Sunday, March 29, 2026

අනංගයා මං අනංගයා

 

මේ දවස්වල හරි පෑවිල්ල. ඉන්ඩ හිටින්ඩ බෑ දාඩිය ගලනවා. 


හිරු ගිනිගෙන දැවේ සඳු පියකරු              වන්නේ

විල් දිය සිඳේ දන නිරතුරු                            නෑමෙන්නේ

සුව දේ සැඳෑ කල මලවිද                              මැලවෙන්නේ

සොඳුරියෙ ගිම්හානයයි සපැමිණ              ඉන්නේ

සංස්කෘත, සිංහල වගේම ඉංග්‍රීස් භාෂාවෙත් නිපුණ කවියෙක්වන අපේ කරුණාරත්න අමරසිංහ මහත්තයා, හරි ලස්සන පරිවර්තනයක් කරා කාළිදාසගේ ඍතු සංහාරය කියන මහා කාව්‍යයට. ඒකෙ ග්‍රීෂ්ම ඍතුව ගැන තියෙන  පළවෙනි කවිය තමයි මං උපුටා ගත්තේ. මේ වගේ ග්‍රීෂ්ම කාලවලදි මලවි එහෙම නැත්තං මල් අවිය දරන්නා එහෙමත් නැත්තං ආදරයට අධිපති කාමදේව දෙවියන් පවා මැලවී ඉන්න බවයි කාළිදාස කියලා තියෙන්නේ. ඒත් එහෙම කියලා අපි පටන් ගත්තු වැඩේ අතරමග නතර කරන්ඩ බෑනෙ!

මිනිස්සු අතරෙ තියෙන ලස්සන හැඟීම් අතරින් ප්‍රභලම එකක් තමයි ආදරය කියන්නේ. එහෙව් ආදරයට අධිපති දෙවියන් ගැන සහ එහෙම දෙවියෙක් ඕන කියල මිනිස්සුන්ට හිතෙන්ඩ ඇත්තෙ ඇයි කියලා ලියන්ඩ පටන් ගත්තු ලිපි පෙළේ අද ලියන්නේ හතරවැන්න. පළමු කොටස් තුනට යන්න පහත දැක්වෙන ලින්ක් වලින් පුළුවන්.

පළමු කොටස

දෙවෙනි කොටස

තුන්වෙනි කොටස

පහුගිය ලිපිය අවසානෙදි මම ඔබට ආරාධනය කලා අපේ ජෝතිපාල මහත්ත්‍යාගේ අනංගයා මං ගීතය අහන්ඩ කියලා. මෙන්න ගීතයෙන් උපුටා ගත්තු පද කීපයක්.

අනංගයා මං අනංගයා

ආදරේ ප්‍රේමයේ සුර ලොව තනතුරු දැරූ.....

මා නිසයි ලෝකයේ හැම යුවලම එක්වුණේ

අර සුර ලොවේ මනු ලොවේ

කොතැනත් මගෙ බල පෙනේ......

තරුණ හදක් හොයනවා

මල් පහ සැර යොදනවා

මේ උක්දඬු දුන්න නමා මල් හීයෙන් විදිනවා....!

