වසන්ත කාලේ පායන පුර හඳ කියන්නේ දකින්ඩම ඕන කාරණයක්. ඊට වඩා ලස්සන හඳක් මම දැකල තියෙන්නේ අවුරුදු විස්සකට විතර ඉස්සර පේරාදෙණියේදී. ඒ මාර්තු මාසේ පැහැදිලි අහසක් තිබ්බ රැයක්. හන්තාන කන්ද උඩින් කළා දොළොසක් විතර පිරුණු හඳක් නැගගෙන ඇවිත්. මම මනෝරත්න මහත්තයාගේ අන්දරේලා බලනවා එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයෙදි ඒ කියන්නේ සුප්රසිද්ධ පේරාදෙණියේ වලේ දි. සීතල හුළඟක් හමාගෙන යන්නේ හරියට මේ මනු ලෝකෙට බැහැලා අන්දරේලා නාට්යය බලන්ඩ බැරිවෙච්ච දුකට අර හඳ සුසුම් ලනවා වගේ. ඒ හුළඟ සීතලයි. වල අසබඩින් ගලාගෙන යන මහවැලියේ
වතුර ගලන්නෙත් හරියට අමරදේව මහත්තයා ගායනා කරනවා වගේ 'දහසක් අපගේ ප්රාර්ථනා' එක්කහු කරගෙන වගේ.
අදත් එහෙම රැයක්. කඳු මුදුනින් ලස්සනට හඳ පායලා. කොහෙන්දෝ එන සීත සුළං රැල්ලක් ගත කුල්මත් කරනවා. මොනවද මේවගේ කොරෝනා කාලේ නිවාස අඩස්සියේ ඉන්න දවසක, ලස්සන හවස් යාමෙක වෙලාවක ඉටු කරගන්ඩ තියෙන මහාවැලිය මහා ගඟ උතුරා යන තරමේ ප්රාර්ථනා? අනේ මට ඒ ලස්සන ගැමි ඌරුවට ගැයෙන කවියක් අහන්ඩ තියෙනවා නං ලස්සන බෙර පදේකුත් එක්ක....මම දෑස් පියා ගන්නේ ඒ රසය විඳින්ඩ.
තිරය කොහොමටත් විවර වී ඇත. ගැමි නාටකයක හෝ ශාන්තිකර්මයක පරිසරය රඟමඬලෙහි දිස්වෙයි . ගැමියෝ සන්සුන් විලාශයෙන් යම් යම් වතාවන්හි යෙදෙති. මල්පැලක් සහ අයිලයක් රංගාලංකරණ ලෙස දිස්වෙයි. බෙරකරු බෙරය වයමින් වටයක් ගමන් කරයි. මදි වයසේ ගැමියෙක් කඩිනම් ගමනකින් ඉදිරියට එයි.
බෙරකරු: ආයිබෝං කිව්වා මහප්පෙ!
ගැමියා: මහප්පෙ? අපූරු පුතයෙක්නෙ බොල...මගෙන් අහගන්ඩ එපා ඉතිං...
බෙරකරු: නෑ...නෑ...මං කිව්වේ මේ බාප්පේ කියල...
ගැමියා: බාප්පෙ? හුප්පෙ! [ පිටවීමට සැරසෙයි]
බෙරකරු : [ඔහුව වළකමින්] අප්පච්චියේ! කේන්ති යනවනේ බොහෝම
ගැමියා: බොහෝම නෙවි. ඔහොමද කතා කරන්නේ? මහප්පෙ - බාප්පෙ - අප්පච්චියෙ...
බෙරකරු: ය....ක්...කෝ! හැබෑ නේන්නම් මේ අපේ රත්තරං කට්ටකාඩුවේ ලොකු මලයනේ
ගැමියා: [යටැසින් බලමින්] අයියන්ඩියේ මටද කතා කළේ?
බෙරකරු : නැතුව නැතුව? අපේ රත්තරං ලොකු මලයට අර වෙන කාටද?....එහෙම
නෙවි..කොහෙදෑ මේ ආතා බූතා කඩා ගෙන?
