Wednesday, February 3, 2021

පහන දල්වා පැදුරු ආනේ ගැහීම

ඉතා වේගයෙන් වෙනස් වන වටිනාකම් රැසක් කරපින්නාගත් සමාජයක් තුල පවතින අධ්‍යාපන ක්‍රමයක් නිසි පරිදි යාවත්කාලීන නොකල හොත් වැදගැම්මකට නැති තත්වයට පත්වන බව නොකිවමනාය. මේ තත්වය ලංකාව කෙරෙහිද අදාල වේ. අතීතයේ දී දේශපාලන, සමාජ හා ආර් ථික වෙනස්කම් රට තුල සිදු වූයේ ඉතා සෙමිනි. ඒ ද අධිරාජ්‍යවාදී හා යටත්විජිතවාදී උවමනා එපාකම් සපුරා ගනු සදහාය. මෙවැනි වටපිටාවක් තුල අප යුගයට අවශ්‍ය ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් අප සතුව තිබෙන්නේදැයි අවම අවශයෙන් වසර දහයකට වරක්වත් විශ්ලේශනය කොට බැලීම අත්‍යාවශ්‍ය කරුණකි.


ඊට අමතරව ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඉන්දියාවේ මෙන්ම කිසිදු අරමුණක් හෝ සැලසුමක් නොමැතිව අපිලිවෙලකට වර් ධනය වී ඇති බව නොරහසකි. අධ්‍යාපනය සම්බන්ධ විවිධ ගැටලු පිලිබඳව සොයා බලා නිසි පිළියම් යෙදීමට වරින්වර විවිධ කමිටු හා කොමිෂන් සභා ගනනාවක් පත්කරණු ලැබූවද අවාසනාවකට මෙන් ඒ කිසිදු කමිටුවකට හෝ කොමි


සමකට මුළු මහත් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක් සිදු කොට නිර් දේශ ඉදිරිපත් කිරීමට අවස්ථාව නො ලැබීම අවාසනාවන්ත තත්වයකි. ඊට අමතරව ‘ජාතික අධ්‍යාපන ක්‍රමයක් සකසා ගැනීමටද කිසිදු උත්සාහයක් නොගැණුනි. ජාතික අධ්‍යාපන ක්‍රමයක් යනු කුමක්දැයි පැහැදිලි කිරීම සදහා පහත උපුටනය දක්වනු කැමැත්තෙමි.

“සාර් ථක ජාතික අධ්‍යාපන ක්‍රමයක් එම ජාතියේ අනන්‍යතා මතින්ම පැන නැගී එම අනන්‍යතා වලටම බද්ධ වන්නට හැකි ආකාරයේ අධ්‍යාපන ක්‍රමයකි - කැන්ඩ්ල්”

ජාතික හැගීම යනු ලංකාවට අලුත් අදහසකි. එහෙයින්ම අතීතයේ විසූ පරිපාලකයන්ට නිසි ජාතික අධ්‍යාපන ක්‍රමයක් ඇතිකිරීමට නොහැකි වූවා වන්නට ඇත. එහෙත් ජාතිය නැවත අවදි කිරීමට වැදගත්ම සාධකය වන්නේ අධ්‍යාපනයයි. මෙය ‘ජාතික අධ්‍යාපනයකින් තොරව ජාතික පුනර් ජීවයක් නොමැත- ජාතික පුනර් ජීවයකින් තොරව ජාතික අධ්‍යාපනයක් වෙනුවෙන් හඩ නගන දේශපාලකයන් නොමැත’ යන විශම චක්‍රයෙන් ගැලවීමටද ඇති එකම මගයි.

අපගේ නායකයන් මෙම කරුණ ඉටුකිරීමට පසුගිය කාලය පුරා අසමත්ව හෝ රටේ අනෙක් සුභ සාධක කටයුතු වලට මනස මෙහෙය වූ නිසා ඔවුන් අතින් මග හැරී හෝ ඇති බව පෙනේ.

වසර ගණනාවක් පුරා නොසැලකිලිමත් ලෙස අමතක කරනු ලැබූ හෙයින් අද වන විට අපගේ අධ්‍යාපන ක්‍රමය නිදැල්ලේ වැඩී ඇත්තේ හුදෙක් යටත් විජිත පාලකයන්ගේ උවමනා එපාකම් ඉෂ්ඨ කරන ක්‍රමයක් ලෙසින් මිස ඉන් සැබෑ ප්‍රතිඵල ලැබිය යුතු ජනතාවගේ ආර් ථික සහ සංස්කෘතික ප්‍රගතියට ඉවහල් වන්නක් ලෙස නොවේ........

.....සමහර ප්‍රශ්න කොතරම් කාලයක් පුරා ඔඩු දුවමින් ඇද්දැයි පෙන්වීමට පහත උදාහරන සෑහෙනු ඇත.

1926 දී පත්කල අධ්‍යාපන කොමිසම හමුවේ තිබුනු ප්‍රශ්න දෙකක් නම්..,

1.      ස්වභාශා පාසල් අධ්‍යාපනයේ විශය පථය පළල් කිරීමට කුමනාකාර පියවරයන් ගත යුතුද?

