අපේ දේවකතා පටං ගත්තු මුල් ලිපිය (බැලුවෙ නැති කෙනෙක් ඇත්නම් බලල එන්ට...මෙන්න සබැඳිය) අන්තිමට මම ඔබට ආරාධනා කලේ මින්දදයෝ ඇවිදින් කියන නිරෝෂා විරාජිනී මහත්මියගේ ගීතය අහන්න කියල ආරාධනා කරමින්. ඒ ගීතය හොඳින් අහගෙන ඉන්න කොට පොඩි අවුලක් තියෙනවා නේද කියල හිතෙන්ඩ පටන් ගන්නවා. හොඳට බලන්ඩ. මෙන්න ඒ ගීතයේ පදවැල.
මින්දදයෝ ඇවිදින්
අහපන් රුක් අත්තන මලකින්
ගෙදරට කිව්වා මං
එනවද ඔය මල් දුන්න අරං
අද හෙට මින්දදයෝ...
මෙතන ගායිකාව, ‘ගෙදරට කිව්වා’ කියල කියන්නෙ මොකක්ද? ඇගේ පෙම්වතා ගැනද?
හුගක් වෙලාවට තරුණියක් හංගගෙන ඉඳලා ගෙදරට කියන්නේ තමන්ට පෙම්වතෙක් ඉන්න බව නේද? ඒත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගෙයි. අපි දන්න තරමින් මල්සරා එහෙම නැත්තං මින්දදයා තමන්ගේ හී සැරයෙන් විද්දම තමයි ප්‍රේමයක් හට ගන්නේ. ඒ කියන්නේ දැනටම ප්‍රේමයක් තියෙනවා නම් මින්දදයාට ඇය ඉන්න ගෙදර ගැන රුක් අත්තන මල්වලින් අහන්ඩ අවශ්‍යතාවයක් නෑ. ප්‍රේමයක් තියෙනවා නම්, මින්දදයා ඇය ඉන්න තැන දන්නවා විතරක් නෙවෙයි, එහි ඇවිත් ඇයට මල් හී සැරයකින් විදලත් ඉවරයි.
එහෙම නම් ඈ
ගෙදරට කියන්ඩ ඇත්තේ පෙම්වතෙක් ඉන්න බව නෙවෙයි. වෙනත් පණිවිඩයක් වෙන්ඩ ඕන. ඒක
මින්දදයාට එන්ඩ කියල ආරාධනා කිරීමට ඉස්සර වෙච්ච දෙයක් හිංදා මට හිතෙන්නේ ඇය ගෙදරට
කියන්ඩ ඇත්තේ ඇය දැන් ප්‍රේමයකට හෝ / හා විවාහයකට සූදානම් බව වෙන්ඩ ඕන. ලංකාවෙ සිංහල
විතරක් නෙවෙයි අනික් ජාතිකත්වයක් තියෙන් තරුණියක් උනත් දෙමාපියන්ට තමන් ප්‍රේමයක්
පටන් ගන්ඩ සූදානම් කියලා දෙමාපියන්ට හෝ තමන්ගේ භාරකරුවන්ට (ගෙදරට) කියයි කියලා
හිතන්ඩ බෑ. එහෙනම් ඈ කියන්ඩ ඇත්තේ ඇය විවාහයකට කැමති බව වෙන්න ඕන.
ඒ කියන්නෙ ඇයට තවම මින්දදයා විදලා නෑ. හැබැයි වඩාත් විය හැකි පරිදි ඇය මොකක් හෝ හේතුවක් හිංද මින්දදයාගේ විදීම ප්‍රතික්ෂේප කරපු, මල් හී සරවලට එරෙහිව පළිහක් අමෝරාගෙන හිටපු කෙනෙක් වෙන්ඩ ඉඩක් තියෙනවා කියල මට හිතෙනවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්ඩ. දැන් ඈ ඒ පළිහ අහක් කරලා. මින්දදයා එනකල් මග බලාන ඉන්නවා.
