දෙවියන්ගෙ වැඩ ගැන කතා කරන්ඩ අපි පටන් ගත්තෙ ආදරයට අධිපති දෙවියන් ගැන කතා කරලා. ඉන්දියාවෙන් පටන් ගෙන, ග්‍රීසිය, රෝමය හරහා නෝර්ඩික් පළාත් වලටත් ගියේ ආදරයේ අයිතිකාරයන් හොයාගෙන . ආදරය, මිනිස්සුන්ගෙ හද බැඳගත් අපූරු සංසිද්ධියක් කියල අමුතුවෙන් කියන්ඩ ඕන නෑනෙ. ආදරයෙන් තරුණ හදවත් විතරක් නෙවෙයි බාල, මහළු ඕනෑම හදවතක් මුසපත් වෙනවා. ඒ කියන්නෙ පිස්සු හැදෙනවා. ඕනෑම දෙයක්- ආදරය වෙන්ඩ පුලුවන්, නිදහස වෙන්ඩ පුලුවන්, බලය වෙන්ඩ පුලුවන්, ඊට වඩා හරිම රළු පරළු අදහසක් වෙච්ච සල්ලි හරි වෙන ඕනෑම අටමගලයක් වෙන්ඩ පුලුවන් අසීමාන්තිකව ලැබුනම මිනිස්සු පිස්සන් බවට පත් වෙනවා. ආදරය එක්ක පිස්සු නටපු වෙලාවල් ඕන තරම් අපි අහලා තියෙනවනේ. දැන් අපි කතා කරන්නේ ආදරය විතරක් නෙවෙයි ආදරයේ දෙවියන් එක්ක පවා මිනිස්සු පිස්සු නටපු විදිහ ගැන. හැබැයි ටිකක් පරිස්සමින් හොයලා බලපුවම තේරෙනවා සමහර වෙලාවට අපිට පිස්සු වැඩ කියල හිතෙන දේවල් ඇත්තටම පිස්සු වැඩ නෙවෙයි, මහා කුමන්ත්‍රණ කියලා.
එහෙනං අපි පටන් ගම්මු...ඊට කලින් ආදරයේ දෙවියන් ගැන ලියපු
ලියපු ලිපි පෙලේ පරණ ලිපි වලට යන්ඩ ඕන කෙනෙක් ඉන්නවනං මෙන්න ඒකට ලින්ක්ස් ටික.
මින්දදයෝ ඇවිදින්-කියුපිඩ්ට මල් හී සර විද්ද සයිකි
මින්දද හී සර- සයිකි, ෆ්‍රිග් සහ කුවේණි
ගිය සතියේ මම ඔබට ආරාධනය කලේ මල් හී ගෙන එයි මල්සරා කියන
අපේ ජෝතිපාල මහත්තයා ගායනා කරන සිංදුව අහන්ඩ කියල. මෙන්න ඒකෙ පදවැලෙන් කොටසක්.
මල් හී ගෙන එයි
මල්සරා
සුදු අසු පිට උඩ
නැගලා
රන් දුන්නෙන් ඔබ
හද විදලා
යනු ඇත අප තනි
කරලා....
කතාවක් තියෙනවා කලා
කෘතියක නිවැරදිභාවය ගැන හොයන්ඩ යන මනුස්සයා හරියට තමුන්ගේ මධුසමය දවසේ රාත්‍රියේ
සිය පෙම්බරියගේ දුහුල් සළු එකිනෙක බිමට වැටෙද්දි, ඒ සලු වල වටිනාකම කොච්චරක්ද කියල
හිත හිතා ඉන්න පිලිස්තීනුවෙක් (පලස්තීනුවෙක් එහෙම නෙවෙයි ඈ...පිලිස්තීනුවෙක් කියන්නෙ කලාව, සංස්කෘතිය, බුද්ධිමය සංවාද
වගේ ජීවිතේ සුමට දේවල් ගැන කිසි වග විභාගයක් නැති, උන්නත් දාහයි මලත් දාහයි වගේ
මිනිස්සුන්ට) වගේය කියලා. මං මේ උත්සාහ කරන්නෙ ඒ වගේ වැඩකට කියලත් කෙනෙකුට තර්ක
කරන්ඩ පුලුවන්. ඒත් මේකයි කතාව.