මට හිතෙන්නේ ඔය ගීතය පබඳින කාලේ තිබ්බ හින්දි තනු වලට සිංහල වචන යොදා ගායනා කිරීම හිංදා'තාලෙට හරියන්ඩ වචන එක්කහු කරා මිසක් වචනවල සාහිත්‍යමය නිවැරදිබව ගැන වැඩි සැලකිල්ලක් දක්වන්ඩ නැතුව ඇති. ඇත්තටටම ඉන්දියානු, ග්‍රීක, රෝම වගේම නෝඩික් දෙවිවරු අතරෙත් ආලයේ දෙවියන්ට, දෙවියන්ගේ ආලය ගැන බලයක් තිබ්බා කියලා පැහැදිලිව සඳහන් වෙන්නෙ නෑ.  අනික ඔතන ඔය හැම යුවලම කියපුවම විශම ලිංගික වගේම  සමලිංගික යුවලුත් ඇතුලත්ද? ඊටත් වඩා මගේ හිත පැහැරගත්තේ මෙතන කියන උක්දඬු දුන්නේ කතාවට. ඇත්තටම ආලයට, කැමත්තට, ආශාවට අධිපති ඉන්දියානු දෙවියා වෙච්ච කාමදේව (කාමදේව අනංගයා වෙච්ච විදිහ මුල් ලිපියේ ලියලා ඇති) අතේ තියෙන ඊතල ගැන කතා කරා මිසක් අපි ඔහුගේ දුන්න ගැන කතා කලේ නෑනේ. ඉන්දියානු විශ්වාසයන්ට අනුව කාමදේවගේ දුන්න හදලා තියෙන්නේ උක් දණ්ඩකින් තමයි. දුන්නේ දුනු දිය එහෙම නැත්තං ඊතලය රඳවන නූල හැදිලා තියෙන්නේ මී මැස්සන්ගෙන්ලු.



කට්ටකාඩුව වෙනුවෙන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි ආලයේ දෙවිවරු! (වමේ සිට දකුණට - ඉන්දියානු කාමදේව, ග්‍රීක ඊරෝස්, රෝමානු කියුපිඩ්, නෝර්ඩික් ෆ්‍රිග් සමග ෆ්‍රෙයා).

මිනිස්සු, මී මැස්සෝ ගැන නම් දඩයම් යුගයේ ඉඳලම දැන ගෙන ඉන්ඩ ඇති. ඒත් උක් දණ්ඩ ගැන මිනිස්සු දැන ගත්තේ ක්‍රිස්තු පූර්ව 8000 දි විතර.  ඉන්දියාවට උක් දඬු හඳුන්වලා දෙන්නේ ක්‍රි.පූ 3000 දි විතර. කියන්නෙ කාමදේවගේ කතාව ගොඩ නැගෙන්නේ  එහෙම නැත්තං අඩුම තරමේ කාමදේව ගැන දැනට තියෙන කතාව ගොඩ නැගෙන්නේ ක්‍රි. . 3000න් පස්සේ. මේකත් එක සාක්කියක් අපි දන්න දෙවිවරු පහළ වෙන්නේ එහෙම නැත්තං මිනිසුන් විසින් දෙවිවරුන්ට පණ දෙන්නේ මිනිස්සු ගොවි යුගයටත් ඇතුල් උනාට පස්සේ කියන එක. තවත් වචන වලින් කියනවා නම් දෙවිවරුන්ට වඩා නගුල පරණයි. නගුලෙන් ඉපදිච්ච එක භෝගයක් තමයි දෙවිවරු!!

දැන් අපි යමු අපේ ආදරවන්තයින් දෙදෙනා හම්බ වෙන්ඩ. සයිකි සහ කියුපිඩ්.

එකිනෙක මිශ්‍ර වෙච්ච පොඩි පොඩි ධාන්‍ය ඇට වර්ගෙ වෙන වෙනම ගොඩවල් වලට වෙන් කරන්ඩ බාර ගත්තට මොකද සයිකි දන්නවා මේක කරන්ඩ අමාරු වැඩක් විත්තිය. අනික එදා ඉර බහින්ඩ කලියෙන් කරන්ඩ ඕනලු! මනුස්ස ප්‍රාණියෙකුට කරලා ඉවර කරන්ඩ බැරි වැඩක් පටං ගන්න එකත් මෝඩ වැඩක්. මේකට මොකද්ද කරන්නෙ කියල හිතන්ඩ හිතන්ඩ සයිකිගේ සිතුවිලි නිකං වංකගිරියක් හිර උනා වගේ උනා. මිනිස්සුන්ගෙන්වත්, දෙවියන්ගෙන්වත් පිහිටක් නැතුව හිටපු මේ අසරණ මිනිස් දුවට පිහිට වෙන්ඩ ආවේ ඇහැට පේන්නෙ නැති තරමේ සතෙක්. තමයි කූඹියා