ඉන්දියාවේ හිටපු
මින්දදයාට පුලුවන් උනේ ප්‍රේමයෙන් දෙදෙනෙක් එක්කහු කරන්ඩ උනත් ප්‍රේමයෙන් වෙන්
කිරීමේ බලයත් හරි නම් අයිති වෙන්ඩ ඕන ප්‍රේමය බාර ඇමතිට. අන්න එහෙම ඇමති කෙනෙක්
හම්බ වෙන්නෙ ග්‍රීසියේදි. ග්‍රීසියේ උපත ලබපු දේව කථා, රෝමන් කාරයොත් පාවිච්චි
කරා. ඔව් ඔව් අර සීසර්ගෙ රෝමන් කාරයෝ තමයි. ඒ අය ග්‍රීක නමයි, කතාවයි පොඩ්ඩක් එහෙට්ට මෙහෙට්ට
කරලා ගත්තා තමුන්ගේ දිවට ගැලපෙන විදිහට. ඒ හිංදා ඇත්තටම පොඩි පොඩි වෙනස්කම් විතරයි
මේ දෙගොල්ලගේ තියෙන්නෙ. එහෙනං අපි බලමුද ග්‍රීක ප්‍රේම දෙවියා ගැන.
ඒ කතාව පටන් ගන්ඩ කලින්
මතක් කරන්ඩ ඕන පොඩි දෙයක් තියෙනවා. ඒ තමයි ග්‍රීසියේ දෙවිවරු පරම්පරා තුනක් හිටපු
බව. සමහර දෙවිවරු අයිති වෙන්නේ මේ තුන් ගොඩෙන් කෝකටද කියලත් පටලැවිලි තියෙනවා. ඒත්
අපිට වැදගත් වෙන්නෙ සංකල්පයක් විදිහට ප්‍රේමයට අධිපති දෙවියා කියන කෙනා ග්‍රීක දේව
කතා ඇතුලෙ වර්ධනය වෙච්ච විදිහ බලන එක හිංදා දැනට දේව පරම්පරා තුන විතරක් දැන ගත්තම
ඇති.
- 1. මූලාරම්භක එහෙම නැත්තං මූලාකෘතික දේව මණ්ඩලය
- 2. ටයිටන්වරු
- 3. ඔලිම්පියන්වරු
ඔය මූලාරම්භක දෙවිවරු බිහිවෙන්නෙ
මුලින් තිබ්බ මහා අවුලකින් එහෙම නැත්තං වියවුලකින් කියල තමයි කියන්නෙ. ඕකෙන් තමයි
ගයියා, ඒ කියන්නෙ මහී කාන්තාව වගේම ඒරොස් එහෙම නැත්තං ඊරොස්වත් බිහිවෙන්නේ. තව
පස්සෙන් පහු වෙනකොට වෙනිං ඊරොස් කෙනෙකුත් අපිට හම්බ වෙනවා. ඒ දෙවෙනි ඊරොස් තමයි
අපේ කතා නායකයා. ඒ හිංදා මේ මූලාරම්භක දෙවිවරු අතරෙදි හම්බ වෙන ඊරොස්ට අපි ජ්‍යේෂ්ට
ඊරොස් කියල නමක් දාමු හඳුනා ගැනීමේ පහසුවට. නැත්තං නිකං මොරටුවට ගිහිං ප්‍රනාන්දු
කෙනෙක් හරි අනුරාධපුරේ ගිහිං දිසානායක කෙනෙක් හරි හෙව්ව වගේ තියෙයි.
ඔය ජ්‍යේෂ්ට ඊරෝස් උනත්
නමට ගැලපෙන්ඩ වැඩකරපු හාදයා!. එයත් ලව් ඉන් චාජ්! ආදරය සහ ප්‍රජනනයට අධිපති දෙවියා තමයි එයා. රෝමන් කාරයෝ මෙයාට කිව්වෙ ෆනෙස් කියලා. එයාගෙ
දරුවො තමයි ෆිසිස් එහෙම නැත්තං සොබාදහම යි තෙසිස් එහෙම නැත්තං නිර්මාණයයි. හරි
අපූරු ගැලපීමක් නේද? ආදරයෙන් ප්‍රජනනයට.... ඒ හිංදා සොබාදහම නිර්මාණය වීමට! හැබැයි පොඩි
පරහකට තියෙන්නේ මෙයා ද්වී ලිංගිකයෙක් කියලා කියවෙන එකයි. ද්වි ලිංගික ආදරයක්
තියෙන්ඩ බැරිද? ප්‍රජනනය දරු උපතකින්ම කෙළවර වෙන්ඩ ඕනද එහෙම් නැත්තං ප්‍රජනන ක්‍රියාවලිය
විතරක් වෙනම ගන්ඩ බැරිද? මෙන්න මේවගේ ප්‍රශ්න සමහරවිට ග්‍රීකයෝත් හිතන්ඩ ඇති. ග්‍රීකයෝ
මෙයාට කියපු තව නමක් තමයි එරිකෙපයස්. ඒ කියන්නෙ බලය. සමහර කතාවල නම් කියන්නෙ මේ ද්වි ලිංගික දෙවියා තමයි මුලු විශ්වයේම නිර්මාතෘ කියලා. ඔහු ආලෝකය ගෙන එන්නා
විදිහටත් සැලකෙනවා.
