සමහර නරක දේවල් වෙන්නේ හොඳට. ඔව් ටිකක් විතර බූත කියමනක් උනාට ඒක එහෙම තමයි. මං අද කියන්ඩ යන්නෙත් එහෙම සිද්ධියක්. සිද්ධියක් කීවට මේක සිද්ධි දාමයක්. හැබැයි අනන්ත සිද්ධි අතරින් සිද්ධි දහයක් දොලහක් සලකපුවම ඒක ගණන් ගත නොහැකි තරමේ සුළු දෙයක්. මේ කතාව පටන් ගන්නේ මගේ යෞවනෝදයත් එක්ක...
ඒ කාලේ මට ඉංග්රීසි කියන භාෂාව අණ්ඩර දෙමල වගේ. මට හොඳට මතකයි අට වසරේ ඉංග්රීසි පොතේ තිබ්බ පාඩමක්. ඇත්තටම ඒක කතන්දරයක්. පහුවදාට ඒ කතන්දරේ ගැන ඉස්කෝලෙදි සාකච්චා කරන හිංදා කතන්දරේ කියවගෙන එන්ඩ කියල ඉංග්රීසි මැඩම් කිව්වා. මම නවාතැන් අරං හිටපු ගෙදර අයියාගෙන් ඇහුවා පාඩම කියල දෙන්ඩ පුලුවන්ද කියල. ඔහු කැමති උනා. මම දැන් සද්ද නගල පාඩම කියවනවා.
ඔය කියන්නේ කතන්දරේ නෙවෙයිනේ? අයියා කියනවා.
මේ කතන්දරේ නෙවෙයිද?
ඔයා කතන්දරේ පටන් තැනවත් දන්නේ නැද්ද?
ඔව් මම එදා ඒ ඉංග්රීසි කතන්දරේ පටන් ගන්න තැනවත් දැනගෙන හිටියේ නෑ. කොහොම දැන ගන්ඩද...? හතර කෝරළේ ගමක ඉස්කෝලෙට හෝඩියේ ඉඳන් ගිහිං ශිෂ්යත්වය පාස් වෙච්ච හින්ද කොළඹට ආපු පොඩි එකෙක් මම. අපි ඉංග්රීසි ඉගෙන ගත්තේ ඉස්කෝලේ උගන්නපු එක විෂයයක් හිංද මිසක් වෙන අටමගලකට නෙවෙයි.
මට වෙච්ච මේ අකරතැබ්බය මම සති අන්තෙදි අප්පච්චිට කිව්වා. එයා අයිති උනේ ඉංග්රීසියෙන් ඉගෙන ගත්තු ඉංග්රීසි පත්තරේ
සතියෙම අකුරක් නෑර කියවන වෙනම පංතියකට. මං හිතුවේ එයා මට ඉංග්රීසි කියල දෙයි කියල. ඉස්කෝලේ පන්තියේ විතරක් නෙවෙයි නවාතැන් අරං හිටපු ගෙදරිනුත් වෙන අපහාස උපහාස වලින් මාව බේරා ගනියි කියල. ඒත් අප්පච්චි හිනා උනා විතරයි. ඔයා ඉගෙන ගනියි මොනවද වැදගත් දේවල් කියල....එයා
එච්චරයි. මට අප්පච්චි එක්ක ඇති උනේ තරහක්. එයා ඉංග්රීසි දැනගෙන මට කියල දෙන්නේ නෑ. මම ලෝකෙන් ලජ්ජාවට පත්වෙන එක ගැන එයා සන්තෝස වෙනවද?
ඔහොම ටික කාලයක් යනකොට 88-89 භීෂණ කාලේ ආවා.මුළු රටම
භීෂණයෙන් වෙලිලා යද්දී ඉස්කෝල වහලා දාපු හින්ද මම ගෙදර නතර උනා. එක දවසක් අප්පච්චි මට අඬගහල පොතක් දුන්නා. ඒ වෙනකොටත් ඒක පරණ වෙච්ච පොතක්. මලලසේකර ඉංග්රීසි - සිංහල ශබ්දකෝෂය! මේ පොතෙන් බල බල ඔයාගේ ඉස්කෝලේ ඉංග්රීසි පොත කියවන්ඩ. බැරි වචන එහෙම නැත්තං මේ ඩික්ෂණරියේත් හරියට තේරුම නැති වචන වෙනම පොතක ලියන්ඩ. හැමදාම හවසට මගෙන් ඒ බැරි වචන අහ ගන්ඩ!!
ඔන්න දැන් මට පේනවා මම මූණ දෙන අපහාසෙන් ගොඩ එන ක්රමයක්. දවසකට පැය හතක් අටක් මම ඉස්කෝලේ ඉංග්රීසි පොතත් එක්ක ඔට්ටු වෙන්ඩ පටන් ගත්තා. මුල් සතියෙම වගේ මට කියවන්ඩ පුළුවන් උනේ පිටු හතර පහක් විතරයි. හැබැයි අප්පච්චිට වඩා ඉංග්රීසි ඉගෙන ගෙන අප්පච්චිව පරද්දන තරහ සිතුවිල්ල මට ජීවය දුන්නා.
කාලය ගත වෙනවත් එක්කම කියවන වේගය වැඩි උනා. නොදන්නා වචන අඩු උනා. දැන් කොල්ලා ඉංග්රීසි කියවනවා දස් බස් ගලා කටේ දිවේ නොගෑවී. ඊට පස්සේ අප්පච්චි හැමදාම ඉරිදාට ගේන Sunday Times පත්තරේ කොටසක් මටත් දෙන්ඩ පටන් ගත්තා. මගේ දෙයියනේ ආපහු මම දවසට පත්තර පිටුවක් කියවන ගානට වැටිලා!!!. අලුත් වචන, අලුත් වාක්‍ය රටා, අලුත් අදහස්...කොටිම්ම ඉස්කෝලේ පාඩම් පොත වගේ සිය ගුණයක් අමාරු වැඩක් පත්තර කියවන එක. 89 භීෂණ යුගයේ අවසානය වෙනකොටත් මං පත්තර කියවනවා. ඔන්න 90-91 කාලෙදි මුළු පත්තරේම තියෙන වැදගත් ලිපි ටික දවස් දෙකකදී විතර කියවලා ඉවර කර ගන්ඩ පුළුවන් මට්ටමට ආවා. ෆුහ්...ලේසි නා ඉංග්රීසි කියවන එක...ඒත් මේ පුතය නෙවෙයි පසට අඩිය තියන්නේ!!!
