පස්සෙන් පහු දවසක අනුරාජපුරේ 'ජාතියට ඔටුන්න - මට සිහසුන' පොරදර්සනේ පැවතිච්ච කාලෙ වෙච්ච කතාවක් මට මතක් උනා. ඒ කාලේ ඔය පොරදර්සනෙට ගියපු
අපේ කට්ටියක් අනේ කොච්චර කාලෙකින්ද මේ අනුරාජපුරේට පය තියන්නේ...ඉතිං එහෙව් එකේ
රුවන්වැලි සෑ හාමුදුරුවන්වත් වැඳ ගෙනම ගියොත් මක්ක වෙනවද කියල හිතල පොරදර්සනේ ඉවර
වෙලා එන දවසේ ගියපි මහ සෑ වඳින්ට. ඉතින් කට්ටියම හිතේ හැටියට වන්දනා කරලා හෙම එන්ට
බලනකොට එකෙක් අඩුයි. ආය ගණන් කරලා බැලුවා එකෙක් අඩුම තමා. කවුද මේ අඩු කියල බලන
කොට කන්තෝරුවේ පියන් කොලුවා මිසිං. දැන් කට්ටියම මලුව පුරා මූව හොයනවා. බැලින්නං
මළුවේ කොනක ඉඳගෙන බොහොම සර්දාවෙන් සෑය දිහා ඇහි පිය නොගහා බලා ඉන්නවා.
අනේ සාදු කොච්චර සර්දාවක්ද කියල හිතල කට්ටිය මූට කරදර
කරන්නේ නැතුව තව විනාඩි දහයක් විතර බලා හිටියා. කිසි වෙනසක් නෑ අර විදිහටම බලාගෙන
ඉන්නවා. කොළඹ යන්ද වෙලාවත් පරක්කු වෙන හිංදා අන්තිමට අපේ යාලුවෙක් තීරණය කරා ටිකක්
ඉක්මනට වැඳලා ඉවර කරන්ඩ කියලා කියන්ඩ. ඉතින් එහෙම හිතා ගෙන ලඟට යනකොටම අපේ පියන්
මල්ලි මෙහෙම කියනවා.
"සර් මම මේ කල්පනා කලේ මොකක්ද දන්නවද?"
"නෑ!"
"මේ සෑය දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ හදපු එක කොච්චර
දෙයක්ද කියලා!"
"ඇයි ඒ?"
"නෑ සර් දැන්හෙම මේ සෑය හදන්ඩ යෝජනාවක් ආවනං ඒ ගැන
සාකච්චා කරන්ඩ මීටිං කී දාහක් තියන්ඩ වෙයිද? ඒ මීටිං වලට කොච්චර නං තේ හදන්ඩ වෙයිද?.....සමාහර විට ඒ
තේ හදන්ඩ ඕන වෙන කිරිපිටි තොගේ එක්කහු කරා නං මීට වඩා ලොකු වෙන්ඩ ඉඩ තිබ්බා නේද?"
"හ්ම්....වරෙන් යන්ඩ ඉක්මනට අපිට කොළඹ යන්ඩ ඕන....හවස
මීටිමක් තියනවා!!"