ග්‍රීක දේව පරම්පරා අතරෙ දෙවෙනියට එන ටයිටන්
දෙවිවරුන්ගේ භෝග අස්වැන්නට අධිපති දෙවියා වෙන්නෙ ක්‍රෝනස්. රෝමන්කාරයෝ සැටර්න්
එහෙම නැත්තං සෙනසුරු, මේ ක්‍රෝනස්ට සමාන කරනවා. ඒ වගේම ටයිටන් දේව මණ්ඩලයේ ඵලදාවට
අධිපති වෙන්නේ රෙයා එහෙම නැත්තං සිබේලේ කියන දේවතාවිය. රෝමන් කාරයෝ මෙයාට කියන්නේ
ඔප්ස් කියලා. ක්‍රොනස්ගෙන් සහ රෙයාගෙන් තමයි ඊළග දේව පරපුරවෙන ඔලිම්පියන්වරු ඇති
වෙන්නේ. ඒ කොහොම නමුත් ටයිටන් දෙවිවරු අතරේ ආලයට අධිපති දෙවි කෙනෙක් නෑ. අඩුම තරමේ
මට හොයාගන්ඩ ලැබුනේ නෑ. මගෙ හිතේ මූලාරම්භක දෙවිවරුන් අතරෙදි තිබිච්ච විශය බෙදීම
ටයිටන් වරුන් අතරෙත් තියෙන්ඩ ඇති. ඒ කියන්නේ ආලයට අධිපති දෙවි කෙනෙක් ඉන්ඩ ඇති.
එක්කො අපි ඔක්කොටම ඒ දෙවියා අමතක වෙලා. නැත්තං ජ්‍යේෂ්ට ඊරෝස්, ටයිටන්වරු අතරෙත්
පිළිගැනීමට ලක්වෙන්ඩ ඇති. කොහොම නමුත් ක්‍රෝනස් හරි රෙයා හරි ආලය සම්බන්ධ දෙවි
තනතුර දැරුවේ නෑ. ඒ කියන්නේ ආලය එකක්. ඵලදායිතාව කියන්නේ ආලයෙන් වෙන් වෙච්ච වෙනම විෂයක් විදිහටයි ටයිටන්
යුගයෙදිත් සැලකුනේ.
මූලිකවම ක්‍රෝනස් සහ රෙයාට ඉපදුනු දරුවන්ගෙන් හය දෙනාගෙන් තමයි තුන්වැනි දේව පරම්පරාව ඒ කියන්නේ ඔලිම්පියන් දේව වංශය ඇතිවෙන්නේ.
ඔය ඔලිම්පස් යුගයෙදි තමයි සියුස්, දෙවියන්ගේ රජ බවට පත්වෙන්නේ. ඔලිම්පස් යුගයේදී, ඩිමීටර් හෙවත් රෝමන් කාරයෝ සෙරෙස් කියල හඳුන්වපු දේවතාවිය, භෝග අස්වැන්නට අධිපති දේවතාවිය විදිහට පත්උනා. ඒ කියන්නේ ටයිටන්වරුන්ගේ කාලෙදි ක්‍රෝනස් යටතේ තිබ්බ අමාත්‍යාංශය, ඊලග පරම්පරාවෙදි එයාගෙම දුවට මාරු උනා.
ඔන්න දැන් ආලයටත් දේවතාවියක් හම්බ වෙනවා ඔලිම්පස්වරු අතරේ. ඒ ඇෆ්‍රොඩයිට්. ඇය තමයි ආලයේ සහ සුන්දරබවේ දේවතාවිය. රෝමන් කාරයෝ වීනස් එහෙම නැත්තං සිකුරු කියලා හඳුන්වන්නෙත් ඇයම තමයි. තවත් කතාවකට අනුව ඇඩොනිස් තමයි සුන්දරබවට සහ කැමැත්තට අධිපති දෙවියා. ඒ කොහොම උනත් අපි ඇෆ්‍රොඩයිට් එක්කම ඉන්නවා වඩා ප්‍රසිද්ධ චරිතය එයා හිංදා. සමහරු නං කියන්නෙ ඇෆ්‍රොඩයිට් කියන්නේ සියුස්ගේ දුවක් කියලා. ඒත් සමහර කතා වලට අනුව ඇය උපදින්නෙ යුරේනස්ගේ වෘෂණ කෝෂ කපාදැමීම හිංදා (ඒක පරණ කතාවක්. අපි ඉස්සරහට එන පෝස්ට් එකකින් ඒ ගැන කතා කරමු). ඒ කියන්නේ එක්කෝ ඇෆ්‍රොඩයිට් කියන්නේ සියුස් ගේ දුවක් නැත්නම් සියුස් ගේ තාත්තාගේ සහෝදරියක්. ඒ කියන්නෙ නැන්දා!