කූඹි එකිනකාට පණිවිඩේ යැව්වා. අනේ එන්න ඇවිත් මේ අසරණ මිනිස් දුවණියට පිහිට වෙන්ඩ කියලා. ඔවුන් ආවේ සිය ගණනින් නෙවෙයි දහස් ගණනින්. ඇත්තටම කිව්වොත් ලක්ෂ, කෝටි ගණනින්. එච්චර කූඹි සේනාවකට මේ වැඩේ කිරි කජු වගේ වැඩක්! එක එක කූඹියා, එක එක ධාන්‍ය ඇටේ කර තියා ගත්තා. එක විදිහේ ධාන්‍ය ඇත එක ගොඩකට ගහන්ඩ කූඹි සේනාවට වැඩි වෙලාවක් ගියේ නෑ. කොච්චර ලොකු වැඩක් උනත් පොඩි පොඩි කෑලි වලට කඩා ගත්තම ඉක්මනින් කරන්ඩ පුලුවන්. අනික වැඩේ වෙනවා කියලා පේන කොට අපේ ගමේ බාසාවෙන් කියනවා නං පොඩි ජොහොර් එකක් එනවා හිතට!!

හවස් වෙලා සයිකි මොකද කරන්නෙ කෙසේ වෙතත් සයිකිට මොකද වෙලා තියෙන්නෙ බලන්ඩ ආපු වීනස්ට දකින්ඩ හම්බ උනේ පවරපු වැඩේ ඉවර කරලා ෂපාන් එකේ ඉන්න සයිකි.

"ඈ බොල මායාකාරි!!, තෝ හිතන්ඩ එපා චැලෙන්ජ් එක ඉවරයි කියල. හෙට උදේ මං තව වැඩක් දෙනවා! අද රෑට මේක කාලා හිටු!!". කියලා පාන්ගෙඩියක කර වෙච්ච උඩ කෑල්ල දීලා ගියා

වීනස් ඔහොම හිටියට හරි අම්මන්ඩි. උන්දැ දන්නවා බාගෙට හාමතේ තියලා, බර වැඩ කරන්ඩ දුන්නොත් ඔය දිස්නෙ ගහන රූප සෝබාව සුටුස් ගානකොට නැත්තට නැති වෙලා යනවා කියලා. ආන්න එතකල් මේකිගේ මායම් වලට අහු නොවී, තමුන්නෙ කොල්ලා පරිස්සම් කරගත්තොත්, ඌටම තේරෙයි ලස්සන තියෙන්නේ පොත්තේ විතරයි කියලා. දැන් ඒකට තමයි මේ ලෑස්තිය.

පහුවදා උදේ ආපහු සයිකි හම්බ වෙන්ඩ ආපු වීනස් දෙවෙනි අභියෝගය බාර දෙනවා.

"අන්න අර ගඟේ ඉවුරේ තියෙන ගස් ගොම්මන පේනවද?"

"එසේය දේවතාවියනි, එසේය!"

"ඔන්න ඔය කැලේ ඉන්නවා, රත්තරන් ලොම් තියෙන බැටලුවෙක්. මට අරං වරෙන්කො අන්න රත්තරං ලොම් ටිකක්!"

සයිකිට දැන්නං වෙන්නෙ ගඟට පැනලා මැරෙන්ඩ තමයි. ඔය රත්තරං ලොම් තියෙන බැටලුවා නාහෙට අහන්නෙ නැති මහ වසවර්තියෙක් කියලා ඕන කෙනෙක් දන්නවා. ගඟට පනින්ඩ හදන කොටම හීන් හඬකින් ඈට කතා කරනවා ඇහුනා.

"සයිකි...සයිකි..මේ ඇහෙනවද මාව?"

"කවුද ඔබ? පවසන්න නොවළහා අයියා කවුද ඔබ?"

"මේ නංගි මේ...මම...මම...කොළ පාට පන් ගහ..මේ ඔයාගෙ ඇගේ ගෑවෙන්නෙ!"

"අහෝ පන් ගස..ඔබ මා කෙරෙහි දක්වන කරුණාවවත් ඇයි මේ දෙවියන් මා කෙරෙහි නොදක්වන්නේ?"