දැන් මම ඕ ලෙවල් කරන කාලේ....Sunday Times පත්තරේ දවසින් කියවනවා. දැන් අප්පච්චි මට එයාගේ Readers Digest සඟරා එකතුව විවෘත කළා. අප්පා...හරි ලස්සන කතා...අලුත් වචන, අලුත් වාක්‍ය රටා, අලුත් අදහස්...හැබැයි ඉස්කෝල පොත හරි පත්තරේ වගේ හරි නෙවෙයි...හිතට අල්ලලා යන කතන්දර...ඒ හින්දම අර මුල් ආරම්භයන් දෙකේදී වගේ පටන් ගැම්ම නීරස උනේ නෑ....ඔය Readers Digest සඟරාවල අග තිබුනා නවකතාවකින් කොටසක්. මම මුලින්ම Roots නවකතාව ගැන දැනගත්තේ එහෙම. ඒ විතරක් නෙවෙයි තවත් නවකතා හුගක්. අප්පච්චි ගාව තිබ්බේ හැට හැත්තෑ ගණන් වල සඟරා. අපි මූණ දුන්න ආර්ථික ප්රශ්නත් එක්ක තවදුරටත් ඒ සඟරා ගන්ඩ අපිට පුළුවන් කමක් තිබ්බේ නෑ. ඒ හින්දම එකතු කරලා තිබ්බ සඟරා උපරිමව පාවිච්චි කරන්ඩ උනා.
ඒ සඟරා ටික කියවලා ඉවර උනාට පස්සේ අප්පච්චිගේ පොත් රාක්කෙ අදින්ඩ මට අවසර හම්බ උනා. ආදරය, ලිංගිකත්වය, තරුණ තරුණියන්ගේ සෙල්ලක්කාර ජීවිත ගැන කියවෙච්ච ශෘන්ගාර රස යහමින් තිබ්බ පොත් මට හම්බ උනේ පොත් රාක්කෙ ඇතුලට වෙන්ඩ රහස් පේළියක හංගලා තියෙද්දී. දැන් අප්පච්චිගෙයි මගෙයි අතරේ තිබ්බේ Don't Ask-Don't Tell ප්රතිපත්තියක්. මං අර කුණු රහ පොත් කියවන බව අප්පච්චි දන්නවා හැබැයි නොදන්නවා වගේ ඉන්නවා. මාත් ඒ ගැන නොකියා ඉන්නවා!!!
ඔන්න ඔහොම කාලයක් ගියා. දැන් මම ඒ ලෙවල් කරලත් ඉවරයි. අප්පච්චිම මට නුවර British Council සාමාජිකත්වය අරන් දුන්නා. ඉස්කෝලේ වගේ නෙවෙයි එක පාරකට පොත් 5 එක්ක කැසට් පීස් දෙකකුත් ගන්ඩ පුළුවන් ඒකේ සාමාජිකයන්ට. අප්පච්චි කිව්වෙම A.J. Cronin ගෙන් පටන් ගන්ඩ කියල. වදෙන් බේරෙන්ඩ බැරි කමට The Citadel, Hatter's Castle ඉඳල A Song of Six pence දක්වා ඔක්කොම කියෙව්වා. ඔන්න දැන් අවසරය තියෙනවා ඕන දෙයක් කියවන්ඩ. දැන් මම කියවන මැෂිමක් උනා. හැබැයි සමහර ප්රසිද්ධ පොත් කියවන්ඩ පටන් ගත්ත ගමන්ම එපා උනා එව්වගේ කිසි රහක් නැති හිංදා. අර Cronin ගේ පොත් මට මිනුම් දණ්ඩක් හදලා දීලා.
පේරාදෙණියේ ඉන්න කල් වැඩිපුරම කියෙව්වේ සිංහල පොත්. ඉංග්රීසි පොත් කියවීම විෂය කරුණු අඩංගු පාඨ ග්රන්ථ වලට සීමා උනා. ඊට පස්සේ රස්සාවක් හම්බ උනාම අප්පච්චි එයාගේ පොත් රාක්කෙ මට බාර දුන්නා. මට එදා දැනුනේ ගෙදර මූලිකත්වය මට හම්බ උනා වගේ. අපේ ගෙදර පොත් වලට තිබ්බේ ඒ වගේ තැනක්.
ලංකාවේදී වගේම පිටරටදීත් මම ලවක් දෙවක් නැතුව පොත් එක්කහු කරන්ඩ පටන් ගත්තා. අප්පච්චිගෙන් මට ලැබුණු එක පොත් රාක්කේ පොත් රාක්ක අටක් දක්වා මම වැඩි කළා. ඒ මේසේ උඩ, පුටු උඩ වගේම ඇඳේ මුල්ලකත් ගොඩ ගහල තියෙන පොත් වලට අමතරව!!! රුපියල් සත වලින් මායිම් නොකර බොහොම අමාරුවෙන් එක්කහු කරපු පොත් එකතුවක් දැන් මං ගාව.
