Wednesday, December 10, 2025

සූරියකාන්ත මල් සහ ගංජා මිටිය

 

චාල්ස් ඩිකන්ස් කියන එංගලන්ත ලේඛකයා- අපේ අප්පච්චිට අනුව නං ඒ.ජේ.ක්‍රොනින් තමයි හොඳම ඉංග්‍රීසි නවකථා කාරයා ඊට පස්සෙ ඉන්නෙ මේ කියන ඩිකන්ස් උන්දැ- ලියල තියෙනවා පොතක්. නම A Tale of Two Cities. ඕක සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා දෙනුවර අන්දරය කියලත්. ඒ කොහොම උනත් මං මේ කියන්ඩ හදන්නෙ ඒ පොතේ මුල්ම පරිච්ඡේදය ගැන.

It was the best of times, it was the worst of times, it was the age of wisdom, it was the age of foolishness, it was the epoch of belief, it was the epoch of incredulity, it was the season of Light, it was the season of Darkness, it was the spring of hope, it was the winter of despair, we had everything before us, we had nothing before us, we were all going direct to Heaven, we were all going direct the other way—in short, the period was so far like the present period, that some of its noisiest authorities insisted on its being received, for good or for evil, in the superlative degree of comparison only.

ඒකෙ සිංහල පරිවර්තනයක් ගත්තොත් මට තේරෙන විදිහට මෙන්න මෙහෙමයි.

"එය වනාහී හොඳම කාළය විය. එමෙන්ම එය ඉතාම නරක කාළයද විය. එය බුද්ධි මහිමයේ යුගය විය. එමෙන්ම එය මුග්ධබවේ යුගයද විය. ඒ යුගය විශ්වාසයේ පරප්‍රාප්තිය මෙන්ම සැකයේ, අවිශ්වාසයේ සහ අතීරණයේ යුගයද විය. සියල්ල අප ඉදිරියේ තිබුණි. එහෙත් අප ඉදිරියේ කිසිවක් තිබුනේ නැත. අප සියල්ලන්ම කෙළින්ම දිව්‍ය ලෝකයට යන මාවතකට වැටී සිටියෙමු. එහෙත් එහි ප්‍රතිවිරුද්ධ දෙසට අප යන බවක්ද දිස්විය.කෙටියන්ම කිවහොත් ඒ යුගය වත්මන් යුගය මෙන්ම විය. සමහර ඉතා ඝෝෂාකාරීව සිය මත ඉදිරිපත් කරන අධිකාරයන් සපථ කල පරිදිම එය අන්තයන්ගේ යුගය විය. එක්කෝ ඉතා හොඳය. එක්කෝ ඉතා නරකය. සුදු හෝ කළු මිස අලු කිසිවක් නොවීය".

කට්ටකාඩුවට අන්තිමට පැලයක් හිටෙව්වෙ අවුරුදු එක හමාරකට විතර ඉස්සර. ජීවිතේ වගේම විවිධ හැල හැප්පිලි තිබ්බත් හීං සීරුවේ වැවේ සොරොව්වෙන් වතුර ගලාගෙන ගිහිල්ලා කුඹුරු සරුවට පැහෙන කල් කාටවත් වැවේ ආරක්ෂාවට තියෙන කට්ටකාඩුව මතක් වෙන්නෙ නෑ. මහ වැස්ස ඇවිල්ලා, සොරොව්වට දරා ගන්ඩ බැරි වතුරක් වැවට එක්කහු වෙනකොට තමයි කාට කාටත් වැව් බැම්මේ, කට්ටකාඩුවේ අගය තේරෙන්නේ. ඉතිං අපි ජීවත් වෙන්නෙත් අන්න එහෙම නා කපන වැහි වැටිච්ච අබුද්දස්ස කාලෙක වෙච්චි, මටත් ආයෙත් කට්ටකාඩුවට පැලයක් දෙකක් එක්කහු කරන්ඩ හිතුනා.



ඇත්තටම ලොකු මලයා අත්දැකපු ලොකුම විනාසේ තමයි මේ පහුගියදා ඇති වෙච්ච ගංවතුරයි නායයෑමයි. සුනාමියෙන් වෙච්ච අනතුර- ජීවිත හාණි විදිහට විශාල උනාට ආර්ථික, සමාජයීය විදිහට මේතරම් විශාල නෑ කියලයි මට හිතෙන්නෙ. මේ ගංවතුරයි නායයෑමුයි, ජාතියක් විදිහට ශ්‍රී ලාංකිකයන්ගෙ මතකයේ රැඳිලා පවතියි පරම්පරා ගණනක් යනතුරුම. ඉතිං ඒ තමයි මේ යුගයේ කලු බව- මුග්ධ බවේ, සැකයේ, අවිශ්වාසයේ, අතීරණයේ, අපායගාමීබවේ, හිස් බවේ සංකේතය! . කෝ එතකොට සුදු?  

සුදු එහෙම පෙනෙන්නෙ නෑ. මැණික් වගේ අපි අමාරුවෙන් මතු කර ගන්ඩ ඕන. හැබැයි ඒක එච්චර අමාරුත් නෑ. මං කියන්නංකො කතා දෙකක්. ඕං අහගන්ඩ.