"ඒක නං ඉතිං මං දන්නෙ නෑ. හබැයි මං දන්නවා ඔයාට රත්තරං ලෝම හොයා ගන්න ක්‍රමයක්. කියන්ඩද?"

"පවසන්න අයියා පවසන්න!"

"ඔය බැටලුවා හවසට කැලෙන් එළියට එනවා ගඟ අයිනේ නිදාගන්ඩ. අන්න එතකොට ඔයා කැලේට යන්ඩ. කැලේ තියෙනවා උල් කටු තියෙන ගස්. බැටලුවා ගස් අතරෙන් ඇවිදගෙන යනකොට රත්තරන් ලොම් පැටලෙනවා අර උල් වල. ඔයාට ඕන පදං රත්තරං ලොම් එකතු කරගන්ඩ පුලුවන් කටු ගස්වල ඇමිණිලා තියෙන!"

"ස්තූති වේවා ඔබට! මා එසේ කරන්නම්".

ඔන්න ඔහොම සයිකි රත්තරං ලොම් චැලෙන්ජ් එකත් දිනුවා. දැනනම් වීනස්ට මලේ මල!!

"මේ වැඩේ උඹ තනියෙන්ම කරා වෙන්ඩ බෑ. උඹට කවුරු හරි උදව් කරලා තියෙනවා. හරි ඔච්චර දස්සයි නං මං දෙන්නං උඹේ දස්සකම් පෙන්නන්ඩ හොඳ අවස්ථාවක්. අන්න අර දිය ඇල්ල පේනවා නේද?"

"එසේය දේවතාවියනි!"

"ඔන්න ඔය දිය ඇල්ලෙන් පටන් ගන්නවා ස්ටික්ස් ගඟ. ඒකෙ වතුර කලුම කලු පාටයි. ගඟ කැමති නෑ කිසිම කෙනෙක් වතුර බින්දුවක්වත් ගන්නවට. පුලුවන්නම් ගිහිං ගඟේ වතුර වලින් මේ භාජනේ පුරවගෙන වරෙං!!"

මේ චැලෙන්ජ් එකත් එක්ක බලද්දි ඉස්සරලා දුන්න චැලෙන්ජ් මොනවද කියල හිතෙනවා. අර ගඟ ආසිරාවට යන්ඩ බෑ ඉවුරෙ තියෙන ගල් වල සෙවෙල බැඳිලා ලිස්සනවා ආඳා වගේ. වතුර පාර ඕසෙට ගලනවා. වැටුනොත් එහෙම ආය අම්ම මුත්ත කිව්වත් ගොඩ එනවා බොරු!

සයිකි ස්ටයික්ස් ගඟේ ඉවුරට වෙලා කොහොමද ගඟෙන් වතුර ටිකක් ගන්නේ කියල හිත හිතා ඉන්න ගමන් අපි නෝඩික් පළාතට යමු පහුගිය කොටසෙන් ඉතුරු වෙච්ච දේව කොට්ඨාසය ගැන කතා කරලා ඉවර කරන්ඩ.

මං කිව්වනේ නෝර්ඩික් දේව ගෝත්‍ර දෙකක් තියෙනවා කියලා. ඒසිර් ගෝත්‍රයට සමාන්තරව හිටපු අනිත් දේව ගෝත්‍රය තමයි වානිර්. ඔවුන්ගේ ආරම්භකයා ඤෝර්ඩ්. ඕනනං නෝර්ඩ් කියලා ශබ්ද කරන්ඩත් පුලුවන්. ඤෝර්ඩ් තමයි මාලුබෑමට සහ මුහුදු යාත්‍රා කිරීමේ දෙවියා!! ඔහුගේ බිරිඳ ස්කාඩි. ඇය හිම මත ලිස්සා යෑමට අධිපති යෝධිය. බලන්ඩකෝ නෝර්ඩින් පළාතට අදාළ විදිහට දෙවිවරු පහල වෙච්ච හැටි. ඉන්දියාවෙදි, ග්‍රීසියේදි, රෝමයේදි හිම මත ලිස්සායෑමට දෙවි කෙනෙක් නෑ. සමහර විට කාර්ය භාරයක් නොමැති ඇමති කෙනෙක් යටතේ ඒ විශය තියෙන්ඩ ඇති.  ඒ අයගේ පුතා තමයි ෆ්‍රේ. දුව ෆ්‍රෙයා. මෙන්න අමුතු දෙයක් වෙනවා