දැන් ඔය සින්දුවේ කියන්වනේ මල්සරා තමයි මල් හී ගෙන ආවෙ කියල. ඒක හරි. උක්දඬු දුන්නක් තියෙන, මල් වර්ග පහක උක්දඬු දුන්නක් තියෙන, මල් වර්ග පහකින් හදපු ඊ තල තියෙන මල්සරා, හෙවත් කාමදේව හෙවත් අනංග හෙවත් ආදරය සම්බන්ධ ඉන්දියානු දෙවියා තමයි ඒ. හැබැයි ඊට පස්සෙ කියනවා රන් දුන්නෙන් තමයි එයා හී සැර විදින්නේ කියලා. රන් දුන්නක් තියෙන්නේ ග්‍රීක ඊරොස්ටයි එයාගෙම කොපියක් වගේ පේන රෝමන්කාරයා කියුපිඩ්ටයි මිසක් මල්සරාට නෙවෙයි.
ඒ
කියන්නෙ ජෝතිපාල මහත්තයා ගායනා කරන්නෙ හයිබ්‍රිඩ් අදර දෙවියෙක් ගැන! මල්සරානං
තියෙන්ඩ ඕන උක්දඬු දුන්නක්. ඊරෝස් නං තියෙන්ඩ ඕන රන් හෝ ඊයම් තුඩු තියෙන ඊ තල!!
වැඩේ තවත් අවුල් වෙන්නෙ මැද තියෙන පදයෙන්. ඒකෙ කියනවා සුදු අසුපිට උඩ නැගලා තමයි
මේ දෙවියන් එන්නෙ කියලා. කවුද මේ සුදු අශ්වයෙක් උඩ එන දෙවියා? මල්සරා හෙවත්
ඉන්දියානු දෙවියාගේ වාහනේ ගිරවෙක්. ඊරෝස් එහෙම නැත්ත්තං කියුපිඩ් එන්නෙ ඩොල්ෆින්
කෙනෙක්ගෙ පිටේ. සමහරවිට පියාඹන සිංහයෙක්ගෙ හරි කුරුල්ලෝ විසින් ඇදගෙන යන රථයක හරි
නැගලා.
තව ටිකක් උතුරට
ගිහින් ඔබ නෝර්ඩික් ආලයේ දෙවඟනන් හම්බ උනොත් ඔබට පෙනේවි ඒ අය ගාව ඉන්නෙත් සුදු
අශ්වයෙක් නෙවෙයි කියලා. අර මිටිය විසි කරන හාදයා -තෝර්- තෑගි දුන්න අලු පාට නැත්තං
නිල් පාට පූසො දෙන්නෙක් තමයි ෆ්‍රෙයාගෙ වාහනේ ඇදගෙන යන්නේ. මගේ වඩාත් හිත් ගත්තු
දේ තමයි මේ පූසො දෙන්නගේ නම් දෙක. එකෙක් ‘රචනා එඩා’. අනිකා ‘කවි එඩා’. මං හිතන්නෙ
රචනා එඩා නිරූපණය කරන්නෙ දෙමෝලෙන් පිටි කොටන්නැහේ අනං මනං නැතුව කෙලින්ම ප්‍රකාශ
කරන ආදරය. අනිකා, ඒ කියන්නේ කවි එඩා නිරූපණය කරන්නෙ තාලය, ව්‍යංගය, විරිත...කැම්පස්
එකේ විදිහට කියනවා නං හේදිල්ල එහෙම නැත්තං වර්ණපාල තියරිය! එක අතකින් ආදරේට ඔය ගුණාංග දෙකම ඕන නෙ. ඒ හංදා පූසො
දෙන්නට එහෙම නං දාපු එකේ වැරැද්දකුත් නෑ මයෙ හිතේ.