ඔය සියුස් ගේ එක පුතෙක්
හිටියා යුද්ධයට අධිපති. නම ඒරිස්. රෝමන් කාරයෝ මාස් එහෙම් නැත්නම් අඟහරු කියල
හඳුන්වන්නෙත් මේ දෙවියන්වම තමයි. මෙන්න මේ ඒරිස් කසාද බඳිනවා ඇෆ්‍රොඩයිට්ව. ඒ
කියන්නෙ එක්කො මේ දෙන්නා සහෝදරයයි සහෝදරියි, එක්කො මුනුපුරයි ආච්චියි. පොඩ්ඩක් හිතල බලන්ඩ මේ
මොන විහිලුවක්ද කියල! නෑ.. ඒක විහිලුවක් හරි අසභ්‍ය දෙයක් හරි වෙන්නෙ
වික්ටෝරියානු සදාචාරය යටතේ, ග්‍රීක ශිෂ්ටාචාරය පැවතිලා අවුරුදු දහස් ගණනකට පස්සෙ
හදාගත්තු මිනුම්වලට අනුව. එහෙම නැතුව ස්වභාවික මනුෂ්‍යයා කියන සත්වයාගේ සිතුම්
පැතුම් වලට අනුව නෙවෙයි.
තවත් ප්‍රශ්නයක් තියෙනවා. ආපහු හැරිලා ඔය කියුපිඩ් ගේ අම්මයි තාත්තයි දිහා පොඩ්ඩක් බලන්ඩ. සිකුරු සහ අඟහරු!. අපි අතරේ භාවිතයේ තියෙන ඉන්දියානු සම්භවයක් තියෙන ජ්‍යෝතිශාස්ත්‍රයේ දැක්වෙන්නෙත් සිකුරු ආලය, විවාහය වගේ දේවල් තීරණය කරන ග්‍රහයෙක් හැටියට. කේන්දරේ සිකුරු හතට එනකොට විවාහය හරියන බවට ප්‍රසිද්ධ මතයක් තියෙනවා නේද?
සාරි පොඩිත්තක් ඇඳගෙන -මාල පොඩිත්තක් බැඳගෙන
දීග පොඩිත්තක් යන්නට කතා කරාවී- කතා කරල මංගල්ලේ නියම කරාවී
කියල සුනිල් ආරියරත්න මහත්තයා ලියපු, නන්දා මාලනී මහත්මිය ගායනා කරන ලස්සන සිංදුව මතකද? අන්න ඒකෙ මෙන්න මෙහෙම කියන්නේ ඇයි?
එතනෝ සුමනෝ නාඩ ඉඳින්
සිකුරු තරුව පායනකන් //
ඔයාලාටත් පිරිමි කෙනෙක් බැල්ම හෙලාවී
බැල්ම හෙලලා තවත් ගමක් එලිය කරාවී!
සිකුරු තරුව, ආලයේ සංකේතය උනේ ඇෆ්‍රොඩයිට් දේවතාවියට රෝමන් කාරයෝ සිකුරු ග්‍රහයා අනුරූප කරපු හින්දද?
අඟහරු, ටිකක් චණ්ඩිකමට, රණ්ඩුවට බර
කෙනෙක් හැටියට නේද ප්‍රසිද්ධ. කොහොමද එකිනෙකට හැතැම්ම දාස් ගණනක් දුරින් තියෙන
ශිෂ්ටාචාර දෙකක එක වගේ අදහස් පහළ වෙන්නේ? ඔවුන් දෙගොල්ලටම අර සුප්‍රසිද්ධ ආර්යයන්
පිළිබඳ මතයේ කියවෙන ආකාරයටම එකම පූර්වජයෙක් හිටියද? මේ දේව කතා ඇත්තටම අයිති
වෙන්නේ ඒ මුල් ආර්ය ජාතියටද?