වානිර් දෙවිවරු ප්‍රේමයයි ඵලදාවයි වෙන්කරනවා. ෆ්‍රේ තමයි හිරු එළියට, සාමයට, ඵලදාවට අධිපති දෙවියා. ඔහු එන්නේ ගුලින්බොස්ටි කියන ගොනා මත නැගලා. ෆ්‍රෙයා තමයි ප්‍රේමයට, අලංකාරයට අධිපති දේවතාවිය. ඇගේ ගෙලේ තියෙනවා ලස්සන මාලයක් බ්‍රිසින්ගමෙන් කියලා. ඒක තමයි මේ ලොකෙම තියෙන ලස්සනම ආභරණය. ඒක හදලා තියෙන්නේ රත්තරන්, ඇම්බර් වගේ දේවල් වලින්.  කතාව ඒක නෙවෙයි ඔය මාලෙ ෆ්‍රෙයාට අයිති වෙච්ච විදිහයි.

බ්‍රිසින්ගමෙන් මාලෙ හදන්නේ කුරුමිට්ටෝ හතර දෙනෙක්. ඇල්ෆ්‍රිග්, බර්ලින්, ඩ්වැලින්, ග්‍රේර් කියන කුරුමිට්ටෝ හතර දෙනා මේ මාලෙ හැදුවට පස්සේ ෆ්‍රෙයාට ඕන උනා ඒක අයිති කර ගන්ඩ. ඇය කැමති උනා කියන ඕන මුදලක් ගෙවන්ඩ ඒ මාලය වෙනුවෙන්. ඒත් අර කුරුමිට්ටෝ ඒකට කැමති උනේ නෑ. ඔවුන් ඉල්ලුවේ වෙන දෙයක්. ඒ තමයි මිල මුදල්, රත්තරන් වගේම ලෝකෙ මිනිස්සු ගැහැණු විකිණෙන අනිත් දේ. කාමය! අපි මුල් ලිපියෙත් කිව්වනේ සබ්ජෙක්ට්එක කියන්නේ මහ පුදුම දෙයක් කියලා. ඉතිං මේ කුරුමිට්ටෝ ඉල්ලුවා එක්කෙනෙකුට එක රෑ ගානේ ෆ්‍රෙයා එක්ක ඉන්ඩ ඕන කියලා. ෆ්‍රෙයා මොකක් කියන්ඩ ඇතිද? රූමත් බවට, ප්‍රේමයට අධිපති උනත්, දේවතාවියක් උනත් ඇය කැමති උනා කුරුමිට්ටන්ගේ ඉල්ලීමට!  ප්‍රේමයෙන් කෙසේ වෙතත් කාමයෙන් පිරුණු දවස් හතරකට පස්සේ කුරුමිට්ටෝ බ්‍රිසින්ගමෙන් මාලෙ ෆ්‍රෙයාට දුන්නා. අදත් ෆ්‍රෙයාගෙ ගෙලේ දකින්ඩ පුලුවන් අර තරං කැපවීමෙන් ලබාගත්තු බ්‍රිසින්ගමෙන්!

කට්ටකාඩුව වෙනුවෙන් ආදරණීය පවුලේ ඡායාරූපයකට මුහුණ දෙන බ්‍රිසින්ගමෙන් මාලය පැළඳගත් ෆ්‍රෙයා සහ ඇගේ ආදරණීය සැමියා ඕඩ් හෙවත් ඌර්!