ගැමියා: ආතා බූතා නෙවෙයි මම මේ යනවා අපේ ජයලත් මනෝරත්න මහත්තයා වෙනුවෙම්ම හදලා අනික් නළු නිළියොත් එක්ක එක්කහු වෙලා බොහොම මහන්සියක් අරං පෙන්නන අන්දරේලා නාට්යය බලන්ඩ
බෙරකරු : හපොයි දෙයියනේ!
ගැමියා: ඇයි? මොකද? මොකද හපොයි දෙයියනේ ගාන්නේ?
බෙරකරු : එතුමා මේ ලෝකේ දාලා ගියානේ දැන් මාස තුනකට කලියෙන්...
ගැමියා: ඒ කිව්වේ?
බෙරකරු : ඒ කිව්වේ...ඒ මහා කළාකාරයා අභාවප්රාප්ත උනා කියන එකයි!
ගැමියා: එහෙම කොහොමද?
බෙරකරු : ඕනෑම කෙනෙකුට ඉතිං ඒ දේ වෙනවනේ ලොකු මලයෝ!
ගැමියා: එතකොට දැන් කොහෙද එතුමා ඉන්නේ?
බෙරකරු : ඒක ඉතිං මං කොහොමෙයි දන්නේ? මට චුතුපපාත නුවණ තියෙන එකක්යැ!
ගැමියා: ඉන්ඩ බලන්ඩ...අපි නිකමට හිතමු. මනෝරත්න මහත්තයා වගේ ලංකාවේ නාට්‍ය කලාවට මහාමේරුවක් තරමේ සෙතක් ශාන්තියක් කරපු උත්තමයෙක් නරක තැනක උපදින්ඩ හේතුවක් නෑ. හරිය?
බෙරකරු : හරි!
ගැමියා: එහෙනං එතුමා යන්ඩ ඇත්තේ දිව්‍ය ලෝකෙකට නැත්නම් බ්රහ්ම ලෝකෙට?
බෙරකරු : ඇයි මනුස්ස ලෝකේ?
ගැමියා: මේ කොරෝනා වසංගත තියෙන, තුන් බියෙන්
බිරාන්ත වෙලා ඉන්න විශාලා මහනුවර වගේ තියෙන අකරහනි කාලෙක උන්නැහේ මේ ලෝකෙ
උපදින එකක් නෑ. හරිය?
බෙරකරු : හරි...හරි...!
ගැමියා: එතුමා හොඳ නිර්මාණ කාරයෙක්. හරියට සිංහල නාට්යය කියන කළුවර අහසට පායපු තරුවක් වගේ... මතකනේ ගුරු තරුව! [පසුබිමින් ගායනයක් ඇසේ]
සඳ නැති ආකාසේ
තනි එළියකි පෑවේ
කුමුදාකාරයකි
පංතිය මේ පොඩි
ගුරු තරුවක් පායා සඳසේ
සඳ නැති ආකාසේ....
ගැමියා: ඉතින් එච්චර විශිෂ්ට කළාකාරයෙක් වෙන කවුරු හරි හදල දීපු විමානෙක
ඉන්න එකක් නෑ.
බෙරකරු : එහෙනං?
තමන්ම එකක් හදා ගනී!!
බෙරකරු : එහෙම තැන් තියෙනවද හැබෑට?
ගැමියා: මතකද අපි දහම් පාසලේදී ඉගෙන ගත්තේ... තමන් විසින් නිර්මිත කරගන්නා වූ ශ්රී සම්පත්තියෙහි ඇලෙන හෙයින් එහි වසන දෙවියෝ නිම්මාණරති නම් වෙත්. මේ නිම්මාණරති නම් දෙව්ලොව තුසිතයට යොදුන් දෙසාළිස් දහසක් මතුයෙහි පිහිටා ඇත. මනුෂ්‍ය ගණනින් අටසියයක් අවුරුදු එහි එක් දිනයකි. එම ගණනින් අට දහසක් අවුරුදු නිම්මාණරති දෙවියන්ගේ ආයුෂ වන්නේය. එය මනුෂ්‍ය ගණනින් අවුරුදු දෙසිය තිස් කෝටි සතලිස් ලක්ෂයක් වේ.