දැන් අපි ආපහු යං අපේ කතාවට....
කොහොමින් කොහොම හරි ඒරිස්- ඇෆ්‍රොඩයිට් දෙපොළට දාව බිහිවෙන සුපින්වත් කුළ කුමරුවා තමයි කණිෂ්ට ඊරෝස්. රෝමන් කාරයෝ කියපු විදිහට නම් කියුපිඩ්. අපිට හුරු පුරුදු විදිහට නම් ආලයට අධිපති දෙවියන්.
අහල බලමුද කියුපිඩ් ගැන කථාවක්. බොන්ඩකො සීතල වතුර
වීදුරුවක් මේ කතාව අහන්ඩ ලෑස්ති වෙන ගමන්ම.
ඔන්න...ඈ.......ත අතීතයේ එක්තරා රජ කෙනෙකුට හිටියා දූ කුමාරියෝ තුන් දෙනෙක්. මේ තුන් දෙනාම ලස්සනයි. ඒත් බාලම කුමාරිය තමයි ලස්සනම. ඈ ඇත්තටම දෙවඟනක් වගේ. ඇගේ ලස්සන ගැන තියෙන කතා අහල තව ඩිංගෙන් ඇගේ නම කියන්ඩත් බැරි වෙනවා. අගේ නම සයිකි.
ඈ
මේ අපි වගේම මරණය කෙළවර කරගෙන ඉන්න මනුස්ස දුවක් උනාට මිනිස්සු ඇයට සැලකුවේ දෙව්
දුවකට වගේ. මිහිබට ආලයේ දෙව් දුව!! කොටින්ම මිනිස්සු ඇෆ්‍රොඩයිට්- ආ පොඩ්ඩක්
වැරදුනා..මට අහන්ඩ හමබ උනේ රෝම කතාවක්. ඉතිං රෝමන් කාරයෝ දන්නේ නෑනෙ ඇෆ්‍රොඩයිට්
ගැන. ඒ අය දන්නේ ආලයට අධිපති වීනස් දෙව් දුව ගැනනේ.- වීනස් ගේ දෙවොල අමතක කරලා මේ
අදහා ගන්ඩ බැරි තරම් ලස්සනක් තියෙන දූ කුමාරිය බලන්ඩ පෙළ ගැහුනා. ඔය ගෑණු අය ගාව
තියෙනවනේ අනිත් අය තමුන්ට වඩා ලස්සන වීම ගැන පොඩි ඉරිසියාවක්. දෙව් දුවක් කියල
වෙනසක් නෑ වීනස්ට උනත් එහෙමයි. වීනස් ට තරහ ඉවස ගන්ඩ බැරි උනා. ප්‍රේමයයි වෛරයයි
අතරේ වෙනස කෙස් ගසකට සමයි කියල ඔය සිංදුවකුත් තියෙනවනේ නේද. ඒ වගේ තමයි ප්‍රේමයේ
දේවතාවිය අසරණ සයිකිට වෛර කරන්ඩ පටන් ගත්තා.
ඊට පස්සෙ ලස්සන දෙයක් උනා. අම්මා ඒ කියන්නෙ වීනස් උදව් ඉල්ලනවා මේ සයිකිව විනාශ කරන්ඩ. කාගෙන්ද ඉල්ලන්නෙ? තමුන්ගෙ පුතාගෙන්. කවුද පුතා? ආදරයට අධිපති කියුපිඩ්. හපොයි දෙයියනේ කිව්වලු නේද! ඉතිං කියුපිඩ් එක පයින් කැමති වෙනවා අම්මාගේ ඉල්ලීම ඉෂ්ට කරන්ඩ. ප්‍රේමය කිව්වට ඒක හැම වෙලාවෙම පෙම්වතුන් අතර එහෙම නැත්තං අඹු සැමියන් අතර ප්‍රේමයක් කියල කවුරුවත් කිව්වෙ නෑනෙ. මේක අම්මයි පුතයි අතරෙ තියෙන ස්නේහය කියල කෙනෙකුට තර්ක කරන්ඩ පුලුවන්. ඉතින් වීනස් ගේ ඉල්ලීම උනේ මේ ලෝකේ ඉන්න නසරානිම එකා එක්ක සයිකිගේ ආදරයක් ඇති කරන්ඩ කියලා. කියුපිඩ් කොන්ත්‍රාත් එක බාර අරගෙන ගියා සයිකි ගාවට. බුදු අම්මෝ ලස්සන! කියුපිඩ් ට එහෙම කියවෙන්ඩ ඇති සයිකිව දැක්කම. ඒ තරං ඉටිකිරිස් චරිතෙ ඈ සයිකි!!
