Thursday, March 1, 2018

අධෝවාත චක්‍රවර්තී


කවුරු කවුරුත් දන්නවනේ අධෝවාතයක් කියන්නේ මොකද්ද කියලා. සරළ සිංහල  බාසාවෙන් කියනවනං පඩයක් ගැන තමයි අද කතාව. කතා නායකයා ජෝසප්. අධෝවාත යැවීම චිත්‍ර කලාවක් නං මේ තමයි පිකාසෝ. ඒක චිත්‍රපටියක් නං මේ අකිර කුරසෝවා. සංගීත සංධ්වනියක් නං බීතෝවන්. මූර්තියක් නං මයිකල් ආන්ජිලෝ.

ජෝසප් කියන්නේ අල්ලපු ගමේ රබර් වත්තක වැඩ කරපු තරුණයෙක්. තරුණයෙක් කිව්වට ආයිබෝං ඒ මම මේ කාලේ. දැන්නං අවුරුදු හැටකට කිට්ටු කරලා ඇති මගෙ හිතේ.ජෝසප් ගේ මල්ලි සූසුමනී. ගෙදර හිටපු පොඩි එකා රාජු. ඔය රාජු කියන්නේ ජෝසප් ගේ මල්ලියෙක් නෙවෙයි. ජෝසප් ගේ තාත්තා උකස් ගත්තු කොලුවෙක්. ඇත්තම කතාව නං ජෝසප් ගේ තාත්තා- අපි එයාට කිව්වේ කංකානි කියලා- මනුස්සයෙකුට ණයක් දෙනවා. ඒ මනුස්සයාගේ ගෑණු කෙනා, මනුස්සයාව දාලා යන්නේ ඔය අතරේ. ඒ වෙනකොට අත දරුවෙක් වෙච්ච රාජුව හදා ගන්ඩ විදිහක් නැතුව මේ මනුස්සයා වත්තේ රස්සාවට යන එක නවත්තනවා. ඒකෙන් තට්ටු වෙන්නේ කංකානිට. එයා දුන්නු ණය 'බොල් ණය' බවට පත්වෙමින් තියෙද්දී කංකානිගේ නෝනා මහත්තයාට ගණ දෙවි නුවණක් පහල වෙනවා. ඒ තමයි අර කිරි සප්පයාව උකසට අරං එන එක! බලාපොරොත්තුව රාජුගේ තාත්තා රස්සාවට ගිහිං සල්ලි එක්කහු කරලා ණය බේරලා රාජුව අරන් යයි කියලා. ඒත් වෙන්නේ වෙනස් දෙයක්. පොර වෙන කසාදයක් කරගෙන ගමෙන් පැනලා යනවා. රාජු, කංකානිට සින්න වෙනවා! දැන් දුන්නු ණයත් නෑ...ඒ මදිවට පොඩි එකෙකුට කන්ඩ අඳින්ඩ දෙන්ඩත් වෙලා!!


ඇත්තටම මම කියන්ඩ හිතං හිටිය කතාවට සම්බන්ධ වෙන්නේ ජෝසප්, සූසුමනි හා රාජු විතරක් උනාට රාජු මේ පවුලට සම්බන්ධ වෙච්ච විදිහත් කියන්ඩ හිතුනේ  මිනිස්සුන්ගේ ජීවිත වල හැටි මේ කතාවෙන් කියවෙන හිංදා. ඒ ගැන තව කතා තිබුනත් ඒවා වෙනම දවසක කියන්ඩ ඕන කාරණා. ඔන්න එහෙනං අපි ඔරිජිනල් කතාවට යමු.

ඔය කියන කාලේ මම නිවාඩුවක් ආවම බාප්පලාගේ ගෙදර යන්නේ කිරි අම්මාගේ ආදරයත්, වත්තේ වැඩ කරන කොල්ලෝ සැට් එකත් එක්ක ක්‍රිකට් ගහන්ඩ පුළුවන් කමත් ලැබිච්ච හිංදා. ඔහොම ගිය දවසක රාජුවා දුවගෙන එනවා මාව හොයාගෙන.

ආඩවනේ චූටි මාත්තයා කුෂි නාත්තම්! කුෂි නාත්තම්!! (පඩ ගඳයි! පඩ ගඳයි!!)

නැතුව යකෝ සුවඳයි කියල හිතුවද?”

නෑ මාත්තියා…. මේකා පඩ කටේ තියනවා!

මොකක් කරනවා?”

පඩ අල්ලලා කටේ තියනවා!