එතුමා මේ ලෝකෙන් ගිහින් කොච්චර කාලයක් කියලද කිව්වේ?
බෙරකරු : [ඉකි ගසමින්] අප්රේල් දොළොස් වෙනිදාට මාස තුනක් වෙනවා!!
ගැමියා: මාස තුනක්! මෙහෙ අවුරුදු අටසීයක් එහෙ දවසක් නං මෙහෙ මාස තුනක් එහෙ තප්පරයයි!! උන්නාන්සේ එහෙ ඉපදිලා තප්පරයයි...අපි දැන්ම ගියොත් හම්බ වෙන්ඩ පුළුවන් වෙයි...
වේදිකාවේ පසුබිම අඳුරුය. දිව්‍යභවනයක ඉපදුනු මනෝරත්න නම්
දිව්‍යපුත්‍රයා දෙව් අසිරි විඳිනු පෙනේ...
[උගුර පාදමින්] මේ..අවසර දෙවෝත්තමයාණෙනි... ඔබතුමාද මනෝරත්න
කියන දිවය පුත්‍රයා?
[ගරු ගාම්භීර ලෙස] ඔව්...මම තමයි..ඇයි?
අපි...අපි...අපි...මේ ලංකාවෙන්...
ආ...කොච්චර දෙයක්ද? මං මේ එහේ ඉඳල ආව ගමන්මයි...දැන ගන්ඩ
ලැබිච්ච එකම කොච්චර දෙයක්ද? ඉතින් මොකද මේ පැත්තේ? කොහොමද එහෙ වාස දේස?
අපිට නං ඉතිං ටිකක් අමාරු කාලයක් ලබලා දෙවියනි!
ඔව්..මං දන්නවා...කොරෝනා ලෙඩෙයි ඒ එක්ක ආපු අග හිග කමුයි
නේද?
ඔබතුමා කොහොමද එව්වා දන්නේ? ඔබ තුමා එහෙන් චුත උනාට පස්සෙනේ
ලෙඩේ බෝවුනේ..
අමතකද මම කිව්වේ තලමල පිපිලා නාට්‍යයේ දී..
අපි පොළොවෙන් ඉහළට
අඩි තුන හතරක
ඉන්නා විට සැරසීලා
ඔතනට නොපෙනෙන සොඳ
මනහර දසුනකි
නිබඳව මෙතැනට පෙනෙනා..
ගැමියා: හැබෑ නේන්නං...අඩි තුන හතරක් නෙවෙයි මෙතැන යොදුන් වලින්ම
42000 උසයි නොවැ!! ඉතින් නොපෙනී තියෙයිද නේ?
බෙරකරු : එහෙනං...මෙතැන නෙලුං කුළුණටත් වඩා උසයි නේ!!
එතෙන්දි මම කිව්වේ භෞතික උස ගැනම නෙවෙයි...අනිත් සමාජයට වඩා
ඉදිරි දැක්මක් තියෙන්ඩ ඕන කලාකාරයෝ වෙච්ච අපි ගැන!
බෙරකරු : ඒ කිව්වේ? මට නං හාං කවිසියක්වත් තේරුනේ නෑ ආයිබෝං ආය මොකටද
බොරු කියන්නේ!
ඒ කියන්නේ කලාකරුවාට තියෙනවා ලොකු සමාජ වගකීමක්. මොකද කලාව
තියෙන්නේ මිනිස්සුන්ගේ ඔලු හදන්ඩ. මම ගුරු තරුවෙදි කිව්වා මතකනං "සාහිත්‍යයෙන්
කරන්නේ, ඔය කෙලින් කරපු කොන්ද උඩ තියෙන මැටි මුට්ටියට, රත්තරං පුරවගන්නවද අශූචි පුරවා
ගන්නවද කියල තෝරා බේරා ගන්න එක". ඉතින් මිනිස්සු උපතින් ඒ හැකියාව අරං එන්නේ නෑ.
ඒ හැකියාව දියුණු කර ගන්ඩ කළා කාරයෝ උදවු කරන්ඩ ඕන.