ඔන්න ඔහොම ඉන්නකොට කොරෝනා වසංගතේ එනවා. අපිව බලහත්කාරකමින් ම
කොටු කරන්ඩ ඇහැට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවියෙකුට පුළුවන් වෙනවා. 88-89 දී පුංචි තුණ්ඩු කෑල්ලකින් ගෙවල් ඇතුලට ගාල් මිනිස්සු ඊට අවුරුදු 31 කට පස්සේ ඊටත් වඩා කුඩා දෙයකට බයෙන් මුළු ගැන්නෙනවා. දැන් මම මැරුනොත්
මොකද වෙන්නේ? අප්පච්චි මේ භවයෙන් යන්ඩ ගිහිං දැන් අවුරුදු දහයකටත් වැඩියි. මගේ පොඩි උන් තාම මේ පොත් තේරුම් ගන්ඩ තරම් වයසක් නෙවෙයි ඉන්නේ. ගමටත් පුස්තකාලයක් නෑ. හැබැයි තිබ්බත් ඉංග්රීසි කියවන්ඩ කැමති, කැමති උනත් පුලුවන් කී දෙනයිද තාම අපේ ගමේ ඉන්නේ? නිදහස් අධ්යාපනයේ හිරු තාම මේ හතර කෝරළේ ඈත ගම්මාන වලට පායලා නැති තරං. ඒ හිරු කිරණ හොයාගෙන ගමෙන් පිටට ඇදිලා ගිය හුග දෙනෙක් ආපහු ගමට ආවෙම නෑ. ඒ කොහොම වෙතත් දැන් කඩදාසි පොත් කියවන යුගය ඉවරයි වගේ. ඉලෙක්ට්රොනික යුගයත් එක්ක කඩදාසි පොත් අතීතයට යයිද? මම මේ එකතු කරන්නේ වැඩකට ගන්ඩ බැරි, අනාගතයේ දවසක ගිනි දෙවියන්ට පිදෙන පූජා භාණ්ඩද?
කොරෝනාවත් එක්ක ලැබිච්ච වැඩි විවේක කාලය මම ආයෙත් පිස්සුවෙන් වගේ පොත් බලන්ඩ කරනවා. මගේ ළඟ තිබුණු කියවලා ඉවර කරන්ඩ නොලැබුණු පොත් ගණනාවක් කියවලා ඉවර කරන්ඩ මේ ලැබුණු අවස්ථාව උදවු උනා. ඒත් එක්කම Netflix අර අතීතයේදී කියවපු සමහර පොත් වල අත්දැකීම අලුතෙන්ම විඳගන්ඩ අවස්ථාවක් දුන්නා. පහු ගිය මාස තුනට චිත්රපටි හතලිස් ගානක් එක්ක මාලා නාටක විසි ගණනක් බලන්ඩ පුළුවන් උනා. ඒත් ඒ හැම ප්රහර්ෂයකටම පස්සේ මට ඇති වෙච්ච ප්රශ්නේ තමයි මේ ආයෝජනයේ ප්රතිඵලය මොකක්ද කියන එක.
මම ඉස්කෝලේ යන කාලේදී ඉංග්රීසි ඉගෙන ගත්තේ සමාජයෙන් පහලට නොවැටී ඉන්ඩ. අප්පච්චිව පරද්දන්ඩ. ඒ දෙකම කර ගන්ඩ ඉංග්රීසි වලින් විතරක් බැරි බවත් තව හුගක් දේවල් ඒකට ඕන බවත් තේරෙන කොට මගේ අරමුණු වෙනස් වෙලා ඉවරයි. අලුත් අදහස්, අලුත් සංස්කෘති, අලුත් ලෝකයක් ගැන දැනගන්ඩ ඒ ලෙවල් කාලේ, රස්සාව කරපු මුල් කාලේ තිබ්බ අරමුණත් ඉංග්රීසි සාහිත්යයෙන් එහෙම නැත්තං භාෂාවෙන් විතරක් පුළුවන් වෙන්නේ නැති බවත් තේරෙන්ඩ පටන් ගන්න කොට ඒ අරමුණත් නැති වෙලා ගිහිං තිබුනා.
දැන් මොකක්ද පොත් කියවීමේ, චිත්රපටි බැලීමේ, නාට්‍ය බැලීමේ මගේ අරමුණ? මට තේරෙන්නේ නෑ. හැබැයි අද උදේ ඉඳන් මට එහෙම අරමුණක් තියෙනවා. ඒකට හේතු උනේ එක චිත්රපටියක්.. නම The Guernsey Literary
and Potato Peel Pie Society.
කතාවට මූලික වෙන්නේ ජර්මන් ආධිපත්යයට යට වෙච්ච මහා බ්රිතාන්යයට අයිති දූපතක් වෙච්ච ගන්සී වටේ. ජර්මන් හමුදාව ඒ දූපතේ ඇති කරපු හැම සතාවම තමුන්ගේ ආහාර සඳහා අල්ලා ගන්නවා. ඒ වෙනුවට දූපත් වැසියන්ට බල කෙරෙන්නේ අල වගා කරන්නයි. මේ ආහාර අහේනි කාලේ එක ඌරෙක් විතරක් රහසින් ඇති දැඩි කරන පවුලක් තමන්ගේ 'රසවත්' ආහාරය තව එක්ක බෙදා ගන්න උත්සාහ කරනවා. ඔවුන් දූපත් වාසීන් කීප දෙනෙකුට ආරාධනා කරනවා ඒ භෝජන සංග්රහයට. මේ එක් රැස්වීම ලංකාවේ පොලිස් භාෂාවෙන් කියනවා නං 'අයුතු ජන රාශියක්'. ඒ ගැන ජර්මන් හමුදාව ප්රශ්න කරන කොට මිනිස්සු කියන්නේ තමන් සාහිත්‍ය සංගමයක් කොටස් කරුවන් බවයි. එහි නම මොකක්දැයි ජර්මානුවන් අහන කොට ඔවුන් නමක් හදාගන්නවා. ඒ තමයි "ගන්සී සාහිත්‍ය හා අල පොතු පයි සමාජය'.
