාඩුවක් උනේ නෑ. මේ පාරත් එහෙම වෙයිද?
යුරෝපයේ මිනිස්සු ඉස්ලාම් ආක්රමණයක් ගැන බය වෙවී හිටපු මේ කාලේ අලුත් පාප්තුමෙක් පත් කරගන්ඩ රෝමයට රැස් වෙච්ච කාදිනල් වරුන්ට නං මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්රශ්න ගැන වගේ වගක් තිබ්බේ නෑ. ඔවුන්ට වැදගත් උනේ පවුල් උරුමය. තමන්ගේ එකාට නැත්තං වෙන මොකෙකුටවත් එපා කියන චින්තනේ. රටට මොනවා උනත් තමන්ට හරියනවනං එහෙම නැත්තං තමන්ගේ හතුරාට හරි යන්නේ නැතුව තියෙනවනං ඒ ඇති කියල හිතපු අය තමයි 1455 රෝමයේත් 2019 ලංකාවේත් ඉන්නේ.
එකිනෙකාගේ බෙල්ල මිරිකා ගනිමින් හිටියේ රෝමයේ වැදගත්ම පවුල් දෙක. ඔර්සිනිවරුන් හා කොලොන්නා වරු. 1455 පාප් වරණයට රෝමයට රැස් වෙච්ච කාදිනල් වරු හිටියේ පහළොවයි කියල මම කිව්වනේ. එකෙන් හත් දෙනෙක්ම ඉතාලි ජාතිකයෝ. ඉතින් තමන්ගේ කෙනෙකුට ඔවුන් ඔක්කොම චන්දෙ දුන්නා නම් තව පිටිං හොයා ගන්ඩ ඕන චන්ද තුනක් විතරයි. මේ හත් දෙනා එක කතාවක හිටියා නම් වෙන කිසිම කෙනෙකුට පාප් වෙන්ඩ බෑ. ඒ කියන්නේ එක්කෝ ඉතාලි පාප් තුමෙක් නැත්නම් කවුරුවත් නෑ. ඒත් මේ ඔර්සිනි - කොලොන්නා වෛරය හිංදා 1455 දී අඩුම සම්භාවිතාවක් තිබ්බේ ඉතාලි ජාතික පාප් වරයෙක් පත් වෙන්ඩ. මට කියන්ඩ අමතක උනා මේ ඉතාලි කාදිනල්වරු හත් දෙනාගෙන් එක් කෙනෙක් ඔර්සිනිවරයෙක් තව කෙනෙක් කොලොන්නා වරයෙක්. ඔවුන් දැනගෙන හිටියා තමන්ගේ පවුලට හිතවත් කෙනෙක් මෙහෙම ලොකු පදවියකට පත් වෙන එකේ වාසි. ඒ වගේම තමන්ගේ හතුරෙක් හරි එහෙම හතුරෙක්ගේ මිතුරෙක් හරි මේ බලවන්ත පදවියට පත්වීමේ අවාසි.
උදාහරණෙකට ගන්ඩකෝ අපේ ලැටිනෝ ඔර්සිනි කාදිනල්තුමා. උන්නාන්සේ හිතා ඉන්නේ කාදිනල් පදවියක් කියන්නේ ඒ පවුලේ උරුමයක් කියලා. එක අතකින් වැරදිත් නෑ එහෙම හිතන එක. පහුගිය ශතවර්ෂ කීපය පුරාම ඔර්සිනි පවුලේ කාදිනල් වරයෙක් වැරදුනේ නෑ. ඔවුන් අතරින් තුන් දෙනක් පාප් පදවියටත් පත් උනා. ඒකෙන් දෙවැන්නා කොයිතරම් පගා මරුවෙක්ද කියල රෝමයේ ගල් කැටේකින් ඇහුවත් කියයි. ඔබ හිතන්නේ ඔර්සිනිවරුන්ට විතරක් කියලද ඔය පවුල් ගාය තියෙන්නේ. ඉන්ඩ ටිකක් මම තව කෙනෙක්ව අඳුන්වලා දෙනකම්...