කියුපිඩ් මොකද දන්නවද කරේ. එයා විද ගත්තා ඊතලයක් එයාටම. ඔන්න ඕකනේ ප්‍රශ්නේ. මතකද ඉන්දියාවේ කාමදේවත් ඔය වැඩේම කරා. ඔය වගේ බලයක් හම්බ උනොත් මනුස්ස අපි කවුරු කවුරුත් කරන්නෙ ඕකම තමයි. දැන් බලං ගියාම දෙවියෝ කියලත් වෙනසක් නෑ.
ඊට පස්සෙ හරි අමුතු වැඩක් උනා. කිසිම පිරිමියෙක් ඈව බඳින්ඩ කැමති උනේ
නෑ. හැමෝම ඈව දැකලා හිත සනසා ගෙන ගියා මිසක් කවුරුවත් මංගල යෝජනාවක් කරේ නෑ.
සයිකිට වඩා ලස්සනින් අඩු අනිත් සහෝදරියෝ දෙන්නම බැඳලා හොඳ පවුල් ජීවිත ගතකරන්ඩ පටං
ගත්තා. සයිකි තවම තනිකඩයි. මෙහෙම කාලයක් ගියාට පස්සේ සයිකිගේ තාත්තා ගියා ඇපොලෝගේ
ඔරැකල් එකක් ගාවට සාස්තරයක් බලන්ඩ. ඇයි සයිකිට තවම මනමාලයෙක් හම්බ නොවෙන්නේ
කියලා. ඔන්න එතෙන්දි කියවුනා සයිකිව, ඉතා ශෝකභරිත අවස්ථාවකට ගැලපෙන විදිහට අන්දවලා
උස් කඳු මුදුනක තනිකරන්ඩය..... එතකොට ඈව සරණ පාවා ගන්න සැමියා සර්ප වෙසකින් ඇවිත් ඈව
එක්ක යාවිය කියලා.
රජ්ජුරුවෝ හරියට දුක් උනා තමන්ගේ ලස්සන දූ කුමාරියට අත් වෙච්ච ඉරණම ගැන. ඒත් සයිකි මේ වැඩේට කැමති උනා. ඈ අර කියපු විදිහටම කඳු මුදුනට ගියා. එහිදී ඉතා සිනිදු මද පවන් රැල්ලකින් ඈව ලස්සන මාළිගයක් ළඟට ඔසවාගෙන ගියා. කිසිම කෙනෙක් පේන්ඩ නෑ. නමුත් සයිකිගේ හිතට පණිවුඩ එනවා.
"ඔබ කැමති දේ හිතන්න. අපි එය ඉටු කර දෙන්නම්. අපි ඔබගේ සේවකයෝ". ඒ හඬවල් කිව්වා.
සයිකි හිතන පමාවෙන් රසවත් කෑම, බීම, ලස්සන ඇඳුම් පැළඳුම්, සුවඳවත් ආලේපන...ඕන දෙයක් හිතන පමාවෙන්ම ලැබුනා.
දැන් තේරෙනවද සයිකෝ ගහලා ඉන්නවා කියන
එකෙයි සයිකිගෙයි සම්බන්ධයක් තියෙන්ඩ පුලුවන් නේද කියලා. සයිකි හිතනවා විතරයි කතා
කරන්නෙ නෑ. ඈ මනෝ ලෝකෙක සතුටින් හිටියා. ඇගේ සැමියා රෑට ඈ ලඟට එනවා. ඒත පේන්නේ නෑ.
හැබයි ඉතිං සයිකිට ලොකු අවුලකුත් නෑ. ඈ දන්නවා ඉතා කරුණාවන්ත, ඒ වගේම තමන්ට ආදරය කරන සැමියෙක්
නොපෙනී හෝ තමන් ගාව ඉන්නවා කියලා. ඊට වඩා මොනවද සර්පයෙකු එක්ක දීග යන්නට ආ තැනත්තියකට?
ඔහොම ටික දවසක් ගියාම අර ප්‍රේමවන්තයා සයිකිගේ හිතට කොඳුරලා මෙහෙම කියනවා.