Pie කියන රස කැවිල්ලට කියන සිංහල නම මොකක්ද? පුඩිම නෙවෙයි...Pie, පුඩිමකට වඩා වෙනස්. Pie වලට හරියන හැමෝටම තේරෙන සිංහල වචනයක් නෑ. මට අප්පච්චිව මතක් උනා. අප්පච්චි කිව්වා වගේම හැම ඉංග්රීසි වචනයකටම හරියන සිංහල වචනයක් හෝ තේරුමක් නෑ. ඒ හින්දම අප්පච්චිගේ උපදේශය උනේ මලලසේකර ශබ්දකෝෂයෙන් Oxford Dictionary එකට පුළුවන් තරම් ඉක්මනින් මාරු වෙන්ඩ කියලයි. ඒ උපදේශය පිලි ගත්තු හින්දම මම බොහෝ කාලයකින් මලලසේකර ශබ්දකෝෂය පාවිච්චි කරලා නෑ. හදිස්සියේ ඕන උනොත් පාවිච්චි කරේ මධුර ජාලගත ශබ්ද කෝෂය. නමුත් එයත් Pie යන්නට දෙන අර්ථය කුරුළු විශේෂයක් කියන එකයි. ඒ හින්දම උදේ වරුවම මහන්සි වෙලා මලලසේකර ශබ්ද කෝෂය හෙව්වා. අනේ ඒකත් කියන්නේ "ඇතුලට කෑම වර්ග යොදා පිටි වලින් වසා පිළියෙළ කරන ලද භෝජනයක්" කියල විතරයි. Pie නොදන්නා කෙනෙකුට ඒ අර්ථ දැක්වීමෙන් ලොකු ප්රයෝජනයක් නෑ. Pie එකක හැඩය කොහොමද, රස කොහොමද වගේ වැදගත් අදහස් එකක් වත් මේ තේරුමෙන් එලියට එන්නේ නෑ.
සිංහලෙන් පයි කියල කියන එකේ වැරැද්ද මොකද්ද? වචනෙකින් වෙන්ඩ ඕන සන්නිවේදනයක්. මං හිතන දේ ඔබට තේරුම් කරන්ඩ මට හැකියාවක් නැත්නම් මං පාවිච්චි කරන වචන වලින් තේරුමක් නෑ. අපි සිංහලෙන් පයි කියන්නේ මල්ලට නැත්නම් පුරුෂ ප්රජනනේන්ද්රියට. මේ දෙකම හරි තේරුම් උනාට බොහෝ දෙනා හිතන්නේ මේ වචනය කුණු හරුපයක් කියලයි. ඒකනේ
ගණිතයේදී අපි ඉගෙන ගන්න "පයි අගය", 'ෆයි අගය' විදිහට උසුරුවන්නට උත්සාහ කරන්නේ. මෙතන කියවෙන ග්රීක π අකුර ශබ්ද කරන්නේ පයි කියලා මිසක් ෆයි කියලා නෙවෙයි. මෙහෙම ෆයි කරන්නෙම අපිට ගණිත ලෝකය ගැන අවබෝධයක් නැති නිසා. මම Pie වෙනුවට පුඩිම කියලා යෙදුවා නම් වෙන්නෙත් ඒ වගේම හරුපයක්.
Pie තේරුම් ගන්ඩ නං බටහිර සමාජය තේරුම් ගන්ඩ ඕන. අන්න ඒකටයි අපිට ඉංග්රීසි භාෂාව වැදගත් වෙන්නේ. ඕනෑම සංස්කෘතියක් තේරුම් ගන්ඩ ඒ සංස්කෘතියට අයත් භාෂාව තේරුම් ගැනීම අත්‍යාවශ්‍ය දෙයක්. ඒ අර්ථයෙන් ගත්තම ඉංග්රීසි විතරක් නෙවෙයි ඕනෑම ජාත්යන්තර භාෂාවක් ඉගෙන ගැනීම වැදගත්. එහෙම ඉගෙන ගැනීම ලේසි නෑ. ඒ අපිට ඔවුන්ගේ සංස්කෘතිය වගේම භාෂාවත් ආගන්තුක හිංදා. මම ඉංග්‍රීසි ඉගෙන ගත්තු ගමන වගේ ඒක ටිකක් කල් ගත වෙන වැඩක් වෙන්ඩ පුළුවන්. අමාරු වෙන්ඩ පුළුවන්. භාධක එන්ඩ පුළුවන්. නීරස වෙන්ඩ පුළුවන්.
හැබැයි අනෙකාගේ සංස්කෘතිය තේරුම් ගැනීමේ වැදගත්කම මොකද්ද?
අපේ අරමුණ ළිං පතුලකට වෙලා ඉන්න ගෙම්බෙක් වගේ ඉන්න එකනං කිසිම බසක් ඉගෙනීම අවශ්‍ය වෙන්නේ නෑ. ඔහේ ඇහෙන දෙයක් අහගෙන ඉඳීම සෑහෙනවා. අපිට වඩා පළල් සමාජයක් ඕන නං අසල්වැසියාගේ සංස්කෘතිය තේරුම් ගන්න එක වගේම ඔහු හෝ ඇය එක්ක සන්නිවේදනය කිරීමත් වැදගත්.
අප්පච්චි මට පියවරෙන් පියවර ජාත්යන්තර භාෂාවක දොරගුළු විවර කරලා දුන්නේ ඔහුට දිනාගත නොහැකි වූ ලෝකයක් මට විවෘත කරලා දෙන්ඩ. මම ඒ ගමන තේරුම් ගත්තේ වැරදියට. පොත් එක්කහු කරන එක නෙවෙයි ඒ ගමනේ අරමුණ...තමන් ළඟ තියෙන දේ අනිත් අයත් එක්ක බෙදා ගන්නට පාලමක් හදන එකයි නියම අරමුණ. The Guernsey Literary and Potato Peel Pie
Society. චිත්‍රපටිය කියන්නෙත් ඒ ගැනම තමයි. ඒ පැත්තෙන් හිතන කොට හරිම වටිනා චිත්‍රපටියක්.
මමත් එක්කහු කරපු දේ බෙදා ගන්න පටන් ගන්නවා අලුත් වටයකින්. කට්ටකාඩුවේ මකුළු දැල් කඩල සතියකට දෙකකට පාරක් වත් ලියන්නයි කල්පනාව. එනවා නේද මගේ මිතුරනි මගේ අට ලෝ දහමේ රස විඳගන්ඩ?