මේ අපිව පහු කරගෙන යන්නේ ප්රොස්පෙරෝ කොලොන්නා කාදිනල්තුමා. ඔහු 1417 දී පාප් පදවියට පත් වෙච්ච පස්වෙනි මාර්ටින් පාප්තුමාගේ ඥාති පුත්රයා. ඔය පස්වෙනි මාර්ටින් පාප්තුමා වෙලා ඉන්න කාලේ එයාගේ නෑදෑයින්ට වස්තුව, ඉහල නිල තල වගේම නම්බු නාම වැහි වැස්සා.පස්වෙනි මාටින් මාමා ප්රෝස්පෙරෝව කාදිනල් ධූරයකට පත්කරන්නේ ඔහුගේ හිරිමල් යෞවන වයසේදී. හැබැයි මාමාගේ මරණින් පස්සේ ඔහුව පල්ලියෙන් පන්නලා දානවා. ඒ උනත් ඔහු නැවත ඉස්සරහට එනවා කාලයත් එක්ක. කොටින්ම 1447 ඔහුටම පාප් පදවිය ලැබෙන්ඩ ඉඩ තිබුනා තව චන්ද දෙකක් හම්බ උනා නම්. ඒත් ඔර්සිනි වරුන් අතෙයි ඒ චන්ද දෙක තිබුනේ. ඊටත් සමහරු බය උනා කොලොන්නා පාප්කෙනෙක් වෙනවට. මොකද හිටපු ගමන් තමන්ට ඕන දේ ලබා ගන්ඩ මහා ම්ලේච්ඡ විදිහට හැසිරෙන්ඩ ඔහුට පුළුවන් බව ඔක්කොමලා වගේ දැනගෙන හිටියා. මේ ඔර්සිනි - කොලොන්නා අර්බුධය තමයි සුදුසුකම් ලැබූ අලුත්ම කාදිනල් වරයා වෙච්ච ටෝමාසෝ පෙරෙන්ටුසෙල්ලි ව පස්වෙනි නිකලස් පාප්තුමා බවට හැරෙව්වේ.
මේ පවුල් යුද්දේම 1455 දීත් තිබුනා. ඒ උනත් හැමෝම හිතුවේ ඉතාලි ජාතික ඩොමෙනිකෝ කැප්රනිකා මේ පාර පාප් පදවියට පත් වෙයි කියල. කැප්රනිකා ගැන කියන්ඩ කිසි වැරද්දක් තිබ්බේ නෑ. වයස අවුරුදු 55 වෙද්දී ඔහු බිෂොප් කෙනෙක් වෙලා අවුරුදු තිහක් වගේම කාදිනල් කෙනෙක් වෙලා අවුරුදු විස්සකට වඩා කල් ගිහින් තිබුනා. ඒ වගේම ඔහු රාජ්‍ය තාන්ත්රිකයෙක්. හොඳ පරිපාලකයෙක්. විශිෂ්ට බුද්ධිමතෙක්. පෞද්ගලික ජීවිතේ ගැන කිසි කහටක් නොතිබ්බ කෙනෙක්. හරියට ශාන්තුවරයෙක් වගේ කෙනෙක්. හුගක් කෙනෙකුට කිසිම වැරද්දක් නොපෙනුණු කැප්රනිකා ට ඔර්සිනි වරු විරුද්ධ උනා. ඒකට හේතුව කොලොන්නා පරපුරේ පස්වෙනි මාටින් පාප්තුමාගේ ලේකම් වරයෙක් විදිහට කැප්රනිකා වැඩ කරලා තිබීම. මේ ඔර්සිනි විරෝධයත් එක්කම පල්ලියට ලැබෙන්ඩ හිටි ඉතාම විශිෂ්ට පාප්වහන්සේ කෙනෙක් පල්ලියට අහිමි උනා.