තවත් සමහර අවස්ථාවල ෆ්‍රෙයාට දීලා තියෙනවා රාජලියෙකුගේ පියාපත් වලින් හැදිච්ච කබායක්. ඒක පොරව ගත්තම ෆ්‍රෙයාට කුරුල්ලෙකුගෙ වේශය අරගෙන පියාඹලා යන්ඩ පුලුවන් ලු. සමහරවිට ඒකෙන් නිරූපණය කරන්නෙ වේගය වෙන්ඩත් ඇති. හැබැයි මට හිතෙන්නේ රාජාලියා කියන්නේ බොහොම උඩ අහසේ ඉඳගෙන ගොදුරු ඉන්න තැන බලලා වේගෙන් බිමට පාත්වෙලා ගොදුර අල්ලගන්න සතෙක්. ආදරෙත් එහෙමයි. ඇත්තටම සමහර ආදර කතා ඇති වෙන්නේ කොහොමද කියලා දෙවියො තමයි දන්නෙ. සමහර අහඹු සිදුවීම නොතිබුනා නම් ඒ ආදර කතාවන් කවදාවත් ඇති නොවෙන්ඩ තිබ්බා. ඔබ තමුන්නැහෙලාම හිතලා බලන්ඩ...පොඩි හාවෙක් ඒ ඉරණම්කාර මොහොතේදී ගුලෙන් එළියට ආවෙ නැත්තං, රාජාලියා ඈත අහසේ තව ඉස්සරහට යයි. එහෙම නං ඒ හා පැටියාගේ ජීවිතේ බේරෙනවා. ඒත් දෛවය ලියැවිලා තිබ්බෙ එහෙම නෙවෙයි නම් රාජාලි වේශයෙන් එන ෆ්‍රෙයාගේ ආදර දැලේ අහිංසක හා පැටියා කොටු වෙනවා. ඒකයි මං අපේ සරච්චන්ද්‍ර මහත්තයා එක්ක එකඟ වෙන්නේ ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ කියල කියනකොට.
ෆ්‍රෙයාට නැත්තං
ෆ්‍රිග්ටවත් හිටියද සුදු අශ්වයෙක්? නෑ දෙයියනේ නෑ!! එයාත් ගමන් බිමන් ගියේ වළාකුළු හරි නූල්
කටින රෝද වලින් හරි හදලා, හයි කරපු රෝද තියෙන යානාවකලු.
ඒ කියන්නෙ අපි
සලකා බලපු කිසිම ආදරයේ දෙවියෙක්, සුදු අශ්වයෙක්ව තමන්ගෙ ගමන් සගයා විදිහට පාවිච්චි
කරන්නේ නෑ. සමහරවිට අපි නොදන්න ආදරයේ දෙවිවරු ඉන්ඩ පුලුවන් ආසියාවේ, ඇෆ්‍රිකාවේ,
ඇමරිකාවේ, ඔස්ට්‍රේලියන් ඇබොරිජින්වරු අතරේ වගේම අපේ ආදිවාසීන් අතරෙත්. මේ ලිපි
පෙළේ අවසාන ලිපිය වෙන්වෙලා තියෙන්නේ අන්න එහෙම බිහිවෙච්ච චූල සම්ප්‍රදායයන්ගේ
ආදරයේ දෙවිවරු වෙනුවෙන්. ඒ අය කාටවත්
මල්සරා කියන්නෙ නං නෑ. ඉතිං වඩා සාධාරණ විදිහට අපිට හිතන්ඩ තියෙන්නේ මේ ගීතය ලියපු
රචකයා වඩා තීව්‍ර විදිහට අපේ හිත්වල රූප අඳින්ඩ කරපු උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට
තමයි මේ සුදු අශ්වයෙක් පිටේ එන මල්සරා ගැන ලියන්ඩ ඇත්තෙ කියල.