ඒ කොහොමද බං ඒක කරන්නේ?”

මට හිතා ගන්ඩ බැරි උනා ජෝසප් කොහොමද එහෙම වික්‍රමයක් කරන්නේ කියලා. මම දැනං හිටපු විදිහට අධෝ වාත පිට වෙන තැන තියෙන්නේ අතේ නෙවෙයි. එහෙව් එකේ කොහොමද ජෝසපයා වාත අරන් අර පොඩි එකාගේ කටේ තියන්නේ?

පඩ්ඩේ යානකොට අත මේම කරලා පඩ්ඩේ අල්ල ගන්නවා. ඊට පස්සේ ඌ ඒක මගේ කටේ තියනවා! රාජු මට විස්තර කරනවා.

රාජු කියන විදිහට වැඩේ වෙන්නේ එහෙමයි. ඒ කියන්නේ පඩේ යනකොට අත මිට මොලවලා ඒ වාතය මිටි ගුලියට ගන්නවා. ඊට පස්සේ පුළුවන් තරම් ඉක්මනට වෙන කෙනකුගේ මූනට අත ලං කරලා අත දිග අරිනවා.

සාමාන්‍යයෙන් කෙනෙකුට වාතයක් පිට උනාම පැත්ත පලාතම ගඳ ගහන එකේ තමුන්ගේ නාහේ ඉස්සරහින් එහෙම අකරතැබ්බයක් වෙනවට වඩා අර නාගසාකි වලට බෝම්බෙ වැටිච්ච තැන ඒ බෝම්බ ගහපු දවසේ දඬුකඳේ ගහලා ඉන්න එක සැපයි නේ? අනික සාමාන්‍යයෙන් වාතයක් එක්ක සද්දෙකුත් පිට වෙන හිංදා ළඟ ආසිරාවේ ඉන්න එකෙකුට ගඳ එන්ඩ ඉස්සර මාරුවෙලා යන්ඩ හරි ගන්ඩ හරිත් පොඩි වෙලාවක් තියනවා. හැබැයි වෙන තැනක ගිය වාතයක් අල්ලලා ගෙනත් මූණ ලඟින් තිබ්බාම අබ සරණයි!

ඇත්තද ජෝසප් මේ කියන්නේ?” මම තමයි දැන් නඩු කාරයා. වත්ත අයිති බාප්පට හිංදා මාත් නිකං සින්නදොරේ වගේ තමයි!

හි...හි...හි...ජෝසප් හිනා වෙනවා. මට තේරුනා වැඩේ ඇත්ත කියලා.

ඒ...කොහොමද බං ඔය වැඩේ ඉගෙන ගත්තේ?”

දැන් මට ඕන මේකේ ශිල්පෙ ඉගෙන ගෙන ඉස්කෝලේ ගිහිං අත්හදා බලන්ඩ. ඒක කරන්ඩ නං ජෝසපයාගෙන් ෂේප් එකේ වැඩේ ඉගෙන ගන්ඩ ඕන.

පිචැර් හෝල් එකේ අපි කවුරුත් කරන්නේ ඕකනේ චූටි මාත්තියා!

පිචැර් හෝල් එකේ මොකද කරන්නේ?”

හි..හි..හි.. මූ ආයෙත් හිකි හිකි ගානවා.

උඹට කියන්ඩ බෑනේ...මාත් අද එනවා පිචැර් එක බලන්ඩ! එතකොට බලාගන්නන්කෝ!!

ඔය කියන කාලේ අපේ ගම ආසිරාවේ තියන ටවුමේ ෆිල්ම් හෝල් එකක් තිබ්බා. ඉතින් හවස 6.30 ෆිල්ම් එක බලන්ඩ යන එක වත්තේ වැඩ කරන කොල්ලෝ සෙට් එක අනිවාර්යයෙන් කරන දෙයක්.