ඔන්න දැන් ඔර්සිනි තමන්ගේ තුරුම්පුව ඉස්සරහට ගත්තා. ඒ පියෙට්රෝ බාර්බෝ. ඔහු 1447 දී මියගිය හතරවෙනි ඉයුජිනස් පාප්තුමාගේ ඥාති පුත්රයෙක්. අවුරුදු තිස් අටක තරුණ වයසේ හිටියට පියෙට්රෝ කාදිනල් වරයෙක් වෙලා එතකොට අවුරුදු පහළොවක් සම්පුර්ණ කරලයි හිටියේ. ඔහු කැප්රනිකා තරම්ම නොවුනත් වැඩ කාරයෙක්. ඊටත් වඩා වැනීසියේත් නේපල්ස්හි රජ්ජුරුවන්ගෙත් සහය ඔහුට හම්බ උනා. එකම ප්රශ්නේ උනේ ඔහුව කාදිනල් තනතුරට පත් කරපු ඔහුගේ මාමා වෙච්ච හතරෙනි ඉයුජිනස්. ඔහුට රෝමයෙන් පලායන්ඩ උනේ කොලොන්නා වරුන්ගේ බලයට විරුද්ධ වෙච්ච හිංදා. ඒ කියන්නේ මේ පාර කොලොන්නා වරු ඔහුට විරුද්ධ වෙනවා.
තවත් ප්රශ්නයක් උනේ බර්බෝ ගේ තරුණ වයස. කාදිනල් වරු හිතුවා මේ වගේ තරුණ කෙනෙක්ව පත් කරගත්තොත් ඔහු අවුරුදු අවුරුදු හතළිහක් විතර දිගටම පාප් පදවියේ ඉඳියි කියල. ඒ කියන්නේ ඉල්ලගෙන කෑමක්!!
මේ දෙන්නම අහක් කරපුවම ඉතුරු උනේ ග්රීක ජාතික බැසිලොස් බෙසාරියොන්. ඔහු මුලින් ඔර්තඩොක්ස් ක්රිස්තියානි පූජක වරයෙක්. පස්සේ ආගම මාරු කළා. ඒ වෙනුවෙන් හම්බ වෙච්ච තෑග්ග තමයි කාදිනල් පදවිය. ඉතාලි පවුල් ගස් වලින් ප්රශ්නයක් උනේ නැති උනාට ප්රංශ කාදිනල්වරු ඔහුට විරුද්ධ උනේ බැසිලොස් තාම පරණ ඔර්තඩොක්ස් ක්රිස්තියානි සම්ප්රදායානුකූලව රැවුල වවාගෙන ඉන්න බව පෙන්නලා දීමෙන්.
පවුල් ප්රශ්න නැති, වයස වැඩි - ඒ කියන්නේ ඉක්මනින් මරණය කරා යන-, රැවුල වවන්නේ නැති කෙනෙක්ව හොයාගන්ඩයි දැන් වෙලා තියෙන්නේ. දවසින් දවස ගත වෙනවා උත්තරයක් නෑ. පාප්වරණයට ආපු කාදිනල්වරුන්ට මේ ඇතුලත් ගැට- පිටත් ගැට නාට්ටිය අප්පිරියා වෙමින් තිබුනා. ඉක්මනට ඕන මලදානයක් තෝරලා ගෙවල් දොරවල් බලා යන්ඩයි ඔවුන් හුග දෙනෙකුට ඕන වෙලා තිබුනේ.
වටේ පිටේ බලනකොට මෙන්න ඉන්නවා මේ තිස්තුන් කෝටියක් උවමනා වලට ගැලපෙන කෙනෙක්.