ලංකාවෙ එක කාලෙක
අනංගයා ගැන සංගීත විවාදයකුත් ගියා කියල දැන ගන්ඩ ලැබුනේ යූ ටියුබ් එකෙන්. මෙන්න ඒකට ලින්ක් එක. කැමති කෙනෙක් බලන්ඩ. අහන්ඩ. රස විඳින්ඩ.
තවත් පැත්තක්
තියෙන්ඩ පුලුවන් මේ සුදු අශ්වයාට. කට්ටකාඩුවට ගොඩ වැදිලා හරි අපූරු විදිහට බුද්ධි
කලම්බනය කරවන අපේ ප්‍රාජේතුමා එක කමෙන්ටුවක අහලා තිබ්බා මං කියවන්නේ ක්ලැසිකල් දේවකතා
විතරද නැත්තං පර්සි ජැක්සන් වගේ පොත් කියවන්නෙ නැද්ද කියලා. ඒකට උත්තරේ අපේ අජිත්
ධර්මතුමාගේ කමෙන්ටුවකම තිබ්බා. එතුමා කියන විදිහටම වටේ පඳුරු තල තල ඉන්ඩ ගියාම
සමහර කතා අමතක වෙනවා. ලියන වෙලාවේ තියෙන මෙන්ටැලිටි එකත් එක්ක මතකෙට එන කතා තමයි
ආපහු පොඩ්ඩක් රිසර්ච් කරලා ලියන්නේ. ඉතිං අර අලුත් පොත් කියවපුවම කතාව පැටලෙන්ඩ
තියෙන ඉඩ වැඩියි. සමහරවිට මේ සුදු අශ්වයා ඉන්නෙ එහෙම නූතන ධාරාවේ කතාවක වෙන්ඩත්
පුලුවන්.
සුදු අශ්වයෙක්
එක්ක සෑහෙන දුරක් ආපු අපි දැන් කැරළි ගැහිච්ච තඹවන් කොණ්ඩයක් තියෙන, සුදු නම්කිගෙ
කතාව ඉවරයක් කරලා ඉම්මු. නැත්තං මේක පතරංග ජාතකේ වගේ වෙනවා. කවුද ඔය කියන සුදු
නම්කි? සයිකි නෙ අනේ, මතක නැද්ද?!
පහුගිය කොටසේ
අපෙ සයිකිව නතර කරලා ආවේ ස්ටයික්ස් ගඟේ ඉවුරේ. ඇය කල්පනා කර කර ඉන්නවා කොහොමද
වීනස්ගේ අභියෝගය ජයගන්ඩ ස්ටයික්ස් ගඟෙන් වතුර ගන්නේ කියලා. ඔන්න එතකොටම අහසෙන්
මතුවෙච්ච රාජාලියෙක් සයිකිගේ අතේ තිබ්බ භාජනේ අරගෙන අර ගඟට ගිහින් වතුර පුරවගෙන
ඇවිත් සයිකි අතට දුන්නා! යන්තම් දැන් ඒ වැඩෙත් හරි!!