Welcome
ReplyDeleteThank you very much 'Unknown'!
Delete+++++ හැමදාම වගේ රසවත් සහ හරවත්. ඔබේ ලිපි වලින් දන්නා දේ ගැන නොදන්නා බොහෝ දේ ඉගෙනගෙන තියෙනවා.
ReplyDeleteදන්නා දේ ගැන නොදන්නා දේ...හරි ලස්සන යෙදුමක්. ඔබ වඩා සුපරික්ෂාවෙන් බැලුවහොත් සත්‍යය නිරායාසයෙන්ම ඉස්මතු වී පෙනේවි...මම ලඟදි ඉගෙන ගත්තු තවත් යෙදුමක්...දන්නා දේ ගැන නොදන්නා දේ තව ඉතුරු වෙලා තියෙන්නේ අපි හොඳින් නොබලන නිසාද?
Deleteඅන්න හරි. මගේ කොළඹ ගමයා එකේ ලිවිම මම නතර කලේම නැහැ. අනිත අය ෆේස්බුක් ගියත් මම ලිව්වා නවත්වන්නේ නැතිව. ඔයාගේ අප්පච්චි නියමයි. හරියටම අවශ්‍ය වැඩේ අවශ්‍ය වෙලාවට කරලා තියෙනවා. පුතාට ඒ දුන්න පාඩම . මම අවුරුදු අටේදී විතර ඩීමන් ආනන්දගේ පොතක හම්බ වෙලා කියවනවා. ගෙදරට ආපු කෙනෙක් ඒක පෙන්නලා තාත්තට. තාත්ත කිව්වේ ඔහේ කියවපු දෙන. එයට සමහර දේ තේරෙන්නේ නැහැ කියල මම දන්නවා . එයා කියවන්නේ කියවීමට තියන ආසාවට . තාත්තා මාව පුස්තකාල දෙකක සාමාජිකත්වය අරන් දුන්න. මට අවුරුදු දාහතර වගේ වෙනකොට. මම මගේ ළමයින්ට දුන්නෙත් ඒ දේම තමයි. කියවපල්ලා, ඕන දෙයක් ඉගෙන ගනිල්ලා කියල. මට දුක උන්ට සිංහල බැරි එක. උන් දෙන්නම මටබනිනවා ඒකට . හරියට ඉගැන්නුවේ නැහැලු . හැබැයි දෙන්නටම ජර්මන් සහ ඉංග්‍රීසි මව් බස වගේ පුළුවන්.
ReplyDeleteස්තූතියි...සිංහල බ්ලොග් කලාවේ යම් අවගමනයක් තියෙනවා කියල චෝදනා කරමින් ඉන් ඈත් වෙන එක අපේ පුරුද්දක් වෙලා වගේ. Facebook පරිශීලකයින් වැඩිවීමත් එනිසාම ප්‍රතිචාර වැඩිපුර ලැබීමත් බ්ලොග් වලින් Facebook වෙත යන්ඩ හුග දෙනෙකුට උත්තේජනයක් සපයනවා. ඔබ කියන දේ හරි අප්පච්චිගේ ජීවිතේම හරියට කලින් සැලසුම් කරලා රඟ දක්වපු නාට්‍යයක් වගේ. මට හිතා ගන්ඩ බැරි ඔහු කොහොම අනාගතය දැක්කාද කියන එක.
Deleteජර්මන් බස වගේම අනෙකුත් ජාත්‍යන්තර භාෂාවනුත් දැනගැනීමෙන් නපුරක් නං වෙන්නේ නෑ...ඒත් අර බුදු හාමුදුරුවෝ කිඹුල්වත් පුරයෙන් හමන සුළඟ පවා සැපදායකයි කිව්වා වගේ සිංහල බස තරම් මිහිරි මට නම් නෑ.....
මෙහෙ ඉන්න අම්ම තාත්ත දෙන්නම සිංහල වෙන සමහර පවුල් වලත් ළමයි සිංහල කතා කරන්නේ නැහැ. මම ට්‍රයි එකක් දැම්මා පුංචි කාලේ . උන්ට තවම ඔය නිල් අහස් තලේ වගේ සින්දු හෙම මතකයි. පොඩි උන්ම තමා කීවේ ලංකාවට ගියත් කවුරුත් කතා කරන්නේ නැත්නම් මොකටද කියල. උන්ට අප්සෙට් මම ලියන ඒවා කියවන්න බැරි කමට. ඕව තමා අතුරු ප්‍රශ්න.
Deleteආ ඒ අයට සිංහල උගන්නන්ඩ ඕන නං පොඩි උප්පරවැට්ටියක් තියෙනවා...කියන්ඩ මේ ඇති පුරාණ රහස් භාෂාවක් ය...දැනට මේක පාවිච්චි වෙන්නේ නිධන් තියෙන තැන්, අභිරහස් මාළිගා, වගේ දේවල් ගැන තොරතුරු නොදන්නා අනාගත පරම්පරාවකට සම්ප්‍රේෂණය කරන්ඩ විතරයි කියල....මාස දෙකෙන් සිංහල ඉගෙන ගනියි...ලංකාවේ දී නම් ඔය වැඩේ හරියනවා...ඉත්තෑ ගුලක් පෙන්නලා කිව්වොත් මේ රාවණා හිටපු ගුහාවක් ය කියල පහුවදා ඉඳන් ලොකු ලොක්කොත් ඒක පිලි ගන්නවා. අන්න ඒක තමයි බටහිර සමාජයෙයි මෙහෙයි වෙනස....අබිරහස්, ත්‍රාසජනක අද්භූත දේ හොයන්ඩ ඔහේ තරුණ කාලේ තියෙන උවමනාව මෙහෙ මැරෙන කල්ම තියාගෙන ඉන්නවා!!!
DeleteHarawath lipiyak asawen kiyaweemata haki widihata dashaka thunakatath wada awaranaya wenna liweema apooru hakiyawak!