2.      ලංකාවේ පාසැල්වල ප්‍රධාන ඉගැන්වීම් මාධ්‍යය ලෙස සිංහල හා දෙමළ භාවිතා කිරීමේ කෙතරම් ප්‍රායෝගිකද?

මෙම කොමිසම මගින් මේ ප්‍රශ්න වලට ඉදිරිපත් කරනු ලැබූ විසදුම් කිසිදා නිසි ඇගයීමකට ලක් නොවීය!

අධ්‍යාපන ක්‍රමය හා ප්‍රතිපත්තිය පිළිබද සවිස්තරාත්මක විමර්ශනයකින් තොරව අධ්‍යාපනයේ විවිධ අංශ අතර පවත්නා සම්බන්ධකම් නිසි පරිදි හදුනා ගත නොහැක. එවැනි හදුනා ගැනීමකින් තොරව අධ්‍යාපන ගැටලුවට නිසි විසදුම් සොයා ගත නොහැක!

සී. ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර

අධ්‍යාපන අමාත්‍ය

1943 අධ්‍යාපනය සම්බන්ධ විධායක කමිටු වාර් තාව


දැං මොකෝ හිතෙන්නේ මයෙ අප්පලාට? 

සැපද? 

අවුරුදු වලින්ම 78 ගිහින් ඒ උත්තමයා එහෙම ලියල, ඒ ප්‍රශ්න වලට මොකද කරන්ඩ ඕන කියල රටටම කියල. අපි කොච්චර විතර ඉස්සරහට ඇවිල්ලද?

ඔය කන්නංගර උත්තමයා නොහිටින්ඩ අපි තාම කැලේ ගස් බඩ ගානවා. එතුමා නිදහස් අධ්‍යාපනය කියන මහා නිධානෙ අපේ රටට තෑගි කෙරුවා. ඒ කතාව බොහොම දිගයි. ඒ නිධානේ පලු පිටින් සමහර බහිරවයෝ ගිල්ලා. ගිලිනවා. එහෙම තියෙද්දිත් තමයි ඉතුරු වෙච්ච ඇබින්දකින් හරි අපිටත් අකුරක් කියව ගන්ඩ ලියා ගන්ඩ, කොටා ගන්ඩ අකුරු සෑත්තරේ පුරුදු පුහුණු වෙන්ඩ පුලුවන් උනේ. ඔන්න ඒක නං ඒ කියන්නෙ මෝඩ කමින් ඇබින්දක් හරි නිදහස් වීම නං මට තේරෙනවා හොද දෙයක් කියල.

එහෙවු අපි හෙට සුද්දා අපෙන් නිදහස් වීම සමරනවා. ඔය නිදහස කියන්නෙ අහවල් මගුලක් ද කියල මට තියා අපේ ගම් පලාතේ එකෙක්ටවත් තේරෙන්නෙ නෑ. ඒ ගැන මම ඉස්සර කාලෙ ලියපු ලිපියක් තියෙනවා මෙන්න මෙතන. ඒකයි උන්දැලා මේ පාරත් අලගල්ල කන්ද නගින්ඩ හිතාගෙන උන්නෙ. මේ අවුරුද්දෙ නිනව්වක් නැතුව වහින වැස්ස හින්ද ඒකත් කොරන්ඩ හම්බ වෙන්නෙ නෑ. ඒ හිංදා විරූපවාහිනියෙන් අර අපිට නොතේරෙන නිදහස් ලැබීම සමරනවා බලන්ට තමයි වෙන්නෙ.

ඒකෙ අරුමෙ කියන්නෙ අර කන්නංගර උත්තමයා අපිට දිනා දුන්නු නිදහස නැති කොරන්ට දත කාපු එව්වො තමයි පෙබරවාරි හතර නිදහස වැඩියෙම්ම සමරන්නෙ.

ඒ මොනව උනත් කන්නංගර මහත්තයා වගේම අපේ ගමට අක්මුල් තියෙන මොණරවිල කැප්පෙටිපොල නිලමේ තුමා වගේ මේ රට ගැන හැබෑ කැක්කුමකින් වැඩ කරපු හැමෝටම පින් දෙනවා උන්දැලා කරපු කියපු දේවල් වලට. අපි කන බත් ඇටයක් ගානෙ පිං ලැබෙන්ඩ ඕන ඒ උත්තමයන්ට!

හා දැං වැදගනිල්ලා....