වතුර භාජනෙත්
අරං දැන් සයිකි යනවා වීනස් හම්බ වෙන්ඩ. වීනස්ට දැන් ඩබල් මල! එයාට මතක් වෙන්ඩ ඇති
බළළුන් ලවා කොස් ඇට බාවන්නා සේ කියල සිංහල ප්‍රස්ථාව පිරුලක් තියෙනවා කියල. මොකද
ඔය රෝමන් රාජ සභාවට සිංහල තානාපතිවරුත් ගිහිං තියෙන්නේ. ඉතිං සිංහල ප්‍රස්ථාව
පිරුළුත් යන්ඩ ඇති කියල අපි හිතමු. දැන් කොහෙද මේ වලියේ මුල...සයිකිගේ රූප සෝභාව
දැකපු අපේ අයියලා රූපයට අධිපති වෙච්ච වීනස්ගේ දේවාලෙට යන්නෙ නැතුව සයිකි බලන්ඩ පොර
කාපු කේස් එකනෙ මේ ‘ඉඩං නඩුවක්’ වෙලා තියෙන්නේ දැන්. වීනස්ගේ රූපයෙ සයිකිට වඩා ඉහළයි කියලා මිනිස්සු
පිළිගත්තොත් ප්‍රශ්නේ ඉවරයි. ඒකට ඕන වෙන
මොනවත් නෙවෙයි ලස්සන. ඉතිං ලස්සන ගන්නෙ කොහෙන්ද? වීනස්ට මතක් උනා ලස්සන තියෙන තැන.
පාතාල ලෝකෙ. පාතාල ලෝකෙට ලස්සන ගිය හැටිත් හරි අපූරු කතාවක්. ඒකත් බාගෙට හරි කියල
ඉන්නම්.
මේ ලෝකෙ -
විශේෂයෙන්ම ඍතු භේදය පැහැදිලිව දකින්ඩ හම්බ වෙන සමකයෙන් ඈත රටවල් වල අවුරුද්දෙ ලස්සනම
කාලය වෙන්නෙ වසන්ත ඍතුව. දිගු සිසිර කාලෙකට පස්සෙ හිම දියවෙලා ගිහිල්ලා, ගස් වැල්
කොළ පාට වෙන්නෙ, මල් පිපෙන්නේ, කුරුල්ලො කෑ ගහන්ඩ පටන් ගන්නෙ ඔය වසන්ත කාලෙදි. ඉතිං
ඔය වසන්ත කාලෙට අධිපති දේවතාවියක් හිටියා ග්‍රීසියේ දේව සභාවෙ. ඇගේ නම පර්සිඵෝනි.
වසන්ත කාලයත් එක්ක එන දිස්නෙ ගහන ලස්සනට, අහිංසක බවට ඒ වගේම සරු ඵලදාවට අධිපති
දේවතාවිය තමයි මේ පර්සිඵෝනි. ඇගේ මව ඩෙමීටර්. ඈ අධිපති කෘෂිකර්මෙට. ඇගේ තාත්තා
තමයි සියුස්. ලෝකෙට ලොක්කා! ඔය සෙට් එකට රෝමෙදි වෙන නම් වැටෙනවා. ඩෙමීටර්,
සෙරෙස් වෙනවා. සියුස් ජුපිටර් වෙනවා. මේ කතාවේ ඊළග
වැදගත් චරිතය තමයි, පාතාල ලෝකෙට එහෙම නැත්තං මළවුන්ගේ ලෝකෙට අධිපති දෙවියා. ඒ තමයි
හේඩිස්. හේඩිස් රෝමෙදි ප්ලූටෝ වෙනවා. පර්සිඵෝනි, ප්‍රොසපිනා
වෙනවා. දෙවියෝ උනත් කමක් නෑ රෝමෙට එනවා නං රෝමන් කාරයෝ විදිහට ඉන්ඩ දැනගන්ඩ ඕන! නැත්තං
ට්‍රම්පච්චිගෙ අයිස් ටීම් එකට කියල අල්ලලා පිටුවහල් කරනවා ආපු දිහාවකට.
දවසක් ප්‍රොසපිනා
වත්තේ මල් නෙල නෙල ඉන්න කොට ඈව දකිනවා ප්ලූටෝ. පොරට හිතෙනවා මෙහෙම...
මේ නම් ලෝලිය
නොමවන්නේ...
සුර අඟනක විලසට
වේද වන සිදඟන
මේ නම් දෝලිය
නොමවන්නේ
මෑව ගන්ට අඹුවට
වේය මට වාසනාව..