“හෙට ඔයාගේ සහෝදරියෝ
දෙන්නා එනවා ඔයාව තනි කරලා දාලා ගියපු කඳු පර්වතය උඩට. ඒ එන්නේ ඔබ වෙනුවෙන් අඬලා
සෝක වෙන්ඩ. හැබැයි ඔබ ඔවුන් දකින්ඩ ගියොත් මට මහා දුකක් දැනෙනවා. ඔබටත් වෙන්නේ මහා
නපුරක්. ඒ හිංදා යන්ඩ එපා”.
එදා මුළු රෑම සයිකි හිටියේ ඇඬූ කඳුලින්. ඒ ඇගේ සොයුරියන් සනසවන්ඩ- මං හොඳින් ඉන්නවා..දුක් වෙන්න එපා කියලා කියන්ඩ- ඈට ඉඩක් නොලැබෙන හිංදා.ඊට පස්සෙ ඇය එක ඉල්ලීමක් කරා ස්වාමි පුරුෂයාගෙන්.
"අනේ මට සමාවෙලා එකම එක පාරක් ඒ අයව බලන්ඩ දෙන්ඩ. ඒ අය මාත් එක්ක එකටම හැදුනු සහෝදරියෝ. ඉතිං මට වාවන්නෙ නෑ ඒ අයව නොදැක ඉන්න එක".
ඔන්න ඔහොම පින්සෙන්ඩු උනාට පස්සේ ඔහු කැමති උනා.
"හරි ඔබට ඕනම නම් යන්න. ඒත් කිසිම හේතුවක් නිසා ඔවුන්ට මාව දකින්ඩ ඕන කියල කිව්වොත් එකග වෙන්ඩ එපා".
සයිකිත් දහ අතේ
පොරොන්දු වෙලා සහෝදරියො බලන්ඩ ගියා විතරක් නෙවෙයි ඒ අයව එක්කගෙන ඇවිත් මාළිගයේ
විසිතුරුත් පෙන්නුවා.
මාළිගේ තිබ්බ රත්තරන්, මුතු මැණික් වගේ වටිනා දේවල් දැක්කම අර සහෝදරියන්ගේ හිතේ මොකක්ද ඇති උනේ පින්වතුනි? ඉරිසියාව..ඉරිසියාව. ඒ දෙන්නා කතා කරගත්තා උගුලක් අටවන්ඩ.
හුහ්...ඒකිට
ඔච්චර සැපසම්පත් තියෙන්නෙ කොහොමද මේ අපිටත් වඩා...අඹරමු හොඳ ඇඹරිල්ලක් ඕකිව
සුන්නද්දූලි වෙලා යන්ඩ කියල ලතින් බාසාවෙන් මේ අය කතා වෙන්ඩ ඇති. මං වැඩිය ලතින්
දන්නෙ නෑ. ඒ හිංදා පොඩ්ඩක් එහෙට්ට මෙහෙට්ට වෙන්ඩ ඇති. හැබැයි ඉතිං ඔයාලම හිතල
බලන්ඩ මෙව්ව මෙහෙමද වෙන්නෙ නැත්තං වෙන විදිහකටද කියලා. එහෙම හිතලා මේ දෙන්නා ආපහු
දවසක් සයිකිගේ මාළිගේට යන්ඩ තීරණය කරගත්තා. තමුන් එනවා කියලා පණිවිඩේකුත් එව්වා
සයිකිට.
"අඩුගානේ මේ පාරවත් මං කියන දේ අහන්ඩ. ඒ අයට එන්ඩ දෙන්ඩ
එපා!" සයිකිගේ කරුණාවන්ත ඇසට නොපෙනෙන සිතට දැනෙන සැමියා කිව්වා.
"අනේ මොකක්ද මෙයා...මේ පාරට විතරක් එන්ඩ දෙමුකො..මගෙ අක්කලනෙ..මං අකැමති වෙලා තියෙනවාද ඔයාලගෙ නෑයො එනවට මෙහෙ?!"...සයිකි ආයෙත් පින්සෙන්ඩු
වෙලා හස්බණ්ඩාරගෙන් අවසර ඉල්ලා ගත්තා.
බොට ඕන දෙයක් කිව්ව නාහන එකී උඩින් ගියත් එකයි බිමින්
ගියත් එකයි....ස්වාමිපුරුෂයා හිතන්ඩ ඇති.
ඔන්න දැන් අක්කල දෙන්න ඇවිල්ලා සයිකිට ගුලිය අඹරනවා. විස බඳිනවා.