අපේ රටේ ජීවත්වෙන හැමෝගෙම හැබෑ නිදහස වෙනුවෙන් කැප කිරීම් ඒ උත්තමයෝ කරපු කැප කිරීම් හිංදා අද රට ලෝකෙට බරක් නැතුව ජීවත් වෙන්ඩ අපිට පුලුවන් වීමෙන් සිදුකර ගත්තා වූ සියළුම කුසල ධර් මයෝ ශාසන භාරධාරී වූ සියළුම දෙවි දේවතාවුන් වහන්සේලාටත්....,

හදා වඩා කවා පොවා පෝෂණය කරන ලද්දා වූ ආදරබර මෑණියන් පියාණන් ඇතුලු කොට ඇත්තා වූ පින් බලාපොරොත්තු වෙන මිය පරලොව ගිය සියලුම ඥාතීන් මිත්‍රාදීන්හටත් එකසේ හේතු ප්‍රත්‍ය වීමෙන්,

උතුම් වූ අමා මහ නිවන් සම්පත් සිද්ධ කරගන්නා තාක් සතර අපායෝත්පත්ති දුක්ඛයකට කිසියම්ම කාළයකවත් නොපැමිණ මෙලොවට වඩා සවුසිරින් අගතැන් පැමිණියා වූ චතුර් මහා රාජිකාදී සදිව්‍ය ලෝක වල සදිව්‍ය ශ්‍රී සම්පත් විඳිමින් වාසය කරන්නා වූ කාලයෙහි, මේ මනා මිනිස් ලොව උපදනා සමයක් ඇත්තේ වී නම් මහා සම්මතාදී මහ පිණැති රජ දරුවන්ට සෙයින් නොපිරිහෙන්නා වූ යස ඉසුරු භව භෝග ධන සේනා සැප සම්පත් විදිමින් වාසය කරන කාළයක,

තුන් ලෝ බබුලුවා, සවු මරුන් පරදවා ලොවු තුරා බුද්ධ රාජ්‍යයට පැමිණ වදාරන්නා වූ දිපදෝත්තම සකල ලෝක කෛලාක මිත්‍ර මෛත්‍රිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මධුර මනෝහර කොට ගෙන හැර දක්වා වදාරන්නා වූ මිහිරි චතුරාර් ය සද්ධර් ම දේශනාවන්ගේ කෙළවර සෝවාන්, සකෘ දාගාමි, අනාගාමි, අරහත් යන සතර මග සතර ඵල පිළිවෙලින්  යුක්ත වූ උතුම් අමා මහ නිවන් සුව පිණිස මිය පර ළොව ගියා වූද, සුජීවත්ව සිටින්නා වූද තම තමන්ටත් එකසේ හේතු වේවා වාසනා වේවා සිතා සාදර සිතින් යුක්තව පින් අනුමෝදන් විය යුතු.....!!!!

සබ්බීතියෝ විවජ්ජන්තු

සබ්බ රොගො විනස්සතු

මාතෙ භවත්වන්තරායො

සුඛී දීඝායු කො භව

 

නිවන් දකින එක හෙන කල් යන වැඩක් වගේ නේද් පේන්නෙ? එහෙම වෙන්ඩ එපායැ උඹල අපි චන්දෙ දීල පත් කොරගත්තු එකෙකුටවත් කන්නංගර මහත්තයාගෙන් අඩියක් වත් ඉස්සරහට යන්ඩ බැරි වෙච්ච කොට...!!!

තව නිදහස ගැන කතා කොරනවා ලැජ්ජා නැතුව!!!

5 comments:

  1. සමරන මරණ උත්සව ඇත නිම නැතිව
    කතා පවත්වති; ගරු බුහුමානෙන් යුතුව
    ඇට නැති දිවෙන් කිව්වත් ලෙළවා බොරුව
    කවුරුද යන්නෙ? හරි පාරේ බොරු නැතිව

    වංකගිරි යවන්නට රට වැස්සන්ව
    පත් කරනවා කොමිසම් ලෝබය නැතිව
    උනුත් කතිය, රටේ මුදල් මදි නැතිව
    දෙන නිර්දේශ හමස් පෙට්ටිවල; දැමුව

    අධ්‍යාපනය සහතික ගන්නට පමණි
    ඒකත් රැකියාව ගන්නා තෙක් පමණි
    හිතන්නට සමත් උගතුන් කෙළ පැමිණි
    මොටද රටට, මෝඩයො මැති සබ ගොසිනී!

    ReplyDelete
  2. Hmm. ජීවත්වෙන්නෙ අවු 80ක් විතර.ඊටත් අඩු කාලයක් ජීවිතය තමන්ට ඕනෙ විදිහට. ඒ ටිකටනෙ තමන් ඉපදුන ජාතියක්, ආගමක්, බාසාවක්, රටක් සහ දැනට ග්‍රහලෝකයක්) බදාගෙන ඉන්නෙ. මං කියන්නෙ හැමදේටම සීරියස් වුනාට කමක් නෑ. හැබැයි හැමදේටම වගේ සීමාවක් ඒවටත් තියනව

    ReplyDelete
  3. කාලීන මතක් කිරීමක්.එත් බීරි අලින්ට වීනා වාදනය කෙරුවට වැඩක් තියෙයිද.?අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශක මණ්ඩලයක් තියෙනවා නේද?ඒ අයට තියෙන වගකීම මොකක්ද?

    ReplyDelete
  4. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. මොකද ඔය තියනව ක්‍රමයට බහුතරයක් අම්මලා තාත්තලත් කැමතියි , දේශපාලකයොත් කැමතියි , සමාජවාදී පක්ෂත් කැමතියි , නිදහස කියන එක ඉතින් සාපේක්ෂයි

    ReplyDelete
  5. බ්ලොග් සංස්කෘතිය වෙනම එකක්

    ReplyDelete