කැන්දාගෙන යන්ට
අද මන්ද වෙනු මෙ පමාව?
ඔන්න ඔහොම
කල්පනා කරලා විතරක් නිකං හිටියේ නෑ. බලහත්කාරෙන් උස්සගෙන ගියා මළවුන්ගේ ලෝකෙට-
පාතාලෙට! දැන් මළ සෙල්ලම පොළොවේ!! වසන්ත කාළය අතුරුදහන් වෙලා!!! වසන්තය එන්නෙ
නැත්තං සීත කාලෙ දිගටම පවතීවි. ඔය කාලෙ ඉන්ඩ නැතුව ඇති කවුරුවත් බිත්තිවල ලියන්ඩ
වසන්තය එනවා සත්තයි! කියල.
ප්‍රොසපිනා, ආපහු
දෙවියන් අතරට ගන්ඩ සාම සාකච්ඡා පැවැත්වෙනවා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵලේ තමයි අවුරුද්දේ එක භාගයක් ඈ පාතාල ලෝකේ ඉන්ඩ ඕන සැමියා එක්ක. ඔන්න ඒ කාලෙට පොළොවට හිම වැටෙන,
සීතලෙන් ගල් ගැහෙන සිසිර ඍතුව! ඉතුරු භාගෙ ඇය එනවා උඩට. ඔන්න එතකොට පොළොවට වසන්තය!
ඉතිං අපේ වීනස්
දේවතාවියට ‘බළළුන් ලවා කොස් ඇට බාවන’ අදහස එනකොට ප්‍රොසපිනා පාතාල ලෝකෙ ඉන්න කාලෙ.
වීනස්ගෙ කලබලේට ඉවසගෙන ඉන්ඩ බැරි උනා ප්‍රොසපිනා ආපහු එනකල්.
"කෙල්ලේ..උඹ
පලයන් පාතාල ලෝකෙට. ගිහිං ප්‍රොසපිනා දේවතාවියව හම්බ වෙලා මෙන්න මේ පෙට්ටියට
‘ලස්සන’ ටිකක් ඉල්ලගෙන වරෙං. මතක ඇතුව කියාපිය වීනස් දේවතාවියට හදිස්සි කාරනේකට
‘ලස්සන’ ටිකක් ඕනෙමයි කියලා".
"හොඳමයි දේවතාවිය!"
ඔන්න දැන් සයිකි
යනවා ප්ලූටෝගේ රාජධානිය හොයාගෙන. ඈ යන පාරෙ තිබ්බ බලකොටුවක් ඈට පාර කිව්වා.
"ඔන්න ඔතනින් ඔහෙට්ට හැරිලා යනකොට මහා ආවාටයක් හම්බ වේවි. ඒක දිගේ පල්ලෙහාටම බහින්ඩ. ආය වෙන කොහාටවත්
හැරෙන්ඩ එපා. එහෙම ගියාම මරණයේ ගංගාව හම්බ වෙනවා. ඒකෙ නම ඇකිරන්. ග්‍රීකයෝ නං ඕකට
කිව්වෙ ස්ටයික්ස් ගංගාව කියල. ඔතන ඉන්නවා පාරුකාරයෙක්. එයාගෙ නම කයිරොන්. එයා තමයි
මළවුන්ගේ ආත්මයන්ට පාර කියන්නේ. එයාට සල්ලි දුන්නම එයා ගඟේ එහා ඉවුරට ඔය දුවව එක්ක
යාවි. ඔන්න එතන ඉඳන් කෙළින් පාර වැටිලා
තියෙන්නේ මාළිගාවට. මාළිගාවේ මුරට ඉන්නවා අර වසවර්ති බල්ලා. ඔලු තුනක් තියෙන! ඌ
තමයි මාළිගාවේ දොරටුපාළකයා. නම නං කර්බෙරස්ද කොහෙද. මහ එපා කරපු එකා. උගෙන්
බේරෙන්ඩ බෑ කේක් කෑල්ලක්වත් නොදී!"