මමත් බාප්පට යෝජනාව දැම්මා ෆිල්ම් එක බලන්ඩ යන්ඩ. එයත් වැඩි විරුද්ධත්වයක් නොපෙන්නා කැමති උනේ අලුත් නින්ජා ෆිල්ම් එකක් හෝල් එකට ඇවිත් තිබ්බ හිංදා. ඒ කොහොම වෙතත් මගේ අවධානය එදා දවසෙම යොමුවෙලා තිබ්බේ ජෝසපයා දිහාවට. හවස වැඩ ඉවර කරපු ගමං ටිකක් ක්‍රිකට් ගහලා මේ සෙට් එක යනවා තේ බොන්ඩ. මාත් එදා බලන හිටියා වෙන දේ. බැලින්නං කඩෙන් ගේනවා ගල් කේක් කෑලි පහ හයකුයි තම්බපු බිත්තර තුන හතරකුයි. ගල් කේක් කියල කියන්නේ කළු- දුඹුරු පාට කේක් ජාතියක්. කතාවට නං කියන්නේ මෙව්වා හදන්නේ දවස් තුන හතරක් පරණ වෙච්ච පාන් වලිං කියලා. ඒ හින්දමද කොහේදෝ සමහරු මේවට 'බැරිම තැන' කියලත් කියනවා. ගෙදර හැමෝටම ගල් කේක් හම්බ වෙද්දී වැඩ කරන පිරිමි අයට විතරක් තම්බපු බිත්තරයක් දෙන එක තමයි කංකානිලගේ ගෙදර පුරුද්ද. මේවා කාල තමයි හවස කහට බොන්නේ.

හතුරුසිංහ මහත්තයා එන්ඩ ඉස්සර ලංකාවේ ක්‍රිකට් ටීම් එක මතකද? ලංකාවේ ක්‍රිකට් ටීම් එක කිව්වට නම විතරයි. දහතුනෙන් පහල ඉස්කෝල ටීම් එකකටත් අන්තයි. නිකමට හිතන්ඩකො එහෙව් ටීම් එකට අරවින්දයි සංගක්කාරයි ආවා කියලා. කොහොමට තියෙයිද? අන්න ඒ වගේ වැඩක් තමයි සාමාන්‍යයෙන් අහිංසක, බඩ ඇතුලේ කැකෑරෙන අධෝ වාත වලට ගල් කේකුයි තම්බපු බිත්තරයි වලින් ලැබෙන්නේ. ගන්දස්සාරේ බලා ඉන්දැද්දී වැඩි වෙනවා. මෙහෙම වාත ෆෝම් කරලා තමයි කට්ටිය පිචැර් බලන්ඩ යන්නේ!

මම කණු කුණු ගාපු හිංදා බාප්පා මට එදා ගැලරියට යන්ඩ ඉඩ දුන්නා. ජෝසප් ලා හිටපු පේලියට පිටිපස්සේ පේලියෙන් මම වාඩි උනේ වෙන දේවල් හොඳින් බලා ගන්ඩ.

ට්‍රීං....ට්‍රීං........ට්‍රීං....ඔන්න පිචැර් එක පටං ගන්ඩයි යන්නේ!

ටික වෙලාවක් යද්දී මට පේනවා ජෝසප් නිකං ඇඹරෙනවා වගේ. ඒ හිංදා මම පිචැර් එකේ නින්ජට කුද ගහ ගන්ඩ කියල ගැලරියේ යන නින්ජා ගේම බලන්ඩ පටං ගත්තා.

ජෝසප් හිමීට පස්ස පැත්තට අත ගෙනැල්ලා වාතේ අල්ල ගත්තා!

ඊට පස්සේ ඌට ඉස්සරහා පේලියේ වාඩි වෙලා හිටපු සූසුමනි ගේ පස්ස ගාවට අත ගෙනිහින් මිටි ගුලිය දිග ඇරියා. දැන් කාගේ ලඟින්ද ගඳ එන්නේ? හරියට හරි සූසුමනියා ලඟින්!!. මිනිස්සු ඌ දිහා බල බල නහය වහ ගත්තා. ටිකකින් සූසුමනි ඇඹරෙනවා. ඌත් අල්ලගත්ත වාතේ ඉස්සරහ පේලියේ එකෙක්ගේ පස්ස ලඟින් අත ඇරියා. මිනිස්සු චි: කිය කියා නහය වහ ගත්තා. දැන් නිකං සංගීත පුටු තරගේ වගේ. අධෝ වාත අනිකාගේ පස්ස පැත්තෙන් තැබීමේ තරඟය!!!. මොකා කාගේ පස්ස පැත්ත ළඟ වාතේ අත ඇරියත් ටික වෙලාවක් යනකොට මුළු ගැලරියම තනිකර කක්කුස්සියක් වගේ|!!! කව්ද එකෙක් කරුවලේම නැගිටලා පිචැර් හෝල් එකේ ගැලරිය ගාව දොර ඇරියා. ඌ තව ටිකක් පරක්කු උනා නං හය හත් දෙනෙක් සිහි නැති වෙලා තමයි නවතින්නේ!!!

