කාලෙකට පස්සේ ආයෙත් පේරාදෙණිය ගැන කතාවක් ලියන්ඩ හිතුවා. එහෙම හිතුනේ කව්ද ගොබිලෙක් මූණු පොතේ දාලා තිබ්බ, පේරාදෙණිය කැම්පස් එකේ තියන මල් පිපුනු රොබරෝසියා ගහක පින්තූරයක් දැකලා. අම්මපා ඒක නම් බලන්ඩම වටින දෙයක්. දැන් වගේ සෙල්ෆි මේනියාවක් නොතිබ්බ ඒ කාලේ මල් පිපුනාම මුළු පොළවත් එක්ක රෝස පාටයි. එක්කෝ කහ පාටයි. හරියට පොළොවේ සාරය උරා ගෙන එක තැනකින් පේරාදෙණි අහසට එක්කහු වෙනවා වගේ තමයි ඈතට පේන්නේ (දැන් කාලේ
බොලල්ලා මල් පිපිච්ච වෙලාවේ ඉඳල කොල්ලෝ කෙල්ලෝ රොත්තම ගහ යටට ඇවිත් සෙල්ෆි ගහනවා. අර ලස්සන බලන්ඩ මේ සෙල්ෆි කාරයන්ඩ වෙලාවක් නෑ!!). ඔය මල් පිපෙන කාලෙට ආදර හැඟුම් පහල වෙනවා වැඩියි.
ආදර හැඟුම්…. ආදර හැඟුම්….
නුපුරුදුයි මට නුපුරුදුයි
ඒ හැඟුම්....
කිති කවයි හද කිති කවයි
ඒ හැඟුම්....
.........
කිමද ඔබ මල් කුමරියන්නේ
පෙති විදා සතුටින් නොයින්නේ……
ඒ වෙලාවට,
අනෙ අප්පේ මේ ලස්සන තව දැරිවියෙක් එක්ක බෙදා හදා ගන්ඩ බැරි වෙනවනේ කියල අපිත් එක්ක යාලු වෙන්ඩ බෑ කියන කෙල්ලෝ ගැන මහා අනුකම්පාවක් ඇති වෙනවා. චැහ් : මොන අලුගුත්තේරුවද හිතුවේ කෑල්ලක් සෙට් කර ගන්ඩ බැරි හිංදා අපිම තමයි දුක් වෙන්නේ කියලා. අනේ අපිට නං ඕකේ වගේ වගක් නෑ. මේ අවුරුදු විස්සක් තිහක් වෙනකල් තනිකඩව හිටි එකේ ඉතුරු දෙදොහ මොකද්ද නේද රංජනී? අපිට දුක කෙල්ලෝ ගැන!!.