ඉතිං කයිරොන්ගෙ
ගාස්තුවයි කර්බෙරස්ගෙ පගාවයි අරං, බලකොටුව කියපු පාර දිගේම ගිය සයිකිට ප්‍රොසපිනාව
හම්බ වෙන එක එච්චර අමාරු උනේ නෑ. ඈ බොහොම කැමැත්තෙන් වීනස්ගෙ ඉල්ලීම ඉෂ්ට කරා. ඈ පෙට්ටිය පුරවලා ලස්සන දුන්නා.
ඊළග මරාලෙ සයිකි
උඩ කඩා වැටුනෙ ඇගේම වරදින්. ඔය ලස්සනට ඉන්න එක ජීවත් වෙනවටත් වඩා වැදගත් දෙයක්
විදිහටනේ අපේ බවලත් උදවිය හිතන්නේ. පිළිකාවක් හැදිලා මාරාන්තික වෙලා බේත් හේත් ගන්න
වෙලාවකදි උනත් ඒ අය හුගක් කරදර වෙන්නේ කොන්ඩෙ යන එක ගැන..හම රැලි වැටෙන එක ගැන. සයිකිත්
ඉතිං මනුස්ස දුවක් නේ. එයාටත් පොඩි අදහසක් ආවා මෙච්චර අමාරුවෙන් ලබාගත්තු ‘ලස්සන’
ටිකක් එයාටත් ලබා ගන්ඩ. අච්චර තියෙන එකේ පොඩි ඇබින්දක් මාත් ගත්තහම මොකද කියල එයා
හිතන්ඩ ඇති. අනික හදිස්සියේවත් කියුපිඩ්ව හම්බ උනොත් පොරව ආපහු දැපනෙ දාගන්ඩ තරමේ
ලස්සනක් තමන් ගාවත් තියෙන්ඩ ඕන නේද? කියුපිඩ්ගෙ හිත වෙන ඉටිකිරිස් කෙල්ලෙකුට
වැටුනොත් ආය ඉතිං මේ මනුස්ස අපි වගේ අහ අහ ඉන්ඩ, පස්සෙන් යන්ඩ දෙයක් නෑනෙ. ඊතළයක්
විදින පමාවෙන් වැඩේ සෙටමෝල් වෙනවනේ. කෝකටත් සූදානං සරීරෙ කියලා ලස්සන වෙලා ඉන්න
එක හොඳයි.
මෙන්න මෙහෙම හිතලා සයිකි අර ‘ලස්සන’ පිරුණු භාජනේ පියන ඇරියා ! අනේ ඒකෙ තිබ්බ විසට සයිකිව වෙලා ගත්තා. සයිකි මහා නින්දකට වැටුනා. නින්දක් කිව්වට ඒක කෝමා එකක් වගේ. මනුස්සයෙකුටනං මෙදා කපේ සයිකිව ඇහැරවනවා තියා හිතා ගන්ඩවත් බෑ.
මේන්න මේ අතරේ
කියුපිඩ්ට සනීප උනා. එයාට ගෙදරින් එළියට යන්ඩ බැරි වෙන්ඩ වීනස් දොර ලොක් කරලයි
ගිහිං තිබ්බේ. ඒත් ඉතිං ආදරෙයි කැස්සයි හිර කරගෙන, හංගගෙන ඉන්ඩ බෑ කියනවනේ.
කියුපිඩ් ගෙදර ජනේලෙකින් එළියට පැන්නා. එයා ගියා සයිකිව හොයාගෙන. එහෙම යනකොට සයිකි
ඉන්නවා කෝමා එකකට වැටිලා. එයා සයිකිව වෙළාගෙන හිටපු විස ටික එක්කහු කරලා ආපහු
පෙට්ටිය ඇතුලටම දැම්මා. ඊට පස්සේ සයිකිව ඇහැරවලා වීනස් හම්බ වෙන්ඩ යැව්වා.