මට ඔය අතීත කතාව මතක් උනේ මීට මාස කීපෙකට කලියෙන් අපේ පාදඩ තුමාගේ 'දිව්‍යමය සුළං' කියන පොස්ට් එක කියෙව්වට පස්සේ. ඊට පස්සේ මේ සති දෙකකට උඩදී ප්ලේන් එක්ක වෙච්ච පඩ හටනක් ගැන කියවපුවම ඒ මතකය අලුත් උනා. මෙන්න ඒ ගැන කියවන්ඩ කැමති කෙනෙකුට ලින්ක් එක. ඒ ගැන කියවපුවම මට මතක් උනේ අපේ ජෝසපයා හිටියනං එහෙම ප්ලේන් එක බිමට බාන්ඩ පයිලට්ට සිහිය තියෙයිද කියලයි. මොකද ප්ලේන් එකේ ජනෙල් අරින්ඩ කියලය? එහෙම නැත්තං ඔය වලියෙදි ගුටි කන්නේ පඩ ඇරපු ජෝසපයා නෙවෙයි ඌට ඉස්සරහ පේලියේ ඉඳගෙන හිටපු එකෙක් නේද කියලා. ඒ වගේ තැනක නං ජෝසප් මෙතඩ් පඩ යැවීම ජීවිතාරක්ෂාවටත් හේතු වෙන්ඩ ඉඩ තියනවා.

හැබැයි මේ කාරණා එකක් වත් නෙවෙයි මට මේ ලිපිය ලියන්ඩ හේතු උනේ. 

ඒ හේතුව තමයි මෑතකදි අර අපේ ලොකු මහත්තය කරපු 'පෙට්ටගම් සංශෝධනේ'!. මට ෂුවර් නෑ මේ වාත ඇරලා තව එකෙක්ගේ පස්ස පැත්තෙන් තියන එක විතරක් කරන සූසුමනී ද එහෙම නැත්තං ඒ වැඩේට අමතරව පොඩි එවුන්ගේ නහයෙනුත් තියන ජෝසප් ද කියලා. හැබැයි ඇත්තම ජෝසප්ටවත් සූසුමනිටවත් බෑ මේ අධෝවාත චක්‍රවර්තී පරද්දන්ඩ. ඒකනං මම සහසුද්දෙම්ම දන්නවා ගල් කේක් කාලා යවන වාතෙක ගඳ වගේම.  මෙයා කරන්නෙම තමන්ගේ ගඳ අනිකා උඩින් යවන එක.අලි ඇමති කවුද කියන එකවත් රට රස්සා ඇමති කවුද කියන එකවත් නෙවෙයි මහත්තයෝ මේ රටේ මිනිස්සුන්ට තියන ප්‍රශ්නේ ජීවත් වෙන්නේ කොහොමද කියන එකයි.ඒකට පුලුවන්නම් උත්තර දෙන්ඩ. නැත්තංහතර දිග් බාගෙම ගඳ ගස්සන්නේ නැතුව අනේ මහත්තයෝ යන්ඩකෝ ලැට් එකකට...මෙන්න වැන්දා!!!!

19 comments:

  1. ඔය කියුවට කොහොමද බං ඕක හරියටම අල්ලට අල්ල ගන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒක පොඩි ශිල්පයක් අටම් තුමනි. පොඩි උත්සාහයක් දැරුවොත් 'කෙරෙමේ' අල්ල ගන්ඩ පුළුවන්. සම්පූර්ණයෙම්ම නැති උනත් වාතයෙන් සෑහෙන කොටසක් අල්ලගන්ඩ පුළුවන් දස්සයන්ට!!!

      Delete
  2. අපේ ඒකාලේ පොඩි මාමා පඩ ඇල්ලිල්ලට හෙන දස්සයා, දන හෙන සීරියස් උපාසකයා, මතක් කරලා දුන්නාට බොහොම ඉස්කොතුයි,මේ සැරේ අවුරුද්දට දරු මුනුපුරෝ ඉස්සරහ කතාව කියල මෑන් ගේ සායම යවනවා.

    තම්බපු බිත්තර කැවහම කුණුබිත්තර ගඳට සල්ප ඩයොක්සයිඩ් පිටවෙන්නේ, සුදුලුණු වලිනුත් ඒ ප්‍රතිපලේම ලැබෙනවා, මෙක්සිකන් ක්‍රමෙට ලොකුබෝන්චි ඇට තලප උයල කෑවම කව්බෝයිල වගේ සද්දෙට වෙඩිතියතිය ඉන්න පුළුවනි.