ReplyDeleteස්තූතියි සරත් තුමනි. ඔබතුමාගේ දිරි ගැන්වීම ඉතා වටිනවා.
Deleteලොකූ, වාසනාවන් වැඩියෙන් ලියන්න හිතපු එක ලොකු දෙයක්.
ReplyDeleteබලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවන් වහන්සේ වගේ උත්තමයෙකුටත් අන්තිම කාලේ කියවුනා 'පොත් ටික අත හරින්න අමාරු' බව. මටත් දාලා යන්න දුක ඒවා තමයි.
තව බලන්න තියෙන ෆිල්ම්ස්. ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න ඒවා 200ක් විතර. එහෙම එකතු වුනේ නම් බ්ලොගය ලියන නිසා.
පොස්ටුව ගැන නම් ලියන්න හිතුවේ වචන දෙක තුනයි. ඒ ඔබතුමා මගේ හිතත් හොඳටම කළඹපු නිසා - ලියන්න ගියොත් අගක්-මුලක් නැති වෙන බව දන්නා නිසා.... දන්නෙම නැතිව ඒ පඹ ගාලේ පැටලුණා....
කමක් නෑ. මෝඩකම්- දුර්වලකම් එළි වුණාම ටික-ටික හරි එව්වා අඩුවෙලා යනවනෙ....
ලොකා...කරපු කියපු මෝඩකම් ගැන නම් තව කප්පරක් ලියන්ඩ පුළුවනි. ඇත්තටම මේ පොත් වලට අපි මොකද කරන්නේ? පේරාදෙණියේ ප්‍රධාන පුස්තකාලයේ තිබ්බ කුරුටු ගීයක් මතක් වෙනවා...පුස්තකාල යනු තමන් වසඟයට ගන්නා ප්‍රාණීන් ගෙන් තමන් වැනිම ජීවීන් නිපදවන්නා වූ ෆොන් නියුමාන් යන්ත්‍ර විශේෂයකි...අසුවෙන්නට පෙර බේරෙන්න!!
Deleteපයි එකක් වගේ උඹේ කතාව රහයි මල්ලි.
ReplyDeleteඔය කියන්නේ කන Pie වෙන්ටැති නේද හැලපයියේ?
Deleteබෙදන්නත් ළඟ තීනදේ දියුණු කරගන්න ඕනෑ ලොකු.
ReplyDeleteහැබෑව...හැබෑව...දැනුමට ලෝභ කිරීම නවත්තලා දැනුම ලාභ කරන වැඩක් පටන් ගන්න උත්සාහ කරමුද අපි ඔක්කොම එක්කහු වෙලා.
Deleteලියන්න ලියන්න...අපි කියවනව කට්ටේව...😍
ReplyDeleteචෙෆාකි තුමා ඇත්තටම pie වලට සිංහල වචනයක් තියෙනවද? ස්තූතියි ඔබේ දිරිගැන්වීමට.
Deletelooking forward !
ReplyDeleteIts my pleasure to write to you and other readers Thusitha
Deletehttps://lankacitizens.com/wp-admin/post.php?post=576&action=edit
ReplyDeleteමේ සබැඳියට යෑමට මුර පදයක් ඉල්ලන්නේය මාතලන් ගුරුතුමනි....
Deleteayya wesak sanda rahas kiwwe na
ReplyDeleteකිව්වා කිව්වා රන්සකු මලයා...ඇහුනේ නැත්නම් මම ආයෙත් කියන්නම් ලබන සතියේ....
Deleteමම අයි.ටි.එන්. ඉස්කෝලේ බැලුවා.
ReplyDeleteඒකට ආපු අධ්‍යාපන විශේෂඥයෝ කියනවා.
හැම ලමයම සමාන නෑ. සමහරු ගණිතයට දක්ෂයි.
සමහරු සංගීතයට දක්ෂයි.
සමහරු ගොවිතැනට දක්ෂයි.
ඒ නිසා තමන්ගේ සහජ දක්ෂතා හඳුනාගෙන ඉදිරියට යා යුතුයි කියලා.
උදාහරණයක් හැටියට විවිධ සත්තු ඉන්න පින්තූරයක් පෙන්නලා. මේ අයට ගහකට නඟින්න කියලා හොඳම ගස් නඟින්නාට පලමු තැන දීම අසාධාරණබවත් පෙන්නුවා.
හැබැයි,
යම් සිංහල ළමයෙක් බයෝ වලට පට්ට දක්ෂයි. හැබැයි ඉංග්‍රීසි වලට පට්ට අදක්ෂනම් එයාමොකද කලයුත්තේ කියන ප්‍රශ්නෙට ඇහුවා නම් ඒ විශේෂඥයෝ මොකද කියන්නේ කියලා හිතාගන්න බෑ.
===================
පහුගිය දවස්ටිකේ මම පොඩිකාලේ බලපු Small Wonder කතා පෙල නැවත බැලුවා.
අවුරුදු විස්සට ලංකාව කොච්චර දියුණුවෙලාද කියලා හිතුනා
මට ෆේවරිට් බාසාවක් නෑ. වචන, වචන විවිධ ලෙස හැසිරවීම, වෙනස් තේරුම්, ප්‍රභවය වගේ හැමදේටම හුඟක් කැමතියි. සමහර දේවල් ඉන්ග්‍රීසියෙන් කියවන්න කතා කරන්න කැමතියි. සමහර ඒවා සින්හලෙන් කරන්න කැමතියි. දෙමල බැරි එක ගැන ලැජ්ජයි වගේම පාඩුවකුත් තියනව මට. යුරෝපීය බාසා ( විශේෂයින් ඉන්දු යුරෝපීය පවුලේ ලතින් වලින් එන ) ඉගන ගන්න ආසයි. තාම පුලුවන් ප්‍රන්ශ, ජර්මන්, ස්පාඤ්ඤ/පෘතුගීසි වචන අතලොස්සක් පමණයි. පෘතුගීසි ඉගන ගන්න හදනවා, කම්මැලිකම වගේම ඉන්ග්‍රීසි සින්හල පොත් තිබීම නිසා ඒවා කියවීම තමයි බාධාව
ReplyDelete“මට දෙමල බැරි එක ගැන ලැජ්ජයි“
Deleteමේක අළුත් විලාසිතාවක්
:D
මට නම් ඇලුත් නෑ. උසස් අධ්‍යාපනයෙදි, කඩවලදි සේවා ස්තානයේදි, තමිල්නාඩුවේදි, ගෙදර සේවකයින් සමග, තේ හා රබර් වතුවලදි, නුවරඑළිය , හැටන් හා උතුරු නැගෙනහිරදි ලැජ්ජාවීම හා ඊටත් වඩා අවාසි වීම වෙලා තියනව දැන් අවු 35ක තිස්සෙ විතර. ඒක දේසපාලන හෝ ජාති ආගම් දෙයක් නෙමෙයි, පුද්ගලික දෙයක්
DeleteThis comment has been removed by the author.