කියුපිඩ් ට
තේරුණා මේ විදිහට ගියොත් කවදාවත් වීනස්, සයිකිට අමාරු වැඩ බාර දෙන එක නවත්තන්නෙවත්
එව්ව ඉටු කරලා වීනස්ගේ නැත්තං ‘නැන්දම්මාගේ’ හිත දිනා ගන්ඩ සයිකි හෙවත් ‘ලේළි’ දරණ
උත්සාහය ඉවර වෙන්නෙවත් නෑ කියලා. මේකට ඊට වඩා ලොකු චරිතයක් ඕන. කවුද ඉතිං ලොකු
චරිතේ?. කියුපිඩ්, ගමේ ආරච්චි මහත්තයාගේ සහාය පැතුවා. ඔහු ගියා ඔලිම්පස් කන්දට. හම්බ
උනා ජුපිටර්ව.
"අනේ බොල...තෝ මට
කරලා තියෙන බලු වැඩවල හැටියට උඹට උදව් කරන්ඩ නෙවෙයි වටින්නේ. අඩු ගානේ මූණවත්
බලන්ඩ වටින්නේ නෑ. ඒත් මං උඹ වගේ බලු වැඩ කරන්නෙ නෑ. ඒ හිංදා මං උදව් කරන්නම්".
මෙහෙම කියපු
ජුපිටර් දේව සභාව කැඳෙව්වා. වීනසුත් ඉන්නවා එතන. මේ වගේ තේරුමක් තියෙන දෙයක්
ජුපිටර් කියන්ඩ ඇති.
“පටන් ගැන්මේ
සිටම මැවුම්කාරයාණන් පිරිමි ගැහැණු වශයෙන් මනුෂ්‍ය වර්ගයා මැවූ බව ඔබ කියවා නැද්ද?
ඒ නිසා මිනිසෙකු තම පියා ද මව ද අත් හැර සිය භාර්‍යාවට ඇලුම් වනබවත් ඒ යුවල එක්
කෙනෙකු වන බවත් දෙවියන් වහන්සේ වදාළ සේක. මෙසේ ඔවුහු එවක් පටන් දෙදෙනෙකු නොව එක්
කෙනෙක් වෙති. එඹවින් දෙවියන් වහන්සේ එක් කළ අය මනුෂ්‍යයා විසින් වෙන් නොකෙරේවා’යි
වදාළ සේක (ශු. බයිබලය, මැතිව් 19:3-8).
ඊට පස්සේ
ජුපිටර්ම සයිකිට අමෘතය බොන්ඩ දුන්නා. ඔන්න
ඔහොමයි මනුස්ස දුවක් වෙච්ච සයිකි අමරණීය දෙව්දුවක් උනේ. ඒ විතරක් නං මදෑ...ආලයේ
දෙවියා කියුපිඩ් ගේ ආදරය දිනාගත්තු කෙනා උනේ.
කතාව ඉවරයි!
කතාව ඉවරයි කිව්වට ඉවරම නෑ. මතකනේ කියුපිඩ් උදව් ඉල්ලගෙන ආවම ජුපිටර් කියපු දේ. කියුපිඩ්ගෙ
සමහර වැඩත් කිසි අංග පුලාවකට නැති එව්වා. අපි ලබන කොටසින් ටිකක් හොයලා බලමු
කියුපිඩ් ගේ කැරැට්ටුව ගැන. ආදරය කියන්නේ මොකක්ද කියලා ඇත්තටම නිර්වචනය වෙන්නේ මේ
කියුපිඩ් වටේ තියෙන කතා වලින් කියලයි මට හිතෙන්නේ. ඒ මොනවද කියලා අපි බලමු. එතකල්
මෙන්න මේ ගීතය අහන්ඩ.
ඔබ සැමට ආදරණීය
අනාගතයක් වේවා!

No comments:
Post a Comment