කවුරුවත් ඔහුට විරුද්ධ කතාවක් කිව්වේ නෑ. ඒ වගේම බුද්ධිමතෙක්. නීතිය ගැන ආචාර්ය උපාධි දෙකක් තිබ්බ, සල්ලි වලට කෑදර තියා කිසිදු උන්නතිකාමී හැගීමක් නැති, සාමයට ලැදි නමුත් තුර්කි වරුන්ගේ තර්ජනය ගැනත් තේරෙන, පල්ලියට හිතවත්, කිසිදු පවුල් ගසකට සම්බන්ධ නැති ඔක්කොටමත් වඩා වැදගත් අවුරුදු 76 ක් - හුගක් වයසට ගිය හා නිතරම රෝගී තත්වයෙන් හිටි - ඒ කියන්නේ ඉක්මනින් ස්වර්ගස්ථ වීමට නියමිත- වෙච්ච කෙනෙක් ඔවුන් අතරම ඉන්නවා කාදිනල් වරුන්ට පෙනුනා.ඊට වඩා හොඳ කෙනෙක් තව කොහෙන් හොයන්ඩද?
ඉතින් කාදිනල් බෙසාරියෝ නැගිටලා බොහොම තැන්පත් ස්ථිරසාර විදිහට කියනකොට තමන්ගේ චන්දය අලොන්සෝ බොර්ජියාට දෙනවා කියල අනිත් ඔක්කොම කාදිනල්වරුනුත් සැනසුම් සුස්මක් හෙලලා තමන්ගේ චන්දෙත් ඔහුටම දුන්නා. හැමෝම හිතුවේ බොහොම කරුණාවන්ත, කිසි ප්රශ්නයක් ඇති නොකර ටික කාලයක් ඉඳලා ස්වර්ගස්ථ වෙන්ඩ නියමිත පාප්වරයෙක් තමන් තේරුවා කියල!
ඒ කාදිනල්වරු දැනගෙන හිටියේ ඉතාම ටිකයි!!!
අද ලංකාවේ වෙන්නෙත් ආගමික, ජාතික කාරණා උඩට අරගෙන සුදුසුකම් ලත් කෙනෙක් වෙනුවට අපේ පක්ෂේ කෙනා එහෙම නැත්තං අපේ ජාතියේ කෙනා දිනවන්ඩ හදන ක්රමයක්. මං කැමති කෙනාට දිනන්ඩ බැරිනං මගේ තරහාකාරයාගේ කෙනාටත් දිනන්ඩ බැරි වෙන විදිහට උගුල් අදින එක තමයි අද කලාව.
හැබැයි මට හිතෙනවා එදා කාදිනල්වරුන්ට තිබ්බට වඩා බැරෑරුම් වැඩක් අපිට කරන්ඩ වෙලා තියෙනවා කියල. ඔවුන්ට නම් පහළොස් දෙනෙක් අතරින් අරයා මෙයා අහක් උනාමත් හොඳ වැඩ කාරයෝ තුන් දෙනෙක් ඉතුරු උනා. එයින් එක් කෙනක් තමයි තෝරාගන්ඩ තිබුනේ. හැබැයි අපිට තිස් පස් දෙනෙක් හිටියට එයින් හොඳ වැඩ කාරයෝ කියල සහතිකයක් දෙන්ඩ පුළුවන් එක් කෙනෙක් වත් ඉන්නවද? එහෙම හිටියත් ඒ අය එක්ක ඉන්න කූඩැල්ලෝ ටික අපේ ලේ ටිකත් එක්ක බොන එකක් නෑ කියල තියන සහතිකේ මොකක්ද? අර වගේ වැඩ කාරයෝ අතරින් බොර්ජියාව තෝරලා නාපු නෑම මතක් වෙනකොට අපි මේ සෙට් එකෙන් එකක් තෝරලා නාන්ඩ යන නෑම ගැන හිතා ගත්ත හැකි නේද?