"ඔච්චර අගේ කරාට ඔයා කවදාවත් දැකලා තියෙනවද ඔය ‘යහපත් කුමාරයව’?"
"නෑ"
"ඒක තමයි. අපිට හොඳටම විශ්වාසයි ඔය ඉන්නේ අර ඝෝර සර්පයාම
තමයි. වෙලාව ආපු ගමන් ඌ ඔබව ගොදුරු කර ගනීවි. අපි ඉතිං ඔයාගෙම එක් කුස උපන් අක්කලා
වෙච්චි හැම වෙලාවෙම ඔයාගෙ යහපතමනේ කල්පනා කරන්නෙ. ඔන්න ඉතිං අපිට කරන්ඩ පුලුවන් දේ
කලා. ඔයාම තීරණය කරන්ඩ දිගටම සර්පයෙක් එක්ක ඉන්නවද කියලා?"
"ඉතිං මං දන්නෙ නෑනෙ ඒ ඉන්නෙ සර්පයෙක්ද කියලා?" සයිකි කිව්වා.
"ඒක දැනගන්ඩ උපායක් අපි කියන්නම්. එයා හොඳටම නිදි කියල
දැනුනම ඔයා ලාම්පුවක් පත්තු කරලා බලන්ඩ ඔහු දිහා. ඒත් එක්කම උල් පිහියක් ලෑස්ති
කරලා තියාගන්ඩ. කරන්ඩ ඕන ඉතුරු හරිය කියන්ඩ ඕන නෑනෙ. අනේ ඉතිං ඔයාගෙ හොඳටයි මේ
කියන්නේ. අපි ගැන වැරැද්දක් එහෙම හිතා ගන්ඩ එපා ඕං! අපි ඕන නං හැංගිලා බලා ඉන්නම්".
සයිකි මේ ලණුව කෑවා. ඈ දවසක් අක්කලා කියපු විදිහටම
සැමියාට නින්ද ගියාම ලාම්පුවක් පත්තු කරලා ඔහු දිහා බැලුවා. ඇගේ එක අතක උල්
පිහියක්. ඈ දකින්නෙ මොකක්ද?
රන්වන් සිරුරක් ඇති ඉතා අහිංසක තරුණ කුමාරයෙක්! ආලයේ දේවතාවා!! කියුපිඩ්!!!
ඈට දුක
වාවන්නෙ නැතුව ගියා. මෙහෙව් ලස්සන කුමාරයෙක් ගැනනේ මම සැක කලේ කියල ඈ දුක්වෙනවත්
එක්කම ලාම්පුවේ තිබුණු රත් වෙච්ච තෙල් අර නිදාගෙන හිටපු ලස්සන කුමාරයාගේ උරහිසට
වැටුනා. ඔහු ඉතා වේදනාවෙන් කෑගසමින් එළියට පැනගත්තා.
"අනේ කුමාරයාණෙනි, මට සමාවෙන්න. මට
අනුකම්පා කරන්න. අනේ මාව අතඇරල දාලා යන්න එපා!!!".
කුමාරයා කිව්වෙ එක දෙයයි.
"ආදරය කියන්නෙ විශ්වාසය.
විශ්වාසය නැති තැන ආදරයක් නෑ. ඔබට මාව අවිශ්වාසයි කියන්නෙ ඔබ මට ආදරේ නෑ. ඉතිං තව
දුරටත් මම මෙහේ ඉඳීම භයානකයි!!" ඔහු රෑ අඳුරේම නොපෙනී ගියා.
කතාවෙ ඊළගට වෙන්ඩ ඇත්තේ මොකක්ද? ඒක දැනගන්ඩ තව ටික දවසක් ඉවසලා ඉන්ඩ වෙනවා. අදට ඇති. මම ගිහින් එන්නම්. ඊළඟ පෝස්ට් එකෙන් අපි ග්‍රීසියේ ඉඳන් ඉන්දියානු වනාන්තර වලට ගිහින් වෙලාව තිබුනොත් නෝර්ඩික් රටවල් වලටත් යනවා. ඒ හිංදා කට්ටකාඩුවේම පොඩි පැල් කොටයක් අටවං හිටියත් මගෙන් දෝස නෑ ඕං..!!
නැවත හමුවෙන තුරු අමරදේව මහත්තයාගේ මින්දද හීසර ගීතය අහන්ඩකෝ!
ආදරණීය අනාගතයක් උදාවේවා!!

No comments:
Post a Comment