ගැමියා: හ්ම්....ඒකනං ඇත්ත..ඒත් ඉතිං දැන් ඉන්න හුගක් කළා කාරයොයි
නළා කාරයොයි අතරේ ලොකු වෙනසක් නෑ නේ. ඒ අය කරන්නෙම අර පක්ෂෙට නැත්තං මේ පක්ෂෙට ආවඩන
එක.
මට මතක් වෙනවා ඔබ තුමාගේ අන්දරේලා නාට්‍යය...
රජ්ජුරුවෝ හිනස්සන්න විහිළුකාරයෝ
බිසවුතොමෝ සනස්සන්න විහිළුකාරයෝ
පඩි නඩි නෑ කාල බීල හිටියත් මදිද
රජ්ජුරුවෝ හිනස්සලා මැරුණත් මොකද?
එන්ට එන්ට ප්‍රශ්න වැඩිවෙයි රජ්ජුරුවන්ට
අන්දරේට වැඩත් වැඩිවෙයි ඒ හින්දාම
තනි මිනිහට හැකි වේවිද විහිලු කරන්ට
අන්දරේලා ගොඩක් වෙච්චි රජා වටේට!
බෙරකරු : අපොයි ඔව්. දැන් තියෙන ප්‍රශ්න කන්දරාවේ හැටියට කතිර හටන
පටං ගත්තු ගමන් විහිළුකාරයෝ තොග පිටිං බිහි වෙයි. ඒ වෙලාවට මේ කොරෝනා වසංගතේ වත්, ඊට
වැඩිය බරපතල ආර්ථික අග හිග කමවත් මේ ඔක්කොම අස්සේ ඔලුව උස්සන ජාතිවාදී ආගම්වාදී බල
ලෝභයෙන් ඇතිවෙන ප්‍රශ්නවත් කාටවත් මතක තියෙන එකක් නෑ...අපි ඔක්කොම රූං ගාල පල්ලමේ යයි
ජබොස් ගාලා ආය ගොඩ එන්ඩ බැරි වලකට වැටෙන කල්ම.
[තිදෙනාම එක්ව]
අ - අප රට අර බල
ආ - ආන්තරාවක
ඇ - ඇදී ඇදී යන
ඈ - ඈතින් ඈතට
ඉ - ඉහ මොළ මද නැති
ඊ- ඊළඟ පරපුර
උ - උන්ගේ ලෝකයෙ
ඌ - ඌරන් වූ හැටි
කග ජට වණ තද - පැන පැන යන විට
යරලව සරලව - පරලොව යන රඟ
උන්ගේ අං මැද - අපටයි අ: අන්තිමේ!!!
ගැමියා: හපොයි අපිට ලබන්ට
යන්නේ බොහොම දුර්භාග්‍ය කාලයක් තමා. අපේ පාලකයොයි මිනිස්සුයි හරියට මොලේ පාවිච්චි කරලා,
කැපවීමෙන් වැඩ කලේ නැත්තං හුග දෙනෙක් දුප්පත්කමෙන් පීඩා විඳින්ඩ පටං ගනියි.
ඔව්..දුප්පත්කමේ භයානකකම තියෙන්නේ ආර්ථිකව දුප්පත් වෙන්ඩ
වෙන්ඩ මිනිස්සු අධ්‍යාත්මිකවත් දුප්පත් වෙන්ඩ වැඩි ඉඩක් තියෙන හිංදා...මොකද එතකොට මිනිස්සුන්ට
ඕන කරන්නේ තමන්ව ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනියන කළා නිර්මාණ වලට වඩා බාහිර ජීවිතේ දුක්
කම්කටොලු තප්පරේකට හරි අමතක කරලා දාන්ඩ පුළුවන් වෙන විදිහේ කසිකබල් පුස්ලෝඩන් වලට...ආන්න
එතකොට දේශපාලකයන්ට විතරක් නෙවෙයි ආගමික කඩ දාගෙන ඉන්න මුදලාලිලාටත් තම තමුන්ගේ බිස්නස්
ගන්ඩ ලේසියි!