මට මතක් වෙනවා කොසොල් රජ්ජුරුවෝ දැක්ක නව වෙනි සිහිනය.නිල් පාට වතුර පිරිච්ච පොකුණක් තියෙනවා. එක එක සත්තු වට වෙලා වතුර බොනවා. නමුත් පොකුණ වටේ වතුර බොර වෙන්නේ නෑ. හැබැයි කවුරුවත් වතුර නොබොන පොකුණ මැද වතුර බොරවෙලා හොඳටම.බුදු හාමුදුරුවෝ කිව්වේ මේ සිහිනයට හේතුව අනාගත පාලකයෝ ධර්මයෙන් රට පාලනය නොකරන නිසා කලකිරෙන බුද්ධිමතුන් රට හැර දාලා යනවා එහෙම නැත්තං නගරය හැරදාලා ඈත ගම් දනවු වලට යනවා කියලා. එතකොට රට මැද මෝඩයෝ පිනුම් ගහන හිංදා බොර වෙන්ඩ ඉඩ වැඩියි නේද?
එහෙම රටම බොර කරන කෙනෙක් නැතුව බුද්ධිමත්, මානුශවාදී නායකයෙක් තෝරා ගන්ඩ සියලු ලාංකික චන්ද දායකයන්ට නුවණ හා ධෛර්යය ලැබේවා!! පවුල හා රැවුල ගැන නොහිතා රටට වැඩකරන නායකයෙක් බිහි වේවා!!
කළු කපුටා සුදු වනතුරු මෝල් ගැහෙ දළු ලන තුරු
එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවා!!
/..... ඔවුන්ට නම් පහළොස් දෙනෙක් අතරින් අරයා මෙයා අහක් උනාමත් හොඳ වැඩ කාරයෝ තුන් දෙනෙක් ඉතුරු උනා. එයින් එක් කෙනක් තමයි තෝරාගන්ඩ තිබුනේ. හැබැයි අපිට තිස් පස් දෙනෙක් හිටියට එයින් හොඳ වැඩ කාරයෝ කියල සහතිකයක් දෙන්ඩ පුළුවන් එක් කෙනෙක් වත් ඉන්නවද? එහෙම හිටියත් ඒ අය එක්ක ඉන්න කූඩැල්ලෝ ටික අපේ ලේ ටිකත් එක්ක බොන එකක් නෑ කියල තියන සහතිකේ මොකක්ද?/
ReplyDeleteලොකූ, මොන එහෙකටද මෙහෙම බය හිතෙන ප්‍රශ්න අහන්නේ? කියෙව්වේ උදේ හින්දා හොඳයි. රෑක කියෙව්වා නම් නින්ද යන්නෙත් නෑ!
ලොකුූ පුලුවන් නම් යුදෙව්වෝ ගැනත් ඔවුන්ගේ පැතිරිම ගැනත් මේ වාගේම ලියන්න. ඇයි ඔවුන් යුරෝපයට සංක‍්‍රමණය වුනේ ආසියාවට නොයා?
ReplyDelete//අපි මේ සෙට් එකෙන් එකක් තෝරලා නාන්ඩ යන නෑම ගැන හිතා ගත්ත හැකි නේද?// අනේද කියන්නේ, නිසැක නෑමක් තමයි නාන්න වෙන්නේ. අනේ අම්මපා මේ වෙලාවට තමයි හිතෙන්නේ අර යුද්දේ දිගටම තිබ්බනම් මෙහෙව් අසීරුතාවෙකට පත්වෙන්නේ නෑ කියලා
ReplyDeleteඑසේම වේවා! එසේම වේවා!! එසේම වේවා!!!
ReplyDeleteමේ ලිපියෙ ඉතුරු ටිකත් ලියනවනෙ...?
https://www.buzzbookstore.com/blog/2018/6/25/the-controversial-ghost-writer-behind-alexandre-dumass-greatest-hits
ReplyDeleteබෝර්ජස් පවුල ගැන ඉතාම ලස්සන tv සීරිස් එකක් තියනවා .
ReplyDeleteThe Borgias - https://www.imdb.com/title/tt1582457/?ref_=fn_al_tt_1