Deleteදෙමළ බස කතා කරන්ඩ, කියවන්ඩ බැරිවීම ගැන නම් මටත් ලැජ්ජයි. දෙමළ කියන්නේ මහා සාහිත්‍යයක් ලොවට දායාද කරපු බසක්. සීලප්පදිකාරම් කවි පොත දෙමළෙන් කියවන්ඩ තිබ්බනම් කොච්චර අපූරුද? සංගම් යුගයේ සාහිත්‍යය ගැන අපි මොනවද දන්නේ ? මදුරෙයි වල මීනච්චි අම්මාන් කෝවිල ළඟ ඉඳන් පාරේ යන එන මිනිස්සුත් එක්ක කතා කරන්ඩ තිබ්බනම් ඔවුන්ගේ භක්තිය ගැන...ඒ අපූරු ගල් කැටයම් කරපු ආවේශය අඳුන ගන්ඩ ඕන නං ඒ භාෂාවෙන් ඔවුන් එක්ක කතා කරන්දම ඕන...චෙන්නායි වල දූවිලි පිරුණු වීදියක වගේම වෙරළ අසබඩ සුන්දර සැන්දෑවකදීත් දෙමළ බස නොදන්නා කමේ අඩුව අප්‍රමාණව දැනෙනවා...තමිල්නාඩුව එපා ත්‍රීකුණාමලේ දී, යාපනේදී, කිලිනොච්චියේදී දැනෙන තනිකම!!! සිංහල ජාතියක් විදිහට අපිට දෙමළ පුළුවන් උනානං හුගක් ප්‍රශ්න ඇවිලෙන්නේ නැතුව විසඳ ගන්ඩ තිබ්බා....දෙමළ බස ඉගෙන ගන්ඩ තියෙන උනන්දුව අලුත් විලාසිතාවක් නම් කොච්චර හොඳද?!!
Deleteඅපේ මහ එවුන් මගේ කොන කපලා නෑ. මට හරි ලැජ්ජයි ඒක ගැන.
Deleteජර්මනියේ නාසි වාදය වගේ දෙමෙල්ලු අතරත් දෙමළ ජාතිවාදයක් තියෙනවා.
Deleteඋදාහරණයක් හැටියට ගජිනි චිත්‍රපටය සලකන්න පුළුවන්.
මුල් ඉංග්‍රීසි චිත්‍රපටය බොහෝ දුරට විද්‍යා ප්‍රබන්ධයක්.
හින්දි අනුවර්තනය, ගීත, නැටුම්, ප්‍රේම ජවනිකා තියෙන එකක්.
දෙමල අනුවර්තනය තුල හින්දි එකේ කොටස්වලට අමතරව,
දෙමෙල්ලු කියන්නේ මහා ශ්‍රේෂ්ඨ ජාතියක්ය කියලා ඇඟවෙන දෙබස් කිපයකුත් දකින්න පුළුවන්.
ජර්මන් ජාතිවාදය නැතිකරන්න කොමියුනිස්ට් කාරයෝ අපූරු වැඩක් කලා. සෝවියට් හමුදාව ලවා වයස 8 -80 ජර්මානු ස්ත්‍රීන් ලක්ෂ 20ක් දූෂණය කෙරෙව්වා.
සමහරවිට ජාතිවාදයක් මර්දනය කරවන්න ඒ වගේ ක්‍රමත් ප්‍රෙයා්ජනවත් වෙන්න පුළුවන්.
භාශාව කියන්නේ දෙමළ ජාතිවාදියන්ගේ ආයුධයක්. ඒ නිසාම එය පරාජය කල යුතුයි.
ඇමරිකා ඔරුමත්තුනාඩුවේ සුදු මිනිසුන්ගේ ජනගහනයෙන් 40% ජර්මානු සම්භවයක් ඇති අය බව අසා තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නෙත් එහෙම කෙනෙක්.
ඒ ජර්මානුවන් ඉංග්‍රීසි කතා කරන්න පුරුදුකරගත්ත ආකාරය හොයා බලන්න වටින දෙයක්.
ඒ දැනුම අපිටත් ප්‍රෙයා්ජනවත් වෙයි.
සිංහල මිනිහෙක් දෙමල ඉගෙන ගන්න අවශ්‍ය දෙමලෙකුව සූරාකන්න එම දැනුම ප්‍රෙයා්ජනයට ගත හැකිනම් පමණයි.
“මට දෙමල බැරි එක ගැන ලැජ්ජයි“ මේ කියමනේ ලැජ්ජාවට හේතුව මොකක්ද කියලා හිතන්න අමාරුයි.