බෙරකරු : චැ: එහෙම කාලෙකනේ ඔබතුමා අපිව දාලා ආවේ!
එහෙම තමයි..අපිට හැමදාම ඉන්ඩ බෑනේ....අලුත් අය අපේ තැන ගන්ඩ
ඕන!
ගැමියා: එහෙම නෙවෙයි මනෝ දෙවිතුමනි...අපි මේ ආවේ ඔබතුමාට ආපහු අපේ
ලංකාවට එන්ඩ බැරිද කියල අහන්ඩත් එක්ක...ඉස්සරහට එන කාලෙට
ඔබතුමා වගේ අය අපේ රටට ඉන්ඩම ඕන!!
ඉතිං මං කොහොමද ආපහු එන්නේ? මම එහෙං පිටමං වෙලානේ ඉන්නේ...
ගැමියා: මතකද ඔබ තුමාගේ ගුරුවරයා…. සරච්චන්ද්‍ර මහත්තයා මළවුන්ගේ
අවුරුදු දා පොතේ කිව්වා මෙහෙම “යළිත් ආ හැකි නිසා නොවේද ඔහු යන්නේ? නොගියොත් යළිත්
ආ නො හැකිය. යාම හොඳයි. ගොස් ඊමද හොඳයි. ලොවැ ඇත්තේ යාම ඊමය. නෑවිත් යන්ට බැරිය. නොගොස්
එන්ට බැරිය.
[මදහසක් නගා ගනිමින්] හරි හරි සරච්චන්ද්‍ර මහත්තයා එහෙම කියල
තියෙනවා තමයි. එහෙමනං එතුමා කියපු විදිහටම මළවුන්ගේ අවුරුදු දා එනකල් ඉන්ඩ ඕනනේ. මං
එතකල් ඉන්නං...
ගැමියා: ඉතිං දෙවිතුමනි මළවුන්ගේ අවුරුදු දා එනවනේ තව දවස් දෙක තුනකින්...ඔබතුමා
එහෙං ඇවිත් මාස තුනක් පිරෙන කොටම අපිට අවුරුදු ලබනවා....මේක මළවුන්ගේ අවුරුද්දක් නොවෙන්නේ
කොහොමද? එහෙං කොරෝනා වසංගතේ...අහරෙන් පාස්කු
ඉරිදා පල්ලි ඇතුලේ ජීවිත පූජා කරපු සිය ගණනක් දෙනා ගේ මතකයට අවුරුද්දක්වත් ගෙවිලා නෑ,
අනික මේ පාර පාස්කු ඉරිදා වැටෙන්නේ ඔබතුමා එහෙන් ඇවිත් තුන් මාසේ පිරෙන දවසටමයි. මෙහෙන්
අන්තවාදී ජාතිවාදී බය....කොහෙන් කොහෙන් තව මොන මොන බයවල් එයිද කවුද දන්නේ? ඉතින් මේක
මළවුන්ගේ අවුරුදු දා තමයි!!
හොඳයි මං හිතල බලන්නංකෝ....
මෙහෙම කියනවත් එක්කම මට ඇහැරුනා...හැබැයි සුළඟත් එක්ක මේ කවි ඇහෙන්ඩ පටන් ගත්තා.ඒ මගේ හදවතෙන්
ඇහුන දෙයක්ද නැත්තං සුළඟ මගේ කනට කොඳුරපු කවිද කියලනම් මම දන්නේ නෑ...
ගැමියන්
බෙරපදේ තාල මත්තට නෑ සේද
සී පදේ හවස් ජාමෙට ගොළු වේද
සකි සඳේ නුබත් ගම අතහැර යාද
මූණ වත් බලා ගන්නට බැරි වෙයි නේද
දුලා දිමුතු මුතුහර පළඳින කලට
වළාකුල සෙ සේලේ ගත ලන කලට
සලා සෙමෙර දෝලාවල යන කලට
රිලා මොටයි සේ අප පෙනෙතිද නුඹට
අන්දරේ [මනෝ]:
අපේ සාහිත්‍යයේ හැටියට මාර දිව්‍ය පුත්‍රයා කියන්නෙ මාර සේනාවේ
නායකයා...රජ්ජුරුවෝ!