ෆ්‍රෙයාගේ හස්බන්ඩාර තමයි ඕඩ්. ඌර් කියලත් කියන්නෙ පොරටම තමයි. පොරත් හරි අමුතු චරිතයක්. නිතරම මිසිං වෙනවා සීන් එකෙන්. හරි ගුප්ත, රස්තියාදුකාර චරිතයක්. රස්තියාදුවේ ගිහිං දිග කාලෙකට ගෙදර පැත්ත පලාතෙවත් එන්නෙ නෑ. අනේ ෆ්‍රෙයා බලාගෙන ඉන්නවා ඕඩ් එනකල්. එයාට ඇඬෙනවා. ඒ අඬන්නේ රතු පාට රත්තරන් කඳුලු කියලයි නෝර්ඩික් දේව කතාවල කියවෙන්නේ. කියන්ඩ අමතක උනානේ.... ඕඩ්ටයි ෆ්‍රෙයාටයි හිටියා දරුවෝ දෙන්නෙක්. දුවලම දෙන්නෙක්. ඒ දෙන්නා තමයි නොස් සහ ගෙරෙසෙමි. සමහර වෙලාවට මට හිතෙනවා අර මාලනී බුලත්සිංහල මහත්මිය ගායනා කරන මා එක්කලා අමනාපව වී දබරකියන සිංදුව මුලින්ම කිව්වෙ ෆ්‍රෙයාද කියලා. තවත් වෙලාවක කඩප්පුලි කමටද මංදා මට හිතෙනවා ෆ්‍රෙයා, ඕඩ්ට කියලාද දන්නෙ නෑ බ්‍රිසින්ගමෙන් මාලෙ කොක්ක දාගන්නෙ කියලා ඔය දෙවියන්ගේ මගුල් ගෙවල් වල යනකොට? මං මේ නිකමට අහන්නේ... ෆ්‍රෙයා, කුරුමිට්ටන්ගේ ඉල්ලීමට කැමති උනේ ඕඩ්ගේ රස්තියාදුකාරකමෙන්, දීර්ඝ කාලයක් තනිව හිඳීමෙන් ඈ තුල ඇති වෙන්ඩ ඇති තරහ හින්ද වෙන්ඩ බැරිද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්ඩ!

ඒ කොහොම උනත් ෆ්‍රෙයා හැම සතියෙම අපි ගාවට එනවා. ඒ සිකුරාදා දවස ෆ්‍රයිඩේ කියල නම් කරලා තියෙන්නේ ඇයව සිහි වෙන්ඩ හිංදා. ‘ෆ්‍රෙයාගේ දවසවන සිකුරාදා බොහෝ රටවල විවේකී සති අන්තය ආරම්භ වන දවස වෙන්නේ සමහර විට ආදරයට, ආලයට මිනිස්සු අතරට වඩින්න කියලා ආයාචනා කරමින් වෙන්ඩ ඇති.

අදට ඇති. ඊළඟ කොටසින් අපි කතා කරන්නේ ග්‍රීක දේව මණ්ඩලයේ තරුණ, ශක්ති සම්පන්න දෙවියෙන් වෙච්ච ඊරොස්, ඊට පස්සෙන් පහු කාලෙක රෝම දේව මණ්ඩලයෙදි මොකුත් නොදන්න තොත්ත බබෙක්ගෙ රූප කායක් උරුම කර ගත්ත කියුපිඩ් උනේ ඇයි කියන එක. පොඩ්ඩක් ඉන්ඩ...පොඩ්ඩක් ඉන්ඩ... සයිකිගේ කතාවෙදිත් කියුපිඩ් තරුණයෙක් නේද?  එහෙනම් මොකක්ද උනේ? මොකක් නමුත් පටලැවිල්ලක් තියෙනවා වගේ නේද?

පටලැවිලි ගැන කතා කරන ඊළඟ කොටස දක්වා මෙන්න මේ ගීතය අහන්ඩ. මේකත් ගායනා කරන්නේ අපේ ජෝතිපාල මහත්තයා. මල් හී ගෙන එයි මල්සරා!

ඔබ සැමට ආදරණීය කාලයක් උදාවේවා!



No comments:

Post a Comment