//ලැජ්ජාවට හේතුව මොකක්ද කියලා හිතන්න අමාරුයි.//
Deleteලැජ්ජාව නොහැකියාව ගැන. මේතරම් පොඩි රටේ, මේතරම් ආශ්‍රය හා ගනුදෙනු කරලාත් අනිත් බාසාව බැරි එක ගැන. සිංහල බැරි දෙමල අයත් ලැජ්ජා වෙන්න ඕනෙ. ඇත්තම කියනවා නම් මේතරම් ඉස්කෝල හා ටියුශන් උගන්නලත් ඉන්ග්‍රීසි බැරි අයත් එහෙමම තමයි
//සීලප්පදිකාරම් කවි පොත දෙමළෙන් කියවන්ඩ තිබ්බනම් කොච්චර අපූරුද?
Deleteමේක දෙමල මිනිහෙක් දීපු ලනුවක්. මුස්ලිම් අයත් ඔය වගේම කතා කියනවා, උදාහරණයක් විදියට ඌරුමස් කොච්චර අගුණද කියලා මුස්ලිම් කෙනෙක්ගෙන් අහන්න, ඌ තිස්ස ජනනායකටත් වඩා හොඳට ජීව විද්‍යා පාඩමක් කියලා දෙයි.
සංගම් යුගයේ සාහිත්‍යය සිංහලට පරිවර්තනය කරන්න බැරිකමක් නෑ. හරිනම් ඒවා කරන්න ඕනේ තමන් ජාතිවාදී නෑ කියලා කියන දෙමළ මිනිස්සුමයි.
තව දෙයක් මතක්වුනා, පලමු ලෝක යුද්දෙන් පස්සේ ප්‍රංශය සහ ඇමරිකාවේ ප්‍රාන්ත කීපයක සහ තවත් යුරෝපා රටවල ජරිමන් බාශාව තහනම් කෙරුනා. මතකෙන් ලිව්වේ, වරඩි විස්තර නෙට් එකේ ඇති.
හරියටම හරි ලොකු... උඹැහැ මට තියෙන අභියෝගයක් ජයගන්න මග පෙන්නුවා. මම පරක්කු වැඩි උනත්, ඔය පාරෙ දිගටම යනව. ඒ වගේම මගෙ පුතාටත් ඒ පාර පෙන්නව.
ReplyDeleteපොත පතේ සාහිත්‍යයෙ අත්විඳින දේ බෙදාගැනීමට වඩා වටිනව, තමන්ට විවර වුණු පාර බෙදා ගැනීම.
ඒක ගැන මගේ ගෞරවය පිළිගන්ඩ.
අභියෝග තියෙන්නම ජය ගන්ඩ තමයි සහෝදරයා...අභියෝගම තමයි ජීවිතේ ලස්සන කරන්නේ....ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට...අපි පස්සේ දවසක හම්බ වෙමු...මම ඔබට බුරුම ජනකතා පොත දෙන බව පොරොන්දු උනා. ඒත් තවම මට ඒක හොයා ගන්න බැරි උනා පොත් රාක්ක අතරේ...ඉතින් පොරොන්දු ඉටු නොකළ මම කොහොමද ඔබේ ගෞරවය පිලි ගන්නේ?
Deleteපොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා.
ReplyDeleteවිහිළුවක් නෙමෙයි.
වෘෂණ කියන වචනෙට තියෙන සිංහල (හෙළ) වචනය මොකක්ද?
මහාචාර්ය දයාරෝහණ අතුකෝරළ කියනවා "ඉගෙනීම ආකාර තුනකට වට්ගී කරණය කල හැක.
ReplyDelete1. විධිමත් අධ්‍යාපනය
2. අවිධිමත් අධ්‍යාපනය
3.නොවිධිමත් අධ්‍යාපනය කියලා.
මේ සමාජය තුල දැනුම එක් කරගත් සියලු දෙනා තම දැනුම එක් කර ගත් මාර්ගය මේ ආකාර තුනෙන් එකකට වැටෙනවා.
ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්නට ගොස් ලජ්ජාවට පත් වන්නේ "විධිමත් අධ්‍යාපනය " තුලින්. ඔබගේ ආදරණීය පිය තුමා ඔබව යොමු කරවන්නේ "නොවිධිමත් අධ්‍යාපනය" ට. ඔබගේ උසස් පෙලින් පසුව පිය තුමා ඔබව යොමු කරණ්නේ "අවිධිමත් අධ්‍යාපනය" ලබන්නට බ්‍රිතාන්‍ය කවුන්සලයට.
මෙසේ ඔබව හරි තැනට යොමු කරවීමට පියතුමා දැනුම ලබා ගත් ආකාරය කුමක්දැයි අපට වර නගන්නට බැහැ. එය "ඉව" විය යුතුය.
කොහොමත් පිය වරුනට තම දරුවන් පිළිබඳව තියුණු ඉවක් ඇත. ඔබ මේ පෝස්ටුවෙන් කුමක් කියන්නට අදහස් කලත් මා ග්‍රහනය කර ගත්තේ ඔබගේ පිය තුමා සතුව තිබුණු "තියුණු ඉවෙහි" දිග පළලය!
ඒ මමද තාත්තා කෙනෙකු නිසා විය හැක.
දරුවන් ලෝකයේ මොන කෙළි කාරයන් උනත් තාත්තාට ඌ එක්කෝ "ලොකු කොල්ලාය"! නැතිනම් "මද්දුමයාය"!! එහෙමත් නැතිනම් "හීන් එකා" හෝ '"පොඩි එකා"ය.!!!
එකසිඅය ගානට සමා වෙන්න ඔබ කියන්නට ගිය කථාවේ පළල මෙසේ වෑයෙන් රැහැලා ඔබගේ ආදරණීය පියතුමා දක්වීමට ඊ හිසක් හැදුවාට!
"ඒත් ඒ හැම ප්රහර්ෂයකටම පස්සේ මට ඇති වෙච්ච ප්රශ්නේ තමයි මේ ආයෝජනයේ ප්රතිඵලය මොකක්ද කියන එක."
ReplyDeleteඒ ආයෝජනයේ ප්‍රතිඵල ඔබ කෙසේවෙතත් බ්ලොග් එක කියවන අපිනම් යහමින් ලබනවා. එක්රැස් කරගත් දැනුම අප හා බෙදාගන්නවාට තුති.