රජ අණක් වෙතොත් බෑ හැංගිලා ඉන්ට
හැංගුනොත් වේවි දංගෙඩියට යන්ට
පෙර පිනක් තියෙනවා නං පල දෙන්ට
මට ඉඩක් ලැබීයන් ආපහු එන්ට
මනෝ අයියේ ආපහු එනවා නේද? .....සත්තයි කියන්ඩ!!!
ආශ්‍රිත ග්‍රන්ථ
තල මල පිපිලා - ජයලත් මනෝරත්න, ගොඩගේ සහ සහෝදරයෝ (2012)
ගුරු තරුව - ජයලත් මනෝරත්න, ගොඩගේ සහ සහෝදරයෝ (1997)
අන්දරේලා වේදිකා නාට්‍යය - ජයලත් මනෝරත්න, ගොඩගේ සහ සහෝදරයෝ
(2011)
මළවුන්ගේ අවුරුදු දා - එදිරිවීර සරච්චන්ද්‍ර, ගොඩගේ සහ සහෝදරයෝ
(2013)
මේ දුක නං රහයි ලොකූ,මනෝ මහත්තයා නොකියා උගන්වපු ජීවිතේ බැලුවම සරස්වතියි ලක්ශ්මියි එකට ඉන්නේ නැහැ කියන එකත් මතක්වෙනවා.එතකොටනං සැබෑ දුකයි.
ReplyDeleteසිරිබිරිස් තුමා මට මතක් වෙනවා මනෝ මහත්තයාගේ තල්මල පිපිලා...
Deleteගුණවංශ: සල්ලි හොයන්ට ඇඟ විකුණන කොට, ඒ එක්කම තමන්ගෙ ජාති ජම්මෙ, ආත්ම ගරුත්වෙ, සදාචාරෙ, ඒ සේරමත් විකිණෙනවා
බාලබණ්ඩාර: නටන එකයි - ඇඟ විකුණන එකයි එකක් නෙවී
ගුණවංශ: ඒක මං දන්නවා...නමුත් පරමාර්ථයයි වැදගත්....
මනෝ මහත්තයා අයිති උනේ ඇග විකුණලා සල්ලි හොයපු පරපුරකට නෙවෙයි...ඒකයි එතුමාගේ නික්ම යාම පුරවන්ඩ බැරි මහා හිදැසක් ඇති කරලා තියෙන්නේ අපේ නාට්‍ය කලාවේ, සාහිත්‍යයේ....සමාජයේ!!!
හ්ම් ඒ මොඩල් එකේ අයව හදපු අච්චුව ආයෙත් මේ කපේදී නං හැදෙන්නේ නැහැ ලොකූ.
Deleteදස්සයෝ කී දෙනෙක් මනෝ මහත්තයා ගිය විදියටම ගියාද
සහතික ඇත්ත....මනෝ මහත්තයගෙ ජීවිතේ වෙනස් කරපු පේරාදෙණියේ එදා පරමාර්ථය උනේ TO BE MORE OPEN THAN USUAL!!අද එහෙවු පූජාසනේක පුදන්නෙ සාහිත්‍යයේ රතු රෝස මල් නෙවෙයි...පෙරේත, කුම්භාණ්ඩයන්ට ගොටු!!! හැබෑවට්
Deleteහැබෑවටම ඒ මොඩලයට වින කැටුවේ කවුද?
කියන්න තරම් නෙවෙයි හිතෙන හිතිවිලි කන්දරාව!
ReplyDeleteමහා ලොකුවට නොදත්තත් හැගෙන්නෙ ඒ අඩුව පුරවන්න තවත් එවන් කලාකරුවෙකු නූපදන බව
ReplyDelete
ReplyDelete+++++++
ලොකූ මේක දැක්කද
ReplyDeleteමනෝ මියගියේ නෑ, මේ අවමංගල්‍ය කතාවක් නොවේ
https://www.youtube.com/watch?v=-zYJSTtAOoc