    ඉස්සර නුවරින් පාන්දරම අනුරාධපුර යන ඉන්ටර්සිටියට පිච්චමල් පුජවල් වගේ එව්වට යන සුදු ඇඳගත් උපාසකම්මල නැග්ගොත් මම කටුගස්ටෝටින් බැහගන්නවා, ඒ උදවිය මාතලේ පහුවෙනකොට සුපිරි විවිධාකාර සුගන්ද පුජාවක් තියනවා, එක්කෙනෙකුට තවකෙනෙක් දෙවෙන්නි වෙන්නේ නෑ, එක්කෙනෙක් සැමන්, තවකෙනෙක් බිත්තර,

    අධෝවත චක්‍රවර්තීන් ලොකුඋන්නහේ වෙන අයගේ ක්‍රෙඩිට් උස්සන්නත් බොහොම දස්සයෙක් වගෙයි, මහබැංකුවේ අධිපතිතුමාගේ ටෙක්නිකල් කොලිෆිකසන් හදාගත්ත තරුණයන්ට ඇප නැතුව ණයදෙන ප්ලෑන මේ යොදය අධිපතිට අප නැතිවෙන්න ම උස්සලා වීරය වෙන්නයි යන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇණතුමනි ස්තූතියි ඔබේ අදහසට. ලොකු මාමා ගාලා තියන පේන්ට් වර්ගේ අනුව තමා හෝදලා යවන්ඩ පුලුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ. පොර දස්සයා නං කුණු ටික යවලා පේන්ට් එක බේර ගනීවි. හැබැයි අධෝවාත චක්‍රවර්තී වගේ වැඩ බැරි දාස කෙනෙක් නං කුණුයි පේන්ට් එකයි දෙකම යවන්ඩ පුළුවන්!!

      Delete
  3. අවසරයකින් තොරව මේකත් බුකියේ ෂෙයාර් කරනවා...

    ReplyDelete
    Replies
    1. අපොයි මොකටැයි අවසර? ඔබතුමා බුකියේ ෂෙයා කරපුවම කට්ටකාඩුව ගැන නොදන්න අයත් දැන ගන්නවා. අනික කට්ටකාඩුවට නොඑන අයත් කියවනවා. මම ලියන්නේ අනිත් අයට කියවන්ඩ. ඉතිං මගේ බලාපොරොත්තුවත් ඉෂ්ට වෙනවා ඔබේ ෂෙයා කිරීමෙන්!! ස්තූතියි මාතලන් තුමනි!!

      Delete
  4. ලොකු මල්ලිගේ තවත් වටිනා වැඩක්

    ReplyDelete
  5. Replies
    1. කවුද ලොකු පුතා තුමනි අධෝවාත චක්‍රවර්තිද? පොර නං පට්ට චරිතයක් තමා!!

      Delete
  6. ++++++++ පඩ ගඳයි යකොව්....

    ReplyDelete
    Replies
    1. නහය වහ ගනිව් කොල්ලනි නහය වහ ගනිව්....
      සක්විත්තගේ පඩ ගඳ නැති අලුත් රටක් හොයාපියෝ .....
      සක්විත්තගේ පඩ ගඳ නැති අලුත් රටක් හොයාපියෝ
      මුළු ලෝකෙම හොයන්නේ
      රත්තරනින් ගෙවන්නේ.....!!

      Delete
  7. https://www.urbandictionary.com/define.php?term=buttercup

    ReplyDelete
    Replies
    1. Search result - Buttercup = A boy who thinks he's the biggest gangster in the world but in reality is a cute little softie who likes teddy bears and rainbows.

      Thank you Pra Jay!!

      Delete
  8. හැක්.. හැක්.. නියම කතාව

    ReplyDelete
  9. හාපෝ................. ගද

    ReplyDelete
  10. ලොකු මලය සෑර් අර පරණ සිංහල සාහිත්‍යයට අනුව 'අඬ පඩේ ගඳ නැතේ .. ගඳ පඩේ අඬ නැතේ '. එහෙමනේද තිබ්බේ.
    නමුත් සෑර්ට කියන්ඩ දැන් මේ කාලේ පඩවල අඬයි, ගඳයි දෙකම තියෙනවා.
    අපට දැනෙන හැටිද විසි එක්වන සියවසේ ඉට්ටැයිල් එකද දෙකමද. අනේ මන්දා

    ජයවේවා!

    ReplyDelete